විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

පරණ හඳහන් – Old Memories


2   මේ දිනවල ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ. හමුදාමය කරුණු ඇතුළත් ලිපියක් සැකසීම පහසු නැහැ කියලා, මා මීට පෙරදීත් කීප වතාවක් කියලා ඇති. එවැනි ලිපියක් සඳහා අවශ්‍ය, අධ්‍යයනයක සහ පරිවර්තන කාර්යයක යෙදී ඉන්න ගමන්, කම්මැලිකම යන්නයි, මේ සරල සටහන ලියන්නේ. පරණ හඳහන් කියන කියමන, දැන් භාවිත වෙන්නේ නැති තරම්. අපි කුඩා කාලයේ මේ කියමන කිව්වේ, ‘පරණ කාලේ කතා ආයෙත් මතක් කරනවා’ කියන අදහසින්. කවුරුත් දන්නා පරණ සිද්ධියක් කවුරුහරි ආයෙත් කියනකොට තමයි, අනේ මේ, ඔව්වා පරණ හඳහන් නේ’ කියලා කිව්වේ.

   මේ ටික මුලින්ම කිව්වේ, මගේ මතකයෙන් කියවෙන මේ පරණ කතා, කලින් මා අතින් කියවෙලා තියනවානම්, මෙය නැවත ප්‍රචාරයක් හැටියට නොසලකන මෙන් ඉල්ලීමටයි. මේ කතාවලින් සමහරක්, මා විසින්, වෙනත් නමකින්, වෙනත් අඩවියකට, වසර කීපයකට උඩදී ලියා තිබෙනවා. 

   ඔන්න ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ, ‘හැදිච්ච දෙමව්පියන්ගේ, නැහැදිච්ච ළමයි ඉන්නවානම්, ඔහොමම ඉන්න. නැහැදිච්ච දෙමව්පියන්ගේ, හැදිච්ච ළමයි ඉන්නවානම්, දැන්මම මෙතනින් යන්න‘. හරි, එහෙනම් බහිමු කතන්දර වලට.

මැලේරියා තෙල් ගැහිල්ල

Malaria   මෙය සත්‍ය කතාවක්. මේ කතන්දරේ 1970 දශකයේ අග භාගයේදී මට කිව්වේ, එවකට මගේ මිත්‍රයකු වශයෙන් මා ආශ්‍රය කළ, නමුත් මට වඩා වයසින් වැඩි, මැලේරියා මර්දන ව්‍යාපාරයේ සේවය කළ, අද ජීවතුන් අතර ඉන්නවාදැයි නොදන්නා, පුද්ගලයකු විසින්. ඒ මහතා, නැගෙනහිර පළාතට අයත්, සශ්‍රීක ගොවිබිම් වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටියදීයි, මේ අත්දැකීම ලබා තිබෙන්නේ. වෙනදා මෙන්ම සුපුරුදු පරිදි, නිවාස වල මැලේරියා මර්දන ක්‍රියාවක් වශයෙන්,  රසායනික දියර ඉසින, තම සේවක පිරිස පිටත් කළ ඔහු, කාර්යාලයේ කටයුතු නිමවා, තම බයිසිකලයෙන් ගියාලු, වැඩ පරීක්ෂා කිරීම සඳහා.

   ඉතාම සතුටුදායක ලෙස, එදිනට අදාළ ගමේ නිවාස වලට, මැලේරියා බෙහෙත් ගැහීම සිදුවෙමින් පවතින බව පෙනී ගියාලු. නමුත්, එක නිවසක් අසළට ගියාම දුටු අමුතුම ආකාරයේ දසුනකින්, අර මහත්තයා, අන්ද මන්ද වී ගියාලු. ඔහු දැක්කේ, මැලේරියා බෙහෙත් ඉසින යන්ත්‍රයක නොසල් එක සහිත බටය, එම නිවසේ අඩවල් වූ පසුපස දොරෙන්, එළියට ඇතුළට, එළියට ඇතුළට, එළියට ඇතුළට, එක්තරා රිද්මයකට චලනය වන ආකාරයලු. වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට, දොර ඇර බැලුවාම, බෙහෙත් ගහන්නට ආ සේවකයා, ටැංකිය පිටේ බැඳගෙනම, අර ගෙදර ඇත්තිව, වී ගෝනි ගොඩකට හේත්තු කරගෙන, බෙහෙත් ගහනවලු. 

පොතේ ගුරා සහ පීල්ලෙන් නෑම 

man   මේ සිදුවීම් දෙක, මගේ සහෝදරයකුට, එකම දවසේ විඳින්නට සිදුවූ අත්දැකීම් දෙකක්. අත්දැකීම් අමිහිරි වුනත්, හරිම රසවත්. පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගය වෙනුවෙන් රඟදැක්වුණු, ඓතිහාසික නාට්‍යයේ, පොතේ ගුරු චරිතය තමයි, මගේ සහෝදරයා රඟපෑවේ. ඒ කාලයේ අපි, ‘යට වෙයාර්’ හෙවත්, ‘අන්ඩර් ඇඳුම්’ හැටියට ඇන්දේ, ගමේ ටේලර් උන්නැහේට කියා මහගත්ත, (සමහරවිට අම්මත් මහලා දුන්නා) කාටත් තේරෙන භාෂාවෙන් ‘වවුල් ජොකා’ නමැති වර්ගයේ වෙල්ල වැහුම්. වෙයන්න වෙයන්න. වයන්න කරලා අහුවෙන්න එහෙම එපා. ඉතින් ඔව්වා ඇන්ද උදවිය සහ, ඇන්දේ නැතත්, දැකලා ඇති උදවිය දන්නවා, එය අඳිනවිට පටි දෙකක් ගැට ගැසීමට ඇති බව. කල්යාමේදී, ඔය පටිවල ශක්තිය අඩුවීමෙන්, ඇඳගෙන ඉන්න අවස්ථාවේදී පටි කැඩෙනවා. අනේ……….. එතකොට එය ඇඳගෙන ඉන්න තැනැත්තා පත්වන්නේ, හරියටම, යුද්ධ ටැංකියක වටේ තියන සන්නාහ තහඩුව ගැලවුණා වගේ, ඉතාම අසරණ තත්වයකට.

   ඔන්න ඉතින් එදා විවිධ ප්‍රසංගය හෙවත් කොන්සට් එක පවත්වන දිනය.  දවල් වරුවේ දර්ශනය තිබුනේ, පාසලේම දරු දැරියන්ට. බොහොම වෙහෙස වෙලා ඒ දර්ශනය ඉතා හොඳින් අවසන් වුනා. සවස දර්ශනය දෙමව්පියන්ට. ඉතා විශිෂ්ඨ මට්ටමෙන් පුහුණු කර තිබුණු නාට්‍යය බලන්න, ශාලාව පිරී ඉතිරීයන තරම්, ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඔන්න ඉතින් පොතේ ගුරා, දර්ශනය ආරම්භ කිරීම සඳහා, තමන්ට නියමිත කොටස, කාව්‍යාලංකාර සහිතව කියමින්, වේදිකාව මැදට එන්නට පටන්ගත්තා. නමුත් පියවර දෙක තුනක් ගියපසු, ඔහු ගමන්කළේ, පුහුණුවේදී කියාදුන් ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකට. එමෙන්ම ඔහුගේ මුහුණේ ඉරියව්ද, පුහුණුවේදී කියාදුන් ආකාරයට පැවතුනේ නැහැ.

   යන්තම් තම කොටස කියා නිමකළ ඔහු, අධෝ මාර්ගයේ රැඳුන යමක්, ඉන් පිටතට වැටීම වළක්වාලන විදිහේ ගමන් විලාශයකින්, වේදිකාවෙන් පිටවුණා. ඔහුගේ රංගන සගයන් පමණක් නොවෙයි, නිළියන් කීප දෙනෙක්ද වහාම ඔහුව වටකර ගත්තා. එක නිළියක් ඔහුගේ මූණට කඩාපැන ඇහුවා, ‘මොකක්ද ඒ ඔයා කළේ? මොකද වුනේ’? කියලා. පොතේ ගුරා මුවින් නොබැණ, ඔහුගේ අර තාපස විලාසයේ ඇඳුම මඳක් ඔසවා, අර නිළියට පෙන්නුවා, ඒ වනවිටත් ඔහුගේ දෙපා මුලට වැටී තිබුන, වෙල්ලවැහුම. අර නිළියගේ යටිගිරියෙන් කෑ ගැසීම නිසා, දර්ශනය මොහොතකට නවත්වා, ප්‍රේක්‍ෂකාගාරය සන්සුන් කර, නැවත දර්ශනය ආරම්භ කළා. එතැන් සිට පොතේ ගුරා, ඉතා සැහැල්ලුවෙන් නාට්‍යයේ ඉතිරි කොටස් ඉදිරිපත් කළා. නෑ නෑ, ඝන්ඨාරයක් වදින හඬක් ඇහුනේ නැහැ. නිළියන් බයවුනෙත් නැහැ.

   ඊළඟ ජවනිකාව; එදා විවිධ ප්‍රසංගය අවසන් වෙලා, හොඳටම රෑ වෙලා, නළු කොල්ලෝ කට්ටිය ගියා, ඒ පැත්තේ මහා මාර්ගය අයිනේ තියන පීල්ලකින් නාන්න. උඩරට පළාතට දිවෙන මේ මාර්ගයේ, මේ කතාව කියවෙන 1970 දශකයේ, රෑට වාහන එන්නේ කලාතුරකින්. නාන්න ගියාට, යටට ඇඳගන්න එකක් නැති නිසා, පොතේගුරා, කලුවරේම, උපන් ඇඳුමෙන් නාන්න පටන්ගත්තා. යාළුවො ටික කතාවෙලා, හෙමිහිට කලින්ම නාලා, එකවරම පොතේගුරාගේ ඇඳුම් ටිකත් අරන්, බයිසිකල්වල නැගලා පාගලා යන්න පටන්ගත්තා. පොතේගුරා, සංස්කෘත, අපබ්‍රංශ, වාග්මාලාවෙන් යාලුවන්ට අමතමින්, බයිසිකල් පසුපස දුවන්න පටන්ගත්ත, උපන් ඇඳුමෙන් වතුර බේරී බේරී.  

   අනේ……….., ටිකදුරක් පන්නනකොට, පොතේගුරාට පසුපසින් වාහනයක් එනවා. දැන්, පොතේගුරාව, හරියට අර වේදිකා නාට්‍යයකදී, clear spot light එකක් ගැහුවා වගේ, ලස්සනට පෙනෙනවා, ඒ වාහනයේ ලයිට්වල එළියෙන්. එකවරම ඒ වාහනය පොතේගුරා ලඟට ඇවිත්, ගොරෝසු කටහඬකින් කිව්වා, ‘ඒයි ඔහොම නැවතියන්’ කියලා. පොතේගුරා ගල් ගැහිලා නැවතුනා. ඇවිත් තිබුණේ, ඒ ප්‍රදේශයේ පොලීසියේ ජීප් එක. මුර සංචාරයක් ගිහින් එනගමන්. පොලීසිය ඔක්කොමලව අල්ලගත්තා. අල්ලාගෙන ප්‍රශ්න කළා. කොල්ලො ටික අකුරක් නෑර ඇත්ත කිව්වා. මිනිස්කමෙන් හෙබි ඒ පොලිස්කාරයෝ, කතාව අහලා හොඳටම හිනාවෙලා, ලඟපාත කොල්ලොටික, ජීප් එකෙන්ම ගෙවල් වලට ගිහින් දැම්මා. 

රාවණා ඇල්ලේ සුදු ජෝඩු ජෝඩුව 

Rawana Ella   මේ කතාව,  සවිස්තරව ලියන්නේ, ඊයේ පෙරේදා මා, හතර වටේ බ්ලොග් අඩවියේ දැමූ කමෙන්ට් එකක් පදනම් කරගෙනයි. 1988 – 90 භීෂණ සමයේ, මා, බදුල්ල දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල, සේවයේ යෙදී සිටියා. මේ කාලයේදී නිතරම, රාජ්‍ය විරෝධී ක්‍රියා පිළිබඳව, ආරක්ෂක අංශ සෙවිල්ලෙන් සිටි අතරම, සැක කටයුතු සියලුම ස්ථාන, වාහන, පුද්ගලයන්, ආදිය පරීක්ෂා කිරීම සිදුකෙරුනා. එක දිනක් මා සොල්දාදුවන් හය දෙනෙකු සමග ඇල්ල – වැල්ලවාය පාරේ, අපේ ජීප් එකකින් ගමන් කළේ, රාජ්‍ය විරෝධී කණ්ඩායමක ක්‍රියාකාරකම් පිළිබඳව ලැබුණු, එක්තරා තොරතුරක් ගැන වැඩිදුර විස්තර සෙවීමටයි. ඒ කාලේ, රාවණා ඇල්ල නැරඹීමට, දේශීය සංචාරකයන් තබා, විදේශීය සංචාරකයන්ද ආවේ බොහොම අඩුවෙන්.

   රාවණා ඇල්ලට ආසන්න වනවිටම මා දැක්කා, එතන හුදකලාවේ වාහනයක් නවත්වා තිබෙනවා. එහි රියදුරා පමණයි හිටියේ. ඇල්ල බලන්න ආව අය කවුරුවත්, අහල පහළ පෙනෙන්න හිටියේ නැහැ. මා රියැදුරාව මා අසළට ගෙන්වාගත්තා. ඔහු සිංහල ජාතිකයෙක්. කොළඹ සංචාරක හෝටලයක සිට පැමිණි ඒ වාහනයේ, සුදු ජෝඩු දෙකක් පැමිණි බවත්, ඔවුන් ඇල්ල දිගේ ඉහළට නැග්ග බවත්, ඔහු කිව්වා. වාහනය සම්පූර්ණ පරීක්‍ෂාවකට ලක්කලත්, සැක කටයුතු කිසිවක් තිබුණේ නැහැ. නමුත් එයින් සෑහීමකට පත්වන්නට බැහැ, ඇත්ත දැනගන්නා තුරු.

   මා සමග පැමිණි සෙබළුන් හය දෙනාගෙන් දෙදෙනෙකු එහි නවත්වා, ඒ වාහනයේ යතුර, මගේ සොල්දාදුවන් දෙන්නාගෙන් එක් අයකු අතට දී, මා එම වාහනයේ රියදුරුට කිව්වා, වාහනයට නැග දොරවල් අගුලු දමාගන්න ලෙසත්, වාහනයෙන් එළියට ආවොත් වෙඩි තබන බවත්. අර සොල්දාදුවන් දෙදෙනාට කිව්වා, සැක කටයුතු පුද්ගලයන්, අවට වනයේ ඉන්නවා දැක්කොත්, අහසට වෙඩි තබා ඔවුන් බියකර, පහළට ගෙන්වා ගන්නා ලෙසත්, ඔවුන්ගෙන් ප්‍රති ප්‍රහාර එල්ල වන්නේ නම්, ඔවුන්ට මැරෙන්නට වෙඩි තබන ලෙසත්.

   ඉතිරි සෙබළුන් හතර දෙනා සමග මා, ඇල්ලට දකුණු පසින්, මේ සමග ඇති පින්තූරයේ රතු පැහැති කඩ ඉරෙන් පෙන්වන ආකාරයට, ඇල්ල දිගේ ඉහළට නැග්ගා. ඇල්ලේ ඉහළම කොටසේදී, මා මහත් විශ්මයට/ප්‍රහර්ෂයට/අමන්දානන්දයට/අන්ද මන්ද බවට/තව තව නොයෙකුත් බවට/ පත්වන දසුනක් දැක්කා. තරුණ සුදු ජෝඩු දෙකක්, ඇල්ලේ ඉහළ ඇති, (මීට පෙර මා කවදාවත් එවැනි දෙයක් එතන ඇති බවක් අසා තිබුනේ නැහැ) ස්වභාවික පොකුණක, සම්පූර්ණ නිරුවතින්, සිත්සේ දියකෙළිමින් හිටියා. අවංකව ඇත්ත කියනවානම්, ඒ සුදු කාන්තාවන් දෙදෙනාම රූමත්. මට සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, මතක්වුණා. මට එහෙම වුණාට, අර සුදු ජෝඩු දෙක නම්, හෘදයාබාධයකට ලක්වන තරම් කම්පනයකට පත්වුනා. සැබවින්ම, අපි ඔවුන් වෙඩි තබා මරා දමනු ඇතැයි සිතන්නට ඇති. දැන් මා කුමක්ද කලයුත්තේ? (‘බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ’ කියලා, මමත් වතුරට පැන්නානම්, හොඳයි නේද?) මෙය ප්‍රසිද්ධ ස්ථානයක් බවත්, මේ ආකාරයට හැසිරීම තහනම් බවත්, කියන්නට හිතුනත්, ඔවුන් ඇහුවොත්, මෙතන කොහොමද ප්‍රසිද්ධ ස්ථානයක් වෙන්නේ? කියලා, මට උත්තර නැතුව යනවා.

   ඔන්න මොළේට විදුලි බලය ලැබුණා. මම කිව්වා, මෙය අධි රක්‍ෂිත ප්‍රදේශයක් බවත්, ශ්‍රී ලංකා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත්, පූර්ව ලිඛිත අවසරයක් නැතිව, මෙහි රැඳී සිටීම සම්පූර්ණයෙන් තහනම් බවත්, ඒ නිසා, ඇඳුම් ඇඳගෙන, ආපසු යන්නට, විනාඩි 15ක් දෙන බවත්, නැත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නට මට සිදුවන බවත්. වැඩේ හරිගියා. ජෝඩු දෙක ඇඳුම් අඳින තුරු, මම මගේ සෙබළුන් සමග මඳක් පහළට බැස රැඳී සිටියා. මගේ කොල්ලො ටික හිතන්න ඇති, ‘අනේ අපේ සර්ට නම් පිස්සු, මේ වගේ ලයිව් සීන් එකක් කාගත්තනේ’ කියලා. මේ සිද්ධියෙන් පස්සේ, මම, ඒ පැත්තේ මා හඳුනන, වතු අධිකාරී සගයන් පිරිසක් සමග, ඒ පොකුණේ නාන්න ගියා. මෙන්න එදා ගත්ත පින්තූර. මත්පැන් පාවිච්චිය සම්පූර්ණයෙන් තහනම් කරලයි නාන්න ගියේ. එකෙක් හරි ඇල්ල පල්ලේ දෙරි ගැහුවනම් කාට කියන්නද? අදනම් මෙතනට ඕනේ කෙනෙකුට යන්න පුළුවන් ඇති. නමුත් යන පිරිස බොහොම අඩුයි. 

Scan_20150809_064055_002

Scan_20150809_064055

Scan_20150809_064055_001

   හම්මෝ………….ඇති ඇති. තවත් කතා මතක්වුණා, පස්සේ කියන්නම්. දැන්නම් හොඳටම මහන්සියි.

2015 අගෝස්තු මස 09 වැනි දින 0701 පැය 

Advertisements

Comments on: "පරණ හඳහන් – Old Memories" (12)

  1. අර වී ගෝණි වලට තෙල් ටිකක් ලීක් වුණානම්, අනාතයි නේද ?

  2. අම්මෝ මාර කතා ටිකක්. නිදිමතේ හිටියේ. ඒකත් කොහෙන් ගියාද දන්නේ නෑ මේක කියෙව්වට පස්සේ 😀

  3. ඔය විචාරක කියන පොකුණ වගේම රක්ෂිතයක තිබුනලු පොකුණක්. එතනටත් ඔය වගේම රූමත් සුද්දියෝ දෙන්නෙක් ඇවිත් නාන්න ලෑස්ති වුනාලු. එතන හිටිය මුර භටයා ඔහේ බලං හිටියලු කෙල්ලෝ වතුරට බැහැලා නෑම පටං ගන්න කල්ම.
    මෙන්න එක පාරට මූ කියනවා අර වගේම “මෙතන නෑම තහනම්” කියලා.
    එතකොටසුදු කෙල්ලෝ අහලා ඇයි එතකොට අපි ඇඳුම් මාරු කරනකොට ඕක කිව්වේ නැතුව බලා හිටියේ කියලා.
    “නෝනා, නාන්නයි තහනං. ඇඳුම් ගලවන්න තහනම් නෑ,” පොර කිව්වලු;

  4. මැලේරියා කථාව නම් නියමයි…තෙල් ගහන්න හාදයට තිබ්බ හදිස්සියට පිටේ තිබ්බ ටැංකිය අමතක වෙන්න ඇති. සිරා කොලුවා ආව දවසක මේ කියන තටාකයේ නාන්න යමුද ?

  5. මැලේරියා කථාව නියමයි, ඒ වගේ ඉස්සර ගම් වල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පත් කරලා හිටියා නේද බීජ වියාප්ත නිලධාරී කියලා ඉතින් මේ නිලධාරියත් ගෙන් ගෙට ගිහින් බීජ වියාප්ත කරනවලු

  6. ඔය ලියපු දෙවෙනි කතාවේ පොතේ ගුරා විචාරක නෙවේ කියලා අපි කොහොම හිතන්නද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: