විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


11   ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්‍ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්.

   භාෂාව ඉගෙනගැනීම ගණිතය ඉගෙන ගන්නවා හා සමානයි කියා මා ප්‍රකාශ කළොත්, සමහරවිට ඔබ එකඟ වන්නේ නැති වන්නට පුළුවන්. නමුත් එය සිංහල භාෂාවට පමණක් නොව, ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පොදු ලක්ෂණයක්. භාෂාවක ඇති ව්‍යාකරණ රටා, යෙදුම්, රීති, වාග් කෝෂය, ආදිය පිළිබඳව, හසළ දැණුමක් ලබාගැනීම, එතරම් පහසු කටයුත්තක් නොවෙයි.

   මතකද ඉස්කෝලේ ගිය කාලේ සමහරවිට බැණුම් අහමින් ඉගෙනගත්තා ව්‍යාකරණ? අම්මෝ…..එපාම වුන දෙයක් නේද? සමහර ගුරුවරු සිංහල උගන්වන්නේ ආයේ ජීවිතේටම සිංහල එපාවෙන විදිහට. ඒ විතරක් නෙවෙයි, අපි තවමත් භාෂාව ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ, ඉතා පැරණි ව්‍යාකරණ නීති රීති හා පොත්පත්. නමුත් ඒ පොත්පත් අහක දැමීම නොවෙයි කලයුත්තේ. ඒවා පදනම් කරගනිමින්, අද කාලෙන් උදාහරණ ගෙනහැර පාමින්, උගන්වන්න පුලුවන්නම්, ළමයි හරිම ආසාවෙන් හා ඉක්මනින්, භාෂාවේ රටාව අල්ලා ගන්නවා.

  ‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී’

   මෙම වාක්‍ය ඛණ්ඩයේ ඇති උපමාව හා උපමේය පහදන්න.

  ‘කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී’

  ‘අතේ සල්ලි නැත්නම් හාමතේ’ යන්නෙහි ව්‍යංගාර්ථය කුමක්ද?

   මෙන්න මේ වගේ, අද කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් උදාහරණ අරගෙන උගන්නන්න බැරි මොකද කියලා මටනම් තේරෙන්නේ නැහැ.

   ඒ වගේම තමයි අද කාලේ කරන ධර්ම දේශනා. තවමත් කියන්නේ ‘ඉතිං පින්වත්නී, මේ වඳුරා කියනවා වටුවාට……………..ආදී වශයෙන්, ඇයි කියන්න බැරි, ‘පින්වත්නි, මේ ප්‍රේමවන්තයා යවනවා එස් එම් එස් එකක් තම පෙම්වතියට, අදම මාව හමුවෙන්න කියලා. පෙම්වතිය කියනවා බැහැ කියලා, අන්තිමට ප්‍රශ්නය කෙළවර වෙන්නේ, පෙම්වතා පෙම්වතියව ඝාතනය කිරීමෙන්. මෙන්න පින්වත්නි කාම තන්හා, භව තන්හා, විභව තන්හා’.

   ටිකක් හිතලා බලන්න, මම කියන්නේ බොරුද කියලා. අද කාලයෙන් බණ කිව්වොත් තමා, මිනිස්සු අද කාලයෙන් හිතලා අවබෝධ කරගන්නේ. බුදුහාමුදුරුවොත් කළේ, අද කාලයේ බණ කීමයි. (ඒ කාලයේ සිදුවීම් අළලා) අපේ හාමුදුරුවරු හිතන්නේ, ඒ විදිහටම, අදත් ඒ පැරණි කතා වලින් බණ කියන්න ඕනෙ කියලයි. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට ආගම එපා වීමයි. මොකද හැමදාම එකම කතා. හැබෑටම මොකද කවදාවත්, ‘නලිනි ජාතකය’ පදනම් කරගෙන බණ කියන්නේ නැත්තේ? 

   පුංචි කතාවක් කියන්නද? හැබැයි අන්තිමට බනින්න එපා, ‘හුහ්….පේනවා නේද මේ නාකියාගේ තරම. මේකා ප්‍රසිද්ධියේම හාමුදුරුවරුන්ට අපහාස වන විදිහේ කතාවක් කිව්වා නේද?’ කියලා. ඕකනේ කියන්නේ, වැරදි විදිහට බැලුවොත් ඔක්කොම වැරදියි. මේවා එදිනෙදා කියන කතා විතරයි. ලොකුවට හිතන්ඩ එපා. මේකයි කතාව.

   ඈත පිටිසර දුප්පත් ගමක ගොවියෙක්, දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින්, පොඩි ගෙයක් හැදුවා. සියලුම වැඩ අවසන් නොකළත්, ගෙට විදුලිය බලය ලබාගන්නත්, ගොවි මහතා වාසනාවන්ත වුණා. ඔහු හිතුවා, ගෙට ගෙවැදීමට අදාළව, ගමේ හාමුදුරුවෝ වඩම්මවලා, බණක් කියවීම සුදුසුයි කියලා. ඔන්න ඉතිං, සියල්ල සූදානම් කරලා, හාමුදුරුවා වැඩැම්මුවා. හාමුදුරුවන්ට අසුන් පනවන්න තරම් සුදුසු පුටුවක්, මේ ගෙදර තිබුණේ නැහැ. ඒ නිසා, කොට්ට කීපයක් එක මත එක තබා, ඒවා ඇඳ ඇතිරිල්ලක ඔතා, සකසාගත් ‘ආසනයක්’, බිත්තියක් අසළ පනවා තිබුණා. හාමුදුරුවෝ ඒ ගැන සැළකීමක් කළේ නැහැ. දුප්පත් දායකයන් වෙත බණ කීමයි වැදගත්. දැන් හාමුදුරුවෝ බොහොම ලස්සනට බණ කියාගෙන යනවා. හාමුදුරුවෝ, අර බිත්තියට පිටුපාලා තමයි අසුන්ගෙන ඉන්නේ.

   විශාඛා සිටු දියණිය ගැන කියමින්, හාමුරුවො මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. ‘ඉතිං පින්වත්නී…………මේ විශාඛා සිටු දියණියගේ’……..නමුත් මේ ටික කියනකොටම, එකවරම, මහ හඬින්, හාමුදුරුවන් අතින්, මෙවැනි අවස්ථාවකට කිසිසේත් නුසුදුසු, වදන් කීපයක් කියවුණා. මෙන්න මෙහෙම. ‘ඉතිං පින්වත්නී…………මේ විශාඛා සිටු දියණියගේ…….අම්මට *%$#@’ කියලා හාමුදුරුවන්ට කියවුණේ. මුළු බණගෙදරම කලබලයට පත්වුණා. බණ අහමින් සිටි උපාසක අම්මලා ගෙදරින් එළියට දිව්වා. අපෙ අම්මෝ………..කියාගෙන.

   අර ගොවි මහතා තුෂ්නීම්භූත වුණා මේ මොකක්ද වුණේ කියලා. හාමුදුරුවෝ ඇහුවා ‘ඇයි උපාසක මහත්තයෝ මට මෙහෙම කළේ’ කියලා. ගොවි මහතා කෝපයෙන් කෑගැහුවා, ‘මම, හුහ්, මම මොනවද කළේ, ඔබවහන්සේනේ මෙතන කුණුහරප කිව්වේ’ කියලා. හාමුදුරුවෝ අමාරුවෙන් නැගිට්ටා. ‘මෙන්න බලන්න උපාසක මහත්තයා කරලා තිබුණු දේ’ කියලා පෙන්නුවා. මොකක්ද වෙලා තිබුණේ? හාමුදුරුවෝ පිට හේත්තු කළ බිත්තියේ, විදුලි කෙවෙණියක් සවිකිරීම සඳහා රැහැන් ඇද තිබුණා. ඒ සඳහා අවශ්‍ය අර, කුඩා ප්ලාස්ටික් ගිල්ලුම් පෙට්ටිය සවිකර තිබුණත්, කෙවෙණිය සවිකර තිබී නැහැ. එතන තිබුණු විදුලිය සහිත රැහැනක නිරාවරණ අග්‍රය, හාමුදුරුවන්ගේ පිටේ ගෑවිලා.  විදුලිය බලය විසින්, හාමුදුරුවන්ට නොකියවෙන දේ කියවන්නට සළස්වලා.    

   ඔන්න ඕකයි කතාවහරි හරි ආපහු යමුකෝ ලිපියට.

   සිංහල බ්ලොග් ලෝකයේ, කාලීනව පළවන, භාෂා විෂයයික ලිපි බොහොමයකදී සිදුවන්නේ, ප්‍රතිචාර වෙනුවට, සම්ඵප්‍රලාප වැලකින් ප්‍රතිචාර කොටස පිරීයාම පමණයි. මෙහිදී බහුළවම දකින්නට ලැබෙන අදහස්, නිල් පැහැයෙන් දක්වන අතර, ඒ පිළිබඳ මා සිතන ආකාරය, රතු පැහැයෙන් දැක්වෙනවා.

   මා කියනදේ, ඔබට වැටහෙන්නේ නම්, භාෂාවකට තවත් නීති කුමකටද? 

  ඔබ මා සමග සංවාදයේ යෙදෙන්නේ, ඔබට ආවේනික, ප්‍රාදේශික, ඔබගේ සීමිත සමාජ තලයේ (යම්කිසි පලාතක්, දිස්ත්‍රික්කයක්, ආයතනයක්, විශ්ව විද්‍යාලයක්, එකට පුහුණුව ලබන කණ්ඩායමක් වැනි) යොදන වාග් මාලාවකින් නම්, එය මට නොවැටහෙන බව ඔබට නොතේරේද? 

   හැමදාමත් එකතැන පල්නොවී වෙනස්වීම, භාෂාවක පොදු ලක්ෂණය බව නොදන්නේද?

   වෙනස්වීම සිදුවන්නේ කුමන රීතියක් පදනම් කරගෙනද? ඉංගිරිසියේ Fried Rice යන්න ෆයිඩ් රයිස්, ප්‍රයිඩ් රයිස්, (අභිමානවත් බත්?) ලෙස යොදා, අද නිකම්ම රයිස් කියා යෙදීම, ත්‍රිරෝද රථයට ත්‍රීරෝද රථය කියා කීම/ලිවීම, Trishaw, නමැති ඉංග්‍රීසි පදයට, සිංහලටත් නැති ඉංගිරිසියටත් නැති, ‘ත්‍රීවීල්’ වැනි යෙදුමක් සැකසීම සහ අද වනවිට, ලැජ්ජා නැතුව, ‘වීල් එක’ කියා කීම, (දැනට මේ උදාහරණ ඇති) කුමන රීතිය යටතේ කළ, වදන් සැකසුමක්ද? ඉංගිරිසි භාෂාව මේ ආකාරයට වෙනස් නොවන්නේ ඇයි? එහි තිබෙන වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් නොකරන්නේ ඇයි?

  කටවහර සහ ලිඛිත වහර ලෙස දෙකක්, සිංහලයට අනවශ්‍යය.

   ඕනෑම භාෂාවක කෙටි යෙදුම් තිබේ. ඒයි, වරෙන්, ඕයි, දුප්, ඉජුඃ, වැනි යෙදුම් මෙන්ම, ප්‍රාදේශීය ව්‍යවහාර විධි, (බත් වියනවා, පොල් ඔයනවා, වැනි) යෙදුම්ද තිබේ. මෙය අප රටට පමණක් සීමාවූවක් නොවේ. සෑම භාශාවකම ප්‍රාදේශීය ව්‍යවහාර ඇත. එහෙත්, පොදු සමාජයේදී භාවිත කළයුතු බවට, සමාජ සම්මත ව්‍යවහාර භාෂාව, තම අභිමතය පරිදි විකෘති කිරීම, භාෂාව පිළිබඳ තම නිදහස පාවිච්චි කිරීමක් නොව, නොදන්නාකම පෙන්වීමකි. 

   විෂයය කුමක් වුවත්, බ්ලොග් ලිපි ලිවීමේදී, තම අභිමතය පරිදි, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, වැනි භාෂා කීපයක් මිශ්‍ර කර ලිවීමෙහි වරදක් නැත.

   මෙය තීරණය වන්නේ, මා කියන දේ ඔබට වැටහෙන්නේ නම්, ප්‍රශ්නයක් නැහැ නේද යන සංකල්පය මත ය.  

   (ආමි එකේ තියන ඩිරෙක්ටරේට්ස්  වලින් වැඩ අමාරුම එකක් තමයි ඔප්ස් ඩිරෙක්ටරේට් එක. ඩී ඔප්ස් කියන්නේ ලොකු ස්ට්‍රේන් එකක් කරගහන කෙනෙක්. බැට්ල් ටෑන්ක් එකක තියන කෲ ෆැටීග් එක තමයි අමාරු. හැබැයි ආටි වලදී මෙටා ඩේටා අරන් ගන් එක අලයින් කරාට පස්සේ බැට්‍රි කමාන්ඩර් කියන විදිහට ෆයර් එක දෙනවා)

   මෙහෙම කියන අය මා දැක/අසා තිබෙනවා. මෙතැනදී මම ලිව්වේ, මගේ විෂයයට අදාළව. නමුත් මෝටර් යාන්ත්‍රික විද්‍යාව, විදුලි සහ/හෝ විද්‍යුත් විෂයයන්ට අදාළව හෝ වෙන එකක් තියා, තමන්ගේ මෝටර් වාහනය අලුත්වැඩියා/සේවා කිරීම සඳහා රැගෙන ගියවිට, අදාළ ආයතනයේ කාර්මිකයන් කියනදේ, කට ඇරගෙන බලා ඉන්න අයත් දැකලා තියනවා. නමුත් ඉතාම කලාතුරකින් තමයි අහන්නේ, අර වචනයේ තේරුම මොකක්ද? මේ වචනයේ තේරුම මොකක්ද කියලා? මොකද තමන්ගේ නම්බුවට අඩු ලුහුඬුවක් වෙයි කියලා. මෙලෝ සංසාරයක් නොතේරුණත්, තේරුණා වගේ ඉන්නවා. ඉතින් කොහොමද කියන්නේ, මම කියනදේ ඔබට තේරෙනවානම් ප්‍රශ්නයක් නැහැ කියලා? මොකද මම කතාකරන්නේ, මට ආවේනික වාග් මාලාවකින්. එය හැම තැනටම වලංගු නොවන බව, මා තේරුම් ගත යුතුයි. 

   සමහර බ්ලොග් ලිපිත් එහෙමම තමයි. 

   දැණුම යාවත්කාලීන වෙනවානම් භාෂා ප්‍රශ්න නැත.

   ඔව් එකඟයි. නමුත් දැණුම යාවත්කාලීන වන්නේ පොදු ව්‍යවහාරය පදනම් කරගෙනද? එසේ නැතහොත් සීමිත සමාජ තලයක් ඇසුරු කිරීමෙන්ද? බ්ලොග් කියවීමෙන් භාෂා දැණුම වර්ධනය නොවේ. ලෝකය පුරාම, බ්ලොග් ලියන්නේද, භාෂා දැණුම වර්ධනය කරවීම සඳහා නොවේ. සරල වින්දනය සඳහාය. එහෙත් එය භාෂා ඥානය මොට කරවන, විකෘති කරවන, විනාශ කරවන, බලවේගයක් නම්, පාඨකයන් වෙත, එහි ඇති අණිටු ඵලවිපාක පෙන්වා දියයුතුය. මන්ද, බාල පරපුරද, බහුළ වශයෙන් බ්ලොග් කියවන නිසා. බ්ලොග් ලියන භාෂා විලාශය, එදිනෙදා සමාජයේ සෑම කටයුත්තක් සඳහාම, සෑම තැනටම පොදුය, යන වැරදි වැටහීම ඇතිවීම වැලැක්වීම, බ්ලොග් ලියන අප සියළුදෙනාගේ වගකීමක්ද වන්නේය.

   ජාතියක අනන්‍යතාව පෙන්වන වැදගත් මෙවලමක් වන්නේ භාෂාවයි. එය අයාලේ යන්නට ඉඩදීම, තම මව අයාලේ යැවීම වැනිය. මන්ද, එය මව් භාෂාව කියා හඳුන්වන්නේද, මවට තරම් ආදරයක්, ගෞරවයක්, සැළකීමක්, තිබියයුතු බැවිනි. තම විචාර බුද්ධියට ගෝචර වන, හරවත් සංවාද වලට ඇහුම්කන්දීම, භාෂා ඥානයෙන් හෙබි පුද්ගලයන් සමග සංවාදයේ යෙදීම සහ හරවත් පොත්පත් ලිපිලේඛන කියවීම තුළින් පමණක්, භාෂා ඥානය දියුණු කරගත හැකිය.

   ‘භාෂාව යනු, විභාගය සමත්වීම සඳහා ඉගෙනගතයුතු, තවත් එක විෂයයක් පමණි’ යන සංකල්පයේ සිට, භාෂාව උගන්වනතුරු/ඉගෙනගන්නාතුරු භාෂාවේ පිරිහීමක් මිස, දියුණුවක් ඇති නොවේ. 

 බුද්ධිමය සංවාදයකට තුඩුදෙන අදහස්, ඉහළින්ම අගය කරන අතර, ප්‍රස්තුතයට අදාළ නොවන සහ අපහාසාත්මක අදහස්, ඉවත් කරනු ලැබේ.

2015 ජූනි මස 03 වැනි දින 2343 පැය 

Advertisements

Comments on: "කොහොමද ඔබේ සිංහල දැණුම?" (18)

  1. ඇවිත් ගියා

  2. ආවා, තාම ගියෙ නෑ. කමෙන්ට් කොරන්න දෙයක් හිතමින් ඉන්නවා.

  3. නුවර කුමාරි said:

    මම දරන මතය අනුව නම්, භාෂාවේ ස්වභාවය සහ යෙදුම්වල අනුකුලතාවය ආදිය අදාළ වන්නේ කරුණු කීපයකදී. එකක් තමයි ඔබේ පාඨකයා කවුද කියන එක. පාඨකයා වියත් යෙදුම් වලදී අදහස සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් දුර්වල නම්, සරල භාෂාවක් යොදන්න වෙනවා. එතැනදී සමහර වෙලාවට උක්ත අක්‍යාතයන් පවා නොගැලපෙන්න පුළුවන්. නමුත් ලියන දේ තේරෙනවා කියල වඳුරාට දැලිපිහිය අහු උනා වගේ කරන්න ගියොත් නම් වෙන්නේ අනර්ථයක්.

    ලිපියක අඩංගු වන කරුණු වල ස්වභාවය තමයි අනෙක් කාරණේ. ඔබේ පාඨකයා පොහොසත් අයෙක් උනත්, ඔබ කියන්නේ විහිළුවක් නම්, සරලව ලියන්න පුළුවන්.

    ඒ හැම තැනදීම මම නම් හිතන්නේ ව්‍යාකරණ වැදගත් කියල. නැත්තම් වැරදි අදහසක් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ වගේමයි විරාම ලකුණු වල වැදගත්කම. (නිවැරදි තැනදී කොමාව, විශ්මයාර්ථ ලකුණ, ; ලකුණ ආදිය යෙදීම )මම පුළුවන් විදියට උත්සහ කරනවා. නමුත් මේ සමහර සිංහල ලියාගන්න තියෙන මෘදුකාංග වල අපිට ඕනේ අකුර ගන්න මහන්සි වෙන්න වෙනවා. එතකොට ලියාගෙන යන දේ ගලාගෙන එන එක අඩාල වෙනවා. ( මට නම් එහෙම වෙනවා. මට එක දිගට බස බස ගාල ලියාගෙන යන්න ඕනේ. මොකද ඒ ලියන මූඩ් එක ආයේ ගන්නත් බැහැ , ඒ විදියටම එන්නෙත් නැහැ ) එතකොට අතින් , කොලයක ලියන එක හොඳයි කියල හිතෙනවා. ඒ හින්දා වෙන්න ඕනේ අවකාශයේ ලියවෙන සිංහල ලිපිවල මේ ගතිය වැඩි.

    දැන් මේකේ කිසිම බුද්ධිමය දෙයක් අඩංගු වෙන්නේ නැහැ කියල මකල දානවා එහෙම නෙවෙයි හරිද?

    • “දැන් මේකේ කිසිම බුද්ධිමය දෙයක් අඩංගු වෙන්නේ නැහැ කියල මකල දානවා එහෙම නෙවෙයි හරිද?” ගෙදරදීත් ඔහොමද තමන්ගේ මතය දිනාගන්නේ 😀

      ඔබේ බොහොමයක් අදහස් සමහ එකඟයි. විහිලු කතාවක් ලියන්න ගියාම, විහිලු භාෂා සවරූපය නැතිවුනොත්, හරියට, ව්‍යායාම කරන්න උගන්වන ක්‍රමයට, කෑමක් හදන්න උගන්නනවා වගේ වෙනවා.

      “පාඨකයා වියත් යෙදුම් වලදී අදහස සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් දුර්වල නම්, සරල භාෂාවක් යොදන්න වෙනවා. එතැනදී සමහර වෙලාවට උක්ත අක්‍යාතයන් පවා නොගැලපෙන්න පුළුවන්. නමුත් ලියන දේ තේරෙනවා කියල වඳුරාට දැලිපිහිය අහු උනා වගේ කරන්න ගියොත් නම් වෙන්නේ අනර්ථයක්”

      ඔව් සරල වීමේ වරදක් නැහැ. නමුත් ඔබ කියන පරිදිම එහි සීමාවන් පිලිබඳ පුළුල් අවබෝධයක් තිබිය යුතුයි.

      අපොයි සිංහලෙන් ලිවීම ගැන කියලා වැඩක් නැහැ. යුනිකෝඩ්, අර කෝඩ්, මේ කෝඩ්, කියලා කිව්වට ඔබට වෙන දේ ම තමයි මටත් වෙන්නේ. වේගය අඩාළ වෙනවා, අදහස් හිතෙන් යනවා, වෙන වෙන දේ ලියවෙනවා.

  4. “ඉතිං පින්වත්නී…………මේ විශාඛා සිටු දියණියගේ…….අම්මට *%$#@”

    හම්මෝ බඩ :3

  5. මේක පරිස්සෙන් කතා කල යුතු මාතෘකාවක්. මම පෞද්ගලිකව කැමතියි මට හැකි තාක් දුරට ව්‍යාකරණ නොමරා ලියන්නත්, එහෙම ලියූ දේ කියවන්නත්. මේක මම භාවිතා කරන භාෂා දෙකටම පොදුයි.

    ඒ එක්කම මේවත් මට හිතෙන දේවල්. ප්‍රාදේශීය භාෂාවක් (dialect) නැතිනම් ජාර්ගන් එකක් භාවිතා කරලා කරන නිර්මාණ ගැන කිව්වොත්, මම නම් එහෙම ඒවාට කැමතියි. උදාහරණයක් හැටියට, මේ දවස්වල J Hගේ අභාවය නිසා නැවත මතකය අලුත් වුනු මොණරතැන්න අමුම අමු දකුණේ භාෂාවෙන් සහ ආභාෂයෙන් හැදුන කතාවක්. ඒ එක්කම විචාරක ඉතාම හොඳින් දන්න මුවන් පැලැස්ස මධ්‍යම පළාතේ භාෂාව සහ ආභායෙන් ඔප් නැංවුනු නිර්මාණයක්. ඔය පළාත් දෙකටම අයත් නැති අමුම අමු බස්නාහිරයෝ වන අපි මේ අමුතු කතා බහ නිසාම ඒ කතා දෙකටම ආකර්ශණය වුනා කිව්වොත් නිවැරදියි. බ්ලොග් ලෝකෙන්ම උදාහරණයක් කියනවා නම් අර යාංහෑල්ල බ්ලොග් කඩමාල්ල ලියන එකාගේ dialect එක නිසාමයි ඒක අද මගේ ප්‍රියතම බ්ලොගක් වෙලා තියෙන්නේ. ඔන්න විචාරක ඒක කියවලා නැතිනම් ගිහින් උගේ වන්දනා ගමන ගැන කියවලා බලන්නකො.

    එතකොට ඉංග්‍රීසි ගැන කිව්වොත්, ඉංග්‍රීසියත් අපේ භාෂාව අත්විඳින වෙනස්කම්ම අත් විඳිනවා.

    මට මේ කමෙන්ට් එක ඩහෙනට නවත්තන්න වෙනවා.

    • ඇත්තටම ප්‍රාදේශීය භාෂා වලින් ප්‍රධාන භාෂාවට වචන එකතුවීමෙන් යම් පෝෂණයක් සිදුවෙනවා. නමුත් ඒ ප්‍රාදේශීය යෙදුම් ප්‍රධාන භාෂාවේ සිද්ධාන්ත, රීති, කඩා බිඳ දමන ඒවා නොවිය යුතුයි.

      ලොකු මුට්ටිය ‘අප්පල්ලය’ යනුවෙන් හැඳින්වීම, උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි. එය ප්‍රාදේශීයව නිපැයුණු වචනයක්. අද එය හැඳින්වීම සඳහා ‘බිග් මුට්’ කියලා වචනයක් හැදුවොත්, එයින් ප්‍රධාන භාෂාවට පෝෂණයක් වෙන්නේ නැහැ.

      බ්ලොග් ලිවීමේදී මාතෘකාවට අදාලව අර්ථය උද්දීපනය කෙරෙන භාෂා විලාශයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.

      ඉංග්‍රීසියේ වෙනස්කම් ඒ භාෂාවේ පසුබෑමකට හේතුවී නැහැ.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  6. ඉතා හොඳ කාලෝචිත මාතෘකාවක්.

    ඔබතුමාගේ ලිපියේ ඇතැම් වචන ව්‍යාකරණානුකූල නැහැ. නිවැරදි කරන මෙන් ඉල්ලමි. දැනට හඳුනාගත හැකි වූ කිහිපයක් දැක්වූවොත් මෙහෙමයි.

    දැණුම > දැනුම
    විශිෂ්ඨ > විශිෂ්ට
    තත්වයක > තත්ත්වයක
    තන්හා > තණ්හා
    සළස්වලා > සලස්වලා
    ආවේනික > ආවේණික
    බහුළ > බහුල
    විෂයයික > වෛෂයික
    පලාතක් > පළාතක්
    අණිටු > අනිටු
    සියළු > සියලු

    • ව්‍යාකරණානුකූල නැහැ කියන එක නෙවෙයි නිවැරදි යෙදුම, අක්‍ෂර වින්‍යාසය වැරැදියි කියන එකයි.

      ඔබ මෙහි දක්වා තිබෙන වැරදි තිබෙන බව පිළිගන්නවා. නමුත් එකින් එක නැවත සකසන්නට දැඩි වෙහෙසක් ගන්නට සිදුවෙන නිසා වරද පිළිගත්තාම ඇති නේද?

      • අක්ෂර වින්‍යාසය වැරදියි කියන්නෙ ව්‍යාකරණයට අනුකූල නැහැයි කියන එක තමයි මහත්තයො. නිවැරදි ව්‍යාකරණය කියන විශාල කුලකය තුළ තියෙන පොඩි කුලකයක් තමයි නිවැරදි අක්ෂර වින්‍යාසය කියන්නෙ. ඒ සමගම නිවැරදි උක්ත ආඛ්‍යාත සම්බන්ධය, නිවැරදි පදයෝජනය ආදී තවත් පොඩි කුලකත් තියෙනවා.

        වැරදි පිළිගැනීම මහත්මා ගතියක්. ඊළඟට ලියන අවස්ථාවකදි මේ වැරදි නොකරන්න වග බලාගන්නවා නම් හොඳයි. ඔබට ජය !

  7. භාෂා ව්‍යවහාරය පිළිබඳ කාලෝචිත වටිනා සංවාදයක අවශ්‍යතාව බ්ලොග් ලෝකයට තදින් දැනෙමින් තිබෙනවා. මේ ඔබතුමා විසින් තබන ලද ආරම්භක සටහන ඉතාම වටිනවා. තව තවත් බොහෝ දෙනකුගේ අවධානය යොමු වේවා යි පතනවා.
    ළමයින්ට භාෂාව ඉගැන්වීම සම්බන්ධව පවතින දුබලතාව ඔබේ පෝස්ටුවේ තෙවන හා සිව්වන ඡෙද මනාව අවධාරණය කරනවා. ඉගැන්වීම විද්‍යාවක් වගේම කලාවක් බව බොහෝ සිංහල ගුරුවරුන් අමතක කරදමා ඇති බව පෙනෙනවා.

    • බොහොම ස්තුතියි ගුණසිංහ මහතාණනි. මෙවැනි සංවාද කාලීනව ඇතිකිරීම අපේ යුතුකමක් ලෙස තමා මා සලකන්නේ.

      • ඔබතුමා මේ ලිපියේදී ගුරුවරයාගේ කණෙන් ඇද පෙන්වන පරිදි ගරුවරයා සකස් විය යුතු අන්දම ගැන දැනෙන ලෙස පැවසිම ඉතාම වැදගත්. ඒත් කණගාටුව වන්නේ ගුරුවරයා හෝ ගුරුවරුන්ට මග පෙන්වන අය හෝ බ්ලොග් සටහනක්වත් කියවන බවක් පෙනී නොයාමයි. අඩුම වශයෙන් මූණු පොතට හො පැමිණ අර්ථවත් යමක් කරමින් තමන් සිටින බවක් හෝ පෙන්වන ගුරු පිරිස අතේ ඇඟිලිතරමටත් අඩුයි වගේ. එහෙත් සිසුන් ! ? ඔවුන්ගේ අනාගතය ගැන සිතන විට සිත් සසල නොවන්නේද ?

  8. හෙළ අකුරු විනිස පිරික්සන්න අපූරු මෙවලමක් අන්තර්ජාලයේ තිබිලා හමු වුණා. තවම දියුණු වෙමින් පවතින්නක් බවයි මගේ නම් අදහස! ඒත්, බොහෝමයක් යෙදුම් නිවැරදි කරගන්න මේ මෙවලම උපකාරී වන බව, මමත් භාවිතයෙන් ම තහවුරු කරගත් දෙයක්!!
    http://subasa.ambitiouslemon.com/spellerweb.py

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: