විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Stab Bihind   තමන්ගේ හතුරෙකුට ගහන්න හිතුනම මිනිස්සු විවිධ ක්‍රම වලින් ගහනවනේ. මුලින්ම බලන්නේ කටින් ගහන්න. ඒක අසාර්ථක වුණොත් වෙන අය ලවා අපහාස උපහාස කරවීම, අද කාලේනම් අන්තර්ජාලය ඔස්සේ ගැහීම, (අපේ කාලයේ කැලෑ පත්තර ගැහුවා වගේ) වගේ දේවල් තමා කරන්නේ. බැරිම තැනදී සහ තමන්ගේ කොන්ද පණ තියන, හිත හයිය තියන මට්ටම අනුව තමා, අතින් පයින් හෝ අවි ආයුධ යොදාගෙන ගහන්න එන්නේ. නමුත් ලෝක සම්මත නීතිය අනුව, මේ අවි ආයුධ පාවිච්චිය බොහොම පරෙස්සමෙන් කරන්න ඕනේ. ගෙදර තියන එළවළු කපන පිහියත්, මාරක ආයුධයක් කරගන්න පුළුවන් නේ. ඇයි කතුර? පුවක් කප කපා ඉන්න ගමන්, ගිරයේ යට අණ්ඩේන්, තමන්ගේ තරහ කාරයකුගේ පපුවට අනින්න පුළුවන් මැරෙන්නම. අද කාලයේ තියන, ඝන ලෝහයෙන් නිමවා ඇති සමහර ටෝච් වලින්, ඔලුවේ පිටුපසට වැරෙන් පහරක් එල්ල කරන්න පුළුවන්, මැරිලා වැටෙන්න. මේ වගේ, ක්ෂණිකව, ආයුධ බවට පරිවර්තනය කරගන්න පුළුවන් දේවල් ලැයිස්තුවක්, ඔබටත් කියන්න පුළුවන් බව මා දන්නවා.

   මේ චූර්ණිකාව කිව්වේ, අද මා ඔබ සමග සාකච්ඡා කරන්න යන, ‘අවස්ථාවෝචිතව සකසා ගන්නා පිපිරීම් උපකරණ  – Improvised Explosive Devices’ නමැති මාතෘකාව ගැන හඳුන්වා දෙන්නයි. මේ improvised කියන වචනයට, ‘වැඩිදියුණු කරණ ලද’ කියන යෙදුම සම්බන්ධ කරන්න මම අකමැතියි. මොකද, මේ ආකාරයේ සමහර පිපිරුම් උපකරණ, වැඩි දියුණු කිරීමක් නෙවෙයි කරලා තියෙන්නේ, වෙනස් කිරීමක්. 

මොකක්ද අවස්ථාවෝචිතව සකසාගන්නා

පිපිරුම් උපකරණයක් කියන්නේ?

   ඔව්, ඔක්කොටම කලින් ඒක නිර්වචනය කරගැනීම වැදගත්. අවස්ථාවෝචිතව සකසාගත් පිපිරුම් උපකරණයක් කියන්නේ, අවශ්යවිටක, අවශ්‍ය ස්ථානයක ගෙනගොස් තබා ක්‍රියාත්මක කරන, එසේ නැතහොත් අවශ්‍යවිටක යම්කිසි ස්ථානයක ක්ෂණිකව අටවවා ක්‍රියාත්මක කරවනු ලබන, සාමාන්‍ය සම්මත ක්‍රමයට වඩා වෙනස්, මාරාන්තික ආකාරයකින් සැකසෙන, වෙඩිබෙහෙත්, ගිණි බලය ඇතිකරන රසායනික ද්‍රව්‍ය, විවිධ පිපිරුම් උපක්‍රම සම්බන්ධ කරගනිනිමින් සකසන, විනාශකාරී, පිපිරීමක් ඇතිකිරීම සඳහා යොදාගන්නා බෝම්බයක් වැනි ඇටවුමකි.

   වැඩේ බරපතළයි නේද? ඔව් ඇත්තටම බරපතළ කාරණයක්.  

   ඔබ බොහෝවිට දැක ඇති බටහිර චිත්‍රපටිවල තිබෙනවා, පිපිරුම් උපක්‍රම ගැන දැනුමක් තිබෙන, හමුදා පුහුණුවක්ද තිබෙන පුද්ගලයන්, (රම්බෝ වැනි) විසින්, පරිසරයෙන් සොයාගන්නා විවිධ දේ පාවිච්චි කරමින්, පිපිරවීම් සිදුකරන හැටි. ඇත්තෙන්ම, මේ තාක්ෂණය හොඳින් දැනගත් පුද්ගලයකු, එය නරක පැත්තට යොමු කළොත්, ලැබෙන භයානක ප්‍රතිඵලයේ ප්‍රමාණය කියන්න බැරි තරම්.

   ඔබට මතකද, දැනට කාලෙකට ඉහතදී, අපේ යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට අයත්, බෝම්බ නිෂ්ක්‍රිය විශේෂඥ පුහුණුව ඇති සැරයන් වරයෙක්, කුරුණෑගල ප්‍රදේශයේදී, තම අනියම් පෙම්වතියක් සම්බන්ධ සිදුවීමකදී, පාසල් දරුවන් රැගෙන යන වෑන් එකක බෝම්බයක් ඇටවීම නිසා, පාසල් දරුවකු මියගිය සිද්ධිය? හැබැයි ඒවා මහා පරිමාණ සිදුවීම් නෙවෙයි. පෞද්ගලික සිදුවීම්. නමුත් යුද්දෙකදී, මේ විදිහට නෙවෙයි පිපිරීම් සිදුකරන්නේ මහා පරිමාණයෙන්.

   අද වනවිට ලෝකයේ මහා පරිමාණයෙන් මෙවැනි ආකාරයේ පිපිරීම් ක්‍රම භාවිත කරන්නේ ඉරානය, ඉරාකය, සිරියාව, ඇෆ්ඝනිස්ථානය, ලෙබනනය, පාකිස්ථානය, සහ සමහර මධ්‍යම අපිරිකානු රටවලයි. එමෙන්ම වැඩිපුරම මෙවැනි පිපිරුම් ක්‍රම භාවිත කරන්නේ ත්‍රස්තවාදී සංවිධාන විසින්.

   1999 දී මා යටතේ සේවය කළ නිලධාරියකු, LTTE ත්‍රස්තවාදීන් විසින් ඇටවූ, මෙවැනි බෝම්බයකින් මියගියා. එය අටවා තිබුණේ, T 56 අවියක පතරොම් ගැබේ magazine. එය තුළට වෙඩිබෙහෙත් පුරවා, පිපිරුම් උපක්‍රමයක් යොදා, එය තුවක්කුවෙන් ගලවනවිට පුපුරන්නට සකසා තිබුණා. අපේ හමුදාව සමග ගැටුමකින් පසු පලායන අතර, ඔවුන් මේ අවිය, අපට අසුවන ලෙස කැලයේ දමාගොස් තිබුණා. අර නිලධාරියා අවිය අහුලාගෙන, ආරක්‍ෂක පියවරක් ලෙස, එහි පතරොම් ගැබ ගලවන්නට යාමේදී, එය පුපුරා යාමෙන් ඔහු මියගිය අතර, තවත් සෙබළුන් දෙදෙනෙකු, බරපතළ තුවාල ලැබුවා.

මොනවද යුද්ධයකදී කරන එවැනි පිපිරීම්?

   භයානකම දේ තමයි බැරල් බෝම්බ. බැරල් බෝම්බයක් දැම්මම සෑහෙන ප්‍රදේශය විනාශ වෙනවා. විශේෂයෙන් සතුරු කඳවුරු, සතුරා රැස්ව සිටින / සැඟවී සිටිනු ඇතැයි සිතන ස්ථාන වලට තමයි, බැරල් බෝම්බ එල්ල කරන්නේ. බැරල් බෝම්බයක් කියන්නේ, සිලින්ඩරාකාර ලෝහ කොපුවකට (හිස් තාර බැරල් එකක්, තෙල් බැරල් එකක්, ගෑස් සිලින්ඩරයක්, වුනත් ගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට එකක් හදාගන්න පුළුවන්.) අධිබල පිපිරුම් කාරක ඇතුලත්කර ඉන්පසු මූනිස්සම් ලෙස විසිරෙන විවිධ ලෝහ කැබලි රාශියක්ද, ගිණි අවුළුවන සුළු පෙට්‍රෝලියම් මිශ්‍රනයක්ද ඇතුලත් කර, ගැටීම impact හේතුවෙන් ඩෙටනේටරයක් ක්‍රියාත්මකවීම සඳහා බලය දෙන ෆියුස් එකක් සහිත, සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් ගුවනේ සිට බිමට හෙලන බෝම්බයක්. මෙය, ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් ගෙනගොස්, ඉලක්කය ඇති ප්‍රදේශයට ඉහළ අහසේ සිට, බිමට අතාරින්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. මෙන්න බැරල් බෝම්බය.

Structure of a Barrel Bomb

   ගෑස් සිලින්ඩර උපයෝගී කරගෙන සකසා ඇති බැරල් බෝම්බ

Gas Tank

   බැරල් බෝම්බ තහනම් කරන්න, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා, විවිධාකාරයෙන් උත්සාහ ගන්නා නමුත්, අදත්, සිරියාව වැනි රටවල බැරල් බෝම්බ පාවිච්චි කරනවා. මෙන්න බලන්න බැරල් බෝම්බයේ භයානක කම.  

   වෙඩි තැබීමෙන් පසු පුපුරා නොගිය මෝටාර් උණ්ඩ, කාලතුවක්කු උණ්ඩ ආදියත් අවස්ථානුකූලව පුපුරවා හැරීමට හැකි ආකාරයට සකස්කළ හැකියි. මෙහිදී කරන්නේ, එම උණ්ඩයේ ඉදිරිපස ඇති ෆියුස් කොටස ගලවා එතනට විදුලි ඩෙටනේටරයක් ඇතුළු කර එහි වයර් දෙක අවශ්‍ය තරම් දුරට ඇදගෙන, අවශ්‍ය වෙලාවේදී ස්විච් එකක් මගින් විදුලිය ක්‍රියාත්මක කර පුපුරවා හැරීමයි. මෙය පෑගීමෙන් හෝ වාහනයකට යටවීමෙන් ඇතිවන තෙරපුම අනුව පීඩන බෝම්බයක් ලෙස ක්‍රියාකරන්නත් හදන්න පුළුවන්.

IED

   අද හැමදේකදී ම විද්‍යුත් ක්‍රමවේද වලට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවනේ. ඉතිං මේ වගේ අවස්ථානුකූලව පාවිච්චි කරන බෝම්බත් විද්‍යුත් ක්‍රමවලින් පුපුරවන්නට හැකිවන ආකාරයට සකසා තිබෙනවා. බෝම්බයට සවිකරන ලද දුරකතනයකට අවශ්‍ය අවස්ථාවේදී ඇමතුමක් දීමෙන් බෝම්බය පත්තු කරන්න පුළුවන්. මේ බලන්න. 

Telephone Bomb

   පාරක් අයිනේ තියන තැපැල් පෙට්ටිය, මෝටර් සයිකලයක්, බයිසිකලයක බැඳ ඇති පෙට්ටියක්, නෝනා කෙනෙකු විසින් තම අතේ තියාගෙන සිට, වාහනයක් වෙත දමාගසන අත් බෑගයක්, ළදරුවන් තබා තල්ලුකරගෙන යන කරත්තයක් වැනි, අපට එකවර සිතාගත නොහැකි, විවිධාකාර වේශයන්ගෙන්, මෙවැනි පිපිරුම් උපකරණ තිබෙන්නට පුළුවන්. ඒ සියල්ල මෙහි විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතනවා. මරාගෙන මැරෙන වාහන, ගුවන් යානා, බෝට්ටු ආදියත් වැටෙන්නේ, මෙවැනි අවස්ථානුකූලව සකසාගත් පිපිරුම් ක්‍රම වලටයි.

Box IED

 

   වාහනයක බෝම්බ ඇටවුමක් සිදුකිරීමෙන් වියහැකි හානියේ ප්‍රමාණය, පහත දැක්වෙන වගුවෙන් බලන්න පුළුවන්.

AA

   මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිලිබඳ අත්දැකීම, අප සෑමදෙනාම පාහේ, පසුගිය යුද සමයේදී අවබෝධ කරගත්තා. ඒ සඳහා යොදාගන්නෙත් අවස්ථාවට සුදුසු ආකාරයේ, හැඩයකින්, පෙනුමකින්, සුදුසු පිපිරුම් කාරක ප්‍රමාණයකින් සහ පිපිරවීමේ උපක්‍රමයකින් යුත් ක්‍රමවේදයක්.

   එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය විසින්, සමීක්ෂණය කර ඇති පරිදි, වසරකට නිරායුධ සිවිල් පුද්ගලයන් 13000 කට අධික ප්‍රමාණයක්, මෙලෙස, අවස්ථාවෝචිතව යොදාගන්නා බෝම්බ මගින් මියයන අතර, 45000 ක් පමණ නිරායුධ සිවිල් වැසියන්, බරපතළ තුවාල ලබා, එයින් සමහරෙක් ජීවිත කාලයටම ආබාධිතයන් බවට පත්වෙනවා. 

මේ ව්‍යසනයෙන් මිදෙන්නේ කොහොමද?

  •   අපේ ළඟ මිනිස්කම කියලා දෙයක් ඉතුරු වෙලා තියනවනම් මේ මොකුත් වෙන්නේ නැහැනේ. ඒ නිසා මිනිසා තුළ මිනිස්කම වර්ධනය කිරීමයි සියල්ලට පළමුව කළයුත්තේ. ඒ සඳහා සෑම රටකම සිටින නීත්‍යානුකූල හමුදා සහ සටන්කාමී සංවිධාන තදින් දැනුවත් කළයුතුයි.
  • ලෝකය පුරා නිපදවෙන මෙවැනි පිපිරුම් ක්‍රම, ජාත්‍යන්තර නීති මගින් තහනම් කලයුතුයි. එම නීති පිළිනොගන්නා රටවල් වෙත, සම්බාධක පැනවීමෙන්, ඔවුන් තරමක් දුරට හෝ දමනය කරගත යුතුයි.
  • මෙවැනි උපක්‍රම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කලයුතුයි. විශේෂයෙන් සන්නද්ධ ගැටුම් අති රටවල ජනතාව දැනුවත් කලයුතුයි විවිධ වේශයෙන් එන මෙවැනි පිපිරුම් ක්‍රම අති නිසා තමන් නොදන්නා නොහඳුනන දේ අතපතගෑමෙන් වැලකීමට සහ, සැකකටයුතු සියලුදේ ගැන නොපමාව අදාළ බලධාරීන් දැනුවත් කිරීමට.
  • මෙවැනි පිපිරුම් උපකරණ හඳුනාගැනීම සඳහා වෙනම විශේෂඥ පුහුණුවක් සහිත පුද්ගලයන් යෙදවීම සහ නවීන තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමත්, ඒ තාක්‍ෂණය සහ පුද්ගල සම්පත් ලෝකය පුරා ව්‍යාප්ත කිරීමත් වැදගත්.
  • පාසල් ප්‍රජාව තුළ, මේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිකිරීමෙන්, අනාගත පරපුර, මෙවැනි ව්‍යසනකාරී උපකරණ සැකසීමෙන් හා භාවිතයෙන්, ඈත්කළ හැකියි.
  • අන්තවාදී ත්‍රස්ත සංවිධාන, ලෝකයෙන් තුරන් කිරීමට, සෑම රටක්ම, සියලු භේද පසෙක දමා, එකතුවී ක්‍රියාකළ යුතුයි.

ඔබේ අදහසුත් මෙයටම එක්කරන්න. 

2015 ඔක්තෝබර් මස 06 වැනි දින 0016 පැය 

Advertisements

Comments on: "අවස්ථාවාදී ගැහිල්ල මෙන්න මෙහෙමයි What are the IEDs" (1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: