විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   Reporterඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් පිළිබඳව අදහස් දැක්වීමෙන් පසු, ඒ පිළිබඳව විවිධ අදහස්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ ජාල වෙබ් අඩවි වලත්, පළවන්නට පටන්ගෙන තිබෙනවා. මාධ්‍ය පිළිබඳව, දේශපාලනඥයන් සිය අප්‍රසාදය පලකිරීම, අපේ රටට පමණක් සීමාවූ තත්වයක් හෝ අද ඊයේ සිදුවන දෙයක් හෝ නොවෙයි. ලෝකය පුරාම, මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මාධ්‍ය සහ දේශපාලනඥයන් මෙසේ ගැටෙන්නේ ඇයි? මාධ්‍ය සමග ගැටෙන්නේ දේශපාලනඥයන් පමණද? මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ, මේ සම්බන්ධව, පසුගිය වසර 40 ක පමණ කාලයක් තුළ, මා ලබා ඇති අත්දැකීම් ඇසුරෙන්, ඔබ සමග සංවාදයක යෙදෙන්නයි.

   මුලින්ම මගේ සිත ඇදීයන්නේ, අප පාසල් යන කාලයේ, මේ මාධ්‍යවේදීන් පිලිබඳ මතකය වෙතයි. අප පාසල් දරුවන් ලෙස ගතකළ කාලයේ, මාධ්‍ය ලෙස අප දැනසිටියේ, පුවත්පත් සහ ගුවන්විදුලිය පමණයි. නමුත්, ඒවා හැඳින්වීමට, මාධ්‍ය යන වචනය යෙදුනේ නැහැ. අප දන්නා විදිහට, පත්තරවල සිටියේ, පත්තර වාර්තාකාරයෝ සහ පත්තර කර්තෘවරු. ගුවන්විදුලියේ සිටියේ, නිවේදකවරු. (වැඩසටහන් නිෂ්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් ගැන අපි කිසිවක් දැනසිටියේ නැහැ) පුවත්පත් වාර්තාකරුවන් දැක්කෙත් බොහොම කලාතුරකින්. ඔවුන්ට වාර්තා කරන්න දේවල් අපේ ගම්වල තිබුනේ නැහැ. මැතිවරණය හෙවත් අපි දන්නා චන්ද කාලෙට, දේශපාලන රැස්වීම් තියද්දී, ඒවා වාර්තාකරමින් පින්තූර ගන්න, පොත්වවල සටහන් ලියාගන්න කීපදෙනෙක් දැක, ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහලා බැලුවම කිව්වේ, ඒ පත්තර වාර්තාකාරයෝ කියලයි. ජනමාධ්‍ය Mass Media කියන වචනය පවා, පෘථුල ලෙස අපේ සමාජයේ භාවිතයට ආවේ, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඔස්සේ බවයි මගේ හැඟීම.

Prof.Sunanda Mahendra   මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වැනි විද්වතුන් විසින්, පුවත්පත් වලට ලියන ලද ලිපි, ගුවන්විදුලියේ ඉදිරිපත් කළ සාකච්ඡා ආදියෙන් තමයි, අපි මේ ජනමාධ්‍ය කියන්නේ මොකක්ද කියා, අවබෝධය පුළුල් කරගත්තේ. ජනමාධ්‍ය යනු, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බවත්, ඒ ඔස්සේ, ඉතා පුළුල් සමාජ කාර්ය භාරයක් සිදුවන බවත් දැනගත්තේ, මෙවැනි විද්වතුන් විසින්, සමාජය දැනුම්වත් කළ, විවිධ වැඩසටහන් මගිනුයි. කෙසේ වෙතත්, අප සාමාන්‍ය පෙළ පාසල් දරුවන් කාලයේ, ජනමාධ්‍ය පිලිබඳ විශ්ව විද්‍යාල පාඨමාලා නොතිබුන අතර, උසස් පෙළ සිසුන් කාලයේ, ඒ පිළිබඳ යම් යම් ඉහළ අධ්‍යයන අවස්ථා තිබුණා. කෙසේ වෙතත්, 1980 දශකයේ අග භාගය වනතුරු, ජනමාධ්‍ය පිලිබඳ උපාධිධරයන් සැළකියයුතු ප්‍රමාණයක්, අපේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ නොසිටි බවයි, මට හිතෙන්නේ.

   ජනමාධ්‍ය යන්න, වඩාත් අර්ථවත් වන්නට හේතුවූ ප්‍රධාන කාරනාව, අන් කවරක්වත් නොව, තොරතුරු තාක්‍ෂණය දියුණුවීම බව, අවිවාදිතයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්;

  • පරිගණකගත පිටු සැකසුම් සහ පරිගණක මගින් පාලනය වන වඩාත් දියුණු, වඩාත් උසස් තත්වයේ මුද්‍රණ ක්‍රම නිසා, පුවත්පත්/සඟරා/වාර ප්‍රකාශන/ ආදියට නව පණක් ලැබුණි.

 

  • FM තාක්‍ෂණය ලැබීම නිසා, තාක්ෂණික අතින් වඩාත් උසස් තත්වයේ විකාශන හැකියාවක් ලැබීම හේතුවෙන්, ගුවන්විදුලියට නව පණක් ලැබුණි.

 

  • අප මෙතෙක් දැක නොතිබුණු, එහෙත් කියවා/අසා තිබුණු රූපවාහිණී මාධ්‍යය ලැබීමෙන්, මහජනතාව ඒ මාධ්‍යය සමග දැඩි බැඳීමක් ඇතිකරගත් අතර, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වූ බැවින්, මහජනතාවගේ වැඩි විශ්වසනීයත්වයට පත්වීමට, රූපවාහිනියට හැකිවිය.

   1977 න් පසු, විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමත් සමග, ජනමාධ්‍ය, වෙළඳ භාණ්ඩයක් වශයෙන්, සමාජයේ ඉල්ලුමට පාත්‍රවීමත් සමග, පුවත් සහ තොරතුරු විකිණීමේ කර්මාන්තය, මහා පරිමාණයෙන් වැඩෙන්නට පටන් ගත් බව නොරහසක්. මේ කාලයේදී, වල් පත්තර, මල් පත්තර, ආදී මෙකී නොකී දෑ අහන්නට ලැබුණු අතර, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා ආරම්භවීමත් සමග, මේ මහා කර්මාන්තය, ජනසමාජය ගිලගන්නා දැවැන්ත බලවේගයක් බවට පත්විය. ‘මාධ්‍යවේදියා’ යන වචනය, සමාජය තුළ පැළපදියම් වූයේ, මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

   වර්තමානයේදී මාධ්‍ය අපගේ ජීවිතයට බද්ධවී තිබෙන්නේ, එදිනෙදා ගන්නා ආහාරයක් තරම් සමීපවය. අද, පාසලක පහළ පන්තිවල පවා, ‘මාධ්‍ය කව’ දැකිය හැකිය. මාධ්‍යවේදියාගේ කාර්යභාරය කුමක්ද යන්න කාලීනව සාකච්ඡා කෙරෙන, (තළුමරමින්, අර හක්කෙන් මේ හක්කට මාරු කරමින් සාරය උරාබොන) මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ, වර්තමාන මාධ්‍ය කලාව, එදිනෙදා ජනජීවිතය කෙරෙහි, දැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. වර්තමාන මාධ්‍ය මගින්, සමාජ කතිකාවත් සඳහා යොමු නොකරන මාතෘකාවක් නොමැති තරම්ය.

   එදිනෙදා සිදුවීම් වලට අමතරව, ඉතා පෘථුල වශයෙන් දේශපාලන සිදුවීම්, ඊට අමතරව ජ්‍යොතිෂය, ඉවුම් පිහුම්, ගෘහ අලංකරණය, විලාසිතා, විවාහය, ලිංගිකත්වය, වෛද්‍යෝපදේශ, වාස්තු විද්‍යාව, ආදී ජනජීවිතයේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි, මාධ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. ව්‍යාපාරික ප්‍රජාව විසින්, තම ප්‍රචාරණ කටයුතු සඳහා කෙරෙන මාධ්‍ය භාවිතය, පාඨකයාට/ප්‍රේක්ෂකයාට හිරිහැරයක් වන තරම් ඉහල මට්ටමකට පැමිණ තිබේ.

   මාධ්‍ය තරගය අපේ රටට පැමිණියේද, පෞද්ගලික ගුවන්විදුලි/රූපවාහිණී නාලිකා බිහිවීමෙන් පසුව බව පැහැදිළි වෙයි. සියල්ලට මුල් වන්නේ මෙම මාධ්‍ය තරගය බවට, හොඳම නිදසුනක් වන්නේ, පසුගිය කාලයේදී, විවිධ මාධ්‍ය ආයතන අතර, සීතල යුද්ධ ස්වභාවයෙන් මෙන්ම, එළිපිටම සිදුවූ ගැටුම්/අපහාස/උපහාස/මඩ ගැසීම්/ හේතුවෙනි.

   අපේ රටේ දේශපාලනය සහ මාධ්‍ය අතර සම්බන්ධයට සෑහෙන ඉතිහාසයක් තිබේ. මාධ්‍ය මර්දනයටද එවැනිම ඉතිහාසයක් තිබේ. අගමැතිණි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (දවස නිවස) මුද්‍රා තැබීම, මාධ්‍ය මර්දනයේ අතීත සිදුවීමකි. 1977 න් පසු, මාධ්‍ය මර්දනය දැඩිව ක්‍රියාත්මක වූ බව අපි දනිමු. විධායක ජනාධිපති තනතුර ඇතිවීමෙන් පසු පත්වූ ජනාධිපති වරුන් අතරින්, මාධ්‍ය මර්දනයට හවුල් නොවූයේ, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා පමණකැයි සිතමි. එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා මාධ්‍ය මර්දනය කරන බවක් පෙනෙන්නට නැත.

   මෙතැන්සිට මා මාධ්‍යවේදීන් පිළිබඳව මට ඇති පෞද්ගලික අත්දැකීම් කීපයක් සඳහන් කරන අතර, එයින් මා අදහස් කරන්නේ, සෑම මාධ්‍යවේදියාම මේ හා සමානයයි කීම නොවේ. මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය සහ සදාචාරාත්මක බව කෙළෙසන්නන් නිසා, සමස්ත මාධ්‍ය කලාවම ගර්හාවට ලක්වෙයි. පසුගිය යුද සමයේදී, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමියේ තොරතුරු වාර්තා කිරීමට පැමිණි, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් ගෙන් අති මහත් බහුතරයක්, සංග්‍රාමික කටයුතු වාර්තා කිරීම war correspondence පිළිබඳව, මෙලෝ හසරක් නොදන්නවුන් බව පැහැදිලිවම පෙනුනි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු, කිසිදු මාධ්‍ය ආයතනයක්, තම මාධ්‍යවේදීන්ට, මේ සඳහා දේශීය සහ විශේෂයෙන් විදෙශීය වශයෙන් කිසිදු පුහුණුවක් ලබාදුන් බවක් මගේ දැනීමේ හැටියට නැත. මේ හේතුවෙන්, විදේශීය ප්‍රවෘත්ති ආයතන, අපේ රටේ මාධ්‍ය ආයතන ගැන විශ්වාසය නොතැබීමෙන්, LTTE සංවිධානයට වාසිවන ආකාරයේ ප්‍රවෘත්ති, ජාත්‍යන්තර වශයෙන් පලවිය. 

මෙහි තවත් ප්‍රතිඵල වූයේ;

  • ත්‍රිවිධ හමුදාවේ අපි කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම ඉදිරිපත් කරන මාධ්‍ය ගිරා පෝතක පිරිසක් ඇතිවීම.

 

  • එක් එක් ප්‍රතිරූප පිම්බීම, සඳහා මහජන මුදල් වැයකරමින්, මාධ්‍ය සංදර්ශන පැවැත්වීම.

 

  • දෙවැනි මට්ටමේ හමුදා ප්‍රධානීන් තුළ ද, ප්‍රතිරූපය පුම්බාගැනීමේ අභිලාශයක් ඇතිවීම හේතුවෙන්, ඒ ඒ හමුදා ප්‍රධානීන්, (යුද හමුදාවේ සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ඒ හා සමාන නිළධාරීන්) තමන්ව පුම්බන මාධ්‍ය කණ්ඩායම් තබාගැනීම.

 

  • සමහර මාධ්‍යවේදීන්, ත්‍රිවිධ හමුදාවේ සමහර ඉහළ නිලධාරීන්ව, තම පන්ති සගයන්ගේ මට්ටමෙන් ඇසුරු කිරීම නිසා, ත්‍රිවිධ හමුදාවේම සමහර මාණ්ඩලික නිලධාරීන්ට, එම මාධ්‍යවේදීන්ගේ අතවැසියන් ලෙස ක්‍රියා කිරීමට සිදුවීම.

 

  • මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන එක්තරා මාධ්‍යවේදියකු, එක්තරා හමුදාපති කෙනෙකුට කොතරම් සමීපව සිටියේදයත්, අපට, එම මාධ්‍යවේදියා සිටින තැන, කට පරිස්සම් කරගැනීම පිළිබඳව ඉතා සැළකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවිය. අපිට වාතයක් ගියත්, ඒ ‘මාධ්‍යවේදියා’ එම සිද්ධිය, සමහරවිට අර හමුදා ප්‍රධානියාගේ පෞද්ගලික නිවස්නය වෙත ගොස්, වහාම වාර්තා කිරීමට පුරුදුවී සිටියේය.

 

  • යුද සමයේදී උතුරු නැගෙනහිර හමුදා කඳවුරු වලට පැමිණි සමහර මාධ්‍යවේදීන්, ඉහළ නිළධාරීන්ට කෙසේ වෙතත්, අපටනම් මහා හිසරදයක් විය. හමුදාවෙන් කන්න බොන්න හුරුවූ සමහර අය, තමන්ගේ සේවය ඇගයීමක් වශයෙන් හමුදා කඳවුරු වලින් ඔවුන්ට අහාර සහ නවාතැන් දෙන බව අමතක කර, පහළ මට්ටමේ අපේ නිලධාරීන්ට ‘ජාති දාන්නට’ පවා පෙළඹුණි. ඕනෙවට වඩා වැඩිනම්, ඒවා අඩුකරනහැටි අපි දන්නා බව ඔවුන්ට කියාදීමට සිදුවිය. හමුදාවේ නිළධාරි නිවස්න වල ඔවුන්ට නවාතැන් දීමෙන් මහා හිරිහැර ඇතිවිය. තමන්ට ලබාදුන් කාමරයේ නොසිට, උඩුකය නොවසා, සරම පිටින් එළියේ ඇවිදීම, නිළධාරීන්ගේ භෝජන ශාලාවේදී, ආහාර ගන්නා අවස්ථාවේදී, මේසයකට නිසි පරිදි වාඩිවී, මහත්වරුන් මෙන් ආහාර නොගෙන, මුළු භෝජන ශාලාවටම ඇසෙන පරිදි මහ හඬින් කතාකිරීම, හමුදාවේ සුළු සේවකයන් තමන්ගේද සේවකයන් යයි සිතීම හා ඔවුන්ට අවමන් කිරීම, බැණවදීම, තමන්ට දරාගත නොහැකි තරම් මත්පැන් පානයකොට, බලු පදමට පත්ව විකාර කිරීම, සෑම නිළධාරියකුටම මචං කියා ඇමතිය හැකියැයි සිතීම. (අපි සෑමවිටම ඔවුන්ට මිස්ටර් කියා ආමන්ත්‍රණය කළෙමු) කඳවුරකට ඇතුළුවීමට/පිටවීමට නොහැකි අවස්ථා වලදී, ඇතුළුවීමට සහ පිටවීමට උත්සාහ කිරීම සහ ආරක්ෂක හේතු නිසා එයට අවසර නොදුන්විට, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට දුරකථන ඇමතුම් ලබාදී, අපට බලපෑම් කිරීම, උදාහරණ කීපයකි.   

 

  • සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට ආරක්ෂක තොරතුරු ලිපියක් ලියූ මහා මාධ්‍යවේදියකු, වරක් මගෙන් රට කුණුහරප අහගත්තේ, වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේදී, එවකට යුද හමුදාපති වරායව සිටි, ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය විසින් ප්‍රධානත්වය ඉසිලු, හමුදා සාකච්ඡාවක දී, කතාකලේ මොනවාද යන්න, මගෙන් හාර හාරා අසන්නට යාම නිසාය. මේ සඳහා ඔහු, මුලින්ම මට තෑගිබෝග දෙන්නට උත්සහ කල අතර, ඒවා ආපසු හරවා යැවීමෙන්, මම අල්ලසෙන් බේරුනෙමි.

 

   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය මර්දනයක් දියත් කලාද? මාධ්‍ය වලට අභියෝග කරන්නට කිසිවකුටත් නොහැකි යයි මාධ්‍ය සංවිධාන කියයි. ඔවුන් එසේ කියන්නේ කුමන පදනමක සිට ද? මාධ්‍ය මගින් වක්‍රාකාරයෙන් රටේ අධිකරණය, නීතිපති, පවා විවේචනය කරන්නේනම්, මාධ්‍යවල ක්‍රියාකලාපය පිලිබඳ විවේචන එල්ල කිරීමට කිසිවකුටත් අයිතියක් නැතිද? පවතින සෑම රජයකටම, පක්ෂපාතී වන්දිභට්ට මාධ්‍ය ආයතන සහ, සෑමවිටම විරුද්ධවන මාධ්‍ය ආයතන මෙන්ම, බොහෝදුරට මධ්‍යස්ත මාධ්‍ය ආයතන, කාලීනව තම ප්‍රතිපත්ති වෙනස්කරන මාධ්‍ය ආයතන, තිබෙන බව අපි දනිමු. රටේ ජනාධිපතිවරයාව, හරකා, බල්ලා, බූරුවා, වැනි වචන වලින් අපහාසයට ලක්කරන්නට, කාටූන් අඳින්නට, මාධ්‍ය වලට නිදහස ඇත්නම්, සමහර මාධ්‍යවේදීන්ගේ සදාචාරාත්මක නොවන, යටිකූට්ටු, විරුද්ධවාදී දේශපාලකයන්ගේ කාලසටහන් ක්‍රියාත්මක කෙරෙන, චර්යාවන් විවෙචනය කිරීමය අයිතිය ඇත්තේ කාටද? මේ ගැන ඔබේ අදහස් සමග අපි සංවාදයක යෙදෙමු.

   FM නාලිකාවල සිටින නිවේදක නිවේදිකාවන් යයි කියාගන්නා, බාල බොළඳ සිඟිත්තන් සිඟිත්තියන්, බහුකාර්ය තමෝපකාර = තමන්ටම උපකාර කරගන්න නරි නාටක චරිත, මේ ලිපිය ලිවීමේදී සිතාමතාම අමතක කළේ, ඔවුන් පිළිබඳව සාකච්ඡා කිරීම කිසිදු ඵලයක් නැති බැවිනි.

2016 පෙබරවාරි මස 01 වැනි දින 0904 පැය

Advertisements

Comments on: "මාධ්‍යවේදියා ! මේ කවුද මොනවද කරන්නේ?" (8)

  1. මේ ලිපිය නෙත ගැටුනෙ අහම්බෙන් විචාරක තුමා. අලුත්වැඩියා කිරිම් නිසා සංක්‍රාන්තිසමයක ඉන්න මම කියවන බ්ලොග් මග හැරි ගිහින්. මාධ්‍ය ගැන මොනවා කියන්නද කියලා තේරුම් ගන්න බැරිතරම්. ඒ හතරවෙන් ආණ්ඩුව කියනවා නේ. අර ඉස්සර තිබුණ විදිහට තිබුණ නං හොඳයි වගේ. අතන මෙතන කුණු අව්ස්සන එක ටිකක් හරි අඩුවේවි. රූපවාහින්ය, පත්තර, ගුවන්විදුලිය, චිත්‍රපටි වගේ දෙවල් හින්ද අන්දමන්ද වෙනවා. හුඟක් අය ඉන්නෙ අරවයෙ පෙන්නන දේවලින් මත්වෙලා.
    2000 දී විතර බළන්ගොඩ සිසුන් පිරිසක් එල් ටී ටි ග්‍රහණයට හසුවී ඇතැයි ප්‍රචාරය වීම නිසා මුළු රටම මහ විශාල මුලාවකට වැටුන හැටි, තවත් වරක් ඇඳිරි නීතියි පණවා ඇති බවක් හදිසියේම ප්‍රචාරය වීම නිසා මුළු දවසක කටයුතු අඩපණ වීම මාධ්‍ය මගින් ක්ෂණිකව ඇති කළ කෙටිකාලීන වෙනස් කම් දෙකකට උදාහරණ. අපේ රට දැන් ඉන්නෙ හතරවෙනි ආණ්ඩුවත් වගකීමක් නැති පිරිසක් අතට ගිහින් තියන තත්තවයක.

    • හතරවෙනි ආණ්ඩුව කොහොම වෙතත් ගුණසිංහ මහත්තයෝ, හතර අතේ යන ආණ්ඩුවක් කියලා නම් කියන්න පුළුවන් දැන් තියන මාධ්‍ය වලින් බහුතරයක හැසිරීම බැලුවම.

    • විචාරකෙගේ…පත්තර ලිපිය..නිවැරදිය….මේ මාධ්‍යවේදියෝ….වෙනම ලෝකයක ජීවත් වීමටත්,,අවශේෂ සැලකිලි…හා…වෙනම උසස් සමාජ තලයකට අයත් ඇය බවත්..තරයේ විශ්වාශ කරති….රාජපක්ෂ සමයේ..රාජපක්ෂ වරුන් විසින්…මේ මාධ්‍ය වෙදියන්ව…මුරුංග ඇත්තටම උස්ස තබන ලදී…මුරෙඋන්ග ගැහෙ..නැගීමට අකමැතිවූ..මාධ්‍යවේදියෝ…කටු ඉබුල් ගැහෙ නග්ගවන ලදී….අදත්…කතා විදියට..මහින්ද පුම්බන වැඩ සටහන් ඉදිරිපත් කරන…tv channel දෙකක් අපගේ නිරීක්ෂනයට හසුවී ඇත…මහින්ද වාදීන් විසින් ඉතාම සුක්ෂමව දියත් කර ඇති…මහින්ද අපට ඕනේ…මහින්ද රටට ඕනේ..මහින්ද නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් කවදාක වත් දිනන්නේ නැහැ…යන විලාපය…රට පුරා..සංවිධානාත්මකව..මධ්ය් හරහා…ජනතාව අතරට ගෙන යන කුටක…ක්‍රියාදාමයේ…දී…සමහර මාධ්‍ය එම වැඩ පිලිවෙඅට දෙනු ලබන ප්‍රසිද්ධිය හැ…සමහර මාධ්‍ය වේදීන් මහින්දගෙන් අහන ප්‍රශ්න..බැලීමේදී.මෙම මාධ්‍ය වේදීන්….කතා විදියට….තම මාධ්‍ය සදාචාරය…හත් පලේ ගාගන්න බවක් පෙනේ…..කිසි විටෙක.මෙම මාධ්‍යවේදීන්…මහින්දගෙන් නොඅසන…නමුත්…මේ විගඩම් බල සිටින..ජනතාවට සිහිවෙන…ප්‍රශං…එනම්….මහින්දගේ..පාලන සමයේ..සිදුවූ…මාධ්‍යවේදීන් ඝාතන,,පහර ගැනීම්,,ආදී සියයකුත්…මර කම් ගැන වචනයක් අහන්නේ නැත.කණගාටුවෙන් නමුත්..කීමට ඇත්තේ…මාධ්‍යවේදිය යනු….දේශපාලකයන් සෙවනේ..කටු කින්…වැඩෙන කීකරු කවලම් බල්ලෙකි…

      • ඔබ ඉතා කෙටියෙන් සහ සරලව කියන්න තිබෙන දේ කියා තිබෙනවා. බොහොම ස්තුතියි. මාධ්‍ය මාෆියා කියන ඒවා බිහිවුනේ 80 දශකයේ ඉඳලා ඉදිරියටයි. අද මොකද වෙන්නේ කියන එක ටිකක් විවෘතව බැලුවම පැහැදිලිව පෙනෙනවා. තමන්ගේ වාසියට මාධ්‍ය හසුරවන හදන කොයි දේශපාලකයාත් අන්තිමට පස්ස බිම ඇනගන්නවා.

      • ලංකාවේ පමණක් නොව බටහිර ද තත්වය මෙසේමය, බටහිර මීට වඩා බලවත් ලෙස රුපර්ට් මර්ඩොක් මාධ්‍ය ජාලා හරහා සිද්ධවන්නේ ද මේ කොටසම ය.

  2. හරියටම හරි විචාරක තුමා ඒක හොඳම අර්ථ කථනයක් කෙටි කළාම “හතරවෙනි ආණ්ඩුව හතර අතේ යනවා” කියල වචන පහකින් කිව්වෑකි.

  3. […] කිරීම කිසිදු ඵලක් නැති බැවිනි.  https://jangun.wordpress.com උපුටා ගැනිම […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: