විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Doctor with a gun   පසුගිය දිනවල, රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, එක යුද්ධයක් දිනුවා නේද? දැන් ආයෙත් යුද්ධ ප්‍රකාශ කරලා තිබුණ බව, ඊයේ රූපවාහිනියෙන් දැක්කා. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අම්මපා දොස්තර මහත්තුරු ‘ඉස්ටැයික්’ කොරන, ලෝකයේ එකම රට, අපේ රටද මන්දා. මම මේ ඊයේ පෙරේදා, මොකක්හරි තැනක කියෙව්වා, ලෝකයේ එක්තරා රටක, නේස් මිසීලා ඉස්ටැයික් කලොත්, ලෙඩ්ඩුන්ට කරදර නිසා, ඒ රටේ පතල් කම්කරුවෝ වැඩ වර්ජනය කරාලු, මිසීලා වෙනුවෙන්. අම්මපා අපිටත් බැරිද, වින්නඹු මාතාවන්ගේ අයිවාසිකම් වෙනුවෙන්, ගර්භනී මාතාවන්ගේ ඉස්ටැයික් එකක් කොරන්න, අපි වදන්නේ නෑ කියලා. එහෙම නැත්නම්, ලෙඩ්ඩුන්ට බැරිද, දොස්තර මහත්තුරුන්ගේ ඉල්ලීම් දෙනතුරු අපි බෙහෙත් බොන්නේ නෑ, කියලා ඉස්ටැයික් කොරන්න. එහෙමත් නැත්නම්, අපිව මෝචරියට දැම්මත් මැරෙන්නේ නෑ කියලා. අනේ මන්දා අප්පා, මෙව්වට මොනවා කියන්නද කියලා. සාමාන්‍ය දොස්තරලා යුද්ද ප්‍රකාශ කරනවා වගේ නෙවෙයි, හමුදාවේ දොස්තරලා, යුද්දේ කිව්වොත් යුද්දේම තමයි ආයේ දෙකක් නෑ.

   අනේ මේ, ඔය ඉස්ටැයික් යුද්ද විසඳගන්න වැඩේ ආණ්ඩුවටයි දොස්තර මහත්තුරුන්ටයි බාරදීලා, අපි වෙන වැදගත් දෙයක් කතාකරමු. අද මා ඔබ සමග සාකච්ඡා කරන්නේ, යුද්දෙට යන සෙබළෙකුට (සෑම යුද හමුදා සාමාජිකයකුටම) ලැබෙන වෛද්‍යාධාර මොනවගේද කියන එකයි. දැන් මීට කලින් ඔබ ඉගෙනගත්තානේ, යුද්ධයක් හරියට කරන්න නම් පරිපාලන ක්‍රියාවලියකුත් තියනවා කියලා. ඒ වගේම ඔබ දන්නවා, යුද්ධයකදී තුවාල සිදුවන හමුදා සාමාජිකයන්, නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළයුතු බව. එයට හේතුව, යුද්ධයේදී බොහෝවිට සිදුවන්නේ, පතරොම්, බෝම්බ, වැනි දේ වලින් ඇතිවන, භයානක තුවාල නිසා.

   මේ ආකාරයට තුවාල සිදුවන/මියයන අයවලුන්, යුදබිමෙන් ඉවත්කරගැනීම හඳුන්වන්නේ, ‘තුවාලකරුවන් ඉවත්කරගැනීම – Casualty Evacuation = CASEVAC’ ‘කැසිවැක්’ යනුවෙන්. තමන්ට යුද්ධයේදී තුවාල සිදුවුණොත්, ඒ සඳහා ක්‍ෂණික වෛද්‍යාධාර ලැබෙන බවට සහතිකයක් නැත්නම්, සෙබළකු යුද්ධයේදී කැපවීමෙන් සටන් කරන්න මැළිවෙනවා. මේ නිසා, ලෝකය පුරාම, සෑම යුද හමුදාවකම, තුවාලකරුවන් ඉවත්කරගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක වෙනවා. මෙය වෙනමම ස්වාධීන ක්‍රියාවලියක් ලෙසයි සිදුවන්නේ.

   හොඳයි, ඉතින් කොහොමද මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ? හමුදාවේ දොස්තර මහත්තුරු යුද පෙරමුණටම යනවද?

   නැහැ නැහැ. වෛද්‍යවරයෙක් සටන සිදුවන ස්ථානයේ ආසන්නයට යවන්නේ නැහැ. එයට හේතු කීපයක් තියනවා. පළමුවැනි හේතුව තමයි, සටන සිදුවන ආසන්නයේ සිට, මොනම ආකාරයකින්වත් වෛද්‍ය ප්‍රතිකාර දෙන්න බැහැ. කොයි මොහොතේ සතුරු මෝටාර්/කාලතුවක්කු/මල්ටි බැරල් රොකට්/යුද ටැංකි/ගුවන්/ ප්‍රහාරයක් එල්ල වෙයිද කියන්න බැහැ. ඒ නිසා, වෛද්‍යවරයකු සටන් පෙරමුණ අසළටම යවා, ඔහුගේ ජීවීතය හානිවුණොත්,  එය අපරාධයක්.

   ඒ වගේම වෛද්‍ය උපකරණ උස්සාගෙන, සටන් පෙරමුණට පසුපසින්, තැනින් තැන යන්න බැහැ. එහෙම කලොත්, ඒ වෛද්‍ය කණ්ඩායමේ ආරක්ෂාවට, වෙනම සෙබළුන් යොදවන්න වෙනවා. ඒ සඳහා යොදවන්න වෙන්නේ, පාබල සෙබළු. ඒ කියන්නේ, පෙරමුණේ සටන් කරන්න ඉන්න සෙබළු. සංග්‍රාමයේදී, භටපිරිස් කළමනාකරණය අතින් බැලුවම, (ඔව්, සාමාන්‍ය ව්‍යවහාරයේ, personnel administration ම තමා. කරන ක්‍රමය විතරයි වෙනස්) එය විශාල පාඩුවක්.

   එහෙනම් ඉතින්, සටන් පෙරමුණේ ඉන්න සෙබලා අනාථයි නේ. මිනිහට මොකුත් උදව්වක් නැහැනේ, තුවාල වුණාම.

   නැහැ නැහැ, එහෙම හිතන්න එපා. මම කියන්නම් පියවරෙන් පියවර, මොකද වෙන්නේ කියලා. එතකොට වැටහෙයි.  

   සෑම පාබල බලඇණියකම, සෑම කණ්ඩායමකම, ඉන්නවා ප්‍රථමාධාර පිලිබඳ විශේෂ පුහුණුවක් ලද සෙබළුන් පිරිසක්. ඔවුන් ඒ කාර්යයේ යෙදෙන්නේ, වෛද්‍ය බලකාය විසින් පවත්වන, විශේෂ පුහුණු පාඨමාලාවක් හදාරා, සමත්වීමෙන් පසුවයි. (මේ, ඔන්න ඉතින්, බලඇණිය, බලකාය, කණ්ඩායම, කියන්නේ මොකක්ද කියලා, දැන් අහන්න එපා) සටනේදී තුවාලවන තමන්ගේ සහෝදර සෙබළුන්, එම ස්ථානයෙන් ඉවත්කරගැනීමේ මූලික ක්‍රියාව කරන්නේ මෙන්න මේ පිරිස විසින්. ඔවුන් ඒ ක්‍රියාවේ යෙදෙන්නේ සටන් කරන ගමන්. නමුත්, ඔවුනුත් තුවාල සිදුවන මියයන අවස්ථා තිබෙනවා. සටනේ යෙදෙන සෑම සෙබලාම දන්නවා, කැසිවැක් කරන හැටි. ඒ නිසා, විශේෂඥ පුහුණුවක් නැතත්, මූලික කොටස කෙරෙනවා.

   අපි කවුරුත් දන්නවා තුවාලකරුවකුට ලබාදියයුතු මූලික පහසුකම්. ලේ ගැලීම නැවත්වීම, ස්වසනය පහසු කිරීම වැනි දේවල්. යුද බිමේදී මීට වඩා අභියෝගය වැඩියි. තුවාලකරුවන් වහාම ඉවත් නොකලොත් තවත් ප්‍රහාර එල්ලවී තත්වය බරපතළ වන්නට පුළුවන්. තුවාල ලබා ඉදිරි භූමියේ වැටී සිටින තම සගයන් බේරාගැනීම සඳහා ගිය සෙබළුන්, සතුරු ප්‍රහාරයට ලක්වී මියගිය අවස්ථා මෙන්ම, එසේ මියගිය අයගේ සිරුරු, අපට ගන්නට නොදී, දිනයක් දෙකක්, ඒ ස්ථානයට නොකඩවා ප්‍රහාර එල්ලවූ අවස්ථා පවා, අපි LTTE යුද්ධයේදී අත්වින්දා. ඒවා මතක් කරන්න මම කැමති නැහැ. හිතලා බලන්න, යුද සෙබලා කරන්නේ, රැකියාවක්ද සේවයක් ද කියන එක.

   මුලින්ම කරන්න ඕනේ ලේ නවත්වන එකනේ. ඒ සඳහා යෙදිය හැකි සැරහුම්, සෑම සෙබලකුගේම පිටේ එල්ලාගෙන යන මල්ලේ තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ක්‍ෂේත්‍ර සැරහුම් – Field Dressings යනුවෙන්. මේ තියෙන්නේ ඒවා. 

FD 1

   සැරහුම සහිත පැකට්ටුවේ ඉදිරිපස පෙනුම තමා, වම්පැත්තේ කෙළවරේ තියෙන්නේ. මැද තියෙන්නේ, පැකට්ටුවේ පසුපස, පාවිච්චි කිරීමේ උපදෙස් සඳහන්ව ඇති ආකාරය. දකුණු කෙළවරේ තියෙන්නේ, එළියට ගත්තාම, සැරහුම පෙනෙන ආකාරය. මේ සැරහුමේ ඇති ඇදෙනසුළු බව නිසා, ලේ ගැලීම නවතින ලෙස බඳින්න පුළුවන්.  

   හොඳයි, ඔන්න මූලික ප්‍රතිකර්මය (ප්‍රතිකාරය නොවේ) කළා. ඊළඟට ගෙනියන්නේ කා ළඟටද? සටන් පෙරමුණට ආසන්නයෙන් තිබෙනවා, වෛද්‍ය සැරහුම් ස්ථානය  කියලා එකක්. Medical Dressing Station = MDS මෙය ක්‍ෂේත්‍ර සැරහුම් ස්ථානය යනුවෙනුත් හඳුන්වනවා.  Field Dressing Station = FDS කාලීනව ඒ ස්ථානයෙන් කෙරෙන සේවාවන්හි තත්වය අනුව තමයි, මේ නම් දෙකෙන් අදාළ නම යෙදෙන්නේ. අපේ රටේ සාමාන්‍යයෙන් MDS එකක් හෝ FDS යොදවන්නේ බලසේනාවකට Brigede එකක් වශයෙන්. මෙය යුද භූමියේ පසුපස, ආරක්‍ෂිත ස්ථානයක, තාවකාලිකව අටවාගනු ලබන කූඩාරම් වලයි, සකස්කරගන්නේ. එයට හේතුව, අවශ්‍යතාව පරිදි, ක්‍ෂණිකව තවත් ස්ථානයකට ගෙනයාමේ පහසුව සඳහා. මෙය, සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායට අයත් කඳවුරක්. පොතේ හැටියට නම්, මෙහි ආරක්‍ෂක මුරයත්, වෛද්‍ය බලකායෙන්ම කරන්න ඕනේ. නමුත්, අපේ රටේ වෛද්‍ය සෙබළුන් ඉන්නේ සීමිත ප්‍රමාණයක් නිසා, මෙහි ආරක්ෂාව සඳහා පාබල සෙබළුන් යොදවනවා.  පහුගිය යුද්ධ කාලේ සමහර අවස්ථා වලදී, වෛද්‍ය වරුන්, මේ ස්ථාන වලට ගොස්, දැඩි අවදානමකට මුහුණ දෙමින්, තුවාලකරුවන්ව ගස්යට තබාගෙන පවා, මූලික ප්‍රතිකාර කළා. 

   MDS එකක ඉන්නේ මොනවගේ කාර්ය මණ්ඩලයක්ද?

  • හදිසි, සාමාන්‍ය ශල්‍යකර්ම කිරීමට දැනුම හා අත්දැකීම් ඇති, MBBS සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් හෝ දෙදෙනෙක්.
  • හෙද නිලධාරීන් කීප දෙනෙක්.
  • වෛද්‍ය සහායකයන් කීප දෙනෙක්.
  • ගිලන් මැසි stretcher රැගෙන යන්නන් දහ පහළොවක්.   
  • මේ මධ්‍යස්ථානයේ ආරක්‍ෂක මුරය අණදෙන, අධිකාරි ලත් නිලධාරියකු Commissioned Officer හෝ Senior Non Commissioned Officer =SNCO සිටිය යුතුයි. (පොතේ හැටියට මොහු වෛද්‍ය බලකායේ කෙනෙකු වියයුතුයි)
  • තුවාලකරුවන් සහ කාර්යමණ්ඩලයේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ප්‍රවාහන අංශයක්, අදාළ වාහන සමග සූදානම්ව තිබිය යුතුයි.
  • තුවාලකරුවන්ගේ වර්ගීකරණය (පහත දක්වා ඇත) සහ හිසට තුවාල සිදුවීම්, බිම්බෝම්බ වලට අසුවීම්, මෝටාර්, කාලතුවක්කු, රොකට් වෙඩි වලින් පහරකෑමට ලක්වීම් ආදී වශයෙන්. වර්ග කිරීමේ අංශයක්. මෙය ප්‍රධාන ශාඛාව G Staff (General Staff) අයත් කාර්යයක්. ඊට අමතරව ගුවනින් තුවාලකරුවන් ප්‍රවාහනය සම්බන්ධීකරණය, ඇතුළත් කෙරුණු සහ පිටත් කර යැවුණු තුවාලකරුවන් පිළිබඳව, සියලු තොරතුරු ඇතුළත් වාර්තා තබාගැනීම. 
  • සියලුම භටකාර්ය සම්පාදන ක්‍රියා සඳහා පාලන ශාඛාවක්. A Staff (Administration and Logistics Staff) (උදා; තුවාලකරුගේ සිරුරට සවිකර, ඊළඟ ඉහළ රෝහල වෙත යවන, ස්වසන උපකරණ වැනි දේ ප්‍රමාණවත්ව තබාගැනීම) 
  • යුද හමුදා පොලීසිය (හමුදා නීතිය අනුව සියල්ල සිදුවේදැයි නිරීක්ෂණය, අක්‍රමිකතා වැලැක්වීම, වාහන පාලනය) 

   MDS/FDS එකේ දී තවත් වැදගත් ක්‍රියාවක් සිදුකරනවා. ඒ තමයි, තුවාලවල ස්වභාවය අනුව, තුවාලකරුවන් වර්ගීකරණය කිරීම. හිසට පපුවට සිදුවන තුවාල බරපතළ තුවාල ලෙස සළකනවා. එවැනි තුවලකරුවන්ව, ප්‍රමුඛත්වය 1 – priority 1 = P 1 ලෙස වර්ග කරනවා. ඉන්පසු තිබෙන තුවාල අනුව, අනෙකුත් තුවාලකරුවන්, P 2 සහ P 3 ලෙස වර්ග කරනවා. මේවා කරන්නේ ඒ සඳහා දැනුම සහ පුහුණුව තිබෙන අය විසින්. MDS/FDS වල තුවාලකරුවන් හැකිතරම් අවම වෙලාවක් රඳවා තබාගන්නට සියලු උත්සාහ දරනවා. මේ තැන්වල හදිසි අවශ්‍යතා අනුව ක්‍ෂේත්‍ර ශල්‍ය කණ්ඩායම් Field Surgical Team = FST ගෙන්වාගන්න පුළුවන්. ඔවුන් විශේෂඥ පුහුණු ශල්‍ය වෛද්‍යවරුන්ද සහිත, ජංගම කණ්ඩායමක්. 

FDS

   මොකක්ද ඊළඟ වෛද්‍ය මධ්‍යස්ථානය? එතන හඳුන්වන්නේ, Advance Dressing Station = ADS යනුවෙන්. ADS එකට එන තුවාලකරුවන්ගේ වර්ගීකරණය අනුව ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙනවා. P 1 අයට ප්‍රතිකාර ලබාදෙන්න බැරිනම්, ඊළඟ ඉහල ස්ථානයට හෝ කෙලින්ම හමුදා රෝහලට හෝ කලින් සූදානම් කර තිබෙන රජයේ රෝහලට හෝ යවනවා. FDS එකෙන් P 2 හෝ P 3 වර්ගීකරණය ලබා එන කෙනෙක්, අතරමගදී තත්වය උත්සන්න වී P 1 තත්වයට එන්න පුළුවන්.

   කියන්න ලැජ්ජයි, සමහර අවස්ථා වලදී, තුවාලකරුවන් දාගෙන එන්න වුණේ, ට්‍රැක්ටර් ට්‍රේලර් වල. එහෙම ගේනකොට මගදී මැරෙන එක අහන්නත් දෙයක්ද? අපි කොච්චර ඇඬුවත්, කිව්වත්, වාහන ලැබුනේ නැහැ. ඒ කාලේ ඔය, මගේ යුද්ධය කියලා මහා ලොකු පොත් ලියාගෙන, කයිය ගහන උන්නැහේලා, තුවාලකරුවන් ගෙනෙන්නේ කොහොමද කියලා, හොයලා බැලුවේ බොහොම අඩුවෙන්. (bloody spectacle viper = BSV)

   ඊටපස්සේ මොකද වෙන්නේ?

   මීළඟට තුවාලකරුවන් යැවෙන්නේ හමුදා මූලික රෝහල් වෙතයි. Army Base Hospital = ABH කොළඹ, පනාගොඩ, අනුරාධපුර, පලාලි, යන ස්ථානවල, හමුදා මූලික රෝහල් තිබෙනවා. මීට අමතරව හමුදා අයවලුන්ගේ හදිසි ප්‍රතිකාර සඳහා, රජයේ රෝහල්වල වෙනම වෙන්කළ අංශ තිබෙනවා. ඔබෙන් සමහර අය දන්නවා ඇති, යුද්ද කාලේ, පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර, ශ්‍රී ජයවර්ධනපුර, වැනි රජයේ රෝහල්වල, එවැනි අංශ ක්‍රියාත්මක වුණා.

   ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින්, අංශු මාත්‍රයක් තමා, මේ සඳහන් කළේ.  යුද හමුදාව සප්ත මහා සාගරය වගේ කියලා මා මීට පෙර කියා තිබෙන්නේ එනිසයි. මේ තොරතුරු ඔබට කියන්නේ, සමහර අය තුළ හමුදාව පිළිබඳව ඇති දුර්මත දුරු කරන්නයි.

   ඉතින් ඔන්න ඔහොමයි, හමුදාවේ දොස්තරවරු සටනට බහින්නේ. යුද්ධ කාලෙක එයාලත් කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනයක් කළොත්…………?

2015 දෙසැම්බර් මස 28 වැනි දින 2213 පැය   

Advertisements

Comments on: "හමුදාවේ දොස්තරලාත් සටනට බසිති" (5)

  1. යුද්දයකදී රෝහල් වලට පහර නොදෙන සම්මුතියක් තියෙනවා නේද ?

  2. සමීර නාදුගල said:

    ෆීල්ඩ් මෙඩික්ස් කෙනෙක් ගේ දෙවන ලොක යුද අත්දැකීම් ගැන චිත්‍රපටයක් තිබ්බා මතකයි….
    දැන් නන් හමුදා වල භාවිතා කරන වෛද්‍ය උපකරණ ජන්ගම රෝහල් තියනවා .. ලන්කවේ හමුදාව ඒවා භාවිතා කරනවද මන්දා ..,
    සුනාමි වෙලාවේ MRI ස්කෑනර් පවා තියන අධි සත්කාර ඒකක පවා සහිත ජන්ගම රෝහල් ලකවට ගෙනාවා මතකයි…

  3. ක්සැන්ඩර් said:

    ඔබතුමා බලල තියනවද බෑන්ඩ් ඔෆ් බ්‍රදස් කියන ටෙලි මාලා නාට්‍ය? දුක හිතෙනවා දැක්කම යුද්ධයක් ඇතුලත කොහොමද තුවාලකාරයින්ව ගේන ගෙනියන විදියට, බෙහෙත් හොයාගන්න විදිය දැක්කම. අපෙත් යුද්ධයක් තිබ්බ කියන එක නං දැන් ගොඩක් දෙනා දන්නේ නෑ මගේ හිතේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: