විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් මගින් ඒවා තිබුනේ, මා එම ඡායාරූප කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසයි. 

   මට මේ ඡායාරූප ලබාදුන් මගේ මිත්‍රයා සඳහන් කල පරිදි, මෙවැනි ඓතිහාසික ඡායාරූප විශාල එකතුවක්, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මෙම පින්තූරත්, එයින් ලබාගත් ඒවා වන්නට පුළුවන්.

    මේ සෑම පින්තූරයකටම මාතෘකාවක් යොදා තිබුණා. නමුත් ඒ මාතෘකාව පින්තූරය සමග දැක්වුණේ නැති නිසා, මා එම මාතෘකා නැවත මේ පින්තූර මත යෙදුවා. ඒ සමගම, මේ පින්තූර ගැන යම් හැඳින්වීමක් කරන්නටද මා සිතුවා. එහෙනම් අපි බලමු මේ පින්තූර. 

   හපුතලේ සීතල, මේ පින්තූරයෙන් මොනවට පිළිබිඹු වෙනවා. මෙහි දැක්වෙන බරකරත්ත අදනම් දකින්නට නැහැ. ගොනුන් දෙදෙනෙකු බඳින මෙවැනි කරත්තයක, අද තිබෙන කුඩා ලොරියක ගෙනයන තරම් බරක් ගෙනයනවා. 

   ඒ කාලයේ, නුවරඑලිය කොතරම් පාලු ස්වභාවක ගන්නට ඇද්දැයි, මේ පින්තූරයෙන් පෙනෙනවා. මේ පින්තූරය ගත් ස්ථානයේම සිට, අද පින්තූරයක් ගත්තොත්, අර ඈත පෙනෙන කඳු, හොරෙන් කපා අල්ලාගෙන, ගෙවල් හදාගෙන, එළවලු වගාකරගෙන, ඉන්න හැටි පෙනෙනවා. පසුගිය අවුරුදු 20 ක පමණ අතීතයේ, මා දුටු නුවරඑළිය සහ අද අතරත් විශාල වෙනසක් තිබෙනවා. මේ පින්තූරයේ දැක්වෙන ග්‍රෙගරි වැව, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කළ නිර්මාණයක්.

   මේ පින්තූරය ලංකාවේදී ගත් එකක් ලෙස මා නම් විශ්වාස කරන්නේ නැහැ. 1885 දී, සුද්දන්ට, අපේ රටේදී කාලතුවක්කු පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. පළමුවැනි ලෝක යුද්ධය ඇරඹුණේ 1914 දී පමණ, දෙවැනි ලෝක යුද්ධය 1942 දී පමණ. ඒ අවස්ථා වලදීවත්, මෙවැනි කාලතුවක්කු, ලංකාව ඇතුළත පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. 

   මේ ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක් බව, මට සෑහෙන්න විශ්වාසයක් තිබෙනවා. මෙහි අලි පිට ඉන්න අය ඇඳලා ඉන්නේ, ඉන්දියානු ක්‍රමයේ යුද හමුදා නිළ ඇඳුම්. පාර අයිනේ තියන කරත්තයේ, කරත්තකරු ඇඳගෙන ඉන්න ඇඳුමත්, ඉන්දියානු දෝතියක් වගේ එකක්. ඒ කරත්තයේ බැඳ සිටින ගොණුන්, ඉන්දියාවේදී බහුලව දකින්නට ලැබෙන වර්ගයක්. 

   මෙහි මුල් පින්තූරයේ දැක්වෙන්නේ Bandarawela කියා නොවෙයි Bandarawilla කියායි. බණ්ඩාරවෙල ගැන දන්නා අයට, මේ කොතනද කියා හඳුනාගැනීම එතරම් අපහසු නැහැ. මේ කරත්ත එන්නේ, හපුතලේ පැත්තේ සිට. මේ හරිය නගරයට සහ බණ්ඩාරවෙල දුම්රියපොළට ආසන්න ප්‍රදේශය. මේ පින්තූරයේ දකුණු පැත්තේ ඇති බෑවුම, අදනම්, ගොඩනැගිලි වලින් පිරිලා තියෙන්නේ. 

   අපි කුඩා දරුවන් කාලේ, මේ ස්ථානයෙන් බස් රථයක යාම, තරමක් ත්‍රාසය ඇති කරවන දෙයක්. ඒ කාලයේ, අදමෙන්, ද්‍රාව පීඩක බලයෙන් යුත් සුක්කානමක්, කිසිම මෝටර් රථයකට තිබුනේ නැහැ. මේ ස්ථානයට ආසන්නවම, පහලින් තිබෙන වංගුව එකවර ගැනීමට බර වාහනවලට බැහැ. කීප වරක් ඉදිරියට පසුපසට ගෙන තමයි, වංගුව ගන්නේ. මේ අසළ, පහලින් තේ කම්හලක් තිබුණා. 1960 දශකයේදී, මහනුවර දෙස සිට පැමිණි ලොරියක්, පාලනය කරගත නොහැකිව, එම තේ කම්හල තුළට කඩා වැදී, මහත් විනාශක් වුණා. මේ ආසන්නයේ ඇති මහා ප්‍රපාතයට, වාහන වැටුණු අවස්ථා තිබෙනවා. 

   එකල ජනජීවිතය මැනැවින් පිළිබිඹු කරන ඡායාරූපයක් ලෙස, මෙය දක්වන්නට කැමතියි. බලන්න, උඩරට නිළමේ වරයකු පළඳින, සාම්ප්‍රදායික හිස් වැස්මක් පැළඳි අයකුද, මෙහි ඉන්නවා. ඇඳුම් වල සැකැස්ම ගැන බලන්න පිරිමි අය උඩුකය නිරාවරණව ඉන්නේ. 

   ඡායාරූපකරණ විෂයය අතින් ගෙන බැලුවොත්, ඒ කාලයේ තිබුන පහසුකම් යටතේ ලබාගත්, ඉතා හොඳ ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය බොහෝවිට හපුතලේ, බණ්ඩාරවෙල, ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්. 

   බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ තේ වගාව ආරම්භ කළ පසු, එය සීඝ්‍රයෙන් පැතිරුනා. බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, ‘රික්ෂෝ’ එකකින්. 

   මට පෙනීයන ආකාරයට, මේ ගම්පොල හෝ තලවාකැලේ ප්‍රදේශයයි. මෙය මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශය කියා මට හිතෙනවා. 

   ගොල්ෆ් ක්‍රීඩාව, 15 වැනි සියවස දක්වා ඇදීයන ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. එපමණක් නොවෙයි, ඔහුට ඒ ගොල්ෆ් කලාපය ගැන මනා විශේෂඥ දැනුමක් තියනවා. ඔහු ක්‍රීඩකයාට උපදෙස් දෙනවා, ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩා කළයුතු ආකාරය ගැන. 

   කොළඹ තිබෙන රජ ගෙදරට අමතරව, තවත් රජ ගෙදර කීපයක් ලංකාවේ තියනවා. මේ තිබෙන්නේ, නුවරඑළියේ තිබෙන රජ ගෙදර. වර්තමානයේ ජනාධිපති මන්දිරය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. අදටත් මේ මන්දිරය මේ ආකාරයෙන්ම පවතිනවා. 

   

  අද මේ නමින් හෝටලයක් නුවරඑළියේ තිබෙනවාදැයි මා දන්නේ නැහැ. මෙවැනි හෝටල්, ඒ කාලයේ, සුදු ජාතිකයන්ට පමණක් සීමාවූ ඒවා බව සඳහන් වෙනවා. 

   මේ ඡායාරූපය ගත් තැන සිට අද ඡායාරූපයක් ගත්තොත්, නගරයක් මැද ඉන්නවා මෙන් පෙනෙනු ඇති. කෙසේ වෙතත්, නුවරඑළියේ මේ ගොල්ෆ් ක්‍රීඩා කලාපය, අදටත් හොඳින් ක්‍රියාත්මකව පවතිනවා. 

   ඒ කාලයේ සිටම, මාළිගාවේ ඇතාට, ලොකු තැනක් තිබුන බව මේ පින්තූරයෙන් පෙනෙනවා. අපි පාසල් යන කාලයේ, මට මතකයි සමහර පුද්ගලයන් හැඳින්වුණා, ‘මාලිගාවේ ඇතා වගේ’ කියලා. එයින් අදහස් කළේ, සියලු සැප සම්පත් නොමිලේ ලබාගනිමින්, කිසිදු කාර්යයයක නොයෙදී, සැපට ඉන්න කෙනා යන අදහසින්. 

   මේ ඡායාරූපයෙන් දීර්ඝ විස්තරයක් පෙන්නුම් කරනවා. බ්‍රිතාන්‍ය පාලකයන්, මාලිගාව සංරක්ෂණය කරන්නට, කිසිදු පියවරක් ගෙන නැති හැටිත්, මාලිගාව කොතරම් අභාවයට ගොස් ඇතිද යන්නත්, පෙනෙනවා. 

   මගේ මිත්‍රයා සතුව තවත් මෙවැනි පින්තූර අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ලැබෙන ආකාරයට පසුව පලකරන්නම්. 

2015 ජූලි මස 08 වැනි දින 0022 පැය

Advertisements

Comments on: "මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස)" (26)

  1. අනේ නියමයි .. ගොඩක් ස්තුතී විචාරක තුමා..

  2. හරිමවටිනා දුර්ලභ පින්තූර ගොනුවක් ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  3. කුරුටු ගෑ ගී පවුර said:

    රූප ටිකම බාගත කරගත්තා…. ඒ තරම් වටිනවා….. අගනා රූප ටිකක්… වටිනා සටහනක්

  4. අන්තර්ජාල වෙළදාම තුල මෙවැනි ඡායාරූප පිටපත් වලට හොද වෙළදපලක් තියෙනවා.මේ ගෙදර ඉදන් කරන්න පුලුවන් රස්සාව ලෝකේ පුරාම වැඩියම කරන්නේ.විචාරක මාමා වගේ පෙන්ෂන් ගිහින් ගෙදර ඉන්න අංකල්ලා.

    අවසර ඇතත් නැතත් ඔන්න මං පොටෝ ටික උගුල්ල ගත්තා.
    බොහෝම ස්තුතියි.!

    • අම්මෝ……………..බිස්නස් කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. කාගේත් දැනුම සහ විනෝදය සඳහා පමණයි ඉදිරිපත් කළේ.

  5. කලින් දැකල නැති ෆොටෝ ටිකක්. ස්තුතියි

  6. වර්ථමානය පවතින විදියෙ පින්තූර ටිකක් එක්ක ගලපලා ඩාන්න තිබ්බ නම් මරු.

    • ඔබ මීට පෙර මේ පැත්තේ ආව බවක් මතකයේ නැහැ.

      මටත් කීප වතාවක්ම හිතුන දෙයක් ඔබ කියා තිබෙන්නේ. ඇත්තටම මේ තැන්වල අද තත්වය පෙන්වන පින්තූරයකුත් දාන්න තිබුණානම් වෙනස හොඳට පෙනෙනවා. ස්තුතියි ඒ අදහසට.

  7. දැන් විචාරකට පුලුවන්නේ වාහනෙයි කැමරාව විවේකයයි ඔක්කොම තියෙන එකේ මේ තැන්වලට ගිහින් මේ ඈන්ගල් එකම හොයලා එතනම හිටගෙන් මේ ෆෝටෝස් නැවත අරන් ජෝඩු ජෝඩු දාන්න.

  8. බොහොම ස්තුතියි විචාරකතුමාට මේ වගේ දුර්ලභ ඡායාරූප අපිත් එක්ක බෙදාගත්තට. ඉතුරු ටිකත් ලැබුණාම දාන්න.

  9. බුකියේ නම් “old ceylon” පේජ් එකක් තියනවා. ඔබතුමාට හෝ මිතුරාට මේව එයට එක් කරන්න හැකිනම් බොහෝ දෙනෙක්ට බලා ගත හැකි වේවි. මේ පේජ් එකේ නම් බොහෝ පින්තූර එය ලබා දුන් කෙනාගේ නමත් සමගයි ඇත්තේ.
    https://www.facebook.com/OldeCeylon/photos_stream

  10. ප්‍රේමවන්තයා said:

    වටින පින්තූර එකතුවක්….තලවකැලේ පින්තූරයෙන් පේන්නේ විචාතුමෝ තලවකැලේ රේල් පාර යන පාලම….කෝච්චියෙන් යනකොට ඔය තැන හරි ලස්සනට පේනවා…කෝච්චියෙ පිටිපස්සෙ පෙට්ටියක ඉඳන් ඔය පාලම උඩින් කෝච්චියෙ ඉස්සරහ යනව බලන් ඉන්න ලස්සනයි…ඔතන ලොකු වංගුවක් තියෙන හින්දා ඒක ලස්සනට පේනවා

  11. සෑහෙන දොහකින් මේ පැත්තට ආවෙ…කාල වෙලාව බොහොම සීමිතයි දැන්…පදක්කම් ගැන ලියපු ලිපි දෙකක් විතර මග ඇරුනා…හෙට කියවන්නම් ඒවා…මේ පින්තූර අතරින් එදා ජන ජීවිතයයි…නුවර එළියෙ පින්තූර වලටයි මම ගොඩාක් කැමතියි..අද නුවර එළි ගියාට ස්වභාව සෞන්දර්ය වෙනුවට ගොඩනැගිලි තමයි විදින්න වෙලා තියෙන්නෙ…එදා ජන ජීවිතය කොයි තරම් සරළද කියලා පින්තූරය දැක්ක ගමන් පේනවා…ඒ සරළ කම ඇතුල‍ෙ ඒ මිනිස්සු සතුටින් ජීවත් වෙන්න ඇති කියලයි මම හිතන්නෙ. ඔයා කා‍ලෙ අපිත් ජීවත් වෙන්න ඇති…කොහෙද ඉතිං…පෙර ආත්මය මතක තියෙන එකක්යැ.

    • අම්මපා සිරෝ මම මේ පින්තූර බලලා හිතනදෙමයි උඹත් හිතලා තියෙන්නේ. ඒ කියන්නේ පෙර ආත්මයක බැඳීමක් ඇති.

      කලින් ආවත්, පරක්කුවෙලා ආවත් කමක් නැහැ. එන එක තමයි වැදගත්. බොහොම ස්තුතියි ආවට.

  12. ස්තුතියි මල්ලි….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: