විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Submitting a Vote   මතකයි නේද මා ඔබෙන් නිවාඩුවක් ඉල්ලුවා මට අසනීප නිසා. දැන්නම් තරමක සුවයක් ලැබී තිබෙනවා. එහෙත් තවමත් දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා ඉන්න අමාරුයි. නමුත් පසුගිය දිනවල ලිපි කීපයක් ලිව්වේ, රටේ වෙන දේවල් දැක දැක, ඇහැ කණ පියාගෙන ඉන්න බැරි නිසයි. සමහරවිට විනාඩි දෙකතුනක් ලියා, විවේක ගනිමින් තමා ලිව්වේ. දැන් මම කරන්නේ, යතුරු පුවරුව දිහා බලාගෙන ලියමින්, වරින් වර පරිගණක තිරය දිහා බලා, යතුරු ලියනය කළ දේ නිවැරදි කිරීමයි.

   පසුගිය දිනවල මා මුලතිව්, කිලිනොච්චි, යාපනය, ඩෙල්ෆ්ට් දූපත, නාගදීපය, වැනි ප්‍රදේශ වල සංචාරයක යෙදුණා. ඒ අත්දැකීම් අළලා ලිපියක් ලියන්නට සූදානම් වෙද්දී තමයි, මට බෝවන ඇස් රෝගයක් වන Conjunctivitis වැළඳුනේ. වෛරස් රෝගයක් නිසා, බෙහෙත් කළත්, වෛරස් ක්‍රියාකාරිත්වය අවසන් වනතුරු, රෝගී ලක්ෂණ තිබෙනවා. සෑහෙන දුකක් වින්දා. කෙසේ වෙතත්, උතුරේ සංචාරය ගැන ලිපිය, ඔබ වෙත ගෙන එන්නට මා සූදානම්. 

   
පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා මා ලිව්වේ, හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා කියමුද? කර ගනිමුද? යන මාතෘකාවයි. මේ වසරේදී, මුළු රටම ජනාධිපතිවරණ උණුසුමකින් ඇළලී ගොස් තිබෙන නිසා, එයින් පිට යමක් ලියන්න අමාරුයි. ඒ නිසා මා හිතුවා ඔබට කියන්නට, රටේ අනාගතය ගැන අතිශයින් තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේදී ඉතා ස්වාධීනව, මධ්‍යස්ථව සිතා බලා, ඡන්දය පාවිච්චි කරන්නැයි කියා.

   කාටද ඡන්දය දෙන්නේ කියා කියන්නට/ඉල්ලන්නට තරම් මුග්ධයකු නෙවෙයි මා. ඔබ අවම වශයෙන්, වයස අවුරුදු 18 සපුරා, පළමු වතාවට, සර්වජන ඡන්ද අයිතිය භුක්ති විඳින්නට සූදානම් වනවා වන්නට පුළුවන්. නැතහොත් ඔබ, මා වැනි, 60 වයස් පිනූ කෙනෙකු හෝ සමහරවිට ඊට වඩා වයසින් අඩු වුනත්, අපේ රටේ දේශපාලන ඉතිහාසය, පක්ෂ ක්‍රියාකාරිත්වය, ඡන්ද අපේක්ෂකයන්ගේ පැවැත්ම, ඡන්ද දායකයන් තීරණ ගන්නා ආකාරය, ආදිය පිළිබඳව, පෘථුල අවබෝධයකින් යුක්ත වූවකු වන්නට පුළුවන්.

   

   මට විශේෂයෙන් කියන්නට තිබෙන්නේ, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ, මගේ ජීවිත කාලය තුළ මුහුණ දෙන, අතිශයින්ම තීරණාත්මක ජනාධිපතිවරණට මෙය බවයි. මා මුලින්ම ඡන්දය ප්‍රකාශ කළේ, 1977 වසරේදී. එතැන් සිට මේ දක්වා පවත්වන ලද, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, අතුරු මැතිවරණ, පළාත්සභා මැතිවරණ, ආදී විවිධ මැතිවරණ ඉතා සුළු ප්‍රමානයකදී, මා, මගේ ඡන්දය ප්‍රකාශ කළා. එයින් සමහර අවස්ථා වලදී, මා ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහණය කළා. තවත් අවස්ථා වලදී පරාජය වුණා. අනිවාර්යයෙන් එහෙම වියයුතුම නේ.

   අපේ රටට කිසිසේත් නොගැලපෙන, ඒකාධිපති ස්වරූපයේ සමහර විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම, කප්පාදු කිරීම, අහෝසි කිරීම, අවලංගු කිරීම ගැන, කතා එළියට ආවේ, අද ඊයේ නොවන බව, ඔබ හොඳින්ම දන්නවා. නමුත් එහෙම කියපු අය, පොරොන්දු දුන් අය, ඒවා ක්‍රියාවට නැගුවේ නැහැ. යළිත් ඒ කතාවම කරළියට ඇවිත් තියනවා. අපේ රටේ ඉතිහාසයේ, දේශපාලකයන්, ඔවුන්ගේ ප්‍රතිපත්ති, ඔවුන්ගේ චර්යාව සහ පැවැත්ම පිළිබඳව, මේ තරම් ජනතා අවිශ්වාසය ඇතිවූ යුගයක්, මටනම් හිතාගන්නට බැහැ. 1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී මා දුටු දේශපාලන සංහිඳියාවේ සිද්ධියක් කියන්නම්.

   එවකට අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැදිගම ආසනයෙන් තමයි ඡන්දය ඉල්ලුවේ. ඡන්දය පැවති දා රෑ, ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානය වන, කෑගල්ලේ කාර්මික විද්‍යාලයට එතුමා පැමිණියා. කාර් එක එතුමාගේ. නිළ රථ රජයට භාරදීලා වෙන්න ඇති මැතිවරණය අවසන් වනතුරු. ඒ, ඒ කාළේ දේශපාලකයෝ. ඡන්දය ගණිනු බලාසිටි එතුමා, ශාලාවේ ප්‍රධාන දොරටුව වෙත ආවේ, සිය දුම් පයිප්පය පත්තු කරගන්නටයි. පයිප්පයට දුම්කොළ දමා, එය කටේ තියාගන්නවාත් සමගම, එතනට ආවේ, ලංකා සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය එන්.එම්.පෙරේරා මැතිතුමා.

   ඔහු තම සාක්කුවෙන් ගිනිපෙට්ටියක් ගෙන, ඩඩ්ලිගේ පයිප්පය පත්තු කළා. දෙදෙනා බොහොම සුහදව සාකච්ඡාවක යෙදුනා. ඊට පෙර දිනවල තිබුණු මැතිවරණ වේදිකාවලදී, එකිනෙකාට එරෙහිව කියාගත් දේවල්, දෙදෙනාම අමතක කර ඇති බවක් තමයි පෙනුණේ. (මේ ඔක්කොම බලාගන්න අපිට බාධාවක් නැහැ. ශාලාව ඇතුළට යන්න විතරයි නොදුන්නේ. මේ දෙදෙනාම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයන් නිසා තමා මෙතනට ආවේ. සම්පූර්ණ මධ්‍යස්ථානයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 10 ක් විතර ඉන්න ඇති.)

   ඡන්ද ප්‍රතිඵල පිටවුණා. ඩඩ්ලි සේනානායක මහතා පරාදයි. හිස නවාගෙන තම කාරය වෙත ගිය ඔහු, තනිවම එය පදවාගෙන යන්නට ගියා. රැස්ව සිටි කිසිවෙකුත්, ඔහුට කිසිදු අපහාස උපහාසයක් එල්ල කළේ නැහැ. ඩඩ්ලි, එන්.එම්, වැනි දේශපාලකයන් ඊට පසු කාලයේ බිහි නොවුනේ, ව්‍යවස්ථා මගින්ම විෂමාචාරය ස්ථාපිත වීම නිසා කියලයි මටනම් හිතෙන්නේ. ඔවුන්ගේ දේශපාලන දර්ශනයේ සාර්ථක අසාර්ථක, සාධාරණ අසාධාරණ ලක්ෂණ කොපමණ තිබුණත්, ඔවුන් දේශපාලන සංහිඳියාවක සිටියා. මරාගන්න ගියේ නැහැ. ඒ තත්වය, ඔවුන්ගේ දේශපාලන පරිණත භාවයේ ලක්‍ෂණයක් ලෙසයි මා දකින්නේ. 

   පසුගිය දිනවල ඇතිවූ මහා වර්ෂාව නිසා, මේ රටේ ජනතාව අපමණ පීඩාවකට පත්වුණා. පුද්ගලයන් ලක්ෂ දහයකට වැඩි ගණනක් පීඩාවට පත්වුණ බව, ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. සුබසාධක කඳවුරු 350 ක පමණ, අසරණව කල් ගෙවන්නට, පවුල් රාශියකට සිදුවුණා. මියගිය සංඛ්‍යාව 30 කට වැඩියි. නිවාස අහිමිවූ සංඛ්‍යාවත් විශාලයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකට එක්ව, මේ සුබසාධක කඳවුරු වලින් කීපයකටවත් ගොස්, අපේ සටන දේශපාලන සටනක් මිස, පෞද්ගලික සටනක් නොවේ කියා, ඒ මිනිස්සුන්ට බිස්කට් පැකට් එකක්වත් ඒ දෙදෙනා අතින් දෙන්නට පුළුවන් වුණානම්, මේ දෙදෙනාම තම ඡන්ද පදනම ඉතා විශාල ලෙස වර්ධනය කරගන්නවා නොඅනුමානයි. නමුත් දැන් තිබෙන්නේ දේශපාලනයක් නොව මරාගැනිල්ලක්. එමෙන්ම, මේ අසරණ ජනතාව වෙත, දේශපාලන පොරොන්දු වැස්සක් වසිනවා, ජනමාධ්‍ය ඔස්සේ මා දුටුවා. ඒවා කවදා ඉටුවෙයිද කියන පැනය මගේ හිතේ තවමත් තියනවා. 

   පොළොන්නරුව පැත්තේ, ගංවතුර සරණාගත කඳවුරු කීපයකට, මෛත්‍රීපාල සිරිසේන මහතා යැවූ කෑම පාර්සල් රැගත් පිරිස, අහසට වෙඩිතබා බියගන්වා පලවා හරිමින්, සිය නිළ ඇඳුමේ අශූචි තවරාගත් පිරිසක් ගැන, මට දැනගන්නට ලැබුණා. ‘මහින්ද බත්’ පමණක් කන ලෙස, සරණාගතයන්ටද තර්ජනය කර තිබුණා. මේකද අද තිබෙන සංහිඳියාව? මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ, විවිධ නීතිවිරෝධී ක්‍රියා, ජනමාධ්‍ය මගින් පෙන්වා දුන්නා. අද අපට ඉතිරිව තිබෙන්නේ, හොඳ පුද්ගලයා නොව, නරක අඩු පුද්ගලයා තෝරා, ඡන්දය දීමටයි.

   

   මෙවර ජනාධිපතිවරණයෙන් අපි අපේ ජීවිත මෙන්ම, අපේ බාල පරපුරේ ජීවිත පවා, තීරණාත්මක තත්වයකට පත්කෙරෙන අවස්ථාවකටයි මුහුණ දෙන්නේ. අපේ රට, ඉතිහාසයේ දුක්ඛිතම තත්වයට පත්කිරීම හෝ, යම් තරමක සහනදායි තත්වයකට ගෙන යාම සඳහා, දැඩි තීරණයක් ගනිමින්, පරමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දුර්ලභ අවස්ථාව, ඡන්දදායකයන් ලෙස, ලබන ජනවාරි 8 වැනිදා අපට හිමිවෙනවා. දුර්ලභ අවස්ථාවක් වන්නේ, මෙය එතරම්ම තීරණාත්මක මැතිවරණයක් නිසා බව, යළිත් අවධාරණය කරනවා. ඒ නිසා, මෙවර අපි දෙන තීන්දුව, අපේ ජීවිත කාලයේදී ගන්නා, අතිශයින් බැරෑරුම් තීන්දුවක් බව නම්, නොකියාම බැහැ. ඉතින්, ඒ තීන්දුව ගැනීම ඔබට බාරයි. පසුගිය වසරේ ජනවාරි පළමුවැනි දින, මා ලියන ලද ලිපිය අවසානයේදී එක්කළ ප්‍රාර්ථනය, මඳක් වෙනස් කර මෙවර ඉදිරිපත් කරනවා.


දුර දක්නා නුවණ

අධිෂ්ඨානය

අත්දැකීමෙන් ලත් දේශපාලන  බුද්ධිය

සහ

නොපසුබට චිත්ත ධෛර්යය

තුළින්

සුබ නව වසරක් උදාකරගැනීමට

ඔබට හැකිවේවා! 

my-signature-for-blog[1]2015 ජනවාරි මස 01 වැනි දින 0001 පැය

Advertisements

Comments on: "තීරණාත්මක නව වසරක් උදාකර ගනිමු" (21)

  1. විචාරක තුමාටත් සමස්ත බ්ලොග් කරුවන් සහ පාඨකයන්ටත් මුළුමහත් ශ්‍රී ලංකා වාසී ජනීජනයා ඇතුළු ලෝකවාසී සැමටත් උදා වූ 2015 වර්ෂය සියලු සිතුම් පැතුම් සඵල වන අධිෂ්ඨාන සහ බලාපොරොත්තු ඉටුවමින් වෙනසකට මුලපුරන නව වසරක් වේවා !!!

  2. ඔබතුමාට සහ පවුලේ සියලු දෙනාටත් සැමටත් සුබ වාසනාවන්ත නව වසරක් වේවා

  3. විචාරක තුමාටත් පවුලේ සියලු දෙනාටත් උදා වූ 2015 වර්ෂය සියලු සිතුම් පැතුම් සඵල වන අධිෂ්ඨාන සහ බලාපොරොත්තු ඉටුවමින් වෙනසකට මුලපුරන නව වසරක් වේවා !!!

  4. මං නං අවුරුදු සුභ පැතුම් ජනවාරි නමවෙනිදා දක්වා කල් දැම්මා!

  5. සුභ නව වසරක් වේවා..
    එල ද බ්‍රා

  6. සුභ නව වසරක් වේවා.!!
    වෙනසක් කරමු.

  7. ඔබට සුබ නව වසරක් වේවා

    තව හමුදා ලිපියක් ලියන්න

    • බොහොම ස්තුතියි දුලංක. සුබ නව වසරක් වේවා! හමුදා ලිපි කීපයක් සූදානම් වෙමින් පවතිනවා.

  8. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරකයෝ………………….

    ලබන්නා වූ නව වසර සුභම සුභ ඒකක් වේවා හිටං

  9. Obata athulu semata “Suba nawa wasarak wewa”

  10. සුබ නව වසරක් වේවා විචාරක ඔබටත් පවුලේ සැම දෙනාටමත්

  11. ක්සැන්ඩර් said:

    “අද අපට ඉතිරිව තිබෙන්නේ, හොඳ පුද්ගලයා නොව, නරක අඩු පුද්ගලයා තෝරා, ඡන්දය දීමටයි.” 225 ම හොරු වෙච්ච රටේ ඇත්තටම මේ කතාව 100% හරි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: