විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


DSC01420   මා ඔබව රැගෙන යන උතුරේ සංචාරය, බොහෝ දෙනෙකුගේ සිත් ඇදගන්නා බව, අදහස් දැක්වීම් වලින් පෙනෙනවා. අද මා ඔබව රැගෙන යන්නේ ඩෙල්ෆ්ට් දූපතටයි. මතකනේ, අපි මුලින්ම මුලතිව් කිලිනොච්චි පැත්තෙන් යාපනයට ආවා. ඊට පස්සේ, යාපනයේ නැවතිලා, පහුවදා පිටත්වුනා ඩෙල්ෆ්ට් යන්න. ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැපු තැනින්නේ, පසුගිය කොටස අවසන් වුනේ. අද එතැන් සිට. අදනම් පින්තූර ගොඩක් තියනවා. 

   මතක ඇති නේද අපි යාත්‍රා කරපු අර සුපිරි බෝට්ටුව. ඔන්න ඉතින් අපි, ඒ බෝට්ටු රාජයාගේ නැගලා ඇවිත්, ඩෙල්ෆ්ට් ජැටියේදී ගොඩ බැස්සේ මෙන්න මෙහෙමයි. පේනවා නේද පොලිස් රාළහාමි කෙනෙක් බලා ඉන්නවා, කවුද එන්නේ, මොනවද ගෙනෙන්නේ කියලා. 

DSC01536

   ඔබට ඩෙල්ෆ්ට් දූපතේ ඇවිදින්න ඕනෙනම්, ලංගම බස් එකක් දෙකක් තියනවා. නමුත් ඒවා සෑම ස්ථානයකටම යනවද නැද්ද කියා හොයාගන්න බැරිවුණා. දූපතේ තියන අතුරු පාරවල් වලනම්, බස් එකකට යන්න බැහැ. ඒ නිසා පයින් යන්න වෙනවා. හොඳම දේ, ත්‍රිරෝද රථයක් කුළියට ගැනීම. ත්‍රිරෝද රථ සෑහෙන ගණනක් තියනවා ජැටියේම. අපි කුළියට ගත්තේ බටුම බටු වෑන් එකක්. හැබැයි අලුත්ම එකක්. මේ තියෙන්නේ බඩුව. නොම්මරයක්වත් නෑ. කවුරු අල්ලයි කියලද? දූපතෙන් එළියට යන්න බැහැනේ. මෙන්න පයිලට් සමග වාහනේ. 

DSC01585

   හතර දෙනෙකුට තමා පිටිපස්සේ ඉඩ තියෙන්නේ. මේ පයිලට් ඔහු දන්නා ඉංග්‍රීසි සිංහල දෙකම භාවිත කරමින්, අපිට නොයෙක් තැන් විස්තර කළා. සමහර අතුරු පාරවල් වල ඔහු ගිය වේගයට නම්, ටිකක් බය හිතුණා. මේ දූපතේ සංචාරක කටයුතු පිළිබඳව සියලු සංවිධාන කටයුතු කරන්නේ එහි සිටින, ඩේවිඩ් පියතුමා විසින්. මම හිතන්නේ එතුමා අයිති, එංගලන්ත සභා නිකායට Church of England කියලයි. ඕනෑම වෙලාවක එතුමාට කතාකර, වාහන සහ නවාතැන්, ආහාර, ආදිය සංවිධානය කරගන්න පුළුවන්. මේ ඉන්නේ එතුමා සහ අපේ හාමුදුරුවෝ. 

DSC01611

Scan_20150216_082737

   කි.මී. 8 ක් පමණ දිග, කි.මී. 6 ක් පමණ පළල, ඩෙල්ෆ්ට් දූපතේ ජනගහනය 5000 ක් පමණ වෙනවා. ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය සභාවෙන් තමයි පරිපාලන කටයුතු සිදුවන්නේ. තරමක් නවීකරණය කළ රෝහලක් මෙහි තිබෙනවා. අති විශාල ජනක යන්ත්‍ර දෙකකින්, මුළු දූපතටම විදුලි බලය පැය 24 පුරා සපයනවා. හොඳ ජාතික පාසලක් තිබෙනවා. පොලීසිය නම් කුඩා එකක්. මේ සියල්ල එක ළඟින් තිබුණත්, කඩමණ්ඩියක් වගේ තමා පෙනෙන්නේ. ප්‍රදේශයේ සෑම පාරක්ම පාහේ පාළුයි. ඉඳහිට යන බයිසිකලයක් හෝ මෝටර් බයිසිකලයක්, (බොහෝවිට අංක තහඩු සහ හෙල්මට් නැහැ) පයින් ගමන් කරන අය කීප දෙනෙක්, තමා දකින්නට ලැබෙන්නේ. 

DSC01550

DSC01553

   අපි ගිය දවස්වල සහ ඊට පෙර, උතුරු පළාතටම තද වැසි කාලයක් ඇතිවී තිබුණා. ඒ නිසා, දූපතේ සෑහෙන ප්‍රදේශයක් ජලයෙන් යටවී තිබුණා.

DSC01552

   මේ දූපතේ, පැරණි චෛත්‍යයක නටබුන් දකින්නට ලැබෙනවා. නමුත් ඒ පිළිබඳ කිසිදු පුරාවිද්‍යාත්මක විස්තරයක් දැනගන්නට කෙනෙකු හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, මෙවැනි ස්ථානයක සවිකරනු ලබන පුවරුවක්වත්, දකින්නට නැහැ. එවැන්නක් තිබී, විනාශ කර ඇද්දැයි දන්නෙත් නැහැ.

DSC01554

DSC01555

DSC01559

   ඩෙල්ෆ්ට් දූපතේ ඉඩම්වල, සීමා මායිම් සකසා තිබෙන්නේ, අමුතුම ක්‍රමයකටයි. ඒ තමා, මේ ප්‍රදේශයෙන් ස්වභාවිකව ලැබෙන හුණුගල්, වැටි ලෙස සකස් කිරීම. අපි කම්බි වැටවල් හදනවා වගේ, මේ අය කරන්නේ, හුණුගල් වැටි බැඳීමයි. මේ බලන්න. සිමෙන්ති වැනි බදාමයක් දමා නැහැ. නිකම්ම එක උඩ එක තබා තියෙන්නේ. 

DSC01540

DSC01548

   දූපතේ සමහර ප්‍රදේශවල වෙරළේ, මේ හුණුගල් සෑදෙන ආකාරය දකින්නට පුළුවන්. නමුත්, ගල්වැටි බැඳීම සඳහා මේවා ඉවත් කිරීම, මහා පරිසර විනාශයක් ලෙසයි, මා නම් දකින්නේ.

DSC01568

හුණුගල් වැටි බලමින් යන අතරේ, මෙන්න මෙයාවත් මුණගැහුණා.  

DSC01561

දූපතේ එක පැත්තක වෙරළ අයිනේ, කෝමාරිකා පවුලේ ශාක ප්‍රජාවක් දකින්නට ලැබුණා.

DSC01571

   මේවා බලලා ආපහු හැරෙනකොටම, අම්මා කෙනෙකුයි පොඩි දුවෙකුයි, අපි ළඟට ආවා. ඔවුන් ඉඟියෙන් අපිට කිව්වා, ඔවුන්ගෙන් කොට්ට කෙලෙංගු මිලට ගන්නා ලෙස. ඔවුන් දරිද්‍රතාවයේ පතුළේ සිටින බව, ඉතා පැහැදිළිව පෙනුණා. අපි කොට්ට කෙලෙංගු මිලදීගෙන, ඔවුන් සිහිනෙන්වත් නොසිතූ ලොකු මුදලක් දුන්නා. මේ සුන්දර සිනාව, ඒ වෙනුවෙන් අපට ලැබුන ස්තුතියයි. ඇයට, මේ දූපතෙන් පිට තිබෙන මහා විශාල, (හොඳට වඩා නරකින් පිරි) ලෝකය දකින්නට, වාසනාව ලැබේවා කියා, මා හිතෙන් ප්‍රාර්ථනය කළා. 

DSC01572

   ඩෙල්ෆ්ට් දූපතට යන සෑම සංචාරකයකුම, විශේෂයෙන් උනන්දුවන්නේ, එහි සිටින වල් අශ්වයන් නැරඹීමටයි. ලන්දේසි පාලන සමයටත් පෙර සිට, මේ වල් අශ්වයන් මෙහි සිටි බවයි දැනගන්නට ලැබුණේ. මොවුන්ගේ ඡායාරූප ගැනීම, මා හිතූ තරම් පහසු වුණේ නැහැ. ඔවුන් නිතරම ඉරියව් වෙනස් කරනවා. ළඟට යන්න බැහැ, ඔවුන් පැන යනවා. මේ පින්තූර ගත්තේ, මගේ කැමරාවේ උපරිම zoom තත්වයෙන්. (30 x digital zoom) මා සතු කැමරා ත්‍රිපාදය ගෙන නොගිය මෝඩකම තේරුණා. මා කළේ, බිම ඉඳගෙන, දණහිස් දෙක මත වැලමිටි දෙක තබාගෙන, ‘කැමරා හතර පාදයක්’ 😀 සාදාගැනීමයි. (හතර ගාතයක්) 

DSC01578

DSC01579

DSC01581

   පරිසර සහ වනසත්ව ඡායාරූපකරණයේ යෙදෙන අයට නම් මේ දූපත පාරාදීසයක් වනු ඇති.

DSC01582

   ඔබ, බැඕබැබ් එහෙමත් නැත්නම් බයෝබැබ් යනුවෙන් හඳුන්වන ශාකය ගැන අසා ඇතැයි මා හිතනවා. මෙවැනි විශාල ගසක්, මා මුල් වරට දුටුවේ, මන්නාරම් දූපතේදී. මේ ශාකයේ මව්බිම වන්නේ මැඩගස්කරය කියා, මා අසා තිබෙනවා. ඩෙල්ෆ්ට් දූපතෙත් මේ ගහක් තියනවා. එහි විශාල බෙනයක් තිබෙනවා. මිනිසුන් 20 දෙනෙකුට පමණ, ඒ බෙනය තුළ ඉන්නට පුළුවන්. මමත් නිකං ඉන්නේ නැතුව රිංගුවා ඒක ඇතුළට. 

DSC01606

DSC01608

   වල් අශ්වයන් බලා එනවිට දකින්නට ලැබුණා, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන කාල වලදී, අශ්වයන් රඳවා තැබූ ඉස්තාලයක නටබුන්. අද රජයේ වාහන ගාල් කරනවා වගේ, ඒ කාලේ මෙතන අශ්වයන් සෑහෙන ගණනක් රඳවා තබන්නට ඇති. 

DSC01576

   බ්‍රිතාන්‍ය පාලන සමයේ නටබුන් රැසක්, දූපතේ දකින්නට ලැබෙනවා. ඒ කාලයේ තිබුණ අධිකරණ ශාලාවක නටබුන් අතර, මේ ලාංඡනය දකින්න පුළුවන්. එය එතරම් පැරණි නොවන බව පෙනෙනවා. (ක්‍රි.ව.1905) වසර 115 ක් කියන්නේ, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව එතරම් විශාල අතීතයක් නොවෙයි. 

DSC01616

   මෙහි දැක්වෙන ER අකුරු දෙක මගින් කියවෙන්නේ, Elisabeth Regina යන්න බවයි, මා දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. මෙහි Regina යන්න Queen යන වචනයට සමාන බව ජාලය පිරික්සීමෙන් දැනගත්තා. නමුත් 1905 කාලයේ බ්‍රිතාන්‍යයේ රජු ලෙස සිටියේ VII වැනි එඩ්වර්ඩ් රජතුමායි.

   ඒ කාලේ ‘පරෙවි සංදේශ’ යැවීම බහුලව සිදුවී තිබෙනවා. සන්නිවේදන කටයුතු සඳහා තිබුන වේගවත්ම ක්‍රමය මෙය වන්නට ඇති. එලෙස, පණිවිඩ ලියන ලද කඩදාසිය කකුලේ බැඳගෙන පියාඹන පරෙවියන්, නිතර දකින්නට ලැබෙන්න ඇති. ඒ පරෙවියන් ඇතිකළ කූඩුවක්, අදත් ඉතිරිව තිබෙනවා. 

DSC01614

   පැරණි ගොඩනැගිලි අතර, තවමත් ඉතිරිවී තිබෙන එක් ගොඩනැගිල්ලක් වන්නේ, රෝහලයි. මේ රෝහලේ වහලයට සෙවිලි කර ඇති උළු, ක්‍රි.ව. 1865 වර්ෂයට අයත්. නමුත් ඒවායින් බොහොමයක්, අදටත් ඉතා හොඳ තත්වයෙන් තිබෙනවා. උළු කැටයේ ඡායාරූපයේ, මා නැවත දක්වා තිබෙනවා, එහි සඳහන් විස්තර. සමහරවිට 1865 දී ලද පේටන්ට් බලපත්‍රයකට අනුව, ඊට පසු කාලයක හැදුවා වෙන්නත් පුළුවන්. නැත්නම් පේටන්ට් අංකය 1865 වෙන්නත් පුළුවන්.

DSC01618

DSC01617

දූපතේ තවත් දර්ශණීය පෙදෙස් බලන්නට යන්න ගියත්, මෙන්න මෙතනින් අපේ ගමන කෙළවර වුණා. මේ වතුරේ අර බට්ටාට යන්න බැහැ.

DSC01580

   අපේ බට්ටා රථය පදවපු මාතලී, අපව රැගෙන ගියා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකට. මෙහි තිබුණු එක් පොකුණක් පෙන්වා, ඔහු සඳහන් කළේ, එය ‘හනුමාන් ගේ පාදය’ ලෙස සලකන බවයි. එය කිසියම් පුරාවෘත්තයක් වන්නට ඇති. (දිග පළල මීටර් 1.5 x 0.50 පමණ) දූපතේ වෙනත් කිසිම ස්ථානයක නැති, විවිධ ඖෂධ පැලැටි වර්ග, මේ අවට තිබෙන බවද අපේ මාතලී පෙන්වා දුන්නා. එම කරුණත් වෙනම විමසා බැලිය යුත්තක්. 

DSC01573

   ඊළඟට අපි ගියේ, දූපතේ තිබෙන පැරණි ලන්දේසි බලකොටුවේ නටබුන් බලන්නටයි. එය බැලීමට නම්, දැනට දූපතේ තිබෙන රෝහලේ, ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවී, රෝහල් කොරිඩෝරයක් දිගේ ඇවිද යා යුතුයි. ඒ සඳහා, සෑම විටම අවසර තිබෙන බවත් දැනගත්තා. මෙන්න ඇතුළුවීම සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිළ රථය.

DSC01588

DSC01599

   මෙහි සිටින ප්‍රධාන වෛද්‍යවරයා, දිවයිනේ ප්‍රදේශ කීපයක සේවය කර තිබෙනවා. මා ඔහුගෙන් ඇසුවා, මේ ප්‍රදේශයේ බහුළවම දකින්නට ලැබෙන රෝගය කුමක්ද කියා. මා සිහිනෙන්වත් නොසිතූ පිළිතුරක් ලැබුනා. බහුළවම තිබෙන රෝගය, වැඩිහිටි ජනතාව අතර තිබෙන, ආතතිය ලු. යුද්ධය නිසා ඇතිවූ මානසික බිඳ වැටීම, තරුණ ජීවිත විනාශවීම, ඉතිරිව සිටින තරුණ පරපුර, ඉතා සීඝ්‍රයෙන්, දූපත හැර දමා, තම දියුණුව සොයා, යාපනය, වවුනියාව, කොළඹ, වැනි ප්‍රදේශ වලට සහ සමහරවිට විදේශයන් වෙත සංක්‍රමණය වීම, මේ තත්වය ඇතිවීමට හේතු ලෙස දකින බව, ඒ වෛද්‍යවරයා කිව්වා. මේවා ගැඹුරින් සළකා බලා විසඳුම් සෙවිය යුතු ප්‍රශ්න නේද?

   ඔන්න පහළින් තියනවා, ඒ බලකොටුවේ පින්තූරයක්. හරි වැඩක් වුණානේ. බලකොටුව බල බලා ඉඳිද්දී, කොටු තාප්පයෙන් කෑල්ලක් කැඩිලා වැටෙන්න හදන බව පෙනුණා. මම වහාම කර ගහලා, ඒක බිම වැටෙන්න නොදී අල්ලගත්තා. ඔන්න මගේ සගයා ගත්ත පින්තූරේ පහළින් දාලා තියනවා, ඒ බව ඔප්පු කරන්න. 

DSC01595

DSC01594

   මේ දූපතේ ඉතා දර්ශනීය වෙරළ තීරයක් තිබෙනවා. නාලා කහින්න, නාලා බිටන්න, නියම තැන. ප්‍රාදේශීය සභාව විසින්, දැනටමත්, සංචාරකයන් වෙනුවෙන්, යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතිනවා. මුහුදේ නෑමෙන් පසු, පිරිසිදු ජලයෙන් නාන්න, කාන්තාවන්ට සහ පිරිමින්ට වෙන වෙනම නාන කාමර, වෙරළ අසළ සැකසෙමින් පවතිනවා. සාමාන්‍ය මට්ටමේ හෝටලයක්ද ඉදිවෙමින් පවතිනවා. සියල්ලටම පළමුව, ප්‍රමුඛත්ව පියවරක් ලෙස, මේ දූපත් සියල්ල යා කරමින්, මාර්ග සෑදිය යුතු බවයි මගෙනම් අදහස.

DSC01604

DSC01605

   දැන් ඉතින් ආපහු එන්න වෙලාව හරි. ඩේවිඩ් පියතුමාට ස්තුති කර. මේ පහළ තියන තැනින් කෑම කාලා, අපේ මාතලීටත් කෑම අරන් දීලා, ඔහුගේ ගාස්තුවත් ගෙවලා, ඔහුගේ රථයෙන්ම ඩෙල්ෆ්ට් ජැටියට පැමිණි අපි, ආපහු කීරිකඩ්ඩුවාන් ජැටියට ආවා.  

DSC01610

   ඊළඟට අපි ගියේ නාගදීපයටයි. ඒ බෝට්ටු ගමනට යන්නේ විනාඩි 20 ක් පමණ. ටිකට් එක රු 20 යි. නමුත්, නාගදීප විහාරස්ථානයට ගිය මට ඇතිවුණේ, ඉතා කලකිරීමක්. එය විහාරස්ථානයකට වඩා හමුදා කඳවුරක පෙණුමකින් යුක්ත වුණා. හැම තැනම තිබෙන්නේ, බැතිමතුන්ට නියෝග දෙන දැන්වීම් පුවරු. අරක කරන්න එපා, මේක කරන්න එපා, ඡායාරූප ගැනීම තහනම්. (ඇයි දෙයියනේ, පූජාව තියන වෙලාවට, දළදා කරඬුවෙත් පින්තූර ගන්න දෙනවා)

   ඒ මදිවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ අඩි 8 x 6 ප්‍රමාණයේ, යුද ජයග්‍රහණ කටවුට්, පන්සල පුරාම තියනවා. (දැන්නම් ඒවා ගලවා තිබෙන බව ඊයේ මා සනාථ කරගත්තා. මේ ගමන ගියේ පහුගිය දෙසැම්බරයේ) පන්සල ඇතුළේ, බුදු පිළිම වලට වඩා තියෙන්නේ යුද ජයග්‍රහණ පින්තූර. නමුත් මම, මට අවශ්‍ය පින්තූර ගත්තා. මොකටද ඉතින්……..පන්සල අසළ අලුත්ම අලුත් සුදුපාට ප්‍රාඩෝ රථයක් නවතා තිබුණා. එය විහාරාධිපති හිමියන්ගේ නිළ රථයලු. දෙයියනේ මේ අල්ලක් විතර දූපතේ, මේ රථයෙන් කොහේ යන්නද? හුටා, වඩින්නද?

   ආපසු ඒම සඳහා නාගදීප ජැටියට එනවිට, මාළු අල්ලන බෝට්ටුවක, මේ නම දැක්කා. බෝට්ටුවේ නම ‘අයියප්පන්’ ඇත්තටම අපි මේවට හිනාවෙන්න නෙවෙයි ඕනේ. ඒ ද්‍රවිඩ ජනතාවට ස්තුති කරලා, කියා දෙන්න ඕනේ, වඩාත් නිවැරදිව සිංහල ලියන හැටි. 

DSC01625

   හොඳ ඇම්බියුලන්ස් එකක් දැක්කා. ඔබත් මේ ඇම්බියුලන්ස් එකේ තියන අංකයට කතා කරලා බලන්න, හදිසියකදී  ගෙන්වාගන්න පුලුවන්ද කියලා. 

photo0039

සූර්යයා කීරිකඩ්ඩුවාන් ජැටියෙන් සමුගන්න මොහොතේ, අපිත් කීරිකඩ්ඩුවාන් ජැටියට ආයුබෝවන් කියා, ආපහු ගමරට බලා එන්න පිටත් වුණා. 

DSC01626

2015 පෙබරවාරි මස 26 වැනි දින 0013 පැය

Advertisements

Comments on: "උතුරේ සංචාරයක් (තුන්වැනි කොටස)" (16)

  1. කොපමණ දිග වුනත් ලිපියේ වදන් වගේම පින්තූර වලින් ද ලොකු වින්දනයක් ලැබුවා. ඔබතුමාට ගොඩක් තුති අප සමගත් මේ අත්දැකීම් බෙදා හදා ගත්තාට

  2. කුරුටු ගෑ ගී පවුර said:

    උතුරට යන්න අවශ්‍යම පුද්ගලයෙක් උතුරට ගිහිල්ලා කියලයි මට නම් හිතුනේ

  3. ලිපිය දිගයි කියලා කිව්වට කියවගෙන යනකොට වෙලාව වත් දැනුනේ නැහැ. ඒ තරම්ම රසවත්.

  4. ගියා වගේම අදහසක් ඇතිකරගන්න ඔබේ ලිපිය ඉවහල් උනා. මේ මිනිස්සුන්ගෙ ජීවිත ගොඩ ගැනීම ගැන එයාලගෙ නායකයින්ටවත් රටේ ලොක්කන්ටවත් සැබෑ උවමනාවක් නැතිකමයි ප්‍රශ්නෙ.

    • ඇගයීම ගැන ස්තුතියි.

      අහිංසක මිනිස්සු. දේශපාලකයන්ගේ බොරු වලට රැවටිලා උන් කියන කියන විදිහට ඡන්දේ දෙනවා. අන්තිමට හූල්ල හූල්ල ඉන්නවා. දකුණේ මිනිස්සුන්ටත් වඩා අනාථයි.

  5. Oba digai kiwwata, kiyawaddee ebawak denune ne,echcharata rasawath,obe uthsahaya sarthakai,

  6. යාපනයට ගියා වගේ හැඟීමක් ආව. හරිම රසවත්. නාග දීපයෙත් photos ටිකක් දාමුද ?

  7. අපිත් යාපනේ ගියා වගේ.. ස්තුතියි සහෝදරයා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: