විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 Target   සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි ලබාගත් මන්ත්‍රී වරුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ගිනි අවි පුහුණුව ලබාදීම ආරම්භ කර ඇති බවත්, (එක මන්ත්‍රී කෙනෙකුට, වෙඩි තැබීමේ පුහුණුවේදී, තම පිස්තෝලය හරිහැටි ග්‍රහණය කරගන්නට නොහැකිවීම නිසා, හතර අතට වෙඩි වදින්නට ගොස්, විශේෂ කාර්ය බලකායේ පුහුණු උපදේශකයින් විසින්, මහ අනතුරක් යන්තම් වලක්වා ගත් බවත්, මාධ්‍ය වල පළවුනා)

මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදීම අත්‍යවශ්‍යම දෙයක්ද? ඔවුන් ඉන්නේ දැඩි ජීවිත තර්ජනයක් තුළද? මේ පිළිබඳව කරුණු කීපයක් තමා, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙය හැකිතරම් කෙටියෙන් අවසන් කරන්නේ, ඔබේ අදහස් වලට වැඩි ඉඩකඩක් දෙන්නයි.

   පසුගිය ඊලාම් යුද සමයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදී තිබුණා. නමුත් මා දන්නා තරමින්, කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට තම ගිනි අවිය පාවිච්චි කරන්නට අවස්තාවක් උදාවුනේ නැහැ. විශේෂයෙන්, පාර්ලිමේන්තු පාරේ, රාජගිරිය ප්‍රදේශයේ දී, පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවී ආපසු එන, මැති ඇමතිවරුන් ඉලක්ක කරගෙන, LTTE  ත්‍රස්තවාදීන් විසින් එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරයේදී වත්, මන්ත්‍රී වරුන්ට තම ගිනි අවි පාවිච්චි කරන්න සිදුවුනේ නැහැ.  

   ඒ ප්‍රහාරයේදී මොළය පාවිච්චි කළ ඉහළ හමුදා නිළධාරියෙක්, මැති ඇමතිවරුන් පිටත්වී ගියාට පසු, එතනින් පරෙස්සමෙන් පිටවුනේ, තම නිළ රථය වෙනුවට, හමුදා මෝටර් සයිකලයක නැගී යාමෙන්. ඒ වෙලාවේ ඔහු අතේ පොලු කෙටියක්වත් තිබුනේ නැහැ.   

   මේ කතාව මම කිව්වේ, මේ මැති ඇමති පිස්තෝල ගැන, තවත් පැත්තක් කියන්නයි. දැන් මේ පිස්තෝල පාවිච්චි කරන්න, මේ මැති ඇමතිවරුන්ට ලැබේ යයි, උපකල්පනය කළහැකි අවස්ථා මොනවාද?

   පාරවල් හරස්කර, විවිධ ප්‍රදේශවල මහජනතාව, තම දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා කරන උද්ඝෝෂණයක් තිබෙන ස්ථානයක් පසුකරයාම සඳහා, මහජනතාව බියවැද්දීමට.

   විශ්වවිද්‍යාල සිසුන් පාරවල් අවහිරවන ආකාරයට පවත්වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට.

   වෘත්තීය සමිති මගින්, කොටුව දුම්රියපොළ වැනි ස්ථානවල පවත්වන උද්ඝෝෂණ, මැඩපැවැත්වීමට.

   විරුද්ධ පක්ෂ වලට අයත් ක්‍රියාකාරීන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් බිය වද්දා මැඩපැවැත්වීමට.

   මැතිවරණයකදී ඡන්ද මංකොල්ලකෑමට.

   තමන් කොමිස් ගහන, ඩීල් දමන, අවස්ථාවල ඇතිවන දුෂ්කර කඩඉම් පන්නාගන්නට.

   පොදුවේ මහජනතාව බියවැද්දීමට.

   නිකං සෝබනේට යන යන තැන අරන් යන්න.

  මන්ත්‍රීවරුන්ගේ පුත්තු, මේ ගිනි අවි අරගෙන, පාටි/ක්ලබ්/කැරොකී/විනෝද සංචාර/ ආදියේ යෙදෙන්නට වුනොත්, ජනතාවටත් තුවක්කු අතට ගන්න වෙනවා. 

   සාමාන්‍යයෙන් පිස්තෝලයක් හෝ රිවෝල්වරයක් පාවිච්චි කරනවානම්, එය මන්ත්‍රී වරයකුගේ බ්‍රීෆ්කේස් එකේ හෝ මන්ත්‍රී වරියන්ගේ ගමන් බෑග් එකේ තියාගෙන හරියන්නේ නැහැ. හදිසියකදී එය සොයාගන්නට උත්සාහ කරන අතරේ, සතුරා මන්ත්‍රී වරයාගේ ඔලුව කුඩුකර අවසන් වෙනවා. ඒ නිසා, එක්කෝ තම ගිනි අවිය හොල්ස්ටර් holster එකක දමා ඉනේ හෝ උරහිසේ, පැළඳගත යුතුයි.

Holster

   නමුත්, ජාතික ඇඳුම අඳින මන්ත්‍රී වරුන්, මෙහිදී අමාරුවේ වැටෙනවා. මන්ද, ජාතික ඇඳුමේ උඩ කොටසට යටින්, මෙලෙස පිස්තෝලය තබා ගත්තොත්, හදිසියකදී එළියට අදින්න අමාරුයි. උරහිසේ පළඳින හොල්ස්ටර් එකකින් නම්, කොහොමවත් ගන්න බැහැ. ඒ නිසා එවැනි අයට, පාදයේ පහළ කොටසේ පළඳින හොල්ස්ටර් එකක් ankle holster පාවිච්චි කරන්නයි වෙන්නේ.

Ankle Holster

   කෙසේ වෙතත්, මන්ත්‍රී වරියන් මෙහිදී අමාරුවේ වැටෙනවා. ඔවුන් බොහෝවිට අඳින්නේ සාරිය නිසා, ankle holstar එකක් පැළඳ සිටියත්, සාරිය උස්සා, පිස්තෝලය අදින්න පහසු නැහැ. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ, මයික්‍රෝ පිස්තෝලයක් ලබාගෙන, එය තම දෙපියයුරු අතර සඟවා තබාගැනීමයි. සාරි අඳින අයට, මෙතනදීත් ගැටළු මතුවන්න පුළුවන්.

Micro Pistol

   හොඳයි, පිස්තෝලය මොන #@$* හරි, ගහගෙන හරි යනවා කියමුකෝ. අපිට වැඩක් නැහැනේ. කොහොම හරි ඇදලා ගන්නවා කියලත් හිතමුකෝ. නමුත් පිස්තෝලයකින් වෙඩි තැබීම, තුවක්කුවකින් වෙඩි තැබීමටත් වඩා අමාරු, සුළු අත්වැරදීමකින් පවා, මහා විනාශයක් වියහැකි දෙයක් බව,  ඔය මන්ත්‍රීවරුන්ට, අර පුහුණුවේදී කියා දෙනවාදැයි මා දන්නේ නැහැ. වෙඩි තැබීමේදී සෑම ගිනි අවියක්ම ගැස්සෙනවා. එවිට තුවක්කු කට වෙනස්වන කෝණය අනුව වෙඩිල්ල ගමන් කරන මාර්ගය වෙනස් වෙනවා. ඒ තත්වය, පිස්තෝලයකදී බොහොම වැඩියි. ඒ නිසා, වෙඩිල්ල වැරදි මාර්ගයක යන්නට ඇති ඉඩකඩ, බොහොම වැඩියි. 

Holding

   පිස්තෝල හරඹය හරියට කරන්න නොදන්නා මන්ත්‍රීවරයකු, සෙනග ගැවසෙන ස්ථානයකදී, තම පිස්තෝලය පාවිච්චි කරන්න යාමේදී, මොන මොන ජංජාල කරගනියිද කියා කියන්න බැහැ. ඒ නිසා, මෙය ඉතා භයානක කාරණයක්. අපි මොහොතකට හිතමුකෝ, අනාගතේදිවත්, මන්ත්‍රීවරුන්ට පිස්තෝල පාවිච්චි කරන්න අවස්ථා උදාවෙයි කියලා. සාමාන්‍යයෙන් වෙඩි හුවමාරුවකදී, එක තැන ඉඳගෙන නෙවෙයි වෙඩි තියාගන්නේ. ඔබ එය හොඳින්ම දන්නවා. අඩුම ගණනේ චිත්‍රපටි වලින් වත් දැකීමෙන්. න්‍යාය අනුව මෙය හඳුන්වන්නේ, ‘වෙඩි තබමින් ඉදිරියට යාම – fire and movement’ යනුවෙන්. එමෙන්ම, වෙඩි තැබීමේදී, තමන් ඝන ආවරණයක් ගතයුතුයි. taking a hard cover ඉරියව්ව වෙනස් කළයුතුයි. අර පුහුණුවේදී, මන්ත්‍රීවරුන්ට මේවා කියාදෙන බවක් දැනගන්නට නැහැ. පතරොම් 30 ක් පමණ වෙඩි තියන්නට අවස්ථාව ලැබෙන බවත්, පිස්තෝලය හරියට අල්ලා, ඉලක්කයක් ගන්නා ආකාරය කියාදෙන බවත්, දැනගන්නට ලැබුණා. මන්තරේ වරයකුගේ පිස්තෝලය නැතිවුනොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? නොසැළකිල්ල නිසා නැතිවුනොත්, ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න, පැහැදිළි නැහැ. ඒ නිසා, පිස්තෝල බිස්නස් වලටත් ඉඩකඩ ලැබෙනවා. 

   අර භාරත – දුමින්ද වගේ ගැටුමක් ඇතිවුනා කියා හිතමු. එවැනි ගැටුමකට මන්ත්‍රීවරියක් මැදිවුනොත්, පිස්තෝල ඇදගෙන වෙඩි තබා ගැනීම කොහොම වෙතත්, ‘අනී……….මාව බේරගන්නකූ………………’ කියලා, විලාප තියනු නොඅනුමානයි. ගිනි අවියක් පාවිච්චි කරන පුද්ගලයකු, යටත්පිරිසෙයින්, අවුරුද්දකට වරක්වත්, එම ගිනි අවියෙන් වෙඩි තබා, තම පුහුණුව අලුත් කරගත යුතුයි. නැත්නම් ටික කලක් ගියාට පස්සේ, අගමුල අමතක වෙලා, තුවක්කු කට තමන් පැත්තට හරවාගෙන, කොකා ගස්සන්නත් ඉඩ තියනවා. (එතකොට අපිට තියෙන්නේ, ‘සාදු සාදු සා……….දු’ කියන්න විතරයි.) මම හිතන්නේ නැහැ, මේ මන්ත්‍රීවරුන්ට, එවැනි වාර්ෂික අවි පුහුණුවක් ලැබෙයි කියා.

   හමුදා සොල්දාදුවන් අතින් පවා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමේ අවස්ථා තිබෙනවා. එය ඕනෑම හමුදාවක සිදුවන දෙයක්. ඔවුන්ට එවිට දෙන දඬුවම වන්නේ, දින තුනක් පමණ විශේෂ ගිනි අවි පුහුණු පන්තියකට සහභාගී කරවීම සහ මුර රාජකාරියේ යෙදවීම. එයින් ඔවුන්ගේ අවි පරිහරණ දැනුම අලුත්වී අත්වැරදීම් අඩුවෙනවා. මේ මන්ත්‍රීවරු මේ ගිනි අවි නිතර තම කාර්යාලයේ, නිවසේ, වාහනයේ, තබාගන්නවා. ඒ නිසා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමට ඇති ඉඩකඩ, බොහෝ වැඩියි. එවැනි අත්වැරැද්දක් සිදුවීමෙන් ලැබෙන ප්‍රතිඵලය, සමහරවිට තමන්ගේම කෙනෙකුගේ මරණය වන්නට, ඉඩ තිබෙනවා. නැත්නම් තමන්ගේම පාක්ෂිකයකු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගිනිඅවි සහ ගිනිකෙළි ගැන, මන්ත්‍රීවරුන්ට දැඩි අවවාද ලබාදියයුතු වෙනවා.

   සෑම මන්ත්‍රී වරයකුටම පොලිස් ආරක්ෂාව තිබෙනවා. ඇමති, අගමැති, වනවිට ආරක්ෂාව තවත් වැඩියි. එවැනි ආරක්ෂාවක් තිබියදී, පෞද්ගලික ගිනි අවියක් තබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.  ගිනි අවි ඉල්ලන බොහෝ දෙනෙක් ගිනිකෙළි වලට ප්‍රසිද්ධ අය බවයි පෙනීයන්නේ. ඔවුන් යම්කිසි බියකින් පෙළෙන බවක් පෙන්වනවා, මේවා ලබාගැනීම සඳහා.

Sajith-Premadasaමෙයානම් එපා කියනවා. මෙයාට දැන් ඔව්වගෙන් වැඩක් නැහැලු. එයාට කිසිම තර්ජනයක් නැතිලු, ඔව්වා පාවිච්චි කරන්න. ජනතාව සමග ඉන්න නිසා, තමන්ට ඒ ජනතාවගේ ආශිර්වාදය සහ ආරක්ෂාව තියනවලු. එයාට ගිනි අවියක් ලබාගැනීම සඳහා රජයෙන් කළ දැනුම්දීමත් ප්‍රතික්‍ෂේප කලාලු.

   

Ranjan Ramanayaka   ඒ වුනාට මෙයා ඕනෙමයි කියනවා. එයාට ගොඩක් තර්ජන තියනවලු. එයා අල්ලලා දීපු කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ ඉන්නවලු, කොයි මොහොතේ හෝ එයාව මරන්න බලාගෙන. කොහොමටත්, මෙයා වන්ෂොට් ක්‍රමේට වැඩ කරන නිසා, තර්ජන ඇති කියලා හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් පොලිස් මහත්තුරු කීපදෙනෙක් වැඩිපුර ඉල්ලගන්න එකනේ තියෙන්නේ. නේද? 

මගේ නිරීක්ෂණ සහ නිර්දේශය:-

   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ගිනි අවි අවශ්‍ය නැත. ඔවුන්ට හොඳ පොලිස් ආරක්ෂාවක් තිබේ. ඔවුන්ට, කිසිදු අවස්ථාවක, ගිනි අවි පාවිච්චි කරමින් සටන් කිරීමට අවස්ථාවක්, අද රටේ තිබෙන තත්වය අනුව උදාවේයැයි සිතීම උගහටය. මීට වඩා වැදගත් වන්නේ, සෑම මන්ත්‍රීවරයකුටම, රාජ්‍ය පරිපාලන නීතිරීති, ප්‍රතිපත්ති, චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආදිය ගැන, සතියකට වතාවක්, පැය තුනකවත්, පුහුණු පන්තියකට සහභාගිවීම අනිවාර්ය කිරීමයි. 

ඔබ මොකද කියන්නේ? 

2015 නොවැම්බර් මස 02 දින 2319 පැය 

Advertisements

Comments on: "මන්ත්‍රීවරු වෙඩි තියයිද?" (5)

  1. Oba kiyana de sahathika aththa!Habatama munta pissuda munge wikara sobana wada walata mahajana mudal nasthi karanne?

  2. මන්ත්‍රීවරුන්ට වෙඩිතියන්න වූනොත් වෙඩි තියන්න වෙන්නෙ ඡන්ද දායකයාට. ඒ අයට කේන්ති ගන්න වෙන්නෙ ඡන්ද දායකයා එක්ක නේ.

  3. //සෑම මන්ත්‍රීවරයකුටම, රාජ්‍ය පරිපාලන නීතිරීති, ප්‍රතිපත්ති, චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආදිය ගැන,// පුහුණව වගේම වෙනත් රටවල් හා තුලණාත්මකව සලකා බලමින් ඉැගැන්වීමත් ඒවා වර්තමාන අවශ්‍යතාවන්ට නොගැලපේනම් සකස් කර ගැනීමට මග පෙන්විම වැන්නක් ක්‍රියාත්මක වේනම් කොයිතරම් වැඩදායක වේවි ද? මේ යෝජනාව කවදාවත්ම ක්‍රියාත්මක කළ හැකි එකක් නොවන බව දැන දැනම වුනත් මෙහි සටහන් කරනවා විචාරකතුමණි මේ අයට ගිනි අවි ලබාදිම කාලීන අවශ්‍යතාවක් වන්නේ ද යන්න සිවිල් වැසියන්වන අපට නම් කොයි ලෙසකින්වත් තේරුම් ගන්න බෑ.

  4. ඔබ දක්වලා තියෙන කරුණු ගැන සලකලා බලද්දී ඇත්තටම අවි සඳහා පුහුණුව ලත් දක්ෂ සෙබලෙක් අවියක් සමග ලඟින් තියාගන්න එක සාපේක්ෂව හොඳයි වගේ. අනිත් එක පෞද්ගලික ගිනිඅවියක් නෙවෙයි පෞද්ගලික කිරිච්චියක් දුන්නත් ඔකේත් මලකඩ බැඳෙනවා. එහෙව් එකේ අවිය දීල විතරක් මදිනේ. ඕක නඩත්තු කරන හැටිත් උගන්වන්න ඕන.
    මම දන්නා විදිහට හමුදාවේ නම් සෙබලාට ලබාදෙන පතුරම් ප්‍රමාණය වාර්තා කරන්න ඕන. දෙසපාලුවන්ට අවි දුන්නත් ඕකට ජීව උන්ඩ කීයක් දුන්නද , මේ වෙනකොට කියක් ළඟ තියෙනවද, වෙඩි තබලා නම් කව්රුන් විසින්, කොතනකදී, කාහට, කුමක් අරඹයා තියන ලද්දක්ද කියලා දෙයියෝ වත් දනීද දන්නේ නැහැ.

    නීත්‍යානුකූලව පුද්ගලික ගිනිඅවි ලබා නොදීත් චන්ද සටන් කාලෙට මග තොටේදී උණ්ඩ පියාඹන අවස්ථා තියෙනවා. නීත්‍යානුකූලව ලබා දුන්නට පස්සේ කොහොම වෙයිද? මිනීමැරීම් කියන එකත් නීත්‍යානුකූල එකක් වෙයි.
    මිනිහෙක්ට පාරේ බැහැලා යන්න බැරි තරමට පාතාලය රජ කරයි,
    නීතියයි, පොලිසියයි, උසාවියයි දේසපාලුවෝ ඉස්සරහ නෝන්ඩි වෙයි.
    ප්‍රජාතන්ත්‍රවාදය , මාධ්‍ය නිදහස වගේ අනං මනං හර බර වචන ඔක්කොම පොත්, පත්තර වලට විතරක් සීමා වෙයි.
    අපිටත් කෙල වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: