විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Long Hair   දැන් කොණ්ඩයාව කාලා, හපකරලා, උරාබීලා, චප්ප කරලා, පාගලා, කුරුසියේ ඇණ ගහලා, අපායට යවලා, ඉවරද? දැන්වත් ඒ මිනිහට යන අතක යන්ඩ පුලුවන්වෙයිද දන්නේ නැහැ. හැබෑටම අපි මේ යන්නේ කොහෙද? නීතිය අතට ගන්න තරම්, රටක මිනිස්සු පහත් තත්වයට වැටෙන්නේ, ඒ රටේ නීතියේ ආධිපත්‍යය, අන්තයටම පිරිහීම නිසයි. පහුගිය කාලයේ, අපේ රටේ නීතියේ ආධිපත්‍යය ගැන, වියවුල් රාශියක් තිබුණා. දැනුත්, නීතිපතිගේ ක්‍රියාකලාපය ගැන විවිධ ආන්දෝලන මතුවී තිබෙනවා. ඒ ඔක්කොම පැත්තක තියමු. මම මේ ලිපිය ලියන්නේ, පහුගිය ආණ්ඩුවට දොස් කියන්නවත්, දැන් තියන ආණ්ඩුවට සුදු හුණු ගාන්නවත් නෙවෙයි. මම මේ ලිපිය ලියන්නේ, දේශපාලන කරුණු පමණක් පදනම් කරගෙන නෙවෙයි. ඊට එහා ගිය යමක් ඔබ සමග සාකච්ඡා කරන්නයි.

   දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා සම්බන්ධ, ළමා අපචාර සිද්ධිය, මෑත ඉතිහාසයේ, අපේ රටේ විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සිද්ධිය පදනම් කරගනිමින්, සෑහෙන විශාල මහජන කැළඹීමක් ඇතිවුණා. රටපුරා, විවිධ ආකාරයේ උද්ඝෝෂණ මෙන්ම, ළමා අපචාර පිටුදැකීමේ විවිධ ව්‍යාපාර ද, දියත් කෙරුනා. තවමත් කෙරෙමින් පවතිනවා.

   මේ වගේ කටයුතු එදත් අදත් අපේ රටේ පැවතුණා. මට මතක්වෙනවා, අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සිද්ධිය. ඒ සිද්ධියෙන් පස්සේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට, පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තිබුණා, සෑහෙන කාලයක් යනතුරු. අද සමහර භික්ෂූන් වහන්සේලා යයි කියාගන්න අයගේ ක්‍රියාකළාපය, එදාට වඩා හොඳද නරකද? මේ නිසා තමයි, අපි දැනට වඩා පුළුල් විදිහට, මේ සමාජ ව්‍යසනයන් ගැන සාකච්ඡා කලයුත්තේ කියා මා හිතනවා. මා බලාපොරොත්තු වෙනවා කරුණු කීපයක් ඔස්සේ, මේ ගැන ඔබ සමග කතා කරන්නට.

අපේ රටේ අධ්‍යාපනය 

   අපේ රටේ අධ්‍යාපනය ගැන බොහෝ දෙනෙක් සෑහීමකට පත්වන්නේ නැහැ. ඇත්තටම සෑහීමකට පත්වන්නට බැහැ. මක්නිසාදයත්, තවමත්, ඉහළ අධ්‍යාපන වරම් තිබෙන්නේ, වැඩියෙන් මුදල් වියදම් කළහැකි අයට පමණක් වීම නිසා. එය සම්පූර්ණ ඇත්තක්. ඔය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන කතාකරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පෙළ උසස් පෙළ සිසුන් සඳහා, විශාල මුදලක් අයකරමින් පවත්වන, පෞද්ගලික පන්ති ගැන කියන්න අවශ්‍ය නැහැ. පාසල තුළදීම, පහළ පන්තිවල ඉඳලම, දුප්පත් ළමයි අධ්‍යාපනයෙන් කොන් වෙනවා.

   මම කියන්නම් උදාහරණයක්. අද පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ, දරුවන්ට විවිධ විෂයයන් සඳහා, පැවරුම් රාශියක්, ඒ ඒ විෂයය භාර ගුරුවරුන් විසින් ලබාදෙනවා. මේවා කෙරෙන්නේ, විෂයය නිර්දේශය අනුවයි. නමුත් අපි බොහෝ දෙනෙකු දන්නා පරිදි, මේ පැවරුම් කරන්නේ දරුවා නෙවෙයි, දෙමව්පියෝ. පැවරුම ලබාදීම තුළින් බලාපොරොත්තුවන ප්‍රතිඵලයෙන්, 50% ක් වත් ලැබෙන්නේ නැහැ. මන්ද, දරුවා කරන්නේ වෙනත් අයකු විසින් කළ නිර්මාණයක්, තමන්ගේ එකක් ලෙස ඉදිරිපත් කිරීමයි. මේ සඳහා, සමහර නගරවල, පාසල් අසළම කඩ දාගෙන ඉන්නවා. අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගෙන, ඒවා සිංහලට පරිවර්තනය කොට, වර්ණ මුද්‍රිත පිටු ලෙස සකසා, මේ කඩ හිමියන් හොඳ ආදායමක් ගන්නවා.  

   හත්වැනි ශේණියේ විද්‍යාව විෂයයට අදාළව ඇති, එක්තරා පැවරුමකට කරුණු සොයාදෙන ලෙස, මගේ අසල්වැසි පවුලකින් ඉල්ලීමක් ලැබුණා. මෙන්න එම මාතෘකා වලින් කීපයක්. බැඔබැබ් ගස, රෙඩ්වුඩ් ගස, රැෆලේසියා මල, අගමුල නැති වැල්, ගල් පැලෑටි,  ඉත්තෑ මැස්සා, රාක්ෂ කුළුණ, සැන් ඇන්ඩ්‍රියාස් විභේදනය, උල්කා ආවාට, උණු දිය ගීසර. තවත් මාතෘකා ගොඩක් තිබුණා. ඒ සියල්ල ගැන තොරතුරු සොයා, A 4 ප්‍රමාණයේ වර්ණ පිටු හතක් සකසන්නට සිදුවුණා. ඒ සඳහා මට පැය තුනක් පමණ ගතවුණා. (මෙවැනි දේ මා කරන්නේ ඉතා කලාතුරකින්. දරුවකුට කරන උදව්වක් නිසා, මා මුදල් අය කරන්නේ නැහැ. හැබැයි, මගේ වර්ණ මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත බෝතල්, සීඝ්‍රයෙන් හිඳෙනවා, මේ වගේ වැඩ නිසා 😀 ) ‘මගේ ඉදිරිපත් කිරීම’ පන්තියේ හොඳම ඉදිරිපත් කිරීම වුණා ලු. ටීචර් මාව කැඳවා, තොත්තුවක් වත් දුන්නේ නැති එක ගැන දුකයි. 😀 මේ කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක පන්තියක්. මම ඒ මගේ අසල්වැසි පවුලේ දැරියගෙන් ඇහුවා, ‘ඉතින් ඔක්කොටම මෙහෙම කරුණු හොයන්න බැහැනේ, ඈත ඉඳලා එන ළමයි, ඉන්ටර්නෙට් නැති ළමයි මොකද කරන්නේ?’  කියා. මෙන්න ලැබුන උත්තරය. ‘ඒ ගොල්ලෝ ඔය මොනවහරි ලියාගෙන එනවා. පන්තියේදී බැනුම් අහනවා’  

   මෙන්න කොණ්ඩයන් බිහිවීමේ ආරම්භය, මෙන්න ලංකාවට නිදහස ලැබුණේ 1964 කියා කීමේ ආරම්භය. මේ විදිහට පන්තියෙන් කොන්වන දරුවා තුළ ඇතිවන්නේ, ඉච්ඡාභංගත්වයයි, වෛරයයි, ක්‍රෝධයයි, පළිගැනීමේ චේතනාවයි, ඉතා දුකසේ ජීවත්වන පවුල්වල් දරුවන්, 5 වසර ශිෂ්‍යත්වය සමත්වීම, දෙමව්පියන් විවිධ උප්පරවැට්ටි දමා, ලොකු ඉස්කෝල අසළ පදිංචිය පෙන්වා දරුවන් පාසලට ඇතුළු කරවීම නිසා, මේ පාසල්වලට ආවත්, වසර පුරා, විවිධ කටයුතු සඳහා, පාසල් වලින් එකතු කරන මුදල්, පන්තියට ආහාර සැපයීමේ වියදම් ආදිය දරන්නේ, හරිම අමාරුවෙන්. දරුවා කුඩා කාලයේ සිට පන්තිය තුළදීම අවමානයට, පහත්කොට සැළකීමට ලක්වෙනවා. එවැනි දරුවන් කවදාවත් ඉහළට යයිද? නැත්තේමය. ඔවුන් දිගටම පාසලේ ඉන්නේ දුකෙන්, කණගාටුවෙන්. එය තමයි පසුව වෛරය ඉච්ඡාභංගත්වය බවට පත්වන්නේ. ඒ නිසයි ඔවුන් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නේ.

පාසලෙන් ගිලිහෙන දරුවා 

   අපේ රටේ පාසලෙන් ගිලිහෙන දරුවන්, වෘත්තීය අධ්‍යාපනයකට යොමුකිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් නැහැ. පාසල් යනකාලයේදීම, දරුවන් දකින්නේ, මුදලට පමණක් සැලකුම් ලබන වාණිජ ලෝකය, පුහු ආටෝප වලට තැන දෙන සමාජය, බොරු විච්චූරණ, විකාර විලාසිතා, හරසුන් සංගීත, නැටුම් ගැයුම් සංදර්ශන, එකිනෙකාට අපහාස උපහාස කිරීමෙන් ලබන පහත් වින්දනය, ආදියයි. සාමාන්‍ය පෙළ කඩඉම පැනගන්නට දෙතුන් වතාවකදීත් බැරිවන දරුවා, ඊළඟට මුහුණ දෙන්නේ, ජීවත්වීමේ අරගලයටයි. ‘ඕ ලෙවල් ෆේල්වීම’ නමැති මහා අපරාධය තමන් අතින් සිදුවී තිබීම, එල්ලුම් ගස් යැවීමට තරම් හේතුවන මහා අපරාධයක් ලෙසයි, සමහර දරුවන් තේරුම් ගන්නේ. එවැනි දරුවන්ගෙන් සෑහෙන පිරිසක් අධ්‍යාපනයෙන් ගිලිහෙන්නට හේතුවූ කරුණු හොයන ක්‍රමයක් අපේ රටේ තියනවාද?

   ‘ඕකා මැට්ටා, ඉස්කෝලෙම හිටිය මැට්ටෙක් ඕකා, හපෝ……මේ ළමයට පැවරුමක් දුන්නම, විකාර කරගෙන එන්නේ. ඔය ළමයට උගන්නන්න මටනම් තේරෙන්නේ නෑ, මේ අනික් ලමයින්ගේත් කාලය ඉවරයි ඔය ළමයා නිසා’

   මේ වගේ කියන ගුරුවරු සැළකියයුතු පිරිසක් නැත්තේම නොවේ. සමහරවිට මීට වඩා හොඳ වචන වලින්ද, මේ අදහසම කියන ගුරුවරුන් ඉන්නවා. සාමාන්‍ය පෙළින් අධ්‍යාපනය හමාර කරන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ, ප්‍රාදේශීය පාසල් බොහොමයක ඇති ගුරු හිගය, දුෂ්කර සේවය සඳහා පැමිණි සමහර ගුරුවරුන්, නිසිපරිදි ඉගැන්වීමේ කාර්යයේ නොයෙදීම, අමතර පන්ති වලට යාමට තරම් මුදල් නොමැතිවීම සහ/හෝ එවැනි පන්ති ඒ ප්‍රදේශයේ නොතිබීම, වැනි සාධකයි. මෙසේ නව යෞවනයේදී ම පාසලෙන් ගිලිහී සමාජ ප්‍රවාහයට තල්ලුවන දරුවා යන්නේ කොහේද? කරන්නේ මොනවාද? මේවා හොයාබලන කෙනෙක් ඉන්නවාද? නැත්නම් ඒකා පොලේ එළවලු විකුණනකොට, මාළු විකුණනකොට, ලොරියක ක්ලීනර් වැඩක් කරනකොට, වැලි පටවන තැනක වැඩකරනකොට, ඌ දිහා ඔලොක්කුවෙන් බලනවාද?  මෙන්න මේවා තමයි කොණ්ඩයන් ඇතිවීමේ මූල බීජ.

   මෙලෙස පාසලෙන් පිටවන නව යෞවනයන් සඳහා, විවිධ කාර්මික අධ්‍යාපන පාඨමාලා, වෙනත් වෘත්තීය පාඨමාලා සෑහෙන ගණනක්, රජයේ කාර්මික විද්‍යාලවල, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනවල, වාර්ෂිකව පවත්වනු ලබනවා. නමුත්, එයින් බොහොම ස්වල්පයයි, රැකියා උත්පාදිත පාඨමාලා වන්නේ. රුපියල් 80000 ක් පමණ අවම වශයෙන් ගෙවා, පරිගණක පාඨමාලාවක් හදාරන අය, යන්තම්, ඡායාරූප ශාලාවකවත් රැකියාවක් අල්ලගන්නවා. නමුත් රු 80000 ක් කියන්නේ, අපේ රටේ බහුතරයක් පවුල්වලට, හිතන්න අමාරු විශාල මුදලක්. උසස් පෙළ අසමත්වන පෝසත් පවුල්වල දරුවන් මෙන්ම, තම අතපය හෝ උගස්කර, දරුවන්ගේ අධ්‍යාපනය ගැන බලන දෙමව්පියන්ගේ පවුල්වල දරුවන්, රු 300000 සිට ඉහළට ඇති, පරිගණක හෝ වෙනත් එවැනි රැකියා මුල් කරගත් පාඨමාලා හදාරනවා. නමුත් ඒවා බලා හූල්ලන දරුවන් කොපමණ ඇද්ද? ඔවුන් තුළින් කොණ්ඩයන් බිහිවීම පුදුමයක්ද? 

සමාජයට වැටෙන නව යෞවනයා

   පාසලෙන් ගිලිහී සමාජයට වැටෙන නව යෞවනයා එන්නේ අභියෝග රැසක් ඇති, අවනීතිය, අවකල්ක්‍රියාව, බල්ලෝ මරා හරි සල්ලි හොයන, සමාජය තුළටයි.

   මේ මෑතකදී සිදුවුණ එවැනි සිද්ධියක් මට මතකයි. තරමක් ආර්ථික දුෂ්කරතා ඇති, අපේ අසල්වැසි පවුලක පියා, වාරික මුදල් ගෙවීමේ ක්‍රමයට ත්‍රිරෝද රියක් ගත්තා. නමුත් ඔහු කරන රැකියාව අනුව, ඒ රථයෙන් දිනපතා කුලී දිවීම අපහසුයි. ඒ දිනවල ඔහුගේ පුතා, උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ගෙදර හිටියා. අර පියා, තම පුතු යෙදෙව්වා, එම ත්‍රිරෝද රථයේ රියදුරා ලෙස. ඔහු, නගරයේ ත්‍රිරෝද රථ නැවතුමේ, සිට කුලී ගමන් යන්න පටන්ගත්තා. ටික දිනකට පසු, එම රථ නැවතුම්පොලේ ම  සේවය කළ, වැඩිහිටි රියදුරෙක්, අර පියා මුණගැහෙන්නට ආවා. ඔහු කිව්වා, ‘……….මල්ලී, මම මේ ටික කියන්නේ, මේ දරුවාට තියන ආදරේ හින්දයි. මේ කොල්ලා තව ටික දවසක් මේ රස්සාව කළොත්, රටේ තියන ඔක්කොම ජරා වැඩ ඉගෙනගන්නවා. ඊළඟට හිරේ ගිහින් තමයි නවතින්නේ. මම මේ ටික කියන්නේ, උඹලගේ ත්‍රී වීල් එක එතනට දානවට තරහේ කියලා හිතනවා නම්, දිගටම් කොල්ලව එවපන්. හැබැයි උඹලා බොහොම පරක්කු වැඩිවෙයි, කොල්ලා අමාරුවේ වැටුන දවසට’ කියලා. ඇත්තටම අර පියා, ඒ කතාවේ ඇති බැරෑරුම් කම තේරුම්ගත්තා. වහාම ඒ වැඩේ නැවැත්තුවා. අර දරුවා අද, කැළණිය විශ්ව විද්‍යාලයේ, වාණිජවේදී උපාධිය අපේක්‍ෂකයෙක්. අපේ රටේ ත්‍රිරෝද රථ සංස්කෘතිය ගැන, මෙතන කතාකරන්නට මම බලාපොරොත්තුවන්නේ නැහැ.

   ස්වයංරැකියාවලට මෙන්ම, සරලව කරගෙන යාහැකි රැකියා ලෙස පෙනෙන, අද සමාජයේ තිබෙන බොහොමයක් රැකියා වලට එන නව යෞවනයන්, බොහෝදුරට, විවිධ දුරාචාර, අවකල්ක්‍රියා, නීති විරෝධී ක්‍රියා වෙත ඇදගන්නා, විෂම සමාජ බලවේග පිළිබඳව සමීක්‍ෂණයක් කොට, එම බලවේග මැඩපැවැත්වීමට, විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම, අද්‍යතන ශ්‍රීලාංකික සමාජයේ, අතිශයින් ප්‍රමුඛත්ව පියවරක් වන බව පැහැදිළිවම පෙනෙනවා. 

රසවින්දනය සහ ජනමාධ්‍ය 

   මුද්‍රිත මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙස බැලීමේදී පැහැදිලිවම බහුතරයක් පිළිගන්නවා අද ඒ සියලු මාධ්‍ය දැඩි ලෙස වාණිජකරනය සිදුවී තිබෙන බව. මුදල් ඉපයීම පමණක් පරමාර්ථකොටගත් ජනමාධ්‍ය බැටළුහම පොරවාගත් වෘකයන් බව කොතෙක් පෙන්වා දුන්නත් එම මාධ්‍ය සඳහා නිර්ණායකයන් සකසාදීමක් තවමත් සිදුව නැහැ. අද අපේ රටේ මාධ්‍ය බහුතරයක් මාධ්‍ය නිදහස ලෙස සලකන්නේ වල්බූරු නිදහසයි. රජය මගින් නීතිරීති දමා මාධ්‍ය මර්ධනයක් කිරීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

   ඒ වෙනුවට කළහැකි හොඳම දේ නියාමනයයි. නියාමනය යනු, ඒ ඒ මාධ්‍ය ආයතනයේ වගකිවයුත්තන්, රජය මගින් පිහිටුවන නියාමන මණ්ඩලයක් වෙත කැඳවා, වඩාත් සාධාරණ, සභ්‍ය, හරවත්, දේ ඉදිරිපත්කරන අකාරය වරින්වර පෙන්වාදීම සහ, සාමාන්‍ය සමාජ සම්මතයට පටහැනි ලෙස, ශෘංගාරය වෙනුවට කාමය, සංගීතය වෙනුවට ඝෝෂාව, ලේඛනය වෙනුවට අපහාසය, යොදාගැනීමේ ඇති වැරැද්ද, කාරුණිකව පෙන්වාදීම සහ එවැනි පෙන්වාදීම් වලින් පසුවත්, එය නිවැරදි කර නොගන්නේ නම්, එවනි මාධ්‍ය ආයතන දැඩි විවේචනයට ලක්කිරීමයි. ඔවුන්ව හිරේ යවන්න නඩු දාන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ඇත්ත තත්වය රටට පෙන්නුවාම ඇති. එවිට එහි ඇති සාධාරණ අසාධාරණ බව ගැන සමාජ කතිකාවක් නිරායාසයෙන්ම ඇතිවනවා. අදහස් හුවමාරු වෙනවා, තර්ක විතර්ක ඇතිවනවා.

   මා කියන්නේ, දිනපතා උදෙන්ම නැගිට පිරිත් අසා, බුදුසරණ පත්තරේ බලා, උණුවතුර බී, රෑට පිරිත් කියා නිදගැනීමේ සමාජයක් ගැන නෙවෙයි.  සාහිත්‍යය සිනමාව, රූපවාහිණිය, සංගීතය අත්‍යවශ්‍යයි.  (ළමයි පාඩම් කරන්නේ නැහැ කියා, ගෙදර රූපවාහිණිය ගලවා තබන අමනොඥ දෙමව්පියනුත්, තවම ඉන්නවා)  නමුත් එහි ගුණාත්මක බවේ ප්‍රමිතිය ගැන හොයන්නේ කීයෙන් කීදෙනාද? අද අහන (බලෙන් අහන්නට සලස්වන) සංගීතය කොපමණ ගුණාත්මකද? සෑම ගීතයකම තිබිය යුත්තේ ප්‍රේමය පමණද? පදමාලා කොතෙක් දුරට අර්ථවත් ද? ඇත්තටම එහි සාහිත්‍ය රසවින්දනයක් ගැබ්ව තිබේද? ප්‍රසංග වේදිකා මත පෙන්වන බහුතර විසූක දස්සන මගින් යෞවන මනසට ඇතිවන බලපෑම් කෙබඳුද? ‘මහන්සිවෙලා වැඩකරන මිනිස්සු, හවසට දෙකක් දාලා, ඊට පස්සේ ඇඟට වදින සින්දු ටිකක් දාගෙන හරි, පොඩි සංගීතයක් බලන්න ගිහින් හරි, සොමියක් ගැනීම වැරදි නැහැ’ කියන ආකල්පය සමාජ සම්මතයක් කරගන්නවාද?

   පාසල් අධ්‍යාපනය තුළ, සදාචාර අධ්‍යාපනයට තැනක් නැතිවී, විෂයය කරුණු පමණක් ඉගැන්වීමේ ප්‍රතිවිපාකය, අද අපි බරපතළ ලෙස අත්විඳිනවා. පාසලේ වාර්ෂික සැලැස්ම යටතේ, වෙසක් පෝය දිනයට සිල් ගන්න යන දරුවන්, එහිදී කෙරෙන ධර්ම දේශනයෙන් යමක් උකහා ගන්නවද? එහෙම උකහාගත් යමක් ඇද්දැයි සොයාබලන දෙමව්පියන් ඉන්නවාද? ඇත්තටම කියන්න ඉන්නවද? නැහැ නේද? ඒ ධර්මශ්‍රවනය තුළින්, ඒ දරුවාගේ චර්යා වෙනසකට මුලපිරීමක්වත් වී ඇද්ද කියා සිතා බලනවාද? නිරීක්ෂණය කරනවාද? නැහැ නේද?  එහෙනම් ඒ වෙසක් සිල්ගැනීම, සිල් නෙවෙයි ‘ඩ්‍රිල් එකක්’ පමණයි.

   අද අපේ රටේ සැලකියයුතු තරම් විශාල පවුල් ගණනක් දෙමව්පිය දූ දරු සම්බන්ධතාව අන්තිම පහත් අඩියකට වැටී තිබෙනවා. ‘ඇයි යකෝ අපි මැරී මැරී ඔක්කොම කරන්නේ උඹලටනේ. ඉතින් මොකවත් අඩුපාඩුවක් නැති එකේ උඹලට තියෙන්නේ ඉගෙනගන විතරනේ’ කියන දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. දරුවන්ට ඉල්ලන ඔක්කොම දීලා,’ හරිනේද පුතා, ඔයා ඔන්න හොඳට වැඩකරන්න ඕනේ හරිද?’ කියන තව වර්ගයක් ඉන්නවා. දරුවන් හිරකාරයන් වගේ ඉස්කෝලෙට, ටියුෂන් පන්තියට, ගෙදර ආවම ඒ දරුවාගේ පාඩම් කරන මේසයට හිරකරලා තියන’ තවත් දෙමව්පියන් වර්ගයක් ඉන්නවා. මේ එක ගොං වාහේ කෙනෙක්වත්’ අර දරුවන්ගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ.  ඒ ගොං වාහෙලා හිතන්නේ, අපි දරුවට ඔක්කොම දේ ඉහළින්ම කරනවා කියලා. ඇත්තටම ඒ ගොං වාහෙලා දරුවට කරන්නේ, අන්තිම නරකක්. එවැනි දරුවන් තුළිනුත් කොණ්ඩයන් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. 

   ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, අඩු කරන්න මොනවද ජනමාධ්‍ය වලින් කරන්නේ. බොරුවට රටවටේ ළමා අපචාර විරෝධී චාරිකා යන අර අහවල් චැනල් එකේ, පෙන්නන්නෙම කුණු ඉන්දියන් ටෙලි නාට්‍ය. බොහොමයක් චැනල් වල රිලවුන් වගේ ළමයින්ව නටවනවා. උන් නටන්නේ උන්ට තියා උන්ගේ අම්මලා තාත්තලාටවත් නොතේරෙන ශෘංගාරය පමණක් ඇති පදමාලා සහිත ගීත වලට. ඔබේ බුරියේ මා දෙතොල තබා සිඹිමි කියන තේරුම ඇති හින්දි ගීතවලට. ඒ නැටුම් බලන තාත්තලාටත්, තමන්ගේ දුව ගැන කාමුක හැඟීම් ඇතිවීමට තරම් පහත් තත්වයක් තිබෙන්නේ. 

නීතිය සහ පොලීසිය 

    අද අපේ සමාජයේ තියන වනචර පුරුද්දක් තමා, තමන්ගේ වගකීම, වෙනත් කාගේ හෝ කරපිට පටවා නිදහස්වීම. ‘මිනිස්සු වැරදි කරති. පොලීසිය එක පැයෙන් වැරදිකරුවන් ඇල්ලිය යුතු ය. පොලීසිය සෑමවිටම, පාරේ තොටේ, ගමේ, නගරයේ සාම අස්සක් මුල්ලක් නෑරම සිටිමින් නීතිය ක්‍රියාත්මක කළයුතු ය. නැත්නම් පොලීසියෙන් වැඩක් නැත’ යන ආකල්පය, අද තිබෙන දුර්මත වලින් බරපතළම දුර්මතයක් වන්නේය.

   පුරවැසි යුතුකම් පැහැර හරින අපි, ඒ අඩුපාඩුව, ඉතා පහසුවෙන්, පොලීසිය මත පටවන්නට සැරසී ඉන්නෙමු. ජනමාධ්‍ය තුලින් පොලීසිය වෙත එල්ල කරන්නේ සුළුපටු බලපෑමක් නොවේ. එම බලපෑම් බොහෝදුරට පොලීසියේ කීර්තිනාමයට හානිකරන, පොලීසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය පලුදුකරන ඒවා බව, ඒ ජනමාධ්‍ය පාලකයෝ නොසිතති. පොලීසිය අපහාසයට උපහාසයට පත්කරන පුවත්පත් වාර්තාවක්, කාටූනයක්, රූපවාහිනී/ගුවන්විදුලි ප්‍රවෘත්තියක් අසන්නට දකින්නට නොලැබෙන දිනයක් නැතිතරම් ය. කොත්තු රොටී ගසන වේගයෙන් සූක්ෂ්ම අපරාධකරුවන් ඇල්ලිය හැකියැයි හිතන, අමනොඥ පිරිසක් ද රටේ සිටිති. එක නඩු දිනයකින් සියලු වරදකරුවන් එල්ලුම්ගසට හෝ සිරගෙට යැවිය හැකියැයි සිතන පිරිසක් ද වෙති. නීතිය අතට ගන්නට පෙළඹෙන්නේ මෙවැනි දුරවබෝධ නිසාමය.

   සැකකරුවකුගෙන් ප්‍රශ්නකිරීම සඳහා පහරදීම, වධ බන්ධනයට ලක්කිරීම, කිසිසේත් අනුමත කළහැකි නොවේ. පොලීසිය එවැනි දේ කරන්නට පෙළඹෙන්නේ, මුළු රටම, වහාම ප්‍රතිඵල ඉල්ලා උද්ඝෝෂණ කිරීමේ හේතුව නිසායැයි කීමද, වලංගු තර්කයක් වියහැකිය.

   සැකකරුවකු චුදිතයකු නොවන බව, කොතරම් කිව්වද, එය පිළිනොගන්නා සමාජයක, නීතියේ සාධාරණත්වය ඉටුකිරීම මහත් අභියෝගයක් වෙයි. අවසානයේ දුනේෂ් ප්‍රියශාන්තට ඉතිරිවූයේ, නොමග යාමේ ප්‍රතිඵලයක් ලෙස, ළමා අපචාර සැකකරුවකු බවට පත්වීමත්, කොණ්ඩයා නමැති අපකීර්තිකර නාමයෙන් හංවඩු ගැසීමත්, සිය පෙම්වතිය අහිමිවීමත්, අපේ රටේ ඇති දුර්වල සමාජ ආකල්ප මත, ප්‍රසිද්ධියේ ජීවත් වන්නට අවකාශ නොලැබී යාමත් පමණි.

   මේ සියල්ල, පිළිවෙලකට යළිත් සිතාබලා, එකින් එක නිවැරදි කිරීම වහාම අරඹන්නට, දැන් කාලය එළඹී තිබේ. 

2015 ඔක්තෝබර් මස 28 වැනි දින 0045 පැය 

Advertisements

Comments on: "තවත් කොණ්ඩයන් බිහිනොවන්නට නම්………." (13)

  1. ඉන්දියානු හා තවත් විදේශ කතා මාලාවන් සිංහලෙන් හඬකවා විකාශය කිරීම දැන් අලුත්ම trend එක වී ඇත. පසුගිය දිනෙක මාගේ සහෝදරියකගේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දියණියගේ නිවාඩු කාලයේ පැවරුමකට ප්‍රස්තා පිරුළු 100ක්, ඉඟි වැකි 50ක් ආදී දේවල් රැසක් කියාදෙන්න මට සිදුවුනා. ඒක මටත් කරගන්න අපහසුවුන නිසා මම ගියා මගේ අසල්වැසි නිවසක 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකුගෙන් ප්‍රස්තා පිරුළු, ආප්තෝපදේශ වගේ පොත් පිංචක් ඉල්ලගෙන එන්න. මම යනකොට ඒ දැරියත් , දැරියගේ උසස් පෙළ හදාරන අයියත් , දැරියගේ මවත් පෝලිමට ඉඳගෙන හුස්ම නොගෙන බිත්තියෙන් බාගයක් විතර ලොකු රූපවාහිනියෙන් මොකක්ද හඬ කවපු කතාවක් බලනවා. මට ගොඩක් කලකිරුණු දේ තමයි. දැරියගේ අම්ම කිව්වා “දුව.. ගිහින් අයියට ඒ පොත් ටික හොයලා දෙන්න” කියලා. දුව කාමරයට ගිහින් සැනින් දුවල ඇවිත් ආයෙත් පුටුවේ වාඩි වෙලා මට කිව්වා “අනේ දැන් යන්නේ හොඳම හරිය. මන් ඇඩ් එකක් දානකොට හොයල දෙන්නම්” කියලා. මමත් හිනා වෙලා හා කියලා tv එකට එබුනා මොකක්ද මේ හොඳම හරිය කියලා බලන්න. එක තරුණයෙකුට පෙම්වතියන් දෙදෙනෙක් ඉන්නවා. තරුණයා පෙම්වතියක් එක්ක coffee shop එකක ඉන්නකොට අනිත් පෙම්වතිය වාහනෙන් බැහැලා ඒ coffee shop එකට ගොඩවෙන seen එකක්. ඊට පස්සේ වැඩේ අතටම මාට්ටු වෙලා ගෑනු දෙන්න කෙහෙවලු පටලව ගන්නවා. එක කෙල්ලෙක් කොල්ලගේ කම්මුලට ගහනවා. ඒ කෙල්ල පුටු පෙරලගෙන වැටෙනවා. මම පස්සේ එන්නම් කියලා යන්න හදනකොට ඒ දැරියගේ අයිය ගිහින් මට පොත් ටික හොයල දුන්නේ.

    මන් පුංචි කාලේ අපිත් එක්ක සෙල්ලම් කරපු ගෑනු ළමයින්ට හිටියේ බෝනික්කෝ. ටෙඩිබෙයාලා පුංචි කෙලි පැටවූ අර බෝනික්කව නාවනවා, නලවනවා, බත් කවනවා. අම්ම බත් කවනකොට බෝනික්කටයි දුවටයි දෙන්නටම කවනවා. බෝනික්කට රිදුනොත් දුවත් අඬනවා. ඒ මිට අවුරුදු 20කට විතර කලින් ළමයි. නමුත් ඉදිරි අවුරුදු 20 තුල රටේ යෞවනියන් වෙන්න ඉන්න වර්තමාන ළමා පරපුර යෞවනියන් වූ පසු කොහොම වෙයිද කියලා මට හිතාගන්නත් අමාරුයි. ඒ උනාට හැම මාධ්‍යයක්ම මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. මාධ්‍ය සදාචාරය ගැන හ්ම් නෑ.

    • අද ළමයින්ගෙන් සෑහෙන පිරිසක් පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙලා. ඔවුන් ඒවා යතාර්ථවාදී ලෝකයට සම්බන්ධ කරන්න යාමෙනුත් ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඔවුන් ලෝකය මනින්නට යන්නේ උපකල්පිත මනෝභාවයන් තුළ සිට. අවාසනාවකට මෙන් අද ඉන්න අම්මලා තාත්තලාගෙන් සෑහෙන පිරිසකට බැහැ ළමයෙකුට කතන්දරයක්, කවියක්, ලමාගීතයක්, තේරවිල්ලක්, කියලා දෙන්න. ඒ, ඔවුන්ද හැදී වැඩී ඇත්තේ හරසුන් ලෝකයක නිසා.

  2. මේක මම දැකපු හොද බ්ලොග් එකක්…බොහොම ඉස්තුති මෙහෙම එකක් කරගන යන එකට..සැහෙන දෙයක් ඉගන ගත්තා මෙකේ තියන ලිපි කියවලා ..

  3. කුරුටු ගෑ ගී පවුර said:

    සුපිරි විග්‍රහයක් විචා තුමෝ…………………..

  4. වෘතීය අධ්‍යාපනයට තරුණ තරුණයින් යොමු කිරිම ගැනත් දෙයක් කියන්න තියෙනවා.

    පාසල් අධ්‍යාපනය තුල මෑතක් වනතුරුම තාක්ෂණ ක්ෂේත්‍රයට ළමුන් යොමු කිරීමක් තිබුනේ නැහැ. තොරතුරු තාක්ෂනය කියන්නේ ලෝකයේ අතිවිශාල රැකියා ප්‍රමාණයක් ඇති ක්ෂේත්‍රයක්. තවත් ක්ෂේත්‍ර රැසකට පදනම් වූ හර ක්ෂේත්‍රයක්. ලංකාවේ නම් ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. නමුත් ලෝකය එක්ක බලද්දී එහෙම නැහැ. ලංකාවේ තොරතුරු තාක්ෂණයට දක්ෂතා ඇති දරු දැරියන් පාසල් තුල ඉන්නවා. නමුත් ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරන්න මේ තියෙන අවකාශය තවමත් මදි කියලයි මට හිතෙන්නේ. මම ඉගෙනගත් පාසලේ සිසුන් කණ්ඩායමක් පාසලේ වැඩකටයුතු සඳහා යොදාගන්න පුළුවන් තොරතුරු පද්දතියක් (Management Information System) එකක් නිර්මාණය කළා ඔවුන් එම මෘදුකාංගය ඕනෑම පාසලක් සඳහා නොමිලේ ලබාදෙන්නත් කැමැත්ත පලකරලා තියෙනවා. ඔවුන් පාසල් විෂය ධාරාව තුල විද්‍යා අංශය හදාරන පිරිසක්. උසස් පෙළ සඳහා මෘදුකාංග තාක්ෂනය සම්බධ විෂයයක් අන්තර්ගත වුනා නම්, ඔවුන් යම් දිනෙක නිසැකවම ලංකාවේ නම ලොව පතල කරාවි.

    වර්තමානයේ නම් වෘත්තීය අධ්‍යාපන ශේත්රයේ යම් දියුණුවක් මම දකිනවා. නමුත් ප්‍රමාණවත් කියන්න බැහැ. පාසල් අධ්‍යාපනය හමාර කරන තරුණ තරුණයින්ට ලංකාව පුරා කාර්මික විද්‍යාල රැසක් තියෙනවා නොමිලේ තමන් කැමති ක්ෂේත්‍රයකින් සහතිකපත්‍ර පාඨමාලාවක් හදාරන්න පුළුවන්. (NVQ 4 වන මට්ටම දක්වා). එය හමාර කරන තරුණ තරුණියන්ට ලංකාව පුරා තාක්ෂණ විද්‍යාල 9 ක් තියෙනවා පළාතකට 1ක් වෙන්න. ඉන් තමන් හදාරපු සහතිකපත්‍ර පාඨමාලාවට අදාලව ඩිප්ලෝමා (NVQ මට්ටම් 5 )හෝ උසස් ඩිප්ලෝමා (NVQ මට්ටම් 6) මට්ටමක් දක්වා අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ උසස් පෙළ අසමත් කෙනෙකුට උනත් උපාධියක් ලබාගැනීමට නිදහස් අධ්‍යාපනයෙන් වරමක් තියෙනවා. ප්‍රශ්නේ තමයි ඒ වරම ගැන වැඩි දෙනෙක් නොදන්නා එක. ඒ තමයි 2008 අංක 31 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය. මේ වනවිට පුර්ණ කාලීන හා අර්ධ කාලීන තාක්ෂනවේදී (B.Tech) උපාධි (මෘදුකාංග තාක්ෂනය , පරිගණක ජාලකරණ තාක්ෂනය , බහුමාධ්‍ය හා වෙබ් තාක්ෂනය මෙකාට්‍රොනික්ස් තාක්ෂනය, ගොඩනැගිලි සේවා තාක්ෂනය හා තවත්) පාඨමාලා රැසක් පැවැත්වෙනවා. නේවාසික පහසුකම් , පුස්තකාල පහසුකම් රැසක් ඒ විශ්වවිද්‍යාලයේ තියෙනවා.ඇතැම් උපාධි පාඨමාලාවන් අලුතින් ආරම්භ කරන්න ගැසට් කලත් ඉල්ලුම් කරන ප්‍රමාණය මදි වීම නිසා උපකුලපති තුමාගේ නිර්දේශය අනුව එම උපාධි පාඨමාලා එම වසරේදී අවලංගු කරනවා.

    ලංකාවේ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල අතර පැවැත්වෙන SLIIT Robo Fest නම් රොබෝ නිර්මාණ තරඟාවලියේ පළමු, දෙවන හා සිව්වන ස්ථාන මෙම වසරේදී මේ විශ්වවිද්යාලයට හිමි වුනා.

    බඳවාගැනීම් සිදුකරන කාලයට විශ්වවිද්‍යාලයේ සිසුන් තමන් දන්නා හඳුනන මිතුරන්ට කියනවා මේ අවස්තාව ගැන. ඒ වගේම අලුතින් batch එකක් එන්න interview කරන කාලයට දෙවන වසර සිසුන් දැඩි උත්සාහයක් ගන්නවා අවස්තාව ගිලිහෙන තවත් එක් සිසුවෙකුට හෝ අවස්තාවක් අරගෙන දෙන්න

    පාසලේදී ළමුන්ට ලැබෙන්නේ සීමිත අවස්තාවන් ප්‍රමාණයක්. නමුත් වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල අවස්තාවන් ප්‍රමාණයක් තියෙනවා. තමන්ට ගැලපෙන මාර්ගය තෝරාගැනීමේ සම්පුර්ණ නිදහස තියෙනවා. එක උදාහරණයක් කියන්නම්.

    එක් සිසුවෙක් 2010 හා 2010 වසරේදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලියලා වාර දෙකෙහිදීම අසමත් වෙනවා. නමුත් තාක්ෂණ විද්‍යාලයක NVQ 4 හා 5 මට්ටම් හදාරලා ඔහු තොරතුරු තාක්ෂණ අංශයෙන් වෘත්තීය අධ්‍යාපනයක් ලබනවා. (තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය පිලිබඳ ජාතික ඩිප්ලෝමාව) 2014 වසරේ ඔහු වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මෘදුකාංග තාක්ෂනය පිලිබඳ තාක්ෂණවේදී උපාධිය හදාරන්න සුදුසුකම් ලබනවා. මේ වනවිට ඒ උසස් පෙළ අසමත් සිසුවා අනෙකුත් සියලු සිසුන් අභිභවා පළමු වසර batch top වෙලා දෙවන වසරේ ඉගෙනුම ලබනවා. ඉතින් උසස් පෙළ කියන්නේ ලංකාවේ රජය විසින් සිසුන්ගේ දක්ෂතා සීමා කරන්න , දක්ෂතා ඔපමට්ටම් නොවෙන්න ලංකාවේ දක්ෂ යයි සම්මත සිසුන් වෙනුවෙන් පවත්වන තරග විභාගයක් කියන එකයි මගේ නම් අදහස.

    • ඉතාම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. වැදගත් කරුණු රැසක් මෙහි තිබෙනවා. පාසල් දරුවන් තොරතුරු තාක්‍ෂණය කෙරෙහි යොමුවීමේ දුර්වලකම් පෙනෙනවා බරපතල ලෙස. අපි මෙහෙම හිතමු. යම්කිසි විෂයයකට අදාළව දෙන පැවරුමක් සඳහා පන්තියේම හෝ පාසලේ තිබෙන පරිගණකයකින් අන්තර්ජාලයට සම්බන්ධවී, ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ තොරතුරු සෙවීමට දරුවන්ට ඉඩක් නොදෙන්නේ ඇයි?

      තොරතුරු තාක්ෂණයේ ඉහලට යන්නේ විද්‍යා අංශයේ සිසුන් පමණයි. සංගීතය හදාරන සිසුවකුට, සංගීත භාණ්ඩයක් ගැන, ස්වර මාලා ගැන, විවිධ නාද රටා ගැන, පරිගණකය ඇසුරෙන් පාසලේදී කටයුතු කරන්න නොදෙන්නේ ඇයි? ක්‍රීඩා කරන සිසුවෙකුට, මීටර් 100 දිවීමේ දී ආරම්භය ගන්නා නිවැරදි ඉරියව්ව, පාසලේ පරිගණකයකින් බලාගන්න නොදෙන්නේ ඇයි? ඒ විදිහට, ‘කොම්පියුටර් තියෙන්නේ විද්‍යා ගණිත ළමයින්ට විතරයි’ කියන ආකල්පය දරුවන්ගේ හිතට වැදුනම මොකද වෙන්නේ?

      මේවා කට කියන්නද?

      • හා හා… බලාගෙන. අපේ ඔලුවලටත් බැටන් පොලු පාරවල් වදින්න බැරි නැහැ ඕව ගැන කතා කරන්න ගිහිල්ල.

        • eya kiyana kathawa eththa thamai. maths, science karana lamainge ekadikari aithiyak newei pariganaka denuma, arts,commerce karana pasal ha sarasawi sisuntath pariganaka bawitha kireeme ha patamala hedereeme awasthawa adala baladhaareen wisin labadiya uthui!

  5. බොහෝ ඛේදවාචකයන් සම්බන්ධ ප්‍රධාන වගඋත්තර කරුවා වන්නේ පවතින අධ්‍යාපනයයි. (එය ක්‍රියාත්මක වන හා කරවන ආකරය.පාසල් ක්‍රියාවලිය)යි යන්න ඔබ විසින් අවධාරණය කරනවා. අතනින් මෙතනින් අනියමින් කියනවා මිස මෙතරම් සෘජුව අදහස් දැක්වීමක් වෙනත් ලිපියක දුටුවානම් ඒ බොහොම කලාතුරකින්. අධ්‍යාපන ගැටළුවට පැලැස්තර දානවා විනා, පැලැස්තර දැමීමට උත්සා කරනවා විනා සෑබෑ විසඳුමක් සඳහා උවමනාවෙන් ක්‍රියාත්මක වන බවක් පෙනී යන්නේ නැහැ. ඒ හින්ද වෙන වෙන මනස්ගාත මගින්ඇති ගැටළුවලට විසඳුම් යොදන්නට යන බවක් පෙනෙනවා නේද ?

    • කෙලින්ම කියනවා නම් ගුණසිංහ මහත්තයෝ දැන් ඉන්න අධ්‍යාපන ඇමති යමක් කරයි කියලා මමනම් විශ්වාස කරන්නේ නැහැ. ඔහු කරන කියන දේ තුළින් කිසිදු පරිණත භාවයක් හෝ යම් දැක්මක් තිබෙන බවක් මටනම් පෙනෙන්නේ නැහැ. හැමදාම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කියා කියා, තටමනවා විතරයි. ළමයෙක් තියා මී පැටියෙක්වත් වදන්නේ නැහැ.

      • ඔබතුමාගේ මතයෙම්යි මාත් ඉන්නෙ අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියල තේරුම් ගත්තු බවක් ක්‍රියාත්මක කරන්න අර අඳින වැඩවලින් පෙනෙන්න නෑ. අපට හිනා වෙනවද අඬනවද කියල තේරෙන්නෙ නෑ විචාරක තුමා වලපල්ලට ඇදගෙන යන රට බේරගන්න නං ඉන්න අය හොඳ පරිනත මිනිස්සු බවට පත්වෙන්න ඕන නැතිනම් පරිනත මිනිස්සු අදාල තැන්වලට එන්න ඕන. කන්නංගර පිළිරුවක් ඉදිකරගෙන කන්නංගර පොටෝ එකක් ගහගෙන හිටියට වැඩේ කෙරෙන එකක් නං නෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: