විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


hqdefault   අවමංගල්‍ය උත්සව වලදී, ශෝකප්‍රකාශ කවි ගායනා ඉදිරිපත් කිරීම, අපි කුඩා දරුවන් කාලේ තිබුන සිරිතක්. මට මතකයි, ඒ කාලයේ, (1960 දශකයේ) අවමංගල්‍ය උත්සව වලදී, මෙවැනි ශෝකප්‍රකාශ කවි ගායනා හතරක් පහක්වත්, අහන්න පුළුවන්. බොහෝවිට මේ කවි පන්ති ගායනා කරන ලද්දේ, තරුණියන් විසින් වීමත් විශේෂයක්. ඔවුන්ගෙන් බොහෝ දෙනා, මේ කවි ගායනා කරන අතර, (බොහෝවිට ගායනා කළේ, භූමිදානය හෝ ආදාහනය කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී)  කඳුළු සලමින් එය කළ හැටිත්, අවමංගල සභාවේ සිටි කාන්තාවන් මෙන්ම සමහර පිරිමි අයද, කඳුළු සලමින්, එය අසා සිටි හැටිත්, මට මතකයි.  වර්තමාන පරපුරේ සෑහෙන පිරිසක්, මේ කවි කොළ ශෝක ප්‍රකාශ දැක නැතුව ඇතැයි, මට හිතෙනවා. 

   ඒ කාලයේ, මේ කවි පන්ති, සමහරවිට ඒ අවමංගල්‍යය වෙනුවෙන් අලුතෙන්ම පබඳින ලද ඒවා වූ අතර, තවත් සමහරක්, එකල ‘අච්චු කන්තෝරු’ නමින් ප්‍රසිද්ධ මුද්‍රණාල වල තිබුණා. තමන්ගේ අවමංගල්‍යයට ගැලපෙන ලෙස, පද කීපයක් වෙනස්කර, කවි පන්ති සකසා ගැනීමට, ඒ අච්චු කන්තොරුවෙදීම පුළුවන්. හරියට දැන් ඩිජිටල් බැනරයක්, අද භාෂාවෙන් ‘ඩිජිටල් ප්‍රින්ටින්ග් ස්ටුඩියෝ’ එකකදී පරිගණකයෙන් තෝරාගෙන, එම ආකෘතිය, අපේ අවශ්‍යතාවට ගැලපෙන්නට සංස්කරණය කරගන්නවා වගේ.

   (ඇත්තටම දැන් තියන ඩිජිටල් බැනර්වල ලියා තිබෙන සමහර දේවල්වල, ඇත්තම තේරුම, ඒවා ගහන උදවිය තේරුම් ගන්නවාද කියා සැකයි. ඒ වගේමයි, බැනර් ගහන්න ඉඩ නැති නිසා, මළ ගෙදරට කිසිසේත් සම්බන්ධ නැති ගෙවල්වල, වැට දිගේ බැනර් ගැසීම සාධාරණද? තමන්ගේ බැනරය කැපී පෙනෙන ලෙස එල්ලීමට, මෙච්චර තරග කරන්නේ ඇයි?)

   එමෙන්ම මේ කවිපන්ති ඇතුළත් ශෝකප්‍රකාශ පිටපත්, රැස්ව සිටි පිරිස අතර බෙදාදුන් අතර, අපි ඒවා ලබාගන්නට මිනීමරාගත්තේ නැතුවා විතරයි. ගෙදර ඇවිත්, නැවත නැවත ඒවා කියවීමෙන්, යම් ආස්වාදයක් ලැබීමට අපි පුරුදුව හිටියා. ඒවා සංසන්දනය කොට, ‘මේකට වඩා මේක හොඳයි’ කියා, අපේ අක්කලා කියනවා, මා අසා තිබෙනවා.

   සමහර ශෝකප්‍රකාශ, එක ගමක් නියෝජනය වන පරිදි, ගමේ කීප දෙනෙක් මුදල් යොදවා, මුද්‍රණය කරවනු ලැබූ අතර, සමහර ධනවතුන්, තමන්ගේ නමින් මෙවැනි කවි කොළයක් මුද්‍රණය කර, අහවලා විසින් ඉදිරිපත් කරන ශෝක ප්‍රකාශයයි කියා, ගායනයෙහි දක්ෂ තරුණියක/කාන්තාවක යොදවා, තම නමින් එය  කියවූවා. එය ගායනා කරන අතර, ඔහු මහත් අභිමානයෙන් ඒ ස්ථානයේ රැඳී සිටියා. 

   මට දෑස් දෙකන් අදහාගන්නට බැරි අවස්ථාවක්, ඊයේ පෙරේදා දිනයක, මා සහභාගිවුණු අවමංගල්‍ය උත්සවයකදී, දකින්නට ලැබුණා. ඒ තමයි, දැනට සම්පූර්ණයෙන්ම අභාවයට පත්වී ඇතැයි මා සිතා සිටි, ශෝකප්‍රකාශ කවි ගායනයක්, එම අවමංගල්‍ය උත්සවයේදී අසන්නට දකින්නට ලැබීම. ඒ කවි ගායනය සිදුකරන ලද්දේත්, කාන්තාවන් දෙදෙනෙකු විසින්. ඒ අවස්ථාව, මගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ පටිගතකරන්නට හිතුනත්, අවසානයේදී මා තීරණය කළා, එසේ කරන්නට යාමෙන්, අවමංගල සභාවට යම් බාධාවක්/අපහසුතාවක් ඇතිවෙයි කියා. ඒ වෙනුවට, මා එම ශෝක ප්‍රකාශයේ පිටපතක් ලබාගත්තා. එම ශෝක ප්‍රකාශය, පහත ඉදිරිපත් කරනවා, ඔබේ දැනගැනීමට. 

Scan_20150610_201101

    මේ කවි සම්ප්‍රදායේ අතීත ලක්ෂණ, මේ කවි තුළිනුත් දක්නට ලැබෙනවා. එනම්, මේවා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස සැළකිය නොහැකි, කාව්‍යොක්තියට අනුචිත පද පවා ඇතුළත්, හුදු සිවුපද පමණයි. කෙසේ වෙතත්, මෙහි ඇති විශේෂත්වය වන්නේ, අද ද, මේ පිළිවෙත දකින්නට ලැබීමයි. ජනශ‍්‍රැති පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නෙකුට, මෙය වැදගත් තොරතුරක් වියහැකියි.

   කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මේ ගැන අදහස් දැක්වීමේදී, මියගිය අයට සහ මේ කවි නිර්මාණය කළ අයට, අපහාස වන ආකාරයේ අදහස් දැක්වීමෙන් වළකින්න.

2015 ජූනි මස 13 වැනි දින 1314 පැය

Advertisements

Comments on: "මළ ගෙදර කවි කොලේ" (1)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: