විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


23306   මේ සටහන බලාපොරොත්තු රහිතව ලියවෙන්නක්. නමුත් මේ සඳහා පාදක වුන විවිධ කරුණු හිතේ කොනක තිබුනේ කාලයක සිටයි. අද එය එක්වරම එළියට පනින සිදුවීමක් වුණා. පුද්ගල නිදහස අනුව ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ආගමක්, භක්තියක්, විශ්වාසයක්, දර්ශණයක්, අනුගමනය කරන්නට, අදහන්නට, පිළිපදින්නට, දේශනා කරන්නට, පතුරවන්නට, ඇති නිදහස අභියෝගයකින් තොරයි.

පින්තූරය ගත්තේ මෙතනින් 

   නමුත් සමහර පුද්ගලයන්ගේ ආගමික ක්‍රියාකළාපය, තවත් කෙනෙකුගේ පෞද්ගලික නිදහස කෙරෙහි බලපෑමක් එල්ල කරන්නේ නම්, ඒ පිළිබඳව පුළුල්ව කරුණු විමසා බැලීමට සිදුවෙනවා.

   අද උදේ, අපේ පුංචි ජනාවාසයේ, (මෙය ගමක් කියන්නට බැහැ. ඉඩම් වෙන්දේසි ආයතනකින් මිලදීගත් ඉඩම් කට්ටිවල, නිවාස තනාගෙන පදිංචිවී සිටින පිරිසක් ඉන්නේ) එක්තරා කළබගෑනියක් සිදුවුණා. උදේ 9.00 ට පමණ, මට අසල්වැසියකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. මෙන්න පණිවිඩය.

‘……….’ මහත්තයා, හරි වැඩක් වෙන්න යනවා, අර ‘………..’ අයියලාගේ ගේ ළඟ ඉඩමේ තියන මහා නුග ගහ කපන්න යනවා, ඒ ඉඩමේ අයිතිකාරයා. බලන්න හරි අපරාධයක් වෙන්න යන්නේ. ඔතන හරි හාස්කම් ඇති තැනක්. අපේ ‘…………’ අයියට හොඳටම කේන්ති ගිහින්, පොලීසියටත් කිව්වා. මහත්තයා ඕඅයිසී මහත්තයට කෝල් එකක් දුන්නනම්, ටක් ගාලා එයි. අනේ මහත්තයා එන්නකෝ මේ සිද්දිය වෙන තැනට’

   මෙන්න මම දුන්න උත්තරේ.

‘ඉතිං ඒක පුද්ගලික ඉඩමක්නේ. ඒ ගහ කපන්න එයාට අයිතියක් තියනවනේ. අපිට කිසිම බලයක් නැහැ ඒකට විරුද්ධවෙන්න’

   අරයා ආපහු කියනවා,

‘අනේ මහත්තයා, එහෙම කියලා කොහොමද? මුළු ගමම එකතු කරගම්මු කියලා ‘………’ අයියා කියනවා. මහත්තයා විනාඩියකට එන්නකෝ. මහත්තයානේ සමිතියේ ලේකම්’

   අනේ අනේ නන්නානේ. අපේ ජනාවාසයේ තිබෙන සුබසාධක සංගමයේ ලේකම් මමය. නමුත් මේ සිද්ධියට එය ගාවාගන්නට මට බලයක් නැති බව, මේ අයට තේරෙන්නේ නැත. කමක් නැහැ, බලමුකෝ මොන මගුලක්ද කියලා, හිතාගත් මම, එතනට යන්න සූදානම් වනවිටම, මෝටර් බයිසිකල් දෙකක් අපේ ගේට්ටුව ළඟට ඇවිත්, මාව වඩම්මාගෙන යන්න. සමහර පොදු වැඩ වලදී, මම ‘වලිසිංහ’ කෙනෙක් බව දන්නා අය, අපේ ජනාවාසයේ ඉඳීමේ කරුමය ඔන්න ඕකයි.

   ඔන්න ඉතිං ගියා කියමුකෝ සිද්ධිය වෙන තැනට. දෙපාර්ශවයම (ගහ කපන පාර්ශ්වය සහ එයට විරුද්ධ පාර්ශ්වය) මාව දුක්ගන්නාරාළ කෙනෙක් කරගත්තේ නැතෑ.

   ඉඩම අයිති පාර්ශ්වය කියන්නේ, මේ ඉඩමේ ගෙයක් සෑදීමට අවශ්‍ය බවත්, එහිදී ගේට්ටුව ඉදිකිරීමට තීරණය කර තිබෙන්නේ, නුග ගහ තිබෙන තැනින් බවත්, ඒ නිසා ගස කැපීමට අවශ්‍ය බවත්ය.

   එයට විරුද්ධ පාර්ශ්වය කියන්නේ, මෙය හාස්කම් ඇති නුග ගහක් බවත්, මෙතන විශාල සුදු නාගයෙක් සිටින බවත්, (මා නම් කවදාවත් දැකලා නැත) මෙම ගසේ පඬුරු ගැටගසා මිනිසුන් බාරහාර වන බවත්ය. (පඬුරු වශයෙන්, රෙදි පටිවල ගැටගැසූ කාසි, ගසේ කරු මුල්වල තිබෙනු එවෙලේ මම දැක්කෙමි)

   ‘හ්ම්………….ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙයි වගේ’ මට සිතුනි.

   කථාව අස්සේ, කරුණු කීපයක් මගේ නිරීක්ෂණාක්ෂියට යොමුවිය. ගසේ සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටතින්ද පිහිටා තිබේ. ගස අලංකාර එකකි. හොඳ සෙවණක් ද දෙයි. මේ බලන්න මා ඇන්ද දළ සටහන.

Screenshot (7)

   ගසේ කඳ කොපමණ මහතදැයි කිවහොත්, එය පාරේ කොටසක්ද ගිලගෙන ඇත. අතුරු පාරක් නිසා, වාහන ගමනාගමනයට බාධාවක් නැත. දැන් ඉතිං රැවුළයි කැඳයි දෙකම බේරගන්න ඕනේ. මහදැනමුත්තා පාට් එක කරන්න වීම ගැන ලැජ්ජාවේ බැරිය. අපේ පාර්ශ්වය කපන්නත් බැරිය. ඉඩම අයිතිකාරයාට ගෙම්බර් දාන්නත් බැරිය. පොඩි ‘ටිරිකිස් පාරක්’ දාලා බලන්න හිතුවෙමි. මම ඉඩම අයිතිකාරයාට මෙහෙම කිව්වෙමි.  

‘මහත්තයා, මේ ඉඩම මගේ නම් කවදාවත් මම මේ ගහ කපන්නේ නැහැ. නිකම් හිතලා බලන්න, මේ ගහ පසුබිමේ ගෙයක් හැදුවම, ඒ ගෙට ලස්සණ පෙණුමක් එනවා, හොඳ හෙවණක් ලැබෙනවා, අනික මේ ඉඩමේ දියසීරාවටත් මේ ගහේ බලපෑමක් ඇති. මහත්තයට පේනවනේ, ගහේ කඳෙන් සෑහෙන කොටසක්, ඉඩමේ මායිමට පිටින් තියනවා කියලා. ඒ නිසා කෝකටත්, ගහ කපන්න කළින්, ප්‍රාදේශීය සභාවට ගිහින් කියන්න. මහත්තයාගේම හොඳටයි මම මෙහෙම කියන්නේ’

  අනේ ඒ මනුස්සයා ඒක පිළිගත් බවක් පෙන්නුවේ නෑ. එයා කිව්වා, ‘මහත්තයා, මම මහත්තයලත් එක්ක කිසිම ප්‍රශ්නයක් ඇතිකරගන්න කැමති නැහැ. මමත් මේ ඉඩම වාස්තු බලන එක්කෙනෙකුට පෙන්නුවම තමයි කිව්වේ, මේ ගහ කපන්න කියලා, මම ගහ කපලා මුල ගලවනවා. පාරට හානිවුනොත්, මගේ වියදමෙන් ඒ ඔක්කොම හදනවා. මම පාර නොහැදුවොත්, මහත්තයලා පොලීසි යන්න’  

   ඇත්තටම ඔහුගේ අදහස සාධාරණ බව පෙනෙනවා. මොනම ආකාරයකින්වත් ඔහුට අභියෝග කරන්න අපට බැහැ.

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් මේ මහානුභාව සම්පන්න නුග වෘක්‍ෂ රාජයා සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වන, අර ‘………’ අයියාව පසෙකට කැඳවාගත් මම, ඔහුට කරුණු පැහැදිළි කළෙමි.

‘දැන් ඔයාට පේනවනේ, මේ ඉඩම අයිති එක්කෙනාට සම්පූර්ණ නිදහස තියනවා ගහ කපන්න. අනික, පාරට හානිවුනොත්, එයා එයාගේ වියදමෙන් ඒකත් හදනවා කියනවා. ඉතිං අපි මේ වැඩේ අතාරිමු’

‘අනේ බෑ බෑ මහත්තයා, මේ මුළු වත්තම පැරණි රාජධානියක්, සූනියම් දේවතාවුන් වහන්සේගේ බැල්ම මේ මුළු වත්තටම තියනවා, අපි අපේ ගෙවල්වල උදේ හවස පිරිත් දාලා තියෙන්නේ, කාලි මෑණියන්ගේ බැල්මත් තියනවා, ඔය සුදු නයා, කෙම්මුර දවස්වල මේ ගහ යට ඉන්නවා, මෙතන පඬුරු ගැටගහපු අයට කවදාවත් වැරදිලා නැහැ’ 

(කළින් කියන්න අමතකවුණා. මේ පැත්තේ කපටි අම්මණ්ඩිලා දෙන්නෙක්, දේවාල දෙකක් අටවාගෙන, මෝඩ අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා)

ඔන්න මගේ ග්‍රහචාරයේ හොඳකමට මේ වෙලාවේ පොලීසිය ආවා. ‘මෙතෙක් කථාව’ අහපු පොලීසියේ ඕඅයිසී මට ඇහැක් ගැහුවා. මමත් ඇහෙන්ම උත්තර දුන්නා. ඕඅයිසී මෙහෙම කිව්වා, ඉඩම අයිතිකාරයට.

‘පාරට හානියක් වුනොත් ඒක හදනවා කියලා කට වචනයෙන් කියලා බැහැ. ඒ නිසා ඔයා ප්‍රාදේශීය සභාවට ගිහින් කියලා, අනුමැතියක් ගන්න. අනික, ප්‍රශ්න ඇතිකරගන්න එපා. ඔයා අනාගතේදී මෙහෙ පදිංචියට එනවනේ. එතකොට ප්‍රදේශවාසීන් එක්ක සමගියෙන් ඉන්න ඕනෙනේ’ කියලා.

කැඳවුම්කරු පාර්ශවයට කිව්වා,

‘ඔයාලා මේ ගහට ගෞරව කරන එක ඇත්ත, නමුත් නීතියෙන් නම් ඉඩක් නැහැ, ගහ කපන එක වළක්වන්න’ කියලා.

කැඳවුම්කාර පාර්ශ්වයේ නායකයා හොඳ සල්ලි කාරයෙක්. ඔහු වහාම නිර්භීත පියරක් ගත්තා. ඔහු කිව්වා,

‘හොඳයි, මම ලෑස්තියි මේ ඉඩම සල්ලි වලට ගන්න’ කියලා.

අනේ……………. ඉඩම අයිතිකාරයා එකඟ වුණා. ප්‍රශ්නය විසඳුණා. ඉක්බිති සියල්ලෝ සතුටින් විසිරගියහ.

වැඩි දුරක් නැති නිසා, මම පයින්ම ගෙදර ආවා. ඒ එන මොහොතේ මට සිතුනේ මේවායි.

  • මේ සිද්ධියට අදාලව එතනට පැමිණි සියළුදෙනා සිංහල බෞද්ධ අයයි. නමුත් ඔවුන්ගෙන් බහුතරය, තිස්තුන් කෝටියක් දෙවිවරුන්ට අමතරව, විවිධ දෙවි වරුන් රාශියක්ද අදහන බව පෙනෙනවා.
  • මෙලෙස මේ රටේ තිබෙන සෑම නුග ගහකම අනුහස් තිබේද? අපේ ප්‍රදේශයේ ඇති මේ ගසේ අනුහස් ඇතිබව, ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් අවබෝධ කර ඇත්තේ කවුද?
  • සුදු නයෙකු ඇත්නම්, ඌ ජාන විකෘතියක් නිසා සුදුපාට වූ බව, උසස් අධ්‍යාපනය ලබන මේ අයගේ දරුවන් වත්, තම දෙමව්පියන්ට පැහැදිළි කර නොදෙන්නේ ඇයි?
  • අර ඉඩම මිළදීගැනීමට ඉදිරිපත්වූ ‘……….’ අයියාගේ පුතා, ඉංජිනේරු අංශයෙන්, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබයි. ඉතා පුදුමාකාර දෙයක් වන්නේ ඒ දරුවාද ඇතුළුව, ඒ පවුලම දැඩි ලෙස විවිධ දෙවිවරුන් ඇදහීම කිරීමයි.
  • බහුල ලෙස මෙවැනි ආගමික වල්මත්වීමක් දැකගන්නට තිබෙන්නේ, බෞද්ධයන් අතරයි. ඒ කුමන හේතුවක් නිසාද? 
  • ගස් ගල් වන්දනාව අපේ ජාන තුළම සැඟවී තිබෙන්නක්ද? 
  • තමන්ගේ ඇදහීම වෙනුවෙන් අර ඉඩම අයිති මනුස්සයාගේ මානව හිමිකම් කඩකිරීමට උත්සාහ කිරීම අසාධාරණ බව නොතේරෙන්නේ ඇයි?
  • අනාගතයේදී අර ඉඩමේ දේවාලයක් හැදෙනු ඇති. අර ‘………..’ අයියාත් අනාගතයේදී දෙවි කෙනෙක් වී, ඒ නුග ගහට අධිගෘහිතවී, මේ ප්‍රදේශය ආරක්‍ෂා කරමින්, වැඩවදාරනු ඇති.

මොකද හිතෙන්නේ?

2015 මාර්තු මස 29 වැනි දින 0006 පැය

Advertisements

Comments on: "ගස් ගල් වඳිමින්……… අපි යනවා…….!" (27)

  1. පව් තමයි කියන්න තියෙන්නේ

    • නිර්නාමික said:

      Apita nopenana pathi godak thiyenawa sir. Nikan bhawana karanakota hita shallu wenawa wage thamai minissunge wishwaasath. Satthu wath minissuwath bili denne nathuwa mona wishwaasayak nisaa hari parani gahak beruna eka gana hitalawath sathutu wenna. Muslim aya ethakota monawath nathuwa makkame galak patthata harila namak kiya kiya minissu maranne. Ea wage wishwaasa walata wadiya oya wage wishwaasayak nisaa gahak wagema eaken proyojanayak wena satthuwath aaraksha wenawa athi kiyala hita hadaganna eka hodai kiyala mage me podi 20 ganan wala wayase hatiyata hitanne sir. Waradi deyak type unanam sorry.

    • @ F 16 – මේ වගේ අයට අනුකම්පා කරලා ති වැඩක් නැහැ. යතාර්ථය අවබෝදකරවීමට උත්සාහ ගන්න ඕනේ.

      @ නිර්නාමික – ඔබේ අදහස් අගය කරනවා. ඔබ ජංගම දුරකතනයකින් මේ අඩවිය බලන නිසා සිංහල ටයිප් කරන්න අපහසුවී ඇතැයි සිතනවා. ඔබ කොයි වයසේ සිටියත් ඔබේ අදහස් තමයි වැදගත්. එක අතකට මේ විදිහට පරිසරය රැකෙනවා තමයි. නමුත් සමහර විශ්වාස මිනිසාතුල අවසානයේදී ඉතිරිකරන්නේ ඉච්ඡාභංගත්වය පමණයි. ඒ නිසා එඅවනි විශ්වාස පිළිබඳව බුද්ධිය මෙහෙයවා සිතා බැලීමට මිනිසා පෙළඹවිය යුතුයි

  2. නුග ගහේ සිද්ධිය මතින් හිතන්න බොහෝ දේවල් ඔබ දායාද කර දී තිබෙනවා. ලිපිය හැඟීම්වලට වඩා බුද්ධියට ආමන්ත්‍රණය කරන්නක් ඒ වගේම කියවන්නට පොළඹවන වටිනා රසවත් නිර්මාණයක්

    • ස්තුතියි ගුණසිංහ මහතාණෙනි. අපි කවදාවත් දෑසින් දැක නැති දෙවියකු අදහනවාට වඩා කිසිම ආගමකට අයිති නැති මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම හොඳයි.

  3. Apita nopenana pathi godak thiyenawa sir. Nikan bhawana karanakota hita shallu wenawa wage thamai minissunge wishwaasath. Satthu wath minissuwath bili denne nathuwa mona wishwaasayak nisaa hari parani gahak beruna eka gana hitalawath sathutu wenna. Muslim aya ethakota monawath nathuwa makkame galak patthata harila namak kiya kiya minissu maranne. Ea wage wishwaasa walata wadiya oya wage wishwaasayak nisaa gahak wagema eaken proyojanayak wena satthuwath aaraksha wenawa athi kiyala hita hadaganna eka hodai kiyala mage me podi 20 ganan wala wayase hatiyata hitanne sir. Waradi deyak type unanam sorry.[SORRY AAYE DAMME COMMENT EKATA REPLY COMMENT WIDIHATA WARADILA WATILA NISAA. POST EKATA NEMEI. ]

  4. අන්කල් මම මගේ පුතා නොවෙයි මම ඉංජිනේරුවෙක් මම අනුහස් සහ ඔබ මිත්‍යා කියන ගොඩක් දේවල් විස්වාස කරනවා. රැදී සිටින්න තක්සලාවක්වූ ඉස්පිරිතාලය සමග

  5. ඕක බෞද්ධයින්ට විතරක් තියෙන කේස් එකක් නෙමෙයි.හැමෝම අපෙන් බාහිර බලවේගයක් විශ්වාස කරන්න කැමතියි.අනිත් ආගම්වල අයට එහෙම බලවේගයක් එයාලගෙ ආගමේම තියෙනවා.බෞද්ධයින්ට එහෙම බාහිර බලවේගයක් ගැන තමුංගේ දර්ශනයේ නැති හින්දා තමයි මේ අනුංගේ ආගම්වල තියෙන විශ්වාස අල්ලගෙන ඒ පස්සේ යන්නේ.මිනිස්සු කැමතියි තමුන්ට වරදින කොට ඒක තමුංගෙන් පරිබාහිර බලවේගයක් නිසා සිද්ධ උනා කියලා අත පිහදාගන්න.

    • මොකක්දෝ හේතුවක් නිසා දිනුක, මට වයස අවුරුදු 17 – 18 කාලේ, සෑම පසළොස්වක පෝයකටම සිල්ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉතා ධර්මධර, විනයධර, හිමි නමකගෙන් බෞද්ධ දර්ශනය ගැන, (බුද්ධාගම නෙවෙයි) කරුණු ඉගෙනගන්න ලැබුණා. කිසිම කෙනෙක්, අනිවාර්යයෙන් අහවල් ආගම ඇදහිය යුතුයි කියලා නීතියක් නැහැ. නමුත් සෑම මිනිසා තුළම,, විචාර බුද්ධියක් තිබිය යුතුයි. කාලාම සූත්‍රයේ කියනවා වගේ.

  6. විචාරක තුමා කියවන්නන්ගේ බුද්ධි කලම්භනයකට පිවිසුනා නේද හරිම වටිනවා ලිපිය. කොමෙන්ටු දාපු අයත් බුද්ධිය පාවිච්චි කරපු බව පෙනෙනවා.

  7. පාර අයිනක බෝ පැලයක් හරි ඔය වගේ ගහක් හරි තියනවා නං මිනිස්සු පට ගාලා කොඩි වැල් එල්ලලා පාන් පත්තුකරන්න පටන් ගන්නවා. අර විමලරත්න කුමාරගම කවියගේ අයියනායක කවි පෙළ මතක් උනා මේ සිද්දිය ඇහුවම. අපේ මිනිස්සු වැඩ කරන්නෙ රැල්ලට නෙ විචාරක තුමා… එකෙක් කිව්වොත් තව එකෙක් එක අනුමත කරනවා. ඊට පස්සෙ මුළු සනුහරේම ඒ දේ විශ්වාස කරනවා. හැමදාම කියනවා වගේ මිනිස්සු උගත් උනාට බුද්ධිමත් නෑ. එළඹි සිහියෙන් කල්පනා කරලා බලන්නෙ නෑ.
    මට මතකයි ඉස්සර තාත්ත කියනවා පොළොන්නරුවේ ඉන්න දවස් වල නටබුන් සිද්ධස්ථාන ගාව වැඩට දාල ඉන්න සිකුරුටි කාරයො එලියෙ තියන ගල් පහන් වලට සත පනහේ විසිපහේ කාසි කීපයක් දානවලු උදේට. හවස් වෙනකොට මිනිස්සු ඒවාට සල්ලි දාල ලොකු ගානක් එකතු වෙනවලු. ඒ ටික එකතුකරන් බීල පහුවදාටත් අරකම කරනවලු. විචාරක තුමාටත් ඔය වැඩේ කරල ගානක් එකතු කරන්න තිබ්බ අපරාදේ. ආ ගහ කපන්නෙ නෑ කිව්වලු නෙ? අනේ ඔය වැඩේ කරන්න. කරලා එකතුවෙන ගානින් බල්ලන්ට ආප්ප අරන් දෙන්න. ඒ පිනෙන් කෙලින්ම දිවිය ලෝකෙ ගියෑකි 😀

    • හරියට හරි. අපේ ගෙදර ඉඳලා මීටර් තුන් හාරසීයක් දුරින් කොළඹ – කුරුණෑගල පාරේ තියන හන්දියක පිහිටි බෝ ගසක් වටේට කෙටි තාප්පයක් බැඳලා, බුදුපිළිමයක් තියලා, ඒ පැත්තේ කඩ මුදලාලිලා වැඳුම් පිදුම් කරනවා. නමුත්, පාරේ යන වාහන වලින් සහ දුම්රියෙන් නැගෙන දූවිල්ලෙන්, පිළිමයේ ආවරණ කුටිය නෑවෙනවා. හෙට අනිද්දා පාර පළල් වෙනවා. දුම්රිය මාර්ගය මාර්ග දෙකක් වෙනවා. එතකොට බෝධිය කපන්න වෙනවා. නමුත් දැන්මම ඒ මිනිස්සු සටනට සැරසෙනවා. මොකක්වත් නෙවෙයි හේතුව. තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න, ආගම ඇදහුවා කියලා පෙන්නන්න, පන්සලට නොගොස් බුදුන් වඳින්න තියන අවස්ථාව නැතිවෙන නිසා. අනේ අර බුදුපිළිමය විඳින දුක දැක්කම එය වහාම එතනින් ඉවත් කරන්න හිතෙනවා.

  8. විචාරක තුමා කලින් දිනුකට දීලා තියන උත්තරය එක්ක මම 100% එකගයි. අපේ ගොඩක් මිනිස්සුන්ට විචාර බුද්ධිය කියන එක අහලකවත් නෑ. මිනිස්සු තමන්ගේ හිත දුර්වල වුනාම තමා නොපෙනෙන බලවේග පිටිපස්සේ යන්නේ. තමන්ගේ හිතේ විශ්වාසය ගැන ඒ අයට කිසිම විශ්වාසයක් නෑ. අනික බෞද්ධයන් හැටියට අපේ ගොඩක් අය එක තේරුම් ගෙන නෑ. බලන්නකෝ ඉරිදා පත්තරේම පිටුවක් පිරෙන්න සාස්තර, ගුරුකම් කරන අයගේ දැන්වීම්. එකෙන් ම තේරුම් ගන්න පුළුවන් අපේ අය කොච්චර මේවට කැමතිද කියලා.

    මට අවුරුදු 12 – 15 අතර කාලයේදී මිනිස් හිතේ හාස්කම් පොත් පෙළ කියවන්න ලැබුනා. එකෙන් මගේ ජිවිතයේත් ලොකු වෙනසක් ඇති උනා. මම ඊට පස්සේ දැන් අවුරුදු 5 ට විතර කලින් මොහාන් පල්ලියගුරු මහතාගේ රූපවාහිනියේ ගිය වැඩසටහන් මාලාවක් තුලින් තමන් ගැන තමන්ට ඇති විශ්වාසය සහ එතුලින් අපට ලැබෙන ගොඩක් දේවල් ගැන හොද අවබෝදයක් ගත්තා. එත් අපේ අවාසනාව කියන්නේ ඒ වැඩ සටහන රුපවාහිනියේ විකාශය වීම නැවැත්තුවා.

    මමනම් කියන්නේ රෑට TV එකේ යන වැඩකට ඇති නාට්‍ය වෙනුවට සතියට දවසක්වත් මිනිස්සුන්ට ධනාත්මක චින්තනය සහ තමාගේ ආත්ම විශ්වාසය ගැන දැණුවත් කරන වැඩසටහන් මාලාවක් ලෑස්ති කරන්න ඕන. එතකොට අද ඉන්න අලුත් පරම්පරාව වත් මේ මිත්‍යා වලින් ගැලවෙන්න ඉගෙන ගනී.

    • ක්සැන්ඩර් said:

      අම්මපා ළඟ පාත හිටියනං කටේ කීයක් හරි ඔබනවා ඔය කතාවට..

    • මිනිස් හිතේ හාස්හම් ලිව්වේ අපේ අරුණි ශපිරෝ ගේ පියා වන සුමනදාස සමරසිංහ මහත්තයා නේද?

      ඔබ සමග මමත් එකඟවෙනවා තාරක. අද මිනිස්සු බුදුබණ කියලා අහන්න කැමති, සින්දු කෑලි, විහිලු කෑලි, කියන හාමුදුරුවරුන්ගේ බණ. මේ මෑතකදී මගේ ඥාති සහෝදරියකගේ අවමංගල්‍යයේ තුන් මාසේ දානයට බණ කියන්න වැඩිය හාමුදුරුවෝ බණ කිව්වේ යන්නේ කොහෙද මල්ලේ පොල් ක්‍රමයට.

      අර මැණික්හින්න ප්‍රදේශයේ ඉන්න ලෝක කපටි හැත්ත දාන දැන්වීම් වලට රැවටෙන මෝඩ හැත්තක් ඉඳීම කොතරම් අභාග්‍යසම්පන්නද?

      දේශපාලනය විතරක් කරපින්නාගෙන, ජන විඥ්ඥානය නැංවීම අමතක කර සිටින විද්වතුන් මොන විද්වත්තුද? ජන විඥ්ඥානය නැංවීමට අවංක උවමනාවක් තිබෙන විද්වතුන්ට තැනක් නැහැ මේ අවාසනාවන්ත රටේ.

  9. ක්සැන්ඩර් said:

    මට මතක්වෙන්නේ අර හින්දි ෆිල්ම් එක.. අනේද කියන්නේ.. මේ ඒකෙ ශ්‍රී ලංකන් වර්ෂන් එක..

  10. නිර්නාමික said:

    මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියනවා. මම හිතන්නෙ මේ ගහ නොකැපුව එක හොඳයි. ඒක කැපුවා නම් කපන්න ගිය කෙනා විතරක් සතු‍ටු වෙයි. ඒත් ගහ කැපුවා නම්, ඒ ගහ අදහන මිනිස්සුන්ගේ හිතට දැනෙන හැඟීම ( තමන්ගෙ දෙවියන් මරා දැමුවා වැනි හැඟීම) සුව වෙන්න ගොඩක් කාලයක් ගතවෙයි. පුන්චි පුන්චි මානසික ආතති පවා ඇති වෙයි.
    මිනිස්සුන්ට තමන්ට කැමති දෙයක් අදහන්න තියන අයිතියට අපි ගරු කරන්න ඕනා එක අතකට. ( ඒ ඇදහීම අනුන්ට කරදරයක් නොවෙන තාක්)

    • මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියනවා. මම හිතන්නෙ මේ ගහ නොකැපුව එක හොඳයි. ඒක කැපුවා නම් කපන්න ගිය කෙනා විතරක් සතු‍ටු වෙයි. ඒත් ගහ කැපුවා නම්, ඒ ගහ අදහන මිනිස්සුන්ගේ හිතට දැනෙන හැඟීම ( තමන්ගෙ දෙවියන් මරා දැමුවා වැනි හැඟීම) සුව වෙන්න ගොඩක් කාලයක් ගතවෙයි. පුන්චි පුන්චි මානසික ආතති පවා ඇති වෙයි.
      මිනිස්සුන්ට තමන්ට කැමති දෙයක් අදහන්න තියන අයිතියට අපි ගරු කරන්න ඕනා එක අතකට. ( ඒ ඇදහීම අනුන්ට කරදරයක් නොවෙන තාක්)

    • අපි කවදාවත් ජීවිතේට දැකලා නැති, ඉපදුනේ කොහොමද කියලා පැහැදිලි නැති, යම්කිසි බලයක් තියනවා කියලා ස්ව ශක්තියෙන් පෙන්නන්න බැරි, කෙනෙක් දෙවියෙක් වෙන්නේ කොහොමද? නමුත් බුදුහාමුදුරුවෝ, යේසුස් වහන්සේ මිනිස්සු. ඒ නිසා ඔවුන් ගැන විශ්වාසය තැබිය හැකියි.

      මට මතක් වෙනවා පැරණි කවි පන්තියක්. බමුණන් කීප දෙනෙක් තමන් අදහන ගිනිදෙවියා පිදීම සඳහා බිලිදීමට හරකෙකු රැගෙන එනවා. හරකා ගිනිගොඩ අසල ගැටගසා බමුණන් යනවා ස්නානය කොට පිරිසිදු වී එන්නට. ඒ අතරේ හොරු ඇවිත් හරකා මස්කර රැගෙන යනවා. බමුණන් ඇවිත් බැලුවම හරකාගේ වලිගය, හම, කුර හතර, තිබෙනවා. ඔවුන්ට යතාර්ථය වැටහෙනවා. අර හරක් වලිගයෙන් ගිනිගොඩට ගහමින් ඔවුන් කියනවා අපව රකින්නට තබා තොප වෙනුවෙන් කැපකළ ගොනාවත් රැකගන්නට බැරි තොප දෙවියෙක් වන්නේ කෙසේද කියා.

  11. ඉඩම් කියන්නෙ ආර්ථික විද්‍යාවේ හැටියට ද්‍රවශීලතාවය…ඒ කිව්වෙ ඉක්මනින් මුදල් කරන්න බැරි දෙයක් නොවැ. නමුත් මෙතැනදි අරක්කු බෝතලයක් විකුණනවා වගේ හරිම පහසුවෙන් නොවැ ඉඩම විකුණලා තියෙන්නෙ. ඉඩමෙ අයිතිකාරයට ලාභයක් තියාගෙන වැඩේ කරන්න ඉඩ තිබ්බා. එහෙම කලාද ඉතිං…

    • කවුද දන්නේ සිරා. මේ වගේ ගොන්පාට් වලට සාක්කි කාරයෙක් වෙන්න මම කැමති නැහැ. මම ඉක්මනින්ම එතනින් මාරුවෙලා ආවේ එකයි. දැන් ඉතිං අපිටත් ඇහෙයි ඔතන දේවාලයක් හදලා යාතිකා කරන සද්දේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: