විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


DSC01308   ආදිවාසී යන වර්ගීකරණයට වැටෙන ජන කොට්ටාශ, සෑම මහාද්වීපයකම දක්නට ලැබෙනවා. ලෝකයේ බොහෝ රටවල, ආදීවාසීන් ලෙස හඳුන්වන ජන ගෝත්‍ර ජීවත්වෙනවා. ලංකාවේ ආදිවාසීන් ලෙස සැළකෙන්නේ, ‘වැදි’ නමැති ජන ගෝත්‍රයයි. මේ ලිපිය ලියන්නට හේතුවුනේ, පසුගිය දිනක, මා මහියංගනය ප්‍රදේශයේ කළ සංචාරයකදී, දඹානේ ජීවත්වන, ආදිවාසී ජනතාව බලන්නටද ගිය නිසයි. සාමාන්‍යයෙන් වන්දනා සහ/හෝ විනෝද චාරිකා වල යෙදෙන බොහෝදෙනා, දඹානේ ආදිවාසීන් බලන්නට යාම සිරිතක්.

   පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු මධ්‍යස්ථානයට යන්නට සිදුවුණා. මගේ හමුදා සේවා කාලය තුළ මා කවදාවත් මේ ස්ථානයට ගිහින් නැහැ. හේතුව, මෙය ඉඳුරාම යුද හමුදාවට සම්බන්ධ ස්ථානයක් නොවන නිසා. මට ලැබුණු විශේෂ ආරාධනයක් නිසයි ගියේ. ආදි පාද හමුව ගැන වෙනම ලිපියක් ලියන්නම්. මේ කඳවුරේ දින දෙකක් ඉතා විනෝද ජනක ලෙස ගෙවීගියා. ඒ හමුවේ එක් ඉසව්වක් වුයේ, මහියංගනය සහ දඹාන යන ප්‍රදේශවල චාරිකාවක යෙදීමයි. ඒ අවස්ථාවේදී මා ලද අද්දැකීම් කීපයක් තමා, මේ සටහන තැබීමට නිමිති කරගත්තේ.

   අපේ කණ්ඩායමේ, විශ්‍රාමික හමුදා නිළධාරීන් 30 ක් පමණ සිටියා. අපි රැගත් බස් රථය, මහියංගනය – පදියතලාව ප්‍රධාන මාර්ගයෙන්, දඹානට යන අතුරු මාර්ගයට හරවනවිටම, උඩුකය නිරුවත්, සරමක් දෙකට නවා ඇඳගත්, (වළාපොට ගහලා) වයස අවුරුදු 14 – 15 පමණ, කොලුගැටයෙක්, බස් රථය නවත්වන ලෙස සංඥා කළා. බසය පැදවුවේ, ඒ ප්‍රදේශය හුරු හමුදා රියදුරෙක්. ඔහු නිළ ඇඳුමෙන් හිටියේ. නිළ ඇඳුමෙන් සිටි තවත් හමුදා සොල්දාදුවකු, අපේ ආරක්ෂාවට ගමන් කළා. ඔහුත් මේ ප්‍රදේශය දන්නවා. ඒ සොල්දාදුවා එකවරම රියදුරාට කිව්වා,

   ‘අපෙනුත් ගරන්න තමා හදන්නේ. නවත්තන්න එපා කෝප්‍රල්’ කියලා.

   මම ඒ සොල්දාදුවාගෙන් ඇහුවා,

   ‘ඇයි එහෙම කිව්වේ’ කියා.

   ‘සර්, මේ ගොල්ලෝ ඕනෙම වාහනයක් ආවම, පාර පෙන්නන්න කියලා ඒකට නගිනවා. ඒකට ගාස්තුවක් අයකරනවා. එතන ඉඳලා එක එක දේවල් පෙන්නලා, විකුණලා, කීයක් හරි ඉල්ලන එක තමා වැඩේ’ කියා, ඔහු උත්තර දුන්නා.

   ඒ සමගම ඔහු මට පෙන්නුවා, ඒ කොලුගැටයා, වේගයෙන් දුවගොස්, ඒ අසළ කුඩා කඩයකට මුවාවී, තම සරමට යටින් ඇඳ සිටි කොට කලිසමේ සාක්කුවකින් ගත් ජංගම දුරකථනයකින්, ඇමතුමක් ගන්නා හැටි.

   ‘ඔය කරන්නේ සර්, අර්ලි වෝනිං දෙන එක’ අර සොල්දාදුවා කිව්වා.

   (හමුදා භාෂාවෙන් අර්ලි වෝනිං Early Warning දෙනවා කියන්නේ, ඉතා නුදුරේදී යම් සිදුවීමක්/සතුරු ප්‍රහාරයක්/සතුරාගේ යම් ක්‍රියාකාරකමක්/වැදගත් පුද්ගලයකුගේ පැමිණීමක්/අනපේක්ෂිත කරදරයක්/ හෝ එවැනි යමක් සිදුවියහැකි බවට, කල්තබා දැනුම්දීම හෝ අනතුරු ඇඟවීමයි)  

   ‘ඉතින් මෙයා කාටද අර්ලි වෝනිං දෙන්නේ’ කියා මම ඇහුවා.

   ‘දඹානේ ඉන්න මෙයාගේ කට්ටියට තමා කියන්නේ, ඔන්න බස් එකක් එනවා ලෑස්තිවෙලා හිටපල්ලා කියලා’ යනුවෙන් පිළිතුරු ලැබුණා.

   අපි දඹාන මහා විද්‍යාලය අසළට යනවාත් සමගම, උඩුකය නිරුවත්, පිරිමි කීපදෙනෙක්ම උත්සාහ ගත්තා, බස්රථයට නගින්න, නමුත් අපේ ආරක්ෂාවට හිටිය සොල්දාදුවා, ඔවුන්ව වැලැක්වුවා.

   ‘පාර පෙන්නන්න හැදුවේ, අපිවත් අරන් යන්න’ ආදී වශයෙන්, ඔවූන් කෑ ගහනවා ඇහුණා.

   ඔන්න ඉතිං අපි දඹානට ගියා කියමුකෝ. එතනදී මුලින්ම හමුවන්නේ කුඩා වෙළඳපොළක්. පරිසරය රැකීම ගැන, මේ වැදි ජනතාව කොපමණ දේ අපට කිව්වත්, මේ වෙළඳපොළ කාලීනව අලුත්වැඩියා කරන්නට, සෑහෙන ගස් ප්‍රමාණයක් කපන්න වෙන බව, පැහැදිළිවම පෙනුණි. මෙහි තිබෙනවා, වැදි ජනතාවගේ අත්කම් නිර්මාණ, මී පැණි, ආදී මෙකී නොකී දෑ.

   මේ මීපැණි ගැන කියනවානම්, මගේ දැනීමේ හැටියට, ඒවා පිරිසිදු මී පැණි නොවේ. අපද්‍රව්‍ය බහුලය, අසුරා තැබීම දුර්වල නිසා, තවත් අපද්‍රව්‍ය මිශ්‍රවීමට ඉඩතිබේ. මී පැණි දමා තිබෙන විශාල භාජනවල, මී වද කැබලි බලෙන් ඔබා ඇත්තේ, ඒවා නියම මී පැණි බව පාරිභෝගිකයාට ඒත්තු ගැන්වීමට විය හැකිය. බෝතල්වල තිබෙන මී පැණි පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත. බොහෝදෙනා, ඒවා හොඳ මී පැණි කියා රැවටීම වැළැක්විය නොහැකිය. එතනදී ඒවා කියන්න ගොස්, ගුටිකන්න බැරිය. නමුත් මම එක දෙයක් කළෙමි. ඒ මී පැණි ගන්න උත්සාහ කළ, අපේ නඩයේ කීපදෙනෙකුටම, අකමැත්තෙන් වුවද, අර මිනිස්සුන්ට තේරෙයිදෝ යන සැකයද සහිතව, සුද්දාගේ බාසාවෙන් කරුණු කියා, ඒ මිනිසුන්ගේ බඩට ගහන්නට මට සිදුවිය. 

   (මී පැණි බහුළ ප්‍රදේශයක ඉපදුණු, එක්තරා සොල්දාදුවෙක්, නියම මී පැණි හඳුනාගන්නා හැටි, යුද්දෙට ගිය කාලෙදි මට කියාදී තිබුණා. ඒ අනුව මම වරක්, ආණමඩුව ප්‍රදේශයෙන් මිළදීගත් මී පැණි, නියම මී පැණි බව, ඔහු පරීක්ෂාකර සනාථ කළා) 

   එමෙන්ම, කළුවර ලීයෙන් සෑදු බව කියමින් පෙන්වන විවිධ නිර්මාණ, කළුමැදිරිය හෝ වෙනත් ලීයකින් නිමවා, සාර්ථකව කළු කළ ඒවා බව, ඉතා පැහැදිළිය. ඒවා කළුවර ලී නොවන බවත්, නිර්මාණයේ මිළ මා ගෙවන අතර, ඉන්පසු එය දෙකට කඩා, හරස්කඩ පෙන්විය හැකිදැයි මා ඇසු පැණයට, එක් පුද්ගලයකු කෝපයට පත්ව, මොනවාදෝ මුමුණමින්, (මගේ දෙමව්පියන් මතක් කරන්න ඇති) එතනින් ඉවත්ව ගියා. කී කිරිඳි ඇට, කම්බි යොදා අමුණා කර ඇති නිර්මාණ, ශක්තිමත් නොවන අතර, කියන මිළ ගණන් අසාධාරණ බව එකවරම පෙනීයයි.

DSC01302

  ආදිවාසීන්ගේ ඉතිහාසය දැක්වෙන කෞතුකාගාරය ද නරඹන්නට අපිට හැකිවුණා. ඒ සඳහා ඉතා සාධාරණ මුදලකට ටිකට් පත් විකිණුනා. කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම තහනම් බව, දැන්වීමක් මගින් ප්‍රදර්ශනය කර තිබුණත්, ඒ අවස්ථාවේ, කෞතුකාගාරය නැරඹීමට, විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි  සියළු දෙනාම පාහේ, තම ජංගම දුරකථන වලින්, සිත්සේ ඡායාරූප ගන්නා බව පෙනීගියා. එය වළක්වන්නට කිසිවෙකුත් කෞතුකාගාරය තුළ සිටියේ නැහැ. 

   මේ කෞතුකාගාරයේ ටිකට් කවුන්ටරය කිසිදු තේරුමක් නැතිව ලී කෝටු යොදා සකසා තිබුණා. ඔවුන් එයින් අදහස් කරන්නේ වනයේ පෙණුම ලබාගන්නට නම්, එය කිසිසේත් එතනට උචිත නැහැ. ඒ කෝටු උඩ ඔවුන්ගේ පොත්පත් සහ ගණක යන්ත්‍රය තබාගැනීමට වෙහෙසක් දරන්නට සිදුවුණා. එලෙස වනගත පෙණුමක් දෙන්නේ නම්, ටිකට් නිකුත් කරන අයද, වැදි ජනතාවගේ ඇඳුමකින් සැරසීම වඩාත් සුදුසුයි. මේ ලී රාමුව වසරකට වරක්වත් අලුත්වැඩියා කරන්නට සිදුවන බව නොඅනුමානයි. ඒ සඳහා ලී කපන්නේ කොහෙන්ද? බලය දෙන්නේ කවුද?

DSC01304

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නනියැලැත්තෝ හමුවීමට ඉඩක් ලැබේයැයි සිතා සිටි නමුත්, එතුමා තම කෘෂිකාර්මික කටයුතු ගැන සොයාබැලීමට  බැහැරට ගොස් ඇතිබව දැනගන්ට ලැබුණා.

Vedda_Chief_Uruwarige_Wannila_Aththo

  ආදිවාසීන්ටම උරුමවූ ආකාරයක වෛද්‍යකර්මයේ යෙදෙන ආදිවාසී සාමාජිකයකුගෙන්, තම විවිධ රෝග සඳහා ප්‍රතිකාර/ප්‍රතිකර්ම ලබාගැනීමට, පැමිණසිටි සෑහෙන පිරිසක් උත්සුක වුණා.

DSC_1852

   අපි ආපසු එන්නට හැරෙන විටම ආදිවාසී දරුවෙක් අප වෙත පැමිණ පාසල් පොත් ගැනීමට ආධාරයක් කරන ලෙස ඉල්ලුවා. පාසල් යන අය සෑහෙන පිරිසක් ඉන්න බවද දැනගන්නට ලැබුණා. මේ දරුවා සමග අපි කෙටි පිළිසඳරක යෙදුණා. මේ දරුවා කිව්වා, ඔහුට නම් දෙකක් ඇති බවත්, පාසලට කියන්න එක් නමක් බවත් ගමේදී (වරිගයේදී) කියන්නේ තවත් නමක් බවත්. අපි ඔහුට සැළකිය යුතු මුදලකින් ආධාර කළා. ඔහු අපට ආදිවාසී ජන ගීයක් ගායනා කර පෙන්වූවා. මා එය මගේ කැමරාවේ සටහන් කරගත්තා. 

   අනේ මේ වීඩියෝවේ, අර ගීතය කියන දරුවා අසළ ඉන්නේ, අරයා නේද මෙයා නේද කියලා නම් අහන්න එපා.

   මේ හැර විවිධ දේ විකුණන මෙන්ම, මුදල් ඉල්ලන අය කීපදෙනෙක්ද දකින්නට ලැබුණා. සියල්ල අවසානයේදී මා සිතට නැගුන දේ, ඔබ සමග සාකච්ඡා කිරීමේ අරමුණින් පහත දක්වනවා. 

  • මේ අය ආදිවාසීන් යන වර්ගීකරණයට වැටෙන්නේ කෙසේද? ආදී වාසීන් යනු, යම්කිසි රාජ්‍යයක/භූමි ප්‍රදේශයක/ මහාද්වීපයක/ වර්තමානයේ ප්‍රධාන ජාතිය ලෙස පිළිගන්නා ජන කොට්ඨාශය, පිටතින් පැමිණ එහි ස්ථිරව පදිංචිවීමට පෙර, එම ප්‍රදේශයේ, ආදි කාලයේ සිටම තම නිජබිම ලෙස පදිංචිව සිටි ජනතාවයි. ‘වැදි’ යනුවෙන් ජන කොට්ඨාශයක්, විජයාගමනය සිදුවන විට තිබුනේ නැහැ. වැදි පරපුර ඇතිවුණේ, කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් බවයි, ජනප්‍රවාදයේ පැවතෙන්නේ. නමුත් මේ ලිපිය ලියන්නට පෙර, මූලාශ්‍ර වශයෙන් මා කියවා බැලූ ලිපි එකකින්වත්, ඒ කරුණු සනාථ නොවූ අතර, වැදි ජනතාවද ආසියානු රටකින් මෙහි සංක්‍රමණය වූ බව පිළිගතහැකි සාධක තිබෙනවා.
  • ගල් වැද්දන්, ගම් වැද්දන්, ආදී වශයෙන් සඳහන් ජන කොට්ටාශ කිසිවක්, අද ඒ මුල් ස්වරූපයෙන් අපේ රටේ නැති බව, අප දන්නවා. ඕනෑම රටක ඇති, කොතරම් සැඟවී පවතින කුඩා ජන සංස්කෘතීන් පවා, කාලීන වෙනස්කම් වලට ලක්වීම නොවැලැක්විය හැකියි. 
  • අපේ රටේ වැදි ජනතාව පිළිබඳව ගවේෂණය කල විද්වතුන් විසින් වාර්තා කර තිබෙන කරුණු පිළිබඳව සළකා බැලීමේදී, අද අප දකින්නේ, ඉතා සීඝ්‍ර ලෙස, සිංහල ජාතියේ සංස්කෘතික ලක්ෂණ වලට අනුගත වෙමින් පවතින, එහෙත් තවමත් තමන් ආදිවාසීන් යයි කියාගන්නා, ජන කොට්ඨාශයක් බව පෙනෙයි. 
  • අතීතයේදී ගල් වැද්දන් (ගල්කුළු සහිත ප්‍රදේශවලට සීමාවී ගල් ගුහාවල ජීවත් වූ වැදි පරපුර) අද කිසිසේත් දකින්නට නොලැබෙන අතර ගම් වැද්දන් යනුවෙන් හැඳින්වුන (වනයේ ජීවත්වුණ) වැදි පරපුර අද ඉතා සීඝ්‍රයෙන් ලාංකික සාමාන්‍ය සමාජය සමග මුසුවෙමින් පවතී.
  • මොවුන් දෙබිඩි ජීවිතයක් ගතකරන බවට ඉතා පැහැදිලි සාක්ෂි තිබේ. එනම් ඔවුන් තම වත්කමේ ප්‍රමාණයට නවීන තාක්ෂණික මෙවලම්ද සහිතව සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර, තමන්ට විශේෂ අනන්‍යතාවක් ලබාගැනීමට සහ අයිතිවාසිකම් දිනාගැනීමට පමණක්, ආදීවාසී යන වර්ගීකරණයට වැටෙන්නට උත්සාහ කරයි.
  • මෑතකදී මා සමග පිළිසඳරක යෙදුන බ්ලොග් රචකයකු, දැනට දශක දෙකකට පමණ පෙර, මෙම ජනතාව සම්බන්ධ සිය අත්දැකීමක් පවසමින්, ඔහු ඇතුළු පිරිසක් සමග, ඒ ප්‍රදේශයේම වෙනත් මෙවැනි ජන කොටසක් පෙන්වීමට ගිය ආදිවාසී පුද්ගලයකු, අර අනෙක් ජනකොටස IRC Buggers යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි යෙදුමක් භාවිත කරන්නට නම්, එක්කෝ ඔහු ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් ගැන අවබෝධයක් ලබා තිබිය යුතුය. නැතහොත්, වර්තමාන ලාංකික සමාජය සමග ගැටීමෙන්, ඉංග්‍රීසි වචන මුසු භාෂා ස්වරූපයට හැඩගැසී ඇත.
  • ආදිවාසී නායකයා හට පසුගිය රජයෙන් පිකප් ට්‍රක් රථයක්, (ලංකාවේ සමාජ ව්‍යවහාරය අනුව ඩබල් කැබ් එකක්) ලබාදීමට කටයුතු යොදා තිබුණු අතර, ආදිවාසී නායකයා ඊට කැමැත්ත පළකර ඇත. නමුත් පැරණි වැදි සංස්කෘතිය අනුව නම්, ඔවුන් ගොන් කරත්තයක්වත් පාවිච්චි කරන්නේ නැත.  
  • මේ පිරිස තවදුරත් ආදිවාසී යන සුවිශේෂී වර්ගීකරණයක තැබීමෙන් පළක් නැත. ඔවුන්ට තම අභිමතය පරිදි රටේ සාමාන්‍ය සමාජ ප්‍රවාහයට අනුගත වන්නට හෝ තම නිජබිම් ලෙස සැළකෙන ප්‍රදේශවල, රටේ පොදු නීතියට යටත්ව තම පාරම්පරික සිරිත් අනුගමය කරමින් විසීමට නිදහස තිබිය යුතුය.
  • සංචාරකයන් වෙනුවෙන්, තම අතීත ඇවතුම් පැවතුම් පෙන්වාදීමට සුදුසු ආදර්ශ ගම්මානයක්, රාජ්‍ය අනුග්‍රහයෙන් සකසා දියයුතු අතර, එය, මේ පරපුරේ, අද සිටින අයගේ ස්වභාවය නොව, මීට සියවසකට පමණ පෙර ජීවත්වූ, මෙම ජනවර්ගයේ ස්වභාවය බව, සංචාරකයන්ට පැහැදිළි කරදිය යුතුය. මේ පිරිස සංචාරකයන්ගෙන් සිඟාකෑම වැළක්විය යුතු අතර, ඔවුන්ගේ පාරම්පරික දක්ෂතා අර ආදර්ශ ගම්මානය තුළදී ප්‍රදර්ශනය කර, මුදල් උපයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුය.
  • මේ පරපුරේ වර්තමාන තරුණ කොටස්, අධ්‍යාපනය වෙත උනන්දු කරවිය යුතු අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වහාම වැඩිදියුණු කළයුතුය.  

   මා හිතනවා, ඔබටත් මේ ගැන කියන්න බොහෝ දේ ඇති. ඒ නිසා, ඔබට ඉඩදී, මෙතෙකින් මගේ අදහස් දැක්වීම නිම කරනවා.      2015 අප්‍රේල් මස 05 දින 2208 පැය

Advertisements

Comments on: "ආදිවාසී සෙල්ලමේ කෙළවර කොතනද?……………………………………Who are the Aborigines of Sri Lanka?" (14)

  1. විචාරකතුමා, උදේ පාන්දර කට කැඩිච්ච කතාවක් කියනවා නෙවෙයි.මේක තාත්තගේ අත්දැකීමක්. ඌරු වරිගේ තිසාහාමි වැදි නායකයා වෙලා හිටපු කාලෙ තාත්තා ගියාලු යාළුවො එක්ක වැදි ජනතාව බලන්න. තිසාහාමි වෙනම පොඩි පැල් කොටේක ඔය කියන විදිහෙ බිස්නස් ස්ටෝල් එකක් දාගෙන ඉන්නවලු. මී පැණි වගේ දේවල් සහ කෝටු කෑලි වලින් පොඩි දුණු හදල විකුනනවලු. තාත්තා කිව්වා විදිහට ඒ දුණු වලින් ඊතලයක් අඩි දහයක් වත් විදින්න බෑ ලු. තිසාහාමි හිනා වෙන්නෙ කතාකරන්නෙ නෑ ලු. වැද්දෝ හිනා වෙන්නෙ නෑ කියනවනෙ. ඒ නිසා කමක් නෑ කියල හිතාගෙන කතා කලාලු. ම්ම්හු කිසි කතාවක් නෑ ලු. හෙන ආඩම්බරේට, ගැම්මට හිටිය කියල තමයි කිව්වෙ. එතකොටම සුද්දො නඩයක් ආවලු. මෙන්න තිත්ත බේත් බීල වගේ හිටපු තිසාහාමි පට ගාල හිනා වෙනවලු. කතාකරනවලු, බිස්නස් කරගන්න. උන්ටික ගියාට පස්සෙ හොඳටෝම බැනල ආවලු.
    තවත් දෙයක්. මේක ජාන මංකොල්ලයක් ගැන කතාවක්. ලංකාවේ වැඩි ජනතාවට හොඳ ප්‍රතිශක්තියක් උපතින්ම ලැබිල තියනවා කියලයි කතාවට කියන්නෙ. කර්කශ දේශගුණයට ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න ස්වාභාවිකවම ලැබුණ ප්‍රතිශක්තියක්! ඔරිජිනල් වැද්දෝ නාන්නේ නෑ කියලත් කතාවක් තියනව නෙ. ඇත්තද බොරුද දන්නෙ නෑ. ජාන මංකොල්ල කතාව සම්බන්ධෙන් කියද්දි මේ කතාව ඇහුවොත් පුදුම වෙයි. බොරුවක් වෙන්නත් බෑ. මොකද මේක කිව්වෙ ඒ වගේ නයි අරින පොරක් නෙවෙයි. ඒ ආදී වාසී ජාන ගන්න එක පාරක් බටහිර සුද්දෝ සෙට් එකක් ඇවිත් සුදූ ගෑණු දම්මල වැඩි තරුණයෝ කීපදෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙලා ඒ වැඩේ කරගෙන ගියා කියලයි මට අහන්න හම්බුනේ.

    • ඉතාම වටිනා තොරතුරු සජ්ජා. බොහොම ස්තුතියි ඔබේ මේ දායකත්වයට. මා මෙවැනි ලිපි ලියන්නේ මේ ආකාරයට සංවාද කිරීම සඳහා වේදිකාවක් ගොඩ නගන්නයි. නමුත් කණගාටුදායක කරුණ වන්නේ බොහෝ දෙනෙක් කැමති හුදු විනෝදයට පමණයි.

      ඔබ කියා ඇති කරුණු සමහරක් මා මීට පෙර පැරණි පුවත්පත් වාර්තාවක කියවා තිබෙනවා. ජාන මංකොල්ලය ලෝකය පුරාම ඉතා සූක්ෂ්මව සිදුවන නිසා මේ කථාව එකවරම ප්‍රතික්ෂේප කරන්නත් අමාරුයි. මේ ජනතාවට නිසි මගපෙන්වීමක් තවමත් සිදුවී නැති බවයි මා හිතන්නේ.

      අර ඔබ කියාතිබෙන ආකාරයේ ගල්දුණු විකුනනවා මමත් දැක්කා. ඒවා නයිලෝන් ලණුවලින් බැඳ තිබුනේ. ඒ කියන්න පාරම්පරික නිර්මාණය නවීකරණය කරන්න ගිහින් වටිනාකම නැති කරගෙන. අන්න ඒවා ගැනයි මේ අයට මගපෙන්වීම් කරන්න ඕනේ.

    • // බොරුවක් වෙන්නත් බෑ. මොකද මේක කිව්වෙ ඒ වගේ නයි අරින පොරක් නෙවෙයි //

      මට නම් පෙන්නේ අර ජලවිදුලි බලාගාර වලින් වතුරේ සාරය ඔක්කොම ගන්න නිසා මහවැළි කුඹුරු පාලුවෙනවා කියපු පොරගේ නෑයෙක් ද කොහෙද.

      ඇනලයිස් කරන්න වැද්දන් ගේ ජාන ගෙනියන්න ඕන නම් ගෑනුන්ට උන් එක්ක නිදාගන්න දෙයක් නෑ පරණ අමුඩ කෑලි ටිකක් එකතු කරන් ගියා නම් හරි (සහ වඩා හොඳ ප්‍රතිපල ගන්නත් පුළුවන් ආයේ කවලම් වුනු ජාන වල වැද්දන්ගේ බාගේ හොයනවට වඩා.)

      අනික් පැත්තට ඔය දෙමුහුම් සත්තු, දෙමුහුන් වී හදනවා වගේ වැද්දන්ගේ ජාන වල හොඳ ටික අරන් අලුත් මිනිස් පරම්පරාවක් හදනවා නම්

      එහෙම කරන්න තරම් පට්ට සිරා ජාතියක් ඉන්නේ ලංකාවේ වැද්දෝ විතරද? උන්ගේම රටවල ඉන්න පට්ට මොළේ තියන ප්රෝෆෙසර්ලා, පට්ට ටැලන්ටඩ් ස්පොර්ට්ස්මන් ලා වගේ උන් එක්ක ගෑනු නිදි කරවලා “මුහුන්” කරන්නත් එපැයි? ඒ ඔක්කොටම කලින් කරන්න ඕනේ ලංකාවේ වැද්දෝ එක්ක දෙමුහුන් සුද්දෝකර ගන්න එක ද?
      එක පාරක් “මුහුන් උනහම” එන්නේ ජාන වලින් 1/2යි. ඊළඟ පරම්පරාව ආයෙත් වැද්දෝ එක්ක නිදා ගත්තේ නැත්නම් (හෝ ඒ උපදින ළමයි උන් උන් අතරේ සංසර්ගය නොකරා නම්) උන්ට යන්නේ වැදි ජාන වලින් 1/4යි. ඉතින් ඔය එක්ස්පරිමන්ට් එක ප්‍රායෝගික ද?
      වැද්දන්ගේ හැම ජානෙම හොඳ නැහැ නේ. ලෙඩ වලට ඔරොත්තු දෙන කෑල්ල ඇත්තේ සම්පූර්ණ genome එකෙන් ඉතාම පුංචි කොටසක. වැද්දන්ගේ අවුල් ජාන සුද්දන්ගේ අවුල් ජාන එක්ක එකතු වෙලා හැදෙන අප්සෙට් ළමයි මරල දානවද? එහෙම එක්ස්පරිමන්ට් එකක් කරන්න පුළුවන් “සුද්දන්ගේ” මොන රටේ ද?
      ගෑනු කැමතිද එහෙම එක්ස්පරිමන්ට් එකකට නොදන්නා රටක, නොදන්නා ගතිගුණ, නොදන්නා ලෙඩ, නොදන්නා විකෘති තියන මිනිස්සුන්ගෙන් ළමයි හදා ගන්න? ඔය කතාව කියපු කෙනා දන්නා කියන එහෙම ගෑනු ඉන්නවද?
      එක්ස්පරිමන්ට් එකකට දෙමුහුන් ළමයි හදන්න බටහිර රටක නීතියෙන් සහ ආයතනිකව ඉඩක් තියනවද? stem cell research වගේ දේවලටත් මහා එතිකල් ගොසාවල් එද්දී?

      ලංකාවේ විද්‍යා අද්‍යාපනය ට යොදවන සල්ලි ගැන දුක හිතේ.

  2. ඔබතුමාගේ ලිපිය බ්ලොග් කියවන අය තවත් දෙසකට යොමු කරනවා. ඔබතුමා මෙන්ම සජ්ජාද පවසන දුක්ඛිත කතන්දරය සෑබෑවක්. පසුගිය කාලයේ සබරගමුව සරසවියේ විද්වතුන් පිරිසක් ආදිවාසී ජනතාව ගැන හැදෑරීමට යොමු වී සිටියා. ඒවයේ ප්‍රතිඵල තවම එළියට පැමිණ නැහැ.
    ඔබතුමාට හෝ වෙනත් කාට හෝ “මුහුදු වැද්දන්“ ගැන කිසියම් හෝ අත්දැකීමක් තිබෙනවා නම් ලියන ලෙස මේ සමගම ඇරයුම් කරනවා.
    මගේ හිතවතකු වරක් මුහුදු වැද්දන් යනුවෙන් සිටින පිරිසක් ගැන පාවසුවා. ඒ අය 1818 ජාතික විමුක්ති සටනේදී කිවුලේගෙදර මොහොට්ටාල සමග සටන් කරමින් සිට පරාදවීමෙන් අනතුරුව මුහුද දෙසට පළාගොස් ඒ අවදීයේ සිටි මට්ට මිනිසුන් සමග එක්වු පිරිස බව කියවුනා. බ්‍රවුන්රිග් ආණ්ඩුකරු දියත් කළ ජනසංහාරයෙන් බේරීමට පළා ගොස් ඔවුන් සැඟව ඇත්තේ මුහුදු කරයේ මට්ට පිරිස් අතරයි. මේ මුහුදු වැද්දන් සතුව වටිනා පුරාණ දැනුම් සම්භාරයක්, ශීල්පීය ක්‍රම හා විශේෂයෙන් පෞරාණික සටන් ක්‍රම(අංගම් ඉලංගම් සහ මායංගම් සටන් ක්‍රම) තවමත් ඉතාම රහසේ පවතින බවක් ද එහිදී අසන්නට ලැබුණා.

    • බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා ලිපියේ සාකච්ඡා නොකෙරුණු ‘මුහුදු වැද්දන්’ පිළිබඳව මතක් කිරීම ගැන. මා හිතන්නේ ඒ අය පිළිබඳව වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තිබෙනවා. කෙසේ වෙතත් සිංහල ජාතියත් වඳවෙමින් පවතින යුගයක, මෙවැනි ජන කොට්ඨාශ වල පැවැත්ම විනාශ මුඛයට යාම, අරුමයක් නෙවෙයි නේද?

  3. ස්පිට්ල් මහතා ලියූ Wild Ceylon (වනගත ලංකා ) පොතට (පොතේ තැනක ඇති පරිදි පොත ලියා ඇත්තේ 1922 දීය ) අනුව ඒ කාලයේත් සිට ඇත්තේ අඩ වැද්දන්ය. පැරනි වැදි සනුහරය ඊට අවුරුදු 15 පෙර අහෝසි වූ බව කියවේ. මැකී ගිය දඩමං පොතේ ඇත්තේ මේ කතාව විය හැක.

    එකල පවා බින්තැන්න යනු ගම් වැදි ලක්ශන දැරූ වැද්දන් සිටි තැනක් බවත් එක් තානායමක් අසල සිටි වැද්දන් ( වැද්දන්ට හිනා වෙන්න බැරි කතාව අනුව ) බුම්මාගත් මුහුනින් සිටි බවත් කියවේ. එසේම එකලත් වැද්දන්ට කිට්ටු වීමට ඔවුන්ට තෑගි බෝග දිය යුතු බවත් සිංහල නොදත් සේ රඟ පෑ වැද්දෙක් ගැනත් කියවේ. එසේම එකලත් වැද්දන්ට දුනු ශිල්ප බැරි බවත් නමුත් ඔවුන්ට දුනු හී සෑඳිය හැකි බවත් දැක් වේ.

    නමුත් එකල සිටි අඩ වැද්දන් අතර පවා පැරනි වැදි සිරිතට අනුව ජීවත් වූවන් වූ බවත් නියම වැද්දා ගොවිතැනට ඉතා අදක්ෂ බවත් කියවේ.

    • බොහොම ස්තුතියි මේ අගනා අදහස් වලට. ඉතාම පැහැදිලියි, අපි කවදාවත් නියම වැද්දන් දැක නැති බව. අද අපි දකින්නේ රඟපෑමක් පමණයි. මේ නිසා තමයි මා කියන්නේ මේ ආදිවාසී යන විශේෂණය ඉවත්කොට ඔවුන් තවත් එක ජන කොට්ඨාශයක් ලෙස ජීවත්වියයුතු බව.

  4. නිර්නාමික said:

    ඔය වන්නියා කරන්නෙ තනිකර බොරුව නෙ …….නිකං පොරව කරේ ගහගෙන ඉන්නවා විතරයි ….උන්ගෙ බාසාවෙ තියන ‘පොජ්ජ’ අයින් කරාම ඉතිං සිංහලම තමා….

    • මා හිතන්නේ ඔවුන් කරන්නේ එක්තරා ආකාරයක රඟපෑමක්. ඔවුන් තම ආදිවාසී ලේබලය, රැකියාවක් කරගෙන තිබෙනවා. ඒ තත්වය ඔවුන්ට පැහැදිලි කරදී විශේෂ වරප්‍රසාද වලින් තොරව, සාමාන්‍ය පරිදි ජීවත්වීමට මගපෙන්වීමක් කලයුතුයි.

  5. මමත් 1987 විතර කිහිප වරක් මෙයාලව බලන්න ගියා, ඒ දවස්වල මම වැඩ කලේ රන්දෙනිගල ප්‍රොජෙක්ට් එකේ. Wild Life එකෙන් permission අරගෙන තමයි යන්න ඔනේ, tourists ලට කොහොමත් යන්න බෑ.

    එතකොට තිසහාමි ඉන්න කාලෙ. අපිට දුනුවලින් විදින හැටි කියලා දුන්නා, දැන් ගොඩක් commercialise වෙලා වගේ.

  6. කවුරුන් හෝ කොහේ හෝ කියා තිබුණා, “ලංකාවේ ඉන්නේ ආදිවාසීන් නොවන බවත්, මිනී මරා කැලේ පැන්න දාමරිකයකුගෙන් පැවත එන්නන්” බවත්. ඒ කථාව වඩා පසක් කරවනවා මේ ලිපිය සහ අදහස්. මම රිවරිනා වැඩ කරන කාලේ සංදර්ශනයකට මේ සෙට් එක ගෙන්වූවා. අපේ නඩත්තු අංශයේ පොරක් මුන් එන්නත් කලින් කොළ අතු ඇඳගෙන හුලා-හුක් ඩාන්ස් එකකට රෙඩි වෙලා හිටියා. මුන් ආපු ගමන් කෙලින්ම වර්ජනයක් පටන් ගත්තා. අරය නටවා නම් අපිට නටන්න බෑ කියලා. මෑතකදී ඔය පැත්තේ ශාඛා කළමනාකරුවෙක් මටත් ආරාධනා කළා ඔවුන් සමග ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරන්න. ඒ ගැන වැඩි සද්දයක් නැති නිසා මම දවසක් ඇහුවා මොකද තත්වේ කියලා. තරගයක් සඳහා ඔවුන් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලන බවත්, ඔවුන් රැගෙන ඒමට සහ ඇරලීමට වායුසමනය කල බස් රථයක් ඉල්ලන නිසා ඒ අදහස අත හරි බව දැනගන්නට ලැබුණා.

  7. එල ලිපියක් විචාරක.

    ඔය වැද්දෝ කොමර්ෂලයිස් වෙන එක ලංකාවේ විතරක් වෙන දෙයක් නෙවෙයි. ගොඩක් රටවල ආදිවාසීන් ඔය සල්ලි වලට රඟපෑම කරනවා ජීවනෝපායක් විදියට.

    අනික් පැත්තට ලංකාවේ සංචාරක කර්මාන්තයටම හෙන ගහලා තියන තැනක් තමයි ඔය කප්පන් ක්‍රමේට හම්බ කරන්න ගිහින් බාගෙන කන්න තියන වල ඉහගෙන කන එක. අනික අර කෝටු කෑලි මැස්සක කැෂියර් වගේ මෙලෝ රහක් නැති සෙටප්, බාල මීපැණි වගේ වැඩ..

    මාතාත් ඔය වගේ එකක් ලියල තිබුනා පහුගිය දවසක.

    හොඳ මීපැණි හොයා ගන්නේ කොහොමද?

  8. […] එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය චාරිකාව‘ පිලිබඳ අද්දැකීම්, මා ඔබ සමග බෙදා […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: