විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1   මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!….. කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. 

   ‘කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන පින්තූරේ දැක්කම හිතෙන්නේ ඒ වගේ. එහෙමත් නැත්නම්…….. විස්කිරිඤ්ඤ වගේ එකක්ද?’

   ‘හෙහ් හෙහ්….. කාල තියනවා නේද විස්කිරිඤ්ඤ? හැබැයි කලාකිරිඤ්ඤෙ කන්ඩ බෑ. කලාකිරිඤ්ඤෙං පුළුවන් කාපු විස්කිරිඤ්ඤා වමාරවන්ඩ. කලාකිරිඤ්ඤෙං හරියට දෙක තුනක් වැදුනොත් ඉතිං උඩුකුරුඤ්ඤං තමා. ආයෙ දෙකක් නෑ වැදුනොත් වැදුනමයි.’

   ‘අනේ ඉතිං ඔය විච්චූරණ නවත්තලා හිටං, කියනවකො හිටං, මොකද්ද ඔය කලාකිරිඤ්ඤෙ කියන්නේ කියලා හිටං’.

   හරි හරි, ඔන්න එහෙනම් විච්චූරණ නැතුව, පට්….ටාන් ගන්නම්කො විස්තරේ. 

   කලාකිරිඤ්ඤෙ කියන්නේ ආයුධයක්. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, ‘නකල් ඩස්ටර් – Knuckle Duster’ කියලා. අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ සමහර රටවලත් තහනම්. දැන්නම් අපේ රටේ දකින්නට නැති තරම්. තියනවානම් කලාතුරකින්වත් එකක් දෙකක් පොලීසියට අහුවෙන්න එපායැ.

   ඔබ අතරින් සෑහෙන දෙනෙක් මේ ආයුධය ගැන දන්නවා ඇති. නමුත් මට හිතෙනවා, නොදන්නා අයත් සෑහෙන්න ඇති කියලා. ඒ නිසයි මේ ලිපිය ලියවෙන්නේ. 

   මේ ආයුධය මම මුලින්ම දැක්කේ 1966 දී පමණ. අපේ අයියාගේ යාලුවෙක් තමයි, මේක අපේ ගෙදරට ගෙනාවේ. ඒ කාලයේදීත් එය තහනම් ආයුධයක්. ඒ නිසා, බොහොම රහසිගතවයි ඒක තියාගත්තේ. එය නිපදවා තිබුණේ, මීහරක් අඟකින් කපාගත් කොටසකින්. හරියටම, මෙන්න මේ පහළ තිබෙන රූපයේ හැඩය තමයි තිබුණේ.

Knuckle Duster

   මොකක්ද මේ කුණුහරපෙ? මේකෙන් මක්කැයි කොරන්නේ? මට ඉතින් කටට එන එක කියාගන්න විදිහක් නෑ මෙතන.

   ඔන්න ඔහොම නේද හිතෙන්නේ මේක දැක්ක ගමන්. පොඩ්ඩක් ඉන්නකෝ. මෙය මේ ආකාරයෙන්ම සුදු යකඩෙන් සකසා තියනවා මා දැක්කේ, 1968 පමණ කාලයේ. එය විදේශීය නිෂ්පාදනයක්. ඒ කාලේ මෙව්වා සෑහෙන්න ලංකාවේ තිබුණා, මම හිතන්නේ. 

   මොකක්ද මේකෙන් කරන්නේ? බලන්න පහළ රූපය. මුලින්ම, මේ රූපයේ තියන විදිහට, පහරදීම සඳහා තමන්ට හුරු අතේ,  මේක පැළඳගන්නවා. ඊළඟට?…….. ඊළඟට මොනවද ඉතින්, මූණ නාලුවෙන්න නෙළනවා. 

82400489

   දැන් ඔන්න ආයුධය හඳුනාගත්තා. ඊළඟට බලමු මේකේ තියන විවිධ හැඩයේ නිෂ්පාදන කීපයක්. ඇඟ හිරිවැටෙනවා එව්වා දැක්කම. 

2

3

4

5

   හැබෑටම මේකෙන් නෙළුවම එච්චරටම අමාරුද ඈ?

   අමාරුද? එහෙනම් ඔන්න බලාගන්ඩකො, මේකෙන් කාපු දෙන්නෙකුගේ පින්තූර. 

6

7

      මේ විස්තරවලින් පෙනෙනවා, මේ ආයුධය අදත් ලෝකයේ විවිධ ප්‍රදේශවල පාවිච්චි කෙරෙන බව.

   හොඳයි, කොයි ආයුදෙත් පාවිච්චි කරන්න ගියාම වරදින අවස්ථා තියනවනේ. මෙන්න මේ ආයුදේ පාවිච්චි කරන්න ගිහින් වැරදිච්ච අවස්ථාවක්. සනීපයි නේද? 

8

   සෑම ආයුධයක්ම, සෑමදාම, එකම පෙනුමෙන් හෝ හැඩයෙන් හෝ ප්‍රමාණයෙන් හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ පවතින්නේ නැහැනේ. ඒ ඒ ස්වභාවයන්, කාලීනව වෙනස් වෙනවා. මෙන්න බලන්න මේ ආයුධයේ කාලීන වෙනස්කම් සිදුවී ඇති ආකාරය. 

9

   දැක්කා නේද? පිහියයි නකල් ඩස්ටර් එකයි එකට සම්බන්ධ කරලා. 

10

11

12

    මේවා කාන්තා අත්බෑග් තමයි. නමුත් බලන්න, ඉතා සූක්ෂ්මව එහි නකල් ඩස්ටර් එකක් සවිකර තියනවා. අද ලෝකයේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන හිතලා වෙන්න ඇති, මේ විදිහට නිපදවන්න ඇත්තේ.

   මේවා ලංකාවේත් ගන්න තියනවාද කියලා හොයාබැලීම, ලංකාවේ නෝනලාගේ වගකීමක්. අර ‘බුස්කැට් ක්‍රෙලෙවාර්ඩ්‘ ද මොකද්ද කියලා එකක් තියනවා නේද කොළඹ? ඔය මාතලන් එහෙම කැරකෙනවා ඒ පැත්තේ නිතරම. අහලා බැලුවොත් හොයලා දෙයි.

   මම හිතන්නේ, මේ පින්තූර දැක්ක ගමන්, පොඩ්ඩියි, ඔමායයි, ලෝකේ පෙරළලා හරි, මෙව්වා එකක් (සමහරවිට දෙකතුනක්) ගනියි.

   නෝනලාට විතරක් නෙවෙයි කාටත් හරියන එව්වාත් තියනවා.

   මේක ජංගම දුරකතනයක් නෙවේ. ඒ වගේ පෙනෙන්න හදපු කලාකිරිඤ්ඤයක්.

13

    තද වෙච්ච ගමන්, මිටෙන් අල්ලාගෙන ඉන්න ගමන්, කෝප්පේ ගැහුවා බිත්තියේ. ඔන්න කලාකිරිඤ්ඤයක් අතේ. මරු නේද?

14

   පතරොම් ඉවරනම්, දමලා අනින එකයි ඇත්තේ.

15

  හෝව්, හෝ…….ව්! තවම කතන්දරේ ඉවර නෑ.

   මෙව්වා යුද්ධායුධ ලෙස වැඩිදියුණු කරලා තියනවා අතීතයේදී. ඒකට කිව්වේ,  කලාකිරිඤ්ඤ පිස්තෝලය හෙවත්, Knuckle Duster Pistol කියලා. මෙන්න බලන්ඩකො ඒ භාණ්ඩේ.

මේකේ කෑලි තුනක් තියනවා. නකල් ඩස්ටර්  එක, පිහිය, පිස්තෝලය. 

Apache Revolver

   හෙහ් හෙහ්, කොහොමද බඩු? මේක හදලා තියෙන්නේ කොයි කාලේද දන්නවද? සැළැස්ම හදලා තියෙන්නේ 1860 දී. මුලින්ම නිපදවලා තියෙන්නේ 1869 දී. බෙල්ජියම තමයි, මේ ආයුදේ උපන් රට. මෙන්න අනිකුත් වැදගත් තොරතුරු. 

  • අවියේ බර : අවුන්ස 8 යි = ග්‍රෑම් 385 යි.
  • පිහිතලය හකුලා තිබෙනවිට අවියේ දිග : අඟල් 4.3″ = මි.මී 105 යි.
  • පිහිතලය දිගහැර තිබෙනවිට අවියේ දිග : අඟල් 7.8″ = මි.මී.200 යි. 
  • යොදවන උණ්ඩ වර්ගය : .27 = මි.මී. 7 ප්‍රමාණයේ උණ්ඩ.
  • එක වරකට ඇතුළු කළහැකි උණ්ඩ ගණන : 6 යි. 

   මේ අවියට තුවක්කු බටයක් නැහැ. රිවෝල්වර් චේම්බර් එකම තමයි, බැරල් එක හැටියට ක්‍රියා කරන්නේ. ඒ නිසා, මීටර් හතරකට පහකට වඩා දුර වෙඩි තියන්න බැහැ. නමුත්, කාගේ හරි ළඟට ගිහින් වැඩක් දෙන්න, හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඉතිං, ඇයි දැන් අහන්නේ, රිවෝල්වර් එක, චෙම්බර් එක, බැරල් එක, ගැන? එව්වා මම කිව්වේ හුඟක් ඉස්සරනේ.

   මේ අවිය ගැන වීඩියෝ එකක් තියනවා මෙන්න බලන්න. තප්පර 24 යි යන්නේ. ඒ නිසා බලන්න.

 

   වැඩේ මෙතනින් නැවතිලා නැහැ. තව තවත් ඉදිරියට ගෙන යමින්, විවිධ නිෂ්පාදන කරලා තියනවා. මීටත් වඩා කුඩාවට තව එකක් හදලා තියනවා. මෙන්න බලන්න.

 

   හෙහ් හෙහ් හෙහ්………….මොකද හිතෙන්නේ? එතනින් ඉවරයි කියලද? නෑ නෑ, මෙන්න ඊටත් වඩා කුඩා එකක්. පින්තූරේ විතරයි තියෙන්නේ. 

Screenshot (2)

   ඉතිං දැන් කාලේ මෙව්වා නැද්ද නිකං, අපි වගේ මොඩ් (මෝඩ?) කොල්ලන්ට ගැලපෙන එව්වා? තියනවා තියනවා. අද වෙනකොට හැම එකක්ම ඉලෙක්ට්‍රොනික් නේ. මක් කිව්වා? ඔව් අම්මපා, ඒකයි අරකයි විතරයි තවම ඉලෙක්ට්‍රොනික් වෙලා නැත්තේ. කවුද දන්නේ අනාගතේදී වෙන්නත් පුළුවං……නැද්ද මං කියන්නේ? ඔන්න බලාගන්ඩකො, අද තියන විද්‍යුත් නකල් ඩස්ටර් එක.

Screenshot (1)

   හෙහ් හෙහ් හෙහ්, කොහොමද වැඩේ? වෝල්ට් 950,000 ක කම්පනයක් දෙන්න පුළුවන්. ඇ.ඩො. 40 යි. ඔන්න ගන්නවානම් බඩු. මේක ගැනත් පොඩි වීඩියෝ එකක් තියනවා. ඒකත් බලන්ඩකො.

 

   මොකද දැන් හිතෙන්නේ? විද්‍යුත් කලාකිරිඤ්ඤයක් කොහොම වෙතත්, නිකං කලාකිරිඤ්ඤයක් වත් හදාගන්ඩ පුලුවන්නම් හොඳයි කියලා හිතෙන්නැද්ද? හදිස්සියකට එකෙකුගේ දෙන්නෙකුගේ හොම්බ කට කඩලා යන්න අනින්න පුළුවන්නේ. අනේ අපි එහෙම ඕං දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, ඕනේ කෙනෙක් ඉන්නවානම්, මෙන්න මෙතනට ගිහින් ඉගෙනගන්න එකයි ඇත්තේ. හැබැයි ඔව්වා පාවිච්චි කොරලා, හිරේ විලංගුවේ වැටිච්චහම, මේ අහක ඉන්න අපිට එහෙම දොස් කියනවා එහෙම නෙවෙයි  ඕං.

   මේ මාතෘකාව ඔස්සේ තවත් කරුණු සාකච්ඡා කරන්නට හැකි වුණත්, මා හිතනවා, දැන් මේ ලිපිය අවසන් කළයුතුයි කියා. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව නොලියා, යළිත්, අවි ආයුධ සහ සංග්‍රාමික කරුණු ඇතුළත් ලිපි ලියන ලෙස, බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා, නුදුරේදී එවැනි ලිපි කීපයක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. 

2015 මැයි මස 25 වැනි දින 0014 පැය

Advertisements

Comments on: "කෝ අර කලාකිරිඤ්ඤෙ" (30)

  1. ඉස්සර අපේ රටේ දේශීය සටන් ශිල්පීන් මුහුදු බෙල්ලන් යොදාගෙන තිබෙනවා මේ වගේ කලාකිරිඤ්ඤයක් විදිහට භාවිතයට ගන්න!! මගෙ සීයාට එයාගෙ මාමා කෙනෙක් දීපු ඒ වගේ පාරම්පරික මුහුදු-කලාකිරිඤ්ඥයක් මං පොඩි කාලෙ දැකලා තියෙනවා!!  (ඒකාලෙ නොදන්නකමට කඩදාසිබරුවකටත් යොදාගත්තා. කවුද දන්නෙ ඉතිං ඒ කාලෙ. පස්සෙ කාලෙක දැන්ගන්නකොට, ඒක අාගිය අතක් හොයන්න නෑ )

    කලාත්මක සැරසිල්ලක් සඳහා යොදාගන්නා බෙල්ලෙක් වගේ පේන නිසා එක් වරම එය අායුධයක් ලෙස සතුරා එය හඳුනා නොගැනීම ඔවුන්ට වාසියක් වූ බව අහලා තියෙනවා!!

    ඒ වගේ එකක් හොයන්න හැදුවත් හමුවුණේ මෙපමණයි.
    අදාල අායුධය මීට සමීප බෙල්ලෙක් වුවත් එය මීට වඩා පහසුවෙන් අල්ලන්න හැකි වගේම තියුණු උල් නෙරුම් මීට වඩා දිගයි!!

    • මීට කලින් අහල තිබුනේ නැති දෙයක් බොහොම ස්තුතියි මේ තොරතුරු සඳහන් කලාට. අදාළ උඅකරණයේ පින්තූරයක් දාන්න බැරිද කමෙන්ට් එකක් හැටියට. පින්තූරයේ URL එක දාන්න.

      • උපකරණයක් ම කියන්න බෑ විචාරකතුමා. ඒ නිකම්ම මුහුදු බෙල්ලෙක්. පිහිටීමෙන් ම කලාකිරිඤ්ඤයක ස්වරූපය තියෙනවා!! ඉහත කමෙන්ටුවේ “මෙතනින්” යන වචනයට මා එවැනි (නියම බෙල්ලා නොවුවත් ඒ සමාන හැඩැති බෙල්ලෙක්) පින්තූරයකට සබැඳිය යොදලා තියෙන්නෙ!! මෙතැන ඒ සබැඳිය විවෘතවම දාන්නම්!

        මේකෙ, බෙල්ලා ගෙ කුටීර කොටස අතින් අල්ලාගත්තම (සක් පිඹීමේදී මෙන්) පින්තූරයේ පහලට යොමු වී අැති තියුණු උල් කොටස් ඉදිරියට යි දිශාගත වෙන්නෙ. ඒ වගේ උල් වලින් වදිනකොට ඉතිං ……. කියන්න ඕනි නෑ නෙ නේද විචාරක තුමා!! ^^ ^^ ^_^

        • ඇත්තටම හොඳ අදහසක්. මා හිතන්නේ අතීතයේදී ඉඳලම මේ විදිහට මේ බෙල්ලන් පාවිච්චි කරන්න ඇති. බොහොම ස්තුතියි පින්තූරයත් සමගම කරුණු පැහැදිලි කළාට.

  2. එකක් ලග තිබුනාට පාඩු නෑ

  3. සම්පූර්ණ සටහනක් නේද?
    කලහකාරීන්ට දැනුම සපයනවා කියලා කේස් එකක් වෙයිද 😉

    ඔය ප්‍රස්න්න ජයවීර මහත්තයගෙ බොරැල්ලෙ සුපර්මාක්ට් එකේ තියන කඩේ ඒකාලෙ මම දුටුවා පැන්සලක් වගේ ආයුධයක්. පැන්සලකට වඩා කොටයි අල්ලේ පලලට තියෙන්නේ. අත මිට මොළවා ගත්තම දෙපැත්තෙන් රවුම් වෙච්චි කෙලවරවල් දෙක එළියට නෙරා එන්න. පාපහර වලදී කකුලේ නාරටියට, බොරු ඇහැට, ඉල ඇට වලට වගේ තැනවලට පහර දෙන්නලු හදාඇත්තේ

    • සම්පූරණ මදිවගේ කියලත් හිතෙනවා. පාඨක අදහස් වලින් තමයි ලිපිය සම්පූර්ණ වෙන්නේ.

      ඇත්තටම මෙය ඉතා භයානක අවියක්. මරණීය තුවාල කලහැකියි.

      මෙවැනි ආයුධ බොහොමයක විස්තර හොයාගත්තා. ඉදිරියේදී ලියන්නම්.

  4. හරක් අං වලින් හදපු එකෙක දාගෙන කෙනෙකුට පහර දුන්නාම හමට යටින් මස් තැලෙනවා කියල කතාවක් තිබ්බ. අපේ පන්තියෙ කොල්ලෙක් ලඟ තිබ්බා..

    • මමත් ඒ කතාව අහලා තියනවා. වෛද්‍යවරයකුටවත් හොයාගන්න අමාරුයිලු මොකෙන්ද ගහලා තියෙන්නේ කියලා.

    • දක්ෂිණ යසස් said:

      ඔය කියන මුහුදු බෙලි කලාකිරිඤ්ඤයේ තියෙන්නෙ ඉත්තෑවෙක්ගෙ වගේ උල් කටු තියෙන බෙල්ලෙක්ගෙ හරි මුහුදු පොකිරි (කලුපාට කටුවක් තියෙන මුහුදු ජීවියෙක්) කටුවක් අරගෙන ඒකෙන් හදපු එකක්. ඔව්ව ඉස්සර සුලභව තිබ්බෙ දිවයිනේ දකුණු මුහුදු තීරයේ අයියලා (නූතන ගැන්ග්ස්ටර්ලා වගේ පිරිසක්) ලඟ ආයුධයක් විදියට.

  5. ගොඩ කාලෙකින් විචාරක තුමාගේ අඩවියේ කමෙන්ට් එකක් දාන්නේ. නිතර මේක බලන්න ආවත් කාර්යබහුල කම නිසා ප්‍රතිචාරයක් දාන්න බැරි උනා.

    ඔය කලාකිරිඤ්ඤ හදලා තියෙන්නේ ඇත්තටම මුෂ්ටි ප්‍රහාරයක් පහසු වෙන්න. කලාකිරිඤ්ඤ යොදාගෙන වැඩි පුහුණුවක් නැති කෙනෙක්ට වුනත් තව කෙනෙක්ට තද බල හානි වෙන්න ගහන්න පුළුවන්. කලාකිරිඤ්ඤය යොදාගෙන ගැහුවාම ඇගිලි වල පුරුක්(නකල්) 4ක් හැඩේට තියන මුළු කොටසම වදිනවා. එකියන්නේ මුළු අත් මිටම වැදුනා වගේ තමා.

    හැබැයි හොදට මුෂ්ටි ප්‍රහාර පුහුණු වුන කෙනෙකුට කලාකිරිඤ්ඤ නැතුවම ඊට වඩා හානියක් වෙන්න ගහන්න පුළුවන්. එතනදී වදින්නේ මැදගිල්ලෙයි, දබරැගිල්ලෙයි පුරුක් දෙක විතරයි.

    එහෙම කරන්න ඕන වෙන්නේ අත මිට මෙලෙව්වාම අත හිර නොකර පුළුවන් තරම සැහැල්ලුවෙන් වගේම වේගෙන් අත ඉදිරියට යවන එක. එතනදී අතේ ස්ක්න්දය සහ ප්‍රවේගය විතරයි අවශ්‍ය වෙන්නේ. (ස්ක්න්දය x ප්‍රවේගය = ගම්‍යතාවය).

    • තාරක ඔබට හදපත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ ඉතා අගනා තාක්ෂණික තොරතුරු ගෙනාවාට. ඇත්තටම මේ ලිපියට එයින් ආලෝකයක් ලැබුණා. බොහොම ස්තුතියි.

      • පොඩි අඩුලුහුඬුවක් පිරිමහන්න මිස දැණුම පෙන්නන්න නෙවෙයි මේ ලියන්නේ.තාරක හරි.. පහර ඉලක්කයට එල්ලවෙනතාක් කල්.(till the moment of contact)
        අපේ දැනට ජීවතුන් අතර නැති ගුරුතුමා හැමදාම කීදෙයක් තමයි ඉලක්කයට වදින මොහොතේදි(at the moment of impact) මුළු සිරුරම ඇඟිලි තුඩු වල සිට ඉස්මුදුනත් එකතුව මුෂ්ඨියට සවිය දෙන විදිහට මොහොතක් ගල් වියයුතුයි(tense) කියන එක ඒ වගේම ඇසිල්ලකින් නැවත සැහැල්ලු (relax) වියයුතුයි කියන එක,, එතකොට අර පහරට මුලු සිරුරේම සවිය එකතුවෙනවා. සටන් ක්‍රමය ප්‍රගුණ කල කෙනාගේ පහර ඉතා දරුණු වෙන්නෙ එහෙමයි. සමාවෙන්න එකතුකලාට

        • බොහොම ස්තුතියි විචාරකතුමාට සහ සරත් ලන්කාප්‍රියට මහතාට.

          • හෙහ් හෙහ්, සරතුත් ලේසි පුතයෙක් නෙවෙයි වගේ. ඇත්තටම ඔය ආත්මාරක්ෂක සටන් වලදී මනස ඒකාග්‍රව තබාගත යුතුයි කියන එක වැදගත් නීතියක් නේද?

            • ආත්මාරක්ෂක සටන් ක්‍රම වලදී මානසික ඒකාග්‍රතාව සටනේදී වගේම පුහුනුවේදීත් වැදගත්. එක විචාරකතුමාගේ විදියට කියනවනම් කලබල හිතකින් නිවැරදි ඉලක්කයට වෙඩි තියන්න බෑ වගේ තමා.

              ඒ වගේම තවත් දෙයක් එක තුල වැදගත් සංකල්පයක් තියනවා එක තමා මනස තුල මනසක් නොමැත – mushin no shin (無心の心) කියන ජපන් සටන් ක්‍රම සංකල්පය. එකෙන් අදහස් වෙන්නේ අපි සටනක් කරන කොට සටනේදී හිතන්නේ එදිනෙදා ජිවිතයේ දෙයක් කරනවා වගේ. නිකන් හරියට අපි ඇවිදිනකොට අඩිය තියන කකුලට ප්‍රතිවිරුද්ධ දිශාවේ අත ඉදිරියට යන්නේ හිතන්නේ නැතුව, ඇහැ පැත්තට මොනවා හරි දෙයක් එනවා දැක්කොත් ඉබේම අහක බැලෙනවා හරි ඇහිපිය පියවෙනවා හරි වෙන්නේ ඒ වගේ.

              සමහර අය මේකට මාංශ පේශි වල මතකය කියලත් කියනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් දීර්ඝ කාලයක් පුරුදු පුහුණු උනාම හිතන්නේ නැතුවම ක්ෂනිකවම කරන්න පුළුවන් වීම මේ ගැන වැඩි විස්තරයක් මෙතන තියනවා. ඒ තත්වය තෙක් පුහුණු වීම් කලාම තමා තමන්ගේ දිශාවට පහරක් එල්ල උනාම එක ආවරණය(block) කරන මොහොතේදීම ප්‍රතිප්‍රහාරය(counter attack) කරන්න පුළුවන් වෙන්නේ.

              මේ මම දැක්කුවේ ජපන් සටන් ක්‍රම වල අදහස. සමහර විට චීන සටන් ක්‍රම වල මිට වැඩ වෙනස් කම් සහිතව අර්ථකතන තියෙන්න පුළුවන්. මේ පිළිබද වැඩි විස්තරයක් මෙතනින් කියවන්න

              http://en.wikipedia.org/wiki/Mushin

  6. මේ ආයුධය ගැන කුඩා කල සිටම අසා තිබුණත් වටිනා විස්තරයක් ලැබුණෙ අද ඔබතුමාට ස්තුතියි. මෙවැනි ආයුධයක් අධ්‍යයනට ලක්වන ස්මප්‍රදායික ගමේ තිබුණ බවක් දැන ගන්නට බැරිවුනා. ඔවුන් ඉලංගම් සටන් කිව්වෙ ආයුධ අරගෙන කරන සටන්වලට වුනත්. විවිධ උපකරණ ගැන පැවසුවත් කලාකිරිඤ්ඤය හෝ ඊට සමාන උපකරණයක් ගැන ගැන අදහසක් පුරාණයේ තිබී නැතිබව පෙනුනා.

    • අපි හිතනවාට වඩා මේ අවිය පරණයි ගුණසිංහ මහත්තයෝ. විකිපීඩියාවේ කියන්නේ 17 වැනි ශතවර්ෂයේ නිපැයුමක් කියලා. නමුත් ආසියාවේ මෙය ඊට වඩා අතීතයේදීත් තිබිලා තියනවා. ඇම්බැක්කේ දේවාලේ කැටයමක තියනවා අතේ මෙවැනි දෙයක් පැළඳ සටන් කරන ආකාරය.

      • හැබෑව විචාරකතුමා මා පැවසුවේ උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායයේ කලාකිරිඤ්ඤය පැවති බවට සාධක හමුවී නැති බවයි. අතේ පැළඳගත් ආයුධවලට සමාන ආයුධ වැනි උපකරණ පුරාණ දේවරූප වල පවා තිබෙනවා.

  7. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරකයෝ…………….

    නියම ලිපියක් නොවැ… ඔ්කක් කලින් දැකලා තියෙනවා පාසල් යන කාලේ…. මගේ යාලුවෙක් ගාව තිබුණා…. උන් කොච්චර දියුණුවෙලා හිටියද කියලා දැන් තමයි තේරෙන්නේ…. යාලුවා තාම ඔ්වා පාවිච්චි කර කර ඉන්නවා අැති…. මොකද මං වැඩි අාශ්‍රයක් කරේ නැහැ….. ඒ නිසා මං ඔ්වා භාවිතා කරන ඒකෙන් බේරුණා….

  8. අනේ අම්මේ….තියෙන ජාති…අර ලස්සන කෙල්ලට කවුද ඩෝ හිතක් පපුවක් නැතුව ගැහුවෙ…මට තද වෙනවා අරිද…

  9. මේකට සිංහලෙන් කියන නමෙත් කිසිම බය හිතෙන හිතෙන ගතියක් නෑ. හරියටම කලාත්මක විස්කිරිඤ්ඤයක් වගේ. ඉංග්‍රීසි නමත් එහෙම්මමයි. නකල් ඩස්ටර්. මොන නමක්ද ඒක? 😀

    • හිහ් හිහ් හී………..අම්මපා ඒකත් ඇත්ත තමා. ඔලු කුඩු කිරිඤ්ඤය, මූණු නාලු කිරිඤ්ඤය, හොම්බ රිවෙට් කිරිඤ්ඤය, වගේ නමක් තිබුණානම් නියමයි.

  10. නිර්නාමික said:

    1 මේ ආයුධ ලංකාවේ භාවිත කිරීම තහනම්ද
    2.මේ අඩවියේ හමුදා ලිපි වලට තමයි ගොඩක් කැමති නන් චක්කු වගේ ආයුද ගැන ලිපි නැද්ද
    3 https://www.facebook.com/ahawal.fun/photos/pb.1639520672945638.-2207520000.1432310819./1652955478268824/?type=3&src=https%3A%2F%2Fscontent-sin1-1.xx.fbcdn.net%2Fhphotos-xpf1%2Fv%2Ft1.0-9%2F10444350_1652955478268824_1667297050583576343_n.jpg%3Foh%3D56023b40e20f905768dc7ed15ec64041%26oe%3D55FB019D&size=932%2C632&fbid=1652955478268824

    • කළාකිරිඤ්ඤය ලංකාවේ තකනම් ආයුධයක්. මේ ලිපියේ සඳහන් කිසිම අවියකට ලංකාවේ ඉඩක් නැහැ.

      නන්චක්කු නමැති ආයුධය පාවිච්චි කරන හැටි ගැන කියන්න මා එම ශිල්පය හදාරා නැහැ.

      ඔබ දී තිබෙන ලින්ක් එකෙන් ගොස් බැලුවා. සොල්දාදුවකු තම වේදනාත්මක හැඟීම් පිටකර තිබෙන බව පෙනෙනවා. සාහිත්‍ය නිර්මාණයක් ලෙස අගය කරන්න මටනම් බැහැ, ඒ වචන සහ යෙදුම් සාහිත්‍යමය නොවන නිසා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: