විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 1මේ දිනවල ලංකාවේ හමුදා අභ්‍යාසයක් පැවැත්වෙනවා කියලා ඔබ දන්නවද?

   මොකක්?…………. හමුදා අභ්‍යාසයක්?…….. මොකටද එව්වා කරන්නේ? දැන් යුද්දේ ඉවරයිනේ. අරෙහෙන් මානව හිමිකම් නඩු, සුද්දෝ එනවලු නඩු අහන්න, මෙහෙ තව අබ්බියාසලු, අම්මප තමුසෙලාට මොළේ කළඳක් නැද්ද? මේ තියන ටිකත් (පුකත්?) නැතිකරගන්න හදන්නේ? ඔව්වා කරාම, අර ඩයස් කියන පොර ද, ඩයස්පෝරාවද මොකද්ද මන්දා එවුන්ට, උඩගෙඩි දුන්නා වගේ වෙනවා නේද? උන් එයි ගෝනි නැතුවම කරේ යන්න…… අම්මපා මේක යහපාලනේද, වහපාලනේද?

   හෝව්….හෝව්…….හෝ……….ව්. මේ, ඔහොම වාඩිවෙන්න. පොඩ්ඩක් හුස්ම ගන්න. නැත්නම් ඔයා මෙතන පැළිලා මැරුණම, මට තමයි, මරණ පරීක්‍ෂණයෙදි සාක්කි දෙන්න වෙන්නේ. හප්පොච්චියේ……….ඔය මූණ දැක්කනම්, තලේබාන්, ISIS, වගේ ත්‍රස්තවාදියොත්, චූ වැක්කෙරි කෙරී දුවනවා ෂුවර්.

   මේ බලන්න, හමුදා අභ්‍යාසයක් කියන්නේ, අමුතු දෙයක් නෙවෙයි. එව්වා එදත්, අදත්, අනාගතයේදීත්, ලෝකයේ සෑම රටකම පවත්වන, පුහුණු වැඩපිළිවෙලක්. මේ ගැන නොදන්නා කෙනෙක් හිතන්න පුළුවන්, අපේ රට, ආපහු යුද්දෙකට ලෑස්ති වෙනවා කියලා. අන්න ඒ වැරදි වැටහීම නැති කරන්නයි, මේ කරුණු ටික කියන්නේ.  

   ඉස්සරවෙලාම, ඔයා කිව්ව එක කාරණේකට උත්තර දීලා ඉන්න ඕනේ. කවුද ඔයාට කිව්වේ, නඩු අහන්න සුද්දෝ එනවා කියලා? අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කළ, අධිකරණ පද්ධතියක් තියනවා. ඒ අධිකරණ පද්ධතියට, විනිශ්චයකාර වරුන් පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. අධිකරණ සේවා කොමිෂන් සභාව අක්‍රිය නම්, පාර්ලිමේන්තුවට ඒ වගකීම දරන්න වෙනවා. ජනාධිපතිගේ බලතල අනුවත්, කටයුතු කෙරෙනවා. අපේ රටේ පරමාධිපත්‍යයට අත තියන්න කාටවත් බැහැ. ඒ අයිතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලින්ම තහවුරු වෙලා තියෙන්නේ. 

   ලෝකයේ මොනම ජගතෙකුටවත් බැහැ, අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අපේ අධිකරණ පද්ධතියට, වෙනත් රටකින් විශ්චයකාර වරුන් පත්කරන්න. දැන් නිකම් දේශපාලනයෙන් පාරාජිකා වෙලා, අනුන්ව බිල්ලට දීලා, ඒ අයගේ කරපිටින් පාර්ලිමේන්තුවට පැනගත්ත කුක්කෝ කියන කතා, අහන්න එපා. ඒවා තමයි අජාසත්ත බොරු කියන්නේ.

   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පුළුවන් වාර්තා හදන්න. නමුත් ඒ අය දැනගන්න ඕනේ, රටක ස්වාධිපත්‍යය කියන්නේ මොකක්ද කියලා. යුද්ධයේදී, මානව හිමිකම් කඩවීම සම්බන්ධව කරුණු සොයාබැලීමට, විදේශීය නියෝජිතයන් ආවට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත්, විදේශීය අධිකරණ විනිශ්චයකාර වරුන්ට, අපේ රටේ අධිකරණ කටයුතුවලට මැදිහත්වෙන්න, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, කිසිම ඉඩක් නැහැ. යුද්ධයට අණදුන්, මහ සෙනෙවි ෆොන්සේකාම කියනවා, විදේශීය නියෝජිතයන් සහිතව පරීක්‍ෂණයක් තියනවානම්, බොහොම හොඳයි කියලා. පරීක්ෂණ මණ්ඩලයට පමණයි, විදේශීය නියෝජිතයන් එක්කරගන්නේ. අධිකරණ කටයුතුවලට නෙවෙයි. 

   අනික, එක්සත් ජාතීන්ගේ කොමිසම කියන්නේ, ලංකාවේ හමුදා වලට වගේම, LTTE සංවිධානයටත්, විරුද්ධව චෝදනා තියනවා කියලා. අපිට චෝදනා තිබුණු පළියට ඇයි කලබල වෙන්නේ? ඒවා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න ඕනේ. එතැනදී අපිට, නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර අධිකරණය, වැනි ආයතන තියනවා අපේ නිර්දෝශීත්වය පෙන්වන්න. මෙතනදී දේශපාලනය පැත්තක තියලා, රටක් හැටියට අපි එකමුතුව, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම, එයින් ලකුණු දාගන්න කවුරුහරි දේශපාලකයෙක් උත්සාහ කරනවානම්, ඔහු වැඩිකල් පාර්ලිමේන්තුවේ නොතියන්න අපි වගබලාගන්න ඕනේ. උතුරේ මහ ඇමති කියන්නෙත්, විපක්‍ෂ නායක සම්බන්දන් කියන්නෙත්, රටේ ඉන්න සාමාන්‍ය දේශපාලනඥයන් මිසක්, රාජ්‍ය නායකයා නෙවෙයි, රජය නෙවෙයි. 

   හොඳයි, අපි ආපහු අපේ මාතෘකාවට යමු. හමුදා අභ්‍යාස කියන ඒවා, පැරණි රජ සමයන්හි පවා සිදුකර තිබෙනවා. ප්‍රසියාවේ රජු වශයෙන් සිටි, මහා ෆ්‍රෙඩ්රික් රජු, (1740 – 1786) ඔහුගේ පාලන සමය තුළ, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. 1909 දී, ජර්මානු හමුදාව, යුද අභ්‍යාස පවත්වා තිබෙනවා. මේ එම අභ්‍යාසයක පින්තූරයක්.

1909

  හමුදාවක්, නිකම්ම නිකම් කකා බිබී, කඳවුරු ඇතුළට වෙලා හිටියොත්, ටික කලක් ගියාම, ඔවුන් රතිඤ්ඤා සද්දෙටත් බය වෙනවා. මේ නිසා, ඔවුන් සෑමවිටම, යුද්ධය සඳහා හොඳින් සූදානම්ව තැබිය යුතුයි. සොල්දාදුවන්ගේ ප්‍රථම රාජකාරිය/වගකීම/කාර්යභාරය/ වන්නේ, යුද්ධයකට සූදානමින් සිටීම. ලෝකයේ සෑම රටක්ම, තම සොල්දාදුවන්, මෙලෙස පුහුණු අභ්‍යාසවල යොදවන්නේ ඒ නිසයි.

යුද අභ්‍යාසයක් කියන එක, මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.

   යුද අභ්‍යාසයක් යනු, සත්‍ය යුද්ධයකට මුහුණ දෙන්නේයැයි උපකල්පනය කරගනිමින්, සියලු හමුදා සම්පත් යොදවාගෙන, යුද බිමක් ලෙස තෝරාගත්, ඒකාබද්ධ ගොඩබිම්, ගුවන් සහ මුහුදු කළාපයක, ත්‍රිවිධ හමුදාව එක්කරගනිමින් සිදුකෙරෙන, සජීව ප්‍රහාර සහිත, අභ්‍යාසයකි. මෙයින්, යම්කිසි රටක/රටවල් කීපයක, හමුදා ශක්තියේ ප්‍රමාණය, ප්‍රහාරක බලයේ ප්‍රමාණය, මූලෝපාය න්‍යාය ප්‍රායෝගිකව යොදාගැනීමේ මට්ටම හා ශක්‍යතාව, උපක්‍රමිකව අණදීමේ සහ භට සේනාංක හැසිරවීමේ දක්ෂතාව, සත්‍ය යුදමය තත්වයක් සඳහා, තම කඳවුරෙන් පිටත්ව යාමට, හමුදාවන් තුළ ඇති සූදානමේ මට්ටම ආදී, යුද න්‍යායට අදාළ කරුණු, ඇගයීමකට ලක්කිරීමක් සිදුකෙරේ. 

එහෙනම් ලෝකයේ හැම රටක්ම බයෙන් ද ඉන්නේ යුද්ධයකට පැටලෙන්න වෙයි කියලා?

   හ්ම්……….ඒක බයක් කියලා කියන්න බැහැ. අපි අපේ ගමේ ජීවත්වෙන විදිහ අනුවනේ, අපිට හතුරන් ඇතිවෙන්නේ. බොහොම කල්පනාවෙන් මධ්‍යස්ථව ඉන්නවානම්, අපිට හතුරන් ඇතිවෙන්නේ නැහැ. යම්කිසි රටක්, ලෝකයේ අනික් රටවල් සමග ක්‍රියාකරන ආකාරය අනුව තමයි, ඒ රටට සතුරු රටවල් ඇතිවෙන්නේ. මේ නිසා යම්කිසි රටක විදේශ ප්‍රතිපත්තිය දැඩිව බලපානවා, ඒ රටට සතුරු රටවල් ඇතිවීම කෙරෙහි. අපි වගේ පුංචි රටවලට අමාරුයි, මේ තෝරු මෝරු අස්සේ ඇඟ බේරාගෙන ඉන්න.

හොඳයි ඉතින් මොනවද ඔය අභ්‍යාස වලදී කරන්නේ?

   හමුදා අභ්‍යාස විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. රටකට පුළුවන්, තමන්ගේ යුද හමුදාව පමණක් යොදවලා, රටතුළ අභ්‍යාස කරන්න. උදාහරණයක් වශයෙන්, අපි උපකල්පනය කරනවා, ලංකාවේ එක දිස්ත්‍රික්කයක, පළාතක, විශාල කැරැල්ලක් හටගන්නවා කියා. මෙය පාලනය කරන්න, පොලීසියට බැරිවෙනවා. එතකොට හමුදාව යොදවා, එය මැඩපවත්වන්නේ කොහොමද? කියන සංකල්පය ඔස්සේ, අභ්‍යාසයක් කරන්න පුළුවන්. අපි හිතමු ඒ කැරැල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා. එතකොට ගොඩබිමින් ගිහිල්ලා මැඩපැවැත්වීම අමාරුවෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී, ගුවන් හමුදාවත් අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අර යුදහමුදා අභ්‍යාසයට, ගුවන් හමුදාවත් එක්වෙනවා. අභ්‍යාසය සඳහා තෝරාගත්තේ, මඩකළපුව දිස්ත්‍රික්කය නම්, නාවික හමුදාවත් සම්බන්ධ කරගන්න වෙනවා. ඔන්න, ත්‍රිවිධ හමුදාවම එක්වී, අභ්‍යාසයක් පවත්වනවා.

ඉතින් ඔහොම කරගත්තම මදිද, මොකටද මේ චීන යුද හමුදාව අපේ රටට ඇවිත් ඉන්නේ?

   චීනෙද ජපානෙද, නැත්නම් වෙන රටක්ද කියලා තීරණය කරන්නේ, කාලීනව රටේ ඉන්න ආරක්‍ෂක කවුන්සිලය විසින්. එහෙම නැතුව ත්‍රිවිධ හමුදා නායකයන්, අර රටම ඕනේ, මේ රටම ඕනේ, කියලා අඬා වැටෙන්නේ නැහැ. (යෝජනා කරන්න පුළුවන්) මේ වගේ, රටවල් එකකට වැඩි ගණනක් එක්වී කරන යුද අභ්‍යාස හඳුන්වන්නේ, ‘අන්තර්ජාතික ඒකාබද්ධ යුද අභ්‍යාස – Joint Intentional Military Exercise’ කියලා.

ඒ වගේ අභ්‍යාසයකදී මොනවද කරන්නේ?

   සරළ උදාහරණයක් කියන්නද? ඔයාගේ ගමටත් හොරු පනිනවා වරින්වර. අල්ලපු ගමටත් හොරු පනිනවා වරින්වර. ඔයාගේ ගමේදීත් එකෙක් දෙන්නෙක් කොටුකරගන්න පුළුවන් වෙනවා. අල්ලපු ගමේදීත් එහෙමයි. නමුත් සීයට සීයක් සාර්ථක නැහැ. දැන් ගම් දෙකේම අය එකතුවෙලා, තම තමන්ගේ ගම්වල ඉන්න වැඩකාරයෝ එකතුකරගෙන, සාකච්ඡාවක් තියනවා, කොහොමද හොරුන්ව මැඩපවත්වන්නේ කියලා.

   එතැනදී දෙගොල්ලන්ගේම අත්දැකීම් හුවමාරු කරගන්නවා. දක්ෂතා හුවමාරු කරගන්නවා. පණිවිඩ සම්බන්ධතා ඇතිකරගන්නවා. වරින් වර හමුවී සාකච්ඡා කරන්නත්, හදිසි අවස්ථාවකදී, එක ගමකින් අනික් ගමට, ආධාරයට පිරිසක් එවන්න ක්‍රමයකුත් හදාගන්නවා. එක දවසක් රෑක, ඇත්තටම එක ගමකට හොරු පැන්නා කියල හිතාගෙන, අර වැඩපිළිවෙල අත්හදා බලනවා. ඉතින් ඔයවගේ දේවල්ම තමා යුද අභ්‍යාසයේදීත් වෙන්නේ.  

  මෙහිදී, අභ්‍යාසයට පෙර, ඒ සඳහා එක්වන හමුදා නායකයන් සහ යුද විශේෂඥයන් එක්වී සාකච්ඡාවක්/සම්මන්ත්‍රණයක් පවත්වනවා. එතනදී ඔවුන් මුලින්ම සාකච්ඡා කරන්නේ, තමන්ට යුදබිමේදී අත්දකින්නට ලැබී ඇති දේවල් පිළිබඳව. ඊළඟට, තමන්ට, දැන් මුහුණදීමට සිදුවී තිබෙන සහ, අනාගතයේදී මුහුණදීමට සිදුවෙතැයි සිතන ගැටළු සහ අභියෝග පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ අභ්‍යාසය කෙබඳු එකක්ද කියා.

   මුහුදෙන් පැමිණ ගොඩබැසීමක් කර, ප්‍රදේශයක් අල්ලාගැනීම, ගුවනින් භටපිරිස් යවා, ගොඩබිම් ප්‍රදේශයකට බස්සවා, එම ප්‍රදේශය අල්ලාගැනීම, ගොඩබිමින් හමුදා යවා, ප්‍රදේශයක් අල්ලාගැනීම, වැනි අභ්‍යාස තමා සිදුකරන්නේ. මෙහිදී, ප්‍රධාන කාර්ය භාරය ඉටුකරන හමුදාවට, අනික් හමුදා විසින් ආධාරක ප්‍රහාර, භටපිරිස්, ප්‍රතමාධාර, තුවාල කරුවන් රැගෙන යාම, අවි පතරොම් සැපයීම, මාර්ග හා වාහන සේවා කටයුතු, භට පිරිස් සඳහා ආහාර සැපයීම, වැනි විවිධ සහය සහ කාර්ය භාරයන් ඉටුකරදෙනවා. වෙලාවකට කටිනුත් යුද්ද කරනවා.

හෑ…………කටින් යුද්ද කරනවා?

   හෙහ් හෙහ්, ඇත්තටම ඒකට කටින් යුද්ද කරනවා කිව්වට ඇති වැරැද්දකුත් නැහැ. එක අභ්‍යාසයක් තියනවා, අණදීමේ ස්ථාන අභ්‍යාසය –  Command Post Exercise කියලා. මේකෙදි අභ්‍යාසය කරන්නේ මෙහෙමයි. එකිනෙකට ඈතින් තියන, (එක බිත්තියෙන් වෙන්වුන කාමර දෙකක් වුනත් කමක් නැහැ එහාපැත්තෙ කතාකරන හා සැළසුම් කරන දේවල්, මෙහා පැත්තට ඇහෙන්නේ පෙනෙන්නේ නැත්නම්) ස්ථාන දෙකක ඉන්න කණ්ඩායම් දෙකක් අතරේ, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු මගින් ගහගන්නවා.

   ඔන්න අභ්‍යාසය පාලනය කරන තැනින් එක කණ්ඩායමකට කියනවා අහවල් තැනින් ඔබේ ප්‍රදේශයට සතුරු පිරිසක් ඇවිත් ඉන්නවා කියලා. එතකොට මේ පැත්තේ ඉන්න අය සිතියම් වලින් බලනවා ඒ කියන ප්‍රදේශය. කලින් කතාවෙලා තියනවා, මෙන්න මේ තැන්වල දෙගොල්ලන්ගේ භට පිරිස්, කඳවුරු, කාලතුවක්කු, යුද ටැංකි ආදිය තියෙන්නේ කියලා. ඉතින් අර අභියෝගයට ලක්වුණ අය කියනවා අපි මෙන්න මෙතනින් මෙච්චර පිරිසක් එවනවා රිටන් එක දෙන්න කියලා. එතකොට අරගොල්ලෝ කියනවා, අපි අහවල් පැත්තෙන් පැනලා ගිහින්, අහවල් පැත්තෙන් එනවා කියලා.

   ඔය විදිහට නිකම් කිව්වට බැහැ. අපි හිතමු ගම්පහ ඉඳලා කඩුවෙලට පිරිසක් එවනවා කිව්වා කියලා, ගතවන කාලය, එන්නේ පයින්ද, මගදී ඇම්බුෂ් කරන්න බැරිද, ආදී කරුණු සිය ගණනක් හිතන්න ඕනේ. මෙතැනදී මොළය කල්පනා කරලා සැළසුම් ඉදිරිපත් කරන කණ්ඩායම දිනුම්. ඇත්තටම යුද්දෙදි මේවා හරිම වැදගත්.

   තවත් ක්‍රමයක් තියනවා. කෘත්‍රිම ද්‍රව්‍ය හෝ වැලි, ගල්, පස්, සිමෙන්ති, යොදවා, පොළොවේ සකස් කරන ලද, සමහරවිට අඩි 50 x 50 දිග පළලටත් වැඩි, යුදබිම් ආකෘති වල, උපක්‍රමික අභ්‍යාසවල යෙදෙනවා. මෙය දැන් වැඩිදියුණු කොට, පරිගණක ජාලයකට සම්බන්ධව, තම පරිගණකයෙන් අභ්‍යාසයේ යෙදිය හැකි ආකාරයට සකසා තිබෙනවා.

   දැන් ඉතින් යුද අභ්‍යාසයක් කියන්නේ මොකක්ද කියන එක ගැන සෑහෙන්න දේවල් දැනගත්තා නේද? නිකම් බොරුවටනේ මට කෑ ගැහුවේ. මෙව්වා නොකළොත් අපි අමාරුවේ. දැන් තේරෙනවද, රටක ආරක්ෂාව කියන්නේ, හැමදාම ඇහැ අරගෙන ඉන්න ඕනේ දෙයක් කියලා.

   ‘ජාතියේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ’ කියලා, ඒ කාලේ කිව්වා දැන් අමතකද?

   ශ්‍රී ලංකාව සහ චීනය අතර මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන යුද අභ්‍යාසය ගැන, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, විස්තර බලන්න පුළුවන්. මෑතකදී, ඇමරිකානු හමුදාව, අපිට බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ පුහුණුවක් දුන්න ආකාරය, මෙතනින් බලන්න පුළුවන්. චීනෙයි අපියි එකතුවෙලා කරපු යුද අභ්‍යාසයේ වීඩියෝවක් තියනවා. හැබැයි චීන භාෂාවෙන් තියෙන්නේ. කමක් නැහැ බලන්න.

2015 සැප්තැම්බර් මස 21 වැනි දින 0001 පැය 

Advertisements

Comments on: "මොකක්ද මේ හමුදා අභ්‍යාසයක් කියන්නේ? Purpose of a Military Exercise" (10)

  1. I saying this is an intelligent gathering and counter ambush exercise for sri lanka. Because these kind of war exercises only do for showing their power over us. Thats all. Now we are non other than slaves. I am also a mithree supporter. But very disappointed after seen this harm to country. Mr might be an mastermind of teft. But he kept an single strong country. Now i am regrets about what kind of actions i was taken. For supporting a destroying leadership. Dammit.

    • I totally disagree with you Sir, as a Commissioned Officer served in SL Army for nearly 30 years. During this type of exercises, we confess our wrong steps to each other. We discuss lengthily what are the remedial measures that could be taken to avoid future errors. No one try to show their super powers over us. Mostly we exchange ideas and experience. No participant countries can show a pre-rehearsed drama on each other County as a stream of questions comes out from other participants instantly. Therefore you must be through in your subject matters.

      Be patient Sir. You will feel the difference in the near future.

      Thanks for your contribution.

  2. බොහොම ස්තුතියි විචාරක තුමාට. හමුදා අභ්‍යාසයක් කියන්නේ මොක්කක් ද කියලා කලින් ටිකක් විතර දැනගෙන හිටියා. එත් මේ ලිපියෙන් නොදන්නා දේවල් ගොඩක් තේරුම්ගත්තා.

    හමුදා අභ්‍යාස වලදී ජීව උන්ඩද පාවිච්චි කරන්නේ?

    සමාවෙන්න මේ ලිපියට අදාළ නැති දෙයක් මේක. එත් ඔබතුමාව දැනුවත් කරන්න විදියක් නැති නිසයි මෙහෙම දැනුවත් කරන්නේ.

    නැවත වතාවක් http://www.elakiri.com හී anurusun නම් user name එකකින් ඉන්න පුද්ගලයෙක් ඔබතුමාගේ ලිපි ගෙඩි පිටින් කොපි කරනවා. ඔබතුමා මින් පසුව ලිපි සදහා ෆොටෝ පාවිච්චි කරන කොට watermark සහිතව පාවිච්චි කරන්න. ඔබතුමාගේ දින ගණනක මහන්සියකින් ලියවෙන ලිපි මුන් වගේ ජරා එවූන් පුස් වීරයෝ වගේ ලොකු කමට දානවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1699515

    • ස්තුතියි තාරක. ඔබේ දැනුමට යමක් එකතුවුනා නම් මගේ උත්සාහය සාර්ථකයි. එය මට ලොකු සතුටක්.

      ඔව් ජීව උණ්ඩ පාවිච්චි කරන අවස්ථා තියනවා. නමුත් මුහුණට මුහුණ ලා වෙඩි තියාගන්නේ නැහැ. අභ්‍යාසයට අදාළ ප්‍රදේශයේ භූමියේ/මුහුදේ සකසන විවිධ ආකාරයේ ඉලක්ක වලට යුද/නාවික/ගුවන් හමුදා ප්‍රහාර එල්ල කරනවා.

      බලුකිරි කාරයන් ගැන තොරතුරු දුන්නට ස්තුතියි. මම අද ඔවුන්ට කියන්න තියනදේ කියනවා.

  3. ඉතාම වටිනවා විචාරකතුමා ඊයෙ ලිපිය කියෙව්වේ යමින් එමින් කෙමෙන්ටුව දාන්න විදිහක් තිබ්බෙ නෑ. මේ විස්තර සිංහල පාඨකයන්ට ගෙන එන්න ගන්නා වෑයම ඉතාම වටිනවා.

  4. හමුදා අභ්‍යාසයක් මම දකින්නේ නිකං අතපය හිරි ඇර ගැනිල්ලක් හැටියටයි. තව විදියකට කිව්වොත් flexing the muscles. ඩම්බෙල් ඉස්සිල්ල, කරාටේ ප්‍රැක්ටිස් කරන්න ඕනෙ ජිම් එකේවත් කාමරේදිවත් නෙවෙයි. මිදුලට ඇවිත්. අල්ලපු ගෙදර පොරටයි පොරගෙ තරුණ දුවටයි පේන්න. Multiple birds with one stone.

    • හෙහ් හෙහ්, අතපය හිරි ඇරගන්න ගිහිං ඇත්තටම ඇරගන්න වෙන වෙලාවලුත් තියනවා. ඔය සමහර රටවල් ඔය ‘අසභ්‍ය අභ්‍යාස’ කරන්නේ, අනික් රටවලට පෙන්නන්නනේ, ඒයි ඔන්න බලපල්ලා, අපි එක්ක හැප්පෙන්න ආවොත්, මෙහෙමයි දෙන්නේ කියලා කියන්න.

  5. මීට වසර කිහිපයකට කලින් “දියකාවා මෙහෙයුම” කියල එකක් ලංකාවේ කොලා නේද? ඒ ගැනත් කියන්නකෝ විචාරක තුමෝ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: