විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


2016   අප්පේ………………..අලුත් අවුරුදු සුබපැතුම් දෝරේ ගලනවා නේද මේ දවස්වල?

  කියලා වැඩක් නැහැ. විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම්, සුබපැතුම් පත්, එකී මෙකී නොකී දේවල්, හැටහුටහමාරක් සිද්ද වෙනවා. මට එකවරම මතක් වෙන්නේ, දැනට දශක හතරකට පහකට විතර ඉස්සර, ජනවාරි පළමුවැනිදා ගෙවුණු හැටි පිළිබඳවයි.

  කොහොමද ගෙවුණේ?

 ගෙවුණේ ඉතින් වෙනදා වගේම එච්චර ලොකු විශේෂත්වයක් නැතුවයි. ජනේරුව ඉහළින් සමරුවේ, කතෝලික බැතිමතුන් පමණයි.

   ඒ කියන්නේ තමුසෙලා බුම්මගෙන හිටියා? අල්ලපු ගෙදර මිනිහටවත් විශ් කලේ නැහැ.  

  අන්න එතන තමයි ළමයෝ පුරස්නේ. ඒ කාලේ ඔය විෂ තිබුණේ නැහැ, ගම්වල ජීවත්වුණු මිනිස්සු අතරේ. අපි සහ අපේ අල්ලපු ගෙදර මිනිහා අතර. ඒකට හේතු කීපයක් තිබුණා. අල්ලපු ගෙවල් කියලා බොහොම ටිකයි තිබුණේ, බොහෝවිට අල්ලපු ගෙදර තිබුණේ, මීටර් 50 ක් 100 ක් හෝ ඊටත් වැඩි දුරින්. ඒ නිසා, විශ් කිරිලි කොහොම වෙතත්;

   අපේ ගෙදර ඉඳුල් වතුර, අල්ලපු ගෙදරට නොවැටෙන්න විසි කරන්න,

   දැන් කාලේ සංදර්ශන වේදිකා වලට විසිකරන අර අහවල් ඒවා, නිදහසේ හෝදලා වැලේ වනන්න,

   හොඳට බුලත්විටක් කාලා කෙලපාරක් ගහන්න,

   ආණ්ඩුවේ පැත්තට හුළං ටිකක් වැඩිපුර වදින්න, සරම ටිකක් උස්සගෙන, මිදුලේ හක්කොලන් කොරන්න,

   කේන්තියක් ආවම මිදුලට බැහැලා බැණ අඬගහන්න,

   හදිසියකදී හොඳ හූවක් කියලා අසල්වැසියන් ගෙන්වාගන්න,

   දැන් වගේ පෙළපාළි වලට ‘අඳින්නේ’ නැතුව, ඇත්තටම ගොවිතැන් කටයුතු සඳහා අමුඩේ ‘ගහන්න’,

   අල්ලපු ගෙදර මිනිස්සු 119 ඇමතීමකින් තොරව, සිංහල අවුරුද්දට, ඇති තරම් රතිඤ්ඤා, බීරංග, උණවෙඩි, චීන පටස්, පත්තු කරන්න, (බීරංගය දන්නේ නැති අය, විමසීම යෙහෙකි)

   පුළුවන්කම තිබුණා. 

   ඒ වගේම කොච්චර ඈතින් ගෙවල් තිබුණත්, අපි එකිනෙකා බදාගෙන, බෙදා හදාගෙන හිටියා. කොයි ගෙදරත් ළමයි කාගේත් ළමයි ලෙස සැලකුණා. මට මතකයි, මම රස්තියාදුවේ ගිහින්, මගේ පියාගෙන් ගුටි කෑ අවස්ථා කීපයකදීම, මා රස්තියාදුවේ ගියබව, මගේ පියාට වාර්තා කර තිබුණේ, අපේ අසල්වැසියන්, අපි බඩුගන්න කඩේ මුදලාලි, වැනි අය. නමුත් එළෙස මගේ තත්වයට වැටුණු ළමයි කවුරුවත්, ඒ වැඩිහිටියන් සමන්වන්න ගියේ නැහැ. තරහක් ඇතිවුණත් ටික කාලයයි. ඒ වැඩිහිටියාම, අපිට, ‘ඉඳා පුතේ ලොසින්ජරයක්’ කියා අපට යමක් දෙනවා. ‘මගේ පුතා ආයේ රස්තියාදුවේ යන්ඩ එපා’ කියලා කරුණාවෙන් කියනවා, තමන්ගේ ළමයෙකුට වගේ.

   අපි හිතේ හැටියට සුබපැතුවේ සිංහල අවුරුද්දටයි. පටන් ගන්නේ පන්සලෙන් නොවැ. ඊට පස්සේ ගමපුරා කෑම පිඟන් අරන් යනහැටි, නෑ දෑ ගමන් යනහැටි, කියන්න ඕනේ නැහැනේ. කෙලින්ම විශ් එක මූණටම දෙන්න පුළුවන් ඒ නිසා. අද කරන විදිහට, කණ්ඩායම් කෙටි පණිවිඩ, කුට්ටි විද්‍යුත් තැපැල් ගහලා, ඔන්න මම ඔක්කොටම සුබ පැතුවා කියලා හිත හදගන්න පුළුවන්ද? ඇත්තටම පුළුවන්ද? මටනම් බැහැ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මුහුණට හමුවන අයට පමණයි, ජනවාරි පළමුවැනිදාට, සුබ අලුත් අවුරුද්දක් වේවා! කියා කියන්නේ. නමුත් මට එන විද්‍යුත් සුබපැතුම් වලට පිළිතුරු දෙන්නේ, යාලුමිත්‍රකම් රැකගැනීමේ අභිලාෂයෙන් විනා, එහි කිසිදු වැදගත්කමක් ඇති නිසා නොවේ. ජනවාරි පළමුවැනිදා වෙනුවෙන් සුබපැතුම් පත් යැවීමට වඩා මා ප්‍රියකරන්නේ, වෙසක් සුබපතුම්පතක් යැවීමටයි. 

   සිංහල අවුරුද්දට ගෙදර නොඑන, තම විවාහක දරුවන් නිසා සිත්තැවුලට පත්වන වයසක දෙමව්පියන් පිළිබඳ කෙටිකතා, නවකතා, චිත්‍රපටි, ටෙලිනාට්‍ය, කොපමණ බිහිවී ඇද්ද? එම නිර්මාණ බලා, ඒ ප්‍රශ්නය විසඳී ඇද්ද? එය කවදාවත් සම්පූර්ණයෙන් නොවිසඳෙන ප්‍රශ්නයක් බව, මුලින්ම අවබෝධ කරගත් යුත්තේ, අපේ වයසේ ඉන්න වැඩිහිටි පරපුරයි. අපේ වැඩිහිටි පරපුර, වර්තමානයට අනුව හැඩගැහීම අතින් නම්, තවමත් ඉන්නේ බොහොම පසුගාමීවයි.  

   ජනවාරි පළමුවැනිදා උදේ, මත්පැන් ගඳ වහනය වෙමින් ඉන්නට, රතුවූ දෑසින්, බමන මතින් ඉන්නට, මා අතිශයින් අප්‍රිය කරනවා. ඒ නිසා, බොහෝවිට, නොගියොත් මිත්‍රත්වය පළුදුවන තරමේ, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සාදයකට ඇරයුමක් ලැබුනොත්, මා සෑමවිටම කරන්නේ, බීර ස්වල්පයක් පානය කිරීම පමණයි. ජනවාරි පළමුවැනිදා මට අතිවිශේෂ දවස නොවූවත්, එලෙස සලකන කෙනෙකුට එදින උදේම මා මුණගැහුනොත්, ඔහුගේ/ඇයගේ අප්‍රසාදයට ලක්වන්නට මා කැමති නැහැ.

   ‘ජනවාරි පළමුවැනිදා අලුත් ආරම්භයක් ගන්නවා’ කියන අයගෙන්, සීයට කී දෙනෙක්ද ඒ ආරම්භය, ඒ අවුරුද්ද පුරා පවත්වාගෙන යන්නේ? ඒ නිසා, මා නම් හිතන්නේ, ජනවාරි පළමුවැනිදා, වෙසක් දවස, නත්තල් දවස, වැනි කිසිම ජාතික ආගමික දවසක් අවශ්‍ය නැහැ, ජීවිතයේ අලුත් ආරම්භයක් ගන්නට. සුදුසුම දිනය අද, වෙලාව මේ දැන්, කා එක්කද? කවුරුවත් අවශ්‍ය නැහැ. ඔබට ඉන්නේ ඔබ පමණයි.

   අද්‍යතන ජීවන රටාව තුළ අපේ ජීවිත යාන්ත්‍රීකරණය වීමේ භයානක ප්‍රපාතයකට අපි වැටෙමින් ඉන්නවා කියා, ඔබට ඉඳහිටවත් දැනෙන්නේ පෙනෙන්නේ නැද්ද? මෙය වලක්වාගන්නේ කොහොමද? එකම එක විසඳුමයි තියෙන්නේ. එකම එක විසඳුමයි තියෙන්නේ. එනම්, අප සියලුදෙනාම, අපට හැකි උපරිමයෙන්, අල්පේච්ඡතාව simplicity වෙත නැඹුරු වීමයි. ඒ තමයි විසඳුම. අල්පේච්ඡතාව, ලොව ආගම් කතුවරුන් බොහොමයක් අනුදැන වදාළ ක්‍රියාමාර්ගයක්. ධනය, බලය, දේපල, වස්තුව, අප සියලුදෙනාට අවශ්‍යයි. නමුත්, එහි සීමාව කොතැනකදැයි සිතා බලන්න. ඒ සීමාව පළමුවද, දෙවනුවද, තුන්වනුවද ඇතිකරගත යුත්තේ, ඔබේ සිත තුළයි.

   සමාජය සමග තරගයට නොගොස්, විවිධ වෙළඳ ප්‍රචාරණ වල ඉලක්ක බවට පත්නොවී, තම ආර්ථිකය කළමනාකරණය කරගන්නට, අසල්වැසියන් කරන කරන දේ ඉවක් බවක් නැතිව කරන්නට ගොස් අමාරුවේ නොවැටෙන තත්වයට පත්වන්නට, සමාජ හරයන් ලෙස, අපේ ඔලුවට බලෙන් ඔබ්බවා තිබෙන, බොහෝ ඊනියා චාරිත්‍ර, ඇත්තටම අපට වැඩදායකදැයි නැවත නැවතත් සිතාබලන්නට, ඔබත්, ඔබේ දරුවනුත් යන්නේ, යම්කිසි පැහැදිළි ඉලක්කයකටදැයි නැවත සිතාබලන්නට, ස්වාධීන චින්තනය මගින්, ජීවිතයේ ස්ථිර අඩිතාලමක් දමාගන්නට, මේ අවුරුද්දේ, මේ දැන් සිට අධිෂ්ඨාන කරගන්නට, ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

   ඒ මගේ පැතුමයි. 

2016 ජනවාරි මස 1 වැනි දින 0001 පැය 

Advertisements

Comments on: "ඔය කවුරු මොනවා පැතුවත්………!" (4)

  1. හැමදේම විකුණන විකිනෙන ලෝකේ පහසුවටත් ලෙසියටත් ඔයවගේ දේවල් කරන එක අහන්නත් දෙයක්ද විචාරක තුමා….

  2. ඔබතුමාට සහ පවුලේ සැමට සතුට, නිරෝගීකම සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා විචාරකතුමා,

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: