විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

පින්තූර තුනක්


Old Camera   මා දන්නවා, ඔබ, ‘අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්‘ ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ. 

   මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා තුන්දෙනෙක් සිටින බව. අද මම ගියා, කෑගල්ල නගරයේ පදිංචි, මගේ දෙවැනි (මද්දුම) අක්කා බලන්න. හෘදයාබාධයකට ලක්වීමෙන් පසු, බයිපාස් සැත්කමකට ලක්ව, හය මාසයක් පමණ ගතවුනත්, ශල්‍යකර්මයට අදාළ යම් යම් සංකූලතා මතුවීම හේතුවෙන්, ඇය දැඩි දුක් විඳිනවා. ඇයව, ශල්‍යකර්මය සඳහා සිහිනැති කළෙත්, දැඩි අවදානමක් සහිතවයි. යළිත් වරක්, කුමන හේතුවක් නිසාවත්, ඇයව සිහිනැති කළ නොහැකි බවයි වෛද්‍ය මතය. 

   අක්කා ගැන වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තිබුණත්, එය පසුවට තබනවා. මට වයස අවුරුදු 7 – 8 කාලයේදී මා නිදාගත්තේ අක්කා ළඟින්. අක්කාගේ ගෙදරදී මට අහම්බෙන් නෙත ගැටුනා, මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුණ පැරණි පින්තූර දෙකක් සහ, මා තරුණ කාලේ පෙනීසිටි එක් පින්තූරයක්. මේ පින්තූර ඇසුරෙන්, යම් යම් අතීත මතකයන් මෙන්ම, පොදුවේ කාටත් කතාකළහැකි කරුණු තිබෙන බව පෙණුන නිසා, ඒ පින්තූර ඔබේ අවධානයට ලක්කරනවා. මෙන්න පළමුවැනි පින්තූරය. 

Scan_20150912_155007

   මේ පින්තූරය 1940 දශකයේදී ගන්න ලද පින්තූරයක් කියා කීමට සහ මේ පින්තූරයේ පසුපස පේළියේ, ඔබේ වම් අත පැත්තේ සිට හතර වැනියා ලෙස සිටින්නේ, මගේ පියා කියා කීමටත්, ඊළඟට ඉන්නේ, කොළඹ යුගයේ සුප්‍රසිද්ධ කවියකු වූ, ‘උඳුගොඩ නවරත්න’ මහතා කියා කීමටත් පමණයි, මා දන්නේ. මගේ පියා ඉපදී තිබෙන්නේ 1914 ජූනි මස 1 වැනිදා. මගේ මවගේ උපන්දිනය, 1918 අගෝස්තු මස 15 වැනිදා. වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් පසුව තමයි ඔවුන් විවාහවී තිබෙන්නේ. මෙන්න පෙම් කතාව හැකිතරම් කෙටියෙන්.

   පෙම්වතා සහ පෙම්වතිය දෙන්නම, ගුරු වෘත්තියේ සේවය කළ අය. දෙවැනි ලෝක යුද්ධ කාලේ, ලංකාවේ ක්‍රියාත්මකවී තිබෙනවා ‘ආහාර නිෂ්පාදන ව්‍යාපාරය’ නමින්, කෘෂිකාර්මික කටයුතු වේගවත් කර, යුද්ධය නිසා, රට තුළ ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමේ ව්‍යාපාරයක්. මේ දෙන්නම ඒ ව්‍යාපාරයට සම්බන්ධවී සිටින අතර තමයි, ප්‍රේම සම්බන්ධය ඇතිවී තිබෙන්නේ. (මේ දෙන්නා, ඒ කාලේ හුවමාරු කරගත් සෙනෙහෙකොළ, ඒ කාලේ තිබුණු, මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බෙලෙක් පෙට්ටි හතරක පහක පමණ පුරවා තිබුණ බව, මගේ අක්කලා කියනවා. හැබැයි බොහොමයක් ඒවා ලියා තිබෙන්නේ, සුද්දාගේ භාෂාවෙන්ලු. ඉතිං අපේ අක්කලා, බොහොම අමාරුවෙන්, වචන ගැට ගහ ගහ, ඔව්වා කියවන්න උත්සාහ කරනවා දුටු පෙම්වත් මව, එව්වා ගිනිදෙවියාට පූජා කලාලු) ෆුල් ඉංගිරිසි ලව්. පෙම්වතා පෙම්වතියට තෑගි දුන්, හොඳ ඉන්දියන් සාරියක්, රු 3.50 යි ලු. හැබැයි පෙම්වතාගේ මාසික වැටුප, රු 14.50 යි ලු.  

   පෙම්වතා බෞද්ධ. පෙම්වතිය කතෝලික. පෙම්වතාගේ පියා තේ කම්හල්වල යන්ත්‍ර සූත්‍ර නඩත්තුව භාර ලොකු බාස්උන්නැහේ කෙනෙක්. (ඒ කාලේ සිංහල සමාජය ෆෝමන් කියන වචනය පාවිච්චි කළේ නැහැ) පෙම්වතා අහිංසක ගැමි තරුණයෙක්. පෙම්වතියගේ පියා, සහකාර වතු අධිකාරි කෙනෙක්. ගෙදරදී කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. (මම ඔහුව දැක තිබෙන්නේ වාර දෙකතුනක් පමණයි. ඔහු, රාත්‍රී ආහාරය සඳහා, කෑම මේසයට එන්නේ, කලිසම් කමිස සපත්තු සහිතව. ඒ කාලේ අධිරාජ්‍යවාදී ස්වරූපය ඔවුන් තුළ මියයනතුරුම තිබුණා) පෙම්වතා ගමේ ඉස්කෝලෙට ගිය කොල්ලෙක්. පෙම්වතිය, කන්‍යාරාමයක, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ තරුණියක්. මේ නිසා පෙම්වතියගේ පැත්තෙන්, පෙම්වතාට මහා විරෝධයක් එල්ලවෙලා තියනවා. (බයියෝ සහ ටොයියෝ?) ඔන්න ඉතිං පෙම්වතා සහ පෙම්වතිය, හින්දි චිත්‍රපටියක වගේ, සින්දුවක් එහෙම කියාගෙන ඉන්න කාලේ, දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ලංකාවටත් ආවා.

   ‘කාපිරි’ නමින් හැඳින්වුණු, අප්‍රිකානු ජාතික සොල්දාදුවන්, සුදු ජාතික පාලකයන් විසින් ලංකාවට ගෙනාවා. එක දවසක්, මෝටර් බයිසිකලයක ගමන්ගත් මේ කාපිරියන් දෙදෙනෙක්, පෙම්වතිය සහ ඇගේ යෙහෙළියන් මහමග යද්දී, මග හරස් කර, අනඟ රැඟුම් පාන්නට සූදානම් වුණාලු. ඒ බව දුටු පෙම්වතා, ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව, අර කාපිරියන් දෙන්නාගේ හොම්බට ඇන, පෙම්වතිය බේරාගත්තාලු.

   ඔන්න ඉතිං මේ ‘මහා වීරක්‍රියාව’ ගැන පැහැදුණු පෙම්වතියගේ පියා, බාස් උන්නැහේගේ පුතාට, තම වැඩිමහල් දියණිය, (ඇයට බාල නැගණියන් හය දෙනයි. ඒ පවුලේ පිරිමි දරුවන් නැහැ) සරණ පාවා දුන්නා. පුදුමේ කියන්නේ, දෑවැද්දට බෝර් 12 පතරොම් තුවක්කුවකුත් දීලා තියනවා. (1971 කැරැල්ල සමයේදී පොලීසියට බාරදුන් ඒ තුවක්කුව, ආපසු ලැබුණේ නැහැ) මම හිතන්නේ, ‘පාලනය අපහසු වුණොත්, තුවක්කුවෙන් පාලනය කරපන්’ කියලා, මාමා බෑණට කියන්න ඇති. විවාහයෙන් පසු, මගේ මව, බුද්ධාගම වැළඳගෙන තිබෙනවා. (තාත්තා, අර තුවක්කුව ඔලුවට තියලා, කිව්වද දන්නේ නෑ, බුද්ධාගමට වරෙන් කියලා) ඇය ඉතා ඉහළ බෞද්ධ ධර්ම ඥානයකින් යුක්ත බව මට හොඳට මතකයි.

   ඔන්න ඒ ආදර කතාව එතනින් ඉවරයි. ආපහු පින්තූරෙට යමු. මේ පින්තූරය, මෙපමණ කල් ගියත්, තවමත් හොඳ තත්වයේ තිබෙනවා. පින්තූරය ගත්තේ 1940 කියා සිතුවොත්, අවුරුදු 70 කට වැඩියි. මුල් පින්තූරයේ ඇති ගුණාත්මක බව මේ මේ ස්කෑන් රූපයේ 100% ක් දකින්නට නැහැ. මුල් පින්තූරයේ, නාභිගත කිරීම කොතරම් ඉහළ තත්වයක තිබෙනවාද කියා දුටුවිට, පුදුම හිතෙනවා. අද මෙන් එදා දියුණු කැමරා කාච තිබුනේ නැහැ. මේ පින්තූර සඳහා කිසිදු ආලෝකකාරණයක් කර නැහැ. මේ පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න, පින්තූරයේ සිටින සෑමදෙනාගේම කොණ්ඩය ඉතා හොඳින් නාභිගතව තිබෙනවා. විශේෂයෙන් බලන්න, මුහුණේ සියළු විස්තර (details) ඉතා පැහැදිළිව නාභිගතවී තිබෙනවා.

   කෝ මේ අපේ ඉන්නවා නේද, කැමරා කාරයෝ හැට හුටහමාරක් විතර. මේ පින්තූරේ තියන ඡායාරූපමය වටිනාකම් කියලා දීපල්ලකෝ අපිට.

   ඊළඟට මේ පින්තූරය වැදගත් වෙන්නේ, මෙන්න මේ විදිහට. යම් කෙනෙකුට අවශ්‍යනම්, අපේ රටේ ඇඳුම් කාලීනව වෙනස්වී ඇති ආකාරය පිළිබඳව පර්යේෂණයක් කරන්න, මෙන්න මේවගේ පින්තූර, ඒ සඳහා රුකුළක් ලබාදෙනවා. බලන්න, මෙහි විවිධාකාරයේ ඇඳුම් කීපයක් තියනවා. පින්තූරයේ ඉදිරිපස පේළියේ ඉන්න, ප්‍රභූ පෙනුමෙන් යුත් පුද්ගලයා ඇඳ සිටින, ‘ට්වීඩ්’ නමැති රෙද්දෙන් කළ ඇඳුම, ඒ කාලේ බොහොම ජනප්‍රියයි. ඒ කාලේ සමහරු ඔය ඇඳුමේ, රෙද්දට යටින් දිග කලිසමකුත් අඳිනවා. පසු කාලයේදී, එය හාස්‍යයට ලක්වුනා, ‘රෙද්ද අස්සේ මහත්තයා’ කියලා.  ඉදිරි පේලියේ දකුණු කෙලවරේ වාඩිවී සිටින කාන්තාව, සම්පූර්ණයෙන් පය වැසෙන ආකාරයේ සපත්තු පැළඳ සිටිනවා. කමිස ඇඳ සිටින අය, සම්පූර්ණයෙන් කර පියවා බොත්තම් දමා තිබෙනවා. ඔබේ නිරීක්‍ෂණත් කියන්න.

   ඊළඟට පෙන්නන පින්තූරය 1960 දශකයේදී ගත් එකක්. පින්තූරයේ ඉන්නේ, මගේ පියා සහ මව. ඔවුන් දෙදෙනා මේ ඉන්නේ, මගේ පියා එවකට සේවය කළ, කෑගල්ලේ, හෙට්ටිමුල්ල (පසුව බණ්ඩාරනායක නමින් නම් කළ) මහා විද්‍යාලයේ, (අද මෙය ජාතික පාසලක්) ජ්‍යොෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර SSC පන්තියේ ළමුන් සමගයි. පන්ති භාර ගුරුවරයා මගේ පියා. බලන්න, මුළු පන්තියේම ඉන්නේ, ළමයි 13 දෙනයි.

Scan_20150912_155208

   ලස්සනයි නේද? මේ පින්තූරයේ, මගේ පියා ඇඳ සිටින උඩුකය ඇඳුම, ජාතික ඇඳුමේ උඩුකය කොටස නෙවෙයි. මෙය, ඝන රෙද්දකින් මසන ලද, දණහිසෙන් පහළට සිටින තරම් දිග, කොලරයේ සිය පහළට බොත්තම් විශාල ගණනක් තිබෙන ඇඳුමක්. මගේ මතකයේ හැටියට, මෙය හැඳින්වුණේ ‘ෂර්වානිය’ යන නමින්. මගේ පියා මෙය ඇන්දේ, විශේෂ අවස්ථා වලදී පමණයි. මගේ පියා පැළඳ සිටින සපත්තු දෙක, මට හොඳට මතකයි. එය, එංගලන්තයේ නිෂ්පාදිත, ‘ජෝන් වයිට්’ වර්ගයේ, දුඹුරු පැහැති සපත්තු කුට්ටමක්.  

   කොහොමද කොල්ලොටික කියා බලමු. පසුපේළියේ, ඔබේ වම් අත පැත්තේ මුලින්ම ඉන්න එකා, අද මගේ මස්සිනා. මේකා තමයි, මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ අක්කව ඩැහැගත්තේ. මරුමුස් පෙණුමයිනේ? බලන්නකෝ කොල්ලන්ගේ කොණ්ඩ ටික කොහොමද කියලා. අදනම් ඉස්කෝලෙන් එලවනවා. ඒ වගේම කෙල්ලන්ට විතරයි පාසල් නිළ ඇඳුමක් තිබෙන්නේ. කොල්ලන්ට නැහැ. එක එක ජාති ඇඳගෙන ඉන්නවා. ජාතික ඇඳුම ඇඳපු දෙන්නෙක් ඉන්නවා.

   ගෑණු ළමයි දාලා ඉන්නේ එක එක ජාතියේ සපත්තු සෙරෙප්පු. ඒ කාලේ ඔය ‘බැලරිනා සපත්තු‘ බොහොම ජනප්‍රියයි. ඔය ටයි එකට අපි කිව්වේ, ‘හරක් දිව’ කියලා. ඕක ගැට ගහන්නේ නැහැ. ඔය පෙනෙන කෑල්ල විතරයි තියෙන්නේ. කටුවක් ගහලා එල්ලගන්නවා. අද මේ ළමුන් සියලු දෙනා, ආච්චිලා සීයලා වෙලා ඇති. අපේ අක්කටත් දරුවන්ගේ දරුවෝ ඉන්නවා.  වම් පැත්තේ මුලින්ම ඉන්න ගෑණු ළමයා, පුටුවෙන් වැටෙන්න යන එක වලක්වගන්න වෙන්න ඇති, එක කකුලක් ඈතින් තියාගෙන ඉන්නේ. එතනින් එහා, ඔබේ නිරීක්ෂණ වලට ඉඩ තබනවා.

   අන්තිම පින්තූරේ, 1970 දශකයේ ගත්ත එකක්. මගේ අයියාගේ, හෝම් කමින් හෙවත්, ‘ඇට්ෙටා්ං’ එකේදී ගත්ත පින්තූරයක් මේ.

Scan_20150912_155507

   පසු පේළියේ, වම් අත පැත්තේ මුලින්ම ඉන්නේ, ගරු මමතුමා. කොහොමද ටයි පොල්ලයි කොණ්ඩෙයි? ඊළඟට ඉන්නේ, අපේ අම්මාගේ නැගණියන් අතරින්, වැඩිමල්ම පුංචි අම්මා සහ බාලම පුංචි අම්මා. ඊළඟට අද ජීවතුන් අතර නැති, මගේ මල්ලිලා දෙන්නා. අන්තිමට ඉන්නේ, මගේ අක්කල තුන්දෙනාගෙන් බාලම අක්කා. පුටුවල වාඩිවී සිටින පේළියේ, මුලින්ම ඉන්නේ මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ දෙවැනි අක්කා සහ එයාව ඩැහැගත්ත ගොබිලා. ඊළඟට අපේ තාත්තා. ඊළඟට නව යුවළ. මනමාලිගේ හැට්ටේ අත්දෙක කොහොමද? කොහොමද අපේ අයියගෙ කොණ්ඩෙ? ඊළඟට අපේ අම්මා, ලොකු අක්කා සහ ඇගේ ස්වාමි පූ……ර්ෂයා.

   බිම වාඩිවෙලා ඉන්න කොල්ලෝ තුන්දෙනාම ලොකු අක්කගේ. කෙල්ලෝ තුන්දෙනාම දෙවැනි අක්කගේ. අද මුන් ඔක්කොම, දරුවෝ දෙන්නා තුන්දෙනා සිටින, අම්මලා තාත්තලා. බලන්න, 1940 දශකයේ ගත් පින්තූරය තවමත් සෑහෙන්න හොඳ තත්වයේ තිබියදී, 1970 දශකයේ ගත් පින්තූරය, සෑහෙන්න අබලන්වී තිබෙනවා. මෙහෙම වෙන්නේ, ඡායාරූප මුද්‍රණයේදී, ගුණාත්මක භාවය අතින් අඩුවීම කියලයි මම හිතන්නේ.

   දැන් ඉතින් ඔබට හිතෙන දේ, මේ පින්තූරවල ඉන්න අයගේ පෞද්ගලිකත්වයටත්, මගේ ආත්ම ගෞරවයටත්, හානි නොවන පරිදි කියන්න.

2015 සැප්තැම්බර් මස 18 වැනි දින 0831 පැය. 

Advertisements

Comments on: "පින්තූර තුනක්" (7)

  1. හපෝ ෆොටෝ වල ගුණාත්මක බව ගැන කතා කරලා වැඩක් නැහැ විචාරකතුමා. අපේ ගෙදරත් කළු සුදු ෆොටෝ ඔක්කොම හොඳට තියෙනවා. ලගදී ගත්ත ෆොටෝ බහුතරය පුස් කාලා.

    • මම හිතන්නේ, දැන් ගන්න ඩිජිටල් පින්තූර, අපිට හාඩ් ඩිස්ක් එකක හෝ ඩී වී ඩී එකක තියාගෙන, නැවත අලුටත් පිටපත් ගන්න පුළුවන් නිසා දිගුකල් පවතින විදිහට මුද්‍රණය කරන්නේ නැහැ කියලයි.

  2. ස්වයං චරිත කතාවට හොඳ ඇරඹුමක්. පින්තූර සියල්ල බැලුවා. තාක්ෂණය දියුණු වීමත් එක්කම මිනිසුන්ගේ කම්මැලි කම දියුනු වෙලා කුසලතා මුවහත් කරගැනීම දුබලවී ගිහින් ඇති බවට උදාහරණයක් විදිහටත් මේ පින්තූර ටික වටිනවා. 1940 දශකයේ උපකරණ නොදියුණු අවදියේ එවැනි ගුණාත්මක බවින් ඉහළ පින්තූරයක් ගැනීම සහ මුද්‍රණයත් සම්බන්ධ ශිල්පීය නිපුණතාව ඉතා උසස් මට්ටමක තිබෙනවා

    • අද මිනිසා අතිශයෙන් කාර්ය බහුලවීම නිසා සැලකිල්ල අඩුවෙලාද මන්දා.

      මේවගේ පින්තූර මහා ගොඩක් අපේ ගෙදර තිබුණා. අනේ ඒවට මොකද වුණේ කියලා හොයාගන්න නැහැ ගුණසිංහ මහත්තයෝ. තිබුනානම් මගේ ජීවිත කතාවම පින්තූර වලින් කියන්න තිබුණා.

  3. කලුසුදු ජායාරුප වර්ණ එව්වට වඩා ගොඩක් කල් පවතිනව කියල මම අහල තියනව. ඒ වගේම කලුසුදු එව්ව වර්ණ එව්වට වඩා කලාත්මක අතිනුත් වැඩි අගයක් ගන්නව. අතිදක්ෂ වෘතීය මට්ටමේ ශිල්පියො අදටත් කළුසුදු ජායාරුපකරණයේ යෙදෙනව.
    ඉස්සර කාලෙ පොටෝ එකක් “ඩිවලොප්” කරන්න (සංවර්ධනය කියන වචනේ ගැලපන්නේ නෑ වගේ) ගොඩ වෙලාවක් යනවලු. සෑහෙන වෙලාවක් වතුරෙ දාල තියනවලු. ඒත් දැන් ඔක්කොම ඉක්මන් වෙලානෙ.

    හැබැයි අද උනත් “optimized for money” නොවී “optimize for quality” වෙලා වැඩ කරානම් කල්පකාලාන්තරයක් තියන පින්තූර ගන්න පුළුවන්.

    • පිළිතුරු දීමට ප්‍රමාදවීම ගැන සමාවන්න.

      ඔබේ අදහසට එකඟයි. අද කොයි ක්ෂේත්‍රයේත් ගුණාත්මක බව තරමක් පිරිහී ගිහින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: