විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

මැරුණේ එයා පණ ගියේ අපේ


   නොසිතූ විදිහට ටික දිනක් පරිගණකයෙන් ඈත් වී ඉන්නට සිදුවුණා. පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ සිදුවුණ අවමංගල්‍යයන් දෙකක් සහ, තුන් මාසයේ පින්කමක් නිසා, විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදුවුණා. අළු යට ගිණි නමින් ලියන්නට ආරම්භ කළ ලිපියේ දෙවැනි කොටස සකසන්නට ඉඩ නොලැබුණේ, ටෙලිකොමා මට කළ අරියාදුව නිසයි. ටෙලිකොමා ගේ මාර්ග බාධකය ඉවත්වුණේ, අගෝස්තු 31 රෑ 12 ට යි. නමුත් අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය හා කාලය කැපකිරීමේ යුද්ධයේ යෙදී සිටින අතර, එහේ මෙහේ දුවන ගමන් ලැබුන විවේකයේදී, සහෘද බ්ලොග් වල කමෙන්ට් එකක් දෙකක් දමනවා හැරෙන්නට, වෙනත් කිසිවක් කරගන්නට ඉඩක් ලැබුනේ නැහැ. ඔය අල්ල පනල්ලේ, ‘ජනෙල් 10’ ලැබුණත්, ඒ ගැන ලියන්න හිතාගෙන හිටිය ලිපියත්, අතපසුවී ගියා. පසුගිය දිනවල මා ලද අත්දැකීම්, අපේ අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳව නැවත සිතා බැලීමක් කරන්නට, මා තුළ පෙළඹීමක් ඇතිකළා. ඒ නිසයි මේ කෙටි ලිපිය ලියන්නේ.

   පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ මරණ දෙකක් සිදුවුණා. එකක් නව යෞවනයේ සිටි තරුණයකුගේ මරණය. 23 හැවිරිදි ඔහු මියගියේ, වන සතුන් නැරඹීම සඳහා ජාතික වනෝද්‍යානයක යමින් සිටියදී, ඔහු ගමන්ගත් ජීප් රථය පෙරළීමෙනුයි. ඉදිරි පස වම් පැත්තේ අසුන්ගෙන සිටි ඔහු, රථයෙන් එළියට වැටීමෙන් පසු, ජීප් රථය ඔහුගේ ඇඟ මතටයි පෙරළී තිබෙන්නේ. දැඩි සත්කාර මැද එක් දිනක් පමණයි ඔහු ජීවත් වුණේ. අපේ රටේ තවමත්, හදිසි ආපදා සඳහා කඩිනම් ආධාර ලබාදීම අතින් අපි ඉන්නේ, ප්‍රාථමික මට්ටමකයි. මේ තුවාලකරු, ගුවන් මගින්, ප්‍රධාන පෙළේ රෝහලකට ගෙනයන්නට හැකිවුනා නම්, ජීවිතය රැකගන්නට තිබුණා.  

   දෙවැනි මරණයත් අපේ අසල්වැසි, මගේ හිතවතකුගේ මවගේ මරණය. ඇය 77 හැවිරිදි, ඉතා නිහඬ, පිනට ලැදි ජීවිතයක් ගතකළ මාතාවක්. බොරු විච්චූරණ කවදාවත් ඇය ළඟ තිබුනේ නැහැ. කවදාවත්, කාගේවත් ඇද කුද හෙව්වේ නැහැ. කිසිම කෙනෙකුගේ වැරැද්දක්, නරකක් කියනවා මා අසා නැහැ. ඇය මට සැළකුවේ ඇගේ බාල සහෝදරයකුට වගේ. දීර්ඝ කාලයක සිට ඇය විවිධ අසනීප තත්වයන් කීපයකින් පෙළුනත්, තනිවම දෛනික වැඩකටයුතු කරගත්තා. මීට පෙර ද ඇය හදිසියේ අසනීපවී, රෝහල් ගතකර සුවය ලබා පැමිණියත්, මෙවර රෝහල් ගතකර පැයකට පමණ පසු, මියගියා.

   ඉහත සඳහන් තරුණයාගේ අවමංගල්‍යය, ඔහුගේ මවට අයත් (ඇත්තටම ඔහුට අයත්) අපේ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත්වෙනු ඇතැයි අප සිතුවත්, අපේ ප්‍රදේශයට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි, ඔහුගේ සහෝදරියගේ නිවසේ පවත්වන්නට, ඒ පවුලේ අය විසින් කටයුතු සූදානම් කෙරුණා. මේ නිසා, අපේ සමීප සහයෝගය, ඒ අවමංගල්‍ය කටයුතු සඳහා ලබාදෙන්නට අපහසු වුණා. කෙසේ වෙතත්, ඒ පවුලෙන් ලැබුණ විවිධ ඉල්ලීම් නිසා, කොතරම් දුෂ්කරතා තිබුණත්, විවිධ ආධාර උපකාර කරන්නට අපට සිදුවුණා. මේ අවමංගල්‍ය දෙකේදීම, පොදුවේ මා නිරීක්‍ෂණය කළ කරුණු, අප තවමත් පරණ හණමිටි කරපින්නාගෙන යන ජන කොට්ඨාශයක් නොවේද යන සිතුවිල්ල, මා සිත තුළ ජනිත කළා. අර තරුණයාගේ අවසන් කටයුතු සිදුකරන්නට පෙර දිනයේදී තමයි අර මව මියගියේ. මේ නිසා අපෙන් සෑහෙන පිරිසකට, තම රැකියා වලින් නිවාඩු ලබාගෙන, (පෞද්ගලික අංශයේ රැකියා කරන අය ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා) කොටස් දෙකකට බෙදී, මේ අවමංගල්‍ය දෙකේ වගකීම් බෙදාගෙන කරන්නට සිදුවුණා. පාර දෙපස තණකොළ කපා පිරිසිදු කිරීමේ සිට, කෑම පිසින ලද භාජන ඔසවාගෙන යාම, ඒවා සෝදා පිරිසිදු කිරීම දක්වා දහසකුත් එකක් කාර්යයන්හි නියැලෙන්නට අපට සිදුවුණා. 

   එපමණක් නොවෙයි, දෙවැනි අවමංගල්‍යය අවසන් කළ ඊයේ දිනයේම රාත්‍රියේ, අසල්වැසි තවත් හිතවතකුගේ සහෝදරිය මියගොස්, තුන් මසක් පිරීමේ මතක ධර්ම දේශනාව සහ දානය (දානය මේ ලිපිය ලියන්නට පටන් ගත් අද, එනම්, සැප්තැම්බර් 5 වැනි දිනට යෙදී තිබුණා) යෙදී තිබුන නිසා, ඒ සඳහා අවශ්‍ය සහයෝගය, ආධාර උපකාර කරන්නටත් සිදුවුණා. මේ නිසා, කාර්ය බහුල, වෙහෙසකර, දින ගණනාවක් ගතකරන්නට, අපේ ප්‍රදේශයේ සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සියළුදෙනාටම පාහේ සිදුවුණා.

   පසුගිය දින කීපය තුළ, මා නිරීක්‍ෂණය කළ කරුණු, පහත දක්වනවා. 

  • මංගල්‍ය කටයුතුවලදී කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු වලදී බොරු මහන්තත්තකම්, ආරූඪ කරගන්නට ධනය වැය කරමින්, විවිධ සැරසිලි, අලංකරණ, කරන්නට මෙතරම් වෙහෙසක් ගන්නේ ඇයි? තමන්ට නැති තත්වයක් ලෝකයට පෙන්වීමට විනා, මියගිය කෙනාට ගෞරවයක් ලබාදීමට නෙවෙයි නේද? 

 

  • විවිධ ප්‍රභූවරුන්, මැති ඇමති වරුන්, උසස් රාජ්‍ය නිළධාරීන් වෙත, දූතයන් මගින් පණිවිඩ යවා, ඔවුන් විනාඩි පහකට හෝ අවමංගල්‍ය නිවස වෙත ගෙන්වා ගන්නට, මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? 

 

  • තමන්ට මුදල් වියදම් කිරීමේ ශක්තිය තිබුණු පළියට, පිටින් ඔප දැමූ ලෑලි පෙට්ටියකට, ඉතා විශාල මුදලක් ගෙවන්නෙත්, කිලෝමීටරයකට රුපියල් 1000 කට වඩා අය කරන, අති විශේෂ අවමංගල රථයක් යොදාගන්නෙත්, තමන්ගේ හිතට බොරු කරගන්නටත්, ලෝකයාට බොරුව මවා පෑමටත් නොවේද?

 

  • යාන්ත්‍රිකව නිපදවන කිරිකෝපි සඳහා යන වියදමෙන්, කුලියට පුද්ගලයන් දෙදෙනෙකු යොදවා, විදුලි බෝයිලේරුවකින් ජලය උණුකොට, එකවර, කිරි තේ, කිරි කෝපි, කහට තේ, බෙලිමල්, වැනි පාන කීපයක් සැකසිය හැකියි. නමුත්, අහවල් වෙළඳ නාමයේ එක දුන්නම නම්බුව වැඩියි. (සීනිත් වැඩියි)

 

  • එක ළඟ අවමංගල්‍ය එකකට වැඩි ගණනක් සිදුවූ විටක, ඒ සෑම අවමංගල්‍ය නිවසකටම, ගමේ සමිතියෙන් ලබාදෙන සුබසාධක පහසුකම් සියල්ලම, එකවර ලබාදිය නොහැකි බව දැන දැනත්, අපේ අවමංගල්‍යයට ප්‍රමුඛත්වය ලැබියයුතු යැයි සෑම පාර්ශවයක්ම සටන් කරන්නේ ඇයි?

 

  • තමන්ට හැකියාවක් නොතිබුනත්, මානුෂිකත්වය උදෙසා, සමහර නිවෙස් වලින්, ඉතා දුකසේ උයා පිහා ගෙනගොස් ලබාදෙන ආහාරවල, රසගුණ විවේචනය කරන්නේත්, ඒ ආහාර නිසිපරිදි පරිභෝජනය නොකොට ඉවත ලන්නේත් ඇයි? පසුගිය දිනවල, එක් අවමංගල්‍ය නිවසකට සමිති සාමාජිකයන්ගේ වියදමෙන් ලබාදුන් ආහාර අති විශාල ප්‍රමාණයක්, (රෝද දෙකේ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පිරෙන ප්‍රමාණයේ තොග දෙකක් ඌරු කොටුවකට යැවුණා) ඉවත ලා තිබෙනු දුටු මට, දැඩි කලකිරීමක් ඇතිවුණා.

 

  • මියගිය අය ගැන බොරු වර්ණනා කරමින්, කාලය කා දමන දීර්ඝ ගුණ කථන ගණනාවක් පවත්වන්නේ, කාව සතුටු කිරීමටද? තමන්ගේ ඥාතියාට මෙපමණ ආදරයක් තිබුණා නම්, ජීවත්ව සිටියදී ඒ ආදරය නොදැක්වුවේ ඇයි?

 

  • එවෙලේ ලියාදෙන කොළ කෑල්ලක තිබෙන දේවල් වඩා වර්ධනය කරමින්, මියගිය අය ගැන පෞද්ගලිකව තොරතුරු නොදන්නා භික්ෂූන් වහන්සේ, විප්‍රකාර අනුශාසනා කරන්නේ ඇයි?

 

  • ප්‍රදේශවාසී අනෙකුත් නිවැසියන් අපහසුතාවයට පත්කරමින්, ඔවුන්ගේ ගෙවතුවල අති ගස්, නිවාසයේ වහලය, ප්‍රයෝජනයට ගනිමින් කොඩිවැල් අදින්නේත්, වාහන නැවත්වීමට ඉඩ නැති බව දැන දැනත්, ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට බාධාවන පරිදි, අවමංගල නිවස වෙත එන වාහන නවත්වා තබන්නේත්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය යොදාගන්නේත්, ශෝක ප්‍රකාශ බැනර්, අසල්වැසි නිවෙස්වල වැටේ සවිකරන්නේත්, ඇයි?

 

  • කාඩ් සෙල්ලම් කිරීම, කැරම්, දාම්, සෙල්ලම් කිරීම නොකළොත් නිදිමරන්න බැරිද? මහා හඬින් උසුළු විසුළු කරමින්, එසේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මකද? විශාල පිරිසක් රෑ එළිවනතුරු මළ ගෙදර සිටියේ නැත්නම්, මළ සිරුරට පණ එයිද? 

 

ඔබටත් කියන්න බොහෝ දේ ඇති. අපි සංවාදයක යෙදෙමුද?

 

2015 සැප්තැම්බර් මස 06 වැනි දින 0023 පැය 

Advertisements

Comments on: "මැරුණේ එයා පණ ගියේ අපේ" (16)

  1. //ලියාදෙන කොළ කෑල්ලක තිබෙන දේවල් වඩා වර්ධනය කරමින්, මියගිය අය ගැන පෞද්ගලිකව තොරතුරු නොදන්නා භික්ෂූන් වහන්සේ, විප්‍රකාර අනුශාසනා කරන්නේ ඇයි?// මෑතක සිට බෝවී ඇති පිළිකුලක් වගේම ලජ්ජාවක් ඇති කරපු මේ සිරිත නිසා ඔහොම කොල කෑල්ලක් ඉල්ලූ තැනැත්තාට නෑදෑ පිරිසේ කොටසක විරුද්ධ තාව මැද්දෙ “දන්නවා නම් අනිත්‍යය ගැන සිහිපත් කරන්න“ යන පණිවුඩය යවනු ලැබූ දුර්ලභ අවස්ථාවක් මට අත්දකින්නට ලැබුණා.
    තවත් හිතවතකු හැකිතාක් කඩිනමින්, අඩුම ගණනේ එකදිනක් ඇතුලත කතා පැවැත්වීම්වලින් තොරව තමන්ගේ අවසන් කටයුතු කරන්න යන ඉල්ලීම කළ වටිනා මිනිසකුගේ අවමංගලෝත්සව කීපයකට මෑතදී මටත් සහභාගීවෙන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහේ ප්‍රවනතාවයකුත් තිබෙනවා.

    • ස්තුතියි ගුණසිංහ මහත්මයාණනි. මේ දවස් ටිකේ දැකපු විකාර නිසා මම හිතාගත්තා, මගේ අවමගුල පැවැත්වියයුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් ලියා, ගෙදර අය අතට දීලා තියන්න. නැත්නම් ගමේ අයයි නෑදෑයොයි එකතුවෙලා, මගේ මිනිය අච්චාරු දමයි.

  2. ජීවත්ව ඉන්න විට එක මලක් දෙන්න බැරි වුන අය මැරණාම උස්සගෙන එන මල්වඩමකින් වැඩක් තියනව ද ? මේ විප්‍රකාර නවතා දැමිමට කාලය හරි බව මගේත් මතය විචාරක තුමණි.

  3. කෙනෙකුගේ අවසාන මොහොතක, ඒ අයගේ ජිවිතයෙන් අපට ලැබුණ දේ ගැන සිහිපත් කිරීමනම් වැදගත්. ඒත්, ගොඩ දෙනෙකුගෙන් එහෙම ලැබෙන දෙයක් නැති තරම් නිසාදෝ මන්දා ඒ වෙනුවට කෙරෙන්නේ පුරසාරම්, මෝඩකම් දෙඩවීම වගේ දේවල් ම තමයි ගොඩක් වෙලාවට. විශේෂයෙන් ම දවස් ගණන් නිදි මරා ගෙන, ආගමික කටයුතු කියල ජාතියක් බදා ගෙන කෙරෙන දේවල්නම් දියුණු සමාජයකින් ඉවත් වෙන්න ඕන මහා අපත ක්‍රියාවක් කියලයි මට දැනෙන්නේ.http://syberheartblog.blogspot.com/

    • මේ පුරුද්ද ලෝකයෙන්ම තියෙන්නේ අපිට විතරද මන්දා. අපි අවමගුලකදී කතාකරනකොට කියන්නේ මියගිය පුද්ගලයාගෙන් අපට ලැබුණු ප්‍රතිලාභ නැතිවී යාම ගැනයි. ඔහුගේ යහගුණ කියවෙනවා අඩුයි.

      ඉහලින් පහලට තමා අවමගුල් චාරිත්‍ර ගැන ආදර්ශයක් ලැබිය යුත්තේ.

  4. api natta kapapu nathi wanduro wage thama inee. batahira jaathingen thama api oya awamagula charithra gate. e aya ewa wisi karanakota api thama badagena innawa

  5. කරුණු දෙකක් පිළිබඳව අදහස් දක්වමි….

    //යාන්ත්‍රිකව නිපදවන කිරිකෝපි// – මගේ අදහස නම් මෙහිදී වැඩිදෙනෙකු බලන්නේ වියදමට වඩා පහසුව බවයි. වෙනත් පාන වර්ග ලබාදීමේදී අවශ්‍ය කරන බඩු බාහිරාදිය(විශේෂයෙන්ම කෝප්ප), පිරිසිදු කිරීම, මෙන්ම ඉඩකඩ (අප දැන් දහ අතේ ණයවී පර්.10ක සාදාගන්නා නිවසේ කුස්සියේ ඉඩ ඇත්තේ යන්තම් එක් අයෙකුට රැදීසිටීමට පමණි), ආදිය මේ සඳහා අවශ්‍ය නැති අතර, කුඩා ඉඩක තබන යන්ත්‍රය පැය කීපයකට වරක් නැවත පිරවීම පමණක් සෑහේ. අතරතුර කාලයේදී කුඩා ලමයෙකුට වුවද අදාල පානය යන්ත්‍රයෙන් ලබාගෙන බෙදාහැරිය හැක.
    එසේම, මා ඇතුළු බහුතරයක් මෙම පානයට අකමැති වුවත් වෙනත් දීප ව්‍යාප්ත විකල්පයක් නොමැති බව හේතුවෙන් එයට නතු වීමට සිදුව ඇත (Monopoly). වෙනත් පහසු, දීප ව්‍යාප්ත විකල්පයක් තිබුනේන නම්, (‍තේ, ඔසුපැන් ආදී දේශීය පාන වර්ග සාදන යන්ත්‍ර ප්‍රදර්ශණවලදී දැක ඇති නමුත් වාණිජ වශයෙන් තිබෙනවා දැක නැත, එමෙන්ම මළ ගෙවල්වල රාත්‍රී තේ සැපයීම වැනි සේවයක් සැපයීම එකඟ වන කෑම සපයන ආයතනද (Cartering) මාහට නම් හමුවී තැන) අනිවාර්යයෙන්ම එයට යොමු වන බව පැවසිය යුතුය.

    //විශාල පිරිසක් රෑ එළිවනතුරු මළ ගෙදර සිටියේ නැත්නම්// – මෙය ඇත්ත වශයෙන්ම මා දන්නා පරිදි අප සංස්කෘතිය තුලින් ආ අංගයකි… ගමක මරණයක් සිදුවූ විට එයට පැමිණීම, දිවා රාත්‍රී එහි රැඳි සිටීම, ආදියන්, මියගිය පුද්ගලයාට ගෞරවය දැක්වීමටත් වඩා විශාල අහිමිවීමක් සිදුව ශෝකයෙන් සිටින පවුලේ අයට තමන් තනිවී නොමැති බව ඒත්තුගැන්වීමට ඔවුන් අවස්ථාවක් උදාකරගන්නවා. සමහර ප්‍රදේශ වල නම් මරණය සිදුවී දින 07ක් යනතුරු අදාල නිවසේ ජනෙල් දොරවල් නොවැසිය යුතු බවට මතයක් පවතින අතර එම කාලය පුරාවට ගම්මුන් එම ‍නිවසට පැමිණ රැඳී සිටිම හා අසල නිවෙස් වලින් ආහාරපාන සැපයීම සිදුකරනවා. මා විශ්වාස කරන්න‍ේ එමගින් නිවැසියන්ගේ ශෝකය යම්තාක් දුරට තුනී වෙන බවයි.
    බොහෝවිට කාඩ්, කැරම්, දාම්, සෙල්ලම් කිරීම හා එහිදී උසුළු විසුළු කිරීම යනාදියට ඇත්ත වශයෙන්ම යොමුවන්නේ එහි පැමිණෙන තරුණ පිරිසයි. මෙය සදාචාරාත්මකද නොවුවද නිවැසි වැඩිහිටියන් එය ඉවසා සිටිනේනේ ඔවුන්ගේ නොදැනුවත්කම හා ඔවුන් ඇත්තටම එහි පැමිණ ඇත්තේ තමන් කෙරෙහි ඇති හිතවත්කම නිසාවෙන් යන කරුණු සැලකීමෙනි. කෙසේ වෙතත්මෙම උසුළු විසුළු කිරීම් යම්කිසි සදාචාරාත්මක සීමාවක් තුල පවත්වාගෙන යාමට ඔවුන් සැලකිළිමත් වන බව මා බොහෝවිට දැක ඇත.

    ඔබ විසින් ඉහත සඳහන් කර ඇති බහුතරයක් දේ පිළිබඳව මා එකඟවෙමි. ‍ආගමික මත කුමක් වුවත් මම අදටත් අනුමත කරන්නේ මුස්ලිම් භක්තිකයන්ගේ දිනක් ඇතුලතදී මරණයේ අවසන් කටයුතු සිදුකිරීමේ චාරිත්‍රයයි.
    ‘පණ සුන් සිරුරක් ලඟ තබාගෙන හඬා වැලපීමෙන් හෝ ගෞරව කිරීමෙන් අපට මෙන්ම මියගිය කෙනාටද ලැබෙන දෙයක් නැති අතර, බොහොමයක් ආගම් වලට (විශේෂයෙන්ම බුදු දහමට) අනුව කල යුත්තේ ඔහු හා අප වෙනුවෙනේ පින් රැස් කිරීමයි.’
    කීමට තවත් බොහෝ දේ ඇති නමුත් කාලය නැත.
    මේ ගැන මගේ තවත් අදහසක් – http://apemawala.blogspot.com/2012/09/blog-post_10.html

    • තේ සහ ඔසුපැන් යන්ත්‍ර තියනවා. පාවිච්චි කර ඉවත දමන කෝප්ප විවෘත වෙළඳපොලේ තියන බව ඔබ දන්නවා අති. මේ බහුජාතික සමාගම් මෙවැනි පාන වර්ග වලට බොරු මහන්තත්ත කමක් ආරූඪ කිරීම සහ එය සමාජගතකිරීම නිසයි දේශීය පාන සහ ඒවා නිපදවන යන්ත්‍ර වලට තැනක් නැත්තේ. මා සිටින කුරුණෑගල ප්‍රදේශයේ ආයුර්වේද ඖෂධ විකුණන වෙළඳ සලක තිබෙනවා යාන්ත්‍රිකව නිපදවන පාන වර්ග එවෙලේම ගෙන පානය කිරීමට. ඒ යන්ත්‍ර වෙනත් පාන වර්ග සෑදීමට නිපදවන ලද ඒවායි. නමුත් දේශීය පාන වර්ගත් හදන්න පුළුවන්.

      මළගෙදර අය තනි නොකළ යුතුය කියන හැඟීමට එකඟයි. ඔවුන්ට මානසිකව කඩා වැටෙන්නට නොදියයුතුයි. නමුත් ඒ සඳහා සීමිත නෑ දෑ හිතවත් පිරිසක් ප්‍රමාණවත්. රෑට මළගෙවල්වල යන සම්ප්‍රදාය රාජකාරි බහුලත්වය නිසා සිදුවනවාම නෙවෙයි. එහි ජොලියකුත් තිබෙන බව අද කාලයේ එහෙම යන අය නිරීක්‍ෂණය කලාම පැහැදිලි වෙනවා. මිනිය තනි නොකළ යුතුයි කියන්නේ බමුණු මතයක්. දොර ජනෙල් අරින්න කියන්නේ විෂබීජ ගෙතුළ පැතිරීම වලක්වාගන්නටයි හිරු එලිය සහ වාතාශ්‍රය ලබාගැනීමට. ඒවාට භූත කතා කියන අමන පුද්ගලයන් කරන්නේ බමුණු මත ප්‍රචාරය කිරීමක්.

      ඇත්තෙන්ම හැකි ඉක්මනින් අවසන් කටයුතු කිරීමෙන් බොහෝදෙනෙකුට සෙතක් සැලසෙනවා.

  6. මරණයෙන් පසු දවස් කීපයක් මිනිය ගෙයක් ඇතුලේ තියාගෙන කරන වැලපෙන එක ගෝත්‍රිකයන් අතරවත් නැහැනේ. මුස්ලිම්,, යුදෙව් අය එදාම දෙනය මිහිදන් කරනවා,, දින හතක වලපිමේ කාලයක් ගත කරන එක නම් බොහෝ ජනකොට්ඨාශ අතර සාමානයෙන් කෙරෙනවා මට මතකයි කෙනෙක් නැතිවෙලා එයාගේ මළගෙදර නිදිමරන්න වැඩිය සෙනග හිටියේ නෑ.. මිනිස්සු ඒකටත් ඒක ඒක ඒවා කීවා..

    ගමේ එකපාර ලග ලග කීපදෙනෙක් මැරුණම මරණාධාර සමිතිය පත්වෙන අපහසුතාව මං දැකලා තියෙනවා.. ඔබ තුමාගේ පෝස්ට් හරිම වැදගත් ස්තුති

    • ඔයාට ඇත්තම කියන්නද. අද මේ පිළිතුර ලියන දවසේ තමයි එක මළ ගෙදරක හත් දවසේ දානය තිබුණේ. කෑම අපතේ ගියහැටි දැක්කම දුකයි. දානෙට හාමුදුරුවන් වැඩිය එක පන්සලකට මමත් ගියා. ඒ පන්සලේ හාමුදුරු තුන් නමයි ඉන්නේ. ඒ තුන් නමම මළ ගෙදර දානෙට වැඩියා. අපිට භාජන එවලා තිබුණා ඒවාට දානය පන්සලට එවන්න කියලා. පන්සලට ගියාම මම දැක්කා එදිනට නියමිත දවල් දානයත් ගෙනත් තියනවා. දැන් මේවා කන්නේ කවුද? හාමුදුරුවන්ට බහ රෑට කාලත් ඒවා අවසන් කරන්න.

      අපේ ගෙදරින් පොලොස් ඇඹුලක් සහ සුදුළූණු මාළුවක් හදාගෙන ගියා. නමුත් හාමුදුරුවරු වැඩිය වැළඳුවේ තම්බපු එළවලු, සුප් සහ බැදපු මාළු සමග කුකුළු මස්.

      මරණාධාර සමිතියේ අපිට හරිම අමාරුයි. සති දෙකක් තිස්සේ මළ ගෙවල් දෙකක සහ තුන් මාසේ පින්කමක බර ඇදලා. ගුටි කාලා වගේ ඇඟ රිදෙනවා. LTTE යුද්දේ මොකක්ද මේකනේ යුද්දේ 😀

  7. විචාරකතුමාගේ ලිපි කියෙව්වත් මම comment කරන්ඩ කම්මැලිකමේ හිටියේ……

    මම “මින්” ලියපු ඔක්කොටම වගේ එකඟයි…… අපේ පරම්පරාවේ සැහෙන්ඩ සාමාජිකයෝ හිටියත් රෑ නිදිවරාගෙන තේ හරි කෝපි අල්ලන්ඩ කට්ටිය නෑ …. එහෙව් එකේ ඔය පොඩි පවුල් ගැන අහන්ඩත් දෙයක් තියෙයිද ? මම හිතන්නේ ඔය වාහන එහෙම පාර අවහිර වෙන්ඩ නවත්තන්නේ ලොකුකම පෙන්නන්ඩ…… එතකොට ඔක්කොටම අවමඟුල් උත්සවයක් තියෙනවා කියලා පේනවනේ……

    වෙන වෙන ආගමික කාරනා ගැන මම පුද්ගලිකව එකඟ නොවුනත්, මුස්ලිම් උදවියගේ අවමඟුල් ක්‍රමය වඩා හොඳින් ගැලපෙනවා…..

    • මින් සමග මමත් එකඟයි. අපි මේ ආදර්ශය දෙන්න ඕනේ ඉහලසිට පහළටයි. හාමුදුරුඅරු බණ කියද්දේ කියන්න ඕනේ මැරුණම කුණු කර කර තියාගන්න එපා කියන එක.

      ලොකුකම පෙන්නන මළ ගෙවල්වල දාසයෝ වගේ වැඩකරන අඥානවන්ත මිනිස්සුන්ට මගපෙන්වීමක් කලයුතුයි.

  8. ඇත්තටම සිතා බැලිය යුතු කාරණා කීපයක් ඉදිරිපත් කරලා තියෙන්නේ…………. ඇත්ත දැන දැනත් හැමෝම රැල්ලට මේ සියල්ල නොනවත්වා කරගෙන යනවා………….. සමහරවිට සමාජයෙන් අපවාද එල්ලවෙයි කියන බයට, හැකියාව නැතත් කරන අවස්ථාත් තිබෙනවා……….. මේවවා වෙනස් කරන්න හරිම අමාරුයි……………..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: