විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Soldier   හෙහ් හෙහ්………., ආමි එකේ ඉන්නේ ඉතින් ගණන්කාරයෝ නේන්නං. එහෙම නැත්තං ඔය යුද්දේ දිනයියැ. ඔය පේන්නැද්ද පාරේ යනකොටත් බොහොම ගණන් විදිහට නේ යන්නේ. අර, පොලීසියේ ලොකු මහත්තයෙක්, එක වතාවක් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් කිව්වා, ‘චණ්ඩි හැටියට ඉන්න පුළුවන් අපිට විතරයි. අපි තමා ලයිසන් චණ්ඩි’ කියලා. එව්වගේ ඇත්ත නැත්ත මං දන්නේ නැහැ. හැබැයි ආමි එකේ කෝප්‍රල් සහ ඊට ඉහළ නිළයන්හි ඉන්න අය ඔක්කොම ගණන්කාරයෝ කියලා නම් දන්නවා.

   ‘ඒ කියන්නේ ඊට පහළින් ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ නිකං බයගුල්ලෝ?’

   ‘නෑ නෑ, ඒගොල්ලොත් කෝප්‍රල්ලා වෙනකල් බය නැතුව ඉන්නවා ගණන්කාරයෙක් වෙන්න’

   ‘ගණන්කාරයෙක් වෙන්න බැරිවුණොත්?’

   ‘බැරිවුණොත් ඉතින් පැන්ෂන් යනතුරුම නිකම්ම නිකං සොල්දාදුවා තමා’

  ‘හුහ්, තමුසෙලා එහෙනං කොප්‍රල්ලා හදන්නේ මිනිස්සුන්ට ගණන් දාන්න ඈ?’

  ‘ඔන්න ඔන්න පීල්ල පැන්නා. මම කිව්වද මිනිස්සුන්ට ගණන් දාන්නයි මේගොල්ලන්ව හදන්නේ කියලා? හරි හරි, ඔහොම අහගෙන ඉන්නකෝ. මෙන්න මේකයි කතන්දරේ. මෙතන ගණන්කාරයෝ කිව්වේ, ගණිතය කරවන්නෝ කියන අදහසින් මිසක්, අර ඔයාලා අපි දන්නා ගණන්කාරයෝ හෙවත් චණ්ඩි කියන අදහසින් නෙවෙයි. හොඳයි, අපි අද ඉතා කෙටියෙන් කතාකරමු, යුද හමුදා ගිණුම්කරණය ගැන කරුණු ටිකක්.

  ‘මොනවා?…. යුද්ධ හමුදාවේ ගිණුම් වැඩත් තියනවද?’

  ‘ඇයි හිතුවද යුද්ධ හමුදාව පවත්වාගෙන යන්නේ, රාජ්‍ය කළමනාකරණ සේවයෙන් කියලා? යුද්ධ හමුදාවේ ජීවිත හානි සඳහා ලබාදෙන වන්දි ගෙවීම් වගේම, යුද්ධයේදී නැතිවන සියලුම හමුදා දේපළ පවා, ගිනුම්කරණයකට ලක්වෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. අපි කෙටියෙන් සරලව ඒ ගැන බලමු’

   හමුදා කඳවුරක තියන අවි ආයුධ, අනෙකුත් සියලුම උපකරණ, වාහන, ගොඩනැගිලි, ඇතුළු සියල්ලම පිළිබඳව, කාලීන වාර්තා, ඉහළ මූලස්ථාන වලට යවන්න ඕනේ. ඒ වගේම ඒවා පරීක්ෂා කිරීමට වාර්ෂික සමීක්ෂණ මණ්ඩල හමුදාව විසින්ම පත්කරනවා. මෙහිදී, අලුත්වැඩියා කොට භාවිත කළහැකි, පාවිච්චියෙන් ඉවත දැමිය යුතු, විනාශ කළයුතු, වෙන්දේසි කළයුතු, වශයෙන් බඩුබාහිරාදිය වර්ග කරනවා. අවි ආයුධ අලුත්වැඩියා කොට පාවිච්චියට ගත නොහැකිනම්, මධ්‍යම අවි ගබඩාවට යවනවා. ඒවා කාලීනව විනාශකර දමනු ලබනවා. ඒ එක පැත්තක්. නමුත් ගිණුම්කරණය ඊට වඩා ගැඹුරෙන් යනවා. 

   සෑම හමුදා බලඇණියක් Battalion විසින් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යායුතු ගිණුම් තිබෙනවා. එයින් ප්‍රධානතම ගිණුම වන්නේ, රෙජිමේන්තු ආයතන සභාපති ගිණුමයි = රෙ.ආ.ස. President Regimental Institute Account = P.R.I. මේ ගිණුම නිසිපරිදි පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන්නේ, ඒකකයේ අණදෙන නිළධාරි වරයාටයි. ගිණුම් ලිපිකරුවන් කොපමණ හිටියත්, ගිණුමේ නිරවද්‍යතාව සහ හමුදා රෙගුලාසි වලට අනුව පවත්වාගෙන යාමේ වගකීමෙන් මිදෙන්නට, අණදෙන නිළධාරි වරයාට බැහැ.

   මේ ගිණුම් කටයුතු කරන ලිපිකරුවන් කවුද? ඔවුන් හමුදා සොල්දාදුවෝ. කොහොමද ඔවුන් ගිණුම්කරණය දන්නේ? සෙබළකු කෝප්‍රල් නිළයට උසස් වන්නට නම්, හමුදා ගිණුම්කරණ විෂයයෙන් සමත්විය යුතුයි. ඒ විෂය ඔවුන්ට කාලීනව උගන්වනවා. ආන්න ගණන්කාර කෝප්‍රල්ලා හැදෙන හැටි. ඒ ආකාරයටම කෝප්‍රල් සිට සැරයන් දක්වා උසස් කිරීමේදීත්, හමුදා ගිණුම්කරණ විෂයය සමත් වන්නට ඕනේ. දැන් පේනවා නේද ‘ආමි කාරයා’ කියන මිනිහා ඇතුළේ, විවිධ හැකියා රාශියක් තියන බව?

   එතකොට ඔක්කොම කෝප්‍රල්ලා, සාජන්ලා, සාජන් මේජර්ලා,  ගිණුම් වැඩ මිස්සක් යුද්දේ කරන්නේ නැද්ද? පිස්සුද? උසස් කිරීමේ විභාගයේදී ගිණුම්කරණය සමත් වුනාට, ඒ ඔක්කොමලා ‘ගිණුම් වැඩකාරයෝ’ නෙවෙයි. ගිණුම්කරණයේ දක්ෂකම් ඇති ටිකදෙනෙක් තමා, ඒ වැඩ සඳහා යොදවන්නේ. අනික් ඔක්කොමලා යුද්දෙට යනවා. සමහරු යුද්දේ කරන ගමන් ගිණුම් වඩාත් කරනවා. බෝ……..රු. බොරු නෙවෙයි ඇත්ත. දවල් වරුවේ බලඇණි මූලස්ථාන කාර්යාලයේ ලිපිකරු රාජකාරියේ යෙදුන කෙනෙක්, රාත්‍රී කාලයේ ආරක්ෂක මුර රාජකාරියට වැටෙන්න පුළුවන්. බැහැ කියන්න බැහැ. ඒ තමයි හමුදාවේ හැටි. දවල් කාලයේ පරිපාලන කටයුතුවල යෙදුන නිළධාරියකුට, රාත්‍රී කාලයේ, භටපිරිසක් සමග, රැකසිට පහරදීමකට යන්න සිදුවන්න පුළුවන්. හමුදාව දුකයි සුදෝ.

   (ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ කියන කතාව අහලා ඇති නේද? අහලා නෑ? කෙටියෙන් කියන්නම්. ගොඩක් කෑලි අඩුකරලා. නැගෙනහිර පළාතේ, පුළුකුනාව ප්‍රදේශයේ, ක්‍රියාන්විත රාජකාරියට යන්නට සිදුවුණ සොල්දාදුවෙක්, තම පෙම්වතිය වන මල්කාන්තිට, සෙනෙහෙකොලයක් ලියනවා. මේ සෙබලාට, පුළුකුනාව ප්‍රදේශය අල්ලන්නේ නැහැ. ඒ නිසා ඔහු අතින්, අර සෙනෙහෙකොලයේ වැඩිපුර ලියවෙන්නේ, පෙම් සිතුවිලි නෙවෙයි, පුලුකුනාවේ දුෂ්කරත්වය.

   හැමදාම උදේට සැමන් හොදියි පානුයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ, වතුර ලුණුරහයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. නාන්න වතුර නැහැ, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. එහෙම තමයි ලියලා තියෙන්නේ. මේ සොල්දාදුවා මුර රාජකාරියේ ඉන්න ගමන් තමයි, ලිපිය ලියමින් ඉඳලා තියෙන්නේ. මුර පරීක්ෂාවේ ආපු සාජන්, මේ වැඩේ දැක්කා. සෙබළාට තරවටු කොට උදුරගත්තා අර කොළේ. ඔන්න ඔය උදුරාගැනිල්ල නිසා, ඔන්න ඕකයි තත්වේ කතාව හමුදාව පුරාම පැතිරුණා) 

   යුද්ද කාලේ, ගිණුම් පොත්පත් සටන් භූමියට ගෙනිහින්, ඉඩ ලැබෙන පරිදි ගහක් යට තියාගෙන හෝ සකස්කරපු අවස්ථා මෙපමණයි කියන්න බැහැ. ඔය මොනවා කිව්වත්, ගිණුම් වැඩ හරියට තියෙන්නත් ඕනේ. යුද්දේ කරන්නත් ඕනේ. දෙපැත්තම සමබර වෙන්න ඕනේ. අණදෙන නිලධාරි වරුන් එක පැත්තකින් යුද්ධයට අණදෙන අතරේ, දුව පැන යන එන ගමන් ගිණුම් පරීක්ෂා කිරීමත් කළා. ඔබට හිතාගන්න පුලුවන්ද මේවා මෙහෙම වුණා කියලා. නමුත් මා කියන්නේ සම්පූර්ණ ඇත්ත. යුද්ධය කියලා ගිණුම් වැඩ නොකර ඉන්න කිසිම නිදහසක් නැහැ හමුදා රෙගුලාසි අනුව. 

   එතකොට කෝප්‍රල්ලා සාජන්ලා විතරනේ ගිණුම් වැඩ දන්නේ. නෑ නෑ. නිළධාරියකු, කැඩෙට් නිළධාරියකු වශයෙන් පුහුණුව ලබන කාලයේදීම, ගිණුම්කරණය උගන්වනවා. කාලීනව පත්කරන ගිණුම් පරීක්ෂණ මණ්ඩලයක, සභාපති හැටියට පත්කරන්නේ නිළධාරියෙක්. සෙසු සාමාජිකයන් හැටියට සාජන් මේජර්, සාජන්, වැනි නිළයන්හි අය පත්කරන්න පුළුවන්.

   ඉතින් ඔය රෙආස ගිණුමෙන් මොනවද කරන්නේ? ඇත්තටම රෙආස ගිණුම තරමක් සංකීර්ණයි. සෑම හමුදා කඳවුරකම පාහේ, මුදල් පරිහරණයට සම්බන්ධ වන විවිධ ආයතන තිබෙනවා. ඒ එක් එක් ආයතනය, උප ගිණුමක් සේ සළකා, ඒ සම්බන්ධ ප්‍රධාන ගිණුම ලෙස ක්‍රියාකරන්නේ, රෙආස ගිණුමයි. රෙආස ගිණුම බැංකුවක් මෙන් ක්‍රියා කරනවා. උප ගිණුම් වලට අයත් ආයතන වලට, රෙආස ගිණුමෙන් මුදල් ගන්නත්, තමන් උපයන ආදායම්, රෙආස ගිණුමේ තැන්පත් කරන්නත් පුළුවන්.

මොනවද ඔය උප ගිණුම්? ඔව් අපි කීපයක් පමණක් අරන් බලමු, මොනවද ඒවා කියලා.

සෙසුනිළ භෝජනාගාර ගිණුම (Men’s Club):- සාමාන්‍ය සොල්දාදුවන්ට වෙන්කළ භෝජනාගාරය, සහ අවන්හල. (අවන්හල කිව්වට මත්පැන් නැහැ, ටොපියේ සිට විවිධ දේ, මිලදී ගන්න පුළුවන්. අත්පිට මුදලට පමණයි) මුදල් අයකර ලබාදෙන බිලියඩ් වැනි ක්‍රීඩා පහසුකම් තිබෙන්නට පුළුවන්. ඉතින් මේවා මුදල් පරිහරණය කරන කාර්යයන් නිසා ගිණුම් කළයුතුයි.

කොනොනි භෝජනාගාරය (Corporals Club):-  කෝප්‍රල් සහ ලාන්ස් කෝප්‍රල් නිළයේ අයවලුන් සඳහා පහසුකම් සැපයීම. ඉහත පරිදි වෙනම උප ගිණුමක් ලෙස සළකනවා.

බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නය Warrant Officers and Sergeants Mess:- ඉහත වර්ග දෙකට වඩා වරප්‍රසාද ලැබෙනවා. වෙනම මුළුතැන්ගේ පහසුකම් ලබාගත හැකියි. බීමහලක් පවත්වාගෙන යාහැකියි. අත්පිට මුදලට පමණයි.

බැරැක්ක හානි අරමුදල:- නොසැළකිල්ලෙන් බැරැක්ක වලට සහ එහි තුළ ඇති උපකරණ වලට සිදුවන හානි සඳහා අයකරගැනීම්.

ඉඳුල් ආහාර ගිණුම:- ඉඳුල් ආහාර යනු, ඉවත දමන කෑම, ඌරු කොටු, පොහොර, වැනි දේකට විකුණා ලබන ආදායම.  ටොන් ගණනක් එක දිනකට එකතුවෙන්න බැහැ. කෑම ඉවත දැමීම වරදක්. පස්සේ කතාකරමු වෙනම ලිපියකින්.  

අවි පුහුණු අරමුදල:- පුහුණුවීම් සඳහා වෙඩි තැබීම් කරන්නේ කෘත්‍රිමව සාදන පස් කන්දකට. වෙඩි උණ්ඩ ඉලක්කපතේ වැදී හෝ නොවැදී ගොස්, අන්තිමට වදින්නේ මේ පස් කන්දට. කාලීනව එය හාරා, එම උණ්ඩ ලබාගෙන, ඒවා ඊයම් කැබලි ලෙස විකුණන්නට පුළුවන්.

හොඳයි, මේ රෙආස ගිණුම හැර වෙනත් ගිණුම් තියනවද. ඔව්. වෙනත් ස්වාධීන ගිණුම් තියනවා. එකක් තමයි,

නිළධාරි නිවස්න ගිණුම Officers Mess Account:- නිළධාරි නිවස්නයක ස්වභාවය ගැනත්, පස්සේ වෙනම ලිපියක් ලියන්නම්.  නිලධාරි නිවස්න ගිණුම ස්වාධීන ගිණුමක්. එය රෙආසට සම්බන්ධයක් නැහැ. හමුදාවේ නිළධාරීන්ට භෝජනාගාර පහසුකම් ලැබෙන්නේ, අනෙකුත් සියලුම නිළයන්ට ලැබෙනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ නිසා වෙනම ගිණුමක් පවත්වාගෙන යනවා. එහි වගකීම දරන්න වන්නේ, බලඇණියක නම් දෙවැනි (උප) අණදෙන නිළධාරි වරයායි. ඔහු, නිළධාරි නිවස්න කමිටුවේ සභාපති, President Mess Committee = PMC යනුවෙන් හැඳින්වෙනවා.  

අක්මුදල් ගිණුම Imprest Account:- මේ ගිණුම කෙළින්ම සම්බන්ධ වන්නේ නිලධාරීන් හැර සෙසු සියලුම අයවලුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමටයි. වෙන කිසිම ගනුදෙනුවක් කළ නොහැකියි. භාණ්ඩාගාරයෙන් නිකුත්කරන මුදල් නිසා, ඉඳුරාම රජයට වගකිව යුතුයි. මේ ගිණුම පරීක්ෂා කරන්නට, විගණකාධිපති දෙපාර්තමේන්තු නියෝජිතයන්ට බලය තිබෙනවා. ඔවුන් ඒ සඳහා පැමිණි වහාම කරන්නේ, මුදල් සේප්පුව මුද්‍රා තබා, යතුරු අතට ගැනීමයි. ගිණුම පරීක්ෂා කිරීමෙන් පසු, අත ඉතිරි මුදල, ගිණුමේ සඳහන් ශේෂයට වඩා සතයක් වත් අඩු හෝ වැඩි වන්නට බැහැ. මේ වනවිට, යුද හමුදා වැටුප් ගෙවීම, පරිගණක ජාලගතකර, කෙළින්ම සෙබළුන්ගේ බැංකු ගිණුම් වෙත බැරවන ආකාරයට සකසා ඇති බැවින්, මේ කාර්යය වඩාත් පහසුවී තිබෙනවා.

   අක්මුදල් ගිණුම හැර, ඉහත සඳහන් අනෙක් ගිණුම් සෑම මාස හතරකට (කාර්තුවකට) වරක්, ගිණුම් පරීක්‍ෂණයකට භාජනය කොට, එම ගිණුම් පරීක්ෂණ වාර්තාව, අණදෙන නිලධාරිගේ අත්සනින් යුතුව, ඉහළ මූලස්ථානය වෙත ඉදිරිපත් කළයුතු වෙනවා. අවසාන කාර්තුවේදී, ගිණුම් පරීක්‍ෂණය සිදුකරන්නේ, වෙනත් කඳවුරකින් එවනු ලබන මණ්ඩලයකින්. එහිදී, අක්‍රමිකතා, අඩුපාඩු, හමුදා රෙගුලාසි වලට පටහැනි ක්‍රියා, නිරීක්ෂණය වුවහොත්, අණදෙන නිළධාරි ඊට වගකිවයුතු වෙනවා.

   මේ ගිණුම් වලට කෙළින්ම සම්බන්ධ නැති, සිවිල් ගණකාධිකාරී වරයකු සහ කාර්ය මණ්ඩලයක්, යුදහමුදාවට තිබෙනවා. එහි සිටින්නේ රජයේ සේවකයන්. ඔවුන්ට හමුදාව සමග සම්බන්ධයක් නැහැ. ඔවුන් කරන්නේ හමුදාව, පිටස්තර ආයතන සමග කරන ගණුදෙනු සම්බන්ධව ක්‍රියා කිරීමයි. 

   ඉතා සංකීර්ණ කරුණු සම්භාරයක්, හැකිතරම් සරලව කීමටයි උත්සාහ ගත්තේ. ඔබට ඇතිවන ගැටළු විමසන්නේ නම් තවත් පැහැදිළි කිරීම් කළහැකියි. 

2015 දෙසැම්බර් මස 06 වැනි දින 2252 පැය 

Advertisements

Comments on: "කවුද ආමි එකේ ඉන්න ගණන්කාරයෝ?" (7)

  1. බොහොම රසවත් විදිහට ලියවිලි තියනවා විචාරක තුමා. පොලීසියේ වගේ නෙමයි. හමුදාවෙ ඉන්නෙ ග්‍රේට් චන්ඩි කියලයි සාමාන්‍ය මින්සුන්ගෙ මතය. හමුදාවාහනයක් දැක්කමා ඒක තමනුත් පස් කරගෙන යනතුරු බාල ඉඳල ඒ අයට සැලියුට් කරන සිවිල් මිනිස්සු දැනුත් කවදත් ඉන්නවා මට පෙනී ගිය දෙයක්. කොපමණ සේයක් සැලසුනත් මේ තත්වය පොලීසියට ලබා ගන්න තවම බැරි වුනා. මේ පෝස්ටුව දකින අර සෙබලා මල්කාන්තිට ලියාවි මට ලියන්න වෙලාවක් නෑ. “මේ ලින්ක් එක බලන්න මල්කාන්ති “ඔන්න ඕකයි හමුදාවෙ තත්වෙ“ කියල ඉහළ නිලයක් දකින්න කලින් ඉක්මණට ලියාවි නේද

    • හෙහ් හෙහ්……..චන්ඩිකම් නං මොනවද ගුණසිංහ මහත්තයෝ, ආමි කාරයෝ වැඩේට බැස්සම උන්නද මළාද කියලා බලන්නේ නැහැනේ. ඒකයි මිනිස්සු ආදරේ.

      හාහ් හාහ් හා, අම්මපා ගුණසිංහ මහත්තයත් හොඳ හාස්‍යෝත්පාදක විදිහට කරුණු විග්‍රහ කරන්න දන්නවනේ. ඇත්තටම දැන් ඔය මල්කාන්තිලා වයසට ගිහින් ඇති.

      බොහොම ස්තුතියි ඔබතුමාගේ මේ අගනා අදහස් දැක්වීම ගැන.

  2. i been a silent reader of your blog from a long time.
    Could you please write something about army PSC course and staff college as well?
    Keep it up your good job.

  3. ස්තුතියි කියන්ඩ වටිනා එකක්….. මම ඇත්තටම හිතුවේ නෑ හමුදාවේ ඔය තරම් ගිණුම්කරණ වැඩ ඇති කියලා……

    යකඩෝ….. වෙඩි තියලා ඉතුරු වෙන එකත් ඊයම් වලට විකුණනවද ?

    විචාරක තුමෝ, යුධ භුමියේ භාවිතා ඉතුරු වෙන දේවලුත් විකුණනවද ? මම කිව්වේ හිස් පතුරම් කොපු, කාලතුවක්කු කොපු එහෙම……

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      ඇත්තටම හමුදාව ඉතා අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. වෙදිපිටියේ තිබෙන ඊයම් උණ්ඩ විකිණීමේ වරදක් නැහැ නේද? ඊයම් ටිකක් හිග ලෝහයක්.

      යුද්දෙන් පස්සේ කැමති අයට කාලතුවක්කු හිස් පතරොම් කොපු මුලදී නිකම් දුන්නා නිවසේ අලංකාරයට තියන්න. පස්සේ පස්සේ ඒ ක්‍රමය නැවතුනා. ඔක්කොම එකතු කරලා මධ්‍යම අවි ගබඩාවට අරන් ගියා. කාලීන වටිනාකම බොහොම ඉහලයි. සමහරවිට දැන් විකුණලා ඇති. නමුත් සල්ලි කාගේවත් සාක්කුවට යන්නේ නැහැ. හමුදාපති අරමුදලට යන්නේ.

      වාහන සහ තවත් නොයෙක් දේ වෙන්දේසි කරනවා කාලෙන් කාලෙට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: