විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Lovers   කොහොමද සැපදුක්? මාත් එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙන නිසා හිතට බයක් චකිතයක් එහෙම දැනෙනවද? එහෙම නැත්නම්, කවදද ‘ඔපරේෂන් ගර්ල් ලිෆ්ට්’ හෙවත්, කෙල්ල ඉස්සීමේ මෙහෙයුම කරන්නේ කියලා, ඇඟිලි ගනිමින්ද ඉන්නේ……..? ඔපරේෂන් එක සාර්ථක කරගන්න නම්, ඉතා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. නිකං ආවට ගියාට කෙල්ල උස්සන්න ගියොත්, කෙල්ලගෙ පැත්තේ අය, අපේ බෙල්ල ගලෝලා අතට දෙයි, ‘යන ගමන් මේකත් අරං යන්න’ කියලා. අන්න ඒ නිසයි මෙච්චර සවිස්තරව සැළැස්ම හදන්නේ. සමහර අයට මතක නැතුව ඇති මේ කතාවේ කොටස් තුනක් දැනට පළවෙලා තිබෙන බව. නොදන්නා අය වගේම, අමතක අයත්, අලුතෙන්ම දැනගැනීම සඳහා සහ මතකය අලුත් කරගැනීම සඳහා,

පළමුවැනි කොටස මෙතනින්

දෙවැනි කොටස මෙතනින්

තුන්වැනි කොටස මෙතනින්

   බලනවානම් එය පහසුවක් වෙයි. හොඳයි, අපි පසුගිය ලිපියේදී, මේ සැලැස්මේ 10 වැනි කාරණයේ සිට 20 වැනි කාරණය දක්වා, කරුණු සාකච්ඡා කළා. එහිදී විශේෂයෙන් අවධානය යොමුකළේ, අපේ සතුරා මොනවගේ ශක්තියකින් යුක්තද යන්න, අවබෝධ කරගැනීමට සහ ඒ අනුව අපට එල්ලවන අභියෝගයට මුහුණදීම සඳහා ගතයුතු පියවර කුමක්ද, යන්න පිළිබඳවයි. අද එතැන් සිට ඉදිරියට යමු.

21. අදාළ කාර්ය භාරය සඳහා භටපිරිස් තක්සේරු කිරීම  

      Assessment of Troops to Task

1879.2.1 Assembly of Troops before the Battle of Baltimore

a. මේ අවස්ථාවේදී අපට මෙම සංග්‍රාමික කාර්යය සඳහා කොපමණ භට පිරිසක් එක්රැස් කරගත හැකිද? කෑම්ප් එකේ ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම යවන්න බැහැ. එතකොට කෑම්ප් එක බලාගන්නේ කවුද? තුවාල කාරයෝ බලාගන්නේ කවුද? යුද්ද කරන එවුන්ට කෑම ටිකක් උයලා යවන්නේ කවුද? වාහන වලට තෙල් ගහන්නේ කවුද? පණිවිඩ හුවමාරු කරන්නේ කවුද? අමතර අවි පතරොම් බෝම්බ යුද පිටියට යවන්නේ කවුද?

පේනවා නේද රඟේ?

මෙන්න මේ විදිහට පිරිස ගණන් බලනවා.

පාබල භටපිරිස්…………………මෙච්චරයි

ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණු භටපිරිස්………….මෙච්චරයි

සන්නාහ සන්නද්ධ බලකායේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ යුද්ධ ටැංකි කීයක් යොදවන්න පුලුවන්ද කියන එක) ………………ටැංකි මේ මෙම වර්ගයෙන් මෙච්චරයි.

කාලතුවක්කු හමුදාවේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර කීයක සහාය ගන්න පුළුවන්ද කියන එක) මේ මේ වර්ගයෙන් මෙච්චරයි. කාලතුවක්කු සහාය ලැබෙනකොට කෙලින්ම හෝ වක්‍රව ලැබෙන්නේ. ආපහු කියවලා බලන්න.

ඉංජිනේරු භටපිරිස් සහාය ලැබෙනවාද (ඉංජිනේරුවෝ අරං යන්නේ ගෙවල් හදන්න නෙවෙයි. එයාලා අපිට කරන උදව්ව තමයි, අපේ පාබල භටපිරිස්වලට යුදබිමේ ඉදිරියට යාම සඳහා බාධකයන් වන, ස්වභාවික බාධක, ඒ කියන්නේ දිය පහරවල් වලින් එගොඩ වීම, කඳුකර මාර්ග, මඩ වගුරු, වැනි බාධකවල ඇති දුෂ්කරත්වය අවම කරදීම, සතුරා විසින් අටවා ඇති විවිධ මර උගුල්, බිම් බෝම්බ වැනි බාධක ඉවත්කරදීම, අපට ජලය සහ විදුලිය සපයාදීම, සතුරාට අපවෙත එන්නට අපහසුවීම සඳහා හැකිතරම් බාධක ඇටවීම)

අප සතුව මෝටාර් විදිනයන් තිබේද කොපමණක් යෙදවිය හැකිද  ඔන්න දැන් අපි ඔය තක්සේරුව අවසන් කරගත්තා කියමුකෝ. ඊළඟට ඔය පිරිස කොටස් වලට බෙදලා ඒ ඒ කොටසට අයිති කාර්ය භාරය බෙදලා දෙන්න ඕනෙ. අපි හිතමු දැන් කෙල්ල උස්සන්න යනකොට අපේ යාලුවන්ට කාර්ය භාරයක් Task බෙදලා දෙනවා. කාර් එක එලවන්නේ උඹ, බයික් එක පදින්නේ උඹ, ත්‍රී වීල් එක එලවන්නේ උඹ. මුලින්ම කෙල්ලගේ ගෙදර තාප්පෙන් පනින්නේ උඹ, කෙල්ලගේ ගෙදර ඇතුලේ ඉඳලා, අපිට ගහන්න එන එවුන්ට ගහන්නේ උඹලා, කෙල්ලගේ ගෙදර අයගේ ආධාරයට කවුරුහරි පිටින් එනවානම්,   මග රැකලා උන්ට ගහන්නේ උඹලා. දැන් තේරුණා නේද වැඩේ. යුද්දෙදි වෙන්නේ මෙහෙමයි.

a. ඉලක්කය අත්පත් කරගැනීමේ capture කණ්ඩායම

b. සතුරාගේ ආධාරයට එන භටපිරිස් වලට රැක සිට පහරදෙන කණ්ඩායම/කණ්ඩායම් Blocks/Cut offs 

c. මෝටාර්/බර මැෂින් තුවක්කු ආදිය රඳවා තබන ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන කණ්ඩායම Secure of Fire Base (මෝටාර්, දුර වදින ලොකු මැෂින් තුවක්කු අපි අල්ලගන්න යන ඉලක්කය ළඟටම ගෙනියන්න ඕනෙ නැහැ. දුර ඉඳලා වැඩේ දෙන්න පුළුවන්. ඉතිං ඒවා රඳවා ගන්න ස්ථානයට ආරක්ෂක භට පිරිසක් ඕනෙ . ඒවා ක්‍රියාකරවන අයගේත් ඒ ආයුධවලත් ආරක්ෂාව සඳහා) 

d. ආරම්භක ස්ථානය ආරක්‍ෂා කිරීම – Secure FUP (යුද්දෙදි තියනවා Forming Up Place = FUP කියලා එකක්.  එතන සමහරවිට සතුරා ඉන්න තැනට මීටර් හාර පන්සීයකටත් වඩා අඩු දුරකින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සද්ද නැතුව එතනට කිට්ටු කරලා, සියලුම අවි ආයුධ, ප්‍රහාරක කණ්ඩායම් නැවත පරීක්ෂා කරනවා. ප්‍රහාරය ආරම්භ කරන්නට ආසන්න ඒ මොහොතේ අපි ඉන්නේ අනාරක්ෂිතව. අපි ප්‍රහාරය එල්ල කරන්න ඉස්සරවෙලා සතුරා අපිව දැක්කොත්/දැනුනොත් අපිට හොඳටම ගහනවා. ඒ නිසා FUP එක රැකගන්න වෙනම පිරිසක් යනවා)

e. සටනේදී වෙනත් දෙසකින් පැමිණ අපට එකතුවන අපේ පිරිස් – link up forces මතකද එල්ටීටීඊ යුද්දෙදි රූපවාහිනියෙන් පෙන්නුවා, අපේ භටපිරිස් පැති කීපයකින් සතුරාට පහරදීගෙන, යටත් කරගෙන ඇවිල්ලා, අන්තිමට එකිනෙකා හමුවෙලා සතුටුවෙන හැටි. අන්න ඒ වුණේ link up forces එකතුවීමයි.  අවශ්‍ය අවස්ථා වලදී මෙවැනි භටපිරිස් යෙදවිය යුතුයි. 

f. අතිරේක භටපිරිස් Reserves අපි බලාපොරොත්තු නොවන අවස්ථා වලට හදිසියේ මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. අපි කලින් දැන නොසිටි සතුරු කණ්ඩායම් අපිට ප්‍රහාර එළ කරන්න ඉඩ තියනවා. එහෙමත් නැත්නම් සතුරාගේ ප්‍රතිප්‍රහාර අපි හිතා හිටියාට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී ප්‍රයෝජනයට ගන්න අතිරේක භට පිරිස් වෙනමම සූදානම් කර තබනවා.

g. පැති ආරක්ෂාව – Flank Protection සටනට මුහුණ දෙන අපේ ප්‍රධාන භාටපිරිසට දෙපැත්තෙන් එල්ල වියහැකි ප්‍රහාර වැළක්වීමේ කන්ඩායම්

h. රැවටිල්ලෝ 😀 – Deception සතුරාගේ අවධානය වෙනත් අතකට යොමුකරවාගෙන අමගින් අපේ අරමුණ ඉටුකරගැනීමට වාසියක් අත්වන ආකාරයේ ක්‍රියා. උදාහරණයක් වශයෙන්, අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ගහන්නයි යන්නේ. නමුත් අපේ ප්‍රධාන ප්‍රහාරය එල්ල කිරීමට පෙර අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ආසන්න වෙනත් කුඩා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරනවා. එවිට සතුරාගේ අවධානය ඒ වෙතට යොමුවෙනවා. ඒ අල්ලපනල්ලේ අපි අපේ වැඩේ දෙනවා.

j. (i අකුර මේ සැලැස්මේදී යොදන්නේ නැත. එය සම්ප්‍රදායකි) ඉංජිනේරුවන්ට ලබාදෙන කාර්ය භාරය. සතුරු බිම්බෝම්බ ඉවත් කිරීම, සතුරු යුද ටැංකි නාශක බිම්බෝම්බ සවි කිරීම, සතුරු කඳවුරේ බාධක පුපුරවා හැරීම වැනි කරුණු.

k. තුවාලකරුවන් යුදබිමෙන් ඉවත්කර ගැනීම Casualty Evacuation = Casvac මේ සඳහා වෙනමම කණ්ඩායමක් යොදවනවා. ඔවුන් නොපමාව තුවාල කරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර දී, තුවාලකරුවන්ව යුදබිමේ පසුපසට ගෙන ආ යුතුයි. එහිදී වෛද්‍ය බලකාය තුවාලකරුවන් බාරගන්නවා.  

දැන්, මේ කාර්යය සඳහා අවශ්‍ය භටපිරිස් වල එකතුව මෙච්චරයි කියලා ගණනය කරනවා. 

22. සැකසුම් – Deductions 

   මෙතැනදී නැවත සිතා බලනවා, තවත් අතිරේක භටපිරිස් කාලතුවක්කු/යුද ටැංකි/ගුවන් ප්‍රහාර/ ආදිය අවශ්‍යද කියා. අවශ්‍යනම් ලබා ගැනීමට ක්‍රියාකළ යුතුයි.

23. කාලය සහ අවකාශය Time and Space 

   ඔක්කොම සැලසුම් අවසානයේ කාල ගණනයක් කලයුතුයි. එය ඉතා වැදගත්. කාලගණනය වරද්දා ගත්තොත් සම්පූර්ණ ක්‍රියාන්විතයම අවුල් වෙන්න පුළුවන්. එහිදී යොදාගන්න ක්‍රමවේදය මෙන්න මේකයි.

a. ඉදිරියට ඇති උපරිම කාලය – Time Available

(මෙය බලන්නේ මෙන්න මෙහෙම)

1. දැන් වෙලාව

2. ඉලක්කය(මතකනේ මේ කතාවේ මුලදීම කිව්ව අරමුණ. අන්න ඒක)……….දින …………..වෙලාව වනවිට සම්පූර්ණ (අත්පත්) කරගත යුතුයි

3. සියලු කටයුතු සඳහා ඉතිරිව ඇති කාලය

4. දිවා කාලයේ කොපමණ පැය ගණනක් තිබේද?

5 රාත්‍රී කාලය කොපමණ තිබේද?

b. ඉදිරි කාල ගණනය – Forward Calculation 

1. අණදෙන නිලධාරි වරුන් විසින් නිරීක්ෂණ සංචාර කොට, සැලසුම් සකස් කර, භටපිරිස් වලට ක්‍රියාන්විතය සඳහා සූදානම්වීමේ නියෝග ලබාදීමට ගතවන කාලය.

2. ඒ ආකාරයටම කණ්ඩායම් භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය.

3. ඒ ආකාරයටම ඛණ්ඩ භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය

4. දැන් අපි සිටින ස්ථානයේ (අපේ කඳවුර වෙන්නත් පුළුවන්, යුද බිමේම තැනක් වෙන්නත් පුළුවන්) ඉලක්කය සපුරා ගන්නාතුරු කලයුතු සියල්ල සඳහා ගතවන කාලය

5. FUP ස්ථානයේ කොපමණ වෙලාවක් ඉන්නට සිදුවේද. (FUP එකේ පදිංචි වෙන්න බැහැ. එතැනදී කරන්නේ ඔක්කොම හරිද කියලා නැවත පරීක්ෂා කරන එකයි. එතනින් ඉදිරියේ තියනවා Start Line = SL කියලා එකක්. ඒක සමහරවිට සතුරු ඉලක්කයට මීටර් 100ක් වත් දුර නැති තැනක් වෙන්න පුළුවන්. එතන ඉඳලා තමයි එකපාරට වෙඩිතියාගෙන කඩා බිඳගෙන ඉදිරියට දුවන්නේ. ඉතිං FUP ඒකෙදි අනවශ්‍ය සද්ද බද්ද කළොත් වැඩේ දෙල් වෙනවා. SL ඒකෙදි ඊටත් වඩා සැලකිලිමත් වියයුතුයි)

6. ක්‍රියාන්විතයට පිටත් වුනාම FUP එකට යාම සඳහා කොපමණ කාලයක් ගතවේද?

7. FUP එකේ සිට SL එක දක්වා යන්නට කොපමණ වෙලාවක් ගතවේද?

8. වෙඩිතියාගෙන කුඩු පට්ටම් කරගෙන සතුරු ඉලක්කය හරහා ගොස් අවසන් කරන්නට කොපමණ වෙලාවක් ගතවේද?

c. ආපසු ගණනය – backward Calculation 

දැන් අගසිට මුලට ආපසු ගණනය කර බලනවා කාලය සමානද කියලා. 

සතුරා විසින් ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ග

 Enemy Courses 

   
   MV5BMTc2NTU3MzUxNl5BMl5BanBnXkFtZTcwOTM4OTMyMQ@@._V1_SX214_AL_කෙල්ලගෙ පැත්තේ ඉන්නේ නිකම්ම නිකං බබාලා නෙවෙයිනේ. උනුත් ඕනෙම දෙකට ලෑස්තිවෙලයි ඉන්නේ. සතුරු ප්‍රහාර වගේම රැවටිලි කරන්නත් පුළුවන්. කොහොමද ඉතාම දක්ෂ වේශ නිරූපන ශිල්පියකු මගින්, කෙල්ලගේ ආච්චි අම්මව, කෙල්ල වගේම පෙනෙන්න වේශ නිරූපනයක් කරලා, අපිට පහසුවෙන් අරං එන්න පුළුවන් විදිහට තිබ්බොත්? අපි මගට ඇවිත් බලනකොට වහකන්නනේ සිද්ද වෙන්නේ. ඒ නිසා, අපි නැවත වරක් සලකා බලනවා, අපේ ක්‍රියාන්විතයට එරෙහිව, සතුරා විසින්, කෙබඳු ක්‍රියාමාර්ග ගනීද යන කාරණය. එහිදී සතුරා විසින් ගනු ඇතැයි සිතන සෑම ක්‍රියාමාර්ගයක් ගැනම වෙන වෙනම විශ්ලේෂණයක් කරනවා. 

25. සතුරු ක්‍රියාමාර්ගය (අ) – Enemy Course (a)

   සියලු ආධාරක භටපිරිස් ගෙන්වාගෙන, කාලතුවක්කු/මෝටාර් වැනි ආධාරක සේනා/ආයුධ සහයත් ලබාගෙන, සතුරා, තමන් සිටින ස්ථානය රැකගැනීම සඳහා, දීර්ඝ සටනකට අවතීර්ණ විය හැකිය. (කාමිණීගේ බාප්පාගේ යාළුවො/වැඩපොළේ යාළුවො/ගමේ යාළුවො ඔක්කොම ගෙන්වාගෙන, අපිට අම්බානක නෙලන්නට ඉඩතිබේ)

විශ්ලේෂණය කලයුතු කරුණු;

a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව

b. ප්‍රතිඵල/බලපෑම්

ඒ අනුව සලකා බලනවිට;

1. අපේ ප්‍රහාරය අවුල් කිරීමට සතුරාට හැකිවේ.

2. අපිට සිදුවන හානි බරපතල වියහැකිය.

26. සතුරු ක්‍රියාමාර්ගය (ආ) – Enemy Course (b)

   අපි ඉලක්කය වෙත ළඟාවීමට පෙර සතුරා අපට රැකසිට පහරදීම්, වෙනත් පැති ප්‍රහාර එල්ල කර, අපව අධෛර්යයට පත්කර, පසුබැසීම සඳහා අපිව යොමුකිරීමට ඉඩ ඇත. (අපි නුගේගොඩ දේවාල පාර කිට්ටුවට එන්නත් කලින්, වෙන තැනකදී මග රැකසිට අපිට වැඩක් දෙන්නට ඉඩ තිබේ) 

a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව

b. ප්‍රතිඵල/බලපෑම්

ඒ අනුව සලකා බලනවිට;

1. අපේ ප්‍රහාරය ප්‍රබල ලෙස අවුල් කිරීමට සතුරාට නොහැකිවේ.

2. අපිට සිදුවන හානි බරපතල නොවියහැකිය.

   නමුත් හීන ලෝකයක ජීවත්වීමෙන් පලක් නැත. යුද්ධයේදී හීන මැව්වොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. ඒ නිසා අපි සිතිය යුත්තේ, සතුරා ඉහත අංක 25 යටතේ දක්වා ඇති ක්‍රියාමාර්ගය ගනු ඇතැයි කියායි. 

   දැන් මොකද කරන්නේ?

කරන්න දෙයක් නැහැ.

ලිපියේ ඊළඟ කොටස එනතුරු,

බොහොම කල්පනාවෙන් ඉන්න. 

my-signature-for-blog[1]   2014 නොවැම්බර් මස 04 වැනි දින 0050 පැය

Advertisements

Comments on: "කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (හතරවැනි කොටස) – Battle Appreciation and Plan (Part Four)" (29)

  1. මොකද I නැත්තේ ? කියන්න පුළුවන නම් කියන්න බලන්න

  2. අර කෙල්ලව පැහැර ගන්න හැටි ගැන කියල තියෙන හින්දමයි මම මේ ලිපි ටික කියවන්නේ. කියන්න බෑනේ අනාගතේදි ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්නෙ.

  3. ඉන්ජිනේරු, වෛද්‍ය වැනි විශේෂිත පුහුනුව ලැබූ පාබල සෙබලුන් ලාංකාවේ සිටිනවාද?

    ප්‍රහාර වැඩි දුර එල්ල කරන්නේ උදේ පාන්දර (1 හා 4 අතර වගේ) හෝ හිරු නැගෙන හා බසින් වේලාවේ (twilight zone) කියා අසා තිබෙනවා (ලුතිනන් ක’නල් සුසන්ත සෙනෙවිරත්න එසේ කියා තිබුනා.).

    මි.මී. 60, 81 හා 120 වැනි මෝටාර් අයත් වන්නේ පාබල හමුදාවටද කාලතුවක්කු රෙජිමේතුවටද?

    • බොහොම ස්තුතියි ප්‍රස්තුතයට අදාලව බුධිමත් ප්‍රශ්න කීපයක්ම ඇසීම පිළිබඳව.

      ඉංජිනේරු සහ වෛද්‍ය පමණක් නොවේ අනෙකුත් සෑම (තොරතුරු තාක්ෂණ, ගණකාධිකාරී, නීති, කෘෂිවිද්‍යා, සහ තවත්) ක්ෂේත්‍රයකම උපාධිධාරීන් නිළධාරීන් ලෙස කෙලින්ම ත්‍රිවිධ හමුදාවට බඳවා ගන්නවා. ඒ ඒ ක්ෂේත්‍රවල සිටින සෙබළුන්ටත් අදාලවන පරිදි පුහුණුව දෙනවා. උදාහරණයක් වශයෙන් රජයේ හෙදි පුහුණුවට සුදුසුකම් තියන අය හමුදාවට බඳවාගෙන රජයේ හෙද පුහුණු විදුහලකම පුහුණුව ලබාදී අවසානයේ හමුදාවේ කෝප්‍රල් වැනි නිලයකට බඳවා ගන්නවා. විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් පවා ඉන්නවා. ඉංජිනේරු, සංඥා, වැනි රෙජිමේන්තුවල තෝරාගත් සෙබළුන්ට විදේශ පුහුණුව පවා ලබාදෙනවා. සමහරුන්ට අනාගතයේදී තම සුදුසුකම් මත නිලධාරියකු බවට පත්වීමටත් අවකාශ තියනවා.

      සාම්ප්‍රදායික යුද ක්‍රම වලදී බොහෝවිට ප්‍රහාර එල්ල කරන්නේ අලුයම් කාලයේදී හෝ රාත්‍රිය එළඹෙන මොහොතේදී. ඒ වෙලාවලට බොහොමයක් කඳවුරුවල ආරක්ෂාව පිලිබඳ අවධානය අඩුවෙන් තිබෙන්නේ යන පොදු පිළිගැනීම නිසයි එහෙම කරන්නේ.

      මිමී 60, 81, 82, යන මෝටාර් ඉස්සර ඉඳලම සෑම පාබල බලඇණියකම පාවිච්චි කරනවා. මිමී 120 ගෙනාව කාලේ පාවිච්චි කලේ කාලතුවක්කු හමුදාව විසින් පමණයි. නමුත් පසුකාලයේදී අවශ්‍ය පුහුණුව ලබාදී තෝරාගත් පාබල බලඇණි වලටත් දුන්නා.

  4. මේ ප්‍රශ්නයට ඔබට කොතරම් දුරකට උත්තර දෙන්න හැකි වේවිද දන් නෑ මොකද මේවා රහසිගත විය හැකි නිසා.

    1995-2000 අතර කාලයේදී LTTE ය ලබා ගත් සාර්ථකත්වයට හේතු විදිහට ඔබ දකින්නේ මොනවාද?

    1996 මුලතිවු කඳවුරට එල්ල වූ ප්‍රහාරයට පෙර එසේ ප්‍රහාරයක් එල්ල වන බවක් ඒ කඳවුර සිටින අයට දැනී තිබුන බවක් ක’නල් සෙනෙවිරත්නම කියා තිබුනා ලඟදී (due to sudden increase of enemy activity). මෙහි අපිට නොකියන තව පැත්තක් තිබෙනවාද?

    • කිසිම රහසක් නැහැ. 1995 – 2000 කාලයේ එල්ටීටීඊ එක ලබාගත්ත විශේෂ සාර්ථකත්වයක් නැහැ. ඒ කාලය ඇතුලත අපි යුදහමුදා පොතේ කියලා තියන විදිහට නැතුව දේශපාලන කාලසටහන් වලට ගියා. විශේෂයෙන් එවකට හිටිය නියෝජ්‍ය ආරක්ෂක ඇමති රත්වත්තේ අතිපන්ඩිත වැඩ කළා. අපිට ආවරණය කරගන්න බැරිතරම් විශාල භූමි ප්‍රදේශයක් එයට ප්‍රමාණවත් නොවන භට පිරිසක් යොදවා රැකගන්න ගියා. ඒ ආරක්ෂක වලල්ලේ දුර්වල තැන්වලට කොටි ඉතා පහසුවෙන් පහර දුන්නා.

      මුලතිව් ප්‍රහාරයෙන් පස්සේ ඒ ගැන යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පැවැත්වුවා. එයින් අපේ දුර්වල තැන් හෙළිවුණා. එවැනි දේ යලි සිදුනොවීමට අවශ්‍ය පියවර ගත්තා. අපේ එකෙක් ලොකු පාවාදීමක් කරලා තිබුනා. ඌ කොටින්ගේ පැත්තට ගියා (ද්‍රවිඩ ජාතික නිලධාරියෙක්) යුද්දේ දිනුවට පස්සෙවත් ඒ ද්‍රෝහියාට වෙච්ච දෙයක් දැනගන්න ලැබුණේ නැහැ.

      • නමුත් 1998 කිලිනොච්චිය, 2000 අලිමංකඩ වගේ තැන් වලදී ප්‍රමානවත් භට පිරිසක් සිටියදීත් ඒ තැන් රැක ගන්න නොහැකි උනා නේද?

  5. “ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණු භටපිරිස්” කියලා කියන්නේ කාටද? සාමන්‍ය පාබල සෙබලුන්මද? නැත්නම් කොමාන්ඩෝ විශේෂ බලකාය වගේද?

    • යුද්දයකදී සාමාන්‍ය පාබල සොල්දාදුවන්ට අමතරව සකස්කරගන්නවා විශේෂ පුහුණු ප්ලැටූන්. අන්න ඒවා සහ SOP = Stranded Operation Procedure සඳහා සැකසු කන්ඩායම්.

  6. j. (i අකුර මේ සැලැස්මේදී යොදන්නේ නැත. එය සම්ප්‍රදායකි)

    ඔන්න ඔන්න එහෙම සම්ප්‍රදාය කියලා මගෙන් බේරෙනවා බොරු, මේකට හේතුව සොයා බලා නැතිද?

    • අයි අකුර මං දන්න අහෙටියට ගොඩක් අවස්තාවලදි මග හරිනවා. ගුවන්යානයක ආසන අංක වල අයි නැහැ. . අංගන වල ස්ථාන නම් කිරීමේදී(වරාය අංගන වල ගුදම්වල එහෙම) අයි අකුර යොදන්නේ නැහැ. මං දන්න හැටියට හේතුව මේකයි.. අයි අකුර 1 ඉලක්කම එක්ක පැටලෙන්න පුළුවන්.. අයි 1 (i1 ) 11 හැටියට පෙනෙන්න පුළුවන්.. ඔන්න ඕකයි මං හිතන්නෙ..

    • මම හොයලා බලලා නැහැ. සරත් ලංකාප්‍රිය කියනවා වගේ හේතුවක් වෙන්න පුළුවන්.

  7. සර් ඊලග කොටසත් ඉක්මනට ලියන්න ශ්‍රී ලංකා හමුදාවේ 58 වන සේනාංකය 48 වන සේනාංකය කියන්නේ මොකද්ද.කොමාන්ඩෝ බලකාය මගින් හමුදාවට සහයෝගය දෙන්නේ කොහොමද

    • ඇයි දරුවෝ, මම ඔය බ්‍රිගේඩ්, ඩිවිෂන්, ඔක්කොම ගැන ලිව්වනේ ලිපියක්.

      බලන්නකො මෙන්න මෙතනින්

      කොමාන්ඩෝ භටයන් විශේෂඥ පුහුණු අය. සාමාන්‍ය සෙබළකුට වඩා ක්‍රියාන්විත ශක්තිය අතින් ඉහලයි. සාමාන්‍ය භට පිරිසකට අභියෝගයක් වියහැකි අවස්ථා වලදී කොමාන්ඩෝ සහ විශේෂ බලකාය යොදාගන්නවා.

      • ලංකාවෙ වාහන ලියාපදිංචියේදිත් අයි අකුර මුලට යෙදුවෙ නෑ නේද…මට හිතෙන්නෙ අයි අකුර වෙනස් කරන්න පහසු නිසා යොදා ගන්න නැති බවක්…කථාවට කියනවා කොච්චර වියදම් කරලා හැදුවත් දොස්තරලා ඉංජිනේරුවො උනත් අවශ්‍යතාව අනුව පෙරමුණට යා යුතු බවක්…හැබෑටම එහෙම යවපු අවස්ථා තියෙනවද ?

        • ඉස්සර ලොතරැයි ටිකට් වලත් අයි අකුර තිබුණේ නැහැ. පහසුවෙන් වෙනස් කරලා තෑගී ගන්න උත්සාහ කරන නිසාලු. (දැන් වගේ පරිගණක යුගයට පෙර)

          ඉංජිනේරු බලකාය කියන්නේ යුද බිමේ ඉස්සරහින්ම යන අය. එතැනදී එයාලගේ උගත්කම නෙවෙයි කාර්යභාරය තමයි වැදගත් කොට සළකන්නේ.

          වෛද්‍ය බලකාය යවන්නේ සටන් බිමේ පසුපස කෙලවරට. සතුරු ප්‍රහාර වලට ලක්වෙන්න ඉඩ තියනවා. ලක්වුණු අවස්ථාත් තියනවා. නමුත් කෙලින්ම සටන් කිරීමේ රාජකාරියේ යොදවන්නේ නැහැ. වෛද්‍ය බලකායට අවි පරිහරණය තහනම්.

  8. හැමදාම වගේ අදත් කතාවේ හොදම හරියට එනකොට විචාරකතුමා නැවත්තුවනේ. ප්‍රශ්න කීපයක් තියනවා විචාරක තුමාගෙන් අහගන්න. අනිත් කමෙන්ට් 1 කින් ඒ ගැන දාන්නම්. නියම ලිපියක්.

    ස්තුතියි විචාරකතුමාට

  9. මෙහෙයුම පැය කීපයකට වඩා යනවානම් ආහාර හා ජලය අරන් යනවද? මොනවාද අරන් යන ආහාර පාන වර්ග? සාමාන්‍යයෙන් සෙබලෙක් කොතරම් පතුරම් අරන් යනවාද?

    • පැය නෙවෙයි දවස් ගණන් යන ඒවා තියනවා. සාමාන්‍යයෙන් පැය 72 ක් තමා සොල්දාදුවකුට ආහාර පැකට් වලින් ජීවත් වෙන්න ඉඩදෙන්නේ. ඊට පස්සේ බෙල්ල කඩාගෙන හරි, බත්ටිකක් උයලා යවනවා රස්නෙන් කන්න .

      සලාක පැකට් තියනවා පිටරටින් ගෙන්වන ඒවා වගේම ලංකාවේ හදන ඒවාත්. රටඉඳි, බිස්කට්, අධි පෝෂණ චොක්ලට්, චීස්, වැනි දේවල් අඩංගුයි. විශේෂ පැකට්වල තියනවා කලින් උයා විජලනය කළ, එළවළු, මස්, මාළු අඩංගු බත් පැකට්. ඒවා විශේෂ ඊයම් කොළ පැකට්වල දමා තිබෙන්නේ පැකට්ටුවට ආවරණ දෙකක් තිබෙනවා. ආවරණ දෙක අස්සට වතුර දැම්මම රසායනික ප්‍රතික්‍රියාවකින් කෑම රත්වෙනවා. එහෙම නැත්නම් සොල්දාදුවාගේ කෑම භාජනය හෙවත් ‘මෙස් ටින්’ එකේ දාලා ගින්දරට අල්ලා කෑම රත්කරගන්න පුළුවන්.

      සොල්දාදුවාගේ අතේ තියන T 56 තුවක්කුවට මැගසින් 4 ක් තියනවා. එක මැගසින් එකක පතරොම් 30 ක් තියනවා. ඊට අමතරව සොල්දාදුවා අතේ තවත් පතරොම් 240 ක් තියනවා. පුරවන ලද මැගසින් හෝ පතරොම් ලබාදෙන කණ්ඩායම් යුද බිමේ පසුපස සිට නිරතුරුවම ඉදිරියට පතරොම් එවනවා.

    • ඇමරිකාවේ භාවිතා කරන MRE අපි පාවිච්චි කරනවාද?

      http://en.wikipedia.org/wiki/Meal,_Ready-to-Eat

      සාමාන්‍යයෙන් මේ මෙහෙයුමකට අරන් යන පැක් එක කොච්චර බරද? අර විශේෂ බලකාය ගැන පොතේ තිබුනා දවස් විස්සක දිගු දූර මෙහෙයුමකට කිලෝ 40 පැක් එකක් අරන් යනවා කියලා.

      • ඇමරිකන් හමුදාව වෙනුවෙන් නිපදවන ලද ඒවා නම් මම දැකලා නැහැ. නවසීලන්තයේ නිෂ්පාදිත බත් පැකට් පාවිච්චි කරනවා. කොමාන්ඩෝ සහ විශේෂ බලකාය වෙත නිකුත් කරන අධිපෝෂණ චොකලට් විශේෂය ඇමරිකානු හෝ බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක්. කිලෝ 40 ක් ම නෙවෙයි ඊට ආසන්න ගණනක බර ගෙනියනවා.

        • ඔබතුමා පලකල ඡායාරූප වල මුල් එකේ තිබෙන දුඹුරු පාට පැකට් වර්ගය තමා ඇමරිකාවේ භාවිතා වන්නේ. බලන්න ඒවායේ Meal ready to eat කියා ලියා තිබෙනවා. ebay වල මේවා විකිනීමට තබා තිබෙනවා.

          • ඇත්තටම මේ වගේ අහාර පැකට් අපේ රටේ විවෘත වෙළඳපොළට හඳුන්වාදෙන්න පුළුවන් නම් බොහොම හොඳයි. මොකද ඔය ඈත දුෂ්කර ප්‍රදේශ වල ත්‍රාසජනක චාරිකාවල යෙදෙන අයට මේවා බොහොම ප්‍රයෝජනවත්. නමුත් මම දන්නා තරමින් මේවා සහ අධිපෝෂණ චොකලට් ලංකාවේ විවෘත වෙළඳපොලේ නැහැ. ඒ එක චොකලට් කෑල්ලක තියනවා කිලෝ කැලරි දහස් ගණනක ශක්තිය.

            • ඇමරිකානු රජයෙන් සැපයූ ආහාර පැකට් විකිනීම තහනම් උනත් මේවා නිපදවන් පුද්ගලික සමාගම් වලින් ඒවා මිලදීගතහැකි බවයි දැන ගන්නට ලැබුනේ. ebay වල ඇත්තේ වෙනත් ක්‍රම මගින් ලබා ගත් ඒවාලු 😉
              හර
              ebay වල නම් පැකට්ටුවක් ඩොලර් 10-20 අතර මිලකට තිබෙනවා.

              http://www.ebay.com/sch/i.html?_from=R40&_trksid=m570.l1313&_nkw=mre&_sacat=0

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: