විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


4528233   මේ කතාව බොහොම දීර්ඝව ඇදීගිය නිසා, සමහරුන්ට නම් එපාවෙලා තිබුණා. එහෙත් තවත් අය, මේ ලිපි මාලාවෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා, යුද්ධයක් සැළසුම් කරන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි, තවත් දුරට අදින්නේ නැතුව, අද මෙම ලිපි මාලාවේ අවසාන කොටස මෙලෙස ඔබවෙත ගෙන එනවා. හෑ……………….එහෙනම් අද කෙල්ලව උස්සනවද? අනේ මන්දා, ඔන්න ඔහේ වැඩේ අතෑරලා දාමුද? (පින්තූරය ගත්තෙ මෙතනින්මේ කෙල්ලෙක් වෙනුවෙන් මොකටද මෙච්චර ලොකු යුද්දයක් කරන්නේ? මේක රාමා – සීතා කතාව නෙවෙයිනේ. මෙහෙම කියපු ගමන් ඔක්කොමලා මගේ බෙල්ල කන්න හදයිද මන්දා, ‘හුහ්…….තමුසේ මෙච්චර දවස් අපිවත් ඇදගෙන යුද්දෙට ගියේ, අන්තිමට මෙහෙම කියන්නද?’ කියලා. හරි හරි, එහෙනම් යුද්දෙට යමු. හැබැයි ඊට කලින් කරන්න දේවල් තවත් තියනවා. ඉස්සරවෙලා ඒ ටික අවසන් කරගෙන ඉම්මු. නැත්නම් යුද්දේ පරාදයි.  

   හැබැයි ඉතිං මේ කතාවේ පරණ කොටස් මතක නැත්නම් මෙලෝ රහක් නැතිවෙනවා. අතරමං වෙනවා. ඒ නිසා උඩින් පල්ලෙන් හෝ පරණ කොටස් කියවලා මතකය අලුත් කරගන්න.

පළමුවැනි කොටස මෙතනින්

දෙවැනි කොටස මෙතනින්

තුන්වැනි කොටස මෙතනින්

හතරවැනි කොටස මෙතනින් බලන්න පුළුවන්.

   ඔක්කොම කියවන්න අවශ්‍ය නැහැ. මතකය අලුත් කරගන්නට අවශ්‍ය ප්‍රමාණයට කියවන්න. අද අපිට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ, අපේ ක්‍රියාන්විතය දියත් කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සහ අවසාන සැළැස්ම සැකසීමයි. දැන් ඉතින් ඉවසිල්ලක් නැහැ නේද කෙල්ල උස්සන තුරු. පොඩ්ඩක් හෝව්……………. මේ ටිකත් බලන්න. අපි පහුගිය කොටස අවසන් කලේ 26 වැනි කාරණයෙන්. ඒ කියන්නේ සතුරා අපට එරෙහිව කෙබඳු ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද යන තක්සේරු කිරීමයි. එහනදී සතුරාව පොඩ්ඩක්වත් අවතක්සේරු කරන්න හොඳ නැහැ. විශේෂයෙන් මතක තබාගන්න ත්‍රස්තවාදී සංවිධාන විසින් ඉතා සොක්ක්ෂ්ම සහගත ලෙස අපි කොහොමවත් නොසිතන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතකනේ පහුගිය යුද්ද කාලේ එල්ටීටීඊ සංවිධානය රටපුරාම විවිධ ආකාරයේ විශ්මය ජනක ප්‍රහාර එල්ලකරපු හැටි.

   මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා යුද්ද කාලේ අපි බංකර් ඉදිකරලා ආරක්ෂක තීර හදාගෙන තිබුණා. මේවා හඳුන්වන්නේ ඉදිරි ආරක්ෂක පෙදෙස (තීරය) – Forward Defended Locality = FDL යනුවෙන්. අපි මේවා හදාගෙන, බොහොම ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටියට මොකද, ත්‍රස්තවාදීන් මේවා අස්සට රිංගලා අපිට ගහපු අවස්ථා තිබුණා. මෙහෙම ඉන්න කාලේදී, එක්තරා බලසේනාධිපති වරයෙක් – Brigade Commander අමුතු වැඩක් කෙරුවා. ඔහු දිනක් රාත්‍රී කාලයේ, ආරක්ෂක ප්‍රදේශයක් වෙත පැමිණ, එහි සිටි අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් හා ඒ ආරක්ෂක සීමාවේ සේවයේ යෙදී සිටින සෑහෙන භටපිරිසක් සමග, බංකර් පේළියේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට ගියා. මෙය බොහොම භයානක දෙයක්. සතුරා දන්නවානම් අපිට හොඳටම ගහනවා.

   එහෙම ඉදිරියට ගිහින්, බලසේනාධිපති වරයා සියලුදෙනාටම කිව්වා, ආපසු හැරී අපේම බංකර් පේළිය දෙස බලන ලෙස. (ඇත්තටම ආරක්ෂාව සඳහා තවත් 100ක් පමණ පිරිසක් තවත් මීටර් 100ක් පමණ සතුරාගේ පැත්තට ගිහින් සූදානමින් හිටියා) ඒ වෙලාවේ තමයි ඔක්කොටම තේරුණේ, සතුරා අපේ ආරක්ෂක වළල්ල දකින්නේ මොනවගේ විදිහකටද කියන එක. ඊට පස්සේ බලසේනාධිපතිවරයා කිව්වා, දැන් තමුන් සියලු දෙනාම හිතන්න, අර පෙනෙන්නේ තමන්ගේ හතුරාගේ බංකර් පේලිය කියලා. ඊට පස්සේ හිතෙන් හදන්න සැලැස්මක්, ඒකට ගහන ක්‍රමය ගැන. ඊළඟට ආපහු හිතන්න, එහෙනම් සතුරා මෙන්න මෙහෙම අපිට ගහයි, ඒක වළක්වාගන්න අපි මොකක්ද කලයුත්තේ කියලා. ඇත්තටම මේ පාඩම ඉතා අගනා ඉතා සතුටුදායක ප්‍රතිඵල සහිත පාඩමක් වුණා. 

27. සතුරා විසින් බොහෝදුරට ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ගය 

     Enemy’s Most Probable Course 

   මෙතනදී අපි නැවත සලකා බලනවා, සතුරා බොහෝදුරට අපට කුමන ආකාරයෙන් ප්‍රති ප්‍රහාර එල්ල කරයිද කියන එක. දැන් අපේ ක්‍රියාන්විතයේදී අපි හිතන්නේ, කාමිනීගේ පැත්තේ අය, බොහෝ දුරට මෙන්න මෙහෙම කරයි කියන එක. 

28. අපට විවෘතව තිබෙන ක්‍රියාමාර්ග – Own Courses 

   මතකතියාගන්න, සතුරාට වගේම අපටත්, හොඳින් සිතාබලා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න, අවසාන තීරණයකට පැමිණිය යුතුයි. මේ අපි යන්නේ යුද භූමියට. අපේ ජීවිත පරදුවට තබමින් යන්නේ. මම අණදෙන නිලධාරියකු නම්, මම මගේ සොල්දාදුවන්ගේ ජීවිත සමග තමයි මේ සෙල්ලම් කරන්නේ. මගේ එක වැරදි තීරණයකින්, සොල්දාදුවන් ගණනාවකගේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. එහෙම වුන අවස්ථා පහුගිය යුද්දෙදි තිබුණා. ඒ නිසා, අවසාන වශයෙන්, හොඳින් කිරා මැන බලා තීරණය කරනවා, අපට විවෘතව තිබෙන විකල්ප ක්‍රියාමාර්ග වලින්, හොඳම එක මෙන්න මේකයි කියලා. එහෙම තීරණය කරලා නිකම් ඉන්න බැහැ. ඒ ක්‍රියාමාර්ගයේ ඇති වාසි – අවාසි ගැන සටහනක් යොදාගෙන, වැඩි වාසි ඇති බව තහවුරු කරගත යුතුයි. එතැනදී මෙන්න මේ කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. 

A. වාසිදායක කරුණු 

  • 1. ඉලක්කය වෙත යාමට ඇති කෙටිම සහ දිගම දුර සහිත මාර්ග.
  • 2. ඉලක්කය වෙත පැමිණි පසු එයට ඇතුළුවීම වඩාත් සුදුසු කුමන දිශාවෙන්ද? 
  • 3. අපි බොහෝවිට පහර නොදෙතැයි කියා සතුරා සිතන්නේ කුමන දිශාවද, අන්න ඒ දිශාව තෝරා ගැනීමට හැකිතරම් උත්සාහ කලයුතුයි.
  • 4. පහසුවෙන් ගමන් කල හැක්කේ කුමන මාර්ගයේද?
  • 5. පැති ප්‍රහාර එල්ල කිරීම කළයුත්තේකෙසේද?
  • 6. අපිට ආවරණය වීමට තැන තිබේද. (මතකද මම කතාවේ පළමුවැනි කොටස්දී කිව්වා කෙල්ලගේ ගේ ළඟ පොඩි පාලු ඉඩමක් තියනවා, එක අපිට ලොකුවාසියක් කියලා. ප්‍රහාරයට වෙලාව එනතුරු මෙවැනි ආවරණයක ඉන්න පුලුවන්නම් බොහොම වාසියි) 
  • 7. ප්‍රහාරයෙන් පසු අපි නැවත හමුවන්නේ කොතනදීද? පහුවෙනිදා මොකද කරන්නේ? 

B. අවාසිදායක කරුණු 

  • 1. අපේ පිරිස බලාපොරොත්තු රහිත ලෙස සතුරාගේ මහා පරිමාණ ප්‍රහාරයකට ලක්වීමට ඇති ඉඩකඩ කෙසේද?
  • 2. ප්‍රහාරය ආරම්භ කිරීම සඳහා භටපිරිස් ඒකරාශී වීමට සුදුසු ප්‍රදේශයක් නැතිවීම 
  • 3. මාර්ගය දුෂ්කර එකක් වීම (කෙල්ල ඉන්නේ මීමුරේ නම් කොහොමද සනීපෙ?)
  • 4. සතුරා දැඩි සූදානමකින් යුක්තව, කෙළින්ම අපේ මුහුණට මුහුණලා හමුවීම. 

29. දෙවැනි විකල්ප ක්‍රියා මාර්ගය 

30. තුන්වැනි විකල්ප ක්‍රියාමාර්ගය 

   අංක 29 සහ 30 ට අදාළව, නැවතත් කියන්න වෙන්නේ, කලින් කියපු ටිකම නිසා, විස්තර ලියන්නේ නැහැ. ප්‍රධාන සැලැස්ම වැරදුනොත් ගන්නා විකල්ප ක්‍රියාමාර්ග තමයි මේ. කෙල්ලගේ ගෙදර අය අපිට අම්බානක නෙලනවානම්, අපිත් හැකි තරමින් නෙලද්දී කෙල්ල පන්නා ගැනීම කොහොම හරි කරගන්නවා. ඔන්න එක ක්‍රමයක්. කෙල්ලගේ ගමම එකතුවෙලා අපිට වට වන්දනාවක් දෙනවා නම්, උන්ගේ කකුල් අස්සෙන් රිංගලා දුවලා මාරුවෙනවා. ඔන්න අනික් ක්‍රමේ.

   හොඳයි. දැන් ඔන්න ඔක්කොම කරුණු සලකා බලා අවසන්. දැන් මොකද කරන්නේ? නෑ…….නෑ……..එහෙම එක පාරටම ගිහිල්ලා කෙල්ල පන්නගෙන එන්න බැහැ උන්නැහේ. කෝ තමුන්නැහේ හදපු අවසන් සැළැස්ම? ඒක නැතුව මොන යුද්දද? මතකද මම මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසෙදි ලස්සන කතාවක් කිව්වා ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිනී නමැති තරුණිය සමග පෙමින් වෙලී සිටිමි කියලා. ඔන්න ඒක දැන් මෙතනට ඕනේ. දැන් අපි අවසාන සැළැස්ම හදනවා. මතකතියාගන්න මේක අතිශයින් රහසිගත හමුදා ලේඛනයක්.

   හමුදාවේ සෑම ලේඛනයකටම වර්ගීකරණයක් – category තියනවා. ඒකට කියන්නේ, ‘ආරක්‍ෂක විග්‍රහය – Security Classification’ කියලා.   ලේඛනයේ සෑම පිටුවකම, හරි මැද ඉහළින්ම සහ හරි මැද පහළින්ම, ඒ වර්ගීකරණය, වචනයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම ලේඛනයේ පිටු අංක දක්වන්නේ, හමුදාවට ආවේනික ක්‍රමයකට. අපි හිතමු ලිපියේ පිටු පහක් තියනවා කියලා. එහෙනම්, පළමුවැනි පිටුවේ හරි මැද පහළින්, ආරක්ෂක විග්‍රහයට ඉහලින් මෙහෙම තියනවා. ‘පිටු පහෙන් එක’ ඒ විදිහටම ඉතිරි පිටුවලත්, පිටු අංකය සඳහන් කරනවා. දැන් මෙය බලන කෙනෙක් දන්නවා, මේ ලේඛනයට තිබෙන්නේ පිටු පහක් බව. ඊට වඩා අඩු වැඩි වුනොත්, එතන මොකක් හරි රහසක් තියන නිසා, වහාම ඒ ගැන ක්‍රියා කලයුතුයි.  

   හොඳයි අර ආරක්ෂා විග්‍රහය කොහොමද තියෙන්නේ? ඒ වර්ගීකරණයේ පහළම එක තමයි ‘නිවර්ග – Non Classified’ කියන්නේ. ඊළඟ ඉහළ එක, ‘සීමාන්විතයි – Restricted’ එවැනි ලිපි බැලීම, පිළිතුරු ලිවීම, අත්සන් කිරීම කළහැක්කේ ඒ සඳහා බලයලත් අයට පමණයි. ඊළඟ වර්ගීකරණ දෙකක් තියනවා. ‘රහස්‍ය – Secret’. මෙවැනි ලිපි සම්බන්ධව කටයුතු කිරීමේ බලය තිබෙන්නේ, මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරියකුට පමණයි. ඊළඟට තියෙන්නේ ඉහළම වර්ගීකරණය. ‘අතිශයින් රහසිගතයි – Top Secret’. මෙවැනි ලිපියක්, ප්‍රධාන මාණ්ඩලික නිළධාරියකුට සහ ඊට ඉහළ (බලසේනාධිපති, සේනාංකාධිපති, වැනි) නිළධාරියකුට පමණයි පරිහරණය කලහැක්කේ. ඉතින් දැන් අපි මේ හදන්න යන්නේ, අතිශයින් රහසිගත ලේඛනයක්. ඒ වගකීම හිතේ දරාගෙන, මෙතනින් ඉදිරියට කටයුතු කළයුතු බව අමතක කරන්න එපා.

   මෙහෙම හිතන්න. හමුදාවේ මේවගේ සැලැස්මක් හදන වෙලාවට, තමන්ගේ පෙම්වතිය ඔබට දෙනවා දුරකථන ඇමතුමක්. ඔයා හරි නරකයි. මාව බලන්න දැන් මාස දෙකකින් ආවේ නැහැ. මොනාද අනේ අනික් අයට නිවාඩු තියනවා, ඔයාට විතරයි නැත්තේ. කියලා අර  තොඳොල් ස්වරයෙන් (premature ejaculation හැදෙන විදිහට) කියනවා. ඉතින් ඔයාත් ‘ආචාර්ය රන්ගොජා’ වගේ, මෙන්න මෙහෙම උත්තර දෙනවා. අනේ තරහ වෙන්න එපා පැටියෝ. බලන්නකෝ මට මේ මුලතිව් වලට ගහන්න ඔපරේෂන් ප්ලෑන් එකක් හදන්න වෙලානේ. තව සතියකින් විතර අරුන්ට කුඩු යන්න ගහනවා අපි, උන්ගේ මුලතිව් කෑම්ප් එකට. අපි ට්‍රින්කෝ පැත්තෙන් නේවි එකයි, උතුරු පැත්තෙන් ගජබා එකයි. දකුණෙන් එස්.එෆ්. එකයි දාල දෙනවා උන්ට ඇට්ටි හැලෙන්න. ඉස්සර වෙලාම එයාෆෝස් එකෙන් දෙනවා හොඳ බෝම්බ පාරක්.

   ‘නාගසලං සාලවනේ’ කිව්වලු. මුළු ඔපරේෂන් ප්ලෑන් එකේම සාරාංශය කිව්වා නේද? හිතනවද ඔය දුරකථන ජාල වලට කොටියා හොරෙන් ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා? ඒ කාලේ අපි සම්පූර්ණයෙන් තහවුරු කරගත් අවස්ථා තිබුණා, අපේ ඔය ගොන් කතා, කොටියා අහන බව. ඒ වගේම තමයි ඉතින් අර, ‘රෝස පැටික්කි’ ඔය කතාව, එයාගේ හත්මුතු පරම්පරාවටම මගතොටේදී හමුවුනාම මහා හඬින් කියනවා, මගේ ‘මයින පැටියා’ තමයි මුලතිව් වලට ගහන ප්ලෑන් එක හදන්නේ. මෙන්න මෙහෙමයි ගහන්නේ කියලා. සනීපයි නේද? 

සැළැස්ම – PLAN

1. භූමිය – Ground

   මෙතැනදී, කෙටියෙන් එහෙත් අවශ්‍ය තොරතුරු ආවරණය වන ආකාරයට විස්තර කරනවා, මේ සටන සිදුවන්නට යන්නේ කෙබඳු ආකාරයේ භූමි ප්‍රදේශයකද යනවග. භූමියේ ස්වභාවය, නාගරිකද, ගම්බදද, වනාන්තරයකද, සමතලාද, කඳුකරද, ඈත පෙනෙනවාද නැද්ද, බාධා තිබෙනවාද, වැනි.

2. තත්වය – Situation 

   අප විසින්, සිතියම්, චන්ද්‍රිකා පින්තූර, ගුවන් ඡායාරූප, නිරීක්ෂණ ගුවන් ගමන්, ඔත්තු සේවා, මුර සංචාර, මෙකී නොකී ඔක්කොම ක්‍රම වලින් සොයාගෙන තිබෙන පරිදි, දැනට තිබෙන සංග්‍රාමික තත්වය මේකයි. සතුරා මෙහෙම කරන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර අපි පියවරක් ගතයුතුයි. කියා විස්තර කරනවා. 

3. කළයුත්ත – Mission 

   අහවල් දින, අහවල් වෙලාවට පෙර, මෙන්න මේ දේ කලයුතුයි කියා, ඉතා කෙටියෙන්, ඉතා පැහැදිලිව, සඳහන් කරනවා. වටලා පහරදී විනාශ කිරීම/රැකසිට පහරදී විනාශ කිරීම/සතුරු රථ පෙළක් පහරදී විනාශ කිරීම/සතුරු ආයුධ ගබඩාවකට පහරදී විනාශ කිරීම/සතුරා ඉදිකරමින් තිබෙන කඳවුරක්, වරායක්, ගුවන් පථයක්, විනාශ කිරීම.

4. ක්‍රියාපිළිවෙත Execution 

   පියවර වශයෙන් අංක පිළිවෙලින් සවිස්තරව දක්වනවා, මේ ක්‍රියාන්විතය පියවර කීයකින් සමන්විතද, ඒ එක් එක් පියවරේදී කුමන හමුදා පිරිස කුමක් කළයුතුද, ඒ දේ කලයුත්තේ කුමන සීමාවන් යටතේද, යනවග. ඒ යටතේ තව උප කොටස් විස්තර කෙරෙනවා. 

   A. සම්බන්ධිකරණ උපදෙස් – Coordinating Instructions 

   මෙය ඉතා දීර්ඝ විස්තරයක්. මෙහිදී එක් එක් පියවරේදී ආරම්භයේ සිට අවසානය දක්වා කාර්ය භාරය, භට පිරිස් ප්‍රමාණයන්, ඇඳුම, අවි සහ පතරොම්, ආධාරක අවි, කාලතුවක්කු, මෝටාර්, යුද ටැංකි, ගුවන්/ නාවික ප්‍රහාර, ආදී සියල්ල පිලිබඳ වගකීම් පැහැදිලිව විස්තර කර පවරනවා.

   B. අනෙකුත් පාලන කටයුතු 

   මෙහිදී අනෙකුත් අවශ්‍යතා සහ සැපයුම්, මෙන්න මේ අයවලුන් විසින්, මෙන්න මේ දේවල්, මෙන්න මේ වෙලාවට, මෙන්න මේ ආකාරයට, මෙන්න මේ ස්ථානයට සැපයීම / සේවය ලබාදීම කලයුතුයි කියා, විස්තර කෙරෙනවා.  වාහන අවශ්‍යතා, පණිවිඩ හුවමාරු යන්ත්‍ර අවශ්‍යතා, වෛද්‍ය සේවා, ආහාර සැපයීමේ සේවා, ආදිය. 

හොඳයි

පසුගිය ඔක්තෝබර් මස 8 වැනිදායින් පටන්ගෙන 

ඔබ යම්කිසි පාඨමාලාවක් හැදෑරුවා 

සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් යනු කුමක්ද? 

එවැනි තත්ත්ව ඇගයීමකින් අනතුරුව 

සැළැස්මක් සකසා

ක්‍රියාන්විතයක් කරන්නේ කෙසේද යන්න

ඔබ සෑහෙන තරම් සාර්ථකව

අවබෝධ කරගත්තා.

ප්‍රේමපාල සහ කාමිනී

ඔහේ හිටියාවේ.

මා ඒ දෙදෙනා මේ ලිපි මාලාවට සම්බන්ධ කරගත්තේ

මේ ලිපිමාලාව නීරසවීම වළක්වාගෙන

ඔබේ අවධානය තබාගැනීමටයි.  

මිනීමරාගෙන ආදරය ජයගන්නට සිතීම

මුලාවක්, මුග්ධකමක්.

ආදරය කියන්නේ පරිත්‍යාගයක්. 

ආදරය ජයගත යුත්තේ ආදරයෙන්මයි. 

ඉතින් දැන් ඔබට වැටහෙනවා නේද 

සංග්‍රාමයකදී හමුදාව ක්‍රියාකරන්නේ

මොනතරම් අභියෝගාත්මක තත්වයන් යටතේද කියා?

රටේ පුරවැසියන් ලෙස 

ඔබට සම්පූර්ණ නිදහස තිබෙනවා 

හමුදාව විවේචනය කරන්න.

නමුත් 

ඊට පෙර මොහොතක් සිතා බලන්න. 

හමුදාවේ සිටින්නේත් 

ලේ මස් ඇට නහර වලින් සැදුණු 

මිනිසුන් බව.

අනෙකුත් සෑම මනුෂ්‍ය කොට්ඨාශයක් මෙන් 

ඔවුන් අතින්ද වැරදි සිදුවෙනවා.

විවේචනය කරන්න.

ඊට පෙර, කුමක්ද සිදුවී ඇත්තේ කියා

හොඳින් සොයාබලා 

විවේචනය කරන්න.

සොල්දාදුවා කිසිදිනක නොමියේ. 

ඔහු 

කාලය සමග වියැකී යනු පමණි.

my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 12 දින 2351 පැය

Advertisements

Comments on: "කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Five)" (15)

  1. බොහොම ආසාවෙන් ලිපි ටික කියෙව්ව…
    ලොකු දැනුමකුත් ලබාගත්ත, ස්තුතියි සර්.

  2. ඉතාම වටිනා ලිපි පෙළක් විචාරකතුමනි

    • ස්තුතියි ගුණසිංහ මහතාණෙනි. මොකද මේ දවස්වල නිහඬව ඉන්නේ?

      • හදිසියේම අධ්‍යාපන ක්ෂෙත්‍රයට සම්බන්ධ වැඩට කැඳවාගෙන තිබූ නිසා වැඩ ගොඩක හිරවී සිටියා විචාරකතුමනි. ඔබතුමා ඇතුළු විද්වතුන්ගේ බ්ලොග් ලිපි කියවන්නට ලැබුණේත් යමින් එමින් සිටින අතරයි. ඒ නිසා ලියන එක මඳකට පමා කරන්නට සිදු වුනා.

  3. බොහොම වටින ලිපි පෙලක් විචා තුමෝ

  4. //සොල්දාදුවා කිසිදිනක නොමියේ. ඔහු කාලය සමග වියැකී යනු පමණි.

    මේ කතව නම් ඇත්ත විචාරක තුමෝ. ලොකු දැනුමක් එකතු කරගත්තා මේ ලිපි පෙලින්. බොහොම ස්තුතියි ඔබතුමාට.

    ඊළගට ලිපි පෙළ ලියන කොට නම් රාහු කාලේ මග ඇරලා හොද වෙලාවක පටන් ගන්න 🙂

    • ආයේ නම් ලිපියක් ලියන්න පටන්ගන්න කලින් ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහනවා රාහු කේතු එකෙක්වත් මේ පැත්තට ඒම තහනම් කියලා. 😀

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  5. ප්‍රේමවන්තයා said:

    හරිම ආසාවෙන් ලිපි ඔක්කොම කියෙව්වා විචා තුමෝ…. මේක අර ඕන හරකෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු මී හරකට කියවන්න දෙන්න ඕනේ… ඒත් තේරුම් ගනීද දන්නෙ නෑ…..
    Wish you all the best මහත්තයෝ….!!!!!!!!!!!!!

    • ස්තුතියි ඇගයීම ගැන.

      අර හරකට මෙව්වා තේරෙනවානම් ඌ අද මිනිහෙක් විදිහට ඉන්නවා. එහෙම බැරි නිසයි මිනිස් පෙනුමෙන් ඉන්න හරකෙක් වගේ ඉන්නේ.:D

  6. 🙂 කමෙන්ට් වැඩිය නොදැම්මට තාම අපි බ්ලොක් බලනවා…

    පරණ වෙච්ච ක්‍රියාන්විතයක් ගැන ,, කරපු පිළිවෙල ගැන ලියුවොත් නරකද,, එතකොට බොහොම තාත්විකයි නේද..

    • ස්තුතියි ඉඳහිට හෝ මෙහෙම කමෙන්ට් එකක් දැමීම ගැන. එතකොට පරණ දැනහැඳුනුම්කම් ආයෙත් අලුත් වෙනවා.

      පරණ ක්‍රියාන්විත ගැන ටිකක් මතකය අවුස්සන්න වෙනවා නිවැරදි තොරතුරු ගොනුකරගැනීම සඳහා. බලමුකෝ උත්සාහයක් දරලා.

  7. කොටියා අපේ වල්පල් ඇහුවා නං ඒ වල්පල් අස්සෙන්ම සැලසුම් ගහල ගෙන්නාගෙන පඳුරු ගැලවෙන්න දෙන්නත් ඇති මගේ හිතේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: