විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   එහෙනං තමුන්නාන්සේලා හමුදා කෙතටත් බැස්සා ඈ? හොඳයි හොඳයි, ඔය කොයි කෙතටත් බැහැලා බැලුවම, නවමු අත්දැකීම් ලැබෙනවා. ඒ වගේමයි, ඒ ඒ කෙතේ හැටි සොබාව, බොහොම හොඳින් තේරුම් යනවා. පහුගිය ලිපියෙන් කිව්ව දේවල්, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වීම ගැන සතුටුවන ගමන්, ඔන්න අද අපි මේ ලිපි මාලාවේ දෙවැනි කොටස, මෙන්න මේ විදිහට ආරම්භ කරනවා.

   එකක් මතක තියාගන්න. මේ විෂයය, ලිපි දෙකකින් අවසන් කරන්න බැරි, මහා කරුණු සම්භාරයක් තියන විෂයයක්. නමුත්, බ්ලොග් ලෝකයේදී, අපි මේවා ලියන්නේ, මෙන්න මෙහෙම දේවල් තියනවා කියලා හඳුන්වා දෙන්න පමණයි. ඒ නිසා, ඉතා සීමිත විස්තර ප්‍රමාණයක් පමණයි, ඇතුළත් කරන්නේ.    පසුගිය ලිපියේදී මා කිව්වා මතක ඇති, හමුදා ක්‍ෂේත්‍රයේ කළමනාකරණය administration in the field නිසිපරිදි සිදු නොවුණොත්, යුදබිමේ සිටින සෙබළා අමාරුවේ වැටෙන බවත්, එයින්ම යුද්ධය පරදින බවත්.

   හමුදා කටයුතු වලදී, මේ ක්‍ෂේත්‍ර කළමනාකරණය සමග තවත් විෂයයක් ඒකාබද්ධ වෙනවා. එය හඳුන්වන්නේ ‘භටකාර්ය සම්පාදනය’ යනුවෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී Logistics නමැති වචනය හමුදා කටයුතු වලදී හඳුන්වන්නේ භටකාර්ය සම්පාදනය යනුවෙන්.

   සාමාන්‍ය ව්‍යවහාරයේදී ලොජිස්ටික්ස් කියන්නේ, යම්කිසි පාරිභෝගික භාණ්ඩයක්, එම භාණ්ඩය නිපදවන ස්ථානයේ සිට, පාරිභෝගිකයා අතට පත්වන තුරු කෙරෙන, ප්‍රවාහනය/හුවමාරුව/ගණුදෙනුව/දාම ක්‍රියාව/ කියලා කියන්න පුළුවන් නේද?

   යුද්ධයේදී, මේ ක්‍රියාදාමය, ඉතා සංකීර්ණ, වගකීම් බහුල, යුද පිටියේ සිටින සෙබළ ජීවිත පිලිබඳ තීරණය කෙරෙන, යුද පිටියෙන් පිටත කෙරෙන තවත් මහා යුද්ධයක්, කිව්වට වැරද්දක් නැහැ. ඒ තරමට එය බරපතළයි. දැන් අපි දන්නවා රටේ පාලන කටයුතු සඳහා එක් එක් අමාත්‍යංශ පිහිටුවා තිබෙන බව. යුද හමුදාවේත්, ඒ ඒ විෂයයන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවා තිබෙනවා. මේ වෙලාවේ මතකයට එන ඒවා කීපයක් සඳහන් කරනවා. 

  • ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Operations 
  • පාබල හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Infantry
  • පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය – directorate of Personnel Administration
  • සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Supply & Transport
  • වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Army Medical Services 
  • භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Army Quartering 
  • ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Engineer Services 
  • යුද්ධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය – Directorate of Army Ordnance Services
  • වැටුප් සහ ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය – Directorate of Pay and Records 

   තවත් තියනවා. දැනට ඔය මදෑ. දැන් මුලින්ම පෙනෙනවා නේද, යුද හමුදාව කොයි තරම් සංකීර්ණද කියලා. මීට පෙර මම ඔබට කියලා දුන්නා, යුද හමුදාවක් සංවිධානය වී ඇති ආකාරය. එතනදී නොකියවුණු, යුදහමුදා ආයතන ගැන, මේ ලිපියේදී කියවෙනවා. ඒ නිසයි මා කිව්වේ, යුදහමුදාව ඉතා සංකීර්ණ සංවිධානයක් බව.

   අමාත්‍යාංශයක් භාරව ඇමති කෙනෙක් ඉන්නවා වගේ, මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයක ප්‍රධානියා වන්නේ, මේජර් ජෙනරල්  වරයෙක්. (ඔන්න දැන් පේනවා නේද, හමුදාවට මෙච්චර මේජර් ජෙනරල් ලා අවශ්‍ය මොකද කියලා) සුදුසු මේජර් ජෙනරල් කෙනෙක් නැත්නම්, බ්‍රිගේඩියර් වරයකු පත්කරනවා, කාර්ය නියුක්ත පත්වීමක් ලෙස.

   හොඳයි දැන් කොහොමද මේ කළමනාකරණ/පරිපාලන සහ භටකාර්ය සම්පාදන යුද්දේ Admin & Logistic Procedure සිද්දවෙන්නේ. ඔන්න හොඳට අහගන්න. හමුදාවේ තියන කාර්ය මණ්ඩල ප්‍රධාන වශයෙන් වර්ගීකරණ තුනකට වැටෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

1 ප්‍රධාන කාර්ය මණ්ඩල රාජකාරි  = ‘ප්‍ර මාණ්ඩලික’ – General Staff duties = ‘G Staff’

2 පාලන කාර්ය මණ්ඩල රාජකාරි = ‘පා මාණ්ඩලික’ – Administrative Staff duties = ‘A Staff’

3 උපකරණ පාලක මණ්ඩල රාජකාරි = ‘උ මාණ්ඩලික’ – Quartermaster Staff duties = ‘Q Staff’

   මේ රාජකාරි සඳහා නිළධාරීන් පත්කරන්නේ, ජ්‍යොෂ්ඨතා අනුපිළිවෙල අනුවයි. ඒ කියන්නේ, ඉහත අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට පත්කරන නිළධාරියකුට සමාන නිළයක නිළධාරියකු, අංක දෙක හෝ තුන මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ නම්, ඔහු අංක එක මාණ්ඩලික නිළධාරියාට වඩා කණිෂ්ඨ අයකු වනවා, හැකි සෑමවිටම. එමෙන්ම අංක එකේ මාණ්ඩලික රාජකාරි වලට අයත් වන්නේ, ක්‍රියාන්විත රාජකාරි නිසා, එම මාණ්ඩලික රාජකාරි සඳහා පත්කරන්නේ, සටන්කාරී රෙජිමේන්තුවලට අයත් නිළධාරීන්. අංක දෙක සහ තුන සඳහා පත්කරන්නේ, සටන්කාරී නොවන සහ ආධාරක සේනා වශයෙන් සැළකෙන රෙජිමේන්තු වලට අයත් නිළධාරීන්. නිත්‍ය හමුදාවේ නිළධාරීන්/සෙබළුන් මෙන්ම, ස්වේච්ඡා හමුදාවට අයත් නිළධාරීන්/සෙබළුන් ද, ‘ප්‍ර මාණ්ඩලික’ රාජකාරි හැර, ‘පා’ සහ ‘උ’ රාජකාරි සඳහා යොදවනවා. 

   සටන් කරන්නේ කවුද, නොකරන්නේ කවුද කියලා, මීට කලින් කියලා දුන්නා මතකද. දැන් හිතන්න එපා, පරිපාලන වැඩවලට දාන්නේ, වැඩබැරි ටාසන්ලා කියලා. එහෙම එකක් නැහැ. පරිපාලන සහ භටකාර්ය සම්පාදනය වෙනුවෙන්ම සැකසුන, රෙජිමේන්තු සහ අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ, ඒ පිළිබඳ විශේෂඥයන්. ඔවුන්, නිසි වෙලාවට, නිසි පියවර ගන්නා නිසා තමයි, සෙබළා බයනැතුව යුද්ද කරන්නේ. 

   හෑ……….ඒ කියන්නේ, යුද්ද කරන්න මණ්ඩල එකයි. පරිපාලන වැඩ වලට මණ්ඩල දෙකයි. අම්මපා ඔහොම කොහොමද යුද්ද කරන්නේ?

   ඔව් ඒක එහෙම තමා මහත්තයෝ. රොකට් එකක් හඳට යවන්න, කොච්චර ලොකු පිරිසක් මහපොළොවේ ඉඳලා වෙහෙසෙනවද? නමුත් අන්තිමට රොකට් එකේ නැගලා යන්නේ, එක්කෙනයි දෙන්නයිනේ.

   හෙහ් හෙහ්…….රොකට් යවන්න එහෙම වැඩ කලාට, යුද්දෙදි එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම වැඩි හමුදා පිරිසක් ඉන්නේ යුදබිමේ. මේ පරිපාලන කටයුතු වලට ඉන්නේ, ඊට වඩා බොහොම අඩු පිරිසක්.

   ‘ඉතින් මේ පිරිසත් යුද්දෙට යවන්න පුළුවන් නේ’.

   ඔක්කොමලා යවන්න බැහැ. මේ අයගෙන් සමහරු වෛද්‍ය/ඉංජිනේරු/නීතීඥ/ගණකාධිකාරී/විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු/ වැනි වෘත්තීන් පිළිබඳ, විශේෂඥ දැනුමක් තියන අය. ඒ වගේම, පාබල හමුදාවල ඉන්න අයට වගේ, සටන් කිරීමේ විශේෂ පුහුණුවක්, ඔවුන්ගෙන් බහුතරයකට ලැබී නැහැ. ඉතින්, ඔවුන් යුදපිටියට යවා, මරණයට පත්වුනොත්, අපට හොඳ වෘත්තිකයන් අහිමි වෙනවා.

   හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. අනිවාර්ය හමුදා නීතිය යටතේ හෝ ස්වේච්ඡාවෙන් හෝ මේ වෘත්තීන් වලට අදාළ අය හමුදාවට බඳවාගන්න පුළුවන් නම්, ඔවුන්ව මේ පරිපාලන කටයුතු වලට පමණක් යොදවා, ඒ තැන්වල ඉන්න වෘත්තීය සෙබළුන් ඉවතට ගෙන, ඔවුන්ට සටන්කාරී පුහුණුවක් දී, යුද්ධයට සහභාගි කරගන්න පුළුවන්, දෙවැනි පෙළක් ලෙස. (යුදබිමේ පසුපස ආරක්ෂාව, යුද්ධය නැති ප්‍රදේශවල කඳවුරු ආරක්‍ෂාව, විදුලිබලාගාර, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන ආරක්‍ෂාව වැනි දේට යොදවන්න පුළුවන්. ඉතා සුළු පරිමාණයෙන්, එහෙම කළ අවස්ථා තිබෙනවා, පසුගිය යුද සමයේ)

   මොකද හිතන්නේ ඒ ගැන? හොඳයි, හිතෙන දේ කියන්නකෝ. අපි යමු ඉස්සරහට.

   යුද හමුදාවේ සියලු කටයුතු කෙරෙන්නේ යම් යම් න්‍යායන් හෝ පිළිවෙත් පදනම් කරගෙන බව, මේ අඩවියේ පළවන ලිපි කියවන ඔබ හොඳින් දන්නවා. ඉතින්, මේ යුද හමුදා ක්ෂේත්‍ර පරිපාලනය සහ භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය සිදුවෙන්නෙත්, එවැනි න්‍යායාත්මක කරුණු හෙවත්, මූලධර්ම පදනම් කරගෙනයි. මෙන්න මේවා තමයි ඒ කරුණු.

අ. ඉදිරි දැක්ම – Foresight

ආ. අරපිරිමැස්ම – Economy

ඇ. නම්‍යශීලී භාවය – Flexibility

ඈ. සරල භාවය – Simplicity

ඉ. සහයෝගීතාවය – Cooperation 

   දිග විස්තරයක් කෙටියෙන් කියනවානම් මෙහෙමයි. යුද්ධයක් ඇති කාලයක වුනත්, නැති කාලයක වුනත් ඉස්සරහට මොනවා වෙයිද කියන එක ගැන කල්පනාවෙන් ඉඳලා අවශ්‍ය පියවර ගන්න ඕනේ. හමුදාවට ලැබෙන සම්පත් හැමදාම මහා විශාල පරිමාණයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සම්පත් අරපිරිමැස්මෙන් යොදාගත යුතුයි. යුදභූමි කළමනාකරණය නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක වියයුතුයි. සෙබලා අපහසුතාවයට පත්වන ආකාරයේ දැඩි ප්‍රතිපත්ති නොවිය යුතුයි. සැළසුම් සහ ක්‍රියා පිළිවෙත්, සරල වියයුතුයි. ඒ සඳහා මහා පරිමාන සම්පත් වැයවීම් සිදු නොවිය යුතුයි. (කොළඹ ඉඳලා යාපනේට සෙබළුන් 100 ක් යවන්න, එයාර්බස් ගුවන් යානයක් අවශ්‍ය නැහැ) යුදබිමේ තිබෙන විවිධ මූලස්ථාන සහ කඳවුරු සමග සහයෝගයෙන්, තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතුයි.

   මේ පරිපාලන කටයුතු සියල්ල පාලනය කරන ප්‍රධාන මූලස්ථානයක්, යුද බිමට ඉතා ඈතින් තියනවා. එය හඳුන්වන්නේ යුද භූමිකා මූලස්ථානය වශයෙන්. Theatre Headquarters (බෝඩ් ගහන්නේ නැහැ. හමුදාවේ දැනගතයුතු අය විතරයි දන්නේ) එහි සිට තමයි පරිපාලන යුද්දේ කරන්නේ.

   ඒ මොකද එයාලා යුධ භූමිය ලඟට එන්න බයද?

   බයක් නැහැ. නමුත් එයාලවත් යුද භූමිය ලඟට ගෙනත්, සතුරු ප්‍රහාරයකට ලක්වුනොත් අර යුදබිමේ ඉන්න සොල්දාදුවාට නේද පාඩුවෙන්නේ. ඒ නිසයි ඒවා යුදබිමෙන් ඈත්කර තබන්නේ.

   පරිපාලන සහ භටකාර්ය සම්පාදන කටයුතු සඳහා, යුද භූමිය කොටස් වලට බෙදාගන්නවා. මේවා කළාප zones වශයෙන් නම් කරනවා. පොඩි රූප සටහනකින් පෙන්වන්නම්.  

Zones

   නිකං ග්‍රීක් වගේද? වගේ තමා. මෙන්න මේකයි මේ කියන්නේ. ඔබේ වම් අත පැත්තේ සීමාවේ තියෙන්නේ, යුදබිම කියලා හිතන්න. දැන් එහි සිට දකුණු අත පැත්තට කි.මී. 100 ක් පමණ ප්‍රදේශයේ, විවිධ සැපයුම් ස්ථාන හදාගන්නවා, ඒ ඒ අවශ්‍යතා සඳහා. මේවායේ සැපයුම්, පැය 24 පුරාම සිද්ධ වෙනවා, අවශ්‍යතාව පරිදි. අවි ආයුධ, පතරොම් බෝම්බ, කෑමබීම, ඉන්ධන, වගේ දේවල්. මේ කළාපය, ඉදිරි සංග්‍රාමික කළාපය කියලා හඳුන්වනවා. දැන් ඉතින් වැරදි අවබෝධයක් ගන්න එපා, පොළොවේ ඉරි ඇඳලා, මේ දුර හරියටම ලකුණු කරලා තියනවා කියලා. මේවා සම්මතයන් පමණයි. පළමුවැනි කළාපය පළල වැඩියි. එහි ඒ තරම් කඳවුරු රාශියක් තියනවා. අනේ එව්වා කියන්න බැහැ. එව්වා රහස්. 

   දෙවැනි කළාපයේ, ඒ කියන්නේ, පසුපස සංග්‍රාමික කළාපයේ, ඊළඟට අවශ්‍යවන තොග ගබඩාකොට තබනවා. සාමාන්‍යයෙන් පැය 24 පුරා සැපයීමක් සිදුවන්නේ නැහැ. ඉස්සරහා තොග අඩුවෙනකොට යවනවා. පසුපසින්ම ඉන්නේ අර සංග්‍රාමික භූමිකා මූලස්ථානය. ඔවුන් ප්‍රතිපත්ති තීරණ අනුව, සංග්‍රාමෝපකරණ ආනයනය, පාලනය, බෙදාහැරීම, සහ අනෙකුත් පරිපාලනමය කටයුතු කරනවා. මේ කලේ හැඳින්වීමක් පමණයි.

   මේ කළාප තුළ ඇති විවිධ හමුදා කඳවුරු, ඒවා මගින් කෙරෙන දේ,  ආදිය හරිම සංකීර්ණයි. එමෙන්ම ඒවා, හමුදාවේ නොවන අය විසින් දැනගත යුතු නොවන, restricted තොරතුරු හැටියටයි සැළකෙන්නේ. ඔබ මොහොතකටවත් සිතුවාද, මේතරම් සංකීර්ණ පාලන ක්‍රියාදාමයක්, යුද්ධය සඳහා අවශ්‍ය බව. ඒ නිසයි මා නිතරම කියන්නේ, හමුදාවේ ක්‍රියා විවේචනය කරන අය නොදන්නා කරුණු රාශියක්, එහි අභ්‍යන්තරයේ සැඟවී ඇති බව. ඒ නිසයි, ඔය බොහෝ විවේචන වලදී, හමුදාව නිහඬව කරබාගෙන ඉන්නේ. හමුදාවට වෙලාවක් නැහැ (පුරුදුත් නැහැ) වාදවිවාද වලට පැටලෙන්න. හමුදාව තියෙන්නේ, හමුදා ක්‍රියා සඳහා පමණයි. වාද විවාද කිරීම හමුදා කාර්යයක් නොවෙයි.

   මේ හා සමාන තවත් ලිපි කීපයක්, ඉදිරියේදී බලාපොරොත්තුවන්න. 

2015 නොවැම්බර් මස 29 වැනි දින 2342 පැය 

Advertisements

Comments on: "හමුදා කෙතේ කළමනාකරණය (දෙවැනි කොටස)" (10)

  1. kadhima wistharayak. hungak dewal dhAnagaththa 🙂

  2. ගොඩක් හොද ලිපියක්, ගොඩක් දැනගෙන හිටියේ නැති දේවල් මේ ලිපියෙන් දැනගත්තා. බොහොම ස්තුතියි විචාරකතුමාට.

  3. නිකම්ම ඈතට වෙලා ඊ ළඟට මොකද වෙන්නේ කියල බලා හිටියට වඩා මේ මොනතරම් සංකීර්ණ ක්‍රියාදාමයක් (හමුදා ක්‍රියාන්විතයක්) ද කියල පහැදිලිවෙන්නේ ඔබතුමාගේ මේ ලිපි පෙළ නිසයි. සිංහල මාධ්‍යයෙන් මූලික හැඳිනීමක්වත් ලබාගන්නට ක්‍රමයක් මෙපමණ කලක් තිබුණේ නැහැ. ඔබතුමා ගුරු ජීවිතයේත් පරිනත අත්දැකීම් ලැබූවකු වීම නිසා ලිපිපෙළ තරුණ සිසුන්ට දිරවන ඉතාම සිත්ගන්නා දැනුම් සම්භාරයක්ම ගෙන එනවා.

  4. ඉතා වැදගත් ලිපියක්. සමහර බොළඳ බ්ලොග් අඩවි බිහිවෙන කාලෙක ඔබතුමා මේවගේ හරබර බ්ලොග් එකක් ලියන එක ගැන අනෙක වාරයක් ස්තූතිවන්ත වෙනවා වගේම අගය කරන්නත් කැමතියි.

  5. සෑහෙන කරුණු අඩංගු වැදගත් ලිපියක්….. නොදැන හිටි දේවල් ගොඩක් දැන ගත්තා…….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: