විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අපේ පන්සලේ සෙල් පිළිමය


   මතකද මම මීට ටික කලකට පෙර ඔබට කිව්වා අපේ පන්සලේ හදන සෙල් පිළිමය ගැන? මතක නැත්නම්, මෙතනින් බලන්න පුළුවන්. මේ පිළිමය නිමකරන්නට, තවත් වසරක් දෙකක් පමණ ගතවනු ඇති බවත්, මා එහි සඳහන් කළා. ඒ ලිපිය ලිව්වේ, මේ වසරේ මාර්තු මාසයේදී. සමහර අය මගෙන් අහලා තිබුණා, එහි වර්තමාන තත්වය කෙබඳුද කියා. එමෙන්ම මේ පිළිම කර්මාන්තයට, අපේ බ්ලොග් හිතවතෙක්, විශාල ආධාරයක්ද කළා. ඔහු ප්‍රසිද්ධියට අකමැති නිසා, නම සඳහන් කරන්නේ නැහැ.

   ඇත්තටම අවංකවම කියනවානම්, මේ ලිපිය ලියන්නෙත්, මේ කාර්යයට ඔබෙන් යම් ආධාරයක් බලාපොරොත්තුවෙන්. එයට ප්‍රධාන හේතුව වන්නේ ඒ සඳහා වැයවන විශාල පිරිවැය සෙවීම සඳහා දායක සභාවේ සියලු දෙනා තමන්ට හැකි සෑම අයුරකින්ම උත්සාහ දරන්නට අධිෂ්ඨාන කරගෙන සිටින නිසයි. මට ඉන්න වැදගත් සම්පතක් ඔබ සියලු දෙනා. ඉතිං ඔබට මේගැන කියන්නේ ඒ නිසයි. මම දැනට සෑම මාසයකම මගේ විශ්‍රාම වැටුපෙන් මේ සඳහා ආධාර මුදලක් ලබාදෙනවා. පිළිමය අවසන් කලත් නැතත්, සෑම මසකම ඒ මුදල (හැකිවුනොත් වැඩි කරමින්) මාගේ මරණය සිදුවනතුරු, පන්සලට ආධාර වශයෙන් දෙන්නට මා ඉටාගත්තා. යුදහමුදා සේවාමුක්ත භට සංගමයෙන්, මා මියගිය දිනක ලැබෙන මරණ පාරිතෝෂිකයෙන්ද කොටසක්, පන්සලට ආධාර වශයෙන් දෙන ලෙස, මා මගේ පවුලේ සැමට කියා තිබෙනවා.

   මේ විස්තරය වචන වලට වඩා පින්තූර වලින් කීම වඩාත් හොඳ බව මට පෙනීගිය නිසා මෙතැන් සිට හැකිතරම් පින්තූර එකතු කරනවා මේ ලිපියට. මුලින්ම පෙන්නන්නම් අපේ පන්සල තියෙන්නේ කොහේද කියා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අමුණුගම කියන ග්‍රාම සේවා නිලධාරි වසමේ තමයි, අපේ පන්සල පිහිටා තියෙන්නේ. හැබැයි අපේ පන්සල ගැන තියන පුදුම සහගත තොරතුරක් තියනවා. ඒ තමයි ඔය කිව්ව ග්‍රාම සේවා නිලධාරි වසමේ පදිංචි කිසිවකුත්, අපේ පන්සලේ දායකයන් නොවීම. හරි පුදුමයි නේද? මේකයි හේතුව. බලන්නකො මේ සිතියම. 

Screenshot (14)

   අපේ පන්සල අසළින්ම ගලන ඔයක් තියනවා මගුරු ඔය කියලා. මේ ඔය ගලන්නේ ආසන්න වශයෙන් වයඹ – ගිනිකොණ දිශාගතව. ඉතින් මේ ඔයට දකුණෙන් පිහිටි ප්‍රදේශය අයිතිවෙන්නේ, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට. උතුරෙන් පිහිටි ප්‍රදේශය අයිතිවෙන්නේ, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට. සියලුම දායක පවුල් පදිංචි වෙලා ඉන්නේ, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. පන්සල පිහිටි ප්‍රදේශය තරමක් වනගත ප්‍රදේශයක්. එහි ජනාවාස නැහැ. ඒකයි එහෙම වෙන්න හේතුව. මේ බලන්න අපේ පන්සල කොච්චර නිස්කලංක තැනකද තියෙන්නේ කියලා. සිතියමේ මගුරු ඔය පෙනෙන්නේ නැති නිසා මම ඒක ඇන්දා.

Screenshot (13)

පන්සලේ තවත් පින්තූර ටික බලන්නකො පරිසරය කොහොමද කියලා බලාගන්නත් එක්ක.

2

3

4

5

6

7

8

10

   අපේ පන්සල බොහොම පුංචි, ලස්සන පන්සලක්. තව අඩුපාඩු ගොඩක් තියනවා හදාගන්න. අපට තවම ධර්ම ශාලාවක් නැහැ. දාන ශාලාවම තමයි ධර්ම ශාලාව ලෙස පාවිච්චි කරන්නේ. එහෙත් එහි එකවර 30 – 40 කට වඩා බිම වාඩිවෙන්න ඉඩකඩ නැහැ. කඨින පිංකම දවසට හාමුදුරුවරු 25 නමක් විතර වැඩියොත්, දානේ පිළිගන්වන්නත් අමාරුයි.  නමුත් අපි කොහොමහරි ඒ වැඩටික සංවිධානය කරගන්නවා. අපිට බොහෝ කාලයක් තිබුණේ පුංචි බුදු මැදුරක්. එතන එක වරකට හත් අට දෙනෙකුට වඩා, බිම වාඩිවෙලා වන්දනා කරන්න ඉඩ තිබුණේ නැහැ. පෝය දවසට මෙතන විශාල තදබදයක් ඇතිවෙනවා. මේ පහළ පින්තූරයේ තියෙන්නේ ඒ පුංචි බුදු මැදුර.

11

   අපිට විශාල ගැටළුවක් ඇතිවුණා, කොහොමද මේ බුදු මැදුර ලොකු කරන්නේ කියලා. මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා දායක සභාවේදී. නමුත් විසඳුමක් ඔලුවට ආවේ නැහැ. මොකද බුදු මැදුර ඉදිරිපිට තියෙන්නෙත් ගල් තලාවක්. එහි කෙලවර ප්‍රපාතයක්. (අපේ පන්සල තියෙන්නේ කඳු මුදුනක, ගල් කුළු බහුල ප්‍රදේශයක) හැම මාසෙම පන්සලට දානේ අරං ගිහින්, මේ බුදු මැදුරට බුද්ධ පූජාව තියලා, හාමුදුරුවෝ කියන ගාථා කිව්වට, මගේ ඔලුවේ වැඩ කරන්නේ වෙන අදහසක්. ‘අනේ මේ බුදු මැදුරට පිටිපස්සෙන් තියන ගල් පර්වතයෙන්, ලස්සන සැතපෙන බුදු පිළිමයකුයි සමාධි පිළිමයකුයි නෙළලා, පොළොන්නරුවේ ගල් විහාරයේ වගේ, ආවරණයක් හදාගන්න පුලුවන්නම්, කොච්චර හොඳද’ කියලා තමයි, දානේ පූජා කරන ගමන් මම හිතුවේ. එක දවසක් මම, ටිකක් හිතට ධෛර්යය අරගෙන, අපේ ලොකු හාමුදුරුවන්ට ඔය අදහස කිව්වා. හාමුදුරුවෝ ගත් කටටම කිව්වේ, ‘හරි පුදුමයි මහත්තයා, මහත්තයා දානේ පූජා කරන වෙලාවේ, මගෙ හිතටත් ඔය අදහස ආවා’ කියලයි. මේ සිදුවීමෙන් පස්සේ, පන්සලට වැඩම කළ, අපේ හාමුදුරුවන්ගේ නිකායේ, වෙනත් ජ්‍යොෂ්ඨ ස්වාමීන් වහන්සේලාත්, ඒ අදහසම කියා තිබුණා. දැන් වැඩේ හරි. මේ බලන්නකො ඒ ගල් පරුවතේ තිබුණ හැටි.

12

13

  දැන් ඉතින් අපි මේ වැඩේට මානසිකව සූදානම්. නමුත් කොච්චර වියදමක් යයිද? මේ වැඩේට කොහෙන්ද පිළිම නෙලන ශිල්පියෙක් හොයාගන්නේ? හප්පෝ……. අපේ රටේ සමහර තැන්වල නෙළලා තියන පිළිම දැක්කම, බුද්ධාගමත් එපා වෙනවා. ඒවා පිළිම නෙවෙයි නිකං අලගෙඩි. ඔන්න ඉතිං ආයෙත් දායක සභාවේ අපේ හිත ටිකක් අවුල් වුණා. නමුත් අපේ හාමුදුරුවෝ, උන් වහන්සේගේ බහුශෘත භාවය හා පරිණත භාවය මොනවට පෙන්නුම් කරමින්, අපිට අනුශාසනා කළා, ‘නිස්කලංකව හිතන්න, පියවරෙන් පියවර හිතන්න, එකවර ඔක්කොම බදාගන්න යන්න එපා’ කියලා. එක දවසක් හාමුදුරුවෝ කියනවා, ‘මහත්තයා යුද සෙනෙවියෙක් නේද? මේක යුද්ධයක් නම්, මහත්තයා එකවරම ගිහින්, ඔය ගල් පරුවතේ හැප්පෙනවද? එහෙම නැත්නම්, කල්පනා කරලා පියවරෙන් පියවර යන සැළැස්මක් හදනවද?’ කියලා. ඔන්න අපි ඔක්කොම එකතුවෙලා හැදුවා සැලැස්මක්. හාමුදුරුවොත් පොඩි පොඩි වෙනස්කම් කරලා අවසාන සැළැස්ම හදාගත්තා.

   මොකක්ද සැළැස්ම? සැළැස්මේ පලමුවෙනියටම තියෙන්නේ අධිෂ්ඨානයක්. අපි දිවිහිමියෙන් මේ සෙල් පිළිමය නෙලීමට දායක වෙනවා. ඒ සඳහා සියලු ආකාරයෙන් ඇප කැප වෙනවා. සියලු ආකාරයෙන් උත්සාහ දරනවා. හොඳයි, අපි මුලින්ම කළේ, මේ ගල පිළිමයක් නෙලීමට සුදුසුද යන්න සොයා බැලීමයි. මොකද ලෝකේ පුරා ඕනෙ තරම් ගල් පර්වත තිබුණත්, පිළිම නෙලීමට ඒ හැම එකක්ම සුදුසු නැහැ. ගල් කටුවෙන් පහර වදිනවිට, කැඩී බිඳී පතුරු ගැලවී යන ගල් සුදුසු නැහැ. මේ දැණුම තියන ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කළා, මේ පර්වතය සුදුසුයි කියලා. ඊළඟට තියෙන්නේ ශිල්පියකු සොයාගැනීම. අපි දැම්මා පත්තරේ දැන්වීමක්. ඒ දැන්වීම දැකලා තුන්දෙනෙක් ආවා සම්මුඛ පරීක්ෂණයට.

   ඉතිං අපි කොහොමද එයාලව සම්මුඛ පරීක්‍ෂණයකට භාජනය කරන්නේ? මොකක්ද අපට තියන දැණුම ගල් පිළිම නෙළීම ගැන? ඔන්න මෙතනදීත් අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ ශාස්ත්‍රපති උපාධිය ලත්, බොහොම හොඳ විශ්ව දැණුමක් තියන සඟරුවනක්) පෙරමුණ ගත්තා. මේ ගැන දැණුමක් ඇති ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන, අර ඉල්ලුම්කරුවන් තිදෙනා සම්මුඛ පරීක්ෂණයට භාජනය කළා. එයින් එක්කෙනෙක් තෝරාගත්තා. සුදුසුකම් අතින් බැලුවොත් ඔහු තවමත් තරුණ ජවයෙන් යුක්තයි. (විවාහ වුනෙත් මේ ඊයේ පෙරේදා. මනමාලිවත් අරගෙන පන්සලට ආවා නෙළමින් පවතින පිළිමය පෙන්නන්න) සෙල් පිළිම සහ කැටයම් පිළිබඳව ඉන්දියානු විශ්වවිද්‍යාලයක උපාධිධරයෙක්. අපි ඔහුගේ නිවසට ගියා ඔහු කර ඇති සහ කරමින් පවතින නිර්මාණ බලන්න. ඇත්තටම ඒවා බොහොම ඉහළයි. අනුරාධපුරයේ සමාධි පිළිමය, තොළුවිල සමාධි පිළිමය, අනුකරණයෙන් ඔහු නිමවා ඇති පිළිම, ඉතාම අලංකාරයි. ඔබෙන් සමහර අය දන්නවා ඇති, අපේ පන්සලද පිහිටා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේම, පිහිටි, රම්බඩගල්ල, මොණරගල්ල,  ප්‍රදේශයේ විශාල සමාධි පිළිමයක් ඉදිවෙන බව. අපේ හාමුදුරුවෝ අපිත් සමග එහි ගියා, ඒ ශිල්පීන්ගේ සේවය, අපේ පිළිමය නෙළීම සඳහා ලබාගත හැකිදැයි බැලීමට. නමුත්, ඒ පිළිමයේ වැඩ තවමත් අවසන් නැති නිසා, ඒ ශිල්පීන් ලබාගැනීම ගැන බලාපොරොත්තු තියන්න බැහැ. 

monaragala_samadhi_buddha_statue__පින්තූරය ගත්තේ මෙතනින් 

   අනෙක් අතට අපි තෝරාගත් ශිල්පියා අපේ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙනවා. ඔහු ක්‍රියාකරන්නේ, ඔහුත් මේ මහා ව්‍යාපෘතියේ දායකයකු යන හැඟීමෙන් මිස, මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කරගෙන නොවෙයි. පසුගිය මාර්තු මාසයේදී, අපි පිළිමය නෙලීම සහ ආවරණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම යන වැඩ දෙකම ආරම්භ කළා. පොඩි උත්සව දෙකක් පැවැත්වුවා. පළමුවැනි උත්සවය පැවැත්වුවේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන්.

  මට කියන්න අමතකවුණා, අපි මේ පිළිමය නෙලීම ගැන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී අවසරයක් හා අනුමැතියක් ලබාගත්තා, මෙම පිළිමය ඉදිකරන ස්ථානයේ, කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දෙයක් නැති බවට. එමෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිල්පීන් මෙහි පැමිණ, අවශ්‍ය මිනුම් කටයුතු කර, ගොඩනැගිලි සැළැස්ම ද නිර්මාණය කරදුන්නා. මේ තියෙන්නේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක, පැමිණි අවස්ථාව.

18

පිළිමය නෙළීමේ වැඩකටයුතු ආරම්භ කිරීමටත් උත්සවයක් පැවැත්වූවා. මේ තියෙන්නේ එහි අවස්ථා කීපයක්.

20

නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහ සඟරුවනට මුල්තැන ලැබුණා.

19

අපේ හාමුරුවො පැමිණි සියළුදෙනාව සාදරයෙන් පිළිගත්තා 

පක්ෂ පාට භේදයකින් තොරව මැති ඇමතිවරුන් සහභාගී වුණා. 

21

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ගරු ඇමති, ජයරත්න හේරත් මැතිතුමා 

22

වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මැතිතුමා 

24

කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මැතිතුමා 

15

අපේ ශිල්පියා නැකතට වැඩ ඇල්ලුවේ මෙහෙමයි. 

   ඉතින් මුලින්ම අර පුංචි බුදුමැඳුර ගලවා ඉවත් කළා. එහි තිබුණු බුදුපිළිමය තාවකාලිකව වෙනත් තැනක තැන්පත් කළා. දැන් අර මහ ගල් පරුවතේ කඩන්න ඕනෙ. නමුත් එය වෙඩි දාලා පුපුරවන්න බැහැ. එහෙම කළොත්, පිළිමය නෙලන්න තෝරාගත් කොටස් වලටත් හානිවෙනවා. ඒ වෙනුවට කරන්නේ, ඒ ගලේ කුහර හාරලා (කම්ප්‍රෙෂර් යන්ත්‍රයක ආධාරයෙන්, ගල් විදින දිග කටු යොදාගෙන) විශේෂ රසායනික ද්‍රව්‍යයක් ජලයේ දියකරලා, ඒ කුහර වලට පුරවනවා. පැය 12ක් පමණ ගතවූවාට පසු, පර්වතයේ අදාළ කොටද පිපිරී වැටෙනවා, හරියට පිහියකින් කැපුවා වගේ. මේ බලන්න.

16

   මේ ආකාරයට පර්වතයේ අනවශ්‍ය කොටස් සියල්ල ඉවත් කරගන්නවා. ඊට පස්සේ කරන්නේ ගල් කටු සහ ග්‍රයින්ඩර් යන්ත්‍ර ආධාර කරගනිමින්, ගලට හානි නොවන ආකාරයට ඉතා සීරුවෙන් පිළිමය නෙළීම ආරම්භ කිරීමයි. මේ සඳහා සහාය ශිල්පීන් ද ආධාර වෙනවා. 

25

26

   මා ඔබට මීට පෙර පෙන්වා තිබුණේ, පසුගිය අප්‍රේල් මාසය වනවිට, පිළිමය නෙළීම කොපමණ දුරට අවසන් කර තිබුනේද යන්නයි. මතකද ඒ පින්තූරය? මේ තියෙන්නේ.

17

ඔබ කැමති ඇති මේ වනවිට කෙබඳු ප්‍රගතියක් ලබාතිබේද යන්න දැනගන්නට. මෙන්න තියනවා වර්තමාන තත්වය.

27

28

DSC00072

   ඉතින් ඔබට වැටහෙනවා ඇති, මෙය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව. ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් එක්කෝටි පනස්ලක්ෂයක්. මේ මුදලෙන් ලක්ෂ කීපයක් දේශපාලන අධිකාරියෙන් සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලැබෙන බව දැනගන්නට තිබෙනවා. වර්තමානයේදී එවැනි ආධාර ලබාගැනීමට නම්, සෑම පන්සලක්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදින්චිවී තිබිය යුතුයි. ඒ සඳහා නිර්දේශය ලබාදෙන්නේ ප්‍රාදේශීය ලේකම් විසින්. අපේ පන්සල, එලෙස ලියාපදිංචි පන්සලක්. ලියාපදිංචි අංකය, බෞකො/විහාදේ/14/87/012 මේ නිසා, අවශ්‍ය නෛතික පිළිගැනීම අපේ පන්සලට තිබෙනවා. දායක සභාවද එලෙසම ලියාපදිංචි කර තිබෙනවා. රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව කටයුතු කලයුතු නිසා, දායක සභාවේ බැංකු ගිණුමද විධිමත්ව සහ නිර්දේශානුකූලව සැකසුනා.

   මෙපමණ අධික මුදලක් වැයවන්නේ ඇයිද යන්න ඔබට ගැටළුවක් වනු ඇති. එක උදාහරණයක් පමණක් කියන්නම්. මේ කරන්නේ මහ කළු ගලක් සියුම් නිර්මාණයක් බවට පරිවර්තනය කිරීමේ අති දැවැන්ත ක්‍රියාවක්. ග්‍රයින්ඩර් යන්ත්‍රයකට සවිකරන තලයක් රු 3000ක් පමණ වන අතර සුමානයකට වඩා එයින් ප්‍රයෝජන ගන්න බැහැ. ගල් කටු ගෙවීයන්නේ බලා ඉඳිද්දී. අපේ ශිල්පියා කියන පරිදි සහ අපි මොනරගල්ල පිළිමය නිරීක්ෂණය කළ අවස්ථාවේ, එහි සිටි ශිල්පීන්ද කියන ලද පරිදි, පිළිමයේ සියුම් රේඛා ඉස්මතු කිරීම වැනි කාර්යයකදී, දිනකට අඟල් කීපයකට වඩා කරන්නට බැහැ. ඒ තරම් කල්පනාකාරීව සහ සියුම්ව කටයුතු කළයුතු නිසා. ඉතින් මා ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලන්නේ, ඔබට හැකි අයුරින් මේ සද්කාර්යයට දායක වන ලෙසයි. කවදා හෝ අප මෙලොව හැරගියත්, මේ පිළිමය අවුරුදු දහස් ගණනක් පවතිනු ඇති. අපේ ආත්මය සුවපත් වන්නට ඒ පිනම මදිද? ලෞකික සුවය මෙන්ම ලෝකෝත්තර සුවය වෙනුවෙනුත් යමක් කිරීමට පෙළඹවීමක් අවශ්‍ය නැහැ නේද? අවසානයේදී මෙන්න මේ ප්‍රතිඵලය ලබාගන්නයි උත්සාහ කරන්නේ. 

29

   අපේ දායක සභාවේ ගිණුමේ විස්තර මෙසේයි. ගිණුමේ නම; ‘සුමන චිත්ත විවේකාශ්‍රම ගිණුම’ ඉංග්‍රීසියෙන් ලියන්නේ නම් Sumana Chiththa Vivekashrama Account ගිණුම් අංකය; 280200130037972  බැංකු ශාඛාව; මහජන බැංකුව, පොතුහැර. මේ පින්කමට දායක වීමට ඔබට සිත් පහළවේවායි ප්‍රාර්ථනය කරමින් ලිපිය අවසන් කරනවා. 

my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 15 වැනි දින 0045 පැය

Advertisements

Comments on: "අපේ පන්සලේ සෙල් පිළිමය" (9)

  1. වැඩන් නැ මහත්තයා.
    තව දශක කීපයකින් මුස්ලිම් කාරයෝ ඕව ඔක්කොම බෝම්බ ගහල බොරළු කැට ගානට කඩනවා
    ඒක වලක්වන්න කාටවත් බැහැ
    ඔය කෝටි ගානක මුදලෙන් , ඒ පිළිමය මිනිස්සුන්ගේ හිතේ හැදුවා නං (ධර්ම දානය ) පින කොපමණද ?

    • මා හිතනවා මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව දැනටමත් ගොඩනැගෙමින් පවතින ජනමතය තවත් ප්‍රබලවී ඒ තර්ජනය ජයගන්නට හැකිවේයැයි කියා.

      ඇත්තෙන්ම අමාරු මිනිසුන්ගේ හිත හදන එක තමයි. මෙය ඒ සඳහා කරන පෙළඹවීමක් කියලා හිතමුකෝ.

  2. ඔබතුමා ඇතුළු දායක සැමගේ අධීෂ්ඨානය සඵල වේවා.යි පතන්නට අවසර දෙන්න.

  3. බලාපොරොත්තු ඊශ්ඨවෙවා.හැකියමක් කරන්නම්

  4. ඔබතුමාගේ උත්සාහය සාර්ථක කරගැනීමට හැකිවේවා කියා පාර්ථනා කරමි.

    හැකි පමණින් මේ සදහා ආධාර කරමි.

  5. ක්සැන්ඩර් said:

    පන්සල දැක්කම හිතට නිදහසක් දැනෙනවා. අපි නැතත් පිළිමය කවදාහෝ කෙනෙකුගේ වන්දනාවකට ලක්වේවා.. කෙනකුට දහම් සිතක් පහළවන්න හේතුවේවා කියල ප්‍රර්ථනා කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: