විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Soldier   හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ…….. අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා……..? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් හයිබ්‍රිඩ් වුනාම මොකද වෙන්නේ? හොඳයි, එහෙනම් කතාකරමුද හයිබ්‍රිඩ් යුද්දේ ගැන. නෑ නෑ බොරු කතාවක් නෙවෙයි. බොරු කියන්නේ ආයේ චන්දෙ ඉල්ලන්නයැ. ඇත්තටම හයිබ්‍රිඩ් යුද්දේ කියලා දෙයක් තියනවා. ඔන්න අහගන්නකො විස්තරේ. මෙය තරමක් ගැඹුරු, එමෙන්ම කෙටි ලිපියක් බවත්, සඳහන් කරන්නට කැමතියි. 

   හයිබ්‍රිඩ් යුද්දේ කියන්නේ, සාම්ප්‍රදායික සංග්‍රාමික මූලෝපාය, අසම්මත සහ අවස්ථානුකූලව සකසාගත් උපක්‍රම මෙන්ම, සයිබර් සංග්‍රාමික ක්‍රියා පදනම් කරගත් යුද්ධෝපායයක්.

   පරිගණක ක්‍රීඩා කරන අයනම් සයිබර් යුද්ධ කරලා ඇති. සයිබර් යුද්ධයක් කියන්නේ, සතුරු පාර්ශ්වයේ පරිගණක පද්ධති වල රහස් පද බිඳදමමින්, ඒ පද්ධති වලට ඇතුළුවී, ඒවා අවුල් කිරීම, අඩපණ කිරීම සහ/හෝ සම්පූර්ණයෙන් විනාශකිරීම බව, ඔබ දන්නවා ඇති. අපේ රටේ පැවති ඊලාම් යුද්ධයේදී, හයිබ්‍රිඩ් යුද්ධයේ දී ක්‍රියාකරන ආකාරයට සමාන ආකාරයෙන් කටයුතු කළ අවස්ථා තිබුණා. නමුත් බොහොම සුළු පරිමාණයෙන්. ඇත්තවශයෙන්ම වැඩිපුර ක්‍රියාත්මක වුනේ ප්‍රති ත්‍රස්තවාදී යුද්ධෝපක්‍රමයි.

   අපි හයිබ්‍රිඩ් යුද්ධය කළේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය සාම්ප්‍රදායික යුද්ධයකදී (Conventional Warfare) වගේ, සතුරාට දැනෙන්න, යුද්ධ භූමියේ, යුද ටැංකි, කාලතුවක්කු, මල්ටිබැරල් රොකට්, ස්ථානගත කරනවා. නියමුවන් සහිත/රහිත ගුවන් යානා, මගින් ඔත්තු බලනවා, නාවික ප්‍රහාරක යාත්‍රා, සතුරු ප්‍රදේශ ආසන්න මුහුදේ, මුර සංචාරවල යොදවනවා.

   අපි හිතමු මුලතිව් ප්‍රදේශය ආශ්‍රිතව මෙහෙම කරනවා කියා. එවිට සතුරා හිතන්නේ, අපි මුලතිව් අල්ලන්න එනවා කියලයි. සතුරා, තම උපරිම ශක්තිය මුලතිව් බේරාගැනීමට යොදවන අතරේ, අපි කමාන්ඩෝ හෝ විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් සතුරු ප්‍රදේශයට රිංගවා, සතුරා බලාපොරොත්තු නොවන, විනාශකාරී ප්‍රහාර එල්ලකොට ආපසු එනවා. ඊට පස්සේ කාලතුවක්කු, මල්ටි බැරල්, ගුවන් ප්‍රහාර වලින් ගහනවා. මේ අතරේ සයිබර් වැඩත් කරනවා. අපිට තිබෙනවා ලෝකයේ ඉතාම නවීන ගුවන්විදුලි උපකරණ. මේ උපකරණ මගින්, සතුරු පණිවිඩ වලට සවන්දෙන අතරම, එම සතුරු පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිබෙන්නේ, භූමියේ කොතනකද යන්න සොයාගැනීමත් කළා. ස්ථාන කීපයක සිට, අපේ සවන්දීමේ ගුවන්විදුලි යන්ත්‍ර යොදවා, ඒ ඒ යන්ත්‍රයට සතුරු පණිවිඩය එන දිසාව, එම යන්ත්‍රයේ පෙන්වන ආකාරයට සිතියමක ජ්‍යාමිතික රේඛා අඳිනවා. අපේ සවන්දීමේ යන්ත්‍ර ඇති ස්ථාන, සිතියමේ ලකුණු කරගෙනයි එහෙම කරන්නේ. අර සියලුම ජ්‍යාමිතික රේඛා, එකිනෙක කැපීයන ලක්ෂ්‍යයේ තමයි, සතුරු ගුවන්විදුලි යන්ත්‍රය තිබෙන්නේ. අපිට අවශ්‍යනම්, කාලතුවක්කු, මල්ටිබැරල්, ගුවන් ප්‍රහාර යොදවා ඒ ස්ථානය විනාශ කරනවා.

   සතුරු ගුවන්විදුලි යන්ත්‍රයෙන් කතාකරන දේ අපට වැදගත් වෙනවා. සතුරාගේ ඉදිරි කටයුතු, සතුරාගේ නායකයන්ගේ ගමන් බිමන්, සතුරු කඳවුරු ඇති ස්ථාන, අවි ආයුධ ගබඩා ඇති ස්ථාන, ආදී විවිධ තොරතුරු සොයාගතහැකි ආකාරයේ පණිවිඩ නම්, එකවර පහර නොදී, අපට අවශ්‍ය තොරතුරු හැකිතරම් ලබාගන්නාතෙක්, අහගෙන ඉන්නවා. ලබාගන්නා තොරතුරු පටිගත කොට, රහසිගතව ඉහල මූලස්ථාන වෙත ලබාදෙනවා. අපේ ක්‍රියාන්විතයක් සිදුවන අතරතුර, සතුරු ගුවන්විදුලි පණිවිඩ අවුල් (jam) කරනවා. ඒ සඳහා විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. 

DF Set

Portable DF Set

DF Antenna

   හයිබ්‍රිඩ් යුද්ධය සමහර අවස්ථා වලදී තේරුම්ගත නොහැකිතරම් සංකීර්ණයි. උදාහරණයක් වශයෙන්, එය, හෞතිකව එල්ලවන විවිධාකාරයේ ප්‍රහාරයන් සමග, රටක් තුළ හෝ රටින් පිටත සිටින විවිධ දේශපාලන, ත්‍රස්තවාදී, බෙදුම්වාදී බලවේග මගින්, හයිබ්‍රිඩ් යුද්ධයට මැදිවී සිටින ජන සමාජයන්හි, චින්තනය, චර්යාව, වෙනස්කිරීම සඳහා, විවිධ ප්‍රචාරණ වැඩ පිළිවෙල, උද්ඝෝෂණ, වැඩවර්ජන, පෝස්ටර් ඇලවීම, පෙළපාලි යාම, සිවිල් නීති කැඩීම, වැනි නොයෙක් මුහුණුවරින් ක්‍රියාත්මක වියහැකියි.  

   එක්සත් ජාතීන්ගේ සංවිධානය, පවා පිලිගන්නවා හයිබ්‍රිඩ් යුද්ධය වරින්වර මුහුණුවර වෙනස්වන, වරින්වර උපක්‍රම වෙනස්වන, වරින්වර අරමුණු වෙනස්වන, සංකීර්ණ සංග්‍රාමික තත්වයක් බව.

   මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගෙන තිබෙන ගැටුම්, අළුයට ගිනි පුපුරු මෙන් තිබෙන අතර, හිස්බුල්ලා වැනි සංවිධාන එළිපිටම ඊශ්‍රායලය සමග ගැටෙනවා. නමුත් හිස්බුල්ලා වැනි සංවිධාන, වෙනත් රටවල් විසින් නටවන රූකඩ පමණයි. ඇත්ත සතුරන් කවුදැයි එකවර හඳුනාගන්නට නොහැකිවීමත්, හයිබ්‍රිඩ් යුද්ධයේ විශේෂත්වයක්. හයිබ්‍රිඩ් සංග්‍රාමික තත්වයන්ට පැටලෙන ලෝකයේ සමහර රටවල්, කුමක් කළයුතුයි සිතාගත නොහැකිව, මානුෂවාදී නීති උල්ලංඝනය වන ආකාරයටද ක්‍රියාකිරීමට ඉඩ තිබෙනවා.

   හයිබ්‍රිඩ් යුද උපක්‍රම මගින්, ක්‍ෂණික ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය විසින්, අන්තවාදී මුස්ලිම් සංවිධාන ක්‍රියාත්මකව පවතින මැද පෙරදිග රටවල, ත්‍රස්තවාදී නායකයන්ගේ පණිවිඩ හුවමාරු සංඥා ග්‍රහණය කරගෙන සැක කටයුතු ස්ථාන වෙත, ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් අන්තවාදී නායකයන්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කතාකිරීම නවත්වා දැමුනු අතර,  දිවාකාලයේ එළිමහනට පැමිණීමද අත්හැර දමන ලදී.

   මෙතෙක් අත්හදා බලා නැති, නවීනතම සහ වඩාත් දරුණු යුද්ධායුධ වර්ග අත්හදා බැලීමටත්, හයිබ්‍රිඩ් යුද්ධ යොදාගන්නවා. මෙහිදී විවිධ රසායනික අවි මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කොට තිබෙන, සමූල ඝාතක අවි වර්ග පවා එළියට එන්නට පුළුවන්.

   යම්කිසි රටක තිබෙන සාමකාමී තත්වය කඩාකප්පල් කොට, ඒ රටතුළ සිවිල් යුද තත්වයන් ආරම්භ කිරීමෙන්, තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමටත්, හයිබ්‍රිඩ් යුද උපක්‍රම යොදාගත හැකියි. මෙවැනි කටයුතු සඳහා යම් රටක, අභ්‍යන්තරව හෝ බාහිරව සරණාගත තත්වයට පත් මහජනතාව, පහසුවෙන් පොළඹවා ගතහැකියි. විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයන් උපයෝගී කරගනිමින්, සත්‍යය වසන් කොට මහජන චින්තනය වෙනස් කිරීමට ක්‍රියාකිරීම ද, හයිබ්‍රිඩ් යුද්ධයේදී දකින්නට ලැබෙනවා. 

2016 ජනවාරි මස 25 වැනි දින 2220 පැය

Advertisements

Comments on: "හයිබ්‍රිඩ් යුද්දේ – Hybrid warfare" (9)

  1. බලාගෙන ගියහම ලංකාවේ එදා ඉඳලම හයිබ්‍රිඩ් යුද්ධය කියන දේ තිබිල තියෙනවා. අදටත් තියෙනවා වගෙයි මට පේන්නේ.
    විචාරක තුමනි, ත්‍රස්තවාදීන්ගේ තොරතුරු තාක්ෂණ අංශය කොයි තරම් දියුණු වෙලා තිබුනද? කිහිප සැරයක්ම ගුවන් ප්‍රහාර එල්ල කරන්න උත්සාහ කරා වගේ සයිබර් ප්‍රහාර වලට උත්සාහ කරලා තියෙනවද? යුද්ධ හමුදාවේ තොරතුරු තාක්ෂණ ඒකකයක් තියෙනවද? ත්‍රස්තවාදී තර්ජන තියෙන කාලේ යුද්ධ හමුදාවේ පරිගණකගත පද්ධති හා ලංකාවේ තියෙන තොරතුරු තාක්ෂණ මර්මස්ථාන ත්‍රස්තවාදීන්ගේ සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා කරගත්තේ කොහොමද?

    • මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම හයිබ්‍රිඩ් යුද්දේ තියෙන්න ඇති. ඒ කාලයේ දියුණුම ආයුධ ගල් දුන්න වගේ දේවල් නේ.

      LTTE ත්‍රස්තවාදීන්, තොරතුරු තාක්‍ෂණයේදී ප්‍රමුඛත්වයක් දී තිබුනේ, පණිවිඩ හුවමාරු කටයුතු වලට පමණයි. නමුත් සංවිධානයට අයත් මුදල්, ප්‍රධාන පුද්ගලයන්ගේ විස්තර ආදිය, ඔවුන් ක්ලවුඩ් ක්‍රමයකට හංගලා තියන්න ඇති කියා මම පෞද්ගලිකව හිතනවා. ඒ වගේම එවැනි තොරතුරු පිළිබඳව කටයුතු කල අය, පිටරටවල සිට එසේ කරන්නට ඇතැයි කියා සිතනවා. ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධති අපට භෞතිකව අසුවුනේ නැහැ. ලැප්ටොප් පරිගණක, පණිවිඩ හුවමාරු යන්ත්‍ර, තමයි අහුවුනේ.

      ත්‍රස්තවාදීන්ට ඒ කාලේ ශක්තියක් තිබුනේ නැහැ, සයිබර් ප්‍රහාර එල්ල කරන්න අපේ පද්ධති වලට. දැන් තමයි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුත්තේ. LTTE සංවිධානය තවමත් සම්පූර්ණයෙන් මියගිහින් නැහැ.

  2. සයිබර් යුද්ධ ගැනත් පොස්ට් එකක් දානවද!!😊😊

  3. මං හිතන්නෙ අපි මේ අද මුහුනදීල තිබෙන වර්ථමාන දේශපාලනයේ යම් යම් යථාර්තමය දේවල් අමතක කරවන්න ආන්ඩුව විවිධ ටූල් පාවිච්චි කරනවා.. ඒ අතර ඔය කියන සිංහල බෞද්ධ සංවිධානත් මෙහෙයවන්නේත් ආන්ඩුවෙන්මය කියලා මට හිතෙනවා..

    මේ අවස්ථාව් ඉන්දියානු දීග ගිවිසුම ගැන කතාබහ ඇතිවෙමින් තියෙන වෙලාවක ආයෙත් ඥාණසාර සාදුගේ මොකක් හරි ස්ලයිඩ් එකක් සහ සිංහලේ උඩ ඒම නිකං දේශපාලනික නොවන ඕපපාතික සිද්ධිම නෙමෙයි..මොකක් නමුත් ආතල් එකක් යටින් තියෙනවා වගේ..

    • ඕනෑම ආණ්ඩුවක් තමන්ට එන අභියෝග වලට උපක්‍රමිකව පිළිතුරු දෙනවා. කල්මැරීමත් එක උපක්‍රමයක්. ඉස්සර පික්පොකට් කාරයෝ හිටියා, සෙනග ගැවසෙන තැනක, බොරුවට ගහගන්න. දෙන්නෙක් ගහගන්නකොට, එතනට රැස්වෙන මිනිස්සුන්ගේ පොකට් එකට ගහලා මාරුවෙන තුන්වැන්නෙක් හිටියා. ඔව්වා එදත් අදත් ඔහොම තමයි.

      ඥානසාර වැනි පුද්ගලයන් ගැන කතාකිරීමත් අප්‍රිය සහගතයි.

  4. ක්සැන්ඩර් said:

    ස්ටක්ස්නෙට්, සයිබර් ප්‍රහාරයක් සඳහා වූ පළමුවන වයිරසය වැනි දෑ, ෆයර් ස්ටෝර්ම් වැනි විනාශකාරී ප්‍රහාර අද සාමාන්‍ය යුද්ධය අබිබවා යමින් පවතින බව මගේ නම් මතයයි.

    • තීරණාත්මක අවස්ථාවන්හිදී පාවිච්චිය සඳහා නිපදවා සඟවාගෙන ඉන්න ප්‍රහාරක පරිගණක වැඩසටහන් ලෝකයේ බොහෝ රටවල තිබෙනවා.

  5. මේවා ගැන අසන්න දකින්න ලැබිම ගැන හරි සතුටුයි.මෙකනම් අදාල ප්‍රස්නයක් නොවයි.වැදගත් දෙයක්
    1.හමුදා නිලධාරින් salute කල යුතු භාහිර පුද්ගලයින් කව්ද ?(රාජ්‍ය නිලධාරින්,ඇමති මන්ත්‍රිවරු ඇතුළුව) Army act අනුව pls මේවා ගැන හරියටම අපිට අහන්න ඉන්නේ ඔබතුමා නේ TX

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: