විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Wicharaka Photography   අංක A 26, මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා දමන ලද අතර, අතිශයින් වැදගත් පුද්ගලයන්ට VVIP පමණක්, එම මාර්ගයෙන් දළදා මාලිගාවට පිවිසීමට අවසර ලැබුණා. සාමාන්‍ය ජනතාවට, අදටත් මේ කොටසේ, පයින් ගමන් කිරීමටවත් අවසර නැහැ.

   මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්‍රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.

   මේ ඊයේ පෙරේදා, රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් වුණා, මෙම මාර්ගය නැවත විවෘත කරන්නට අදහසක් පහළවී තිබෙන බව. මෙහිදී, අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, මේ ගැන සිය විරෝධය පලකරනු, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක මා දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, මෙම මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට, රාජ්‍ය නිළධාරීන් පිරිසක්, තමන් වහන්සේ හමුවීමට පැමිණි බවත්, නමුත් තමන් වහන්සේ ඒ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත්, පාර විවෘත කරගන්නට දැඩිව උත්සාහ ගන්නේ, සාමාන්‍ය ජනතාව නොව, වාහන හිමියන් බවත්, උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට යෙදුණා.

   මල්වතු මහ නාහිමියන්, මේ පාර යළි විවෘත කිරීම පිළිබඳව, විරුද්ධත්වයක් ප්‍රකාශ කර ඇති බවක් දැනගන්නට නැහැ.

   මේ පිළිබඳව මගේ හැඟීම් සහ, මා ඉදිරිපත් කරන විකල්ප යෝජනාව, පහත දක්වන අතර, ඒ පිළිබඳව ඔබගේ පුළුල් දායකත්වය බලාපොරොත්තු වෙනවා. මා ඉදිරිපත්කර තිබෙන්නේ, ඉතා දුර්වල යෝජනාවක් වන්නට පුළුවන්. මට වඩා මහනුවර නගරය ගැන දන්න, මා කොහොමවත් නොදන්නා, ඉංජිනේරු තාක්ෂණය ගැන දන්න අය, ඔබ අතර ඉන්න බව මා දන්නවා. ඉතින් මා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා, මේ පිළිබඳව මේ අඩවියේදී සංවාදයක යෙදෙන්නට. වඩාත් පුළුල් සහ ඵලදායී යෝජනා ඉදිරිපත් කරන්නට.

   එක කාරුණික ඉල්ලීමක් කරනවා. ඔබට අයිතිය තියනවා අස්ගිරි මහ නාහිමිගේ අදහසට විරුද්ධව අදහස් ඉදිරිපත් කරන්නට. නමුත්, අපහාසාත්මක අදහස් ඉදිරිපත් නොකරන ලෙස කාරුණිකව ඉල්ලනවා.

මෙන්න මගේ හැඟීම් 

  •    පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රකාශය සමග එකඟ වන්නට අපහසුයි.

 

  • මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්‍රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්‍රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්‍යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.

 

  • ශ්‍රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුරුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්‍රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ. 

 

  • දිනපතා උදේ හවස, පාසල් දරුවන්, රැකියා සඳහා යන අයවලුන්, දහසකුත් එකක් අවශ්‍යතා සඳහා මහනුවර නගරයට යන එන්නන්, රෝහලට යන එන අය, මේ වාහන තදබදය නිසා විඳින කරදර, මෙහි ලියන්නට ගියොත්, ලිපි කීපයක් ලියන්නට වෙනවා. වාහන තදබදය නිසා, ජාතියක දියුණුව වෙනුවෙන් වැයකිරීමට ඇති කාලය අපතේ යාම, අනවශ්‍ය ඉන්ධන දහනය, (මහනුවර නගරයේ වායුව අතිශයින් දූෂිත බවට විශේෂඥ වාර්තාවක්, කලකට ඉහතදී පළවී තිබුණා) විකල්ප මාර්ග නොදන්නාකමින්, මහනුවර නගරය මගහැර යනු වෙනුවට, නගරය හරහාම යන්නට එන වාහන, අර වාහන තදබදයටම එක්වීම, අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා ප්‍රමාදවීම, ආදී වශයෙන් ඇති කරුණු අපමණය. මෙයට තවත් කරුණු ගණනාවක් එකතු කරන්නට ඔබට හැකි බව මා දන්නවා.

 

මෙන්න මගේ යෝජනාව

   ඉංග්‍රීසි භාෂාවේ කියමනක් තියනවා ‘you can’t have the Cake and eat the Cake’ කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ඉතා වටිනවා, හරිම අගෙයි කියමින්, හැඩරුව බලමින්, වර්ණනා කරමින්, ඉන්නට සහ, ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහා, අවශ්‍යයෙන්ම පරිභෝජනය කළයුතු ඒ දේ, පරිභෝජනය නොකර, බල බලා ඉන්නටත් බැහැ, කියන එකයි. පැරණි පාර අරින්නට ඉඩ දෙන්නෙත් නැත්නම්, මහනුවර නගරයේ වාහන තදබදය, දිනපතා වර්ධනය වන්නක් විනා, අඩු වන්නක් නොවන නිසාත්, මහනුවර මහියංගණය මාර්ගය නැවත සම්බන්ධ කිරීමේ විකල්ප පියවරක්, නොපමාව ගන්නවා හැර, වෙනත් කුමක් කරන්නද?

   මටනම් හිතෙන්නේ කොන්ක්‍රීට් කණු මත දිවෙන පාරක්, බෝගම්බර වැවේ ඉදිකර, එමගින් මහනුවර මහියංගණය පාර යළි සම්බන්ධ කිරීම විනා වෙනත් විකල්පයක් නොමැති බවයි. ඔන්න මම සිතියමක් දක්වනවා පහළින්. සමහර අයට දැඩි කෝපයක් ඇතිවෙයි මෙය දැකලා. ඒ කියන්නේ, කේක් එක කන්නයි තියාගන්නයි දෙකම ඕනෙ කියන එකද කියලා, මා දන්නේ නැහැ. වාද කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් පළක් නැහැ. අපි සංවාද කරමු. මේ සිතියම මත ක්ලික් කර, විශාල කර බලන්න.

My Proposal

දැන් මේක දැකපු ගමන් එන විවේචන බොහොමයක් තිබෙන්න පුළුවන්.

වැව ඉවරයි.

නගරයේ ලස්සනම තැන ඉවරයි.

දළදා හාමුදුරුවෝ ඉදිරිපිට වැවේ මාළු මරමින් මේ වැඩේ කරන්න වෙනවා.

වැවේ ඓතිහාසික වටිනාකම දන්නේ නැතුවද මේ ඔලමොට්ටල යෝජනාව ගෙනාවේ.

ආදී වශයෙන්. ඉතිං ඔන්න මම ආයෙත් කියනවා මට තේරෙන විදිහට. ‘you can’t have the Cake and eat the Cake’ ඔන්න මම නවතිනවා. ඔබේ අදහස් දැක්වීම් සඳහා පින්තූර, සිතියම්, වීඩියෝ, එකතු කළහැකි පරිදි මේ අඩවිය සකසා ඇති බව මතක් කරනවා. 

2015 ජනවාරි මස 26 වැනිදින 0037 පැය

Advertisements

Comments on: "මහනුවරට අලුත් මහපාරක් ඕනෙද? How to resolve vehicle congestion in Kandy" (40)

  1. විචාරකතුමාගේ යෝජනාව ඇත්තටම හොදයි. එත් වැඩේ තියෙන්නේ ඔය මහනායක හාමුදුරුවරු සහ වෙනත් දැඩි අන්තගාමි බොදු බල සේනා සහ ඒ වගේ වෙනත් සංවිධාන කොයි විදියට තේරුම් ගනීද දන්නේ නෑ. මොකද අපේ රටේ ගොඩක් උගත්, සමාජයට යම් ආදර්ශයක් දෙන්න පුළුවන් අයත් ගොඩක් අන්තගාමී සහ පටු අදහස් තියන අය.

    ඔය වගේ දෙයක් කරලා රටේ සංවර්ධනයට හේතුවෙන දෙයක් කරන්න ගියොත් වෙන්නේ ඕක දේශපාලන තුරුම්පුවක් කරගනියි ඊලග චන්දෙට. අපෙ රටේ තියන ලොකුම දේ තමයි හැමදේකටම ජාතිය හරි ආගම හරි ගාවගන්න එක. මම හිතන හැටියට ඔය පාර විවෘත කරන්න මහනායක හාමුදුරුවන්ගෙන් අහන්න ඕන නෑ. මොකද ඔහු ආගමික නායකයෙක් මිසක් පරිපාලන නිලදාරියෙක් නෙමේනේ.

    • මමත් ඔබ සමග එකඟ වෙනවා තාරක. මෙන්න මගේ නිරීක්ෂණ. පැරණි භික්ෂු පරපුරේ අති මහත් බහුතරය, තවමත් ඉන්නේ සාම්ප්‍රදායික චින්තනයේ. නවීකරණය ඔවුන් අනුදැන වදාරන්නේ නැහැ. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ගැන ඔවුන් තුළ තිබෙන්නේ බියක්, අප්‍රසාදයක්, අනවබෝධයක්. ඔවුන් සිතන්නේ පරිගණක, අන්තර්ජාලය, සමාජ ජාලා වෙබ් අඩවි, ජංගම දුරකථන ආදිය, සමාජය විනාශ කරන්නට බටහිරයන් විසින් සැකසු අසභ්‍ය සහ හානිකර දේ බවයි. එසේ සිතීමට සාධාරණ හේතු නැත්තේම නැහැ. මොකද සමාජය තුළ ප්‍රචලිතව තිබෙන්නේ එවැනි නවීන තාක්ෂණය අවභාවිත කිරීම විනා, සුභාවිතය නොවෙයි. අප කළයුත්තේ, යථාර්ථය මේ හිමිවරුන්ට කාරුණිකව අවබෝධ කරදීමයි.

  2. ඇත්තෙන්ම දළදා මාලිගාව ඉදිරිපසින් දිවෙන මාර්ගය විවෘත කර එය ඔස්සේ නැවත වාහන ධාවනය වීම මගින් දළදා හිමියන්ට අගෞරවයක් හෝ මාලිගාවට හානියක් සිදුවේ යැයි සිතීම නම් ඉතාමත් අතාර්කිකයි. මගේ නෑදැයින් විශාල පිරිසක් මහනුවර සිටින නිසා මහනුවරට නිතර ගමන් බිමන් යන කෙනෙකු හැටියට මමත් නගරයේ තිබෙන දැඩි වාහන තදබදය ගැන හොඳාකාරවම දැනුවත් වගේම එය අත්දැකලත් තියෙනවා. විශේෂයෙන්ම දළදා වීදියේ ක්වීන්ස් හෝටලය ඉදිරිපසට වෙනකම් තියෙන කොටසේ වාහන තදබදය කාර්යබහුල නොවන වෙලාවටත් ඉතාම දරුණුයි මොකද සියලුම වාහන වැව රවුමේ යෑමට සිදුවීම නිසා.

    මේ ගැටලුව දිහා බලනකොට නම් මට පෙනෙන්නේ මෙය විවෘත කිරීමට අවසර ලබා ගැනීම අවශ්‍ය නොවන බව. මොකද මාර්ගය වසා දැමීමට තීරණය කළේ එවකට තිබුණු රජය විසින්. එහිදී ස්වාමීන් වහන්සේලා එය එසේ කිරීමට කියා ඉල්ලීමක් කල බවක් මම අසා නැහැ. එමෙන්ම මහනුවර නගරවාසීන් මෙන්ම අවට නගරවලින් දිනපතා නගරයට පැමිණෙන මහජනයාගෙන් වැඩි පිරිසක් මෙම මාර්ග කොටස වසා තිබීම ගැන දැඩිව අකමැති බව මම හොඳටම දන්නා කරුණක්. එය සම්බන්ධයෙන් විවෘතව මහජනයාගෙන් අදහස් විමසීමක් කලොත් සැබෑ ජනමතය කුමක්ද යන්න දැනගත හැකිවෙයි.

    • මේ ප්‍රශනය විසඳන්න නම් ක්වීන්ස් හෝටලය මධ්‍ය කේන්ද්‍රය ලෙස ගත්තොත්, මහියංගණය පාර, කටුගස්තොට පාර පේරාදෙණිය පාර යන පාරවල් තුන, කරදරයකින් තොරව වාහන ධාවනය කළහැකි ආකාරයට සම්බන්ධ කලයුතුයි.

    • නමටකැන්ඩියන් said:

      විචාරක ගැන නම් මට හැගෙන්නේ ඔබතුමා නුවර ගැන මෙලෝම හසරක් නොදන්න කෙනෙක් බවයි. ඕක බෝගම්බර වැව නෙවෙයි නුවර වැව. ඔය වහල තියෙන කොටසේ පයින් ගමන් කිරීම තහනම් වෙලා තිබුනේ පසුගිය යුද කාලේ . ඒත් දැන් එහෙම එකක් නෑ ඔය පාර මෑතක තිබුනු නිදහස් උත්සවේට ඇන්ට්ලොග් අල්ලා නැවත සැකසුවා. විචාරක තුමෝ අන්තිමේට නුවර ආවෙ 2009ට කලින්ද??
      ඔය පාර විවුර්ත කරන එක මට නම් කිසිම ප්‍රශ්නමක් නෑ ඒත් ඕක විවුර්ත කලාම වාහන තදබදය අවම වෙනවයි කියන්නෙ කොහොමද ?? කටුගස්තොට පැත්තෙ ඉදන් එන වාහන යන්නෙ ඔලුව උඩින්ද

      • බොහොම කනගාටුයි මහත්මයා. ඔබට තමයි මහනුවර ගැන මෙලෝ හසරක දැනීමක් නැත්තේ. කිරි මුහුද හෙවත් බෝගම්බර වැව තමයි මහනුවර තියෙන්නේ. නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ. ඉතිහාසය නොදන්නා ඔබ වැන්නවුන්ට අනුකම්පා කරනවා.

        මෙන්න මෙතනින් බලලා ඉගෙනගන්නවා අයියෝ ලැජ්ජාවේ බෑ.
        http://en.wikipedia.org/wiki/Kandy_Lake

        http://podimenike.blogspot.com/2013/11/nuwara-wewa-tank-anuradhpura.html

        පේනවා පේනවා නමට විතරයි කැන්ඩියන් කියලා. ඉතිහාසයත් බෑ ඉංග්‍රීසිත් බෑ.

        ඇන්ට්ලොග් නෙවෙයි ඉන්ටර්ලොක් interlock තමයි නිවැරදි වචනේ. දැන්වත් ඉගෙනගන්නවා.

        අර පාර විවෘත කරලා වාහන ඔලුව උඩින් යන්න හදන්නේ වාහන පැදවීමේ විනය නැති පිස්සෝ උන්ට බෙහෙත් දුන්නම හරියනවා. ඔයා ඒ වගේ පිස්සෙක් නෙවෙයි කියලා හිතනවා.

  3. mamath oba wagema nuwara haraha ude hawasa yana kenek. obe nawa margayata mama ekagai namuth oba visin pennana lada thanin nemei ema margaya idikala yuththe.wewa rawume patuma thane sita danata saukya amathyansaya lagata ho, dalada vediye eee asalin wasa athi thanatai ema guwan palama sambanda wiya yuththe. namuth ehema aluth margarayak thanimata thawa kopamana kalayak yaida kiyala kiyanna baa.

    thawath visadumak pahugiya rajaya yojana karala thibuna, ee thamai wiliyam gopallawa mawathe(aluth pare)suduhumpala sita polawa yatin thannekumbura dakwa uman margayak, meme margaya kalin salasum karala thibune dan bandanagaraya thiyena thane pasu pasa kanda haraha thannekumburata wetena vidiyata. namuth mee visadum kisiwak kadinamin labadena vidiyak pahugiya kale thibene naa. hethuwa mahanuwarata sanwardanaya boruwata show ekak vitharak una…

    • ඔබ මේ ගැටලුව ගැන හොඳ ආවබෝධයකින් ඉන්න බව පැහැදිලිවම පෙනෙනවා. ඇත්තටම මේ සඳහා ඇති එකම විසඳුම මගේ යෝජනාව නොවෙයි. මා මෙම ලිපිය ඉදිරිපත් කිරීමෙන් අදහස් කලෙත් ඔබ වැනි මේ ගැන දැනුමක් ඇති අයගේ අදහස් ලබාගන්නයි. බොහොම ස්තුතියි ඔබට.

  4. බැසිල් හිටියනම් කරගන්න තිබුන. කෝ ඔහේල පන්න ගත්තා නෙ! මෙ පාන්ඩුවෙ නම් කරන්න එකෙක් නෑ!

  5. මගේ යෝජනාව, පරණ තිබුණ පාර පොලව මට්ටමට වඩා යට ට ගැඹුරු කරන්න, පාරේ යන වාහන මාලිගා භූමියට නො පෙනෙන්න, ඝෝෂාව අඩුවේයි, පිපිරීමක් සිඳ වුනොත් පිපිරීම් තරංග උඩ අතට විහිදෙන නිසා පෞරාණික දේවල් වලට හානිය අවම වේවි, පූඩ් සිටිය ගාව සිට දැනට ඇති VVIP ගේට් එක ගාවට එන කම් ටනල් එකක් සහ එතන සිට බූවැලිකඩ දන්නා උඩින් විවෘතව.
    නායකයින් පොදු ජනයාගේ දුක හඳුනා ගන්නේ නැති වුන දාට, නායකත්වය ලබා දෙන ආයතනය ම ජනතාවගෙ අප්‍රසාදයට ලක් වෙනවා, එය සසුනට කියා වෙනසක් වෙන්නේ නෑ.
    දැනට ඇති අධිආරක්ෂිත වැටවල් යුද්දෙට පස්සේ තිබ්බ නිදහස් උළෙලට හදපුවා, ඊට ඉස්සර මිනිසුන්ට කරදරයකින් තොර ව වහපු පාර දිගේ පයින් යන්න පුළුවන් වුනා, ඇම්බියුලන් (එ වගේම තකතීරු නායකයන්) වලට ගේට්ටු ඇරලා යන්න දුන්නා. යුද්දෙත් ඉවර වුනාම බොහොම අයුතු විදිහට පාර මාලිගා භූමියට ඇතුල් කරලා නිදහස් උළෙල තියන්න තැනක් හැදුවා. දැන් පයින් යන අයත් අගුපිල් වගේ ඒවා අස්සෙන් රිංගලා තමයි යන්න වෙලා තියෙන්නේ
    යහපාලනය විය යුත්තේ බහුතරයක් ගේ හිත සුව පිණිස නොව වින්දිතයින්ගේ සුඛවිහරණයට පියවර ගැනීමයි.

    • කොහොමටත් ඇණේ, මාලිගාව ලඟින් පාර අරින එක තමා විසඳුම. පාරේ ඒ හරියේ ඉඳලා මාලිගාවට ගහන්න යන එකෙක් දැන් නැහැ. පාර හාරලා ගැඹුරු කරන්න ගියාම වැවේ වතුර කාන්දුවීම වැලක්වීමට විශාල පිළියම් යොදන්න වෙනවා. පාර පටන් ගන්න තැන සහ අවසන් වෙන තැන එකවර නගින බහින කඳු දෙකක් හැදෙන නිසා බර වාහන වලට අමාරු වෙනවා.

      මටනම් හිතෙනවා මහනායක හාමුදුරුවෝ මේ පාර අරින එකට පස්සේ එකඟවෙයි කියලා.

  6. 0be adahasata mamath mulumaninma ekangayi .Para areemen kisi ma aghawrawayak wenne naha.

    • මමත් කියන්නෙත් ඒකම තමා. මේ පාර ඇරියට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එක්කෝ මහනායක හාමුදුරුවන්ට මේ ගැන තවමත් නිසි අවබෝධයක් නැහැ. එහෙමත් නැත්නම් කවුරුහරි උන්වහන්සේව නොමග යවා තිබෙනවා.

  7. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරක මෙතනදී සිදු වන්නේ අපේ හාමුදුරුවරු දෙදෙනාගේ දේශපානය……………… අනේ මන්දා හැම තැනම දේශපානය

    • ඇත්තටම උන්වහන්සේලා දෙදෙනා එක මතයක නැති බව මීට පෙර විවිධ අවස්ථා වලදීද පැහැදිලිවම පෙනීගොස් තිබෙනවා. කනගාටුදායක තත්වයක්.

  8. මෙන්න මේකේ ඒ සඳහා යම් පිළිතුරක් තියෙනවා.

    http://www.sundaytimes.lk/130630/news/northern-expressway-work-to-begin-next-year-50737.html

    Kandy Ring Road නම් වූ කොටස සහ නුවර අධිවේගී මාර්ගය හරහා එම ගැටළුවට පිළිතුරු ලැබෙනු ඇත.

    • මට හිතෙන්නේ මේ අධිවේගී මාර්ගයෙන් ලැබෙන්නේ ප්‍රශ්නයේ කොටසකට විසඳුමක් විතරයි. මහනුවර නගරය මගහැර යාමේ වාසිය ලැබෙනවා. නමුත් නගරය සහ ඒ අවට ජනතාව, අර වහලා තියන පාර නිසා විඳින කරදර එහෙමම ඉතුරු වෙනවා.

  9. මල්වත්තෙ හාමුදුරුවෝ කියන්නෙ පාර අරින්නයි කියලා. බුදු හාමුදුරුවෝ හිටියා නම් ඔහොම මිනිස්සුන්ට කරදර වෙන විදිහට පාරවල් වැහිල්ලට කැමති වෙන්නෙ නෑ කියලත් කියල තිබ්බා. කරන්න ඕනෙ නුවට නගරය වටා වට රවුම් පාරක් හදල නගරය හරහා නොගිහින් යන්න ක්‍රමයක් හදන එකයි.. අර පාලම නම් අම්මෝ ඉල්ලං කන යෝජනාවක්.

    • මම කියන්නේ නැහැ මේ මගේ යෝජනාව එකම විසඳුම කියලා. ඒ නිසයි ඔබේ අදහස් අගය කරන්නේ. රවුම් පාරක් හැදීම සෑහෙන්න කල් ගතවන වැඩක්. නමුත් හොඳ වැඩක්.

      ප්‍රශ්නයට තියන සරලම විසඳුම වහලා තියන පාර අරින එකයි. නමුත් එය සිදුවෙන්නේ නැත්නම් මොකක් හරි ඉක්මන් විකල්පයක් තියෙන්නේ ඕනෙ දුක් විඳින ලක්‍ෂ ගණනක් දෙනා වෙනුවෙන්.

  10. මේක පැති කීපයකින් බලන්න වෙනවා. මහනුවර නගරයේ වාහන තදබද තියෙන තැන් වලින් මාලිගාව අසල ඔය කියන පාර වසා ඇති නිසා ඇතිවෙන තදබදයට වඩා තදබදය තියෙන තැන් තියෙනවා. විශේෂයෙන් විලියම් ගොපල්ලව මාවත, ගුඩ්ෂෙඩ් අවට, කටුගස්තොට පාලම වගේ තැන්. ඉතින් ඔය කියන පාර ඇරියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අනිත් එක ඒක නිසා මාලිගාවට අගෟරවයක් වෙනවා කියල එක බොරු වුනත් නිදහසේ මාලිගාව අවට පයින් ගමන් කරන්න තියෙන ඉඩ නම් නැති වෙනවා. දැන් පොඩි දරුවෙකුට වුනත් බය නැතුව යන්න පුළුවන්, ඒත් පාර ඇරලා ලොකු බස් එහෙම යන්න පටන් ගත්තාම පොඩි දරුවෙකුට නෙවෙයි අපිට වුනත් මාරාන්තික වෙනවා.

    අළුතින් පාරක් හදන එක තමයි හොඳම දේ. ඒත් ඔබ කියන විදිහට කරන්න බැහැ. එක හේතුවක් මාලිගාව සහ වැව අවට තියෙන ස්වභාවික සුන්දරත්වය විනාශ වෙනවා. අනිත් එක ලෝක උරුම නගරයක් ඒ විදිහට හිතුමතේ වෙනස් කරන්න බැහැ. මම හිතන්නේ නගරයට පිටින් විකල්ප මාර්ගයක් හැදිය යුතුයි.

    • ගුඩ්ෂෙඩ් පැත්ත දැන් ටිකක් පළල් කරගෙන එනවා නේද? ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හදපු මහනුවර වීදි කොහොමටත් පටුයි. කටුගස්තොට සිට මහනුවර නගරය දක්වාත් පළල් කිරීමක් අවශ්‍යයි.

      මම කියන පාර පෙන්වා තිබෙන්නේ දළ සැලැස්මක් විදිහට පමණයි. එය මම කියන විදිහටම සැදියයුතු නැහැ. මෙයට ඔබ වැනි අයගේ විකල්ප යෝජනා බොහොම ඉහලින් පිලිගන්නවා. ඒ නිසයි මා කිව්වේ මේ ගැන සංවාදයක් ගොඩනගමු කියා. මේ පාරෙන් මම අදහස් කරන්නේ දැවෙන ප්‍රශ්නයකට කෙටි කාලීන විසඳුමක්. ලක්ෂ ගණනක් මහජනතාව විඳින කරදරයකින් මුදවා ගැනීමක්.

      නගරයේ අලංකාරය නොනැසෙන ආකාරයට මා කියන ආකාරයේ පාරක් හැදීමට සුදුසු විශේෂඥයන් අපේ රටේ ඉන්න බව මට විශ්වාසයි.

      රවුම් පාරක් දැමීම ඉතා හොඳයි. නමුත් ඒ සඳහා ගතවන කාලය බොහොම දීර්ඝ එකක් වියහැකියි.

      ඔබේ අගනා අදහස් වලට ස්තුතියි.

    • ක්සැන්ඩර් said:

      ඇත්තම දේ විචාරකතුමෝ නුවර යලි සැලසුම් කලයුතු නගරයක් ය කියන එක තමා.. මොකද ඔය කියල තියන ගොඩක් තැන් ,ගුඩ්ෂෙඩ් එක අවට විලියම් ගොපල්ලව මාවත එහෙම ඉතිං බස්කාරයෝ තමා බ්ලොක් කරගන්නේ. ඔය බස් වලට විකල්පයක් දෙන්න විදියක් තිබ්බනම් හරි. එත් අනේ මන්දා. තට්ටු කීපෙක බස් නැවතුම්පලක් හැදුවොත් ඇරෙන්න මටනං තේරෙන්නේ නෑ වෙන විකල්පයක් ඔය වැඩේට. මොකද මම කියන්නෙම නගරය පටු වැඩියි මේ හැම දෙයකටම.

      • පල්ලේ කලේ පැත්තේ, කටුගස්තොට පැත්තේ, ගන්නොරුව පැත්තේ, ක්‍රීඩාංගන හදලා, බෝගම්බර පිට්ටනිය මධ්‍යම බස් නැවතුම්පොළ කලයුතුයි.

  11. මගේ comment එක බාගෙට පේන්නේ ඒ ඇයිද කියන්න හරියටම තේරෙන්නෙ නෑ. ආයෙත් දානවා..

    අවුරුදු ගානකට පස්සේ blog එකකට comment එකක් දාන්නේ.. ඉස්සෙල්ලම කියන්න ඕනෑ මම නුවර පැත්ත පලාතකවත් නෙවෙයි. හැබැයි කාලයක් අර පේරෙ තිප්පල පැත්තෙ බඩගෑවා. හැබැයි මං ඒ තිප්පලෙත් නෙවෙයි. ඉතින් නුවර බඩගාපු කාලෙ ඔය ගැන අත්දැකීම් නැත්තෙම නෑ.

    මහනායක හාමුදුරුවෝ කියන කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. පාර ඇරියොත් වාහනයි මිනිස්සුයි දෙගොල්ලම ඔතනින් යන එනකොට කලබලකාරීබව ඝෝෂාව එහෙම වැඩි වෙනවා ඔතන. මිනිස්සුත් යන එන නිසා ඔතනත් වාහන තදබදයක් ඇතිවෙයි කියල මට හිතෙනනෙ.

    ඒක එහෙම වුනයි කියල පාලමේ වැඩේටත් ඒ හැටි මනාපයක් නෑ මගේ ඕං.

    විකල්ප විසඳුමක් දෙන්න කැමතියි. හැබැයි ඒක පාලමටත් වඩා අමාරු වෙන්න පුළුවන්.

    මේකට මූල බීජය ලැබෙන්නේ Mega Structures වැඩසටහනක් (https://www.youtube.com/watch?v=6LEGzimm_GE) මේක නිදහසේ බලන්න. කෙටියෙන් කිව්වොත් Boston වල තියන elevated highway (high way කියන්නේ මහා මාර්ග හොඳේ) ඔක්කොම උමං මාර්ග බවට පරිවර්තනය කරපු Big Dig ව්‍යාපෘතිය ගැන. ඒකෙ කියන කරුණු කාරණා සලකා බැලුවම elevated highway සුදුසු විසඳුමක් නෙවෙයි කියල තේරෙනවා. අපි elevated highway ගැන කතා කරනකොට අපි දශක ගනනක් පස්සේන් ඉන්නේ කියල හිතනවා. මොකද එයාලා ඒකාලේ ඒව හොඳම විසඳම කියල ඒව හදල එව නිසා දුක් විසල දශක ගානකට පස්සේ ආයේ වඩා හොඳ විසඳුම් තියනවා කියල අර elevated highway ඔක්කොම අයින් කරල විකල්ප විසඳුම් වලට ගිහින් තියන නිසා.

    ඉතින් මගේ විසඳුම කෙටියෙන් ගැටඹේ වට රවුමේ සිට තැන්නෙකුඹුර ඔරලෝසු කනුව දක්වා උමං මාර්ගයක් ඉදිකිරීම. (මං මේක plan කරේ සිතියමයි satalite පින්තූරයි දිහා බලන් විතරයි හොඳේ) එතකොට අපිට මහියංගනේ යන්න පුළුවන් නුවර නොගිහින්. සුදුසු තැනක් තියනවනම් ගැටඹේ වටරවුමේ පිවිසුම තව නුවර පැත්තට ලං කොරාට කමක් නෑ තව ටිකක්. මේ තියෙන්නේ (http://pzy.be/i/2/Kandy.png) සිතියමේ දල සටහනක්.

    එතකොට අර පයින් යන්න අමාරු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නත් ඕනනේ. ඒකට මගේ විසඳුම තමයි shuttle එකක් පටන් ගන්න එක. ඕන නම් ඒවත් electric කරන්න බැරියැ. දෙන්නම් විසඳුම් ගමකට. වැඩි විස්තරත් ඉල්ලුවොත් දෙන්නම් තව.

    (රෝද පුටුවක් නැති අපට මොන shuttleද නේද?)

    • මටත් හිතාගන්න බැහැ ඔබේ කලින් කමෙන්ට් දෙක හරියට පෙනෙන්නේ නැත්තේ ඇයි කියා. මේ කමෙන්ට් එක හරියට තිබෙන නිසා මම ඒ කමෙන්ට් දෙක ඉවත් කළා.

      මට පුළුවන් කමක් තියනවානම්, මාලිගාවේ සිට හැම පැත්තෙන්ම අඩුම ගානේ මීටර් 500 ක් ඇතුළත පයින් පමණක් ගමන් කළහැකි ආකාරයට හදනවා. නමුත් මහලු,දුබල, ගර්භණී, අයට පහසුවෙන් ළඟාවීමේ ප්‍රවාහන ක්‍රමයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි. ඔබ කියනවා වගේ එව්වා මෙහෙ සමහර අය දකින්නේ පිස්සු විකාර හැටියට. මොනවා කරන්නද පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩකමට බෙහෙත් නැහැනේ 😀

      ඇත්තෙන්ම ඔබ ලින්ක්ස් සහිතව දක්වා තිබෙන අදහස් ඉතාම වටිනවා. මහනුවර නගරය මුළුමනින්ම නැවත සැලසුම් කලයුතුයි.

  12. ඔය වගේ අයට ස්ලිපරි බෝඩ් එකක් දානවා ලෙස්සල යන්න මාලිගාවටම. බෑ බෑ කොහොමද උඩින් පාර දාන්නේ. දළදා හාමුදුරුවන්ට උඩින් කාක්කෙක් යන්නෙත් නැති කොට..

    • ඉස්සර නම් දළදා මාලිගාවේ රන් වියනෙත් රිලව් රංචු ඇවිද්දා උන්ව අල්ලලා උඩවත්ත කැලෙන් ඈතට ගෙනිහින් දැම්මා. ස්ලිපරි බෝඩ් එකක් දුන්නම දළදා කුටියටම යයි අපේ කට්ටිය. උඩින් පාරක් දාන්නේ ලක්ෂ ගණනක් මහජනයාගේ සුව පහසුවට. බුදුහාමුදුරුවෝ හිටියානම් ඒක අනුදැන වදාරනවා.

  13. ක්සැන්ඩර් said:

    මෙන්න අටුවාව.

    අවුරුදු තිහක ඉතිහාසයේ අවුරුදු විසි පහක්ම මම හිටියේ මහනුවර. ඉතුරු පහ තමා මේ ඔටුවෝ එක්ක ඉන්නේ. 🙂

    මෙන්න සත දෙක.

    වැඩේ මහනුවර කියන්නේ සානුවක තියන නගරයක් වීමත් මාර්ගය පටු වීමත් මත කොහොම මාර්ග (පාලම්) හැදුවත් මාර්ග තදබදයක් නම් ඇතිවේවි. මාර්ග පළල් කරන්නට නොහැකිවීම තමයි නගරයේ තිබෙන එකම ප්‍රශ්නය. නමුත් විකල්ප මාර්ග භාවිතා කරන්න පුළුවන් විදියට යමක් නොකලොත් මේ ප්‍රශ්නය එතනම තියේවි.
    මොකද ඔබ මහනුවර සිතියමක බැලුවොත් පෙනේවි බොහොම පටු ත්‍රිකෝණයක කොටුවෙලා ඇති බව.

    මෙතැනදී මහනුවර නගරය දෙපස ජෛව විවිධත්වයෙන් අනුන දොරමඩලාව සහ උඩවත්ත කැලය කියන කැලෑ දෙක මැදිව යන කුඩා කොටසකින් තමයි මේ ගැටළුකාරී මාර්ගය දිවෙන්නේ. ඒ අවට පන්සල් ලෙස මල්වතු මහා විහාරයත් දළදා මාලිගාවත් පාසල් ලෙස ප්‍රධාන වශයෙන් මහමායා සහ හිල්වුඩ් බාලිකාවත් මේ මාර්ගය අසලින් දිවෙනවා. තදබදයට මුල විදියට පාසල් වෑන්රථ සහ බස්රථ වලට ළමයින් ඇතුල්කරගනීමට මේ පටු මාර්ගයේ බස්රථ නතරකිරීම මම දකින විදියට එක හේතුවක්. දෙවැන්න මේ මාර්ගයේ දුර ගමන් සහ නගරාන්තර බස්රථ ගමන්කිරීම සහ ලොරි වැනි මගී ප්‍රවාහන කටයුතු වලට සෘජු සම්බන්ධතා නැති වාහන ගමන් කිරීම මම දකිනවා.

    මහමායා මාවත ඔස්සේ රජපිහිල්ල මාවත දිගේ ගොස් අම්පිටිය සහ ඒ අවට වන ජනතාවට (බස්රථ නොවන) මහනුවරට පිවිසිය හැකි අතර සංගරාජ මාවතේ බස් රථ සඳහා දැඩි නීති මගින් නැවතුම්පලට පිටින් මගීන් නංවාගැනීම සහ නැවතුම් කාලය පාලනය කිරීම විසඳුමක් ලෙස මම හිතනවා. මන්ද ඒ මාර්ගය පටු නිසාත් පුළුල් කල නොහැකි නිසාත්. ඊට අමතරව ගැටළුව ඇති මාර්ග කොටස අදාළ වන මහියංගනය ප්‍රධාන මාර්ගය හා සම්බන්ධ නිසා ඒ දෙසට යන මගී නොවන සියලු වාහන සහ දුරගමන් වාහන දිගන වෙත හෝ මහයියාව අරුප්පල හරහා ලේවැල්ල සිරිමල්වත්ත සහ නත්තරම්පොත වෙත ගමන් කිරීම සිදු කල යුතුයි. එහෙත් වඩාත් කාර්යක්ෂම වන්නේ මා ඉහත කී මාර්ගයයි.

    මෙතැනදී මගී ජනතාවට, විශේෂයෙන් මේ මාර්ග කොටසේ මහියංගනය මාර්ගයේ සිටින ජනතාවට දුර ගමන් යාම සඳහා එක්කෝ දිගන වෙත හෝ මහනුවර වෙත පැමිණීමට සිදුවීම නම් නොවැලැක්විය හැකියි. ඒ ගැන නම් ඔවුන් නොමනාපය පල කරනු ඇතිය යන්න අද පවතින බස් ගාස්තු සමගින් සිතීම අසාධාරණ නොවේ ය යන්න මම ද සිතමි. නමුත් මාර්ග පුළුල් කල නොහැකි කොටු වූ නගරයක් වූ මහනුවර සුන්දරව තබා ගැනීමට එවැන්නක් සිද්ධ කල යුතුව ඇත.

    • හොඳ අදහස් ගොන්නක්. රජ වීදියෙන් මහයියාවට යන කොටස දෙගුණයක් පළල් කලයුතුයි. වැව රවුම නම් ගොඩක් පළල් කලයුතුයි. එක්කෝ ගුවන් පාලම් කීපයක් දැමිය යුතුයි. නැත්නම් තට්ටු ගොඩනැගිලි හදන්න වැඩපිළිවෙලක් සකසා පාරවල් පළල් කලයුතුයි.

      • රජ විදියෙන් මහයියාවට යන පාර පළල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මහනුවර පොලිසිය ඉදිරිපිටින් පුෂ්පදාන බාලිකා විදුහල අසළින ඇති පාර මහයියාව දක්වා ඉතා පුළුල්ව තිබෙනවා. එමෙන්ම පේරාදෙණිය සිය පැමිණෙන අය ගැටඹේ පසුකර පරණ පාරේ මදක් දුර ආවිට ඇති දෙවෙනි රාජසිංහ මාවතෙන් හැරී දොඩම්වල, අනිවත්ත, අස්ගිරිය හරහා වාහන තදබදයකින් තොරට මහයියාව ලඟාවිය හැකියි. එවිට මහනුවර නගරය සම්පුර්ණයෙන්ම මගහැරෙනවා.

        ඔය කතිකාවට භාජනය වී ඇති මාර්ගය 1980 ගණන්වලට පෙර කදිමට විවුර්තව තිබුනා. ඒ කාලේ මම සැමදාම වාගේ වැව රවුම වටේ මගේ පුට් සයිකලයෙන් වට 4,5 පැදීම අනිවාර්යයෙන් කළා. ඇත්තෙන්ම ඒ කාලේ වැව රවුම වටේ කාර් රේස් පවා පැවැත්තුවා. ඔය පාර ඇරියා කියලා දළදා වහන්සේට අගෞරවයක් වන්නේ නැහැ.

        වඩා වැදගත් වන්නේ පාර වසා තබාගැනීම නොවෙයි එය විවුර්ථ කර විනයානුකුලව පවත්වා ගැනීමයි.

        • ඔය තියෙන්නේ නියම අදහස්. ඇත්තටම තවත් පාරවල් ඉතිරිව තියනවා පළල් කලයුතු. කොපමණ ගොඩනැගිලි කැඩුනත් ඒ පටු පාරවල් පළල් කලයුතුමයි.

        • ඕක ඇරියොත් දැන් තියෙන වාහන සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිදු වෙනවා
          මොකද ඒ කාලෙ තිබුන වාහන ප්‍රමාණයට සාපේක්ෂව දැන් රතවාහන වැඩි නිසා කටුගස්තොට පැත්තෙන් එන වාහන අනිවා ලොකු තදබදේකට ලක් වෙනවා
          දැනට තියෙන විදියටත් විද්‍යාර්ථ පල්ලම හරියේ සිට (~1km) වැව රවුම තෙක් උදේ 7-9 කාලය තුල පැයක් ගතවන අවස්තා වලට හැමදාම මුහුන දෙනවා අපි.
          වියයුත්තේ ඕක නෙවෙයි කටුගස්තොට දෙසට යන වාහන පුශ්පදාන එක ගාවින් අලුත්පාර හරහා මහයියාවෙන් පිට කිරීම (2008/09 කාලයේදී එහෙම සැලැස්මක් තිබුනා ඒක හොදට වැඩත් කලා ඒත් මොකක් හරි හේතුවක් නිසා ඒක නැවැත්තුවා )

          • ක්සැන්ඩර් said:

            හරියට හරි. ඔය වැඩේ කලේ ඒ කාලේ නුවර පොලිස් අධිකාරි, පසුකාලීනව පොලිස්පති (මතක විදියට) වූ නිමල් මැදිවක මහතා. නමුත් ඔබ කීවා සේ ඒ සැලසුම ඉවර වුනා.

  14. මේක ගැන කල්පනා කරනකොට මගෙ ඔලුවත් දෙපැත්තට අදිනවා. නුවර වාහන ට්‍රැෆික් ගැන ලොකු අවබෝධයක් නැති උනාට පොඩි වාහන වලට විතරක් වත් වේග සීමාවක් දාල යන්න දෙන්න ඕනෙ කියන එකයි මගේ නං අදහස. එ අතරෙදි ඔතනට විතරක් අදාළ නොවෙන මුලු මහනුවරටම අදාළ මාර්ග සංවර්ධනයක් අවශ්‍යයි.

    • හරියටම හරි. මේ වහලා තියන පාර ගැන විතරක් කතාකරලා වැඩක් නැහැ. මුළු මහනුවර නගරයේම මාර්ග පද්ධතිය නැවත සැලසුම් කලයුතුයි.

  15. ඔය පාර ආයෙත් විවුර්ත කලොත් බ්ලොක් එක කිසිම විදියකින් අඩු වෙතැයි හිතන්න බෑ
    මොකද කටුගස්තොට දෙසින් එන වාහන ඒ නිසා තවත් තදබදයකට ලක් වෙනවා නිසැකයි
    ඒ නිසා දැන් තියෙන විදියට ඕක විවුර්ත කලොත් නුවර රථ වාහන සැලැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා ( නුවර දෙසට එන වාහනවලට පමනක් ඔය මාර්ගයෙන් ඉඩ දීම ප්‍රශ්නයක් නොවේ ඒත් ඒකෙන් වාහන තදබදයට මහා ලොකු බලපෑමක් වෙයි හිතන්න අමාරුයි )

    • ඉතින් ඒ සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද?

      මහනුවර රථවාහන සැළැස්ම වෙනස් කිරීම මහා අමාරු කාර්යයක් නොවෙයි නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: