විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Cowerdly & Brave   යුද්ධයක් කරනකොට රටක මුළු හමුදාවම යුද්ධ කරනවද එහෙම නැත්නම් යුද්ධ නොකරණ අයත් ඉන්නවද? හැබෑටම මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මේ ලිපිය ලියන්න හිතුනේ, පහුගිය දිනක, එක්තරා බ්ලොග් අඩවියක, සියල්ල දත් වර්ගයේ මෝඩ ඇනෝවකු විසින් දමා තිබුන, දෙකොනින් හිනායන කමෙන්ට් එකක් නිසා.

   ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ තිබුන බෙදුම්වාදී යුද්ධයේදී, ලක්‍ෂ දෙකක් පමණ වන ශ්‍රී ලංකා යුද හමුදාවෙන්, 10% ක් පමණ තමා, කෙලින්ම යුද්ධයට සහභාගිවී තිබෙන්නේ. ඉතුරු අය, මුරකපොලු බලාගැනීම, සැපයුම්, පරිපාලන, සහ පණිවිඩ හුවමාරු වැනි රාජකාරිවල තමයි, යෙදී තිබෙන්නේ.

   ඉතින් මේ අදහස් කියවා, කාලයකට පසු, හොඳම හමුදා විහිලු කතාවක් කියවූ විට ලැබෙන සතුට ලබමින්, සෑහෙන වෙලාවක් හිනාවෙන්න ඉඩ ලැබුණා. අපේ රටේ තරම් ආරක්ෂක විද්‍යා විශේෂඥයන්, ලෝකයේ වෙන කිසිම රටක නැතුව ඇති. තමන්ගේ ඥාතීන්, මිතුරන්, ත්‍රිවිධ හමුදා සේවයේ යෙදී සිටීම/යෙදීසිට තිබීම නිසා, ඔවුන්ගෙන් ‘අසාදැනනගත් කරුණු hearsay evidence’ පදනම් කරගෙන, එසේ නැතහොත් විවිධ ජනමාධ්‍ය සහ අන්තර්ජාලය පරිහරණය කිරීමෙන්, එහෙන් මෙහෙන් අහුලාගත් දැණුම පදනම් කරගෙන, මෙවැනි අමන පුඟුලන් කරන, හරසුන්, අවලංගු, ප්‍රකාශ, කරුණු නොදත් පාඨක බොහෝ දෙනාගේ, මනස අවුල් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා, යුද හමුදාවක කාර්යභාරය සංක්ෂිප්ත කොට දැක්වීම පිණිස, මේ ලිපිය උපයෝගී කරගන්නවා.

   ඇත්තටම යුද්ධ හමුදාවක ඉන්නවද, යුද්ධ කරන සහ යුද්ධ නොකරණ කියලා වර්ග කරන බලකාය? මේ ප්‍රශ්නෙට උත්තරේ, ඔව්/නෑ කියන එකයි. තමන්ගේ අම්මාව දූෂණය කරන්න හදන එකෙකුට, ගලකින් ගහලා දුවන්න හරි, පොඩි පුතෙක් පෙළඹෙනවා නේද? ඒ පුතා, මහ හැඩිදැඩි මිනිහෙක් එක්ක පොරබදා, තම අම්මාව බේරානොගත්තත්, අර ගල් පහරෙන් ඒ සතුරාව පාලනය කරගන්න පුළුවන්. ඌ අර පොඩි එකාගේ ගල් පහර වැදී, බුදු අම්මෝ…… කියා ඔලුව බදාගත් ඇසිල්ලේ, අර පොඩි එකාට පුළුවන් අම්මවත් ඇදගෙන පනින්න. එහෙමත් නැත්නම් තමන්ගේ මව දූෂණය කරපු එකා, මවගේ බෙල්ල මිරිකන්න කලින්, එතනින් ඉවතට දුවලා, කාව හරි උදව්වට එක්ක ඇවිත්, අම්මගේ ජීවිතය බේරගන්න පුළුවන්. 

   ඔන්න ඔහොම දේවල් යුද්දෙදිත් වෙනවා. ඒ නිසා, කිසිම රෙජිමේන්තුවක්/බලකායක්, යුද්ධ කරන්නේ නෑ කියලා කියන්න බැහැ. අර පොඩි එකා තනියම සටනට යන්නේ නැහැ වගේ, කෙළින්ම පාබල හමුදා භූමිකාව සඳහා නොයොදන රෙජිමේන්තුත්, ලෝකයේ ඔනෑම හමුදාවක තිබෙනවා. නමුත් එයින් අදහස් කරන්නේ නැහැ, ඒ රෙජිමේන්තුවල ඉන්න අය, හදිසියක් වුනාම පැනලා යනවා කියලා. තමන්ට හැකි අයුරින් ඔවුන් සටන් කරනවා. නමුත් යුද්ධයකදී ඉතා කලාතුරකින් තමා, එවැනි තත්වයක් ඇතිවන්නේ. පසුගිය සංග්‍රාම සමයේ දී, අපේ රටේ, එවැනි අවස්ථා එකක් දෙකක් පමණ ඇතිවුණා. ලෝකයේ ඔනෑම හමුදාවක, ‘සටන්කාරී රෙජිමේන්තු – Combatant Regiments’ සහ ‘සටන්කාරී නොවන රෙජිමේන්තු – Non Combatant Regiments’ යනුවෙන් රෙජිමේන්තු වර්ග දෙකක් තියනවා. නාවික හමුදාවේත්, ගුවන් හමුදාවේත් යම් යම් අංශ තිබෙනවා, කෙලින්ම ‘සටන්කාරී භූමිකාව – Combat Role’ සඳහා නොයොදවන.

   මම කියන්නද වැඩක්. මේ ලිපිය කොහොමටත් කොටස් දෙකකටවත් යයි. ඒ නිසා, ඔබටත් කරන්න පොඩි අභ්‍යාසයක් දෙන්නම්. මම පහලින් දක්වනවා, සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව තිබෙන හමුදා සැකැස්ම (NATO Military Organisation) අනුව, යුද හමුදාවක තියන රෙජිමේන්තු සහ බලකා ලැයිස්තුවක්. ඔබට කරන්න තියෙන්නේ, ඔබ හිතන විදිහට මෙන්න මේවා සටන්කාරී, මෙන්න මේවා සටන්කාරී නොවන, කියලා ගොඩවල් දෙකකට දාන එකයි. උත්තරේ මම ඊළඟ ලිපියේදී කියන්නම්. මෙන්න ලැයිස්තුව.

ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව – Engineers Corps

වෛද්‍ය බලකාය – Medical Corps 

සංඥා බලකාය – Signal Corps

පාබල හමුදාව – Light Infantry Regiment

විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව – Electrical and Mechanical Engineers Regiment 

සේවා බලකාය – Service Corps 

කමාන්ඩෝ රෙජිමේන්තුව – Commando Regiment 

පොලිස් හේවා බලකාය – Corps of Military Police 

කාන්තා බලකාය – Women’s Corps 

යුද්ධෝපකරණ බලකාය – Ordnance Corps

ඉංජිනේරු සේවා බලකාය/රෙජිමේන්තුව  – Engineer Services Corps/Regiment 

යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව – Mechanised  Infantry Regiment 

පොදු සේවා බලකාය – General Service Corps 

සන්නාහ සන්නද්ධ බලකාය – Armoured Corps 

කාලතුවක්කු හමුදාව – Artillery Corps 

විශේෂ බලකාය – Special Force

සන්නද්ධ බුද්ධි බලකාය – Military Intelligence Corps

පුරෝගාමී බලකාය – Pioneer Corps

ස්වේච්ඡා හමුදාව – Volunteer Force  

   හොඳට මතක තියාගන්න. මේ, ලංකාවේ හමුදාව පදනම් කරගෙන විතරක් හිතලා, උත්තර දියයුතු ප්‍රශ්නයක් නොවේ.

   ඒ වගේම අතුරු ප්‍රශ්නයක්. යුද්ධය ඉතා දරුණු අතට හැරුනොත්, ශිෂ්‍යභට බලකාය, යුද්ධයට කැඳවනවාද නැද්ද?

   හොඳයි, ඊළඟ ලිපියෙන් හමුවෙමු. 

2015 ජූනි මස 07 වැනි දින 2243 පැය 

Advertisements

Comments on: "යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (පළමුවැනි කොටස)…………….. Combatants and Non Combatants (Part One)" (24)

  1. දානකම් ඉදියෙ..

  2. Ranjan(düsseldorf) said:

    ඕවා එහෙම තමයි විචාරකතුමා.අපේ රටේ තරම් යුධ විචාරකයො කොහෙවත් නැතුව ඇති.ඒ කට්ටියක් යුද්දෙ කාලෙ මාධ්‍යවලින් පොඩි යුද්ධයක්ද කලේ.හමුදාවට උපදෙසුත් දුන්නෙ.

    • අම්මපා ඇත්ත රන්ජන්. ඒ උපදේශකලා කිව්වා විදිහට යුද්ද කලානම අපිට දක්ෂිණ ධ්‍රැවයට තමා පහුබහින්න වෙන්නේ 😀

  3. මෝඩයන්ගේ අදහස් දැක්වීම් ගැන තනිවම හිනාවෙන්න ලැබෙන එකත් සතුටක්. ලිපිය හරිම වැදගත් විචාරක තුමණි. පළමු රාජසිංහ හමුදා සැකැස්ම පිළිබඳව ලැබෙන විස්තර කියවමින් සිටින මට ඒ තේරමු ගැනීමට හා සැසඳීමට මේ ලිපියෙන් ලැබෙන දැනුම වඩාම වැදගත් බව දැනෙනවා.

    • ඇත්ත තමා ගුණසිංහ මහත්තයෝ. තමා මෝඩයෙක් බව නොදන්නා එකාලා සමග වාදයට ගියොත් අපි ඊටත් අන්ත මෝඩයන් වෙනවා.

      හැකිනම් කියවලා බලන්න 1 වැනි විජයබාහු රජතුමා දකුණේ සිට හමුදා තුනක්, නැගෙනහිර පැත්තෙන්, රට මැදින් සහ බටහිර පැත්තෙන් මෙහෙයවා, පොලොන්නරුව අල්ලා ගත්ත හැටි. අද වැනි තාක්ෂණයක් නැතුව කොහොම කලාද මන්දා.

      • ගෙවී ගිය අතීතයේ පවතින්නට ඇත්තේ අපට හිතාගන්නට නොහැකි තාක්ෂණයක් බව විවිධ ක්ෂෙත්‍ර ඔස්සේ කරන අධ්‍යයනයන්හිදී පෙනීයනවා. පළමු විජයබා රජතුමාගේ සටන් උපක්‍රම පිළිබඳව ඔබ පවසන විස්තර ස්වල්පය හා එම මෙහෙවර ගැන අගයනවා මිස එම තාක්ෂණය ගැන විමසීමක් කළ තැනක් තවම හමුවී නැති තරම් විචාරක තුමණි . ඈත අතීතයේ තොරතුරු මනාව ගවේශනයට ප්‍රමාණවත්පුරාවිද්‍යාත්ම දැනුම තවමත් අප ස්වර්ධනය කරගත්තා මදි වගේ. ඒ පිටට කාලයක් තිස්සේ පුරාවිද්‍යාව හා ඉතිහාසය වගේ විෂයයන්ට නොසලකා හැරීමේ ප්‍රවනතාවක් තිබීමත් ඊට හේතු වුනා විය හැකියි.

  4. බොහෝ අයගේ දුර්මත ඉවත් කරන්න ඔබේ මේ ලිපිය ඉවහල් වේවි. ඒත් ඇත්ත දකින්න අකමැති මනුස්සයාට කවදාවත් ඇත්ත පෙනෙන්නේ නෑ..

  5. 1 සටන්කාරී
    පාබල හමුදාව – Light Infantry Regiment
    සංඥා බලකාය – Signal Corps
    කමාන්ඩෝ රෙජිමේන්තුව – Commando Regiment
    පොලිස් හේවා බලකාය – Corps of Military Police
    කාන්තා බලකාය – Women’s Corps
    යුද්ධෝපකරණ බලකාය – Ordnance Corps
    යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව – Mechanical Infantry Regiment
    සන්නාහ සන්නද්ධ බලකාය – Armoured Corps
    කාලතුවක්කු හමුදාව – Artillery Corps
    විශේෂ බලකාය – Special Force
    සන්නද්ධ බුද්ධි බලකාය – Military Intelligence Corps
    පුරෝගාමී බලකාය – Pioneer Corps
    ස්වේච්ඡා හමුදාව – Volunteer Force

    2 සටන්කාරී නොවන,
    ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව – Engineers Corps
    වෛද්‍ය බලකාය – Medical Corps
    විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව – Electrical and Mechanical Engineers Regiment
    සේවා බලකාය – Service Corps
    ඉංජිනේරු සේවා බලකාය/රෙජිමේන්තුව – Engineer Services Corps/Regiment
    පොදු සේවා බලකාය – General Service Corps

    • දක්ෂිණ යසස් said:

      පිළිගත නොහැක. කාන්තා බලකාය සටන්කාරී??? ඉංජිනේරු බලකාය සටන්කාරී නොවන???

    • ඔබ මෙවැනි උත්සාහයක් ගැනීම ගැන බොහොම ස්තුතියි දුලංක.

      පොලිස් හේවා බලකාය, කාන්තා බලකාය, යුද්ධෝපකරණ බලකාය, පුරෝගාමී බලකාය, සහ ස්වේච්ඡා හමුදාවේ සමහර බලඇණි සටන්කාරී නෙවෙයි.

      ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව, සටන්කාරී එකක්.

      ලිපියේ ඊළඟ කොටසේදී විස්තර කියන්නම්.

  6. නියමයි විචාරකතුමා නියමයි! 🙂 කාලෙකට පස්සේ පරණ පුරුදු අපි ආස හමුදාව ගැන ලියන එක. මේ දේ ගැන මටත් හිතේ පොඩි පොඩි ගැටළු තිබුනා. ගැටළු ඔක්කොම නැතිවෙන්න ඊලග ලිපියත් ඉක්මනටම දෙන්න. බොහොම ස්තුතියි ඔබතුමාට.

    • බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      කොහෙද තාරක, මේ සමහර අය හිතන්නේ, මම යුද්දෙ පතුරවනවා කියලනේ. මොනවා කරන්නද, පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩකමට බෙහෙත් නැහැනේ.

      ඉදිරියේදී තවත් ලිපි ගොඩක් ලියන්න සූදානම් කර තිබෙනවා.

  7. විචාරකතුමා කාලෙකට පස්සේ හමුදාව ගැන ලිපියක් ලියලා…. හමුදාවල රෙජිමේන්තු කොහොමද යුධ අවස්ථාවල ක්‍රියාකෙරෙන්නේ කියන එක ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් ඇතිකරවන කරුණක්. ඒ නිසාම මේ ලිපිය ගොඩක් දෙනෙකුගේ අවධානයට යොමු වෙන බවක් පෙනෙනවා. ඊළඟ කොටසත් කියවන්න ආසාවෙන් ඉන්නේ.

  8. ශිෂ්‍ය භට බලකායත් සහය සදහා කැදවනවා..
    එල ද බ්‍රා ලිපිය

    • පිස්සුද මෙන්ඩෝ, ඉස්කෝලේ යන ළමයි මොනම හේතුවකටවත් යුද්දෙට යවන්නේ නැහැ. ඒක එක්සත් ජාතීන්ගේ සංගමයේ ප්‍රඥප්ති වලින්ම තහනම්.

  9. 1 සටන්කාරී
    පාබල හමුදාව – Light Infantry Regiment

    කමාන්ඩෝ රෙජිමේන්තුව – Commando Regiment
    පොලිස් හේවා බලකාය – Corps of Military Police
    යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව – Mechanical Infantry Regiment
    සන්නාහ සන්නද්ධ බලකාය – Armoured Corps
    කාලතුවක්කු හමුදාව – Artillery Corps
    විශේෂ බලකාය – Special Force
    සන්නද්ධ බුද්ධි බලකාය – Military Intelligence Corps
    පුරෝගාමී බලකාය – Pioneer Corps

    2 සටන්කාරී නොවන,
    ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව – Engineers Corps
    වෛද්‍ය බලකාය – Medical Corps
    විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව – Electrical and Mechanical Engineers Regiment
    සේවා බලකාය – Service Corps
    ඉංජිනේරු සේවා බලකාය/රෙජිමේන්තුව – Engineer Services Corps/Regiment
    පොදු සේවා බලකාය – General Service Corps
    සංඥා බලකාය – Signal Corps
    කාන්තා බලකාය – Women’s Corps
    යුද්ධෝපකරණ බලකාය – Ordnance Corps
    ස්වේච්ඡා හමුදාව – Volunteer Force

    • බොහොම හොඳයි චාමිකර, මෙවැනි උත්සාහයක් ගැනීම ගැන.

      පොලිස් හේවා බලකාය, පුරෝගාමී බලකාය, සටන්කාරී නෙවෙයි.

      ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව, සටන්කාරී රෙජිමේන්තුවක්. ඒ වගේමයි විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, සංඥා බලකාය සටනට දායක වෙනවා.

      ඊළඟ ලිපියේදී සවිස්තරව කියන්නම්.

  10. 1 සටන්කාරී
    ඉංජිනේරු බලකාය/රෙජිමේන්තුව – Engineers Corps
    සන්නාහ සන්නද්ධ බලකාය – Armoured Corps
    කාලතුවක්කු හමුදාව – Artillery Corps
    සංඥා බලකාය – Signal Corps
    පාබල හමුදාව – Light Infantry Regiment
    යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව – Mechanical Infantry Regiment
    කමාන්ඩෝ රෙජිමේන්තුව – Commando Regiment
    විශේෂ බලකාය – Special Force
    සන්නද්ධ බුද්ධි බලකාය – Military Intelligence Corps
    ස්වේච්ඡා හමුදාව – Volunteer Force
    විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව – Electrical and Mechanical Engineers Regiment

    2 සටන්කාරී නොවන,
    පොලිස් හේවා බලකාය – Corps of Military Police
    යුද්ධෝපකරණ බලකාය – Ordnance Corps
    වෛද්‍ය බලකාය – Medical Corps
    පුරෝගාමී බලකාය – Pioneer Corps
    සේවා බලකාය – Service Corps
    ඉංජිනේරු සේවා බලකාය/රෙජිමේන්තුව – Engineer Services Corps/Regiment
    පොදු සේවා බලකාය – General Service Corps
    කාන්තා බලකාය – Women’s Corps

    ශිෂ්‍ය භට බලකාය යුධ පෙරමුණට යවන්න බැහැ. එ.ජා. සම්මුතීන් ට පටහැනි යි!
    නමුත්, යුධ පෙරමුණට දුරින් කෙරෙන සේවා සඳහා සමාජ සේවකයින් ලෙස යොදා ගන්න බැරි කමක් නැති විය යුතුයි!! අතිශයින් දරුණු යුධ වාතාවරණයකදී සෞඛ්‍ය සේවය වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා සහ පෙරමුණට අවශ්‍ය සැපයුම් කලමණාකරණය වැනි, කටයුතු වලදී අවශ්‍ය තරම් සේවකයින් මඳ වුවහොත්, සාමාන්‍ය සිවිල් ජනතාව පවා ඒ සඳහා සහායට ගත හැකියි කියා මම හිතනවා.

  11. […]  සටන් කරන්නේ කවුද, නොකරන්නේ කවුද කියලා,…. දැන් හිතන්න එපා, පරිපාලන වැඩවලට […]

  12. හමුදාවේ පරනම SLLI යුනිට් එක අතහැරලා SUPPORT යුනිට් senior කරල තියෙන්නවනෙ. Infantry යුනිට් වල අයට හමුදා පති දෙන්න දේශපාලන අදිකාරියේ අය ටිකක් බයයි වගේ නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: