විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


aaa   තමන්ගේ ඉඩම වටේට වැටක් ගහගන්න එක අනාදිමත් කාලයක ඉඳලා මිනිසා විසින් කරන ආරක්ෂාකාරී පියවරක් නොවැ. හැබැයි ඉතිං පනින එකා ඔය කොයි වැටත් පනිනවා. දැකලා තියනවද දඬු වැට කියන එක? දඬු වැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා ඉදිකරන වැට. හේන සඳහා තෝරාගත් බිමේ තිබෙන විශාල ගස්, කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, විශාල අතු සහ කඳන්  කොටස් උපයෝගී කරගෙන තමයි, දඬු වැට හදන්නේ.

   මක්කිව්වා………කොටුත් පනිනවද? අනෙ අම්මේ……… අපි දන්නෑ ඔය කොටු පැනිලි. වැට හදන හැටි, වැට රකින හැටි සහ කඩන හැටි ගැන තමා අද මේ කතාකරන්න යන්නේ. කාගෙ වැටද කියලා ඇහුවා? කාගෙවත් නෙවෙයි, හමුදාවෙන් යුද බිමේ ගහන වැටවල් ගැන තමා කතාකරන්න යන්නේ. මට මොකටැයි ඔය අනුන්ගේ වැටවල්. හරි, එහෙනම් බහිමුද කතාවට?

   මේ කතාවට බහින්න කලින්, මෙන්න මේ න්‍යායාත්මක කරුණු, පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. යුද්ධයේදී, අපි සතුරා සමග සටන් කරමින් භූමිය අල්ලා ගත්තට පස්සේ, එතනින් පසු බසින්න ඉඩක් නොලැබෙන ආකාරයට, ඒ භූමිය ආරක්ෂා කලයුතුයි. භූමිය ආරක්ෂාකාරී ලෙස පවත්වා ගැනීමට, විවිධ උපක්‍රම යොදනවා. මතකද අපි කතා කළා, පැට්‍රෝල් යාම ගැන? ඕං ඉතිං ……….ඕකනේ කියන්නේ…….. මේ කියනවා, මේ මතක නෑ. ඔහොම බෑ මේවා කරන්න. සතුරා ඇවිත්, ඔයාගේ මෙව්වා එකත් මෙව්වා කරලා යයි, ඔව්වා මතක නැත්තං.

   හරි හරි, අමතකනං ටක් ගාලා දුවලා ගිහින් බලලා එන්ඩ. හරි, දැන් මතකයි නේද? ඔව්, එක ක්‍රමයක් තමයි, පැට්‍රෝල් හෙවත් මුර සංචාර මගින් පුළුවන්, භූමිය ආරක්ෂා කරගන්ඩ. ඒ වගේම, ඒ පැට්‍රෝල් කතාවේදී කිව්වා වගේ, නිරීක්ෂණ මුර, සවන්දීමේ මුර, ආදියත් යොදවන්න පුළුවන්. නමුත් ඔය හැම එකකටම සෙබළුන් යොදවන්න ගියොත්, සටන් කරන්න පිරිස මදිවෙන බව, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා වැටක් ගහලා භූමිය රැකගන්න වෙන අවස්ථා තියනවා. නුත් වැටක් ගැහුවා කියලා භූමිය ආරක්ෂා වෙන්නේ නැහැනේ. වැට නඩත්තු කරන්න ඕනේ. දිනපතා පරීක්ෂා කරන්න ඕනේ. ඔබ කියයි, ‘ඉතින් CCTV කැමරා හයිකරානම් ඉවරයිනේ’ කියලා. යුදබිමේ ඇත්තම තත්වය නොදන්නා අය තමයි එහෙම කියන්නේ. ඇත්තටම යුදබිමේ වැටවල් රකින්න කැමරා හයි කර කර ඉන්න බැහැ. කොයි වෙලාවේ වැට වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ. කාලය සහ ශ්‍රමය කිසිසේත් අපතේ යවන්න බැහැ. ඒ නිසා නවීන තාක්‍ෂණය ප්‍රායෝගිකව, සෑමවිටම, සෑම ප්‍රශ්නයකටම, යුද බිමට ගැලපෙන්නේ නැහැ.

   සතුරාගෙන් අල්ලාගත් භූමියක, එහෙමත් නැත්නම් අපි දැනට අපේ පාලනය යටතේ තබාගෙන ඇති භූමියක, ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා, පළමුවෙන්ම කරන්නේ, සතුරු ප්‍රහාර වලින් සහ නිරීක්ෂණය කිරීම් වලින් ආවරණයවී සිටිමින්, අපේ භටපිරිස් වලට, ඉදිරි භූමිය නිරීක්ෂණය කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සුදුසු ස්ථානවල, අවශ්‍ය තරම් භටපිරිස් රැඳවීමයි. භූමියේ පිහිටි ඉතා කුඩා කඳු ගැට, ලොකු ගස්වල කඳ, මිනිසෙකුට ආවරණය වෙන්න තරම් විශාල ගල්කුලක්, ඇල කණ්ඩියක්, වැව් බැම්මක්, වගේ ස්ථාන තමා තෝරාගන්නේ.

   යුද න්‍යායේ තිබෙනවා, ‘උපක්‍රමික වශයෙන් වැදගත්වන භූමිය – Ground of Tactically Importance = GTI’ යනුවෙන් යෙදුමක්. අපි සෑමවිටම උත්සාහ කළයුත්තේ අන්න එවැනි භූමියක් අල්ලාගන්නයි. එවැනි GTI භූමියක සිට, සතුරාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න, ප්‍රහාර එල්ල කරන්න, තවදුරටත් සතුරාගේ ක්‍රියාකාරකම් වර්ධනයවීම වළක්වන්න, අපේ ඉදිරි සැලසුම් තවත් සාර්ථක කරගන්න, අපේ කාලතුවක්කු, යුද ටැංකි, ආදිය වඩාත් පහසුවෙන් ස්ථානගතකිරීම සහ යෙදවීම කරගන්න, අපට හැකිවෙනවා. (සරලව මෙහෙම හිතන්න. සුනාමිය කියන්නේ, අපිට එන සතුරු ආක්‍රමණයක් නම්, එයින් බේරෙන්න සුදුසු, මුහුද අසල පිහිටි උස් බිම, GTI එකක්)

1. වැට ගහන්නේ මෙහෙමයි 

   යුද්දේ යනගමන් වැටවල් ගැහිල්ල ලේසි කෙළියක් නෙවේ. ඒ නිසා යුද න්‍යායේ කියන්නේ, යුද අගල් සහ වැලි ගෝනි වලින් ආවරණ සකස් කරගන්න කියලා. ඒ නිසා, මුලින්ම කරන්නේ, මෙන්න මේ විදිහට, යන්තම් කාණුවක් හාරගෙන, වැලි ගෝනි ටිකක් දාලා, ආවරණයක් හදාගන්න එක. (ගෝනි තියනවා යුද බිමේ පසුපස ඉන්න සැපයුම් කණ්ඩායම් අතේ.  ඒවා ඉස්සරහට යවනවා. වැලි හොයාගන්න නැත්නම්, අර හාරන කාණුවේ පස් වලින්ම පුරවනවා. හාරන ආයුධ අරන් යනවා ඉදිරියට යනවිට.)  අම්මේ…….. යුද පුහුණුවේදී දියතලාවේ/අඹේවෙල, මර හීතලේ, මහ රෑ, මෙව්වා හාරපු හැටි මතකවෙනකොට ………අනේද කියන්නේ…

Basic Position

   ටික කාලයක් ඒ ප්‍රදේශය අල්ලාගෙන ඉන්න වෙනවා නම්, මේක ටිකක් වැඩිදියුණු කරනවා. අපි අල්ලාගෙන ඉන්න ප්‍රදේශයේ වටේටම හෝ බොහෝවිට සතුරා ඉන්න පැත්තට/පැතිවලට මුහුණ දා තිබෙන ප්‍රදේශ තමයි මෙලෙස වැඩිදියුණු කරන්නේ. එතකොට පෙනෙන්නේ මෙන්න මෙහෙම. 

image (1)

   මෙතන තියෙන්නේ එවැනි ‘යුද අගල් – Trench’ දෙකක පින්තූර.

   ‘මොකෑ ආයිබොවං, ඔහෙලා බීලද මෙව්වා හාරන්නේ? නිකං ඌරු මීයෝ ගියා වගේ, එහාට මෙහාට ඇදේටනේ ගිහිං තියෙන්නේ

  ‘මේකනේ  ආයිබොවං වැඩේ. තනි කෙළින් මෙව්වා හැදුවොත්, අවාසි තියනවා. කවුරු හරි හතුරෙක් මේකට පැනගත්තොත්, තනි කෙළින් තියන නිසා, මේකේ ඉන්න ඔක්කොටම වෙඩිතියලා, කම්බස් කරන්න ලේසි වෙනවා. ඒ වගේමයි, තනි කෙළින් තියන අගලකට, අත් බෝම්බයක්, මෝටාර් බෝම්බයක්, කාලතුවක්කු බෝම්බයක්, ගුවනින් දාන බෝම්බයක්, වැටුනොත් එහෙම, ඔක්කොටම අනිච්ඡාවත සංඛාරා තමයි. ඒකයි මෙහෙම අර Zig – Zag ද මොකද්ද කොරලා හදලා තියෙන්නේ

   ‘ඉතිං මෙව්වා කඩා වැටෙන්නේ නැද්ද?

   ‘වැටෙනවා වැටෙනවා, එතකොට ආයේ හදන්න ඕනේ. වැස්ස කාලෙට වතුර පිරෙනවා, මෙව්වයේ බැහැලා ඉඳලා, අපේ කකුල්වල ඇඟිලිකරු කුණුවෙලා මිනීකුණු ගඳ ගහනවා, සරපයි එනවා මෙව්වා අස්සට වැස්ස කාලෙට, සමහරු මැරිලත් තියනවා සරපයි ගහලා, යුද්දේ දුකයි ආයිබොවං

   ‘අනේ මොටදෑ ඔච්චර නහින්නේ? නිකං කණු හිටෝලා, හොඳ වැටක් ගැහුවනම් ඉවරනේ

   ‘එහෙම කොහොමැයි කොරන්නේ? එව්වා කඩාගෙන එනවා එතකොට. මම තව ඉස්සරහදි කියන්නංකෝ

   ‘එහෙනං ඉතිං බැකෝ එකක් දාලා හාරනවකෝ

   ‘එහෙම කොරන්ට පුළුවං වෙන්නේ, බැකෝ එකේ සද්දේ සතුරාට ඇහෙන්නේ නැත්තං විතරයි. අනික, යුද්ද භූමියේ හැම තැනටම බැකෝ ගෙනියන්න බෑ. මහා ඝන කැලේ තියනවනං කොහොමද ගෙනියන්නේ

   සතුරා අපට ප්‍රහාර එල්ල කරන පැත්ත අනුව, අපිට පුළුවන්, යුද අගල දිගේ එහාට මෙහාට යමින්, සතුරාව ඉලක්ක කරගන්න. එමෙන්ම, ඈත සිට බලනවිට, සතුරාට තේරුම්ගන්න අමාරුයි, අපේ යුද අගලේ පිහිටීම.  

   සටනේ ප්‍රබලත්වය, කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීම, ගැන සලකා බලා, ක්‍ෂණිකව ඉදි කළහැකි, තවත් බාධක වැටක් තිබෙනවා. ඒ තමා, කොන්සර්ටීනා වයර් – Concertina Wire යනුවෙන් හැඳින්වෙන, සර්පිලාකාරව සැකසූ, ඉතා තියුණු තුඩු සහිත, කටුකම්බි රෝල් විශේෂය යෙදවීම. පසුගිය යුද සමයේ කොළඹ ප්‍රදේශයේත් අධි ආරක්‍ෂාව අවශ්‍ය ස්ථාන වලට, මේ කම්බි යොදවා තිබුනා, ඔබ දකින්නට ඇති. මේවා සාමාන්‍ය කටුකම්බි වගේ නෙවේ. ස්ප්‍රින් එකක් මෙන් ඇදෙනවා. ගැලවුනොත් එකවරම ඇකිලෙනවා. එවිට හැමතැනම පැටලෙනවා. මේවාගේ තියෙන්නේ සාමාන්‍ය කටුකම්බියක මෙන් උල් නෙවෙයි. ඉතා තියුණු කැපෙන සුළු තල විශේෂයක් තිබෙන්නේ. මේ බලන්න. 

e1383b2ff2f34b3d72dff51078e919a9

විශේෂ ඝන අත්වැසුම් නැතුව, මේවා සවිකරන්න යාමත් බොහොම අනතුරුදායකයි.

Concertina

   මේ කම්බි එක පොටක් පමණක් යෙදවීම, එතරම් සාර්ථක නැහැ. පහසුවෙන් ඉවත් කරන්න හෝ කපා දමන්න පුළුවන්. හොඳ වයර් කටර් එකක් විතරයි ඕනේ. 

Wire Cutter

   ඒ නිසා කොන්සර්ටීනා වයර් කිසියම් න්‍යායාත්මක ක්‍රමයකට තමා යොදවන්නේ. එහිදී කම්බි දෙක, තුන, හතර, සහ ඊට වැඩි ප්‍රමාණයන්ගෙන් පවා යොදවනවා. මේ බලන්න එවැනි යෙදවීම්.

1

      මෙහිදී කර තිබෙන්නේ, සතුරාගේ ගමනට බාධා වන පරිදි, කොන්සර්ටීනා වයර් පේලි කීපයක්, ලී කුඤ්ඤ මගින් සවි කිරීමයි.

2

   දෙපස සාමාන්‍ය කටුකම්බි ඇද තිබෙන්නේ තරමක් උසින් පිහිටන ලෙසයි. මැද ඇති කොන්සර්ටීනා වයර් තිබෙන්නේ ඊට පහතින්. සෑහෙන්න දුෂ්කර බාධකයක්.

3

   කොන්සර්ටීනා වයර් තුනක් සවිකර තිබෙනවා. ඒවා දෙකක් උඩ එකක් ලෙස රඳවා තිබෙන්නේ. මේ ආකාරයට වයර් මීට වඩා විශාල ගණනක් වුනත් යොදවන ක්‍රම තිබෙනවා. කපන්න අමාරුයි. කැපුවම ඔක්කොම එකට පැටලෙනවා. මේ තියෙන්නේ cat wire 3 නමැති ක්‍රමය. cat wire 4, 5, වැනි ක්‍රමත් තියනවා.

   අදට මේ ඇති නේද? ඉදිරි කොටස් වලදී තව විස්තර ගොඩක් කතාකරන්න තියනවා. 

2015 ජූලි මස 20 වැනි දින 0007 පැය 

Advertisements

Comments on: "වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (පළමුවැනි කොටස)" (15)

  1. නියමයි. යුද අගල් සහ කම්බි රෝල් දැකලා තිබ්බට මේ විදියට විස්තර කියෝලා නෑ, ස්තුති විචාරක තුමණි

  2. ඔය Trench Warfare එක ගැන මම වැඩියෙන්ම කතන්දර අහලා තියෙන්නේ පළවෙනි ලෝක සංග්‍රාමයට අදාලවයි. WW2 වෙනකොට ඒක සෑහෙන්න වෙනස් වුනා නේද?

    • WW I එකේදී ටමයි යුද අගල් වල ඇති වාසිය තේරුම් ගත්තේ. WW II දී තමයි තාක්ෂණිකව වඩාත් දියුණු යුද අගල් නිර්මාණය කලේ. ලෝකයේ සමහර රටවල සිහිවටන හැටියට තවමත් එවැනි යුද අගල් නඩත්තු කරනවා.

  3. මම හිතුවේ අර යුද අගල ඇදේට හදල තියෙන්නෙ ගුවනේ සිට බැලුවම පහසුවෙන් හඳුනාගත හැකි වීම වලක්වන්න කියලයි.

    දුක්බර යුද්ධය ගැන හරිම රසවත් ලිපියක්.

  4. යුද අගල් ගැන නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මේ ලිපියෙන්. යුද අගල් ගුවනින් නිරීක්ෂණය නොවෙන්න සමහර වෙලාවට අර දැලක් වගේ එකකින් වහනවා නේද? ඒවා ගැනත් පුලුවන්නම් ලියන්න විචාරකතුමා. බොහොම ස්තුතියි ඔබතුමාට.

    • ස්තුතියි ඇගයීම ගැන. ඔව් එවැනි දැල් තියනවා. නමුත් එක දිගය කිලෝමීටර් ගණනාවක් දැම්මොත් ගුවනින් යද්දී පෙනෙනවා අසාමාන්‍ය දෙයක් පොළොවේ තිබෙන බව. ඉදිරි කොටස් කියවා බලන්න.

  5. අර වයර් වර්ගය නම් නොයෙක් වර දැක තිබෙනවා. ඒකක් අස්සෙන් රිංගන්න යනවා කියන්න‍ෙ සියතින්ම ගෙල සිඳ ගැනීමක් කියලා තමයි මටත් නොයෙක් වර හිතුනෙ. මේ වයර් විශේෂය ගැනත් යමක් කියන්නකො විචාර තුමා…ඉතිහාසය සොයාගත් කෙනා ආදී ලෙස.

    • එක සැරයක් මගේ යුනිෆෝම් කලිසම යන්තම් පැටලුනා කොන්සර්ටීනා වයර් එකක අඟල් 6 ක් විතර දිගට කලිසම ඉරුනා. කොන්සර්ටීනා ඉතිහාසය ගැන හොයලා බලලා ලියන්නම්.

  6. […] කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ […]

  7. […] මයින්ස්) යොදවා තිබුනේ නැහැ. කොන්සර්ටිනා වයර් හෝ කටුකම්බි පමණයි […]

  8. […] මයින්ස්) යොදවා තිබුනේ නැහැ. කොන්සර්ටිනා වයර් හෝ කටුකම්බි පමණයි […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: