විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ‘රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ‘ කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී ‘සරුංගලේ වරල් සැලේ‘ ගීතය කිව්වේ, ඒ වගේ අයට නේද? ඇත්තටම මිනිස්සු මෙහෙම කාලෙන් කාලෙට, රටකින් රටකට යන්නේ ඇයි? විවිධ හේතු තියනවා නේ? තමන්ගේ රටේ තියන ප්‍රශ්න, තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ජීවිතයේ දියුණුව සොයාගැනීම, තව කොච්චරනම් හේතු තියනවද. හොඳයි, ඒ කතාව එතනින් නවත්තලා, අද කතාවට බහිමුකො.

   ඔබ අතරින් කීපදෙනෙකු හෝ, ‘ටැෆායි’ කියන වචනය අසා තිබෙනවා ඇතැයි, මා සිතනවා. ඇත්තටම මෙය, ඉංග්‍රීසි වාක්‍යයක මුලකුරු යොදා සැකසූ, කෙටි යෙදුමක්. (Acronym) මේ වචනය, 1960 දශකයේ සිට, 1980 දශකය ආරම්භ වන කාලය දක්වා, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා මෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කළ අය, හොඳින් දැනසිටියා. මෙහි සම්පූර්ණ යෙදුම වන්නේ, Task Force Anti Illicit Immigration = TFAII යන්නයි. උච්ඡාරණය පහසු වෙන්න තමයි, ‘ටැෆායි’ කියලා හදාගෙන තියෙන්නේ. මේ හමුදාව ක්‍රියාත්මක තත්වයෙන් හිටියේ 1961 – 1981 කාලයේ. 

   මේ හමුදාව හැදුවේ මොකටද? කවුද ඒ හමුදාවේ හිටියේ? ඔවුන් මොකද කළේ? අද ඒ හමුදාව තියනවද නැද්ද? ඉතා දීර්ඝ විස්තරයක් කෙටිකර කියනවානම්, මේ විශේෂ ආරක්ෂක අංශය හැදුවේ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම එකතු කරලා. නමුත් ඒ කාලයේ (1960 දශකයේ) ගුවන් හමුදාව මේ සඳහා දායකත්වය දැක්වූයේ සීමාසහිතවයි. එයට හේතුව, අදමෙන්, අපේ ගුවන් හමුදාව, එදා දියුණු තත්වයේ නොතිබීමයි. ඉතින් මොකටද මේ වගේ හමුදාවක් හැදුවේ? මෙන්න මේකයි හේතුව.

   ඒ කාලයේ අපේ රටට දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මහත් හිසරදයක් වුණා. ඔවුන් රාත්‍රී කාලයේදී, බෝට්ටු මගින් මෙන්ම, දවල් කාලයේදී, ලංකාවේ උතුරු වෙරළෙන් මුහුදු යන ධීවර යාත්‍රා වෙත, බෝට්ටු මගින් පැමිණ, මුදල් ගෙවා මාරුවී පැමිණෙන බවත්, සමහරු, ගමනේ හරි මැද හෝ හතරෙන් තුනක් පමණ බෝට්ටුවකින් පැමිණ, ඉතිරි ටික පිහිනා පැමිණෙන බවත්, ඒ කාලයේ අපි, පුවත්පත් වාර්තාවලින් දුටු අතර, ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින්ද ඇසුවා.

   ඉතින් ඒ වැඩේ නවත්තන්න බැරිවුණා ද? සෑහෙන්න හොඳට නැවැත්තුවා. අන්න ඒ වැඩේ නවත්තන්න තමයි, ත්‍රිවිධ හමුදාව ටැෆායි රාජකාරිවල යෙදුවේ. ඔවුන්, වෙරළාරක්‍ෂක බලකායක් මෙන්ම, මුහුදු සීමා ආරක්‍ෂක බලකායක් වශයෙනුත්, සේවය කළා. ගුවන් හමුදාව, ගුවනින් නිරීක්ෂණ කටයුතුවල යෙදුණා. මේ නිසා, ඉතා සාර්ථක ලෙස, හොරවැසියන් පැමිණීම මර්දනය කරන්නට හැකිවුණා. යුද හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා විවිධ රෙජිමේන්තු, මාරුවෙන් මාරුවට මේ රාජකාරි සඳහා යොදවනු ලැබුවා.

   මුහුදු සීමා ආරක්‍ෂාව පැවරුනේ නාවික හමුදාවටයි. ඔබට මතකද, බඹරු ඇවිත් චිත්‍රපටිය? 1978 දී තිරගතවූ ඒ චිත්‍රපටියේ පෙන්වනවා, කල්පිටිය ප්‍රදේශයට ඉහළින් ඇති, බත්තලන්ගුන්ඩුව වැනි ප්‍රදේශවල ජනජීවිතය. එහිදී, පොලීසියට අයත් රාජකාරි කරන්නේ, නාවික හමුදාව. එයට හේතුව, ඒ කාලයේ ටැෆායි රාජකාරි යටතේ, පොලිස් රාජකාරිත්, නාවික හමුදාවට පැවරී තිබීමයි. ඒ කාලයේ එහෙ පොලීසි තිබුණේ නැහැ.

   ටැෆායි රාජකාරි හෙවත් TFAII duties ගැන, බොහොම රසවත් කතා, ඒ කාලේ හමුදා සේවයේ යෙදී සිටිය අය කියනවා. ටැෆායි රාජකාරිවල යෙදුන අයගෙන් කවුරුවත්, අද නම් ත්‍රිවිධ හමුදා සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. නමුත්, අපි හමුදාවට ගිය මුල් කාලයේ, එවැනි අය හිටියා. ඔවුන්ගේ සමහර කතා වලට, බඩ අල්ලාගෙන හිනා යනවා. ඒ කාලයේ, යුද හමුදාවට දී තිබුණු ප්‍රධාන අවිය වුණේ, .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයයි. ඒ කාලේ, රාත්‍රී මුර සංචාරයකදී වුණත්, ඒ රයිෆලයක් දෙන්නේ, දෙදෙනෙකු මුර සංචාරයේ යනකොට එක අයකුට පමණයිලු. (කොහොමද වැඩේ? දෙන්නයි යන්නේ) ඒ වගේම, මුර සංචාරයේ යනවිටවත්, ඔවුන් රයිෆලයට පතරොම් දමන්නේ නැතිලු. පතරොම් නැතිවෙයි කියන බයට, පතරොම් සහිත චාජර් එක, එක්කෙනෙකුගේ නිළ ඇඳුමේ උඩ සාක්කුවක දමා, හැට්ට කටුවකුත් ගහනවාලු, හැලෙයි කියන බයට. නැතිවුණොත් ගස් තමයි. 😀 රයිෆලය තියෙන්නේ අනික් එක්කෙනාගේ  අතේලු.

   ඒ වගේම, මුර සංචාරයේ යෙදෙන නාවික බෝට්ටු වලත්, තුවක්කු දෙකකට වඩා ගෙනියන්නේ නැතිලු, නැතිවෙයි කියන බයට. එක තුවක්කුවක් දික්කලාම, හොරවැසි බෝට්ටු යටත් වෙනවලු. (හොරවැසියන් දන්නේ නැහැනේ, තුවක්කුවට පතරොම් දාලද නැද්ද කියලා) යුද හමුදාවේ අයවත් දාගෙන, ‘මාළු ඇල්ලීමේ මුර සංචාර’ වලත් දෙනවලු. ඒක තමයි, අයියලා එව්වා කරන අතරේ, හොරවැසියෝ එකසිය ගාණට මෙහාට පනින්න ඇති. 1981 න් පස්සේ, අපේ රටේ තත්වය මොකක්ද කියලා, කියන්න අවශ්‍ය නැහැනේ. හොරවැසියන් පැමිණීම, නැත්තටම නැතිවන තරමට අඩුවුණා. උතුරේ ත්‍රස්තවාදය හිස එසෙව්වා. ඒ නිසා, ත්‍රිවිධ හමුදාවම වඩාත් ශක්තිමත් සහ සංවිධානාත්මක තත්වයට ගන්නට සිදුවුණා. ටැෆායි රාජකාරි නැවතුණා. 

   මේ අය මෙහෙම ආවේ ඇයි? අද නම් ඉන්දියාවේ ජීවත්වීම පහසුයි. අපේ රටට වඩා එහි ජීවන වියදම සාපේක්ෂව අඩුයි. නමුත් ඒකාලයේ තිබුණේ එහි අනික් පැත්ත. ඉන්දියාවේ ජීවන වියදමට වඩා, ලංකාවේ ජීවන වියදම අඩුයි. ඒ නිසයි දකුණු ඉන්දියානු මිනිසුන් අපේ රටට පැන ආවේ. මේගොල්ලෝ මොනවා කරලද මෙහෙ ජීවත්වුණේ? අපොයි ගොඩක් දේවල් කළා.

   බෝතල් පත්තර එකතුකර විකිණීම තමයි, ප්‍රධාන වශයෙන් කළේ. ඊට අමතරව ද්‍රවිඩ ජනතාව වැඩියෙන් පදිංචි ප්‍රදේශවල, විවිධ ආකාරයේ කුලීවැඩ කළා. පිටකොටුවේ තොග වෙළඳසල් වල මුට්ට කරගැහුවා. ටිකක් කල් යනකොට, මේ අයගෙන් කොටසක්, ව්‍යාපාරිකයන් වශයෙන් දියුණු වුණා. ලංකාවේ පුරවැසි භාවය තිබෙන, ද්‍රවිඩ ජාතික කාන්තාවන් සමග විවාහ වුනා. තමන්ගේ පරපුරේ තවත් අය, හොරෙන්ම ගෙන්නාගත්තා ඉන්දියාවෙන්.

   මේ තත්වය, ලංකාව තුළ, ජනවාර්ගික අර්බුදයක් ඇතිකිරීමට තරම් බලවත් වන බව, එකල පාර්ලිමේන්තුවේදී පවා කියවුණා. මේ ගැන, ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස්, ඒ කාලේ ගීතයක් ගායනා කළා, ‘අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා’ යනුවෙන්. එම ගීතය, අද අහන්න බොහොම දුර්ලභයි. ඒ ගීතයේ පදමාලාව, මානව හිමිකම් අතින් බලන කල, අදට නොගැලපෙන නිසා දෝ, දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ (අද ඉන්න සමහර මාධ්‍ය කුක්කන්/කික්කියන් කියන විදිහට, මාධ්‍ය හරහා නෙවෙයි)  අද ප්‍රචාරය වන්නේ නැහැ. අනුෂ් හෙට්ටිආරච්චි නම් සංගීත රසිකයෙක්, එම ගීතය සංරක්‍ෂණය කරනු වස්, අන්තර්ජාලයට එකතුකොට තිබෙනවා. මේ තිබෙන්නේ එම ගීතයයි. 

   ද්‍රවිඩ භාෂාවෙන් කල්ලතෝනි කියන්නේ, ‘හොරවැසියා’ කියන තේරුම කියා, මා අසා තිබෙනවා. ඒ කාලයේ දකුණේ සිංහල ජනතාවට, යම්කිසි ද්‍රවිඩ ජාතිකයකු ගැන සැකයක් ඇතිවුණොත්, ‘කොහෙද යන කල්ලතෝනියෙක්, මේකා කල්ලතෝනියෙක්ද කොහෙද, අර මිනිහා බැඳලා ඉන්න ගෑණි කල්ලතෝනිද මන්දා, මොකට යනවද ඔය කල්ලතෝනිත් එක්ක ගනුදෙනු කරන්න’,  වැනි යෙදුම් පාවිච්චි කළා.

   මතක නේද අර, ‘බෝතාල් පත්තරේයි’ ගීතය. අන්න ඒ ගීතයත්, මේ හොරවැසි කතාව පදනම් කරගනිමින්, නිර්මාණය වුවක්. මේ ගීතයට පාත්‍රවන පුද්ගලයා, මුලින් බෝතල් පත්තර රස්සාවේ යෙදී දියුණු වී, මඩකලපුවේ කඩයක් දාගෙන සිටියදී තමයි,  ජනවාර්ගික යුද්ධය ඇවිලී තිබෙන්නේ. එයින් සියල්ල විනාශවූ ඔහු, යළිත් තමන් මුල් යුගයේ කළ, බෝතල් පත්තර එකතුකර විකිණීමේ රස්සාවට බහිනවා. මේ තියෙන්නේ ඒ ගීතය.

   මේ ගීත, ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණ නොවුනත්, අතීත සමාජමය තොරතුරු කියනවා. 

   උඩරට වතුකරයේ, ඒ වනවිටත්, බ්‍රිතාන්‍ය පාලන සමයේ කම්කරුවන් ලෙස ගෙන්වාගත්, ද්‍රවිඩ ජාතික පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා.  ඔවුන්ට මේ රටේ පුරවැසිකම තිබුනේ නැහැ. පසුකාලීනව වරින්වර පුරවැසිකම ප්‍රදානය කළා කොටසකට. නමුත් තවත් සෑහෙන පිරිසක් සිටි නිසා, එවකට ලංකාවේ අගමැතිණි,  සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්, එවකට, ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී මැතිතුමා සමග ඇතිකරගත් ‘සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම’ මගින්, පුරවැසි භාවය නොලබා මෙරට සිටි ද්‍රවිඩ ජාතික පවුල්, අති විශාල සංඛ්‍යාවක්, ආපසු ඉන්දියාවට යවනු ලැබුවා.  

   මේ ඉදිරිපත් කළේ, ඉතා දීර්ඝ විස්තරයක්, හැකිතරම් කෙටියෙන්. දැන් මේ ලිපියේ මාතෘකාවේ තියනවානේ, ලංකාව – ඉන්දියාව යාකිරීම කියලා කොටසකුත්. මම දැන් ඔබේ අවධානය යොමු කරන්නේ, ඒ කොටසටයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාළමක් ඉදිකිරීමටත්, මුහුද යටින් දිවෙන උමඟක් ඉදිකිරීමටත්, දෙරටේ අවධානය යොමුවී තිබෙනවා. එකිනෙකට ආසන්න රටවල් මෙවැනි පාළම් සහ උමං මාර්ග ඔස්සේ යාකිරීම ලෝකයේ රටවල් කීපයකම දකින්නට ලැබෙනවා. ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය (අපොයි, තවමත් අපේ සමහර අය ලියන්නේ කියන්නේ, ‘ස්විස්ටර්ලන්තය’ කියලා) අතර ඉදිකර තිබෙන, මොන්ට් බ්ලාන්ක් උමඟ –  Mont Blanc Tunnel ඔබ හොඳින්ම දන්නවා ඇති. සමහරු ඒ ඔස්සේ ගිහිල්ලත් ඇති. මෙමගින් උතුරු යුරෝපය සහ දකුණු යුරෝපය, කෙටි මගකින් සම්බන්ධවීම නිසා, ආර්ථික වශයෙන් වාසි රැසක් අත්වෙනවා.

   ඒ ආකාරයටම, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යා කරමින්, මුහුද යටින් ඉදිවී තිබෙන, චැනල් ටනල් – Channel Tunnel උමඟ නිසාත්, ඒ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, වාසි රැසක් හිමිකරගෙන තිබෙනවා. නමුත් මෑතකදී, මෙම උමඟින්, හොරවැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ දැරීම නිසා, ගැටළු මතුවී තිබෙනවා. කි.මී. 50.5 ක් වන, මෙම මුහුදු උමං මාර්ගය දිගේ, පයින් ඇවිදගිය පුද්ගලයකුද, උමඟේ බ්‍රිතාන්‍ය අන්තයේදී, අල්ලාගෙන තිබෙනවා. මෙලෙස පැමිණෙන්නේ, දරිද්‍රතාවය, යුද්ධ කලකෝලාහල, ආදියට මැදිවූ, මධ්‍යම සහ උතුරු අප්‍රිකානු රවලවට සහ  මැදපෙරදිග සමහර රටවලට අයත් වැසියන්.

   දැන් නැවතත් මා ඔබේ අවධානය යොමු කරන්නේ, මේ යෝජිත ශ්‍රී ලංකා – ඉන්දියා පාළම සහ උමඟ වෙතටයි. මේවා අදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මේ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, භාණ්ඩ ආනයන අපනයන වියදම් අඩුකර ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීම, කර්මාන්ත සංවර්ධනය, වැනි පරමාර්ථ කීපයක්.

   ඔබ දන්නවා ඇති සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන්නේ ඈත අතීතයේ සිටයි. පෝක් සමුද්‍ර සන්ධියේ, ඉන්දියාවට ආසන්න පැත්තෙන්, මුහුද ගැඹුරට හාරා, විශාල නැව් ගමන් කිරීම සඳහා, ඇළමාර්ගයක් සකස් කිරීමයි මේ ව්‍යාපෘතියේ පරමාර්ථය. දැනට ඉන්දියාවේ නැගෙනහිර – බටහිර වෙරළෙහි පිහිටි වරාය වෙත ගමන් කරන නැව්, ලංකාව වටේ ගොස්, තම ගමනාන්තයට යායුතුයි. ඒ පිරිවැය අඩුකරගැනීමයි, සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ මූලික අරමුණ. නමුත්, එමගින් ඉන්දියාවට සංග්‍රාමික මූලෝපාය අතින්ද, යම් යම් වාසි අත්වනවා.

   මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුවහොත්, ශ්‍රීලංකාවට, ඉතා දැඩි පාරිසරික, සංග්‍රාමික, සහ ආර්ථික බලපෑම් ඇතිවෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ, ශ්‍රීලංකාවට අයත් සාගර කළාපයේ පිහිටි, මත්ස්‍ය නිජබිම් විනාශවීමෙන්, ධීවර කර්මාන්තයට ඉතා දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඉන්දියානු විශාල යුද නැව්, මේ කලාපයේ ගැවසීම, අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකියි.   මේ සියල්ල සම්පිණ්ඩනය කර බැලූවිට මෙන්න මෙවැනි දේ හිතට එනවා. 

  • ඉන්දියාව, අපිට සේතු සමුද්‍රම් නමැති යක්ෂයාව පෙන්වා බයකොට, මේ පාළම සහ උමඟ ඉදිකිරීමට යනවාද?
  • මේ පාළම සහ උමඟ නිසා, රටවල් දෙකටම අත්වන වාසි අවාසි, එක සමානද?
  • මේ තුළින් ශ්‍රීලංකාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ඇතිවියහැකි, වාසි අවාසි, ප්‍රතිවිපාක, මොනවාද?

ඔබ මොකද මේ ගැන හිතන්නේ?

2015 දෙසැම්බර් මස 18 වැනි දින 1141 පැය.

Advertisements

Comments on: "‘ටැෆායි’ සහ ලංකාව – ඉන්දියාව යා කිරීම" (19)

  1. ඔය ජරා ඉන්දියාව එක්ක ගනුදෙනු නොකරන තරමට තමයි හොද.

    • උණු නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දාන්නත් බැරි, තත්වයක් තමා, ඉන්දියාව සම්බන්ධයෙන් අපිට තියෙන්නේ.

  2. මට හිතෙන විදියට මෙතනදි ඔය ‘සම්බන්ධතාවය’ අපිට නම් කිසිසේත්ම වැදගත් නෑ. යුරෝපයේ තියෙනවා වගේ අමුතු වාසියක් මේ තියෙන තත්වයන් යටතේ නම් අපිට ලැබෙන්නේ නෑ. ඕකෙන් වෙන්නේ ලංකාවේ ආර්ථිකමය හා සමාජීය පැත්තෙන් විතරක් නෙවෙයි දේශපාලනික හා ආරක්ශක කටයුතු අතින් බැලුවත් ලොකු අනවශ්‍යය බලපෑමක්. දැනටමත් ඉන්දියාව කරන බලපෑම් වල අඩුවක් නෑ නේ.

    බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කරන්න යෝජනාවක් කරලා තියෙන එක ගැන හිටපු යුධ හමුදා නිළදාරියෙක් විදියට ඔබතුමා මොකද හිතන්නේ?

    • මමත් හිතන්නේ වාසි වලට වඩා අවාසි වැඩියි කියලයි. නමුත් පාලමක් හැදුවට වැරද්දක් නැහැ. ප්‍රවාහන වියදම් අඩුවන නිසා.

      බ්‍රිතාන්‍ය හමුදාව ආදර්ශයට අරන් තමයි අපේ ත්‍රිවිධ හමුදාව මුලින්ම පිහිටුවා තිබෙන්නේ. අදටත් අපේ ත්‍රිවිධ හමුදාව තුළ තියෙන්නේ බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදාය. යුද්ධ කාලෙත් අපි ඔයවගේ උපදෙස් ගත්තා. යුද්ධ කිරීම අතින් අපි පහුගිය කාලේ හොඳ අත්දැකීම් ලැබුවත්, පරිපාලනමය අතින් තවමත් කලයුතු දේ බොහොමයි. ඒ නිසා මෙලෙස උපදෙස් ගැනීමේ වරදක් නැහැ. නමුත් ලංකාවේ ආරක්ෂක කවුන්සිලය ඒ ගැන හොඳින් සිතාබැලිය යුතුයි බ්‍රිතාන්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පෙර.

  3. “අන්තිමේ උන් පුරවැසියෝ-අපි කල්ලතෝනියෝ ”

    • බොහොම ස්තුතියි සින්දුවෝ වෙනදා වගේම තැනට ගැලපෙන සින්දුව දුන්නට.

      මම මේ සින්දුව උඩ දාලා තියෙන්නේ සින්දුවෝ. ඒ ලින්ක් එක පෙනෙන්නේ පින්තූරයක් වගේ. ප්ලේ බට්න් එක එතන තියනවා.

  4. ඔය ඉන්දියන් පරයො දෑනටමත් අපේ රස්සාවල්වලට කෙලල ඉවරයි. ඕකුන් එකෙක්වත් එන්න දෙන්න එපා. ඕක හෑදුවොත් ඔක්කොම එවුන් මේකට රින්ගන්න එයි…

    • ප්‍රවාහන කටයුතු සඳහා මිස, ශ්‍රමය ලබාගැනීම සඳහා කිසිවක් කරනවාට මමත් විරුද්ධයි. අපේ දුප්පත් කම්කරුවන්ගේ බඩට වදින දේ නොකළ යුතුයි.

  5. කොහෙවත් ඉන්න නයි ඇගේ දාගන්න ඔනි නැනේ…

  6. කොහොමත් ඉන්දියාව කියන්නේ අපට උදව් කළ රටක් නෙවෙයි. උදව් කරනවා වගේ පෙන්නලා හිරේ දාන වැඩ කරන්නේ. යුද්ධ කාලෙදි පවා උදව් කළේ නැහැ. ඒත් අපේ රටේ දේශපාලුවෝ තවමත් ඉන්දියාවට කත් අදිනවා. මෙහෙව් කරපු ඉන්දියාවටම මුහුදුබඩ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න දුන්නේ පහුගිය ආණ්ඩුවමයි. දැන් ආණ්ඩුව ඉන්දියාවේ මරුති මෙහේ විකුණගන්න අවස්ථාවක් සලසමින් අනේ වාහනවල බදු වැඩි කළා. ඇත්තටම ඉන්දියාව ආශ්‍රය කළ යුත්තේ අතේ දුරින් කියන එක තමයි මගේ නම් අදහස. රටවල් දෙක යාකළොත් උතුර කෙලින්ම තමිල්නාඩුවක් වෙලා ටික දවසකින් ඒක ඉන්දියාවටම ලියා දෙන්න වෙනවා. මොනව වුණත් අපි මේ කතා වෙන දේවල් අපේ රටේ දේශපාලුවෝ කතා වෙන්නේ නැහැ. ඒ නිසා රටට හෙණ ගැහිලා තමයි හැමදේම නතර වෙන්නේ.

    • බොහොම හොඳ විග්‍රහයක්. ඇත්තෙන්ම මේවගේ දෙයක් කරන්න කලින් දහස් වාරයක් හිතන්න වෙනවා මෙහි ඇති වාසි අවැසි ගැන.

  7. පාලං, උමං දාන්න නෙවෙයි පුළුවන් කමක් තියනවනං තව කිලෝමීටර් හැට හැත්තෑවක් ඈත් කරානං හරි කියලයි මට හිතෙන්නෙ විචාරක තුමෝ…

  8. ස්විට්සර්ලන්තය වෙනුවට ස්විස්ටර්ලන්තය කියන වචනේ එන්න ඇත්තෙ ස්විස් කියන වචනෙත් එක්ක. ඔය ස්විස් බැංකු ස්විට්සර්ලන්තෙටත් වඩා ලංකාවෙ ප්‍රසිද්ධයිනේ. හැබැයි ස්විට්සර්ලන්තෙ නිල නම Swiss Confederation ලු. ඒ හින්ද ස්විස්ටර්ලන්තය කියල කිව්වත් එච්චරම අවුලක් නෑ.
    “The English name Switzerland is a compound containing Switzer, an obsolete term for the Swiss, which was in use during the 16th to 19th centuries” – විකිපීඩියා

  9. ප්‍රේමවන්තයා-Waji said:

    මම දැනට ඉගෙන ගන්නේ ඉන්දියාවේ. මට හිතෙන්නේ මෙහෙමයි. ඉන්දියාවට මොනව උනත් උන්ගේ සිහින හින්දු අධිරාජ්‍යය පිහිටුවන්න ලොකු ආසාවක් තියෙනවා.එක උන්ගේ පාලකයන්ට විතරක් නෙමෙයි.ඉන්දියාවේ මිනිස්සුන්ටත් තියෙන්නේ ඒ මානසිකත්වයමයි.මෙහෙ අයත් එක්ක කතා කරද්දි ඒක හොඳට තේරෙනවා.තවමත් මෙහෙ ගොඩක් මිනිස්සුට ශ්‍රී ලංකාව කියන්නේ රාවන්කි ලන්කා.ඒක උන්ගේ නූගත්කම වෙන්න පුළුවන්.ඒ උනාට මෙහෙ ඉන්න මගෙ නේපාල්,භූථාන් සහ බංග්ලාදේශ් යාලුවන්ගෙන් අහුවම ඒ රටවල වල අද කිසිම දෙයක් ඉන්දියන් කාරයො නැතුව කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.හොයල බැලුවම ඒ රටවල වලත් සිපා වගේ ගිවිසුම් ගහල අද වෙනකොට රාජ්‍ය සේවය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ඉන්දියන් එවුන්ගෙ ඒකාධිකාරයක් කරගෙන.සින්දුවේ තියෙනව වගේ “උන් පුරවැසියො අපි කල්ලතෝනියෝ” වෙලා වගේ.ඕක පකිස්ථාන් වගේ රටවල් වල කරන්න බැරි උනේ මුස්ලිම් බහුතරය හින්දා. කොහොමත් ඉන්දියාවේ Labor Cost සෑහෙන්න අඩුයි.අන්තිමට වෙන්නේ වියදම් ඉතුරු කරගන්න building 1ක් හදන්න උනත් ඉන්දියන් labors ලා අරගෙන ලංකාවෙ මිනිස්සුන්ගෙ බඩට වදින එක.කොහොමත් ඉන්දියන් එවුන් ඔය ගිවිසුම් ගහන්න හදන්නේ අත ලෙවකන්න නෙමෙයි.

  10. මම මගේ වෘත්තීය කිරීමේදී ඉන්දියානුවන් සමග එකට වැඩකිරීමේ අත්දැකීම් අනුව නම් ඔවුන් කෙරෙහි මගේ තියෙන්නේ ඉතා අපුලක්. අතරින් පතර හොඳ හිත් ඇති මිනිසුන් හිටියාට සමස්තයක් වශයෙන් අප කෙරෙහි ඔවුන් දක්වන ආකල්ප, ගතිගුණ ඉතාමත පහත්. ඔවුන් තවමත් සිතන්නේ ශ්‍රී ලාංකිකයින් යනු ඔවුන්ගේ යටත් වැසියන් පිරිසක්, ලාංකිකයින්ට මෙලෝ වැඩක් ඔවුන්ගේ උදව් සහ මගපෙන්වීම් නැතිව තනිව කරගෙන යන්න බෑ…. වගේ අදහස්. පෞද්ගලික මට්ටමින් මෙන්ම, රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වශයෙනුත් ඉන්දියාව සමග CEPA වගේ ගිවිසුම් නොගහා ඉන්න එක තමයි සුදුසු කියන මතයේ තමයි මම ඉන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: