විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   War Crimesමේ ලිපිය පළවෙන අද එනම් 2015 සැප්තැම්බර් මස 14 වැනිදා, එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කොමිසම  ජිනීවා නුවරදී රැස්වෙනවා. එහිදී, ශ්‍රී ලංකාවට එරෙහි, යුද අපරාද පිලිබඳ වාර්තාවක් එළිදැක්වෙන බව දැනගන්නට තිබෙනවා. පසුගිය යුද සමයේ, අපේ රටේ හමුදා විසින්, යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා. මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, යුද අපරාධ කියන්නේ මොනවාද කියන කාරණය ගැනයි.

   පළමුවෙන්ම එක දෙයක් කිවයුතුයි. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවලට සුදු හුණු ගාන්නවත්, දංගෙඩියට දක්කන්නවත් මගේ කිසිදු අභිලාශයක් නැහැ. ශ්‍රී ලංකා හමුදාවලට එරෙහි යුද අපරාධ චෝදනා තිබේනම්, ශ්‍රී ලංකා රජය මගින් පත්කරණ මණ්ඩලයක් මගින්, ඒ පිළිබඳව කරුණු විභාග කළයුතුයි. එම වාර්තාව ලෝකයට දැනගැනීමට හැකිවන ලෙස, ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළයුතුයි. වරදකරුවන් සිටීනම්,

  • ත්‍රිවිධ හමුදා පාලනය වන අණපනත්,
  • ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය,
  • ශ්‍රී ලංකා ජනරජය විසින්,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අදාළව අත්සන් කර ඇති ප්‍රඥප්ති,
  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,

   සළකා බලා, ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතුයි. එහෙත්, කිසිවිටකත්, කිසිවකුත්, ජාත්‍යන්තර අධිකරණ වෙත යොමු නොකළයුතුයි. එසේ නොකොට, සාධාරණව ඉදිරිකටයුතු කිරීමට, අවශ්‍ය තරම් ප්‍රතිපාදන, අපේ නීති පද්ධතිය තුළ තිබෙනවා.

   මා නැවතත් අවධාරණය කරන්නේ, සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළහැකි චෝදනා තිබේනම් පමණයි, මේ ක්‍රියාමාර්ග වලට එළඹිය යුත්තේ. නිකම් පුහු උද්ඝෝෂණ වලට බිය වියයුතු නැහැ. ඔය කියන විදේශීය සම්බාධක පැනවීමේ තර්ජන ඔක්කොම පුහු ඒවා. 

යුද අපරාධ නිර්වචනය 

   යම්කිසි රටක් තුළ ඇතිවන අභ්‍යන්තර සන්නද්ධ අරගලයකදී/සටනකදී හෝ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සිදුවන සංග්‍රාමයකදී හෝ, ජාත්‍යන්තර මානුෂවාදී නීතියට පටහැනිව, සතුරු පක්ෂයට හෝ සතුරු පක්ෂයට හිතවත්, සන්නද්ධ නොවන පිරිස් වලට එරෙහිව, යම්කිසි හමුදාවක් විසින් කරනු ලබන සෑම ක්‍රියාවක්ම, යුද අපරාධයක් වන්නේය. 

  හොඳට මතක තියාගන්න, සතුරු පක්‍ෂය සමග මුහුණට මුහුණ ලා සටන් කිරීම, සැඟවී සිට පහර දීම, සතුරු කඳවුරු තුළට හොරෙන් ඇතුළුවී පහරදීම සහ, කඩාකප්පල්කාරී/විනාශකාරී ක්‍රියා සිදුකිරීම, සතුරු කඳවුරු වෙත ගුවනින් බෝම්බ හෙළීම, සතුරු නෞකා වලට පහරදී විනාශ කිරීම, වැනි කෙළින්ම සටනට සම්බන්ධ ක්‍රියා, යුද අපරාධ ගණයට වැටෙන්නේ නැහැ.  

එහෙනම් මොනවද යුද අපරාධ? 

   අන්තර්ජාතික සංග්‍රාමික නීති යටතේ, යුද හමුදාවන් දෙකක් අතර පවා, සටනේදී නොකළයුතු දෑ පිළිබඳව, ප්‍රඥප්ති පනවා තිබෙනවා. මෙන්න එයින් මේ වෙලාවේ මතක්වන දේවල්.

  • ජල මූලාශ්‍ර වලට වස විස මුසු කිරීම,
  • තහනම් අවි ආයුධ පාවිච්චි කිරීම, බැරල් බෝම්බ, ඩම් ඩම් බුලට්, වැනිදේ පාවිච්චි කිරීම, රසායනික අවි පාවිච්චි කිරීම.
  • සතුරු පක්ෂයේ යුද සිරකරුවන්ට (ප්‍රශ්න කිරීම වැනි කටයුතු වලදී) අමානුෂික වදදීම, සාධාරණ නඩු විභාගයකින් තොරව දඬුවම් දීම.
  • ඔවුන්ව මියයාමට ඉඩහැර නොසළකා සිටීම.
  • මරණය සිදුවියහැකි අන්තරායදායක ක්‍රියාවල යෙදවීම.
  • අත්අඩංගුවට ගත්පසු ඝාතනය කිරීම.

ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. 

වෙනත් යුද අපරාධත් තියනවද?

   ඔව්, ඇත්තටම යුද අපරාධ හැටියට සැලකෙන ක්‍රියාවන් බොහොමයක් මගින් සැලසෙන්නේ, යුද්ධයට  කෙළින්ම සම්බන්ධ නොවන අයගේ ආරක්ෂාවයි. යුද්ධයක් සිදුවියයුත්තේ, සන්නද්ධ කණ්ඩායම් (පුහුණු හෝ නුපුහුණු, එහෙත් සොල්දාදුවා/සටන්කරුවා Soldier/Combatant යන වර්ගීකරණයට ඇතුළත් කළහැකි අය) අතර පමණයි. එයට සාමාන්‍ය ජනතාව මැදිහත් කරගැනීම යුද අපරාධයක්.

   අපි බලමු, විශේෂයන්, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සඳහා පනවා ඇති ප්‍රඥප්ති මගින්, යුද අපරාධ ලෙස සැළකෙන කරුණු.

  • සාධාරණ හේතුවකින් තොරව, මරාදැමීම, හිරිහැර කිරීම හෝ නොසළකා හැරීම, සිය ගම්බිම් හෝ අනුන්ට බලපෑමක් නොවන පරිදි දැනට රැඳී සිටින ප්‍රදේශ වලින්, වහල් සේවයේ හෝ කම්කරු සේවයේ යෙදීමට සිදුවන, නැතහොත් බලහත්කාරයෙන් යොදවන,  සරණාගත කඳවුරු වෙත පිටුවහල් කිරීම.

 

  • යුද සිරකරුවන් සේ සළකා අත්අඩංගුවට ගන්නා සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම, අකාරුණික ලෙස සැළකීම, මරාදැමීම.

 

  • සතුරු පක්ෂයට එහිව කෙරෙන සංග්‍රාමික කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදවාගැනීම.

 

  • සාමාන්‍ය ජනතාව, ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මරාදැමීම.

 

  • යුද අපරාධ වලට සම්බන්ධයැයි සැළකෙන, සන්නද්ධ සාමාජිකයන්ගේ කලත්‍රයා හෝ, පවුලේ සාමාජිකයන්, ළඟම ඥාතීන්, සාධාරණ නඩුවිභාගයකට ලක්කිරීමෙන් තොරව, සිර දඬුවම්/මරණ දඬුවමට යටත් කිරීම.  

 

  • සංග්‍රාමික ඉලක්ක වශයෙන්, කිසිදු වැදගත්කමක් හෝ අවශ්‍යතාවක් හෝ නැති, නගර, ගම්මාන, ආගමික සිද්ධස්ථාන, පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, ආදිය වෙත ප්‍රහාර එල්ල කොට වනසා දැමීම.

 

  • ස්ත්‍රී දුෂණය, ළමා අපචාර, ලිංගික වහල් සේවයේ යොදවා ගැනීම, බලහත්කාරයෙන් ගැබ් ගැන්වීම.

 

  • සාමාන්‍ය ජනතාව සිටින බව දැන දැනත්, ඔවුන්ට අනතුරු/ජීවිත හානි ඇතිවියහැකි ආකාරයට, යුද ප්‍රහාර එල්ල කිරීම. රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම.

 

  • සතුරු පක්ෂයෙන් ගැලවී සිටීම/සතුරා රැවටීම සඳහා, රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ සාමාන්‍ය ජනතාව පළිහක් ලෙස පාවිච්චි කිරීම.

 

  • සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන, ආහාර/ජලය ලබාගැනීම වැලැක්වීම හෝ කඩාකපල් කිරීම.

 

මොනවද ඉතින් මේ අපරාධ කිරීම වළක්වාගන්න තියන නීතිරීති?

 මෙවැනි අසාධාරණ ක්‍රියා වළක්වා ගැනීමට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතුකර තිබෙන්නේ අද ඊයේ නෙවෙයි. 14 වැනි සියවසේදී පවා, ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක් රෝම අධිරාජ්‍යයේදී පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදී තිබෙනවා. එයින් පෙනෙන්නේ එතරම් ඈත අතීතයේදී පවා යුද අපරාධ  පිළිබඳව දැඩි අවධානයක් තිබුණ බව සහ ඒවා වැළක්වීමේ නීති තිබුණ බවයි. 16 වැනි ශතවර්ෂයේ සිට 18 වැනි ශතවර්ෂය දක්වා වූ කාලය තුළ මහා බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය යුද අපරාධ වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

   කෙසේ වෙතත්, යුද අපරාධ වලට එරෙහි, ලෝක ව්‍යාප්ත ප්‍රඥප්ති පළමුවරට ප්‍රකාශයට පත්වුණේ, 1864 දී ජිනීවා නුවරදී එළිදැක්වුණු, ජිනීවා සම්මුතියයි. එතැන්සිට ජිනීවා නුවර මධ්‍යස්ථානය කරගනිමින් තවත් යුද අපරාධ වැළක්වීමේ ගිවිසුම් රාශියක් ගොඩනැගී තිබෙනවා. 

Geneva Convention 1864

   1899 සහ 1907 යන වර්ෂ වලදී නෙදර්ලන්තයේ හේග් නුවරදී පවත්වන්නට යෙදුන යුද අපරාධ පිලිබඳ සමුළු දෙකෙන් පසුවද, යුද අපරාධ වලට එරෙහි සම්මුති ගොඩනගාගෙන තිබෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදී සිදුවූ යුද අපරාධ වල බරපතළකම වටහාගත් රටවල් බොහොමයක්, ජිනීවා නුවරට රැස්වී, තව දුරටත් යුද අපරාධ සිදුවීම වලක්වාගැනීම සඳහා විවිධ ප්‍රඥප්ති සකසනු ලැබුවා.

   කෙසේ වෙතත් 1977 සිට 2005 දක්වාවූ කාලය තුළ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යන නිර්වචනය යටතේ, නව ප්‍රඥප්ති රැසක් බිහිවීම මත, තම සිතැඟි පරිදි යුද්ධයකදී ක්‍රියා කිරීමේ දුර්දාන්ත ප්‍රතිපත්තියෙන් වැළකෙන්නට එතෙක් කල් තම අභිමතය පරිදි ක්‍රියාකළ බොහොමයක් රටවලට සිදුවුණා. එහෙත් ලෝකයේ සමහර රටවල් එම ප්‍රඥප්ති වලට අත්සන් තබා නැහැ.

   මේ හැර ජාත්‍යන්තර රතු කුරුස සංගමය මගින්ද සංග්‍රාමයේදී පිළිපැදිය යුතු මානුෂවාදී නීති පිලිබඳ ප්‍රකාශන, ලෝකය පුරා විවිධ භාෂා රාශියකින් නිකුත්කර ඇති අතර, විවිධ ගැටුම් පවතින රටවලට ගොස්, සටනට සම්බන්ධ සෑම පක්‍ෂයකටම දේශන පවත්වා, මානුෂවාදී නීතිය පිලිබඳ දැනුමක් ලබාදෙනවා. පසුගිය යුද සමයේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවටත්, LTTE සංවිධානයටත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය විසින්, යුද බිමට ආසන්න ප්‍රදේශවලට ගොස්, මෙවැනි දේශන පැවැත්වුවා. 

ඉතින් මේ නීති පිළිපදිමින් සටන් කරන්නේ නැත්තේ ඇයි? 

   මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න නම් එපා. මේ ටික කියන්නේ, යුද බිමේදී ලැබූ අද්දැකීම් පදනම් කරගෙනයි. මාව විශ්වාස නැත්නම්, ඔබට හැකියාවක් ඇත්නම්, ලෝකයේ වෙනත් රටක යුද්ධයේ යෙදී සිටි කෙනෙකුගෙන් අහන්න. මෙන්න මේකයි මට කියන්න තියෙන්නේ. 

   මේ ඔක්කොම නීති හැමවිටම රකිමින් සටන් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් අපි පරාදයි. 

   සාමාන්‍ය මිනිහෙකුට සීරීම් තුවාලයක්වත් ඇති නොවන යුද්ධ, ලෝක ඉතිහාසයේ තිබුනෙත් නැහැ, අනාගතයේදී තිබෙන්නේත් නැහැ. අපිට පුළුවන් වෙන්නේ, හානිය අඩුකරගැනීමට පමණයි. එහෙම නෑ කියලා කියන කෙනෙක් ඉන්නවානම්, ඔහු වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි……. එපමණකි.

2015 සැප්තැම්බර් මස 14 වැනි දින 0001 පැය


මූලාශ්‍ර:- 

Advertisements

Comments on: "මොනවද මේ යුද අපරාධ කියන්නේ…………..? War Crimes……? What’s that?" (7)

  1. කෙතරම් යුධ අපරාධ කළත් ජපානයට සහ ජර්මනියට දෙවන ලෝක යුද්ධයෙන් දිනන්නට බැරිවුණා. එනිසායි ඒ යුධ හමුදා නායකයින්ට විරුද්ධව යුධ අපරාධ සඳහා නඩු අසා දඬුවම් දුන්නේ.

    ලංකාවේ තිබුණු සිවිල් කලබලවලදී අපරාධ කළ අය දිනූ නිසා තමයි ඒ අපරාධ වසා දමන්නට හැකි වෙන්නේ.

  2. මෙතැන විචාරකට මඟ හැරුණු ප්‍රධාන කාරණාවක් තියෙනවා. පළමුවන ලෝක යුද්ධය දක්වා (1914-18) හමුදාවන් සටන් කළේ මුහුණට මුහුණ ලා. තමන් වෙඩි තියන්නේ කාටදැයි පෙනෙනවා. සාමාන්‍ය පුරවැසියන්, විශේෂයෙන්ම ගැහැණු හා ළමයින් සිටින්නේ මේ යුද පෙරමුණට පසු පසින් මේ නිසා සටනේදී යුද අපරාධයක් වූයේ නම් එය පැහැදිළිව කැපී පෙණුනා. (උදාහරණ සතුරු ගම්මානයක් යටත් කොට ගෙන එහි දේපල කොල්ල කෑම, කාන්තාවන් දූෂණය කිරීම ) අද වෙනකොට සටන පෙරමුණට සීමා වී නැහැ. ඉතින් යුද අපරාධයක් අර්ථ දැක්වීම ඉතාම සංකීර්ණ දෙයක්.

    මේ ගැන මගේ මතය මෙසේයි.

    යුද පෙරමුණේදී මුහුණට මුහුණ සිදුවූ සටන් සිදුවූ කටයුතු ගැන කිසිම ප්‍රශ්නයක් මතු නොකළ යුතුයි.
    ගම්මාන වලට බෝම්බ දැමීම වැනි දේ case by case ගත යුතුයි. උදාහරණයක් හැටියට රෝහලකට (එය තාවකාලික ගොඩනැඟිල්ලක් වුවත්) දැන දැන බෝම්බ දමා තිබෙනවා නම් වැරදියි. නමුත් ජපනුන් මානසිකාරෝග්‍යශාලාවට බෝම්බ දැම්මා වගේ නොදැන කළා නම් වරදක් නොවිය යුතුයි.
    මේ හැරුණු විට පැහැදිළිවම යුද අපරාධ සේ පෙනෙන රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළ තරුණියන් 15 දෙනා මරා දැමීම, ත්‍රිකුණාමලයේ උසස්පෙළ සිසුන් පස් දෙනා මරා දැමීම, එල්.ටී. ටී.ඊ. සංවිධානයේ වුවත් යම් කෙනකු අත් අඩංගුවට ගත්තායින් පසුව මරා දැමීම වැනි සිද්ධි අනිවාර්යයෙන්ම විභාග කළ යුතුයි.

  3. එල්ටීටීඊ එකට යුධ අපරාධ චෝදනා නැත්ද?,,, එකේ හිටපු කට්ටියට හෙම, කරුණා, කේපී.

    • ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තම තීරණය ප්‍රකාශ කළා LTTE සංවිධානයේ වැරදිත් සොයා බැලිය යුතුයි කියා. කරුණා අම්මාන්ගේ නම සඳහන් කරලාම කිව්වා ඔහුට චෝදනා තිබෙන බව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: