විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Sofa   ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, ‘මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද’ කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ.

   අපේ ලොකු දෝනියැන්දා ඊයේ පෙරේදා දවසක මට කිව්වා, ‘තාත්තේ, මම සෝෆා සෙට් එකකට සල්ලි බැන්දා මාසිකව ගෙවන්න. අපේ ඔෆිස් එකටම ඒ සමාගමෙන් ආවා ප්‍රොමෝෂන් එකක්, ගෙවන්න ගන්න පුළුවන් නිසා මම ගත්තා’, කියලා. අම්මෝ………….. සැට් එකේ වටිනාකම ගෙඩි රුපියල් වලින්ම 57000 ක්. කජු ඇටද කොස් ඇටද කිව්වලු. මම කිව්වා, ‘ළමයෝ, ඔය සෝෆා වර්ග කීපයක් මමත් දැකලා තියනවා. අපේ කෑම්ප් වලත් තියනවා. සමහර ඒවගේ ඉඳගත්තම කුෂන් එක ඉරෙනවා. කුණු ගෑවුණාම පිරිසිදු කරන්නත් අමාරුයි, ඒ වගේම මටනම් පෙනෙන්නේ ඒවා සුදුසු, එක්කෝ වායු සමීකරණය කරපු ගොඩනැගිලි වලට, එහෙමත් නැත්නම් සීතල රටවලට. ඔව්වා මෙහාට එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. කොහෙද ඉතිං අපි කියන ඒවා අහන්නේ නැහැනේ. 

   සල්ලි බැඳලා මාසයකටත් වැඩි කාලයක් ගියත් ගෙදරටම ගෙනත් දෙනවා කිව්ව ඒ අහවල් සැට් එක ලැබුණේ නැහැ. මම ලොකුදුවට කිව්වා, මට දෙන්නකෝ ඒ සමාගමේ නොම්මරේ මම කතාකරලා බලන්න කියලා. නමුත් අපේ ලොකුදුව දන්නවා, මම කතාකලානම් ඒ සමාගමට, කතාකරන්නේ තද්ධිත, කෘදන්ත, නිපාත, සන්ධි, විභක්ති, වර නැගීම්, ඔක්කොම සංකලනය කොරලා තමයි කියලා. ‘අනේ මේ ඔයා ඉන්ඩකෝ, මම ඒක ගෙන්නගන්නම්’ කියලා මගේ ඇඟට පැන්නා.

   ඔන්න ඉතිං එක දවසක් දවල් 2 ට විතර, අපේ ගෙදරට දුරකථන ඇමතුමක් ලැබුණා, අහවල් එක ගෙනත් දෙන්න පාර අහලා. අනේ ඉතිං අපේ උන්දෑ පාර විස්තර කළා, පාරේ තියන වැලිකැට දක්වාම සවිස්තරව. ඒ වුණාට හවස 5.30 ටත් නෝ බඩු හෑව්. ඒ පාර මම ජාලයෙන් නොම්මරේ හොයාගෙන, ඒ සමාගමේ ‘පෙදර්සෙනාගාරයට’ ඇමතුමක් ගත්තා. ‘හරි හරි සෑර් මේ දැන් එනවා’ කියලා කිව්වා. හප්පොච්චියෙ ඔන්න ලොරි පතයක් ආවා. අනූනවයෙන් අපේ ගේට්ටු කණු නොකඩා, මිදුලට රිවස් කොරලා ඇන්න, බෑවේ නැතැයි ඒ අහවල් එක. ලොකු එකයි පොඩි (පොඩි කිව්වට එව්වත් තඩි) දෙකයි.

   මං ඇහුවා ඒ ආපු එක ගොබිලෙක් ගෙන්, ‘මේ………..අර….. මේක මැද්දෑවේ තියන අර……අර……අපි……අර……අඩියක් පුඩියක් ගහන කළමනා ටික තියාගන්න, පොඩි මේස පොජ්ජ නැද්ද ළමයෝ’ කියලා. ‘නෑ නෑ සර්, මේ සෙට් එකට ඒක ලැබෙන්නේ නැහැ. ඒක වෙනම ගන්න ඕනෙ’ කිව්වේ නැතෑ. ‘අම්මපා……ඒකත් එහෙමද, කීයක් විතර වෙනවද ඒක’ කියලා මම ඇහැව්වා. ‘රුපියල් දහ දාහේ ඉඳලා ඉහළට තියනවා’ කිව්වේ නැතෑ. අම්මපා මට හිතුනා පාන් කපන පිහිය උගේ කොළ බොක්කට බස්සන්ඩ. අර සුට්ටි මේස කෑල්ලට දීපියකෝ තව දහ දාහක්. ප්ලාස්ටික් කකුල් හතරක් උඩ ගහපු වීදුරු කෑල්ලට. ඊට හොඳයි පරණ පකිස් පෙට්ටියක් තියලා, අපේ උන්දැගේ වොයිල් සාරියක් ඊට උඩින් එලලා පාවිච්චි කොරන එක. නැද්ද මං අහන්නේ.

   ඔන්න ඉතිං රන්දෝලි වඩම්මනවා වගේ, මේ කෑලි තුන අපේ සාලේ මැද්දෑවට වඩම්මලා තියලා, ලොරිය ගියා. හප්පොච්චියෙ අර පොලිතින් කවර ගලවලා බැලුවම, මහා මහේසාක්කිය පෙණුමක් තමා තියෙන්නේ. පස්ස පැත්ත තියන්නත් දුකේ බැරුවා. ඔන්න නමෝ විත්තියෙන් මං පොඩ්ඩක් පස්ස පැත්ත තියලා බලන්න හැදුවා විතරයි…………පැන්නේ නැතෑ අපේ උන්දෑ ‘හා….හා….ඔය උදේ ඉඳලා ඇඳගෙන, දවස පුරාම හඩු ගැහිච්ච ෂෝට් එක නේද ඇඳගෙන ඉන්නේ’ කියලා. අනේ………. හෙමීට පාත්වෙච්චි මගේ නාකි පිඩිය, විදුලි වේගෙන් ඉස්සුනා ආපහු.

   හ්ම්……….මොනවා කොරන්ඩද බලමුකෝ නාලා කියලා ‘අර කළමනා’ ටිකත් ලං කොරගෙනම වාඩිවෙලා, අලුත් සෝෆා සැට් එක සමරන්න. අම්මපා මෙහෙම හිතනකොටම අපේ උන්දැට දිවැස් තියනවද මන්දා, කිව්වේ නැතෑ, ‘මේ, ඔන්න මේ සෙට් එක එහෙම ඩ්‍රින්ක්ස් ගන්න පාවිච්චි කරන්න එපා හොඳද’ කියලා. තියාගනිල්ලා උඹලගේ උලව්ව. වෙනදා වගේ එළියේ ගහක් යට පොඩි ප්ලාස්ටික් පුටුවයි පොඩි ස්ටූල් එකයි මට සැපයි.  

   මේ සැට් එකත් එක්ක ලැබුනා උපදෙස් පත්‍රිකාවක් මෙන්න මෙහෙමයි ඒකෙ තියෙන්නේ.

Scan_20150124_110546 - Copy (2)                                                                                     

Scan_20150124_110546 - Copy (3)

 Scan_20150124_110546 - Copy (4)

Scan_20150124_110546 - Copy (5)

    Scan_20150124_110546 - Copy (6)

Scan_20150124_110546 - Copy (7)

Scan_20150124_110546 - Copy (8) Scan_20150124_110546 - Copy (9)

   මේ කියන එව්වා එකක්වත් වරද්දාගෙන තිබුනොත්, ඔන්න අපි වග කියන්නේ නැත කියලා, ඒ පත්තිරිකාවේ සුද්ද හිංගලෙන්ම කියලා තියනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු.

   මේකේ පැල්ලමක් වැදුනොත්, ඒක මකන්න හෝ කුණු ගෑවුනොත් පිහදාන්න හෝ ‘අහිතකොර’ මොනවද කියලා කියන්නේ නැතුව, නිකම්ම කියනවා අහිතකර එව්වයෙන් පිස නොදමනු කියලා. මොකද උන්දලා හිතුවද අපි රෙදි කෑල්ලකට ….. කොරලා මේක පිහදානවා කියලා.  

   ඇයි හත්වලාමේ ගෙදරට මනුස්සයෙක් ආවම, මේ උලව්වේ වාඩිවෙන්න කලින්, ‘ඔයා දාඩිය දාගෙනද ඉන්නේ? ඇඟේ මොකවත් තෙල් ජාති එහෙම ගාගෙනද ඉන්නේ’? කියලා අහන්නද කියන්නේ? එහෙම ඇහුවොත් ඒ මිනිහා ආයේ කවදාවත් අපේ ගෙදරට ගොඩවදියි ද?

   අපි පැය 24 ම වෙන වැඩක් නොකර බලා ඉන්න වෙනවා, ගෙදර පූසා හෝ බල්ලා, මේ හත්වලාම උඩට නගියිද කියලා. එක්කෝ මුරකාරයෙක් දාන්න වෙනවා.

   හදිස්සියේ පොටෝ එකක් කෙළින්න වත් මේකේ අමතර මගීන් අසුන් ගන්න බැහැ. එහෙම උනොත් කුසන් ද මොනවද එව්වා ගැලවෙනවා. ඒ කියන්නේ කෑලි අලවලා තියෙන්නේ ගම් ගාලද කොහෙද.

   එහාට මෙහාට තල්ලු කොරන්න ඕනෙ වුනොත්, අල්ලලා තල්ලු කිරීම තහනම් නිසා, අර ‘පෙලට් ට්‍රක්’ එකක් හෝ ‘පෝක් ලිෆ්ට්’ එකක් ඕනෑ වෙනවා.

   ගේ ඇතුළට අව්ව වැටෙන එක කොච්චර සම්පතක්ද. ඔය දොස්තර මහත්තුරුත් කියන්නේ, ‘ආලෝකය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන්න දොර ජනෙල් ඇරලා තියන්න’ කියලා. නමුත් මෙව්වා තියන ගෙවල් වලට, ඒ වැඩේ තහනං. කාලා වරෙන්කො කිව්වලු.

   ඇත්තෙන්ම මෙවැනි නිෂ්පාදන වඩාත් සුදුසු වන්නේ අපේ රට වැනි ඝර්ම කලාපීය රටවලට නොවෙයි. සෞම්ය දේශගුණයක් සහිත රටවලටයි. උෂ්ණ දවසක මේ සෝෆාවක වාඩි වුනොත්, අපේ ශරීරයේ නිරාවරණය වී ඇති තැන්, මෙහි කුෂන් එකක් හේත්තුවී තිබේනම්, එතන දාඩිය දමන්නට පටන් ගන්නවා. ඉන්පසු පැල්ලමක් හැදෙනවා. මෙහි කුෂන් එකේ, විවිධ නැමුම් රාශියක් ඇති නිසා, ඒ නැමුම් අතරට දූවිලි යාමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. පිරිසිදු කරන්නට, රික්ත ශෝධකයක් අවශ්‍ය වෙනවා. අනේ මන්දා මටනම් හිතෙන්නේ මේ සෝෆා අපිට ගැලපෙන්නේ නැහැ කියලයි. ඔබ මොකද හිතන්නේ?

DAMN ROGUE

2015 ජනවාරි මස 24 වැනි දින 1332 පැය 

Comments on: "සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්…… So far so good? Sofa no good!" (8)

  1. “sofa no good” අපේ නිවසෙත් කියන්න ( නෙවෙයි හිත හිත ඉන්න) වෙලා තියෙන්නෙ මේ විදිහට

  2. නුවර කුමාරි said:

    ලෙදර් එකක්ද? නැත්තම් ෆැබ්රික් ද?

    ෆැබ්රික් නම් ස්ටීම් වලින් සුද්ද කරන්න පුළුවන් උපකරණ තියෙනවා. නැත්තම් මේවා සුද්ද කරන ස්ථාන ( ලොන්ඩරි) තිබෙනවා.

    ලංකාවේ භාවිතාවේදී නම් ඉතින් පිටරට ඒවා එතරම් ගැලපෙන්නේ නැහැ. අපේ ගෙදර එක නම් අවුලක් නැතුව තියෙනවා. හැබැයි ඔය බ්‍රෑන්ඩ් එක නෙවෙයි. අනිත් එක බල්ලෝ පූසෝ ඇත්තෙත් නැහැ.

    • ලෙදර් නෙවේ ෆැබ්‍රික්. අප්පොච්චියේ………….මේක පිරිසිදු කරන්න වාහන කුලියකුත් ගෙවාගෙන ලොන්ඩරී ගානේ යනවට වඩා හොඳයි, ඔන්න ඔහේ ඕනෙ කැකිරි ගෙඩියක් කියලා ගෙදරම තියෙන්න අරින එක. 😀

  3. මේ සිදුවීම ඉතාම ලස්සනට ලියලා තියෙන විදිය කදිමයි..මම හිතුවෙ සම්පූර්ණ මුදලම පිල්ලි ගිහිල්ලා කියලා බඩුව දෙන්නෙ නැතුව…ඒ අතින් මේ කොම්පැණිය හොදායි..දැන් එතකොට අලුත් සෝෆාව උඩ විචාරක තුමාට සොමියක් දාන්න තහනම්…

    • අනේ සිරෝ මට සල්ලි එක්කවත් එපා මේ සෝෆාව උඩ ඉන්න එක. පුක රත්වෙනවා රස්නෙට. මෙව්වා මෙහාට ගැලපෙන්නේ නැහැ.

  4. ක්සැන්ඩර් said:

    පිං. ඔබ මගේ මුදලත්, වචනත්, කාලයත් ඉතිරි කළා මේ ලිපියෙන්. අපේ උන්දැගේ කන්කරච්චලෙත් මේකක් ගන්න.. කාල වරෙන්කො මේවා මෙහෙම නං.

wicharaka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න