විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   Jaffnaයුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 – 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස පස් දෙනයි. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ, සාමනේර හිමිවරුන් දෙනම, මගේ මිත්‍රයෙක් සහ මම. ඒ මිත්‍රයා සහ මා තමයි රියැදුරු රාජකාරිය කළේ. හැබැයි ඉතිං දවස පුරා රිය පැදෙව්වත්, හවසට ඇඟපත රත්කරගන්න ලැබුණේ නැහැ. හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ නිසා එව්වා අමතක කරලා දැම්මා.

   මෙන්න මෙහෙමයි අපි ගිය ගමන් මාර්ගය. ගෙදර ඉඳලම පාර පෙන්නන්න අවශ්‍ය නැහැනේ. අවශ්‍ය කොටස තමා මේ පෙන්නන්නේ. වවුනියාව පහුකලාට පස්සේ, පුලියන්කුලමෙන් දකුණු අත පැත්තට හැරිලා, (භූමියේ නැගෙනහිරට)  ඔය රතුපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ගිහින් කහපාට ඊතල වලින් පෙන්නන පාරෙන් ආපහු ආවා. 

1

  මා කවදාවත් මගේ සේවා කාලය තුළ, පුලියන්කුලමේ සිට මුලතිව් දක්වා ගොඩබිමෙන් ගමන් කර නැහැ. මේ තමයි ගිය පළමුවැනි වතාව. ඊලාම් යුද්ධය පැවති කාලයේ, ගුවනින් ගොස්, මුලතිව් ඝන වනාන්තරය දැක තිබුණත්, ඒ වනය මැදින් අද තිබෙන කාපට් පාරේ යනවිට ඇතිවෙන්නේ, අමුතුම හැඟීමක්. මට නොකඩවාම මතක්වුනේ, මේ භූමිය, LTTE ත්‍රස්තවාදීන්ගෙන් ජයගන්න, තම රුධිරයෙන් මේ බිම තෙත්කළ, අපේ රණවිරුවන්. ඔන්න ඉතිං අපි මුලතිව් වෙත ළඟාවුණා. හරිම ලස්සන වෙරළ තීරයක්.

DSC01412a

   අපේ හාමුදුරුවෝ වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹුවේ මෙහෙමයි. පොඩි දෙනම නම් රැල්ල පාගන්නත් ගියා.

DSC01410

DSC01409

ඊට පසේ අපි ගියේ පුදුකුඩිඉරුප්පු යුධ කෞතුකාගාරය බලන්නයි.

DSC01418

   අපේ ආරක්ෂක හමුදා විසින් අල්ලාගන්නා ලද, LTTE සංවිධානය විසින් මුහුදු සටන් සඳහා භාවිත කළ යාත්‍රා, ඔවුන් විසින් වැඩිදියුණු කිරීමට උත්සාහ කල සබ්මැරීන්, සහ වෙනත් යුද්ධායුධ මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරනවා. එමෙන්ම, මානුෂික මෙහෙයුමේදී, සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව, ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා, අපේ හමුදාව කළ මෙහෙය පිලිබඳව, ඡායාරූප විශාල ගණනක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. 

DSC01436

DSC01440

DSC01444

DSC01448

මානුෂික මෙහෙයුම අවසන් කොට, යුද ජයග්‍රණය අත්පත් කරගැනීම වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයයි මේ පහතින් දැක්වෙන්නේ.

DSC01454

 මුලතිව් හමුදා කඳවුරකින් දිවා ආහාරය ලබාගත් අපි ඊළඟට කිලිනොච්චිය බලා පිටත්වුණා. සවස තේ පානය සඳහා අපි නැවතුනේ කිලිනොච්චියේ. අපේ අරමුණ වුණේ එදිනම කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා යාමයි. ඒ සඳහා බෝට්ටුවට නගින්න තිබෙන ස්ථානයට, දුර කිලෝමීටර් 90 ක් පමණ වෙනවා. නමුත් කිලිනොච්චියට නුදුරු පූනරින් ප්‍රදේශයට එනවිට, වර්ෂාව අධික වීමත්, මාර්ගය අබලන් වීමත් නිසා, ගමනේ වේගය හොඳටම අඩාළ වුණා. අපේ පුංචි කාර් එකට, මේ රළු මාර්ගයේ ගමන් කිරීම, විශාල අභියෝගයක් වුණා. (Toyota Stralet Reflet) වාහනය පදවන ගමන් මා ගත්ත පින්තූරයක් පහත දක්වන්නේ, මාර්ගයේ ස්වභාවය සහ වැසි ගතිය පෙන්වන්නටයි. 

DSC01467

   මෙන්න මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ මාර්ගයේ කොටසක්. පූනරින් – සංගුපිඩ්ඩි මාර්ගය, ඒ කාලේ මහා යුද්ධ පැවති ප්‍රදේශයක්. මෙහි ගමනාගමනය මුළුමනින්ම නැවතිලා තිබුණේ. අද මේ තරමින් හෝ යන්නට ලැබීම වාසනාවක්. 

Screenshot (79)

   අපි හිතුවේ කෙසේ හෝ ඩෙල්ෆ්ට් දූපත දක්වා ගොස්, රාත්‍රිය එහි ගතකරන්නයි. නමුත් ඩෙල්ෆ්ට් සහ නාගදීපය දක්වා බෝට්ටු සේවය පටන් ගන්නා කිරිකඩ්ඩුවාන් ජැටිය වෙත ළඟාවනවිට, හවස 6 විතර වුණා. එයට හේතුව වුණේ, යාපනයේ සිට පුන්කුඩුතීව් දක්වා දිවෙන මාර්ගයත්, තවම අලුත්වැඩියා කරමින් පවතින නිසා, පාර හදන අය විසින්, වරින්වර, එක දිශාවකට පමණක් වාහන ධාවනය කරන්න ඉඩ ලබාදෙන පරිදි, යන්නට සිදුවීම නිසයි. අපි ජැටියට එනවිට, ඩෙල්ෆ්ට් දක්වා යන අවසාන බෝට්ටුවත් ගිහින් තිබුණා. එහි සිටි නාවික හමුදා නිළධාරීන් සහ පොලිස් නිළධාරීන්, වෙනත් බෝට්ටුවක් හොයාගන්නට දරන ලද උත්සාහයත් සාර්ථක වුණේ නැහැ. අපි එක්තරා ආකාරයක අතරමං වීමකට ලක්වුණා. නමුත්, යාපනයේ සිටින, අප දන්නා හඳුනන හමුදා නිළධාරීන්ට දුරකථනයෙන් කතාකර, නවාතැනක් හොයාගන්න පුළුවන් වුණා. එහෙත්, නවාතැන් ගන්න, ආපසු යාපනය දක්වා කිලෝමීටර් 31ක්, අර අබලන් මාර්ගයේ පැය දෙකක් තිස්සේ යන්න වුණා.

Screenshot (78)

   අපිට නවාතැන් ගන්න ලැබුණේ යාපනය නගරයේ ද්‍රවිඩ නිවසක. සැමියා ද්‍රවිඩ බිරිඳ සිංහල. සැමියාට සිංහල හෝ ඉංගිරිසි දෙකම බැහැ. නමුත් කොහොම හරි වැඩේ පිරිමහගත්තා. සැමියාගේ ගම හැටන් පැත්තේ. බිරිඳගේ ගම දැරණියගල. අපි යනවිට බිරිඳ යම්කිසි අවශ්‍යතාවකට ඉන්දියාවට ගොස් තිබුණා. මෑතකදී පත්වීමක් ලබා, මේ නිවසේ නවාතැන්ගෙන, යාපනය ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ සේවය කරන, ගම්පහ පැත්තේ සිංහල තරුණයකු, අපට හමුවුණා. ඔහු අපට කිව්වේ, යාපනයේ මිනිසුන් ඉතා සුහදශීලී බවයි. නමුත්, කවදාවත් යාපනයෙන් පිටතට නොගිය, එක්තරා අන්තවාදී පිරිසක්, තවමත්, යාපනය ද්‍රවිඩයන්ටම පමණක් වෙන්ව තිබිය යුතු භූමියක් ලෙස සළකා කටයුතු කරන බවත්, ඔහු කිව්වා.

   අපිට නිදහසේ මුළු නිවසෙන් වැඩි කොටසක් පාවිච්චි කරන්න ලැබුණා. එළියේ සවිකර තිබුණ ෂවර් එකකින්, මමත් මගේ මිතුරාත් හොඳින් නාගත්තා. හාමුදුරුවන්ට ඇතුළේ නාන කාමරය දුන්නා. හොඳ ලොකු ඇඳන්, අලුත් ඇතිරිලි සහ කොට්ට දමා සකසා තිබුණා. ෆෑන් තිබුණ නිසා මදුරු දැල් අවශ්‍ය වුණේ නැහැ. හාමුදුරුවරුන්ට ගිලන්පස සකසාදී, මමත් මිතුරාත් නගරයට ගොස් රාත්‍රී ආහාර ගත්තා. මම ගියේ ආප්ප කන්නම් කියලා හිතාගෙන. දන්නවද වැඩක්? යාපනේ ආප්ප නැහැ. හදන්නේවත් කන්නේවත් නැහැලු. දකුණේ ඉඳලා යාපනයට යනකොට, අන්තිමට ආප්ප තියෙන්නේ වවුනියාවෙලු. ඒ  සිංහල අය ඉන්න නිසා වෙන්න ඇති. මොකක්ද දන්නෑ හේතුව යාපනේ ආප්ප නොහදන. යාලුවා ඇහුවා මොකුත් කරනවද කියලා. නමුත් මම කිව්වා හොඳ නෑනේ, බැරිවෙලාවත් හාමුදුරුවන්ට දැණුනොත් කියලා. (මම ලොකු හාමුදුරුවන්ට හොරෙන් පොඩි දෙනමට රෝස් පාන් දෙකක් ගිල්ලෙව්වා. දුකයි අප්පා, මගේ දරුවෝ වගේ. අනේ රහ කර කර  කෑවා. හුටා… වැළඳුවා)

   අදට මේ ඇති නේද? ඊළඟ කොටසෙදී ඩෙල්ෆ්ට් යමු.

2015 පෙබරවාරි මස 12 වැනි දින 2328 පැය

Advertisements

Comments on: "උතුරේ සංචාරයක් (පළමුවැනි කොටස)" (35)

  1. කාලයකට පසුව වටිනා, ප්‍රයෝජනවත් සේයා සටහන් පෙළක්

  2. ලොකු හාමුදුරුවො උනත පොඩි තැනලට කන්න සොරි වලඳන්න නොදී ඉනෙ නෑ මගෙ හිතේ.. අයියෝ.. හොඳ වඩේ ‍තෝසේ කන්න තියෙද්දී රෝස් පාන් වැලඳුවේ සොරි කෑවේ ඇයි ?

  3. මොකද පන්සල් සෙල් ලම් අත්හරින්නම බැර් ඉද

    • ඇත්තටම පන්සල් එක්ක මගේ සම්බන්ධය තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා. ඉස්කෝලේ යනකාලේ, මොනවා හරි ඇම්ඩන් වැඩක් කලාම, තාත්තා පස්ස පැත්ත රත්වෙන්න එකක් දීලා, මාව එලවනවා, පන්සලට ගිහින් බෝ මළුව අතුගාලා, හාමුදුරුවන්ට කරලා දියයුතු වැඩ කරපන් කියලා. නමුත් ඒ හැම පන්සලකම හාමුදුරුවරු, මගෙන් වැඩගත්තේ නැහැ. උතුම් සද්ධර්මය කියාදුන්නා. අදත් මම පන්සල් වලට මේ තරම් සමීප වෙන්නේ ඒ නිසයි.

  4. නිර්නාමික said:

    සංචාරයේ විස්තරය නම් හරිම රසවත්.අනික විචාට ඔය පළාත් නුහුරු නුපුරුදු තැන් නොවෙයි නොවැ.
    හැලපයා

  5. කුරුටු ගෑ ගී පවුර said:

    අැත්තට අගෙයි විචාරක…. හැකි වුණ ගමන් ම යනවා….. තාම අවස්ථාවක් නැහැ

  6. ඔබගේ ලිපි වලට මා ඇස යොමු කළේ මගේ නිබන්ධනයකට මග පෙන් වූ ගුරවරයෙක්. ලිපි පෙළ කියවද්දී එතුමාටත් පින්දෙනවා

  7. ස්තුතියි විචාරකතුමා. හොද ලිපියක්, විචාරකතුමා කාලයක් එහෙ හිටපු උසස් හමුදා නිලදාරියෙක් නිසා යාපනය ගැන ලියන ලිපි පෙළ මගින් යාපනය ගැන හොද අවබෝදයක් ගන්න පුළුවන් වෙයි, ඊලග ලිපිය එනකම් බලාගෙන ඉන්නවා.

    • ඔව් අද යාපනයේ දකින්න තිබෙන වෙනස දැක්කම ඇස් අදහාගන්න බැහැ. එදා අපි දැක්කේ නටබුන්වූ නගරයක්. අද හරිම ලස්සනයි. දියුණුයි. මිනිස්සු සතුටෙන් ඉන්නවා දැකීම තමයි ලොකුම සතුට. ඊළඟ ලිපියේදී වැඩි අවධානය දෙන්නේ ඩෙල්ෆ්ට් දූපතටයි.

  8. හොඳ සංචාරක සටහනක්. ඉතිරි කොටසුත් කියවන්න ආසාවෙන් ඉන්නවා. මම යාපනේට මුලින්ම ගියේ 2010 යුද්දේ ඉවරවෙලා මාස 7 කින් විතර. එතකොට නම් වටපිටාව හරිම වෙනස්. අන්තිමට ගිහින් ආවේ මාස දෙකතුනකට කලින් කෝච්චි එන්ජිමකින් 😀

    • හෑ…………………කෝච්චි එන්ජිමකින්. ආසාවේ බෑ එහෙම යන්න. මම මුලින්ම අපේ පවුලේ අයත් එක්ක කෝච්චියෙන් යාපනේ ගියේ 1965 දි විතර. ඊට පස්සේ රාජකාරි වශයෙන් 1981 දි.

  9. අපූරුයි. දිගටම ලියන්න. ආසාවෙන් කියවනවා…

  10. ප්‍රේමවන්තයා said:

    විචාතුමෝ…මේ සටහන කියවනකොට මම 2011 අවුරුද්දේ යාපනේ ගිය ගමන මතක් උනා.මොකද කියනවනම් 1වෙනි දවසේ අපි ගිය තැන් වලට අපිට යන්න වෙච්ච විදිහටමයි ඔබ තුමාටත් යන්න වෙලා තියෙන්නේ.ඇත්තම කිව්වොත් අපි නැවතුන තැනමයි ඔබතුමත් නැවතිලා තියෙන්නේ.හැබැයි අපි යනකොට ඔය එලියෙ shower 1 තිබුනෙ නෑ.ළිඳෙන් ඇදගෙන තමයි නෑවේ.හැබැයි ඒක නම් මාරම ෆන්.එතකොට ඔය ගෙදර ඇඳන් තිබුනෙත් නෑ.නිදාගත්තේ බිම පැදුරු එලාගෙන.මට මතක හැටියට ඔය ගෙදර හිටිය සීයා ගෙවල් paint කරපු කෙනෙක්.අපි එයත් එක්ක කතාකරකර ඉන්නකොට කිව්වා එයා අනුන්ගේ ගෙවල් paint කලාට එයාගේ ගේ paint කරගන්න බැරි උනා කියලා 😀 .සමහර විට මම කියන ගේ ඔබතුමා කියන ගෙදර නොවෙන්නත් පුලුවන්.මට මතක හැටියට ඒ ආච්චි දැරණියගල පැත්තේ doctor කෙනෙක් අරන් හදා ගත්ත ළමයෙක්.Photograph එකක් හම්බ උනොත් එවන්නම්.{ කියන්න අමතක උනා.1 වෙනි දවසේ කලු කොටින්ව train කරපු තැනත් බලන්න ගියා.}

    • ඔබේ මේ විස්තරයට බොහොම ස්තුතියි. මම කියන ගෙවල් හිමියා අවුරුදු 50 ක විතර එක්කෙනෙක්. දැන් යාපනේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තියෙන්නේ, දකුණෙන් එන සංචාරකයන්ට නවාතැන් සැපයීම. අපිත් රු 3000ක් ගෙව්වා. උතුරේ අය මෙහෙ සංචාර වලට එනවානම් අපිටත් පුළුවන් ආදායමක් උපයාගන්න. නමුත් ඔවුන් එවැනි සංචාරවල යෙදෙන්නේ නැති තරම්. ගියත් යන්නේ කෝවිල් වලට පමණයි.

  11. නාවික හමුදාවෙ ඉන්න මිත්තරයෙක් මටත් ආරාධනා කරනවා..උතුරේ පිහිටි ලංකාවෙ දූපත් කීපයක සංචාරය කරන්න අවස්ථාව සලසා දෙන්නම් එන්න කියලා…මේක කියෙව්වම මටත් යන්නම හිතෙනවා..මම උතුරේ සහ නැගෙනහිර සංචාරය කර තිබෙනවා..යාපනයේ මිනිස්සු ඇත්තටම හරිම සුහදයි තමයි….මටත් ඒ අත්දැකීම තියෙනවා…මම වතාවක් බේකරියකින් යම් මාර්ගයක් ගැන ඇහුවා…ඒ අයට ඉංග්‍රීසි වැටහෙන්නෙ නෑ..එතන මුදලාලි මට අතින් සංඥා කලා රැදී ඉන්න කියලා…එතනට බඩු ගන්න ආව ඉංග්‍රීසි දන්න තවත් කෙනෙක් ලව්වා මගේ වැඩේ කරගන්න එයා අවස්ථාව සලසා දුන්නා…

    • අම්මෝ සිරෝ…………මාර චෑන්ස් එකක්. ආයේ ජීවිතේටම යන්න නොලැබෙන ගමනක්. ඒ නිසා මගහරින්න නම් එපා. සල්ලි ගෙවලා හරි මමත් එනවා යන්න ඔයත් එක්ක.

      ඇත්තටම යාපනේ මිනිස්සු හරියට උදව් කරනවා. කොහෙන් හරි අහුවෙනවා යන්තම් හරි සිංහල කතාකරන්න පුළුවන් අය. ඒ නිසා කවදාවත් පාර වරදින්නේ නැහැ. අපිට දෙමළ පොඩ්ඩක්වත් බැරිවීම ගැන ලැජ්ජයි.

  12. අපිත් ඔය ගමන ගියා. දඹුල්ලට ගිය වෙලාවක හදිසියෙන් තීරනය කරලා ගියා. අපි ගියා පේදුරු තුඩුවට. ඉන් පස්සෙ යාපන නගරයට. ගිය පාරෙන්ම ආපහු ආවේ පුනරීන් පාර එදා අලුත් වැඩියා කරමින් තිබුණ නිසයි

    • ඇත්තටම ඔන්න ඔහොම ගියාම තමයි ට්‍රිප් කියන ඒවා යැවෙන්නේ. පෙරුම් පුර පුර ඉන්න ගියොත් කවදාවත් යැවෙන්නේ නැහැ.

      පේදුරුතුඩුව මූදේ යුද්ද කාලේ අපි සැට් වෙනවා. හරිම රසවත්. ත්‍රාසය සහ ජොලිය දෙකම තියනවා.

  13. නිර්නාමික said:

    මමයි බිරිඳයි තනියම යාපනේ ගියා කෝච්චියෙ. ජීවිතේ කවදාවත් ගිහින් තිබ්බෙ නෑ.දවස් තුනක් හිටියා. හැම තැනම ඇවිද්දා සිංහල හෝ ඉන්ග්රීසි වචනයක්වත් නොදන්නා ඩ්රයිවර් කෙනෙක් එක්ක..ටවුන් එකේ පයින් ඇවිද්දා…පොලේ ගියා..මිනිස්සු මහ ගොඩක් එක්ක කතාකලා කලවම් භාශාවෙන්…අපිට හම්බ උන එක මනුස්සයෙක්වත් අපිට කිසිම වෙනස්කමක් කලේ නෑ..හරිම හොඳ මිනිස්සු..ඒ මිනිස්සුන්ට යුද්දයක් ඕනෙ නෑ..වෙනම රටකිනුත් වැඩක් නෑ… ඒ මිනිස්සුන්ටත් ඕනෙ අපි වගේම තමන්ගෙ පාඩුවෙ පවුල්වල අයත් එක්ක සතුටින් කාටවත් බය නොවී යටත් නොවී ජීවත්වෙන්න…දෙමල මිනිස්සු අපේ යටත් වැසියො වගේ අපිට වඩා අඩියක් පහලින් ඉන්න ඕනෙ කියන දකුනෙ අමනවන්ශල, නාකි අමරසේකරල වගේ මිනිස්සු ගෑන පුදුම කලකිරීමක් ඈති උනා යාපනේ ගියාට පස්සෙ…උන් අපිට මෙච්චරකල් උගන්නල තිබ්බෙ දෙමලු අපිව මරන්න බලන් ඉන්නව කියල !

  14. විචාරක තුමා,
    ඔබේ ලිපිය ම ඉතා හොඳින් කියෙව්වා. අපි විශ්‍රාමික කට්ටියත් පෙබරවාරි 25 දින යාපනයේ යන්න ඉන්නවා. නිදහස් දුම්රිය බලපත්‍ර පාවිච්චි කරලා කෝච්චියේ තමයි යන්නේ.හොඳ ෆොටෝ ටිකක් ගන්න ලැබුනොත් පල කරන්නම්.
    සමරසේකර

  15. […] නේද මා ඔබ සමග බෙදා හදාගත් අද්දැකීම, මගේ උතුරේ සංචාරය ගැන? අද එහි දෙවැනි කොටසයි ඉදිරිපත් […]

  16. […] රැගෙන යන්නේ ඩෙල්ෆ්ට් දූපතටයි. මතකනේ, අපි මුලින්ම මුලතිව් කිලිනොච්චි පැත්ත…. ඊට පස්සේ, යාපනයේ නැවතිලා, පහුවදා […]

  17. […] යෙදෙන්නට,, මට අවස්ථාව ලැබුණා.. එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය […]

  18. […] යෙදෙන්නට, මට අවස්ථාව ලැබුණා. එයින් ‘යාපනයේ සංචාරය‘ සහ ‘වැදි ජනතාව බලන්නට ගිය […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: