විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


WO II Percy Perera    තවත් දීර්ඝ ලිපි මාලාවක අවසානයි මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ. බොහෝ දෙනා තුළ, හමුදාමය කරුණු ගැන දැනගන්නට මහත් කුතුහලයක් තිබෙන බව, මා බ්ලොග් ලිවීම ආරම්භ කරන්නටත් පෙර, දැන සිටියා. ඔබ වෙනුවෙන් මෙසේ හමුදා තොරතුරු ඉදිරිපත් කරන්නට ලැබීම සතුටක්.  

   අප මෙතෙක් සාකච්ඡා කල හමුදා පදක්කම් ගැන තවත් තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් කියවන්නට ඔබට අවස්ථාවක් නොලැබුණා නම්,  

කියවන්නට පුළුවන් බව මතක්කරනවා. 

   මේ ඉහත තිබෙන පින්තූරයේ සිටින්නේ, අද අප අතර නැති, යුද විරුවෙක්. මොහු දෙවැනි ලෝක යුද සමයේදී ලාංකිකයකු වශයෙන් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී මැදපෙරදිග ප්‍රදේශයේ මහ යුද්ධයේදී සේවය කළ, බලලත් නිලධාරි II පර්සි පෙරේරා. අවුරුදු 92 ක් ආයු වළඳා 2010 වසරේදී අභාවප්‍රාප්ත වුනා. බලන්න ඔහු පැළඳ සිටින්නේ බ්‍රිතාන්‍ය හමුදා පදක්කම්. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සොල්දාදුවෙක්. මෙවැනි අය රාශියක් අපට හිටියා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පවා ගෙවන්නේ බ්‍රිතාන්‍යයෙන්.

   

   දැන් ඔබට අපේ හමුදාවේ පදක්කම් ගැන සතුටුදායක අවබෝධයක් තිබෙනවා. අද අපි මුලින්ම බලන්නේ වෙනස් විදිහක පදක්කම් වර්ගයක් ගැනයි. සාමාන්‍යයෙන් පදක්කමක් රවුම් හැඩයෙන් තිබෙන බව ඔබ දන්නවා. එහි විෂ්කම්භය සෙන්ටි මීටර් 3.5 ක් පමණ වනවා. නමුත් සෑම පදක්කමක්ම ඊට වඩා කුඩාවට සකසා නිකුත් කරනවා. එහි ප්‍රමාණය සෙන්ටි මීටර් 2.5 ක් පමණ වනවා. ඊට අනුකූලව පීත්ත පටියේ පළල ද අඩුවෙනවා. මොකටද මේ කුඩා පදක්කම්? මේ පදකම් විශේෂයෙන් පළඳින්නේ අධිකාරිලත් නිළධාරීන් ඒ කියන්නේ දෙවැනි ලුතිතන් සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා නිළධාරීන්. සෙසු නිළයන් අතරින්,  මෙවැනි කුඩා ප්‍රමාණයේ පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ බලලත් නිළධාරි I තනතුරේ අයෙකුට පමණයි. මේ පදක්කම් වර්ගය හඳුන්වන්නේ Miniature Medals යනුවෙන්. 

   කුමන අවස්ථා වලදීද මේ පදක්කම් පළඳින්නේ? 

   

   නිළධාරී නිවස්නයක පැවැත්වෙන සාම්ප්‍රදායික හමුදා සාද (විසිර යාමේ පෙළපාලියකට අදාලව පැවැත්වෙන රාත්‍රී සාද, රෙජිමේන්තු/බලඇණි සංවත්සරයක් වෙනුවෙන් පැවැත්වෙන සාද වැනි) වලදී අඳින අංක 3 නිළ ඇඳුමෙහි තමයි මේ කුඩා පදක්කම් පළඳින්නේ. මේ බලන්න, ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් වරයකු, තම නිළ ඇඳුමේ මෙම කුඩා පදක්කම් පැළඳ සිටින ආකාරය.  

   යුද හමුදාවෙන් විශ්‍රාම ගත් නිලධාරීන්ටත්, ජ්යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ටත් (සැරයන් සිට බලලත් නිලධාරි I දක්වා) එවැනි සාදයකට ඇරයුම් ලැබුණොත්, මෙම කුඩා පදක්කම්,, තමන් අඳින යුරෝපීය ඇඳුමේ කෝට් එකෙහි පළඳින්නට පුළුවන්. එමෙන්ම විශ්‍රාමික නිලධාරියකුට පුළුවන්, යුද හමුදා අවමංගල්‍ය උත්සවයකට සහභාගි වන අවස්ථාවකදීද, මෙම පදක්කම් පළඳින්නට. 

   තමන්ට තිබෙන පදක්කම්, හිතෙන හිතෙන විදිහට, ඕනෑම නිල ඇඳුමක පළඳින්නට බැහැ. ඒ සඳහා අදාළ හමුදා නියෝග තිබෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවේ, පහත දැක්වෙන නිළ ඇඳුම් වල පමණයි, පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ; 

අංක 1 නිළ ඇඳුම; 

අංක 2 නිළ ඇඳුම; 

අංක 3 නිළ ඇඳුම; 

අංක 4 නිළ ඇඳුම; 

   යන නිළ ඇඳුම්වල පමණයි. කාන්තා සෙබළියන්ට/නිළධාරිනියන්ට කියා වෙනසක් නැහැ. 

   මා දන්නවා දැන් ඔබට විශාල ගැටළුවක් තිබෙනවා ඒ ඒ අංකයට අදාළ නිළ ඇඳුම යනු කුමක්ද? හමුදාවේ එවැනි නිළ ඇඳුම් වර්ග කීයක් තිබේද? කියා. ඒ සියල්ල විස්තර කෙරෙන ලිපියක් වෙනමම ලියන්නම්. 

   පදක්කම් පළඳින්නට දෙන්නේ, මේ නිළ ඇඳුම් හතරේ විතරක් නම්, මොකක්ද පදක්කම් වලින් ඇති වැඩේ? අනික් වෙලාවට කවුරුවත් දන්නේ නැහැනේ, ඒ ඒ හමුදා පුද්ගලයාට තිබෙන පදක්කම් මොනවද කියලා? 

   පදක්කම් කියන්නේ යම්කිසි ගෞරවාන්විත පළඳනාවක්. ඒවා ඔය හැම වෙලාවේම එල්ලගෙන ඉන්න නෙවෙයි තියෙන්නේ විශේෂ අවස්ථා වලදී පමණක් පළඳින්න. අනික් එක හොඳින් බලන්න මේ අංක 1 සිට 4 දක්වා නිළ ඇඳුම් දෙස. ඒවා සාමාන්‍යයෙන් යුද්ධයට අඳින නිල ඇඳුම් නොවෙන බව පේනවා නේද? ඒවා විශේෂ උත්සව අවස්ථා වලදී පමණක් අඳින නිළ ඇඳුම්.

   අනෙකුත් නිළ ඇඳුම් වලදී, ඒ කියන්නේ අංක 5, 6, 6A, 7, යන නිළ ඇඳුම් වලදී, මෙම පදක්කම් නියෝජනය කරන්නේ වර්ණ පටි විශේෂයකින්. සාමාන්‍ය හමුදා ව්‍යවහාරයේදී ඒවා හඳුන්වන්නේ, Service Ribbons හෙවත් Service Bar යනුවෙන්. මේ වර්ණ පටියක් කියන්නේ පදක්කම සමග ලැබෙන පීත්ත පටියෙන්ම කපාගත් අඟල් 1 .25 ක පමණ කෑල්ලක්. එය පිත්තල තහඩුවක, තදින් ඇදී සිටින සේ ගම වර්ගයකින් හෝ මැහුම් යෙදීමෙන් රඳවනවා. මේ බලන්න, මෙන්න මේකට තමයි සර්විස් බාර් එක කියන්නේ. 

අපි බලමු, පදක්කම් පළඳින්නේ කොහොමද කියලා.  

   දැන් ඔබට වැටහෙනවා ඇති පදක්කම් සහ සර්විස් බාර් එක අතර වෙනස.

   පදක්කම් සම්බන්ධ තවත් නීති රීති තිබෙනවා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ සෑම පදක්කමකටම, ජ්‍යොෂ්ඨත්වයක් ලබාදී තිබීම. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ කිසිම කෙනෙකුට බැහැ, තමන්ට හිතෙන හිතෙන විදිහට පදක්කම් පළඳින්න. සර්විස් බාර් එකේ රිබන් කෑලි හයිකරගන්න. අර ජ්‍යොෂ්ඨත්වය අනුව තමයි, පැළඳිය යුත්තේ. 

   ඒ අනුව ජ්‍යොෂ්ඨත්වයෙන් වැඩිම පදක්කම, තම නිළ ඇඳුමේ පපුව මැද්දට වන්නට පැළඳිය යුතුයි. කණිෂ්ඨතම පදක්කම තමා පපුවේ වම්පස කෙළවරට වන්නට පැළඳිය යුත්තේ. තමන්ට ලැබී තිබෙන පදක්කම් ප්‍රමාණය අනුව, හමුදා නියෝගයේ දක්වා ඇති ආකාරයට, තම පදක්කම් සකසාගත යුතුයි. 

 

   එතකොට සර්විස් බාර් එක? ඒකත් එහෙමම තමයි. නමුත් ඔබට පෙනෙනවා ඇති, පදක්කම් පැළඳීමේදී,  එක පෙළකට සිටින සේ පළඳින බවත්, සර්විස් බාර් එක පැළඳීමේදී එහි පේළි කීපයක් ඇති බවත්. මොකද ඒ? එතකොට කොතනද ජ්‍යොෂ්ඨතම සහ කණිෂ්ඨතම බාර් කොටස පළඳින්නේ? 

   ඒක කරන්නේ මෙහෙමයි. සර්විස් බාර් එක සැකසියයුතු ක්‍රමයත්, හමුදා නියෝගවල තියනවා. සර්විස් බාර් එකේ එක පෙළට පළඳින්න පුළුවන් රිබන් කෑලි හතරයි. ඊට වැඩි වෙනකොට, පළමුවැනි පෙළට ඉහළින් දෙවැනි පෙළක් යෙදිය යුතුයි. ඒ ආකාරයට පේළි ගණන වැඩිවෙනවා, අලුතෙන් තවත් පදක්කම් ලැබෙනවිට. ජ්‍යොෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ, ඉහළම පේළියේ, පපුව මැදට වන්නට, කණිෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ පහළම පේළියේ පපුවේ වම් පැත්තට වන්නට. 

   තවත් නීති තිබෙනවා. අපි හිතමු, කෙනෙකුට පදක්කම් පහක් තියනවා කියා. ඒ අනුව සර්විස් බාර් එක සකස් කලයුත්තේ, නීතියේ හැටියට, එක පෙළක රිබන් කෑලි හතරක් සහ, පස්වැනි රිබන් කෑල්ල ඊට ඉහළින් පේලියේ නෙවෙයි. එහෙම ගැහුවම කැතයි. ඒ නිසා, පහළ පේළියේ කෑලි තුනක් සහ ඉහළ පේළියේ කෑලි දෙකක් ගහනවා. මේ විදිහට රිබන් කෑලි ගැසීම සඳහා නියමිත ක්‍රමය පහළින් දක්වනවා.  

   රිබන් කෑලි 4,8,12,16, යන අවස්ථා වලදී එන්නේ කෑලි හතරේ පේළි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. රිබන් 10 ක් තියනවා නම්, හතරේ පේළි දෙකයි, දෙකේ පේළි එකයි. 

   යුද හමුදාව සහ ගුවන් හමුදාව මේ ආකාරයට සර්විස් බාර් එක ඇන්දත් නාවික හමුදාව අඳින්නේ වෙනස් ආකාරයකටයි. ඒ ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායයි. එහිදී කරන්නේ දිගින් අඩු පේළිය පහළම පේළිය සේ සලකා ඇඳීමයි. නමුත් රිබන් වල ජ්‍යොෂ්ඨත්වය වෙනස් වන්නේ නැහැ. මේ බලන්න.

   හොඳයි, ඔබ මෙතෙක් වෙලා නොසිතුව ප්‍රශනයක් අහන්නම්. හමුදා සේවයේ යෙදී ඉන්න කෙනෙකු, කරන ලද වීරක්‍රියාවක් හේතුවෙන්, ඔහුට වීර පදක්කමක්, උදාහරණයක් වශයෙන් රණශූර පදක්කම, ලැබෙනවා. කලකට පසු ඔහු නැවතත් එවැනිම වීරක්‍රියාවක් කරනවා. නැවතත් ඔහුට රණශූර පදක්කම ලැබෙනවා. දැන් මොකද කරන්නේ? එකම පදක්කම් දෙවරක් ලැබුන නිසා, පදක්කම් දෙකක් සහ රිබන් කෑලි දෙකක් පළඳිනවද? 

   නැහැ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට වෙනත් සංකේතයක් තමා පළඳින්නේ. එය හඳුන්වන්නේ සන්දාරය – Clasp නමින්. මේ බලන්න, ඒ සන්දාරය කියන ලෝහමය ක්ලිප් එකක් වැනි කොටස, පදක්කමේ රිබන් එකට සවිකර පළඳිනවා. 

   පැළඳ සිටින සන්දාර ගණන අනුව කියන්න පුළුවන්, ඒ පුද්ගලයාට ඒ ඒ පදක්කම, කී වරක් ප්‍රදානය කර තිබෙනවාද කියා. පදක්කම් සමග මෙවැනි සන්දාරයක් පළඳින නමුත්, සර්විස් බාර් එකේ පළඳින්නේ, කුඩා තරුවක් හෝ බොත්තමක් වශයෙන් සකසා ඇති සන්දාරයක්. මේ බලන්න. 

   ඉතින්, හමුදා තොරතුරු ඉදිරිපත් කරන තවත් ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මා හිතනවා මෙයින් ඔබේ දැනුම දියුණු වන්නට යමක් එකතුවන්නට ඇතැයි කියා. හමුදා තොරතුරු ඇතුලත් තවත් ලිපි රාශියක් සැකසෙමින් පවතිනවා. ඔය අතරේ බල්ලෝ බිරුවත්, තවලම ඉදිරියටම යනවා. තවත් ලිපියකින් ළඟදීම හමුවෙමු.

2015 ජූලි මස 2 වැනි දින 1114 පැය

 

Advertisements

Comments on: "මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (හතරවැනි කොටස)" (10)

  1. ඉතාම ඉහළයි විචාරකතුමා

  2. // බල්ලෝ බිරුවත්, තවලම ඉදිරියටම යනවා. //

    ඒ වගේම බුරන බල්ලන්ට ගල් ගහන්න නැවතුනොත් අපේ ගමන යන්න වෙන්නේ නෑ. 🙂

    බ්ලොග් අවකාශයේ ඇති එකිනෙකට වෙනස් බ්ලොග් අතරින් හමුදාමය ක්ෂේත්‍රය නියෝජනය කරන එකම සිංහල බ්ලොග් අඩවිය මේක. ඔබතුමා වැනි පරිණත නිලධාරියෙක් ජිවිතේ සැදෑ සමයේදී පවා තමන් සතු දැනුම නවීන තාක්ෂණයත් සමග එකතු කරලා මේ විදිහට සටහන් කර තැබීම ඉතා වටිනා වැඩක්. ඔබතුමා එක්ක අපි හැමදාම ඉන්නවා. ගොඩක් ස්තුතියි මේ වගේ විශාල කැපකිරීමක් සිදු කරමින් බ්ලොග් අඩවිය පවත්වාගෙන යෑම පිලිබදව. ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ පාර්ථනා කරනවා මේ කරන සේවය වෙනුවෙන්.

    • බොහොම ස්තුතියි තාරක. මට පුළුවන් තරම් කාලයක් මේ අඩවිය පවත්වාගෙන යනවා.

      පාරේ යනකොට මග ඉන්න අවලම් පර බල්ලන් කාටත් බුරනවානේ. නමුත් අපි දැනගන්න ඕනේ අපිත් ඒ බල්ලන්ගේ තත්වයට නොවැටී අපේ ගමන යන්න. හබැයි ඉතින් ඉඳල හිටලා ඒ බල්ලෙකුට ගලකින් ගැහුවම කෑ ගහනවා සෑහෙන වෙලාවක්. ඊට පසේ ගල් පාරෙන් තුවාල වුන තැන ලෙවකකා ඔක්කොටම බුරනවා. තව ගල් පාරක් වදිනතුරු.

      මොනවා කරන්නද බල්ලෝ ජාතක වෙලා ඉන්නේ බල්ලන්ට බැල්ලියන්ට නේ. ඔන්න ඔහේ අපි අපේ වැඩක් බලාගම්මු නේද?

  3. තිස්ස දොඩන්ගොඩ said:

    බොහොම ස්තූතියි ඔබට..
    අර කිව්වත් වාගේ සිංහල වෙබ් අවකාශයේ මෙවැනි තොරතුරු සොයාගන්න වෙන තැනක් ඇස ගැටිලා නෑ
    ඔබට ලිවීමේ හැකියාව හා තොරතුරු තාක්ෂණ දැනුම ඇති නිසා මේ ලියැවිල්ල ගොඩක් සරු එකක් වී ඇති යැයි හැඟේ…
    වයස තරාතිරමක් නැතිව දැනුමක් ලැබෙන ලිපියකි…
    ජයවේවා…
    නිල ඇඳුම් ගැනත් ලියන්න… අප බලා ඉන්නවා…

  4. විචාරක තුමා, එක රටක හමුදා පදක්කමක් වෙනත් රටක සෙබලෙක්ට පිරිනැමිය හැකිද? පිරිනැමුවහොත් ඒවා පලඳින්නේ සාමාන්‍ය ක්‍රමයටමද?

    • ඔබට බොහොම ස්තුතියි ඉතා වටින ප්‍රශනයක් ඇසීම බහ. ඇත්තෙන්ම මේ ගැන ම ලිපියේදී ලියන්න මට අමතක වෙලා.

      විදේශීය පදක්කම් ගැන ලෝකයේ බොහොමයක් රටවල තිබෙන පොදු ප්‍රතිපත්තිය මෙයයි.

        1 යම්කිසි රටක සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයකු/සාමාජිකයන් වෙනත් රටක රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් හෝ, පාඨමාලාවත් හැදෑරීම වෙනුවෙන් හෝ, වෙනත් ආකාරයක ඇගයීමක් වෙනුවෙන් හෝ පදක්කමක් පිරිනමනු ලැබුවහොත්, එම පදක්කම සිය නිල ඇඳුමේ පැළඳීමට නම්, තමන්ගේ රටේ ඒ පිලිබඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, අදාළ අමාත්‍යාංශය/සේනාධිනායක/ ගේ පූර්ව අනුමැතියක් ලබා තිබිය යුතුයි. එසේ නැතිව පළඳින්නට බැහැ. සිහිවටනයක් ලෙස තමන් ළඟ තබාගත හැකියි.

      2 මටත් විදේශීය පාඨමාලාවකදී ලැබුන ලස්සන බැජ් එකක් තියනවා. නමුත් එය මගේ නිල ඇඳුමේ පළඳින්න අවසර නැහැ. නමුත් මම අදටත් එය මගේ බ්ලේසරයේ පළඳිනවා, හමුදා උත්සව වලට යනවිට. ඒ සඳහා තහනමක් නැහැ. බ්ලේසරය නිල ඇඳුමක් ලෙස සලකන්නේ නැහැ.

      3 ඔබත් මමත් රටවල් දෙකකට අයත් හමුදාවල සාමාජිකයන් කියා හිතන්න. රාජකාරිය සඳහා ඔබ මගේ රටට හෝ මා ඔබේ රටට යනවා. අදාළ කාර්යය අවසානයේදී වෙන්වීයාමට පෙර අපි දෙදෙනා සිහිවටන වශයෙන් දෙදෙනාගේ පදක්කම් එකක් දෙකක් හුවමාරු කරගන්නවා. නමුත් ඒවා කවදාවත් නිල ඇඳුමේ පළඳින්නට බැහැ. ඒ සඳහා රජයේ අවසරය තිබිය යුතුයි.

  5. බුද්ධික පෙරේරා said:

    බොහෝම ස්තුතියි දැනුම අප හා බෙදාගන්නවාට

    වාහනවල තරු ගහගෙනයන්නේ කවුද?
    රතු පසුබිමේ රත්තරං තරුවක් හෝ දෙකක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: