විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


z_p14-Army1   හමුදා කෙත කිව්වේ……………? හමුදාවට අයිති කුඹුරකුත් තියනවද?

  ඔව්, සමහර අවස්ථා වලදී තිබිලා තියනවා. දැන්නම් තියනවාද කියලා දන්නේ නැහැ. හමුදාවට අයිති ගොවිපොළවල් පරිපාලනය කරන්නේ, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායෙන්. දැනටත් එවැනි ගොවිපොළ කීපයක් තියනවා. මේවා පරිපාලනය සඳහා කෘෂිකර්මය පිලිබඳ දැනුමක් සහ පුහුණුවක් ඇති නිළධාරීන්, යොදවා සිටිනවා. (එවැනි දැනුමක් ඇති අය නිළධාරීන් ලෙස බඳවාගන්නවා අවශ්‍යතාවය පරිදි)

   හැබැයි එයින් අදහස් කරන්නේ, පොදුසේවා බලකාය කරන්නේ, කෘෂිකාර්මික කටයුතු පමණක් යයි, වැරදි අවබෝධයක් ගන්න එපා. එම බලකාය, ප්‍රධාන වශයෙන් කරන්නේ, සමස්ත යුද හමුදාවේම, පෞද්ගලික ලිපිගොණු පවත්වාගෙන යාම, සමස්ත යුද හමුදාවේම වැටුප් සැකසීම, පිරිස් පාලන සහ විනය කටයුතුවලට සහාය දීම, යුදහමුදා තූර්ය වාදක කණ්ඩායම, සංස්කෘතික නැටුම් කණ්ඩායම් පවත්වාගෙන යාම, යුද හමුදා බියුගල් නලා කරුවන් පුහුණු කිරීම සහ අවශ්‍යවන පරිදි විවිධ හමුදා උත්සව සහ පෙළපාලි සඳහා අදාළ සේවය ලබාදීම වැනි රාජකාරියි.

  මෙතනදී මම හමුදා කෙත කිව්වේ, පොදුවේ ‘හමුදා ක්‍ෂේත්‍රය’ කියන අදහසින්. අද මා ඔබ සමග කතාකරන්නට යන්නේ, තරමක් ගැඹුරු, සාමාන්‍ය ජනතාව කිසිවිටකත් නොදන්නා, හමුදා පරිපාලනය පිලිබඳ කරුණු කීපයක්, ඉතා සරලව සහ කෙටියෙන්.

   හමුදා මාතෘකා ඉවරවෙලා නිසයි, මම දැන් වෙන වෙන මාතෘකා වලින් ලිපි ලියන්නේ කියලා හිතුනද? එහෙම නෑ අනේ. මගේ හිතේ තියන හමුදා මාතෘකා, මම මැරෙනතුරු වත් ලියලා ඉවර කරන්න බැරිවෙයි. නවීන තුවක්කු ගොඩක විස්තර හොයාගෙන තියනවා. වෙලාවක බලමුකෝ.

   හමුදාව කියන්නේ, වෙඩි තියපන් කිව්වම වෙඩි තියන, මරපන් කිව්වම මරණ, කිසිදු හිතක් පපුවක් නැති, මැරීම හැර වෙනත් කිසිවක් නොදන්නා පිරිසක් යයි, මේ 21 වැනි සියවසේදීත් සිතා සිටින උන්නැහේලා වෙත, අපගේ අනුකම්පාව, මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. 

   මේ විෂයය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, ‘Administration in The Field’ යනුවෙන්. ‘යුද බිමේ කළමනාකරණය’  කියලා සිංහලෙන් කියන්න පුළුවන්. මෙය ගැඹුරු විෂයයක් මෙන්ම, විශේෂඥ පුහුණුවක් ලැබියයුතු විෂයයක්. මේ විෂයයට අදාළව විදේශීය පුහුණු පාඨමාලා වලට පවා, අපේ හමුදා නිළධාරීන් යොමු කරවනවා. යුද පිටියක කළමනාකරණය සහ පරිපාලනය හරියට නොවුනොත්, සෙබළා අසරණ වෙනවා, අතරමං වෙනවා, යුද්දේ පරදිනවා. යුද්ධයට ගියාම සෙබළාට අත්‍යවශ්‍යම දේවල් මොනවද?

   අඛණ්ඩ පතරොම් සැපයුමක් තියෙන්න ඕනේ. වෙඩිතැබීමේ ක්‍රියාව, දීර්ඝව, නොකඩවා, කරගෙන යන්න වෙන අවස්ථා බොහොමයි. ඒ වෙලාවට පතරොම් සැපයුම අඩාල වුනොත්, කපෝතියි.

   පිටේ තියන මල්ලට දාගෙන ඉන්න, වියළි ආහාර සළාක පැකට් වල තියන දේවල්, කන්න පුළුවන් තත්වයේ හොඳ ආහාර වියයුතුයි. එම සලාක ඉවරවෙන්න කලින් අලුත් සැපයුම් ලැබිය යුතුයි.

   සටනේදී පුදුම වතුර තිබහක් එනවා. වතුර ඉතා පරිස්සමෙන් පාවිච්චි කළත්, වතුර හොයාගන්න අමාරුනම්, වතුර සැපයුමක් (සොල්දාදුවන් වතුර ගෙනියන ඇලුමිනියම් බෝතල් නැවත පුරවා දීමක්වත්) තිබිය යුතුයි.

   ප්‍රථමාධාර සහ හදිසි අවස්ථා ආධාර සෑමවිටම සක්‍රියව තිබිය යුතුයි. තවත් දේවල් තිබුනත් මේ තමයි අත්‍යවශ්‍යම දේවල්. මේවා නිසිපරිදි කළමනාකරණය ඉතා සැලකිල්ලෙන් හා දැඩි සංවිධානාත්මක බවකින් යුක්තව කළයුතුයි. ඒ සඳහා තමයි ක්‍ෂේත්‍ර පරිපාලනය පුහුණු කරන්නේ. 

   මා ඔබට මීට පෙරදී ද කීප වතාවක් කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ, (පොදුවේ ලෝකයේ බොහෝ යුද හමුදාවල) නිළධාරීන් විසින්, අනිවාර්යයෙන් සමත්විය යුතු විභාග දෙකක් තිබෙන බව. ඒ තමයි, ලුතිතන් නිළයේ සිට කපිතන් නිළයට උසස් කිරීමේ විභාගය සහ, කපිතන් නිළයේ සිට මේජර් නිළය දක්වා උසස් කිරීමේ විභාගය. වෙනත් විභාග නැහැ. ඉන්පසු උසස්වීම් ලැබෙන්නේ, ජ්‍යොෂ්ඨත්වය/කුසළතාවය/දක්ෂතාවය අනුවයි.

   මෙම විභාගය, න්‍යායික සහ ප්‍රායෝගික වශයෙන්, කොටස් දෙකකින් පැවැත්වෙනවා. ඇත්තටම හොඳ සූදානමක් නැත්නම්, බොහොම අමාරු විභාග දෙකක්. (ඈ, ඔව් ඔව්, ටැබා හෙවත් ඥානපටි ගහනවා, හෙමින් කතා කරමින් ආධාර ලබාගන්නවා. සමහර විභාග පරීක්‍ෂක වරු, ඒ කාලේ පොඩි අනුකම්පාවක් කළා, සමහරු, යුද භූමියේ සිටිමින්, පොතක් පතක් අල්ලන්නවත් වෙලාවක් නැතුව ඉඳලා, කෙළින්ම විභාගෙට ආව අය නිසා)

   යුද න්‍යාය, පරිපාලනය, යුද හමුදා නීතිය, කාලීන තොරතුරු (current affairs) යන ප්‍රශ්න පත්‍ර හතරට අමතරව, යුද න්‍යාය යටතේ, ප්‍රායෝගික පරීක්‍ෂණයකට මුහුණ දෙන්න සිදුවෙනවා. භූමියේ තෝරාගත් යම්කිසි ස්ථානයකට ඔබව ගෙනගොස්, ඔබට ලබාදෙන ලිඛිත විස්තරයක් අනුව, තනියම යුද සැලැස්මක් සකසා, සිතියමක් ඇඳ, එම භූමියේ අදාළ තැන් පෙන්වමින්, එය පරීක්ෂණ මණ්ඩලය වෙත විස්තර කළයුතු වෙනවා. එම මණ්ඩලයේ සිටින, ජ්‍යොෂ්ඨ/පළපුරුදු නිළධාරීන් නගන ප්‍රති තර්ක වලට, සාර්ථක පිළිතුරු දෙන්නට වෙනවා. ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නිවැරදිව පාවිච්චි කරමින්, පණිවිඩ හුවමාරුවේ යෙදෙන්නට වෙනවා. පරීක්‍ෂණයට මුහුණ දුන් අය, ඊළඟට පරීක්‍ෂණයට මුහුණ දීමට සිටින අයව මුණගැහෙන්නට නොහැකිවන ආකාරයට, වෙන් කරනවා. මේ ප්‍රායෝගික පරීක්‍ෂණයේදී නම්, කිසිම අනුකම්පාවක් නැහැ. උත්තර වැරදි නම් අසමත් කරනවා.

   මම පෙන්වන්නම්, 1993 දී, මම මේ ප්‍රයෝගික පරීක්‍ෂණයට මුහුණ දුන්න ආකාරය. මේ පරීක්‍ෂණය තිබුණේ, මහනුවර – යාපනය A 9 මාර්ගයේ, තිරප්පනේ ප්‍රදේශය ආශ්‍රිතව. කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණයට අදාළවයි මේ ප්‍රායෝගික පරීක්ෂණය තිබුණේ. තිරප්පනේ ප්‍රදේශයේ තියනවා, තරමක් විශාල ගල් කන්දක පිහිටි, පැරණි විහාරස්ථානයක්. එම විහාරස්ථානයේ නම, තලගුරු රජමහා විහාරය. මෙන්න මේ විහාරස්ථානය අසල කන්දේ එක්තරා තැනක, හමුදා කඳවුරක් ඇතැයි උපකල්පනය කරමින් තමා, මෙම අභ්‍යාසයේ යෙදෙන්නේ.

   මට ලබාදුන් සංග්‍රාමික තොරතුරු පත්‍රිකාවේ, (narrative) විස්තර කර තිබුණා, LTTE සාමාජිකයන් 20 ක පමණ පිරිසක්, දැනට අප සිටින ස්ථානයේ සිට කිලෝමීටර් කීපයක් ඈතින් වනගතව පිහිටි  නිවසකට පැමිණෙන බවත්, T 56, ක්ලේමෝ බෝම්බ, බෝම්බ විදින පිස්තෝල, RPG, GPMG, වැනි අවි වලින් සන්නද්ධව යම්කිසි විනාශකාරී ක්‍රියාවක යෙදීම සඳහා, අහවල් දින, අහවල් වෙලාවට, පැමිණෙන බවත්, ඔවුන් පැය 48 ක පමණ කාලයක්, එහි රැඳී සිටීමට ඉඩ ඇති බවට, ඔත්තු කරුවකු මගින් තොරතුරු ලැබී ඇති බවත්, මට භාරදෙන කාර්යය (mission) වන්නේ, ඔවුන් සියලුදෙනා වනසා දැමීම බවත්, ඒ සඳහා මට එම LTTE සාමාජිකයන් සතු අවි වලට සමාන, ඊට වඩා අවි ප්‍රමාණයක් සහිත, 75 ක පමණ හමුදා භට පිරිසක් ලබාදෙන බවත්, මීට අමතරව, අසළ පිහිටි, ගල්කුලම ප්‍රදේශයේ, යුද ටැංකි තුනක් සූදානමින් රඳවා ඇති බවත්, ඒවා මට අවශ්‍ය පරිදි යොදාගතහැකි බවත්, ඊටත් අමතරව, සාලියපුර යුද හමුදා කඳවුරේ සිට, මා ඉල්ලාසිටින ඕනෑම අවස්ථාවක, අපේ යුද හමුදාව සතු විශාලතම කාලතුවක්කුව වන, මිලි මීටර් 130 කාලතුවක්කු වෙඩි සහාය දෙන බවත්, ඒ අනුව සිතාබලා, පැයක පමණ කාලයක් තුළ, මගේ ප්‍රහාරක සැළැස්ම හදා පෙන්වන ලෙසත්.  මෙන්න ඒ විස්තරේ මම පින්තූරෙකට නැගුවා. 

Screenshot (19)

   අප්පොච්චිගෙ පප්පේ…………ඉතිං මොකෑ කොරන්නේ. මීට වඩා හොඳයි, මාව කාලතුවක්කුවකට දාලා වෙඩි තිබ්බනම්, යන ලෝකෙකට යන්ඩ. පොහ්………..දැන් ඉතිං හදපියකෝ මයිනා වගේ ඉඳගෙන සැළැස්මක්. එව්වා කොහෙද මාත් එක්ක. මම විභාගෙට ආවේ පාස්වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයකින්. නිළ ඇඳුමේ පිටේ තිබුණු මල්ලෙන් ගත්තා, වතුර බෝතලේ. බිව්වා උගුරු දෙකක්. ඇයි අප්පේ, තොලකට වේලිලා ගියා අර විස්තරේට. අර විස්තරේ නැවත අතට අරන් කියවන ගමන්, වැදගත් කරුණු ලකුණු කරගත්තා වෙනම කොලේක. හැදුවා සැළැස්ම මෙන්න මේ විදිහට.

Screenshot (19a)

   හොඳයි, දැන් මම මේ සටහන විස්තර කරන්නම්, ඉතා කෙටියෙන්. මුලින්ම කියන්න තියෙන්නේ, ගූගල් සිතියම මත මා ඇඳ තිබෙන දේවල්, පරිමාණය අනුව ගැලපීමක් කර නැහැ. විස්තර කිරීම සඳහා ඇන්දා පමණයි.

   මම මෙහිදී යොදාගන්නේ, Block & Assault නමැති යුද න්‍යායයි. ඒ කියන්නේ එක පැත්තකින් සතුරාට පහරදෙන අතර, එම ප්‍රහාරයේදී, සතුරා පැනයනු ඇතැයි සිතන ප්‍රදේශයේ, තවත් හමුදා කණ්ඩායමක් යොදවනවා, පැනයන සතුරාව සමූලඝාතනය කරන්න. බලන්න මම මගේ භට පිරිස Assault සහ Block වශයෙන් කොටස් දෙකකට වෙනකොට තිබෙනවා. හැකිතරම් කැලෑව පාවිච්චි කරමින්, සැඟවෙමින් පයින්ම ඉලක්කය වෙත ගමන් කරනවා. (ලිපිය දිග වැඩිවන නිසා, ඒ ඒ පියවර අනුව කාලය, ගෙනයන අවි, ප්‍රහාරය ආරම්භ කරන වෙලාව වැනි දීර්ඝ විස්තරයක්, නොකියා අතහරිනවා මෙතනදී)  මේ ප්‍රහාරය එල්ල කරන්නේ රාත්‍රී කාලයේදීයි. 

   බලන්න, මම Assault පිරිස ස්ථානගත කරතිබෙන්නේ L අකුරේ හැඩයට. ඒ කියන්නේ, ප්‍රහාරය දෙපැත්තකින් එල්ල වෙනවා. සතුරා පැනයනවා නම්, බොහෝදුරට උත්සාහ කරන්නේ, Block එකට පසුපසින් ඇති පාරට යන්නයි. මම, Block එක, ආසන්න වශයෙන් අඩ කවයක ආකාරයට යොදවා තිබෙන්නේ, පැනයන සතුරන්, ඒ මකර කටට ඇතුළු කරවා ගන්නයි. මෙතනදී මම Assault එක සඳහා 50 ක් පමණ පිරිසකුත්, Block එක සඳහා 25 ක් පමණ පිරිසකුත්, යොදාගන්නවා. (අනේ……… තරහ ගන්න එපා. මේ කියන්නේ යුද්ධ කරන හැටි. ඉතින් මරණ හැටි කියන්න වෙනවා)  

   කහපාට කුඩා ඊතල වලින් පෙන්වන්නේ, ප්‍රහාරය එල්ල කරන දිශාවයි. දැන් ඔබ කවුරුහරි කියන්න පුළුවන්, ‘ඉතින් Assault පිරිසයි, Block පිරිසයි වෙඩිතියාගන්න ඒවා, ඒගොල්ලන්ටම වදිනවනේ’ කියලා. අන්න ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ, මේ සිතියම පරිමාණයකට සකසා නැහැ කියලා. ප්‍රායෝගිකව ඒ කණ්ඩායම් දෙක ඉන්නේ එකිනෙකාට මීටර් 800 ක් විතර ඈතින්. ආරම්භක ස්ථානයේ පිටත්වී ක්‍රියාන්විතය අවසන් කොට, සතුරාගෙන් අත්පත් කරගත් දේවල් ඇත්නම් ඒවාත් රැගෙන, අපේ මියගිය/තුවාල ලද අයවළුන්වද රැගෙන, අවසානය යනුවෙන් සඳහන් ස්ථානයටයි යන්නේ.

   ගිය පාරේ ආපහු නොඑන්න හැමවිටම උත්සාහ කරනවානම් හොඳයි. සතුරන් අපි නොදන්නා පිරිස් යොදවා තිබෙන්නත් පුළුවන්. බලන්න අවසානය කියන තැන පාරේ හන්දියක් තියනවා. අපි එතනට රහස් නමක් දෙනවා, මෙවැනි ක්‍රියාන්විතයකදී, අපි හිතමු ඒ නම ‘කොල්ලුපිටිය’ කියලා. ක්‍රියාන්විතය ඉවර කරලා කෙලින්ම ඇවිත් අර පාරට ගොඩ වෙන්නේ නැහැ. ඒ අසල කැලයේ හැංගිලා ඉඳගෙන රේඩියෝ එකෙන් කියනවා, ‘අපි කොල්ලුපිටියට ආවා, අපිට අහන්න සිංදුවක් දාන්න’ කියලා. මොකක්ද මේ සින්දුවක් දාන්න කියන්නේ? ඒකත් ක්‍රියාන්විතයට කලින් යොදාගන්නා, රහස් යෙදුමක්. ඒ කියන්නේ, අපිට එන්න වාහන, අර හන්දියට එවන්න කියලා. කොහොමද ටිකිරි මොළේ?  ඇයි මෙහෙම රහස් වචන පාවිච්චි කරන්නේ? අපි ළඟ කොච්චර හොඳ පණිවිඩ හුවමාරු උපකරණ තිබුණත්, අපි සෑමවිටම හිතන්නේ, සතුරා අපේ පණිවිඩ හුවමාරු වලට ඇහුම්කන් දෙනවා කියලයි.

   කෝ දැන් අර විස්තරයේ තිබුන කාලතුවක්කු සහ යුද්ධ ටැංකි පාවිච්චි කරලා නැහැනේ? මොකද ඒ? අනේ අනේ, මාව අන්නවන්ඩ නේ එව්වා දෙන්ඩ හැදුවේ. එව්වට අහුවෙනවද මම? දැන් මගේ අරමුණ මොකක්ද? 20 ක් විතර ඉන්න සතුරු කණ්ඩායම, එකෙක් නෑර සහමුලින් විනාශ කිරීම. මම යුද්ධ ටැංකි තුන අරන් යනවා කියලා හිතමු. මොකද වෙන්නේ? යුද්ධ ටැංකිවල සද්දේ ඇහුන ගමන්, උන් කැලයේ විසිරෙනවා. RPG තියාගෙන රැකගෙන ඉන්නවා, යුද්ධ ටැංකි ලඟට එනකල්. ඉඳලා දීලා අදිනවා RPG වලින්, ටැංකි තුනම උඩුකුරුඤ්ඤං වෙන්ඩ, අර ‘ලේ බොන්නා‘ කියලා තිබුණා වගේ.  මෙන්න මෙතන තියනවා, තත්පර 56 ක් විතරක් යන වීඩියෝ එකක්. බලන්ඩකෝ ටැංකියකට RPG පාරක් වැදුනම වෙන දේ.

   සනීපයි නේද? අර මට දෙනවා කිව්වා යුද්ධ ටැංකි, අර අපිව ආපහු අරන් යන්න එන වාහනවල ආරක්ෂාවට එව්වා නම් හොඳයි.

   එතකොට කාලතුවක්කු? හරි, මිලිමීටර් 130 කාලතුවක්කුවෙන් එවන බෝම්බයක් වැදුනොත්, මීටර් 150 ක විෂ්කම්බයක් තුළ තිබෙන දේවල්, විනාශ වෙනවා. ඉතිං දෙයියනේ, කොයි සැක්කරයාටද පුළුවන්, පළවෙනි වෙඩිල්ලම උන්ගේ ඔලුවට යවන්න. වැරදුනොත් මොකෑ වෙන්නේ? අරුන් පැනලා යනවා. භයානක සතුරු කණ්ඩායමක් විනාශ කරන්න තිබුණු, දුර්ලභ අවස්ථාවක් මගහැරෙනවා. ඔන්න ඔය කරුණු ටික කියලා, මම පරීක්‍ෂණ මණ්ඩලේට කිව්වා, ‘අනෙ අම්මෝ මට එව්වා එපා, පරිස්සං කොරලා තියාගන්ඩ’ කියලා. මම පරීක්‍ෂණයෙන් සමත්වුණා. 

   පසුගිය කාලයේ යුද්ධය පවතිද්දී, මේ විභාගවලින් සෑහෙන දෙනෙක් අසමත් වුණා. නමුත් දෙවැනි අවස්ථාවේදී ඔවුන් සමත්වුනා. ඒ වෙනුවෙන් වෙනම පුහුණු පාඨමාලා, හමුදාව විසින්ම පවත්වනු ලැබුවා. (අපොස සාමාන්‍ය පෙළ/උසස් පෙළ වගේ, මේ විභාගයේදීත්, අසමත්වන විෂයයන් සඳහා ඊළඟ වසරේදී පෙනීසිටින්න ඉඩ දෙනවා. නමුත්, නිළධාරියකුට, ලුතිතන් නිළයේ සිටිය හැකි උපරිම වයස් සීමාව, අවුරුදු 45 යි. ඊට පෙර, කපිතන් දක්වා උසස් කිරීමේ පරීක්‍ෂණය සහ/හෝ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන්නට නොහැකි වුණොත්, ඔහුට/ඇයට හමුදාවෙන් ඉවත්වන්න සිදුවෙනවා. ඒ විදිහටම, විභාගය සමත් නොවී/ ශාරීරික යෝග්‍යතාව සමත් නොවී, කපිතන් නිළයේ සිටිය හැක්කේ, අවුරුදු 50 දක්වා පමණයි) හමුදාව දුකයි සුදෝ. 

   ඉතින් මේ විභාග දෙකේදීම, Admin in the Field ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ සඳහා අදාළ පෙළපොත්, යුද හමුදාව විසින්, නිළධාරීන් වෙත නොමිළේ නිකුත් කරනවා. ඒවා පාවිච්චි කර, සුරක්ෂිතව නැවත බාරදිය යුතුයි. නැතිවුනොත්, විනයානුකූලව ක්‍රියා කරනවා. එම පොත්, පරිපාලනයට අදාළව පමණක් නොව, සංග්‍රාමික උපක්‍රම, අවි පරිහරණය, වැනි සියලුම අංශ සඳහා, සකසා තිබෙනවා. ඒ සෑම විෂයයකින්ම ප්‍රශ්න පත්‍ර ලැබෙනවා විභාගයේදී. එම පෙළ පොත්, යුද හමුදා රහස්‍ය ලේඛන හැටියටයි සැලකෙන්නේ. එබැවින්, මේ ලිපිය ලිවීමේදී, මට ඔබවෙත නිරාවරණය කරන්න ලැබෙන්නේ, සීමිත කරුණු ප්‍රමාණයක් පමණයි.  

   දෙයියනේ……………. වචන 1600 ත් පැනලා. දැන් මම මොකද්ද කියන්න අවේ, අන්තිමට මොකද්ද කියලා තියෙන්නේ? හරියන්නෑ මේ වැඩේ. මටත් මේ ලෙඩේ බෝවුනේ, හැලපතුමාගෙන් සහ රවීතුමාගෙන් කියලයි මට හිතෙන්නේ. හරි හරි, ඊළඟ කොටසේදී නියමෙට බහිමු, කෙතේ පාලනේට.

2015 නොවැම්බර් මස 23 වැනි දින 0012 පැය

Advertisements

Comments on: "හමුදා කෙතේ කළමනාකරණය (පළමුවැනි කොටස)" (11)

  1. නියමයි විචාරකතුමෝ. ආසාවෙන් බලාගෙන හිටියා තවත් හමුදා ලිපියක් එනකම්. මේ ලිපි මාලාව අවසන් කරපු ගමන් ඔබතුමාට විවේකයක් තියෙනවනම් තව හමුදා ලිපි කිහිපයක් දාන්න.එක ලිපියක් වෙනුවෙන් පවා ලොකු මහන්සියක් වෙලා මෙහෙම ලිපි ලියනවට ගොඩක් ස්තුතියි ඔබතුමාට.

    • බොහොම ස්තුතියි ඇගයීම සම්බන්ධව.

      පසුගිය දිනවල හමුදා තොරතුරු ඇතුලත් ලිපි ලිවීම තරමක් දුරට මගහැරුණේ දැඩි අවිවේකය නිසයි. හමුදා කරුණු ඇතුලත් ලිපියක් ලිවීමේදී ඒ කරුණුවල නිරවද්‍යතාව, හමුදා න්‍යායට එකඟ බව, හමුදා රහස් ඇතුළත් නොකිරීම, වැනි සාධක කීපයක් ගැන ඉතා සැලකිල්ලෙන් බලන්න වෙනවා. එය වෙහෙසකර ක්‍රියාවක්.

      එදිනෙදා සමාජයේ සිදුවන දේ පිළිබඳව ලිවීම පහසුයි. මාධ්‍ය රූප සැකසීමක්ද අවශ්‍ය නොවන නිසා. කෙසේවෙතත්, ඉදිරියේදී නැවතත් හමුදා තොරතුරු ලිපි දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා.

  2. හමුදා ලිපි ම ලියන්න සර් ,දැන් වෙන දේවල් ගැන කතා නොකරම සිටීම හිතට වගේම ගතට හොදයි ,

    • අද කාලේ සිද්ධවෙන සමහර දේවල් දැක්කම, ඇහුවම, ඒවා ගැන නොලියා ඉන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ ලිපි ඉබේම ලියවෙනවා කිව්වොත් නිවැරදියි.

      ඉදිරියේදී නැවතත් හමුදා ලිපි වැඩියෙන් ලියනවා.

  3. කාලෙකට පස්සේ විචාරකතුමා හමුදාවට සම්බන්ධ ලිපියක් ලියලා…. හරිම වැදගත් තොරතුරු ටිකක්. ඉදිරි ලිපි පෙළත් කියවන්න බලාගෙන ඉන්නවා.

  4. බුද්ධික පෙරේරා said:

    ගොඩාක් හොද ලිපියක්
    හමුුදා සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් වියයුතු( දැනුවත් කල හැකි) දේවල් සිදු නොවීම මත හමුදා ගැන දුර්මත පැතිරෙනවා
    එසේ නොවීමට මෙය මහගු පිටුවහලක්
    අපි මේ බොලොග් අඩවියට එන්නෙ හමුදා කරුනු දැන ගන්ඩ ඒ හන්දා හමුදා ලිපි නිතර පල වෙනවානම් කැමතියි
    කෙසේවෙතත් කාලීන සිදුවීම් පිළිබඳව ඔබගේ විග්‍රහයන් අගේ කරමි

    • බොහොම ස්තුතියි.

      ඇත්තෙන්ම මේ අඩවියට එන බොහෝදෙනෙක් කියන්නේ හමුදා තොරතුරු ඇතුළත් ලිපි මිසක්, වෙන වෙන දේවල් ලියන්න එපා කියන එකයි. ඒක ඇත්ත. නමුත් වෙනත් මාතෘකා ගැන ලියන්නේ, සමාජයේ සිදුවන සමහර දේවල් ඉවසාගෙන ඉන්න බැරිවෙන නිසයි. කෙසේවෙතත්, ඔබ සැමගේ බලාපොරොත්තු සුන් නොකර, ඉදිරියේදී හමුදා ලිපි වැඩියෙන් ලියන්න අධිෂ්ඨාන කරගත්තා.

  5. බොහොම ස්තුතියි ලිපියට ….

  6. […] යුද්ධයක් හරියට කරන්න නම් පරිපාලන ක්‍රියාවලියකුත් තියනවා කියලා. ඒ වගේම ඔබ දන්නවා, යුද්ධයකදී […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: