විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


giftsCover   දන්නවද වැඩක්. මට මගේ ජංගම දුරකතනයට ලැබුනානේ කෙටි පණිවිඩයක්, මට තෑග්ගක් ලැබෙන්ඩ තියනවා, වහාම ඇමතුමක් දෙන්ඩ කියලා. පණිවිඩේ ආව නොම්මරේ මුලට තියෙන්නේ 0037, හොයලා බැලින්නං, ඒ නොම්මරේ අයිති ජර්මනියට.  හප්පොච්චියේ…………………..අපේ හත්මුතු පරම්පරාවේ එකෙකුටවත් ආයෙ පිටරටින් තෑග්ගක් තියා, කඩල ගොට්ටක් වත් හම්බවෙලා තියන එකක්යැ. පණිවිඩේ ආවේ රෑ වෙලා. අම්මපා දවාලක නම් එවෙලේම මම යනවා ජර්මනියට. (රෑට පාර හොයාගන්ඩ අමාරුයිනේ පිට රටකට යන්ඩ) දැන් ඉතිං මොකෑ කරන්නේ. ආයෙපාරක් කියවලා බැලුවා පණිවිඩේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. 

   Sri Lanka Mobitel Urgent please call us immediately to get your gift 0037122857005 free calls

   පොහ්……….අම්මපා මට මගේ ජංගම දුරකතන රාජයා අල්ලලා ගිලින්ඩ හිතුනා, තන්තෝසේ බැරිකමට.  අම්මෝ……………පවුලේ අයටවත් කියන්ඩ හොඳ නෑ මේ වැදිච්ච චෑන්ස් එක. කිව්වොත් උනුත් ඉල්ලයි, ‘අනේ මටත් කෑල්ලක් මටත් කෑල්ලක්’ කිය කියා. මළ වදයක් තමයි වෙන්නේ. හරි හරි, ඔක්කොමලා නිදාගත්තට පස්සේ අර නොම්මරේට ඇමතුමක් දෙනවා. ම්………එක්කෝ බාත්රූම් කාමරේට ගෙහුං, දොර වහගෙන, හොඳට ඈඳිගෙන, කෝල් එකක් දුන්නනම් නාකද? හයියෝ…….මගේ යකා හිතේ කම්මල වගේ. හුටා…….නෑ…නෑ… මගේ හිත යකාගේ කම්මල වගේ.

  ඔන්න ඔහොම ඉතිං, ‘බැස සීතල ගඟුලේ පීන පීන නාමුකෝ නගෝ……….’ කියලා, හිතෙන් කියමින් ඉන්න වෙලාවේ………., පැන්නනේ එළියට. මොකාද?…… මොකාද ඉතිං මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයා තමා, ආයෙ වෙන මොකෙක්ද. ඒකා කිව්වේ නැතෑ මෙන්න මෙහෙම.

  “එම්බල මුග්ධය, තට නොවැටහේද තා මේ අහුවෙන්නට යන්නේ, ලෝක බොරුවකට බව? කොහෙද අම්බරුවෝ ජර්මනියේ මොබිටෙල් එකක් තියෙන්නේ? මොබිටෙල් එකෙන් පණිවිඩයක් එනවානම් නොම්මරේ 071 එකක් වෙන්න ඕනේ නේද? මොකක්හරි උප්පරවැට්ටියකින්, තට කෙළවන්නට කවුරුහරි අරඅඳින බව, තාගේ ඔය ……..ක් තරම් මොළයට නොවැටහේද? වහාම මේ විප්‍රකාරය, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය වෙත වාර්තා කර කරුණු විමසනු

   ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. දැන් ඉතිං හොඳම දේ, මගේ හිතේ ඉන්න ආමිකාරයා කියන දේ කොරන එක තමා. හරි, එවෙලේම යැව්වා ඊයක් මොබිටෙල් එකට. මගේ උපහාර පැකේජයේ විස්තර සහිතව, ‘මෙන්න මෙහෙම මෙව්වා එකක් මට ඇවිත් තියනවාය. අම්මපා මේක ඔහෙලමද එව්වේ, මේකේ ඇත්ත නැත්ත කුමක්දැයි මට කියලා දෙනවා හොඳයි’ කියලා.

   අනේ පහුවදාම දවල් මට කතාකොළේ නැතැයි, කර්ණ රසායන, මධුර මනෝහර, සුකොමළ, සුලලිත, ස්වරයකින් යුක්තවූ  ඉස්තිරියාවක්. ‘ස…………………….ර්, අපි මොබිටෙල් ආයතනයෙන්, අපිට සර්ගේ ඊ මේල් එක ලැබුණා, සර් බොහොම බුද්ධිමත්ව ක්‍රියා කරලා තියනවා, මේ වංචාව දැන් සෑහෙන කාලයක ඉඳලා සිදුවෙනවා, සර් ඔය කෝල් එකට උත්තර දුන්නා නම්, සර්ට මහා විශාල දුරකථන බිලක් වැටෙනවා. ඒ සල්ලි ඒ මිනිස්සු ගන්නවා, නමුත් අපිට සිදුවෙනවා, ඒ සල්ලි සර්ගෙන් අයකරගන්න. මාසෙකට මෙවැනි සිදුවීම් දහයක් විතර වාර්තා වෙනවා. නමුත් සර් වගේ පැමිණිලි කරන්නේ බොහොම ටික දෙනයි. මේ වගේ අංක වලින්, අපේ ජාලයට ඇමතුම් දීම අපි බ්ලොක් කරනවා, නමුත් අලුත් අංක හදාගෙන දිගටම වැඩේ කරනවා. බොහොම කණගාටුයි සර් අපහසුතාවයකට පත්වුණා නම්.  

   අප්පොච්චිගෙ පප්පේ……………..ගිරහයෙක් මාරුවුණා වගේ වැඩක් නේද මට වෙලා තියෙන්නේ? ඔයින් ගියා මදෑ. අම්මප මේ මගේ හිත ඇතුළේ ඉන්න ආමි කාරයාට පින් දෙන්න වටිනවා.

   අපි 21 වැනි සියවසේ ජීවත් වුණත්, තවමත් මේ වගේ ජරා සත්තු මේ සමාජයේ ඉන්නවා. දුරදිග නොබලා, තන්හාව පාලනය කරගන්නට නොහැකිව, මෙවැනි වංචා වලට අහුවෙන කොපමණ මිනිසුන් ගණනක්, අපේ සමාජය තුළ ඇතිද? මෙවැනි දෑ, ජනමාධ්‍ය තුළින්, කොපමණ පෙන්වා දුන්නත්, තවමත් ඒවාට අහුවන සංඛ්‍යාවෙහි, අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැති තරම්.

   ඔබට මොකද මේ ගැන හිතෙන්නේ?

my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 14 වැනි දින 0939 පැය  

Advertisements

Comments on: "ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද……? – Do you want gifts from Germany?" (29)

  1. මේ අර පරන NIGERIAN SCAM නව මුහුනුවරකින්.

  2. මටත් ඔය විදියට ඊ පණිවිඩ ලැබුණා එක්තරා බැංකුවක විධායක නිලධාරියෙක්ගේ නමින්. ඔහු පිලිබඳව ගූගල් කරාම තොරතුරු ලැබුණා එහෙම එකෙක් ඒ බැංකුවේ ඉන්නවා වැඩ කරනවා අදාල නිලයේ කියලා. නමුත් ඊපණිවිඩය එවා තිබ්බේ නොමිලේ දෙන ඊ මේල් සේවාවක් හරහා. මම කල්පනා කරා ඔච්චර තැගි දෙන්න මේ ආයතනයට තමන්ගේ කියලා ඊමේල් සේවාවක් නැත්තේ මොකෝ කියලාමම ඒක ක්ලික් වෙච්ච සැනින් අදාල විදෙස් බැංකුව දැනුවත් කිරීම කරා.
    පසුව එම බැංකුව මට දැනුම් දුන්නා මේ ලෙස තම ආයතනයේ නිලධාරීන්ගේ නම් හා තනතුරු යොදාගෙන වංචා කරන පිරිස් සිටින බව හා ඔවුන්ට මුදල් දී පසුව පැමිණිලි කරන බවත් ඊට තමන්ට කල හැකි කිසිවක් නොමැති බවත් හා මේලෙස ඔවුන් හට දැනුම්දීම ගැන ස්තූතිය පලකිරීමක් වැඩි දුරටත් සිදු කර තිබුනා

    • හැබැයි මෙව්වා කරන එවුන් අහුවෙනවා බොහොම අඩුයි. විදුලි සංදේශ නියාමන කොමිසමට පුළුවන් මේ සඳහා වෙනම අංශයක් පවත්වාගෙන යමින් හැකිතරම් මේවා කරන එවුන් අල්ලාගන්න උත්සාහ කිරීම. උන්ට දෙන්න පුළුවන් හොඳම දඬුවම මොකක්ද කියලා තමයි හිතාගන්න අමාරු.

  3. සෑර්,

    හමුදාවට අයවළුන් බඳවා ගන්නා බව දක්වමින් පසුගියදා පුවත්පතක දැන්වීමක් තිබුනා. එහි තිබුනා නිත්‍ය බඳවා ගැනීම සහ ඉඳුරාම බඳවා ගැනීම කියලා ආකාර දෙකක්. හැබැටම සෑර් ඒ මොනාද? එතකොට ස්වෙච්චා බඳවා ගැනීම කියලත් තියෙනවා නේද? අනේ සෑර් අපිටත් එව්වා කියාලා දෙනටකෝ.

    • අම්මේ………කිරිපුතේ, මේ ප්‍රශ්නෙට මේ අඩවියෙන්ම මම මීට පෙර කීපාරක් උත්තර දීලා තියනවද? හා හරි කමක් නෑ. ඔන්න එහෙනම් කියනවා.

      නිත්‍ය හමුදාවටත්, ස්වේච්ඡා හමුදාවටත් කාලීනව නිලධාරීන් සහ සෙබළුන් බඳවා ගන්න බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නිත්‍ය බඳවාගැනීම කියන්නේ නිත්‍ය හමුදාවට බඳවා ගැනීමයි. බඳවාගත් දිනයේ පටන් ඔහු හමුදාවේ පූර්ණකාලීන ස්ථිර සාමාජිකයකු වෙනවා. නමුත් ස්වේච්ඡා හමුදාවට බැඳෙන්න පුළුවන් වෙනත් රැකියාවක් කරන ගමන්ම. විශේෂයෙන් රජයේ රැකියාවක් කරන ගමන්ම. එතනදී ඔයා ඒ රජයේ රැකියාවෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. ඔයා ස්වේච්ඡා යුද හමුදාවේ සක්‍රිය සේවයේ යෙදී සිටිනතාක්කල් ඔයාට රාජකාරි නිවාඩුවක් සහ ඒ රැකියාවේ සම්පූර්ණ වැටුප හිමිවෙනවා. යුදහමුදාවේ ඔයා බැඳුන නිලයට අදාළ මූලික වැටුප සහ ඔයාගේ රජයේ රැකියාවේ මූලික වැටුප යන දෙකෙන් වැඩි එකෙන් අඩු එක අඩු කරලා ඉතිරිය සහ යුදහමදා සාමාජිකයකුගේ (ඔයා බැඳුන නිලයට අදාලව) වැටුපට අදාළ වෙනත් දීමනා ඔයාට යුද හමුදාවෙන් ගෙවනවා. හැබැයි ගෙවල් කුලී, උත්සව අත්තිකාරම් වගේ දේවල් දෙපැත්තෙන්ම ගන්න බැහැ. විශ්‍රාම යන දවසට ඔයාට පුළුවන් ඔයා යුද හමුදාවට බැඳෙන්න කලින් අර රජයේ රැකියාවේ හිටිය කාලයත් එකතු කරලා හමුදාවෙන් විශ්‍රාම ගන්න. ලොකු විශ්‍රාම පාරිතෝෂිකයක් සහ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ස්වේච්ඡා හමුදාවේ වසර 22ක් සේවය සම්පූර්ණ කලපසු විශ්‍රාම යන්න පුළුවන්. නිත්‍ය හමුදාවේ ඊට වඩා අඩු කාලයකින් යන්න පුළුවන් නමුටත් එවිට විශ්‍රාම වැටුප අඩුයි.

      ඉඳුරාම බඳවා ගන්නවා කියන්නේ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකරණ, තොරතුරු තාක්ෂණ, වැනි උපාධිධාරීන් කෙලින්ම හමුදාවට බඳවා ගන්නවා ඔවුන්ගේ ඒ සුදුසුකම් අනුව. ඉහලම සුදුසුකම් ඇති අය ලුතිතන් සිට බ්‍රිගේඩියර් දක්වා තනතුරු වලට කෙලින්ම බඳවා ගන්නවා. ඩිප්ලෝමාධාරීන් වැනි අය කෝප්‍රල් වැනි නිලයකට බඳවා ගන්නවා.

  4. “කැලේ ඇවිදින්න යනකොට මුලාවැල් පෑගෙන්න පුළුවන් පරෙස්සමින් කොල්ලනේ ” පැරණි අවවාදයක්

    • අනේ මන්දා ගුණසිංහ මහත්තයෝ, අපේ සමාජය මංමුලා වැල්, බොරු වලවල්, ආදියෙන් පිරිලා කියලයි මටනම් හිතෙන්නේ. අපි නිකං දාම් පෙතේ ඉත්තෝ වගේ වෙලාවකට.

      • තුරුලතා වලින් පිරී පැවති කැළෑව වෙනුවට අපට අලුත් කැළෑවක් පහළ වෙමින් පවතින අවදියක් නේද විචාරක තුමනි. එයත් බොහොම සුන්දර ඉමහත් සේ ප්‍ර යෝජනවත් තැන් වගේම මංමුලාවැල් බොරු වලවල් මඩවගුරු දක්නට හැකි භියජනක සතුන්ද සිටින තැනක් සැඟව සිටින සොර සතුරන්ද පෙනෙන්ට සිටිනවා.

  5. අම්මේ වලක වැටෙන්න කලින් දැනගත්ත එක ගොඩක් වටිනව

    • ඒත් මෙව්වා වෙන වෙන මුහුනුවරවල් වලින් එන්න පුළුවන්. ඒ නිසා මෙවැනි දේ වලදී කීපවරක් සිතා බැලීම මෙන්ම දන්නා කියන කෙනෙකුගෙන් උපදෙසක් ගැනීමත් වැදගත්.

  6. Due to the dynamic nature of these kind of tricks, it is very hard to block by telco company. Best solution is public awareness like your post. Hats off for your post.
    But I haven’t seen any telco tring to any awareness at all. And there is authority to complain except TRC. TRC is also useless as it almost control by two telcos.
    Other generic options available are
    1. disabled IDD by default and only enable on user request
    2. Block access to premium numbers by default

    But getting hold of international premium numbers are very hard as those unique to each operator.

    • First and foremost I would like to appreciate your technical advice as the readers are benefited by the very important facts you have provided.

      Well, what my personnel view is that modern technology itself is a real challenge for the mankind. A considerable number of people jumps in to traps without proper knowledge of modern technology or without logical thinking.

      Thanks you once again.

  7. විචාරක තුමාගේ විමසිලීමත් බව නිසා ඕක තේරුම් ගත්තේ.

    සමහර වෙලාවට විවිධ තෑගී (මෝටර් සයිකල්, ත්‍රිවිල් වගේ ) දේවල් අපි දිනලා කියල ඒ වෙනුවන් යම් යම් ලිපි ලේඛන කටයුතු සදහා යම් මුදලක් බැංකු ගිනුමකට දාන්න කියලා කෙටි පනිවිඩ එවනවා. ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා කෙටි පනිවිඩ යැවිය හැකි ක්‍රම පාවිච්චි කරලා තමයි මේ දේ කරන්නේ රු 500ක් 1000ක් වගේ ගානක් බැංකු ගිණුමකට දාන්න කියලා.

    මේවට දුරදිග හිතන්නේ නැතුව නිකන්ම අහුවෙන අයත් ඉන්නවා. පස්සේ ලජ්ජාවට මේ දේවල් අනිත් අයට මට මෙහෙම උනා කියල කියන්න බැරි නිසා පාඩුව දරාගෙන ඉන්නවා.

    ලංකාවේ සක්විති ගාවම උගත් අයම කී දෙනෙක් සල්ලි තැන්පත් කරලා තිබුනද?විචාරකතුමා කියුවා වගේ තණ්හාව පාලනය කරගන්න පුළුවන් නම් ගොඩක් කරදර අඩු කරගෙන ඉන්න පුළුවන්.

    • අපි හැමදෙනා තුළම විමසිලිමත් බව තිබෙනවා. නමුත් නොදන්නා විෂයයකදී අපි අතරමං වෙනවා. හොඳම දේ දන්නා කියන අයගෙන් විමසා සුදුසු පියවරක් ගැනීමයි. විහිලුවට වුනත් කියන කතාවක් තියනවනේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා. එහි යම් සත්‍යයක් තියනවා.

  8. Ei wichawaka thuma,ekale kathawk thibune “Indiyawe, Radio ceylon eka” kiyala kalabaleta kawda kiyala thibune,Thwa.1960 aga ho 1970 mula sinhala paththareka. “Ghana we Lakisuru Pathwei” kiyala.thibunakiyala, Gunadasa liyanage mahatha liyala thibune.ithin ehew rate. (Wollen sie geschenk,aus Deutschland?)

    • ඔයවගේ කතා එකතුවක් තියනවා දැන් මතක නැහැ හුඟක් ඒවා.

      ලංකා ගුවන් විදුලි සේවයෙන් එංගලන්තෙට ගිය කට්ටියකගෙන් ඇහුවලු ඒ කාලේ Are you Ceylonists කියලා. අපේ කට්ටිය කිව්වලු No no we are Radio Ceylonists කියලා.

      ඔය ළමයා ලංකාවේද? නෑ මම සඳලංකාවේ කිවලු.

      දැන්නම් ඝානාවෙන් හරි කමක් නැහැ ලකිසුරු කෙනෙක් හොයන්න වෙලා තියෙන්නේ 😀

  9. මට වතාවක් හමුවෙලා තියෙනවා තලතුනා උගත් මිනිහෙක් ඊයක් මගින් ලැබුුනු ඔවැනි පණිවිඩයක් දිගේ කටයුතු කරලා අන්තිමට රහස් පොලිසියෙන් ගමන නතර වෙච්ච…ලංකාවට මුදල් වගයක් මාරු කරන්න උදව් ඉල්ලලයි ඒ පණිවිඩය ඇවිල්ලා තිබුනෙ…උදව් කලොත් ලොකු කොමිස් මුදලක් දෙන බව කියලා…ඔයින් ගියා මදැයි…

    • අපි කා තුළත් අඩු වැඩි වශයෙන් තන්හාව කියන එක තියනවනේ සිරා. නමුත් අපිට මොලය කියලා එකකුත් ටිකක් තියනවනේ. මේ වගේ හදිසියේ පහළවෙන ‘වාසනා චක්‍ර’ කරකවන්නට ඉස්සෙල්ලා, මේ චක්‍රය බෙල්ලට තොණ්ඩුව වැටෙන එකක්ද කියලා හිතාගන්න බැරිවුනාම තමයි, අමාරුවේ වැටෙන්නේ.

  10. අනේද කියන්නේ.. මට කතාකලා නෙව ඩුබායි රටෙන් පකිස්තාන් මුත්තෙක් සල්ලි මිලියනයක් මට ඇදිල කියන්න. මට කෝල් කරලම විස්තර කියන ගමන් අහනවා හින්දි පුලුවන්ද කියල. මං බෑ කිව්වා. ඒ ගමන කියනවා මට රියාල් මිලියනයක් ඇදිල ලූ මගේ නොම්මරේ අහඹු දිනුම් ඇදීමක් කරලා. ඒ සල්ලි ගන්න හැටි අහගන්න මට රියාල් සීයක් ඔය කියන නොම්මරේට (සීයාගේ නොම්මරේට) දාල කතා කරන්නලු. පස්සේ මම කිව්වා මගේ මිලියනයෙන් දාහක් හරි කමක් නෑ අරගෙන මට තරහ නැතුව කෝල් එකක් දෙන්න. රියලක්වත් මගේ අතේ නෑ කියල 😀 මුත්තා වැනිෂ්…

    • හිහ් හිහ් හී……………ආන්න එහෙම තමයි. ඔයවගේ එවුන්ට, උන්ගේ කපටි ක්‍රමයෙන්ම තමා උත්තර දෙන්ඩ ඕනෙ. ඌට හිතෙන්න ඇති ගල් ආඳේකුට තමා මම කතා කරලා තියෙන්නේ කියලා. 😀

  11. විචාරක තුමෝ මම දන්නා තරමින් Telephone country codes 00 පටන් ගන්නේ නැහැ . එය පටන් ගන්නේ + ලකුණෙන්. උදාගරනයක් විදිහට ශ්‍රී ලංකා කෝඩ් එක +94 නමුත් මෙය බොහෝ රටවල් වල ඉඳන් 0094 විදිහට ඩයල් කරන්න හැකියි.

    +37 කියන්නේ 1990 පෙර තිබු නැගෙනහිර ජර්මනියේ country code එක. එයත් 0037 ලෙස ඩයල් කරන්න හැකියි. නමුත් මා දන්නා තරමින් දැන් +37 අයිති රටක් නැහැ (discontinued code). ජර්මනියේ කෝඩ් එක +49.

      • ලකුණ තිබුනත් 00 ගහලා ඩයල් කරන්න පුළුවන්. මගේ ජංගම දුරකථනයේ තියන මගේ විදේශීය නෑ මිතුරන්ගේ අංක ඔක්කොම මම දාගෙන ඉන්නේ මුලට 00 දාලා. මම හිතන්නේ ඔය + ලකුණෙන් කියන්නේ මෙතනට 00 දාගන්න කියන එකයි.

      මේ කපටියෝ අර 0037 අංකය පරිගණක තාක්ෂණයෙන් හදාගත් එකක් වෙන්න ඇති. අපි ඩයල් කලාම උන්ට ඒක වදින විදිහට.

  12. මහත්මයා,

    මට මතක් වෙන්නේ මේ ලඟදි මා නැරඹු Nebraska(http://en.wikipedia.org/wiki/Nebraska_%28film%29) චිත්‍රපටය. කථාවේ මුල ඔබගේ අත්දැකීමට බොහෝ සමානයි, නමුත් අවසානය බොහෝ වෙනස්.

  13. මටත් එක සැරයක් ආව මගේ ඩයලොග් පැකේජ් එකට ඔය වගේ මැසේජ් එකක්.ඔක බොරුවක් කියල මට තෙරුනා උනත් මම ගත්තා ඒ නම්බර් එකට කොල් එකක්.අම්මපා හෑල්ල වගේ අහන්න ගත්තේ නැද්ද ප්‍රශ්න වගයක්?හැබැයි රෙකොඩින් එකක්.විනාඩියක් විතර අහගෙන ඉදලා මම කට් කරා.ඒ ඩින්ගට රුපියල් දෙසීයක් විතර කැපිලා තිබුනා.රුපියල් දෙසීයක් දීල පාඩමක් ඉගෙන ගත්තනේ කියලා හිත හදාගත්තා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: