විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


warfare-barbed-wire-631   කොහොමද සැපදුක්? සතියකට පමණ පසු, අපි ආයෙත් වැටේ කතාවත් එක්ක මුණගැහෙනවා. දැන් ඔබට සතුටුදායක අවබෝධයක් ඇති, යුද බිමක ඉදිවන, ආරක්‍ෂිත බාධක ඉදිකිරීම් පිළිබඳව. පහුගිය ලිපි දෙක කියෙව්වේ නැත්නම්,

   පළමුවැනි කොටස මෙතනින්

   සහ

   දෙවැනි කොටස මෙතනින්

   කියවන්න පුළුවන්. ඒ ලිපි දෙක ගැන අවබෝධයකින් තොරව මේ කොටස කියවීමෙන් ප්‍රයෝජනයක් වන්නේ නැහැ. පසුගිය කොටස කෙටි වැඩියි කියලා සමහරු කියලා තිබුනා. ඔව් ඒක ඇත්ත. නමුත් මම එහෙම කළේ, වැට ගැසීම කියන කොටස එතනින් අවසන් කලයුතු නිසා. වැට රැකීමත් එතනටම එකතුකලානම් තරමක අවුල් සහගත තත්වයක් ඇතිවේයැයි මට සිතුනා. ඒ නිසා අද බලමු වැට රකින හැටි. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසේ අංක 1 යටතේ මාතෘකාව වුනේ, ‘වැට හදන්නේ මෙහෙමයි’ යන්නයි. අද අංක 2. 

2. වැට රකින්නේ මෙහෙමයි 

   යුදබිමේ ආරක්‍ෂිත ප්‍රදේශ වල ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා ඉදිකරන විවිධ බාධක වැටවල්, පස් බැමි, අගල්, ආදිය සතුරු ප්‍රහාර වලින් රැකගැනීම සඳහා කලයුතු ප්‍රධානතම සහ වැදගත්ම කාර්යය වන්නේ, සතුරාගේ පැමිණීම වලක්වා ගැනීමයි. සතුරාගේ පැමිණීම වැලක්වීමට ගතහැකි හොඳම, විශ්වාසවන්තම, ප්‍රතිඵලදායක බවෙන් ඉහළම ක්‍රියාව තමයි අපි (සොල්දාදුවන්) ඒ වැටවල්, පස්බැමි, අගල්, ආදිය පිහිටි භූමියට ඉදිරිපසින් ඇති භූමියේ නිතර මුර සංචාරයේ යෙදීම. ඒ ගැන මම පැට්‍රෝල් කතා මාලාවේදී කිව්වා මතකයිනේ. නමුත් පැය 24 පුරා වැට රකින්න විශාල භට පිරිසක් යොදවන්න ගියොත්, සටන් කරන්න පිරිස අඩුවෙනවා.

   ලොකූ……………………………රහසක් කියන්නද? ලෝකයේ කිසිම හමුදාවකට නැහැ, ප්‍රමාණවත් තරම් භට පිරිස්. මිනිස්සු හිටියත් බඳවා ගන්න සල්ලි නැහැ. එහෙමත් නැත්නම් සල්ලි තිබුනත් මිනිස්සු එන්නේ නැහැ බැඳෙන්න, හමුදාව විශාල කරන්න ගියොත්, රටේ මහජනතාවගෙන් මහා විරෝධතා එල්ල වෙලා, රජය කඩා වැටෙන්නත් පුළුවන්. විශේෂයෙන් බටහිර රටවල ඒ තත්වය තිබෙනවා. ගොඩක් බඳවා ගත්තම, හමුදාවේ විශාලත්වය නිසා, පොඩි බයක් ඇතිවෙනවා, කැරැල්ලක් ගහලා රටේ බලය ගනියිද කියලා.

   හොඳයි, වැට රකින්න මිනිස්සු (සොල්දාදුවෝ) යොදවන්න බැරිනම් මොකද කරන්නේ?

   කරන්නේ වෙන වෙන උපක්‍රම යොදන එකයි.

   මොනවද උපක්‍රම?

   අපොයි ගොඩක් තියනවා. එකින් එක කියන්නම්. මුලින්ම සරල දේවල් කීපයක් කියන්නම්.

   වැඩේ කියන්නේ මෙන්න මේකයි. මේවා අමාරුවෙන් හොයාගෙන හදාගෙන ලිපියක් දැම්මම, අර බලුකිරි සුනඛයෝ, වගේ වගක් නැතුව ඒවා අමු අමුවේ කොපි කරලා, තමන්ගේ වගේ දාලා, රෙපක්ද මොකක්ද සහ බම්පුවක්ද බංකුවක් ද කොහෙද ඉල්ලනවා. ඒකේ ඇඩ්මින් ගොයියා, නොදැක්කොත් එබුවා තාලෙට, බකංනිලාගෙන ඉන්නවා. 

   යුද්ද කාලේ, අපේ හමුදා, මේ ඉදිරි ආරක්‍ෂක ප්‍රදේශවල Forward Defended Locality = FDL බල්ලන් ඇති කළා. උන්ව රෑට අර ආරක්ෂක ප්‍රදේශයේ ඉදිරිපස රඳවා තැබුවා. (මෙය දෙවැනි ලෝක යුද සමයේදී පවා කර තිබෙනවා) සතෙක් ආවත්, මිනිහෙක් ආවත් උන් බුරනවා. ඒ නිසා සතුරාට බැහැ හෙමින් රිංගලා එන්න. එය සෑහෙන්න සාර්ථක වුනා. ඒ වගේ තව උපක්‍රමයක් තමයි ටින් එල්ලීම. හිස් බෙලෙක් ටින් එල්ලනවා වැටේ. සතුරා කළුවරේ ඇවිත් වැට කපන්න ගියොත් ටින් හෙල්ලිලා සද්ද වෙනවා. සතෙක් ඇවිත් හැපුණත් සද්ද වෙනවා. එතැනදී පුළුවන් අපිට අවශ්‍ය ආරක්‍ෂක ක්‍රියාමාර්ග ගන්න. ටින් කීපයක් වැටට පසුපසින් තියන බංකර් වල එල්ලලා, කම්බියක්/ලණුවක් අදිනවා ආරක්‍ෂක වැටට. වැට හෙලවුනොත් බංකරේ ඇතුළේ තියන ටින් හෙලවෙනවා. සද්ද වෙනවා. අපිට වහාම ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

   1980 දශකයේ දී, මේ ක්‍රමය මා වෙනත් දෙයකට යොදාගත්තා. පිදුරුතලාගල රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයේ ආරක්ෂක මුරයේ අපි, කෑමෙන් පසු ඉතිරි ආහාර වලලා දමන, වලක් තිබුණා. මේ වල ලඟට එන්නට, මහා විශාල ගෝණුන් 10 ක පමණ රංචුවක් සහ දිවියෙක් පුරුදුවී තිබුණා. උන් එන්නේ රාත්‍රී 2.00 – 3.30 අතර කාලයේ. ඒ වල පේනතෙක් මානයේ තිබුණු, මුර සෙබල කුටියේ සිට, මගේ කාමරයට ලණුවක් ඇද, ටින් එල්ලා තිබුනා. සත්තු එතනට ආ විට, මුර සෙබලා ලණුව අදිනවා. එවිට මට පුළුවන් වෙනවා සද්ද නොකර එතනට ගොස්, ඒ ලස්සන වනසතුන් නරඹන්නට. කිසිදු හේතුවක් නිසාවත් අපි ඒ සතුන්ට හානියක් කලේ නැහැ.

   හොඳයි, ලණු ඇදලා ටින් එල්ලලා, සතුරාගෙන් බේරෙන්න බැහැ. ඊට වඩා දියුණු ක්‍රම අවශ්‍යයි. එවැනි එක දියුණු ක්‍රමයක් තමා, අධික ආලෝකයක් පතුරවන වෙඩි උගුලක් ඇටවීම. මේවා හඳුන්වන්නේ Trip flares යනුවෙන්. ට්‍රිප් ෆ්ලෙයාර් එකක් ක්‍රියා කරන්නේ මෙහෙමයි. පොළොවේ සිට අඩියක් එකහමාරක් පමණ උසකින් සිටින විදිහට, ශක්තිමත් සිහින් යකඩ කූරකට සවිකර, පොළොවේ හිටවන වෙඩි වර්ගයක් තමා, ට්‍රිප් ෆ්ලෙයාර් කියන්නේ. මේ වෙඩිල්ලේ සිට කලුපාට සිහින් ශක්තිමත් කම්බියක් පොළොවට අඩියක් පමණ උඩින්, පොළොවට සමාන්තරව ගහකට, කණුවකට, වැනි දෙයකට අදිනවා. කවුරුහරි ඇවිත් අර කම්බියේ පැටලුනොත්, වෙඩිල්ලේ උගුල ගැස්සිලා, වෙඩිල්ල පත්තුවෙනවා. ලොකු සද්දයක් නැහැ. නමුත්, මහා විශාල ආලෝකයක්, විනාඩියක් පමණ වෙලා පත්තුවෙනවා. (ෆොස්පරස්) ඒ වෙලාව හොඳටම ඇති අපට,  සතුරාට වැඩක් දීගන්න. මෙන්න බලන්න ට්‍රිප් ෆ්ලෙයාර් එක වැඩ කරන හැටි. 

   ට්‍රිප් ෆ්ලෙයාර් එකක් පත්තුවෙන හැටි දවල් එළියෙන් දකිමු. හැබැයි මෙතන ඉන්න ‘අයියලා’ කුණුහරප කියනවා. ඒ නිසා සද්දේ කපලා වීඩියෝව විතරක් බලන්න. 

 

  ඊළඟ වැට රකින්නා, ට්‍රිප් ෆ්ලෙයාර් එකට වඩා බොහොම භයානකයි, මාරාන්තිකයි. ගැලවීමක් නැති තරම්. එයාට කියන්නේ ‘ජම්පිං මයින් – Jumping Mine’ කියලා. නමේම සඳහන් වෙනවනේ, පනිනවා කියන එක. ඔව්, මෙයා පනිනවා. පොළොවේ ඉඳලා අහසට පැනලා, පුපුරන අධිබල බෝම්බයක්. ට්‍රිප් ෆ්ලෙයාර් එකේ වගේම, උගුල් කම්බියක් ඇදලා තියනවා, ඒ කම්බියේ කවුරු හරි වැදුනොත්, උගුල ගැස්සිලා බෝම්බය පත්තුවෙනවා. මේ බලන්න. 

 

   ඉහත වීඩියෝව සහ සජීවී කරන රූප පෙළෙන් පෙන්වන්නේ, දෙවැනි ලෝක යුද සමයේ ජම්පිං මයින් එකක්. අද මීට වඩා දියුණු/දරුණු ඒවා තියනවා. අර වගේ උගුල් කම්බියක් නැතුව, පුද්ගලයකුට පෑගීම නිසා ක්‍රියාත්මකවී, ඉහලට පැන පත්තුවන ජම්පිං මයින් තියනවා. මේ රූප සටහනෙන් පෙන්වන්නේ ඒ ආකාරයේ පුද්ගල නාශක බෝම්බයක්.

2

   හොඳයි, මේ වගේම තවත් බෝම්බ තියනවා. ඔබ කවුරුත් දන්නවා පුද්ගල නාශක බිම්බෝම්බ සහ යුද ටැංකි නාශක බිම්බෝම්බ යනුවෙන් බෝම්බ වර්ග තිබෙනවා. ආරක්‍ෂිත ප්‍රදේශයකට ඉදිරියෙන්, ඒ බෝම්බ යොදවන්න පුළුවන්.

   නමුත්, බිම්බෝම්බ යෙදවීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපිළිවෙතක් තිබෙනවා. ඒ තමා, බෝම්බ සවිකිරීම පිලිබඳ විශේෂඥ පුහුණු, ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් පමණක් එය සිදුකිරීම. අපට හිතෙන හිතෙන විදිහට බෝම්බ වලලන්න බැහැ. ටික දවසක් යනකොට අපිටම මතක නැහැ, කොතනද බෝම්බ තියෙන්නේ කියලා. එතකොට අපේම බඩු වලින් අපිටම බඩු හම්බවෙනවා. ඒ නිසා ‘බිම්වෙඩි කෙත් – Mine Fields’ සකස් කිරීම විද්‍යානුකූල ක්‍රමයකටයි කරන්නේ. සෑම බිම්වෙඩි කෙතකටම අදාළව, ඉංජිනේරු බලකායෙන් සැකසු සිතියමක් තිබෙනවා. කවදා හෝ ඒ වෙඩි ඉවත් කරන්නත්, ඒ වෙඩි බිම් මගහැර අපේ භට පිරිස්වලට ගමන් කිරීමටත්, එම සිතියම් ඉතා වැදගත්.

   පුද්ගල නාශක බිම්බෝම්බයක් කියන්නේ, ඉතා කුඩා බෝම්බයක් වුනත්, එයින් මරණීය තුවාල සිදුවෙනවා. මේ පහළ පින්තූරයේ තියෙන්නේ, පුද්ගල නාශක බිම්බෝම්බයක්. 

AP MINE

AP MINE

 

   බිම් වෙඩි කෙත් දාලා බකං නිලාගෙන ඉන්න බැහැ. නිතර හොයාබලන්න ඕනේ, ඒවාට යම් හානියක් වෙලා තියනවද, වැසි ජලය නිසා ගසාගෙන ගොස් තිබෙනවාද, උඩට මතුවී තිබෙනවාද, සතුන්ට පෑගීම නිසා, සතුන් මියගොස් තියෙනවද, වැනි කරුණු.

   රාත්‍රී කාලයේදී බිම් වෙඩිල්ලක් පත්තු වුනොත්, වහාම සටනට සූදානම් වෙනවා. ඒ වගේම තමයි බිම් වෙඩි කෙත්, ආරක්‍ෂිත ප්‍රදේශයට ඉදිරියෙන් ඉතා ඈතින් යොදවන්නේ නැහැ. අපේ පියවි ඇසින්, ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි දුරින්, දැමිය යුතුයි. T 56 වැනි අවියකින් වෙඩි තැබිය හැකි සීමාවේ තිබිය යුතුයි. එහෙම කරන්නේ, හොරෙන් ඇවිත් ඒ වෙඩි ගලවන්න උත්සාහ කරන සතුරන්ට පහර දීමට හැකිවීම පිණිසයි.

   වැට රකින අනික් බෝම්බ වර්ගය තමා යුද ටැංකි නාශක බිම්බෝම්බ. මේ ගැන මා මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා.  වැට කඩාගෙන ඉදිරියට එන්නට උත්සාහ කරන යුද ටැංකි වල ගමන නැවත්වීමටයි, යුද ටැංකි නාශක බිම් බෝම්බ යොදවන්නේ. 

AT Mine

atmine

   වැට රකින ඊළඟ වර්ගය තමා ක්ලේමෝ බෝම්බ. ඉහත සබැඳියාව දී ඇති ලිපියෙන්, මා ඔබ සමග ක්ලේමෝ බෝම්බ ගැනත් කරුණු සාකච්ඡා කළා. ක්ලේමෝ බෝම්බය ඉතා දරුණු බෝම්බයක්. ඒ ගැන මේ පින්තූර වලින් ඔබට කරුණු පැහැදිලි වනු ඇති.

claymore-mine

claymore-placed-on-roadside1

claymo-blast1

   තවත් කවුද ඉන්නේ වැට රකින්න? ඇයි වැටේ ආරක්ෂාවට ඉන්න සෙබළු? එයාලා අතේ විවිධ ආයුධ තියනවා. සාමාන්‍ය තුවක්කුවේ සිට කාලතුවක්කුව දක්වාත්, මෝටාර් සහ බෝම්බ විදින තුවක්කුත් තියනවා. තවත් උපක්‍රම තිබුනත්, වඩාත් වැදගත්වන ක්‍රම තමයි මෙහිදී කිව්වේ. දීර්ඝ විස්තර ඉවත් කොට කෙටියෙන් සහ අවශ්‍යදේ පමණයි කියා තිබෙන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? මොනව කරන්නද එහෙනම් කඩමු වැට.

3. වැට කඩන්නේ මෙහෙමයි 

   වැට කැඩීම, අපි හිතන තරම් ලේසි නැහැ. දැක්කනේ වැට හදලා තියන විදිහ සහ වැටේ ආරක්‍ෂාවට යොදවලා තියන ජාති. වැට බලාගන්න මිනිස්සුත් ඉන්නවා, බල්ලොත් ඉන්නවා, විවිධ බෝම්බත් තියනවා. ඉතින් වැට ලඟට යුද්ධ ටැංකියකින් යාම වුනත් එකවර කරන්න අමාරු දෙයක්. මොකද යුද ටැංකි නාශක බිම්බෝම්බ තිබෙන නිසා.

   නමුත් අපි යුද්දෙට යන්නේ ඔය වැටකට, කොන්සර්ටීනා වයර් වලට, පස් බැම්මකට බයවෙලා ආපහු හැරෙන්න නෙවෙයි. ඒ නිසා වැට කඩන්න ඕනෙනම් කොහොමහරි කඩනවා. අපි හිතමු බිම්බෝම්බ ගැන. වැට කැඩීමේදී බිම්බෝම්බ අභියෝගය ජයගන්නේ කොහොමද? ඒ සඳහා යොදන එක උපක්‍රමයක් තමා දෙවැනි ලෝක යුද සමයේ පටන් පාවිච්චි කරන, ‘බැංගලෝර් ටෝර්පිඩෝ – Bangalore Torpedo’ කියන පිපිරුම් වෙඩි වර්ගය. ඒ නම ලැබී තිබෙන්නේ, මෙය ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේදී, මුලින්ම නිපදවූ නිසා. 

   මේවා හරියට අපි පාවිච්චි කරන PVC ජලනල වගේ. එවැනි නල වලට වෙඩිබෙහෙත් පුරවා තිබෙනවා. එම වෙඩිබෙහෙත් එකවරම පිපිරී යාම සඳහා විදුලියෙන් හෝ සේවා නූලකින් ක්‍රියාත්මක වන ඩෙටනේටරයක් සවිකර තිබෙනවා. මේ නල කීපයක් එකිනෙකට අමුණන්න හැකිවන ආකාරයටයි සකසා තිබෙන්නේ. වැට ලඟට හොරෙන් බඩගාගෙන ඇවිත් මේ නල අවශ්‍ය තරම් එකට අමුණා, හෙමින් හෙමින් බිම් වෙඩි කෙත හරහා ඉදිරියට තල්ලු කරනවා. ඉන්පසු මෙය පුපුරවා හැරියාම මේ නලයට පහතින් වලලා තිබුණු බිම් වෙඩි සියල්ල එකවර පුපුරා යනවා. අඩි දෙකක් පමණ පළල තීරුවක් බිම්වෙඩි වලින් තොර වෙනවා. ඒ දිගේ ඉදිරියට යනවා. මේ බලන්න කොහොමද කරන්නේ කියලා. 

 

   හොඳයි, බිම්වෙඩි කෙත, හුඟක් පළලයි නම්, මොකද කරන්නේ? ඒකටත් විසඳුමක් තියනවා. විසඳුම තමයි බැංගලෝර් ටෝර්පිඩෝවට වඩා ප්‍රබල බිම්බෝම්බ නාශක උපක්‍රමයක් යෙදවීම. එය හඳුන්වන්නේ ජයන්ට් වයිපර් – Giant Viper නමින්.

   1990 දශකයේදී වවුනියාව ප්‍රදේශයේදී තමයි මා මෙය දැක්කේ. දකුණු අප්‍රිකාවෙන් ගෙනා මේ පිපිරුම් ක්‍රමය, අපට ක්‍රියාකරවා පෙන්නුවෙත්, දකුණු අප්‍රිකානු හමුදා නියෝජිතයන් විසින්. තවත් අවි ගොඩක් පෙන්නුවා. අපිට මේවා පෙන්නලා කිව්වා, ඒවා අතරින් අපේ හමුදාවට සුදුසුයි කියා හිතන අවි නිර්දේශ කරන්න කියා. අපි නිර්දේශ ගොඩක් ඉදිරිපත් කළා. නමුත් ජයන්ට් වයිපර් එක අපේ හමුදාවට ගත්තේ නැහැ.  

   ජයන්ට් වයිපර් එක ක්‍රියාකරන්නේ මෙහෙමයි, සන්නද්ධ රථයක සිට විදින රොකට් වෙඩිල්ලක් මගින්, විශාල, දිග, කඹයක් වැනි දෙයක්, බිම්වෙඩි කෙත හරහා පතිත වන ආකාරයට විදිනවා. පතිතවූ පසු, එම කඹය වැනි කොටස, ඉතා දැඩි පිපුරුම් ශක්තියකින් පුපුරා යනවා. එම කඹය වැනි කොටස පතිතවූ පොළොවේ වලලා ඇති බිම්බෝම්බ, අර පිපිරුමේ කම්පනයෙන් පුපුරා යනවා. මේ බලන්න ජයන්ට් වයිපර් ක්‍රියා කරන හැටි. 

 

   මේ මොනවා නැතත් හිත හයියනම්, හොඳ පුහුණුවක් තියනවානම්, ඔය වැට කඩුලු ඔක්කොම කඩාගෙන යන්න පුළුවන්. විශේෂ පුහුණු සොල්දාදුවන් දන්නවා බිම්බෝම්බ වළලන රටාව. එකක් අහුවුනොත් ඊළඟ එක කොතනද තියෙන්නේ කියා 90% කට වඩා හොඳින් අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව පරෙස්සමෙන් ඒවා ගලවන්න පුළුවන්. යුද ටැංකි වලින් එල්ල කරන ප්‍රහාර, ආර්.පී.ජී අවි වලින් සහ ආර්.සී. එල්. වැනි අවි වලින් එල්ල කරන ප්‍රහාර මගින් වැට හෝ පස් බැමි කඩන්න පුළුවන්.

   මෙන්න යුධ ටැංකියක තියන ප්‍රධාන තුවක්කුවේ බලය.

 

තනි පුද්ගලයකුට ක්‍රියාකරවිය හැකි රොකට් විදිනය.

 

Recoil-less Gun හෙවත් RCL තුවක්කුව.

   පහුගිය යුද්ද කාලේ අපි මේ තුවක්කු වලින්, සෑහෙන්න නෙවෙයි, නොසෑහෙන්න වැඩ ගත්තා. මෙව්වා ඉතින්, ෂුවර් බඩු.

   හොඳයි, ඔන්න එහෙනම් අපි ඉගෙන ගත්තා, යුද බිමක ආරක්‍ෂාව තහවුරු කරගන්නට යොදන උපක්‍රම සහ, එම උපකරණ අබිභවා යමින්, පහර දෙන ආකාරය. මෙවැනි කරුණු ඔබවෙත ගෙන එන්නේ, ඔබේ හමුදා දැනුම දියුණු කරන අතරම, දුර්මත දුරු කිරීමේ අදහසින්. ඔබේ දැනුමට මෙතුළින් යමක් එක්වේවා යන්න, මගේ පැතුමයි. 

2015 අගෝස්තු මස 03 වැනි දින 0040 පැය

Advertisements

Comments on: "වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (තුන්වැනි කොටස)" (8)

  1. saving privat ryan film එකේ වැට කඩන ඒවා ගොඩයි ,අපේ වැට කැඩීම් ගැනත් කිවොත් නරකද ? කෙළගෙන ඉස්සරහට යන්න වෙන වෙලා වල් එහෙම තියෙන්න ඕන පස් බැමි කඩපු 2009 .

    • ඔව් ඒ චිත්‍රපටියේදී සංග්‍රාමයකදී මෙවැනි බාධක ජයගන්න ආකාරය ලස්සනට පෙන්වා දෙනවා. මම බොහෝ දුරට මෙවැනි ලිපි වලදී අපේ හමුදා ක්‍රියාකාරකම් ගැන නොකියන්නේ, යම්කිසි පරස්පර විරෝධී දෙයක් ලියවුණොත් එයින් ප්‍රශ්න ඇතිවිය හැකි නිසා.

      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

      • ඔව් ඔව් ඕවා එයාගේ මතේ ,කියන උන්නේ ඉන්නේ ,ඒ උනත් ඒවා දැනගන්න කැමති අය ඉන්නවා ගොඩක්

  2. […] කියන්නේ නැහැ. මෙතනින් එක ලිපියක් සහ මෙතනින් තවත් ලිපියක් බලන්න […]

  3. අමිල කාංචන බණ්ඩාර ආරියරත්න said:

    මෙවැනි තාක්ෂණික කරුණු දැන ගැනීමේ පිපාසයෙන් පෙලෙන මා වැන්නෙකුට වාලුකා කාන්තාරයක දිය උල්පතක් හමු උනා සේ සමානයි ඔබේ මෙම පිටුව දැක ගැනීමට ලැබීම.
    බොහොමත්ම ස්තූතියි මහත්මයාණෙනි ඔබට. ඔබගේ හරවත් ලිපි බලාපොරොත්තු වෙමි දිගටම…
    නැවත වතාවක් ස්තූතියි ඔබට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: