විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   1මේ මාතෘකාවේ තියන යෙදුම් වලින් පෙනෙන්නේ, අපේ භාෂාව, අදහස් ප්‍රකාශය අතින්, ලෝකයේ ඉතා ඉහළ තැනක පවතින බව නේද? ‘අළු යට ගිනි’ කිව්ව ගමන්, අපට තේරෙනවා, විනාශයකට මුල්වන දෙයක්, අවස්ථාව ලැබෙන තුරු, සැඟවී පවතින බව. ‘අත යට සෙල්ලම්’ කියපුගමන් වැටහෙනවා, ලෝක සම්මත, සාමාන්‍ය, නීත්‍යානුකූල ක්‍රමවේද වලින් පිටස්තරව, හොර වැඩ සිදුවීමක් ගැන කියන බව. ඔව්, මේ ලිපියෙන් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වසංගතයකටත් වඩා භයානක, කවදාවත් කෙලවරවේයැයි සිතිය නොහැකි, ලෝකය පුරා පැතිරී ඇති, ‘හොර අවි වෙළඳාම’ නමැති භයානක ජාවාරම ගැනයි.

   මේ මාතෘකාව, ඉතා දීර්ඝ ලෙස කරුණු දැක්විය හැකි මාතෘකාවක්. සම්පූර්ණ විස්තරයක් කරන්න, අඩුම ගණනේ ලිපි පහක්වත් ලියන්න තරම් කරුණු මට ලැබුනා, මේ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර. නමුත්, එතරම් දිගට මේ ලිපිය ලියන්නට මා උත්සාහ කරන්නේ නැහැ. අවශ්‍යම දේ පමණක් ඔබට කියන්නම්. 


නිර්වචනය:-

   හොර අවි ජාවාරම/වෙළඳාම යනු, (Arms Trafficking / Gunrunning) ඒ ඒ රටවල බලපවත්නා නීතිය යටතේ සහ/හෝ, ජාත්‍යන්තර නීතිය යටතේ, ‘තහනම් ආයුධ’ හෝ ‘අවසර නොලත් ආයුධ’ යනුවෙන් පිළිගනු ලබන අවි ආයුධ වර්ග සහ, සියලුම වර්ගවල පතරොම්, බෝම්බ, වෙඩි බෙහෙත් සහ පිපිරුම් කාරක රසායනික ද්‍රව්‍ය, රටකින් රටකට අනවසරයෙන් රැගෙන යාම, විකිණීම, ගබඩාකර තබා ගැනීම, යන කරුණු වේ. 

1. ඉතිහාසය

   ලෝකය තුළ යුද්ධය කියන දේ ඇතිවුනේ කවදාද, හොර අවි වෙළඳාම කියන දෙයත් ඒ තරම්ම පැරණියි. එයින්ම පෙනෙනවා, මේ අමානුෂික ක්‍රියාව, ඉතා දිගු ඉතිහාසයක් තිබෙන, මහා ව්‍යාපාරයක් බව. යුද්ධය කොතරම් අමානුෂික ද යන්න පහුගිය කාලේ මේ රටේ තිබුණු යුද්ධය සියැසින් දුටු ඔබත්, එයට සහභාගිවූ අපිත් හොඳින්ම දන්නවා.

   ඔබ කියයි, ‘ඉතින් ඔය කාලකන්ණි යුද්ධ තියන නිසානේ, ඔය භයානක ආයුධ හැදෙන්නේ. ඒවා හදන නිසානේ, ඔය හොර වෙළඳාම පවතින්නේ’ කියා. යුද්ධය ඇති කරන්නෙත් අවසන් කරන්නෙත් රාජ්‍ය පාලකයෝ. හමුදාව නෙවෙයි. යුද්ධයක් ඇතත් නැතත්, ආයුධ හදන්න නියෝග දෙන්නේ, හමුදාව නෙවෙයි රාජ්‍ය පාලකයෝ. යුද්ධායුධ හදන්නේ හමුදාව නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල යුද්ධායුධ හදන්නේ පෞද්ගලික සමාගම්. ඩොලර් බිලියන / ට්‍රිලියන ගණනින් ඔවුන් ආදායම් ලබන්නේ.  ඒකත් වෙනම කතාකලයුතු කාරණයක්.

   හොර අවි ජාවාරමෙන්, ලෝකය පුරා හොර වෙළෙන්දෝ, වසරකට ඩොලර් බිලියන් 60 ක් පමණ උපයනවා. එයින් බිලියන 8 ක් පමණ උපදවන්නේ, පිස්තෝල, රයිෆල්, මැෂින් තුවක්කු, සහ පතරොම් වෙළඳාමෙන්. ලෝකයේ හොර අවි වෙළඳාමේ සම්පූර්ණ පිරිවැටුම මෙතෙකැයි කියා ගණන් බැලීම, සැබවින්ම කළ නොහැකියි. තොරතුරු රහසිගත නිසා. 

2. මේ ජාවාරමට මග පෑදෙන්නේ කොහොමද?

   මේ ව්‍යාපාරයේ සමහර කරුණු පුදුමයි. ඒ වගේම ලැජ්ජා සහගතයි. සමහර කරුණු, බලගතු රාජ්‍ය රහස් සමගත් පැටලෙනවා.   මුළු ලෝකයේම අවි වෙළඳාම කෙරෙන ආකාරය, කොටස් තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්, මෙන්න මෙහෙම. 

  • පළමුවැනි ක්‍රමය, නීත්‍යානුකූල රාජ්‍යයක්, තවත් නීත්‍යානුකූල රාජ්‍යයකින් (එම රාජ්‍යයේ තිබෙන අවි නිපදවන සමාගම් වලින්) ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් මගින් හෝ අන්‍යොන්‍ය අවබෝධය මත අවි මිලදී ගැනීම. (මතක තියාගන්න අවි කිව්වම, පුංචි පිස්තෝල පතරොමක ඉඳලා, මහා විශාල බෝම්බ දක්වාත්, සාමාන්‍ය තුවක්කුවක සිට, කාලතුවක්කු, යුද ටැංකි, යුද නැව්, යුද ගුවන් යානා දක්වා සියල්ල අයිතියි)

 

  • දෙවැනි ක්‍රමය, කළු කඩෙන් බඩු ගැනීම. (අපිට කවුරුවත් බඩු විකුනන්නේ නැත්නම් කළු කඩේකට යනවා. ලෝකයේ සමහර රටවල තියනවා, සෑම ආකාරයකම අවි ආයුධ මිලදීගත හැකි හොර සමාගම්. ඒවායෙන් හොඳ බඩු වැඩි මිලට හෝ පාවිච්චි කරපුවා අඩු මිලට  ගන්න පුළුවන්) නමුත් මේ ආකාරයට අවිආයුධ ගන්නේ, ලෝකයේ නරක රටවල් හැටියට, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධාන වලින් හංවඩු ගහපු, විවිධ සම්බාධක වලට යටත් රටවල් සහ ලෝක ප්‍රසිද්ධ ත්‍රස්තවාදී සංවිධාන විතරයි.

 

  • තුන්වැනි ක්‍රමය තමයි හිරිකිතම දේ. ඒ තමයි වහලා ගැහිල්ල. අපිට ඕනේ වෙනවා යම්කිසි යුද්ධායුධයක් ගන්න. උදාහරණයක් වශයෙන් මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගන්න ඕනේ කියල හිතන්න. නමුත් අපේ සතුරාට නොදැනෙන්න මේක ගන්න ඕනේ. මොකද සතුරා දැනගත්තොත්, ඒකෙන් බේරෙන්න ක්‍රම සහ විධි සකසාගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ප්‍රසිද්ධියේ අපි මිලට ගන්න ගියොත්, ඒ ඒ රටවලට විවිධ ගතු කේලම් කියා, අපි ඒක ගැනීම වලක්වන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ, වෙනත් පාර්ශවයක් යොදවා රහසිගතව ගණුදෙනුව කිරීමයි. ත්‍රස්තවාදීනුත් මේ ආකාරයට වෙනත් පාර්ශව යොදවා ගණුදෙනු කරනවා. මෙහෙම හිතන්න. එක රටකට අවශ්‍යවෙනවා වෙනත් රටක රාජ්‍ය නායකයකු ඝාතනය කරන්න. මේ සඳහා, අති විශේෂ වර්ගයක තුවක්කුවක් ඕනෑ වෙනවා කියා හිතන්න. අන්න ඒ වගේ අවියක්, ප්‍රසිද්ධියේ මිළදී අරගෙන, අර ඝාතනය ඉතා රහසිගතව කළත්, පස්සේ එළියට එනවා, අහවල් රට විසින්, ඒ ජාතියේ අවියක් මෑතකදී මිළට ගත්තා කියලා. අන්න ඒ වගේ රහස් රකින්න, මේ විදිහේ වහලා ගැහිලි කරනවා. 

 

      මේ හැම ක්‍රමයක් තුළම තියනවා, අක්‍රමිකතා සිදුවීමට ඉඩකඩ. උදාහරණයක් වශයෙන්, අවි තොග වෙනස් කරමින්, ප්‍රවාහනයේදී වෙනත් අය අතට (ජාවාරම් කරුවන්ට) අවි ලැබෙන්න සලස්වන්න පුළුවන්. අපි යම්කිසි රටකින් තුවක්කු 5000 ක් ඇණවුම් කරනවා. ඒ රටේ සමාගමට පුළුවන්, විවිධ උප්පරවැට්ටි මගින්, තුවක්කු 5000 ක් වෙනුවට 8000 ක් නැවේ පටවාගෙන එන ගමන්, අතරමගදී, අවි ජාවාරම් කාරයෙකුට අමතර තුවක්කු 3000 විකුණන්න. 

3. ආයුධ වෙළඳාම නිසා සිදුවන විනාශයේ තරම

   ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය හෙවත්, Amnesty International විසින් නිකුත්කර තිබෙන නිවේදනයක දක්වා තිබෙනවා, නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන ආකාරයට, අවි වෙළඳාම නිසා සිදුවන හානිය, කැටිකර දැක්වීමක්. ඒ මෙන්න මෙහෙමයි. 

I. අවි ගැටුම් නිසා දිනකට ලෝකයේ මියයන මිනිසුන් සංඛ්‍යාවේ සාමන්‍යය 1500 කි.

   යුද්ධ, සන්නද්ධ මිනීමැරුම්, නීත්‍යානුකූල නොවන මරණ දඬුවම් පැමිණවීම්, රාජ්‍ය ආරක්ෂක අංශ මගින් කෙරෙන, නීතියට පටහැනි අවි බලය යෙදවීම් හේතුවෙන්, වසරකට ලොව පුරා මිනිසුන් පන්ලක්ෂයක් පමණ මරණයට පත්වේ.

II. ලෝකයේ අවි වෙළඳාම පාලනය කිරීමට පනවා ඇති නීති රීති වලට වඩා වැඩි නීති රීති ප්‍රමාණයක්, ජාත්‍යන්තර කෙසෙල් වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇත. 

  හාස්‍යයද ජනිත කරවන මේ ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම අදහස් කෙරෙන්නේ, මෙයයි. ලෝකයේ අවි ආයුධ වෙළඳාම පාලනය කිරීම සඳහා පනවා ඇති නීති රීති වල ඇති අඩු ලුහුඬුකම් හේතුවෙන්, නීතියේ හිල් වලින් රිංගා ගොස්, නීතිවිරෝධී ක්‍රියා කරන්නට අවස්ථාව පෑදෙයි. එනම්, ආඥාදායකයන් සහ/හෝ ඒකාධිපති කෲර පාලකයන් විසින් පාලනය කරන රටවලට පවා, සීමාවකින් තොරව අවි විකිණීමට, අවි නිපදවන රටවලට/සමාගම් වලට අවස්ථාව තිබීමෙන්, අහිංසක රටවැසියන් ඝාතනය කිරීමට, බරපතල තුවාල සිදුකිරීමට, ඉතා භයානක ලෙස එම රටවැසියන්ගේ මානව හිමිකම් කඩවීමට ලක්වෙයි. කෘෂිකාර්මික නිෂ්පාදන, රටකින් රටකට යැවීමේදී, දැනට බලපවත්වන සමහර ජාත්‍යන්තර නීති, අවි ආයුධ වෙළඳාම සඳහා පනවා ඇති නීති වලට වඩා බරපතළයි.

III. ලොව පුරා වසරකට පතරොම් බිලියන අටත් දොළහත් අතර ප්‍රමාණයක් නිපදවනු ලැබේ.

      මෙම පතරොම් ප්‍රමාණය, ආසන්න වශයෙන්, ලෝකයේ සිටින සෑම පුද්ගලයකුම, දෙවරක් ඝාතනය කිරීමට ප්‍රමාණවත්වේ. මේ වනවිට ලෝකය පුරා සාමාන්‍ය තුවක්කු මිලියන 875 ක් පමණ තිබන අතර, විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ මැෂින් තුවක්කු මිලියන 8ක් වසරකට අලුතෙන් නිපදවන බව අනාවරණයවේ. 

IV. ලොව පුරා සිදුවන සන්නද්ධ ගැටුම් හේතුවෙන් වසරකට ලොව පුරා සාමාන්‍ය මහජනතාව මිලියන 26 ක් පමණ අවතැන් වෙයි.

        ඔවුන්ට හිසට සෙවනක් හෝ බීමට පිරිසිදු වතුර පොදක් නොලැබෙන අතර දරුණු බෝවන රෝගවලටද ලක්වෙයි. ඔවුන් දුප්පත්කම වෙත තල්ලු වෙයි. ඔවුන් මෙසේ අවතැන් වන්නේ, ඔවුන්ගේ කැමැත්තෙන් නොව, සන්නද්ධ ගැටුම් තුළින්, ඔවුන්වෙත එල්ලවන බලපෑම නිසාය.

V. ළමා සොල්දාදුවන් බිහිවීමේ ප්‍රවනතාව වැඩිවෙයි.

   වර්තමානයේදී සන්නද්ධ ගැටුම් වලට මැදිව සිටින සමහර රටවල රජයේ අනුග්‍රහය ඇතිව කිසිදු නීතියක් ගැන නොසලකා වගකීම් විරහිතව ළමයා යන නිර්වචනයට අයත් පිරිස් සන්නද්ධ සෙබළුන් ලෙස සටනට යොදවා තිබේ. එමෙන්ම සමහර ත්‍රස්තවාදී සංවිධාන සහ සන්නද්ධ කල්ලි ඒ ආකාරයටම ක්‍රියාකරයි. එයින් ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වෙයි.

VI. එක මරණයකට තුවාල සිදුවීම් 28 යි

     ලොව පුරා සිදුවන යුද්ධ සහ සන්නද්ධ ගැටුම් වලදී, එක් පුද්ගලයකු මියයනවිට, 28 දෙනෙක් තුවාලවීමේ සාමාන්‍යයක් දකින්නට ලැබෙයි.

VII. බර අවි සහ පිපිරුම් නිසා යටිතල පහසුකම් සහ දුප්පත්කම නැතිකිරීමේ අවස්ථා අහිමි වෙයි.

      ගුවනින් හෙලන මහා පරිමාන බෝම්බ, මිසයිල්, කාලතුවක්කු, රොකට් වෙඩි, යුද ටැංකි නිසා භූමියේ ඇති යටිතල පහසුකම් වලට බරපතල හානි සිදුවන අතර මහජනතාවට සෙත සැලසීමට ඇති අවස්ථා අහිමිවීමෙන්, දුප්පත්කම වර්ධනය වෙයි.

VIII. මේ ඔක්කොම කරන්නේ ප්‍රධාන රටවල් හයක්

      මුළු ලෝකයටම අවි ආයුධ, පතරොම්, බෝම්බ, යුද ගුවන් යානා, යුද ටැංකි, ආදිය නිපදවා සපයන්නේ රටවල් හයක් විසින්. මෙන්න එයාලාගේ විස්තර. මුළු නිෂ්පාදනයෙන් ඒ ඒ රටට අයත් ප්‍රතිශතය සහිතව.

1 ඇ.එ.ජ. – 34.84%,

2 රුසියාව – 14.86%,

3 ජර්මනිය – 7.43%,

4 එක්සත් රාජධානිය – 6.57%,

5 චීනය – 6.29%,

6 ප්‍රංශය – 4%

IX. සන්නද්ධ ගැටුම් හේතුවෙන් ස්ත්‍රී දූෂණ වර්ධනය වෙයි.

     සන්නද්ධ කණ්ඩායම් සහ/හෝ  රාජ්‍ය හමුදා අතර සිදුවන සන්නද්ධ ගැටුම් අතරතුර, පළිගැනීමේ චේතනාව, බලය පෙන්වීමේ චේතනාව, යටත් කරගැනීම සහ ගැරහීමේ චේතනාව මත, විශාල වශයෙන් ස්ත්‍රී දූෂණ සිදුවන බව, පිළිගත් ජාත්‍යන්තර සංවිධාන මගින් නිරීක්ෂණය කර තිබේ. උදාහරණ වශයෙන්, සියරා ලියොන් රාජ්‍යය, කොන්ගෝ ජනරජය, දැක්විය හැකිය.

X. අවි නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව දැඩි නීති අවශ්‍යයි

    ලොව පුරා සිදුවන, ලක්ෂ ගණනක් අහිංසක ජීවිත නැතිවීමේ ඛේදවාචකය නවත්වාගැනීම සඳහා, අවි ආයුධ නිෂ්පාදනය සහ වෙළඳාම පිළිබඳව, දැඩි නීතිරීති අවශ්‍ය වෙනවා. 2012 වසරේදී, ලෝක නායකයන් මේ පිළිබඳව, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලද නමුත්, අවසාන එකඟතාවකට පත්වීමට අපොහොසත් විය.

   ඔව්වා ඔහොම තමා. මුදලාලිලා එකතුවෙලා කවද්ද පාරිභෝගිකයාට සහන සලසන වෙළඳාමක් ගැන කතා කළේ? මෙන්න බලන්න වැඩියෙන්ම බඩු හදන අය සහ වැඩියෙන්ම බඩු ගන්න අය.


බඩු සපයන්නෝ 

Screenshot (2)


බඩු මිලදීගන්නෝ 

Screenshot (3)

   
මේ ගැන තවත් පුදුම සහගත/පිළිකුල්/කණගාටුදායක විස්තර ඉදිරියේදී කතාකරමු. 

2015 අගෝස්තු මස 23 වැනි දින 2333 පැය 

Advertisements

Comments on: "අළු යට ගිනි හෙවත් අත යට සෙල්ලම් – පළමුවැනි කොටස" (19)

  1. නිර්නාමික said:

    mahathamaya, sthuthi obe watina kalaya apa wenuwen kappa kireema gana. meyata amtharawa hamuda senankath innawa neda kuliyata yudda karana.

    • ඔබ මේ අදහස් දැක්වීම කරන්න ඇත්තේ ජංගම දුරකථනයකින් කියා හිතනවා. මගේ ලිපි ඇගයීම ගැන ස්තුතියි.

      කුලී සේනාංක කියවාට වඩා සුදුසු වන්නේ කුලී හමුදා Mercenaries යන නමයි. ලෝකයේ කිසිම රටකට බැහැ නීත්‍යානුකූලව එවැනි හමුදා පවත්වාගෙන යන්න. හමුදාවෙන් පැනගිය/විශ්‍රාමගත්/ත්‍රස්තවාදී කණ්ඩායම් යටතේ පුහුණුව ලැබූ/ පිරිස් රහසිගතව කුලී හමුදා ලෙස ක්‍රියා කරනවා.

  2. විචාරක තුමෝ, ලංකාවේ නීති වලට හසු නොවන අති නවීන වායු රයිෆල් තියෙනවාද? ඒවා ලංකාවට ගෙන්වීමේදී හෝ ළඟ තබාගැනීමේදී, අත්අඩංගුවට ගැනීමට ලංකාවේ නීති නැහැ කියලා මම මීට වසර 4 කට පමණ කලින් කෙනෙකු කිව්වා. ඇත්තද මේ කතාව?

    ජාත්‍යන්තර යුද්ධ නීති වලට පටහැනි විදිහට ඒ කාලේ ලංකාවේ අවි භාවිතා වෙලා තියෙනවාද? මට දැයට කිරුළ ප්‍රදර්ශනයේදී හමුදාවේ නිලධරයෙක් කිව්වා T56 අවියක මැගසින් එකේ උණ්ඩ 30 ක් වෙනුවට මැගසින් දෙකක් එකට බද්ධ කරලා දිග මැගසින් එකක් හදාගෙන යුද්ධ කළා කියලා. එක් වරක් පමණක් භාවිතා කොට අවිය ඉවත දැමිය යුතු RPG අවියකට නැවත උණ්ඩ කැවිය හැකි ක්‍රමයක් ත්‍රස්තවාදීන් සොයාගෙන හමුදාවට පහරදුන්නා කියලත් මම අහලා තියෙනවා. මේ විදියහ කොටියා යුධ නීති කඩලා කොලේ වහලා ගහපු හැටිත් කියන්නකෝ විචාරක තුමෝ.

    • වායු රයිෆල් පාවිච්චිය අද ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. විශේෂයෙන් ගෙවතු වලට හානිකරන සතුන් පලවා හරින්නයි යොදාගන්නේ. ලංකාවේ වායු රයිෆල් නීතිය පිලිබඳ පැහැදිලි නිර්වචනයක් ලබාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්. මේ අඩවියට ගොස්, ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරගන්න පුළුවන්. http://www.defence.lk/sinhala/sinhala.asp .22 ට වඩා වැඩි කැලිබරයකින් යුත් වායු රයිෆල් සඳහා බලපත්‍රයක් අවශ්‍යයි.

      T 56 අවියේ මැගසින් දෙකක් එකට සම්බන්ධ කර වෙඩි තැබීම ජාත්‍යන්තර නීතියට පටහැනි නැහැ. නමුත් වෙඩි තැබීමේදී සමතුලිත බව වෙනස් වෙනවා. තහනම් වන්නේ විෂ කැවූ, අතින් සාදා නවීකරණය කල උණ්ඩ පාවිච්චි කිරීමයි. ඉවත දැමිය හැකි RPG අවියකට නැවත උණ්ඩ දමා පාවිච්චි කළා කියා මම නම් අහලා නැහැ. එහෙම කරන්න පුලුවන්ද කියා මා සොයා බැලුවා. මට වැටහෙන ආකාරයට කරන්න බැහැ. කලත් එය හරිම භයානකයි. බලාපොරොත්තු රහිතව පත්තු වෙන්න පුළුවන්. ළඟදීම මම ලිපියක් ලියනවා නවීකරණය කල ආයුධ ගැන.

  3. හොඳ ලිපි පෙළක්, මමත් අවි ආයුධ සම්බන්ධයෙන් දැනගන්න තරමක උනන්දුවක් දක්වනවා.

    අපේ වගේ රටකට කුඩා මට්ටමෙන් හරි අපේ රටේ අවශ්‍යතාවයට සරිලන පිස්තෝල හෝ එවැනි කුඩා අවි හෝ පතොරම් තැනීමේ කර්මාන්ත ඇරඹීමට නොහැකි නීතිමය ගැටළුවක් තිබෙනවාද…

    • ඇගයීම ගැන ස්තුතියි. ලොකු පුතෙක් වුනාම අනිවාර්යයෙන් අවි ආයුධ ගැන ඇල්මක් ඇතිවීම ස්වාභාවිකයි 😀

      අපේ රටේ අවි ආයුධ හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දැනුම අපට තියනවා. නමුත් මෙන්න මේවා තමයි ප්‍රශ්න.

      1 ලෝකයේ බලවත් රටවල්, මහා පරිමාණයෙන්, අති නවීන තාක්‍ෂණය සහ උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදවා, අවි නිෂ්පාදනය කරන නිසා, ඒ අවි අපි නිපදවන ඒවාට වඩා, ප්‍රමිතියෙන් ඉහළයි. මිලෙන් අඩුයි. අපි වගේ දුප්පත් ආර්ථිකයක් තියන රටකට, වඩාත්ම සුදුසු, ලෝක වෙළඳපොලෙන් අවි මිලදී ගැනීමයි.

      2 අවි නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් අපිට ආනයනය කරන්න සිදුවෙනවා. එක අතකට එය පාඩුයි. ඒ වගේමයි අවි නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ගන්නවා කියන එක ලේසි නැහැ. සමහර රටවල් කීයකටවත් දෙන්නේ නැහැ. ඒ වගේමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා විරුද්ධ වෙන්න පුළුවන්.

  4. හොද මාතෘකාවක් ඔබතුමා තෝරාගෙන තියෙන්නේ.

    ගොඩක් අවි ආයුධ නිෂ්පාදනය කරන රටවල් සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් වලට නොමිලේ අවි ආයුධ සහ පුහුණුව සපයනවා. හොදම උදාහරනේ තමා අල් කයිඩා එකට මුලින්ම අවශ්‍ය පුහුණුව සහ ආයුධ දුන්නේ 80 ගණන් වල සෝවියට් රුසියාවට විරුද්ධව සටන් කරන්න ඇමෙරිකාව විසින්.

    මෙතනදී මට මතක් උනේ ආතර් සී. ක්ලාර්ක් මහත්තයාගේ කතාවක්. එතුමාගෙන් මාධ්‍යවේදියෙක් ඇහුවලු 3 වෙනි ලෝක යුද්දේ උනොත් මොන වගේ තියෙයිද කියලා. එතුමා කියුවලු 3 වෙනි ලෝක යුද්දේ ගැන කියන්න අමාරුයි. එත් 4 වෙනි ලෝක යුද්දේ කරන්නේ අනිවාර්යෙන් ගල් පොලු මුගුරු වලින් කියුවලු. ඒ ඇයි කියලා මාධ්‍යවේදියා ඇහුවාම කියුවලු දැනට ලෝකේ තියන අවි ප්‍රමාණය සහ න්‍යෂ්ටික අවි භාවිතා කලොත් 3 වෙනි ලෝක යුද්දෙට එකම ඇති කියුවලු මේ ලෝකේ විනාශ වෙන්න. ඒ තරමට ලෝකේ අවි ආයුධ නිෂ්පාදනය කරලා තියනවා.

    මේ උණ්ඩය ගැන ටිකක් බලන්න

    http://wonderfulengineering.com/this-is-the-worlds-most-deadliest-bullet-ever-made-video-shows-how-it-works/

    • බොහොම ස්තුතියි තාරක ඔබේ අදහස් වලට. ආතර් සී ක්ලාක් නමැති ඍෂිවරයා කියපු දෙයක් වැරදිලා නැහැනේ. අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ. න්‍යෂ්ටික යුද්දයක් අපිට ඈතින් ඇතිවුණත් අපිත් ඉවරයි.

      හඃ හඃ………….හරි පුදුමයි. මම ඉදිරියේදී මේ උණ්ඩය ගැන ලිපියක් ලියන්න හිතාගෙන හිටියේ. මේ ලින්ක් එක මම බුක්මාක් කරගෙන ඉන්නේ. එක අතකට දැන් හිතෙනවා අවශ්‍ය නැහැ කියලත්.

      • ඔබතුමාට පුළුවන් නම් ඒ උණ්ඩය ගැනත් ලියන්න මේ අඩවියට එක වටිනා ලිපියක් වෙවී. ස්තුතියි.

  5. මේ වගේ අපූරු ලිපි ඉදිරිපත් කරන්න ඔබතුමා ගන්න වෙහෙස හුගාක් අගය කරනවා. මම ඔබතුමාට එවපු ලංකාවෙ යුධ ටැංකි ඉතිහාසෙ ගැන ලිපියෙ අපිත් මේ වගේ රහසින් අවි ගෙන්නපු හැටි සදහන් වෙනව නේද? මං හිතන්නෙ දේශපාලන හේතු උඩ සමහර රටවල් වලට වැටෙන අන්තර්ජාතික සම්බාධකත් මෙවැනි අවි ජාවාරම් වලට හේතු වෙනව.

    ඒ වගෙම තව දෙයක් දැනගන්න කැමති ඔබතුමාගෙන්. චන්ද්‍රිකා රජය මල්ටි බැරල් අවි ගෙන්වද්දි කොටි හිතවාදීන් විසින් එම අවි පද්ධතිවල ඇතැම් උපාංග අස්ථානගත කර කඩාකප්පල් කරන්න හැදුව කියන්නෙ ඇත්තද? එවෙලේ චන්ද්‍රිකා මැතිනිය රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වෙලා අදාල කොටස් ගෙන්වා ගෙන යාපනේට යවපු බව අහන්න ලැබුන

    • මමනම් එහෙම කතාවක් දන්නේ නැහැ. කොටි කළේ අපි අවි ගන්න රටවලට බොරු කේලාම් කියා අවි ගැනීම වැලැක්වීමට උත්සාහ කිරීමයි. සමහර රටවල් කොටින්ව විශ්වාස කළා. නමුත් වෙනත් සමහර රටවල් අපිට අවි විකිණුවා.

  6. අවි ආයුද වෙළදාම බුදු දහම අනුව වැරදි දෙයක්. ඒ නිසා අපේ සිංහල බෞද්ද රටේ නම් අවි වෙළදාමක් ඇතිවෙන එකක් නෑ..

  7. තහනම් අවි ලංකාවෙදි කොටි ත්‍රස්තයො භාවිතා කළාද ? මම සිංගප්පූරුවෙ හිටය දවස්වල එහෙ මගේ හිතවතෙකුගේ මිත්‍රයෙකු වන නීත්‍යානුකූල ආයුධ අළෙවිකරුවෙකු මුණ ගැහුනා ඔහුගේ කාර්යාලයෙදි. ඔහු සිංගප්පූරු කමාන්ඩෝ සෙබලෙක් ලෙස සේවය කොට විශ්‍රාම ගිය කෙනෙක්. ලංකාවෙ යුද්ධය යන කාලෙ ශ්‍රී ලංකා හමුදාවට දේශන පවත්වන්න පැමිණි බවකුත් මට කිව්වා.

    • කොටි විතරක් නෙවෙයි සිරෝ අපිත් තහනම් අවි පාවිච්චි කළා. බැරල් බෝම්බ කියන්නේ එවැනි තහනම් අවියක්. ඒවා දාන්න යද්දී ප්ලේන් ඒක ඇතුලෙම එකක් පුපුරලා ප්ලේන් එක දෙකට කැඩිලා LTTE බලප්‍රදේශයකට වැටුණා. ඔක්කොම අය මියගියා.

      ඔයාට හම්බවෙලා තියෙන්නේ හොර අවි නියෝජිතයෙක්. අපි කවදාවත් සිංගප්පූරු උපදේශකයන් ගත්තේ නැහැ.

      • ඒකත් එහෙමද…මිනිහගෙ කාර්යාලයේ අග්නි දිග ආසියානු රටවල රාජ්‍ය නායකයො සමග ගත්ත ඡායාරූප කීපයක්ම රාමු කර ප්‍රදර්ශනය කර තිබුනා. ඒ වගේම මැලේසියාවෙ වර්තමාන පොලිස්පති වරයා ඔහුගේ සමකාලීන මිත්‍රයෙකු බවත් කිව්වා.

  8. […]  මා දන්නවා, ඔබ, ‘අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්‘ ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් […]

  9. මේ ලිපිය දුටුවේ දැන් මග හැරුනේ ඇයි දැයි හිතාගන්නවත් බෑ. ඉතාම වටිනා තවත් ලිපි පෙළක් විචාරකතුමා

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: