විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


DSC02680   ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, ‘දුව දීමට කාරෙ බැඳා’ කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා තිබෙන්නේ, ගීතයේ නිවැරදි පදමාලාව නොදන්නා, පුස්සන් විසින්, විකාර රූපී ශෛලියෙන් උම්බෑ කියපු ගීත පමණයි.

   අවසානයේදී, යන්තම් හෝ එකඟ වියහැකි ගායනයක් සොයාගත්තා. මේ ගීතය කලකට ඉහතදී, ජනප්‍රිය ගායක, එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගයා තිබෙනවා. ජෝතිපාලයන්ගේ පින්තූරයක් සහ ඔහුගේ ගායනයේ හඬ පථය යොදා ගනිමින්, එහි පදමාලාව කියවිය හැකි පරිදි, මා එය නැවත සැකසීමක් කළා. මේ පහත දක්වන්නේ, එසේ මා සැකසු නිර්මාණය වන අතර, එය, හුදු ඉදිරිපත් කිරීමක් විනා, උසස් නිර්මාණයක් නොවන බව, අවධාරණය කරන්නට කැමතියි. 

 

   මේ ගීතයේ ඇතුළත්ව තිබෙන්නේ, පැරණි සාම්ප්‍රදායික සිංහල සමාජයේ, චින්තනයේ ස්වභාවය බව, මොනවට පැහැදිළි වෙනවා. අද්‍යතන සමාජය, මේ අදහස් කිසිසේත් අනුමත නොකරන බව, අපි කවුරුත් දන්නවනේ. නමුත්, මේ චින්තනයේ නටබුන් තවමත් අප තුළින් සම්පූර්ණයෙන් ගිලිහී ගොස් නැති බවයි පෙනෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ?

   හොඳයි, මේ තරම් දිග චූර්ණිකාවක් ඔබ වෙත ඉදිරිපත් කළේ, එක් වැදගත් කාරණයක් කියන්නයි. (මට වැදගත්) මගේ කණිටු දියණිය, පසුගිය අප්‍රේල් 22 වැනිදා, මනමාලියක වී වෙනම කැදැල්ලකට පියඹා ගියා. දියණියක ගෙදරින් යන දා ට, පියකු තුළ ඇතිවන හැඟීම කොතරම් සංවේදීදැයි, මටත් දැනුණා. මා තවත් පරිණත වූ බවත්, දැන් මා ජීවිතයේ ඉදිරි සැළසුම් දෙස, නැවත සළකා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, හැඟුණා.

   මේ කෙල්ල පොඩි කාලයේ මගේ ඔඩොක්කුවේ චූ කරන කාලයේ සිට සියල්ල, මංගල්‍යය දවසේ, යළිත් මතකයට ආවා. ඇය ඉපදුන දවසෙත් මා සිටියේ යුදබිමේ දිවි පිදූ මගේ රෙජිමේන්තුවේ සෙබළකුගේ අවමගුලට සහභාගි වෙමින්. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. ඊට කළින් දවසේ, මා, රෝහලේ සිටින බිරිඳට පණිවිඩයක් යැව්වා, පසුදින, මා හමුදා අවමංගල්‍යයකට සහභාගිවීමට, රඹුක්කන ප්‍රදේශයට එන බව. මගේ බිරිඳ, දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව සිටියේ, කෑගල්ල රෝහලටයි.

   දරු උපත දන්වමින්, පණිවිඩකරුවකු මා හමුවන්නට රඹුක්කනට ආවා. හමුදා අවමගුල් උත්සවයෙන් පසු, මා මගේ අණදෙන නිලධාරියාගෙන් ගුවන්විදුලි පණිවිඩයකින් ඇසුවා, මගේ භාරයේ සිටින භට පිරිස, බලලත් නිලධාරියකු භාරයේ ආපසු කඳවුර වෙත පිටත්කර, පැය 72 ක නිවාඩුවක් ලබාගන්නද කියා. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ආපසු කඳවුරට යන ගමන්, රෝහල අසළ වාහනය නවතා, අලුත උපන් දියණියවත්, ඇගේ මවත් බලන්නට රෝහලට ගියත්, එවකට එම රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙස සේවය කළ, මගේ අයියාගේ බිරිඳ,  මට අම්මා සහ දරුවා ළඟට යන්න දුන්නේ නැත්තේ, මා අවමංගල්‍ය අවස්ථාවක සිට, දාඩිය පෙරාගෙන, පැමිණ සිටි නිසයි. දරුවා හරහට වඩාගෙන, අඩි පහක හයක පමණ දුර සිටයි, මට පෙන්නුවේ.

   මේ දියණිය කුඩා කාලයේ මා යුදබිමේ සිටි නිසා, ඈ මා කවුදැයි හඳුනන්නේ නැතිවීම, මට මහත් වේදනාවක් වුණා. මාස කීපයකට වරක් නිවාඩු ලබා ගෙදර පැමිණිවිට, ඇය මා දකින්නේ යකෙකු ලෙසයි. එතරම් බියකින් ඇය කෑ ගසා හඬනවා, මා දුටුවාම. අද ඒ සියල්ල මිහිරි වේදනා ලෙස, මා හදවතේ තැන්පත්ව තිබෙනවා. මා ඇයව වඩාගෙන ඇත්තේ, හුරතල් කර ඇත්තේ, තෑගිබෝග ලබාදී ඇත්තේ, ගමන් බිමන් රැගෙන ගොස් ඇත්තේ, කොපමණ සීමිත වාර ගණනක්දැයි, සිතනවිට දුකක් දැනෙනවා.

   ඇගේ මිතුරියන්, ඔවුන්ගේ දෙමව්පියන් සමග විනෝදවන හැටි, ඇය ඒ කාලයේ කියන්නේ, දුකක් මුසුවයි. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව, කොළඹ ‘ලොකු ඉස්කෝලයකට’ ගිය ඇය, අපෙන් තවත් ඈත් වුණා කියලයි, මට ඒ කාලයේදීම හිතුණේ. නමුත් ඇය ඇයගේ විමුක්තිය සොයා ගියා. අන්තිමට ඇය නැවතුනේ මෙන්න මෙතන.

Colombo_Medical_College_UoC

   අනේ ඉතින් මේ කෙල්ල, තමන්ගේ අනාගතය සකසා ගැනීමේ හැම පියවරක්ම මෙතනදී ගත්තා. ඇයට ඇයගේ අනාගත සහකරුද මෙතනදීම හමුවුණා. (මෙතන කපුකම් කරන උන්නැහෙලත් ඉන්නවද මන්දා) දුවලා ඉන්නේ කවදා හෝ ගෙදරින් පිට යන්නනේ. මට බැද්දේගම කතාව මතක්වුණා. දුවක ගෙදරින් යනදා පියකු ගයන ගීත අතරින්, කොයි ගීතයද මෙතනට සුදුසු කියා මට හිතාගන්න බැහැ. තවත් ලියන්න ගියොත් මගේ මුළු හදවතම එළියට එන නිසා, මෙතනින් නවතිනවා.

මහේෂා – ගවීශ ඔබ දෙපළට සුබ අනාගතයක්!

DSC02726

DSC02826   

2015 අප්‍රේල් මස 27 වැනි දින 0031 පැය

Advertisements

Comments on: "දුව දුන්නෙමි කාර බැඳා" (33)

  1. දියණියක් ඉන්න පියෙකුට මේක සංවේදී අවස්ථාවක්. මා එදිනට කොයි විදියට හැසිරෙයිද කියා මට හිතෙන්නේ නෑ. දෑසේ කඳුලක් එක්කයි මේ සටහන තබන්නේ. ඔවුන් දෙපළට මගේ සුබ පැතුම් !!!

    • තාත්තලාගේ ආදරේ මොන වගේද කියලා සමහර දරුවොත් දන්නේ නැතුව ඇති. අපි අම්මලා වගේ හැම වෙලේම පෙනෙන ආදරයක් නෙවේ දක්වන්නේ කියන එක සමහර දරුවන්ට අමතකයි.

      සුබපැතුමට ස්තුතියි.

  2. මේක ලියලා තිබුණ විදියට මටත් දැනුනා ඇත්තටම හමුදා නිලධරයෙකු කොච්චරක් නම් කැප කිරීමක් කරනවා ද කියන එක ගැන

  3. නව යුවලට සුභ පැතැම් එක් කරනවා.

  4. නව යුවලට මගෙ සුබ පැතුම්!!!

  5. යුවතිපති හට වාසනා… 🙂

  6. ඒ දෙපලට සුභපතනවා…. මටත් කෙලි පැටික්කියෙක් ළඟදීම ලැබෙන්න ඉන්නෙ. ඔය අවස්ථාවට මටත් අනාගතේදි මූණ දෙන්න වේවි. එක බොහොම සංවේදී වේවි… දුවල වැඩියෙන්ම ආදරේ තාත්තලටලු. දුක් මූදමතක කරලා මේ කතාව කියල හිත හදාගමු. “කෙල්ලෙක් හදනවා කියන්නෙ අල්ලපු වත්තෙ කෙහෙල් ගහක් හිටෙව්වා වගේ වැඩක්” කියල… බොහොම සංවේදීව ඒක කිව්වෙත්…

    • ඇත්තටම මේ වේදනාවේ තරම දැනෙන්නේ ඒ දවස උදාවුනාමයි. පෙරදිග රටවල අපි දරුවන්ව කවදත් දකින්නේ පොඩි එවුන් වගේ. ඒ බැඳීම නිසා තමයි මේ වේදනාව. නමුත් ලෝක ධර්මයට අපි එකඟ වියයුතුයි.

      ස්තුතියි සුබපැතුමට

  7. නව යුවලට දිගුකල් වැජඹෙන්න කියලා සුබ පතනවා!!!

    ඔබේ අතීතාවර්ජනය තුළ මම මගෙ අනාගතය දකින්නෙ විචාරක තුමා!! ඔබ ඒ කල සියලු කැපවීම් වලට අපි ඔබට (ඔබ සැමට) සදා ණයගැතියි!! ඒ කැපවීම තුළ ඔබට වේදනාවක් (මිහිරි වුවත් එය වේදනාවක්) ඉතිරි වුණත්, ඒ තුළින් ඔබ මුලු රටක ම වේදනාව තුරන් කළ බව පමණක් ප්‍රමාණවත් වේවි ඒ වේදනාව තුළ ලබන මිහිර වැඩිවැඩියෙන් මිහිරක් ලෙස ම දැනෙන්න!!

    • බොහොම ස්තුතියි සුබපැතුමට.

      මොහොතකට මෙහෙම හිතන්න. අනාගතේදී තමන්ගේ දුවලා පුත්තු විවාහ කරදෙන්න ඉතා ඉහල බලාපොරොත්තු තියාගෙන හිටිය තාත්තලා කී දෙනෙක් යුද බිමේදී අවසන් හුස්ම හෙලන ඇද්ද? අද ඒ දරුවන්ට මොනවා වෙලා ඇද්ද? යුද්ධය මොන තරම් කුරිරුද?

  8. sir la yudde kohomahari iwarakarane..

  9. කො ඉතින් අපිට කිවේ නැනේ , දුකයි සතුටයි දෙකම තියන හන්දා ඔයාට සුබ නොපතා ඉන්නං

  10. මේ යුවති පතියන්ගේ ඉදිරි දිවිය වෙනුවෙන් ආසිරි සුබපැතුම් පිරිනැමීම පළමුවම කරන්නෙමි. මේ පෝස්ටුව කියෙව්වේ උඩුගැන්වූ මොහොතේම වගේ. ඔබතුමා දියණිය නිසා ලද අත්දැකීමට සමාන අත්දැකීමක් මට ලැබුණේ වසර හතරකට පෙර දී . ඒ අවස්ථාවෙ ඔබතුමාට තරම් හිතට හයියක් මට තිබුණාද යන්න සිතියි නොහැකියි. “දුව දුන්නෙමි කාර බැඳා “ යන්න ලියා තැබුවත් සිහිකරන්නට අපහසු තරම් නේද විචාරකතුමණි. අසළ දැවටෙමින් අපේ අවධානය හෙව්ව උන් අපට තවමත් පුංචි එව්වො.

    • මම මොහොතකට හිතුවා මගේ අක්කලා විවාහවන දවසේ මගේ තාත්තාට මොනවා හිතෙන්න ඇද්ද කියලා ගුණසිංහ මහත්තයෝ. අපි පෙරදිග මිනිස්සු. අපේ පවුල් සම්බන්ධතා බොහොම දැඩියි. එකයි මේ වගේ දුකක් දැනෙන්නේ.

      සුබපැතුමට ස්තුතියි.

  11. ගල් අරක්කු ටිකක් එක්ක වෙඩිං කෙක් කෑල්ලක් දුන්නා නම් වටිනවා

  12. නව යුවලට මගෙනුත් “සුභ පැතුම්”.

  13. මහේශාටත් පොඩ්ඩාටත් සුභපැතුම්!!!

    //මෙතන කපුකම් කරන උන්නැහෙලත් ඉන්නවද මන්දා//

    එහෙ කපුවො නේන්නං ඉන්නෙ හැමතැනම.

  14. විචාරක තුමාගේ ආඩම්බරයට මමත් එකතු වෙන්නෙ හරිම සතුටෙන්…පියෙක් විදියට මේ අවස්ථාව ඉතාම සංවේදී යැයි සිතමි. දූ වරුන් පියවරුන්ට ඉතාම සමීප වෙන බවට ඇති මතවාදයේ සිට මේ අවස්ථාව දෙස බැලුවහොත් ඔබ එදා ඉතාම සංවේදී වූ බව නොඅනුමානයි. මගේ මිත්තරයෙක් තමන්ගෙ අක්කගෙ මංගල උත්සවය දවසෙ, ඤාතීන්ගෙන් සමුගෙන පිටත් වන අවස්ථාවෙ ඇයව බදාගෙන හැඩූ අයුරු දැක මුලු මංගල සභාවම කදුළු හැලුවා. ඒක මට අදටත් අමතක නොවන අවස්ථාවක්.

    දියණියට සියලු යහපත් දේ පතමි. කොල්ලා එහෙනං හරියට ගානට තම්පලා ගහ කැපුවා.

    • හුටා සිරෝ……..උඹ කියනකල් තම්පලා ගහේ කතාව මටත් අමතක වෙලා තිබුණේ. හෙහ් හෙහ් එහෙනං මේ මනමාල පොඩ්ඩා කැපුවා ගහ නියමෙටම නේද?

      ඇත්තටම තාත්තා කෙනෙකුගේ යුතුකම් සහ වගකීම් බොක්කටම දැනෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

      සුබ පැතුමට බොහොම ස්තුතියි.

  15. නව යුවලට සුබපතවා ! මගේ තාත්තා මාව දේවිද කියල හිතන්න බැරිතරම් ළඟයි මාත් ඒ වාගෙම දුකක දැනටත් විඳින්නෙ ඔබතුමා කිව්ව වගෙපෙි පෙරදිග මිනිස්සු

  16. මගේ ගුරවරයාගෙ මැෂින් එකෙන් කොමනේටුව දාලා මම හරි වැරැද්දක් කරගත්තේ. ඉහත තියෙන්නේ මා එවන්නට සැලසුම් කළ සුබ පැතුම “නව යුවලට සුබපතවා ! මගේ තාත්තා මාව දේවිද කියල හිතන්න බැරිතරම් ළඟයි මාත් ඒ වාගෙම දුකක් දැනටත් විඳින්නෙ ඔබතුමා කිව්ව වගෙ අපි පෙරදිග මිනිස්සු“
    දැන් ඉතින් මගේ ගුරුතුමා ආවම මේ වරදට සමාව ඉල්ලගන්න වෙනවා.

    • මමත් එක පාරටම උඩ ගියා මේ මොනවද මේ ගුණසිංහ මහත්තයා ලියලා තියෙන්නේ කියලා.

      බොහොම ස්තුතියි දුවේ සුබපැතුමට.

      නිසි කාලය ආවම ඔයාටත් සුබ මංගල්‍යයක් ලැබෙයි. එතකල් හොඳට ඉහළටම ඉගෙනගන්න.

      ගුරුතුමා සමාව දෙයි. ඔයා කියනවානම් විතරක් ඒ වැරදුන කමෙන්ට් එක අයින් කරන්න පුළුවන්.

  17. නව යුවලට සුබ පැතුම්…………………..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: