විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


people_army_patrol   පැට්‍රෝල් යාමේ කතන්දරේ ගැන, මා හිතුවාට වඩා ඔබේ උනන්දුවක් දකින්නට ලැබීම සතුටක්. සෑහෙන පිරිසක්, ඊළඟ කොටස ඉක්මණින් කියවන්න අවශ්‍ය බව කියා තිබුණා. නමුත් ඉතින් පරිවර්තන කටයුතු මෙන්ම මාධ්‍ය රූප සැකසීමත්, ටිකක් වෙහෙසකර නිසා තමයි, මේ විදිහට දින කීපයක් ගතවුණේ. හොඳයි, අදත් අපි වැඩි චූර්ණිකා නැතුව, පැට්‍රෝල් යාම පටන් ගම්මු. හැබැයි, පහුගිය කොටස් දෙක කියවලා නැත්නම් අවබෝධ කරගන්න අපහසුවෙයි. ඒ නිසා ඒවා නොකියවූ අය, ආපහු ගිහින් කියවලා එන්ඩ. ඉහත පින්තූරය ගත්තේ මෙතනින්.

අපි පහුගිය කොටසේදී ඉගෙන ගත්තේ, එකතැන සිටිමන් කරන පැට්‍රෝල් ගැන. ඒ කියන්නේ OP සහ LP කියන පැට්‍රෝල් දෙක ගැන. අද අපි නියම මුර සංචාරයකට බහින්නයි යන්නේ. ඒ නිසා ටිකක් න්‍යායාත්මක කරුණු ගැනත් අවධානය යොමුකරන්න වෙනවා. සංචාරක මුර වර්ග කීපයක් තියනවා. අපි ඒවා එකින් එක අරගෙන, න්‍යායාත්මක කරුණුත් එකතුකරගනිමින්, කතාකරමු. පහුගිය ලිපියේදී අවබෝධ වෙන්න ඇති, අපි පැට්‍රෝල් කරන්නේ, පළමුවෙන්ම, අපේ භූමියේ/කඳවුරේ/පාලන ප්‍රදේශයේ/ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා කියන එක. ඒ සඳහා එකම ආකාරයේ පැට්‍රෝල් යොදවලා සාර්ථකත්වයක් ගන්න බැහැ. අපේ ගෙදර උන්දෑ, කා එක්ක හරි පැනලා යයි කියලා, ගේට්ටුව ළඟ විතරක් මුර කරාට හරියන්නේ නැහැ. වත්ත වටේ ගිහින් බලන්න ඕනෑ.

   (අපොයි මගේ උන්දෑ පැනලා යනවනම්, මම කාර් එකත් දීලා අරිනවා. 😀 ඒයි……….මම මෙව්වා ලියනවා කියලා උන්දැට කියනවා එහෙම නෙවෙයි)  

   ඉතිං ඔන්න ඔය වත්ත වටේ යෑම විවිධ ක්‍රම වලින් කරනවා. හරි හරි, පොඩ්ඩක් ඉන්න ළමයි, මම දන්නවා ඔයගොල්ලෝ බොහොම කැමතියි කියලා, ‘Long Range Reconnaissance Patrol = LRRP – දිගුදුර විමර්ශන මුර සංචාර’ ගැන දැනගන්න. දිගුදුර යන්න කලින් කෙටි දුර ගිහිල්ලා ඉම්මු. ඕකනේ කියන්නේ කෙහෙල් මුවේ පනින්න කළින් කෙහෙල්කැන පණිනවා කියලා. මුර සංචාර වලින් මුල්ම එක තමයි;

ආරක්ෂක මුර සංචාර – Clearing Patrol

   අපි යුද බිමේ අලුත් ස්ථානයක තාවකාලිකව රැඳෙනවානම් හෝ කඳවුරක් ඉදිකිරීමට කටයුතු කරනවානම්, මුලින්ම කලයුත්තේ, මුර සංචාරයක් ඒ අවට ප්‍රදේශයේ යවා, සතුරන් ඉන්නවාද, සතුරු කඳවුරු තිබේද, අපි ඉන්න තැන සතුරාට ඉව වැටෙන තැනක්ද, සතුරාගේ නිරීක්ෂණ මුර සංචාර මේ පැත්තෙන් යනවාද, සතුරා ගමන් කරන වාහන මේ පැත්තෙන් යනවාද, වන සතුන්ගෙන් අපට කරදර සිදුවෙයිද,  ආදී වශයෙන්, අපේ ආරක්ෂාවට බලපාන කරුණු සොයාබලා ආරක්ෂාව තහවුරු කරගැනීමයි.

විමර්ශන මුර සංචාර

Reconnaissance Patrol  

   මේ වර්ගයේ මුර සංචාර කෙටියෙන් හඳුන්වන්නේ, ‘රෙකී පැට්‍රෝල් – Recce Patrol’ කියලා. රෙකනිසන්ස් කියන ඉංග්‍රීසි වචනය කොට කරලා, ඒ නම හදාගෙන තියෙන්නේ. මොනවා විමර්ශනය කරන්නද යන්නේ. අපොයි හුඟක් දේවල් තියනවා. දැන් ඔය යුදබිමේ තියන අපේ කඳවුරුවල මෙන්ම නාගරික කඳවුරු වලත් ආරක්ෂාව සඳහා අපේ කඳවුරු වටා රවුම් කටුකම්බි වර්ගයක් දාලා තියනවා දැකලා තියනවද? ඒවාට කියන්නේ, ‘කොන්සර්ටීනා වයර් – Concertina Wire’ කියලා. ඒ කම්බිවල තියෙන්නේ රේසර් තල වගේ තියුණු තල විශේෂයක්. පැටලුනොත් පැටලුනාම තමා, මස් ඉරාගෙන ඇතුළට කාවදිනවා.  මේ තියෙන්නේ.

622900

මේ බලන්න ඒ තල කොයි තරම් තියුණුද කියලා.

මීට වඩා වෙනස් මොස්තරත් තියනවා. 

stainless-steel-concertina-wire-blade

   ඒ වගේම අපි අපේ කඳවුරුවල ආරක්ෂාව සඳහා බිම් බෝම්බ වළලනවා. මේ ඔක්කොම කරන්නේ සතුරාට බාධා කරන්නයි. නමුත් අපි මේවා ගැන පමණක් විශ්වාසය තියලා, ‘කඩේ වහලා’ හිටියොත්, සතුරා මේ බෝම්බ ගලවමින් පාරක් හදාගෙන ඇවිත්, අර කම්බිත් කපාගෙන කඳවුර ඇතුළටම ඇවිල්ලා, අපේ ඔඩොක්කුවටම බඩු බෙදලා යනවා. ඒ නිසා අපි ‘රෙකී පැට්‍රෝල්’ යවනවා, මේවා අපි දාපු ආකාරයටම තියනවාද, නැතිනම් සතුරා ඒ පැත්තේ හක්කලං කොරලා, මෙව්වට වැඩේ දීලාද බලන්න.

   ඒ වගේම තමයි රෙකී පැට්‍රෝල් එකකදී අපි සතුරා ගැන තොරතුරු හොයනවා. සතුරු කඳවුරු පිහිටා ඇත්තේ කොහෙද, කොච්චර සංඛ්‍යාවක් විතර ඉන්නවද, මොනවද කරන්නේ, මොනවද පෙනෙන්න තියන ආයුධ, කාලතුවක්කු තියනවද, යුද ටැංකි තියනවද, හෙලිකොප්ටර්/ගුවන් යානා තියනවද, මොනවද ඒ කඳවුරුවලට යන එන පාරවල්, සතුරාගේ ලොකු ලොක්කෝ එහෙම ඒ පාරවල් වල යන එනවාද, සතුරාට අවශ්‍ය ආහාර, ඉන්ධන, අවිආයුධ, සැපයීම සඳහා පාවිච්චි කරන පාරවල් මොනවද, ආදී වශයෙන්, හොයන්න පුළුවන් හැමදෙයක්ම හොයලා, පින්තූර/වීඩියෝ ගන්න පුලුවන්නම් ඒවත් අරගෙන, සිතියම් වල අවශ්‍ය තොරතුරු ලකුණු කරගෙන, ආපහු අපේ කඳවුරට ඇවිත් සම්පූර්ණ වාර්තාවක් දෙනවා. ඒ වාර්තා පදනම් කරගනිමින් අපිට පුළුවන් සතුරාට ‘වැඩක් දීමේ’ සැළසුම් හදන්න. රෙකී පැට්‍රෝල් ගැන ඒ ඇති නේද? 

සටන්කාරී පැට්‍රෝල්

Fighting or Combat Patrol

_58489502_indiasoldiersap464

   නමෙන්ම තේරෙනවනේ මොකද කරන්නේ කියලා. සතුරා පිළිබඳව අපි දන්නා තොරතුරු පදනම් කරගනිමින් තමා, සතුරාට ‘වැඩක් දීම’ සඳහා මෙවැනි පැට්‍රෝල් යවන්නේ. සමහරවිට මේ පැට්‍රෝල් එකක්, සාමාජිකයන් තුන හතරක්, හත අටක් හෝ 25ක් 30ක් තරම් වෙන්නත් පුළුවන්. සතුරු ඉලක්කයේ විශාලත්වය, ඉන්න සතුරන් ප්‍රමාණය, සතුරාගේ සටන් කිරීමේ හැකියාව, ආධාරයට තවත් සතුරන් ගෙන්වා ගැනීමට ඇති හැකියාව, අපේ කඳවුරේ සිට සතුරා සිටින තැනට ඇති දුර, ආදී සාධක රාශියක් පිළිබඳව සලකා බැලීමෙන් පසුවයි මෙවැනි පැට්‍රෝල් එකක් යවන්නේ.

   මේවා කරදරකාරී මෙන්ම භයානක පැට්‍රෝල්. මේ ආකාරයේ කුඩා කණ්ඩායම් යොදවලා සතුරාට පහරදීමේ ක්‍රමය අපේ හමුදාවට හඳුන්වා දුන්නේ, ජෙනරල් ෆොන්සේකා. ‘හතර දෙනාගේ කණ්ඩායම් – 4 Man Team’ සහ ‘අට දෙනාගේ කණ්ඩායම් – 8 Man Team’ ක්‍රමය මගින් LTTE සංවිධානය විශ්මයට සහ භීතියට පත්කරමින්, ඉතා වැදහත් සතුරු ඉලක්ක විනාශ කිරීමේ ප්‍රහාර සිය ගණනක් එල්ල කරන්නට, මේ ක්‍රමයෙන් අපේ හමුදාවට හැකිවුණා. ප්‍රධාන වශයෙන් කරන දේවල් මෙන්න මේවායි.

  • ටැංකි දඩයම – Tank Hunting’

සතුරාගේ යුද ටැංකි ගමන් කරන මාර්ගවල හැංගිලා ඉඳලා, රොකට් බෝම්බ, කුඩා පරිමාණ මිසයිල් ආදිය යොදාගෙන, ඒ ටැංකි විනාශ කිරීම.

  • සතුරු වාහන වලට රැකසිට පහරදීම – Vehicle Ambush

තුරු භටපිරිස් ප්‍රවාහනය කරන හෝ සතුරු කඳවුරු වලට විවිධ අවශ්‍යතා සපයන වාහන වලට, රැකසිට පහරදීම.

  • කඳවුරු විනාශ කිරීම – Destroying of Enemy Positions 

සතුරා කිසිසේත් බලාපොරොත්තු නොවන අවස්ථාවක, සතුරු කඳවුරකට කඩාපැන, හැකිතරම් බරපතළ විනාශයක් කර ආපසු පැමිණීම. මෙහිදී අපේ පරමාර්ථය වන්නේ, භූමිය අල්ලා ගැනීම, හෝ සතුරන් යටත් කරගැනීම නොවේ. සතුරා භීතියට හා අධෛර්යයට පත්කිරීම සහ ඔහුගේ අනාගත සැළසුම් අවුල් කිරීම පමණයි.

   දැන් ඔබට හිතෙනවා ඇති, අපොයි ඕකත් මහ කජ්ජක්ද? අවි ආයුධ තියනවානම්, මිනිස්සු ඉන්නවානම් පැට්‍රෝල් යාමත් මහ ලොකු වැඩක්ද? කියලා. නමුත් මේ සියල්ල පසුපස න්‍යායාත්මක කරුණු රැසක් තිබෙනවා. අපි ඒවාත් කෙටියෙන් සළකා බලමු. සියල්ල විස්තර කරන්න නම්, මේ වගේ ලිපි පහක් හයක් විතර ඕනේ වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍යම දේ පමණක් කෙටියෙන් කතාකරමු.

kashmir_loc-indian-army-petrol

   පැට්‍රෝල් එකක් යන්න කළින් සැලැස්මක් හදාගත යුතුයි. එහෙම නැතුව හිතුන හිතුන වෙලාවට, ‘ඔය හත් අට දෙනෙක් පැට්‍රෝල් එකක් ගිහින් වරෙල්ල’ කියලා යවන්න බැහැ. සැළැස්ම සකස් කිරීමේදී වැදගත්වන කරුණු.

  • පැට්‍රෝල් එක යවන්නේ කවදාද, කොයි වේලාවේද?
  • පැට්‍රෝල් එක යැවීමේ අරමුණ කුමක්ද?
  • සාමාජිකයන් කීදෙනෙකු යොදවනවාද?
  • ගමන්ගන්නා මාර්ගය/ආපසු එන මාර්ගය කුමක්ද?
  • ගෙනියන අවි ආයුධ, උපකරණ, මොනවාද?
  • පැට්‍රෝල් එක හදිසි අවස්ථාවකට මුහුණ දුන්නොත්, ආධාර කරන්නේ කොහොමද?

ඒ වගේම තමයි පැට්‍රෝල් එක අණදෙන්නා විසින් සළකා බැලිය යුතු කරුණුත් තියනවා.

  • කරන්න යන දේ ගැන, පැට්‍රෝල් එකේ සෑම සාමාජිකයකුටම, පැහැදිළිව කියාදී, ඔවුන් එය අවබෝධ කරගත් බව තහවුරු කරගත යුතුයි.
  • ඔවුන් පැට්‍රෝල් එක යාමට සුදුසු මනා සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවාද කියා තහවුරු කරගත යුතුයි. (කැස්ස එහෙම තියනවා නම් යන්න බැහැ. සද්ද වෙන නිසා)
  • ඔවුන් පිටේ එල්ලාගෙන යන මල්ලේ තිබෙන දේවල්, එකිනෙක ගැටී ශබ්ද නගිනවාද කියා බැලිය යුතුයි. ඒවාට පිළියම් යෙදිය යුතුයි.
  • හදිසි අවස්ථාවකදී ගන්නා ක්‍රියාමාර්ගය සෑම දෙනාම දන්නේද යන්න තහවුරු කරගත යුතුයි.

   සාමාන්‍යයෙන් හත් අට දෙනෙක් හෝ 25 ක් 30 ක් හෝ ඊටත් වැඩි පිරිසක් යොදවා කරන පැට්‍රෝල් එකකදී, ඉතා වැදගත් න්‍යායාත්මක කරුණක් අනුගමනය කරන්න තියනවා. ඒකට කියන්නේ පැට්‍රෝල් බේස් – Patrol Base එක කියලා. පැට්‍රෝල් බේස් එක කියන්නේ තාවකාලික ලැගුම් පොළක්. අවටට නොපෙනෙන්න රැඳී සිටිමින්, අත්‍යවශ්‍ය සංවිධාන කටයුතු සිදුකරගන්නා ස්ථානය තමයි, පැට්‍රෝල් බේස් එක කියන්නේ.

   හැබැයි මේ වගේ එකක දවස් ගණන් ලගින්න බැහැ. වෙනත් තැනක අලුත් බේස් එකක් දාගන්න ඕනේ. ලගින්න ගියොත් සතුරාට අහුවෙන්න පුළුවන්. මේ වගේ තැනක, ගින්දර පත්තු කරන්නේ, සද්ද කරන්නේ, නැහැ. එතනින් යන්න කලින්, එතන අපි හිටියද කියලා හොයාගන්න බැරි විදිහට, සියලු සලකුණු මකාදමා යායුතුයි. නැත්තං සතුරා අපේ පස්සෙන්ම එනවා. 

Patrol-Base-Overview1

   

මේ බලන්න, ඔය ඉහළින් තියන පින්තූරයෙන් පෙන්නන්නේ, පැට්‍රෝල් බේස් එකක්. බලන්න අර ගහලා තියන කූඩාරම් රෙදි. ඒවා ගහලා තියෙන්නේ පොළොවේ ඉඳලා අඩි එකහමාරක් විතර උසින්. ඇයි ඒ? ඈතට පෙනෙන එක වලක්වන්න. ඉතිං මොනවද මෙතනට වෙලා කරන්නේ? මෙන්න මේවා තමයි කරන්නේ.

  • සතුරාට තමන් ගැන ඉව වැටීම වළක්වා ගැනීම සඳහා ටිකක් වෙකා සැඟවී නිසොල්මන්ව සිටීම.
  • යම්කිසි විශේෂිත ප්‍රදේශයක සියලු තොරතුරු ලබාගැනීම සඳහා දීර්ඝ මුර සංචාරයක යෙදෙනවා නම්,  ඒ කටයුතු අවසන් වනතුරු, සැඟවී සිටින ස්ථානයක් ලෙස පාවිච්චි කිරීම. කෑම ගැනීම කරන, අවි ආයුධ පිරිසිදු කර සූදානම් කරගැනීම කරන, සුළු තුවාල ආදියට ප්‍රථමාධාර ලබාදෙන, ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කරන ස්ථානයක් ලෙස, යොදාගැනීම. (මේ වගේ තැනක ඉන්නකොට LP, OP පවා යොදන්න වෙනවා)
  • සතුරු බලප්‍රදේශයකට ඇතුළු වුනාම, ඒ ප්‍රදේශය කුමක්ද කියා හරිහැටි තහවුරු කරගන්නා තුරු, සැඟවී ඉන්න ස්ථානයක් ලෙස යොදාගැනීම.  

   හොඳයි. මා හිතනවා, මේ ඉතා කෙටියෙන් සලකා බැලූ කරුණු, පැට්‍රෝල් කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න, ප්‍රමාණවත් කියලා. මීළඟ කොටසේදී අපි LRRP ගැන කතාකරමු. 

2015 මාර්තු මස 16 වැනි දින 0035 පැය

Advertisements

Comments on: "පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (3 වන කොටස) ………………………. Let’s Learn Military Patrolling (Part 3)" (10)

  1. හරිම රසවත් මේ වගේ වෙලාවකට බලන්න. කඳවුරු වල නිතර කැස්ස හැදෙන අයත් ඇති නේද ?

    • අප්පේ හමුදා කඳවුරුවල දිනපතාම ඉන්නවා කැස්ස කාරයෝ/කාරියෝ. මම හිතන්නේ සොල්දාදුවන්ට තම පෞද්ගලික සෞඛ්‍යය ගැන ක්‍රියාකිරීමට උනන්දුවක් නැතිකමත් කාර්ය බහුලවීමත් කියන හේතු දෙකම බලපානවා.

  2. 8 man group හඳ්නවා දුන්නේ සේනක සිල්වා කියලා 15 ලංකා‍දිපේ තිබ්බා.

  3. ඉතාම වටිනවා. පීල්ඩ් මාෂල් තනතුර හඳුන්වා දෙමින් ඔබතුමා ලියන ලද ලිපියෙන් ලද දැනුම රිවිර ලිපිය තේරුම් ගැනීමට අත්වැලක් වුනා.

  4. හොද ලිපියක් සර්

  5. නියමායියියි…. මටත් දැනගන්න ඕන වෙලා තිබුනෙ අර Concertina Wire කියන ඒව ගැන.

  6. ඉන්ඩෝ..පරන ටික බලන්න ප්‍රෙටල් එකක් ගිහින් එන්නං

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: