විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


111   වැටවල් කතාවට සෑහෙන දෙනෙකුගේ සිත ඇදිලා ගිහින් තිබුණා. ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, 😀 අද තව දුරටත් ඒ ගැන කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ ප්‍රධානතම පරමාර්ථය කියලා. යුද්ධයකදී අපි කරන ක්‍රියාන්විත සාමාන්‍යයෙන් මූලික කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්.

1 ආක්‍රමණශීලී හෙවත් ප්‍රහාරාත්මක ක්‍රියාන්විත = Offensive Operations

2 ආරක්ෂාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම සඳහා කරන ක්‍රියාන්විත = Defensive Operations 

   මෙතැනදී මේ offence / defence කියන දෙකම කෙරෙන්නේ, ගැඹුරු යුද න්‍යායන් අනුව. වෙනත් විදිහකට කියනවානම්, යම් යම් මූලධර්ම මත. ඒ ඔක්කොම මෙතන කියන්න ගියොත්, බොහෝ දෙනෙක් මේ බ්ලොග් අඩවිය පැත්ත පළාතෙවත් එන එකක් නැහැ. හැබැයි, ඔබට වැඩිය නොදැනෙන්න, මම ඒ මූලධර්ම මේ ලිපියට රිංගවනවා. එහෙම හොඳයිනේ? තිත්ත බේත් පෙති වලට සීනි ගාලා දෙනවා වගේ වැඩක් මේක. Defence කියන විෂයය යුද හමුදා පුහුණුවේදී ඉතා ගැඹුරට යනවා. භූමි ප්‍රදේශයක ආරක්ෂාව, නිසි පරිදි, හමුදා ක්‍රියාන්විත වලින් තහවුරු කරන්න නම්, මූලධර්ම 10 ක් යටතේ ක්‍රියාකරන්න වෙනවා.

   හොඳයි මෙහෙම හිතන්න. ඔබේ ගමේ චන්ඩියෙක්, තුවක්කුවක් ගෙනත්, ඔබ ඇතුළු ගම්වාසීන්ට චන්ඩි පාට් දානවා. ඔබත් තුවක්කුවක් ගේනවා. ගෙනල්ල ඒකත් අතේ තියාගෙන, ගෙට වෙලා දොර වහගෙන ඉන්න එකද හරි, එහෙම නැත්නම් ඔබේ වත්තේ මායිම දිගේ ටිකක් ඇවිදලා බලන එකද හරි?  ආයෙත් අහන්ඩ ඕනෙද නේද?

   (ගෙට වෙලා හිටියොත් අරූ ගෙටම ඇවිල්ලා…….හරි හරි කියන්ඩ එපා මම දන්නවා කියන්ඩ ගිය එක. හප්පෝ……….එව්වනම් කටට එනවා ටක් ගාලා. ඒ වුනාට පහුගිය ලිපියෙන් මොකක් හරි ඇහැව්වොත් හුළං)  

   මෙන්න මේ නිසා සාර්ථක ආරක්ෂක ප්‍රදේශයක්, නිතරම, සටනට දැඩි පෙරසූදානමකින් ඉන්න, එමෙන්ම, සතුරු භූමියට පවා රිංගා බලනසුළු, ආක්‍රමණශීලී aggressive ආරක්ෂක ප්‍රදේශයක් වියයුතුයි.

   හොඳයි, මේ කතාව මෙතන තියලා, ආපහු යමුකෝ වැට ගහන්න. පහුගිය ලිපිය අපි අවසන් කලේ කොන්සර්ටීනා වයර් වැට ගැහිල්ලෙන් නේ. ඒ වගේමයි යුද අගල් සෑදීමත් කළා. ඊට අමතරව මොනවද කරන්න පුළුවන්. අපි හිතමු අපිට කටුකම්බි කෑල්ලක්වත් හොයාගන්න නැහැ කියලා. නමුත් සොල්දාදුවා, ‘අලේ මොකුල් ලෑලේ…………..’ කියලා, හඬ හඬා බලා ඉන්නේ නැහැ. පරිසරයෙන් විසඳුම් හොයාගන්නවා.

   ලොකු වැටක් ගහන්න බැරිනම්, පොළොවේ කුඩා උල් හිටවනවා. පොළොවේ සිට අඟල් හයක් හතක උස මේ උල් ඉතා තියුණු තුඩක් තිබෙන ආකාරයට සකසන්නේ. බූට් සපත්තුවක් හිල්වෙන තරමට තියුණු නැතත්, කකුල පැටලිලා වැටුනොත්, මේ උල්, සිරුර පසාකරගෙන යනවා. අපේ හමුදා, පහුගිය යුද්ද කාලේ, ‘කූරටියා’ නමැති සිහින් කෝටු විශේෂය පාවිච්චි කර, ඉතා ශක්තිමත් වැටවල් මෙන්ම,  මරණීය තුවාල ඇතිකරන උල් ද, ආරක්ෂක ප්‍රදේශවල නිර්මාණය කළා. ඒ වැටවල් කඩාගෙන එන්න, LTTE එක උත්සාහ කල බොහෝ වාර ගණනක්, ව්‍යර්ථ වුණා. එවැනි වැටක පින්තූරයක් පහත දක්වනවා. නමුත් එය ලංකාවේ එකක් නෙවෙයි. 

obstacle

   අපේ හමුදා හදපු වැට, මේ වගේ ඇල කරලා නෙවෙයි, කෙළින් අතට තිබුනේ. ඒ වගේම, එකකට එකක් අතර අඩි පහක පමණ පරතරයක් තබා, වැටවල් දෙකක් හෝ තුනක් හදපු අවස්ථා තිබුනා. ඒ වැටවල් අතර උල් හිටවා හෝ බිම් බෝම්බ වලලා තිබුණා. හොඳයි, අපි හිතමු අපිට කොන්සර්ටීනා වයර් නැතත් කටුකම්බි තියනවා කියා. අපේ ගෙවත්තක ගහනවා වගේ කටුකම්බි වැටක් ගැහීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ යුද බිමේදී. ඉතා පහසුවෙන් එය කපන්න පුළුවන්. ඒ නිසා යුද බිමේදී කටු කම්බි පාවිච්චි කරලා හදනවා බාධකයක්. ‘පහතින් අදින කම්බි පැටලුම’ කියලා කියන්න පුළුවන්. low wire entanglement  ඒ බාධකය යොදන්නේ පොළොවට අඩි එකහමාරක් පමණ උඩින් හිටින විදිහට. අවම වශයෙන් අඩි 10ක් වත් පළල තියන ආකාරයට තමයි යොදවන්නේ. මේ බලන්න. 

Low wire entanglement

   පේනවා නේද මේක හරිම ජංජාලයක්. යටින් රිංගන එකත් ලේසි නෑ. අර බලන්න අර උන්නැහේ, වැට නඩත්තු කරන්න, ලැල්ලක් දාලා ඒක දිගේ යන හැටි. සමහරවිට මේක යට බිම් බෝම්බ දාලා තියෙන්නත් පුළුවන්. එහෙම වුනොත් බඩුම තමයි. ඔය තියෙන්නේ පහළින්, එහෙම බඩු හම්බවෙච්චි වෙලාවක්.

Low wire

   ඒ වුනාට පුහුණුවේදී දස වදයක් දෙනවා අපිට. අම්මපා එව්වා කොරපු එවුන්ට………. (හොඳක්ම සිද්ද වුනාවේ. නැත්නම් පුහුණුව අසාර්ථකයිනේ) මේ විදිහට හදපු කම්බි පැටලුම යටින් බඩගාගෙන යන්න කියලා, ඔලුව මට්ටමට අඟලක් ඉහළින් විතර යන විදිහට, නොකඩවාම වෙඩි තියනවා. හෙල්මට් එක දාගෙන හිටියත්, චූ යන තරම් බයකුත් දැනෙනවා. මෙන්න මෙහෙමයි රිංගන්නේ. මෙතන හෙල්මට් දාලා නැහැ. තුවක්කුවත් නැහැ. තවම ආධුනිකයෝ. ඔලුවට උඩින් යන්න වෙඩි තියන්නෙත් නැහැ මෙතන. 

Commando obstacles training ; cadets crawling under the barbed wire ; Military school ; Amboli ; district Sindhudurga ; Maharashtra ; India MR 703M

Commando obstacles training ; cadets crawling under the barbed wire ; Military school ; Amboli ; district Sindhudurga ; Maharashtra ; India MR 703M

   වැටවල් ගැහිල්ල ගැන තව දිග විස්තර තිබුනත්, ඒ කතාව නවත්තලා වැටවල් ගැහිල්ලේ අන්තිම කොටසට යනවා. ඒ තමයි පස් බැම්මක් ඉදිකිරීම. හැබැයි පුතෝ, පස් බැම්මක් හදාගත්තා කියලා, බැම්මෙන් මෙහා පැත්තට වෙලා, කඩේ වහලා ඉන්න බැහැ. එහෙම කලොත්, සතුරා බැම්ම කොතනින් හරි කපාගෙන රිංගනවා. ඊට පස්සේ අපිට බඩු හම්බවෙනවා. ඒ නිසා, පස් බැම්මේ ඉඳලා ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හදාගන්න ඕනේ. බැම්මට පසුපසින් මීටර් 100ක් විතර ඈතින් තියන රූස්ස ගහක අතුපතරේ හැංගිලා ඉඳගෙන දවල් කාලේදී ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන්. රෑට නම් සවන්දීමේ මුරයක් යොදවන්න වෙනවා. අපි මුලින්ම බලමු යුද බිමේ සාමාන්‍ය පස් බැම්මක්.

bund

   මේ බැම්ම එතරම්ම සාර්ථකයි කියන්න බැහැ. නමුත්, සතුරාට මුහුණ දෙන්න, කල්ගත කරමින් ඉන්නට වෙලාවක් නැති නිසා, ඉක්මනින් බුල්ඩෝසර් එකක් යොදවලා, මේ වගේ බැම්මක් ඉදිකරගැනීම හොඳයි. බලන්න, ආරක්ෂක මුර සෙබළුන් ස්ථානගතව සිටින තැන් තමා, අර කොලපාට වැලි කොට්ට සහ කළු ඉටිරෙදි ගහලා, හදලා තියෙන්නේ. මෙතන ඉඳන් සෑහෙන්න සතුටුදායකව සතුරාට මුහුණ දෙන්න පුළුවන්. මේ පස් බැමි හදනකොට යුද ටැංකි යෙදවීම ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඒ නිසා බැම්මේ සමහර තැන හදනවා යුද ටැංකියක් ඇවිත් බැම්මට හේත්තු කරගෙන ප්‍රහාර එල්ල කරන්න. ඒ වගේ තැනකට හමුදා භාෂාවෙන් කියන්නේ hull down position එක කියලා. hull හල් එක කියන්නේ යුද ටැංකියේ ඉදිරිපස කොටස. මේ බලන්න, ටැංකියක් පස් බැම්ම ආවරණයක් කරගනිමින් සටන් කරන හැටි.

Dug in

   මෙහෙම තියනකොට, සතුරු ටැංකියකින් ගහන ඒවා වදින්නේ, පස් බැම්මේ සහ ටැංකියේ ඝන යකඩ සන්නාහයේ. ඒ නිසා ටැංකිය ආරක්ෂිතයි. ඔන්න පස් බැම්මෙන් ගන්න තවත් වැඩක්.

   මේ පහළ තියන පස් බැම්ම, ඉහළ පෙන්නපු බැම්මට වඩා කල් අරගෙන, හොඳට සැලසුම් කරලා හදපු එකක්. බලන්න බැම්මේ පළල. සෑහෙන්න පළලක් තියනවා. ඒ නිසා කඩාගෙන එන එක ලේසි නැහැ. ඒ වගේම බලන්න බැම්ම උඩ වැටක් තියනවා. මේ පෙනෙන්නේ බැම්මේ පසුපස. ඉස්සරහ පැත්තේ කොන්සර්ටීනා වයර් දාලා, කටුකම්බි පැටලුම් දාලා ඇති. අර දිය අගල ජල ක්‍රීඩා සඳහාවත්, ස්නානය සඳහාවත්, හදපු එකක් නෙවෙයි. 😀 මේ අගලට වතුර පිරිලා තියෙන්නේ, මෝසම් වැස්සෙන්. අගල හරහා යන්න, ඇළුමිනියම් ඉනිමගක් තියලා තියනවා දැක්කද? ඔය අගලේ සම්පූර්ණයෙන් වතුර පිරුනොත් මාරකයක්. පීනන්න බැරිනම් ගිලිලා මැරෙන්න වෙන්නේ. අඩි හයකට වඩා ගැඹුරයි.

bund 2

පින්තූරය ගත්තේ මෙතනින්

   මේ අගලෙන් කරුණු දෙකක් ඉෂ්ඨ වෙනවා. එකක් තමයි, බැම්ම උඩින් කඩාගෙන එන ටැංකියක ගමන අවසාන වෙනවා, මේ අගලට වැටීමෙන්. (මෙතන අල්ලගත්තොත්, විශේෂ පාළම් වර්ගයක් තියනවා අගල හරහා ක්‍ෂණිකව දාලා, ටැංකි එගොඩ කරන්න. මේ තියෙන්නේ ඒ වගේ පාළමක්)

bridge

   දෙවැනි කාරණේ තමයි, මේ අගල දිගේ, (වතුර නෑ කියලා හිතන්න) භටපිරිස්, අවිආයුධ, අනෙකුත් සැපයුම් එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ නිසා, මෙවැනි අගල්, හමුදා භාෂාවෙන් හඳුන්වන්නේ, communication trench කියලා. 

   ඒ බැම්මත්, මේ බැම්මත්, හැර තවත් බැමි තිබේද පින්වත? එහෙමයි ස්වාමීනී, ඇයි වැව් බැම්ම? හුටා……….ඒක යුද්ද කරන්න හදන එකක් නෙවෙයිනේ.

   ඇත්තටම තවත් බැම්මක් තියනවා. නමුත් අපේ රටේදී දකින්නට නැහැ. ඒ බැම්ම හඳුන්වන්නේ Ditch Cum Bund = DCB යනුවෙන්. එවැනි බැමි, දීර්ඝ කාලයක්, ස්ථිරව තබාගැනීමටයි හදන්නේ. රටවල් දෙකක් අතර ඇති දේශසීමා දිගේ තමයි ඒ විදිහට DCB හදන්නේ. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශ්, වැනි රටවල මේ DCB දකින්නට පුළුවන්. අගල සහ බැම්ම ඝන කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම, අවශ්‍යනම්, අගල දිගේ, යුද ටැංකි, කාලතුවක්කු, සැපයුම් රැගෙන යන බර වාහන, යන්න වුනත් හැකිවන ආකාරයට හදනවා.  DCB එක මෙන්න මේ වගේ. මෙතන අගල පෙනෙන්නේ නැහැ.

DCB

   ඔන්න ඉතින්, මේ ලිපි මාලාවේ මාතෘකාව වන, ‘වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ’ කියන කොටස් තුනෙන්, වැට ගහන්නෝ කියන කොටස, මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසේදී අපි බලමු, මේ ගහගත්ත වැට කොහොමද රැකගන්නේ කියලා. 

2015 ජූලි මස 26 වැනි දින 2304 පැය 

Advertisements

Comments on: "වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (දෙවැනි කොටස)" (12)

  1. woow නියමයි.. යුද්දේ ගැන ලිපි කියවන්න මන් හරි ආසයි
    මේ බඩ්ඩක් අහන්නම් මහත අය කොහොමද අප්පා අරහෙම බඩ ගාන්නේ,,

    • පුහුණුව සඳහා බඩගාපු කාලේ බඩ මහත නෑ. නිකං බට පතුර වගේ. ආමි එකෙන්ම කාලා (ආමි එක කාලා නෙවෙයි යකෝ) තමයි බඩ මහත් වුණේ. 😀

  2. තිස්ස දොඩන්ගොඩ said:

    මේ සා විසාල තොරතුරු සමූහයක් එකතු කර සිංහලෙන් මෙහි සටහන් කිරීම ගැන නොවක් තුති හැමදාම වාගේම…
    මේ සටහන් ‘වර්ඩ්’ ගොණුවක් ලෙස එකතු කරනවා ඇතැයි සිතමි
    සටහන් පණහෙන් පණහට කුඩා පොත් ලෙස සකස් කල හැකි වෙයි එවිට
    ඇවැසි වෙලාවක මුද්‍රණ‍ය කිරීමත් කල හැක

    • බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. මා ලිපි ලියන්නේ online සිටිමින්. ඒ නිසා වෙනම ගොනුවක් ලෙස එකතු කර නැහැ. නමුත් ඔබේ මේ අගනා යෝජනාව සලකා බලන්න වෙනවා. මටත් හිතෙනවා ගුනුවක් සැකසීම හොඳයි කියා.

  3. වැටවල් පනින්න විතරක් දන්න අය හිතන්නෙ යුද්දෙ කරන්නෙ කූල් කාමරේ ඉන්න ලේකම්ලා කියලයි..

  4. 1 මූල දර්ම 10 මොනවාද
    2 කොන්ස්ර්ටීනා වයර් වල ඉතිහාසය කොහොමද

    • Ten Principles of Defence

      1 Organising.

      2 All round protection.

      3 Mutual Support.

      4 Depth

      5 Aggressive Defence

      6 Coordination

      7 Communication

      8 Reserves

      9 Deception

      10 Preparedness

      මේ ටික ඉංග්‍රීසියෙන් ලිව්වට අමනාප වෙන්න එපා. මේවා දීර්ඝව විස්තර කලයුතු කරුණු. ඒ නිසයි ලිපියට ඇතුළත් නොකළේ.

      කොන්සර්ටීනා වයර් දෙවැනි ලෝක යුද්ධ කාලයෙන් පසුව පැමිණි දෙයක්. ඉතිහාසය මම හොයා බලා නැහැ.

  5. බලාගෙන ගියාම වැටක් ගහන්නත් ලෙසි නෑ නේද 🙂 ඊලග ලිපියත් ඉක්මනටම දාන්න බලන්න. විචාරකතුමාට බොහොම ස්තුතියි.

    • වැට ගහනවා වගේම වැට රැකීමත්, වැට කැඩීමත්, අමාරුයි. ඊළඟ කොටස සංස්කරණය වෙමින් පවතිනවා.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: