විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   

Funny_Pictures_43817        මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු රාශියකට මැදිවීමට සිදුවුණ නිසයි. දවස පුරා වෙහෙසිලා ඇවිත්, බ්ලොග් ලියනවා තියා, අනික් අයගේ බ්ලොග් බලලා කමෙන්ට් එකක් දාන්නවත් බැරිවුනා. ඒ ගැනත් සමහරු හිතනවා ඇති, වෙනදා නිතර එන මේ මිනිහට මොකද වුණේ කියලා. අදත් මේ ලිපිය ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. මම හිතනවා වැඩි චූර්ණිකා නැතුව කෙලින්ම කතාවට බහින එක හොඳයි කියලා. පහුගිය කොටස් තුන පිළිබඳව දැනුමක් නැති අයට,

බලන්න පුළුවන්. මා හිතනවා දැන්, යුද ටැංකි පිළිබඳව ඔබේ මූලික දැණුම සෑහෙන තරම් සතුටුදායක මට්ටමක ඇති කියලා. මේ ලිපියෙන් මුලින්ම අපි බලමු යුද ටැංකිවල තියන මහ තුවක්කු වලින් වෙඩි තියන්නේ අළු දාලා ද සීනි දාලා ද කියලා. අපි ඉස්කෝලේ යන කාලේ කියමන් දෙකක් තිබුනා මෙන්න මෙහෙම.

coconutscraper21   1. හිරමණේට අළු දාලා වෙඩි තියනවා. ඔතන හිරමනේ කිව්වේ අර බංකුවක්/කොලොම්බුවක් වගේ දෙයක හයිකරලා තිබුණ තලය සහිත පැරණි හිරමනේ හොඳද? ඉතිං මොකද්ද ඒ කියමනේ තේරුම? හිරමනේ තියෙන්නේ පොල් ගාන්ඩ මිසක් වෙඩි තියන්ඩ නෙවෙයිනේ. අනික අළු කියන්නේ ඉවත දමන දෙයක් මිසක් වෙඩි බෙහෙත් නෙවෙයිනේ. ඉතිං හිරමනෙට අළු දාලා වෙඩි තියනවා කියන්නේ, කිසියම් බලවේගයකට එරෙහිව නිෂ්ඵල උත්සාහයක නිරත වෙනවා කියන එකයි.

   2. සීනි දාලා වෙඩි තියනවා කූඹි කාලා මැරෙන්න. ඒ කියමන නම් හාස්‍යය සඳහාම නිර්මාණය කල එකක්. සීනි දාලා වෙඩි තියපුවාම ඒ සීනි ඉලක්කගත පුද්ගලයාගේ ඇඟේ තැවරෙන නිසා, කූඹි ඇවිත්, සීනිත් එක්කම ඒ මිනිහාවත් කාලා දාන්න, ඒ ආකාරයට වෙඩි තියනවා කියලා විහිලුවට කිව්වේ, අන්න ඒ අර්ථයෙන්.  

   හොඳයි. මම මේ ලිපි මාලාවේදී මුලින්ම කිව්වනේ යුද්ධ ටැංකි සටන් කරන්නේ තවත් යුද්ධ ටැංකි වලට එරෙහිව සහ යුද බිමේ තිබෙන විවිධ ඉදිකිරීම් හා බාධක වලට එරෙහිව කියලා. ඒ කියන්නේ ගොඩනැගිලි, බංකර්, තාප්ප, වගේ දේවල්. ඉතිං ඒ වගේ දේවල් වලට පහර දෙනවිට ඉතා දැඩි ප්‍රහාර එල්ල කරන්න ඕනෙ. ඒ සඳහා යොදාගන්න පතරොම් (ඇත්තටම මේවට පතරොම් කියන්න බැහැ. මේවා එක්තරා ආකාරයක රොකට් බෝම්බ) මෙන්න මේ වගේ. 

120mm_ammo

   පේනවා නේද මහා මාරක බවක් මේ පතරොම් වල. මේවා ඉතා සංකීර්ණ සැකැස්මකින් යුක්තයි. ඒ සියල්ල මා මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. පහත දැක්වෙන චිත්‍ර වලින් පෙනෙනවා මේවාගේ විශාලත්වය මෙන්ම ඇතුළේ මොනවද තියෙන්නේ කියන එක පිලිබඳ තොරතුරු. බම්බුවක් වැනි විශාල කොටසේ ඇති වෙඩිබෙහෙත් පත්තුවීමෙන් ලැබෙන බලයෙන්, ඒ බම්බුව ඇතුළේ තිබෙන රොකට් වෙඩිල්ල, ඉලක්කය කරා ගමන් කර, ඉලක්කයේ වැදී ඝනකම තහඩු, බිත්ති ආදිය විනිවිද ගොස් පුපුරනවා. එයින් ඇතිකරන්නේ මහා විනාශයක්.

120mm_M829_projectile

120mm_M829A2_APFSDS-T_internal

   

   මීළඟට මම ඔබට පෙන්වන්නේ බොහොම වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝවේ තිබෙනවා කරුණු කීපයක්. එකක් තමා, යුද්ධ ටැංකියකින් වෙඩි තියන හැටි. අනික, යුද්ධ ටැංකියක තිබෙන ප්‍රධාන තුවක්කුවේ ඇතුළ, විශේෂ දෘශ්‍ය උපකරණයක් මගින් පරීක්ෂා කරන ආකාරය. ඒ වගේම ඉහත පින්තූරයේ දකින්නට ලැබෙන පතරොමකුත්, රියැදුරා තමන්ව එළියට පෙනෙන ආකාරයට සිටිමින් ටැංකිය පදවන අයුරුත්, දකින්න පුළුවන්.

 

 

   කොහොමද මේ මහ තුවක්කුවට ඔය තඩි පතරොම් දාන්නේ? ක්‍රම දෙකක් තියනවා. එක ක්‍රමයක් තමයි අතින්ම එක එක පතරොම තුවක්කුවට දැමීම. නමුත් අති නවීන යුද ටැංකිවල තියනවා දෙවැනි ක්‍රමේ. ඒ කියන්නේ යුද ටැංකිය ඇතුළේම තියන යාන්ත්‍රණයකින් පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළුවීම. අපි බලමු, යුද්ධ ටැංකියක් ඇතුළේ තියන ඒ යුද්දේ කොහොමද කියලා.

 

 

   අද වනවිට ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ ආකාරයේ යුද ටැංකි මගින් ඒ ඒ රටවල වැඩිදියුණු කරන ලද නොයෙක් ආකාරයේ පතරොම් සහ රොකට් වෙඩි වර්ග පාවිච්චි කරනවා. සමහර යුද ටැංකි මිසයිල් යැවීමේ හැකියාවෙන් යුක්තයි. නමුත් ඒවා බොහොමයක් යුද රහස් ලෙසයි පවතින්නේ. කෙසේවෙතත්, මෙවැනි පතරොම් වර්ග මූලික වශයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ග කරන්න පුළුවන්.

  1. අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් – High Explosive Rounds = HE
  2. යුද ටැංකි නාශක අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් – High Explosive Anti Tank Rounds = HEAT
  3. ඝන සන්නාහ විනිවිද යන අධිබල පතරොම් – Armour Piercing Rounds = AP
  4. ගිනි අවුළුවන පතරොම් – Incendiary Rounds
  5. දුම් බෝම්බ – Smoke 

   හොඳයි. මේ ඔක්කොම අවි ආයුධත් සමග, මේ සද්දන්ත යකඩ ගොඩවල්, යුදබිමට අරං ගිහිං කොහොමද යුද්ද කරන්නේ? මොනවද ඉතිං දිඩි දිඩි ගාලා ඇරලා දානවා නේද. එහෙම කරන්න බැහැ අනේ. යුද ටැංකි, යුද බිමක යොදවන න්‍යායක් තියනවා. එහෙම නැතුව, ‘පලයව් ගිහින් දීපියව් කුඩුවෙන්න’ කියලා යුද්ද ටැංකි යවන්න බැහැ.

   යුද ටැංකි යොදවන ක්‍රම දෙකක් තියනවා මූලික වශයෙන්. ඉතා කෙටියෙන් කියන්නම්. කවදාවත් යුද ටැංකියක් තනියම යවන්නේ නැහැ. අවම තුනක්වත් එකට තියලා තමයි යවන්නේ. (මතකද සුළඟ එනු පිණිස චිත්‍රපටියේ එක BTR එකක් තනියම යනවා. වරින්වර main gun එක උස්සලා පෙන්නනවා සිනමානුරූපී ලිංගික සංකේතයක් ලෙස. cinematographic sign. මට පශ්චාද් භාගයෙන් හිනාගියා. ඔය ටැංකිය පිචර් එකට දෙන්න කලින් හමුදාවට තිබුනා හොයලා බලන්න, මොකද්ද අධ්‍යක්‍ෂ වරයා කරන්නේ කියලා.)

   යුද ටැංකි, යුදබිමේ ඉදිරියට යන එක ක්‍රමයකට කියන්නේ, කැටපිලරිංග් – Caterpillaring කියලා. ඔබ දන්නවද දළඹුවාගේ ගමන? දළඹුවා තමන්ගේ ඔලුව පැත්ත ඉදිරියට යොමු කරනවා බඩගාමින්. ඊළඟට කඳේ පසුපස කොටස ඉදිරියට ඇදගන්නවා. අන්න ඒ ක්‍රමයට මුලින් එක ටැංකියක් (මෙතැනදී සමාන්තර පේළි කීපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තිරස්ව, එකිනෙකට සමාන්තරව ඉදිරියට යන, ටැංකි කීපයක් වෙන්න පුළුවන්.) ඉදිරියට යනවා අවට නිරීක්ෂණය කරමින්. ඒ වෙලාවේ පසුපසින් තිබෙන ටැංකියත් ඉදිරිය නිරීක්ෂණය කරමින්, අර ටැංකියට ප්‍රහාරයක් ආවොත්, ප්‍රතිප්‍රහාර දෙන්න බලාගෙන ඉන්නවා. ඉදිරියට ගිය ටැංකිය, සූදානමින් නැවතී, දෙවැනි ටැංකියට කියනවා ගුවන්විදුලි පණිවිඩයකින්, ඉදිරියට එන්න කියලා. (නොපෙනෙන තරම් දුර යන්නේ නැහැ) එතකොට දෙවැනි ටැංකිය ඉදිරියට එනවා, පළවැනි ටැංකිය ආසන්නයට. ඊළඟට පලවෙනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. දැන් තුන්වැනි ටැංකියක් තිබුනානම්, ඒක එනවා දෙවැනි ටැංකිය පසුපසට. ඊළඟට දෙවැනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. ඔහොම එනගමන්, සතුරා සමග වෙඩි හුවමාරු කරගනිමින් එන්න වෙන එක තමයි, බහුලවම සිදුවෙන්නේ. ඔන්න ඕකට තමා කැටපිලරිංග් කියන්නේ. අනතුරුදායක බව අඩුයි. හැබැයි ගමන හෙමින්.

   ඊළඟ ක්‍රමයට කියන්නේ ලීප් ෆ්රොගින් – Leap Frogging කියලා. (ගෙම්බා පැනීම) මෙහිදී කරන්නේ තිරස් අතට පේළියක් හා සමානව තිබෙන ටැංකි, එකිනෙකාගේ ආරක්ෂාව ගැන බලාගනිමින්, යුද බිමේ ඇති ආවරණයෙන් ආවරණයට, ඒ කියන්නේ, මේ පඳුරු ගොඩ ළඟ ඉඳලා, අර පේන ලොකු ගහ ගාවට, ඊළඟට තව ටැංකියක් අර පේන පොඩි කඳු ගැටයේ මුවාවට, ඔන්න ඔය වගේ කෙටි දුර ප්‍රමාණයන්, හැකි උපරිම වේගයෙන් ඉදිරියට යාම. මෙහිදී වේගය වැඩියි, හැබැයි අනතුරුදායක බවත් වැඩියි.  

   ඉතිං ඒ කියන්නේ යුද්ද ටැංකි යුදබිමේ නිකම්ම ඉස්සරහට යවනවා පුලුවන්නම් ගහපියව් නැත්තං මැරියව් කියලා?

   නෑ නෑ අනේ. යුද්ද ටැංකි එහෙම තනි කරන්නේ නැහැ. යුද්ද ටැංකි වලට පිටිපස්සෙන් BTR, BMP, වගේ එව්වා යවන්න පුළුවන් යාන්ත්‍රික පාබල සෙබළුන් සමග. යුද්ද ටැංකි පහර එල්ල කරන අතර, යාන්ත්‍රික පාබල සොල්දාදුවන්ට පුළුවන් භූමිය අත්පත් කරගන්න. එතකොට ප්‍රහාරක හෙලිකොප්ටර් යොදවන්න පුළුවන් සතුරු යුද ටැංකි වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න. යුද භූමියේ පසුපස තිබෙන විශාල කාලතුවක්කු වලට පුළුවන් ආධාරක වෙඩි බලය ලබාදෙන්න. ඒ වගේම MBRL සහ මිසයිල් සහයත් ලබාගන්න පුළුවන්. 

   මොනවද ලෝකයේ තියන හොඳම යුද්ධ ටැංකි. දන්නවනේ ඉතිං බොහොමයක් රටවල් කියන්නේ අපේ එව්වා තමයි හොඳම කියලා. මෙන්න මෙතන තියනවා දැනට ලෝකයේ තිබෙන හොඳම යුද්ධ ටැංකි දහයේ විස්තර. ඒවා එකින් එක විස්තර කරන්න ගියොත් තවත් ලිපි කීපයක් ලියන්න වෙනවා.

   හොඳයි. කවුද යුද්ද ටැංකියේ හතුරෝ? ලෝකයේ කොයි ජගතාටත් හතුරෝ ඉන්නවනේ. බුදුහාමුදුරුවන්ටත් දේවදත්තයා විසින් ගල් පෙරළුවනේ. ඉතිං එහෙව් එකේ යුද්ද ටැංකි ගැන කුමන කතාද? යුද්ද ටැංකි වලට හතුරෝ ගොඩක් ඉන්නවා. ඇත්තටම යුද්ද ටැංකිය බොහොම බරපතල අභියෝගයක්. දෙන්න ගත්තොත් දෙනවා ඔක්කොම සුන්නද්දූලි වෙන්ඩ. ඒ නිසා යුද්ද ටැංකියට එරෙහිව අවි ආයුද ගොඩක් නිපදවා තිබෙනවා. එකක් තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. මේ යුද ටැංකි නාශක බිම් බෝම්බ පිළිබඳව අපේ කාමරේ සිරා විශේෂයෙන් විමසීමක් කර තිබුනා. ඔන්න සිරා, ඒ ගැන විස්තරේ බලාගන්න. යුද ටැංකි වලට එරෙහිව මුලින්ම ආව හතුරා තමයි පොළොවේ හාරන මහා අගල්. අඩි 10 ක් විතර පළල, ඒ තරම්ම විතර ගැඹුරු අගල් හාරනවා, යුද්ද ටැංකි වලට එන්න බැරිවෙන්න. දෙවැනි ලෝක යුද සමයේදී නම් මේ ක්‍රමය සාර්ථක වුණා. නමුත් දැන් තියන යුද ටැංකි වලට, ආධාරයට ගෙනයන පාලම් ගැන මම පළමු ලිපියේදී කිවා මතක ඇතිනේ. ඒ නිසා එවැනි අගල් ඇද එතරම් අභියෝගයක් නෙවේ. මතකද එල්.ටී.ටී.ඊ. එක, අවසාන සටන පැවති කාලයේ, බුල්ඩෝසර් යොදවා මගා අගල් සහ පස් බැමි හදලා තිබුණා. නමුත් වැඩක් වුණේ නැහැනේ. 

TM-46_AP-mine.JPEG

tellermine-t-mi-42

   ඊළඟට පරණම ක්‍රමය තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. ඒ ක්‍රමය නම්, දෙවැනි ලෝක යුද සමයේ සිට අද දක්වාම පාවිච්චි කරනවා. මේ බෝම්බ එදා නම් තිබුණේ පොළොවේ වලලා තැබුවාම ටැංකියේ බර නිසා ඇතිවන පීඩනයෙන් පිපිරීමට ලක්වන ආකාරයටති අදත් ඒ ක්‍රමය තිබෙනවා නමුත් ටැංකියට යට නොවුනත්, ටැංකිය ගමන් කරන විය පොළොවේ ඇතිවන කම්පනය නිසා පුපුරන බිම්බෝම්බ වගේම, නොගැඹුරු වලක් හාරා යන්තම් වසා දමා තිබෙන බෝම්බ වර්ගයක් තිබෙනවා, ටැංකිය ඒ බෝම්බය අසළින් යනවිට කාන්දම් බලයෙන් ඇදීගොස් ටැංකියේ ඇලී, පුපුරන ආකාරයට සකස් කර තිබෙන.

   ඉතිං කොහොමද මේ මාරයාගෙන් ගැලවෙන්නේ. ඒ සඳහා සමහර යුද ටැංකිවල විශේෂ උපකරණ සවිකර තිබෙනවා. ඒවා හරියට විශාල නගුල් වගේ. ඒවාගෙන් පොලොව හාරමින් ටැංකිය ඉදිරියට යනවා. එතකොට පොළොවේ වළලා තියන බිම්බෝම්බ පුපුරනවා. නැත්නම් ඉවතට තල්ලුවෙනවා. මේ තියෙන්නේ එවැනි උපකරණ සහිත ටැංකි. 

M1 Abrams tank with mine plow_ in forest camo _front_

RKMprotoType

   නමුත් අද කාලේ මෙහෙම හෙමින් වැඩ කරලා බැහැ. වේගයෙන් යන්න ඕනෙ වෙනවා. ඒ සඳහා නවීන ක්‍රම වැඩිදියුණු කර තිබෙනවා.  මෙහිදී කරන්නේ, යුද ටැංකියේ සිට, රොකට් වෙඩිල්ලක් මගින්, මහත කඹයක් වැනි දෙයක්, යුද ටැංකිය යාමට අවශ්‍ය දෙසට යවනවා. ඒ කඹය වැනි දේ හරියට, රතිඤ්ඤා කරලක නූල වගේ දෙයක්. ඒ කඹය බිම දිගේ ඉදිරියට වැතිරී ගියාට පසු, ටැංකියේ සිට ලබාදෙන විදුලි කම්පනයකින් මුළු කඹයම එකවර පුපුරවා හරිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොළොව යට වලලා තියන බෝම්බ පුපුරා යනවා. දැන් බයනැතුව යුද්ද ටැංකියට ඉස්සරහට යන්න පුළුවන්. මේ ක්‍රමය හඳුන්වන්නේ ජයන්ට් වයිපර් – Giant Viper කියලා. මේ ක්‍රමයෙන් ඉතා කෙටි කාලයකින් මීටර් දෙතුන් සියයක දුරක් ආරක්‍ෂිත කරගන්න පුළුවන්. පහළ තියන වීඩියෝ එකේ පළමුවැනි විනාඩිය පමණක් බැලුවත් ඇති. 

 

 

 

   බිම් බෝම්බ වලට වඩා බලවත් භයානක සතුරන් ඉන්නවා, යුද්ද ටැංකි ගිලගන්න කට ඇරගෙන දත් විලිස්සාගෙන. ඒවා අතර මුලින්ම තියෙන්නේ යුද ටැංකි නාශක සැහැල්ලු අවි – Light Ant Tank Weapons = LAW කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මේ සඳහා තුවක්කු වර්ග මෙන්ම රොකට් වෙඩිත් යොදාගන්නවා. යුද ටැංකියක සන්නාහය පසාරුවන පරිදි වෙඩි තැබීමට හැකි තුවක්කු තිබෙනවා. නමුත් ඒ තුවක්කු වලට අභියෝග කරන්න පුළුවන් සන්නාහයන් වර්තමාන යුද ටැංකි වලට තිබෙනවා. මේ තියෙන්නේ යුද ටැංකි වලට පහර දෙන්නට හැදූ තුවක්කු කීපයක්.

Screenshot (5)

Screenshot (6)

Screenshot (7)

   ඔබ බොහෝ දෙනෙක් දන්නා, ආර්.පී.ජී. RPG = Rocket Propelling Grenade කියන්නේ යුද ටැංකි නාශක අවියක්. එයින් ගොඩනැගිලි වලටත් පහර දෙන්නට පුළුවන්. LAW නමැති වර්ගීකරණයට අයත් අවි, සාමාන්‍යයෙන් උරහිස මත තබාගෙන වෙඩි තැබීමේ ක්‍රමයටයි සකසා තිබෙන්නේ. එමෙන්ම ඒ අවි වලින් වෙඩි තියන්නේ රොකට් බලයෙන් ඇදීයන බෝම්බ පාවිච්චි කිරීමෙන්. මේ අවි වර්ගයේ පැරණිම සාමාජිකයෙක් තමයි පහත දක්වන්නේ. 1948 දී ස්වීඩනයේ නිෂ්පාදිත මේ අවිය හඳුන්වන්නේ කාර්ල් ගුස්ටාව් යනුවෙන්.

Screenshot (8)

   පහත දක්වන්නේ ආර්.පී.ජී.7 අවියයි.

450px-Rpg-7-1-

MSF Marines Continue to mentor and train the ANA

  මීටත් වඩා භයානක අවි වලට අද කාලයේ යුද ටැංකි වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ තමයි විවිධාකාරයේ මිසයිල් වර්ග. ලිපිය තව දුරටත් දීර්ඝ නොකර ඉතා කෙටියෙන් ඒ ගැන කියන්නම්. ප්‍රධාන වශයෙන් යුද ටැංකි නාශක මිසයිල් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එක වර්ගයක් තමයි ගොඩබිම සිට එල්ල කරන මිසයිල්. Anti Tank Missile = ATM. ඒවා කර මත තබාගෙන හෝ තවත් යුද ටැංකියක සිට හෝ මිසයිල් යැවීම සඳහාම සැකසු සන්නද්ධ රථයක සිට හෝ එල්ල කරන්න පුළුවන්. එමෙන්ම මේ මිසයිල්, ඉලක්කය වෙත යාම, අවශ්‍ය ආකාරයට හසුරවන්න පුළුවන්. ඒ නිසා ඒවා හඳුන්වන්නේ Anti Tank Guided Missile = ATGM යනුවෙන්. අනෙක් වර්ගය තමයි ගුවනේ සිට, ඒ කියන්නේ ගුවන් යානයක හෝ හෙලිකොප්ටරයක සිට එල්ල කරන මිසයිල්. 

1280px-Army-fgm148

kornet

Stryker-TOW-Missile

rooivalk5

   මෙවැනි කුමන ආකාරයේ තර්ජන තිබුනත් ලෝකය පුරාම යුද ටැංකි පාවිච්චි කිරීම කිසිසේත් අඩුවී නැහැ. ඉතා රහසිගතව යුද ටැංකි තාක්ෂණය දියුණුවෙමින් පවතින අතර රේඩාර් වලට හසු නොවන, ශබ්දයෙන්ද අඩු යුද ටැංකි නිපදවීමට ඇද සමහර රටවල් සමත්වී තිබෙනවා. ලිපිය අවසන් කරන්නට මත්තෙන් අපි සළකා බලමු යුද ටැංකි පාවිච්චි කිරීමේ වාසි සහ අවාසි මොනවාද කියා.

වාසි

   භට පිරිස් විශාල වශයෙන් අනතුරට පත් නොකර සටන් කිරීමේ උපකරණයක් ලෙස වැදගත් තැනක් ලැබෙනවා. සතුරා තුළ භීතිය ඇතිකර පලවා හරින්නටත් හැකිවීම වාසියක්. විශාල වෙඩි බලයක් තිබෙන නිසා, භට පිරිස් රාශියක් යෙදවිය යුතු කාර්යයක් යුද ටැංකියකින් දෙකකින් කරගන්න පුළුවන්. රළු භූමියක, ගමන්කරන්නට අපහසු තැන්වලට ගොස්, ප්‍රහාර එල්ල කිරීමට හැකිවීමත් වාසියක්. සෙබළුන් විසින් ළඟටම ගොස් විනාශ කලයුතු ඉලක්ක, ඈත සිට විනාශ කරන්න යුද ටැංකියකට පුළුවන්. ප්‍රතිවාදී යුද ටැංකි වලට අභියෝග කරන්නට හැකිවීමත් වාසියක්.


අවාසි

   යුද ටැංකි නිෂ්පාදනය සහ නඩත්තුව වියදම් ඉතා අධික කාර්යයක්. ඒ වගේම තමයි යුද ටැංකියක නඩත්තුව සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිසක් යුද ටැංකිය යන යන තැන් වලට ආසන්නව ඉන්න ඕනෙ. වාහනයක් වගේ පහසුවෙන් ගලවා සවි කරන්න බැහැ. කාලය සහ ශ්‍රමය අධික ලෙස වැයවෙනවා. ඉන්ධන සැපයුමත් ලේසි නැහැ. යුද ටැංකියක ඉන්ධන පරිභෝජනය ඉතා අධිකයි. ඉතිං අමතර ඉන්ධන යුද බිමේ තියාගන්න ඕනෙ. එක හරිම කරදරයක් සහ අනතුරුදායක වැඩක්. ක්‍රියාකරුවන් පුහුණුවත් විශේෂඥ පුහුණුවක්. හදිසියකදී ක්‍රියාකරුවන් තුවාල වුනොත් ටැංකිය යුද මෙන් ඉවත් කරගැනීම ප්‍රශ්නයක්. බර ඔසවන හෙලිකොප්ටරයක්වත් අවශ්‍ය වෙනවා ඒ වෙලාවට. ඒ වගේම තමයි යුද්ධ ටැංකියකින් පිටවන අධික ශබ්දය. මේ නිසා රහසිගතව සටනට යන්න යුද්ධ ටැංකියකට බැහැ. එයත් අවාසියක්. 

   ඔන්න ඉතිං එහෙනම්, යුද ටැංකි ගැනත් ඔබට යමක් කියලා දුන්නා. මා හිතනවා, යුද ටැංකි ගැන ඔබේ හිතේ තිබුණ බොහොමයක් අදහස්, මේ ලිපිය කියවීමෙන් පසු වඩාත් වෙනස් වන්නටත්, පුළුල් වන්නටත් ඇතැයි කියා.  එහෙනම්, යුද ටැංකි කතාව මෙතෙකින් අවසන් කරනවා.

my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 26 දින 0112 පැය

 

 

Advertisements

Comments on: "අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (හතර වැනි කොටස) The Battle Tank (Part Four)" (21)

  1. එහෙමනම් අපි විචාරක ඇකඩමියේ යුද ටැංකි පුහුණුවත් අවසන් කලා . 🙂

    ගොඩක් ස්තුතියි විචාරකතුමාට අධික කාර්යබහුලත්වය මැද උනත් මේ වගේ ලිපි ලියනවට. දැනට තියන මේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අතර වටිනාම බ්ලොග් කීපයෙන් එකක්.

    මේ දේවල් ගැන ලිපි අන්තර්ජාලයේ තිබුනට ඊට අදාලව අපිට හිතේ ඇතිවන යම් යම් ගැටළු ඔබතුමා ගෙන් අහලම දැනගන්න පුළුවන් නිසයි මේ බ්ලොග් අඩවිය ගොඩක් වටින්නේ.

    තවත් හොද හමුදාවට අදාල ලිපියක් ඔබතුමාගේ කාර්යබහුලත්වය ඉවර උන ගමන් බ්ලොග් අඩවියේ පල කරන්න.

  2. ඔය යුද්ධ ටැංකියකට දාන උණ්ඩයක් හදිසියේ පත්තුවුනේ නැතිවුනොත් මොකද කරන්නනේ.ආයෙත් එලියට ගත්තම යුද්ධ ටැංකිය ඇතුලෙදීම ඒක පිපිරීමේ අවධානමක් තියෙනවා නේද.ඔය Anti Tank Rifle වලින් වෙඩි තිව්වම යුද්ධ ටැංකියේ බඳ සිදුරු වෙනවද.එහෙම සිදුරු වුනත් ටැංකියේ ගමන නවත්වන්නනම් ඇතුලේ ඉන්න කාර්ය මණ්ඩලයේ යට හානි කරන්න ඕන නේ.එත් ඉතින් Anti Tank Rifle එකෙන් වෙඩි තියන කෙනාට ටැංකිය ඇතුලේ ඉන්න සෙබළුන්ව පේන්නෙ නෑනේ.ඉතින් කොහොමද ටැංකියේ රියදුරා හෝ වෙඩි තබන්නාව හරියටම ඉලක්ක කරගන්නේ.

    • යුද්ධයේදී අවියක් පාවිච්චි කරන්නේ කණා බල්ලන් ගහන ක්‍රමයට නෙවෙයි. ඒ සඳහා පුහුණුවක් දෙනවනේ. ඉතින් වෙඩි තියන මිනිහා දන්නවා ටැංකියේ කොතනටද වෙඩි තියන්න ඕනෙ කියලා. මේ තුවක්කු වලින් වැඩක් නැත්නම් මෙපමණ මහන්සිවී හදයිද? මම දන්නා තරමින් කොතනකවත් වාර්තා වෙලා නැහැ මේ තුවක්කු වලින් වැඩක් නැහැ කියලා ඉවත දැමුවා කියා. අද කාලයටනම් මෙයින් සමහර අවි ගැලපෙන්නේ නැහැ. එයට හේතුව නවීන යුද ටැංකිවල සන්නාහය සිදුරු කරන්න තරම් මේ තුවක්කු උණ්ඩ බලවත් නොවීමයි.

  3. හැමදාම ඇවිත් ඇවිත් බැලුවා හතරවෙනි කොටස එනකල්.
    ගොඩක් ස්තූතියි ඔබතුමාට මහන්සිවෙලා මේ ලිපි ලියනවට.

    යුද්ධ ටැංකි ගැන ගොඩක් දේවල් දැනගත්තා.

  4. හැමදාමත් වගේ හොඳ හරවත් ලිපියක්. යුධ ටැංකි ගැන ගොඩක් දේවල් දැනගත්තා/

  5. ක්සැන්ඩර් said:

    මම හිතුවේ යුද්ධ ටැංකි පතුරොමත් තවත් එක පතුරොමක් විතරයි කියල. බැලුවාම මේකේ වැඩ වැඩියි නේ. දැන් තමා තේරුනේ ටැංකියකින් ගැහුවාම පුපුරලා යන්නේ ඇයි කියල.

    විචාරකතුමා ටැංකි බටේකින් ග්‍රෙනේඩ් එකක් දැම්ම කියල ටැංකියට හානි කරන්න පුළුවන් ද? මම මේ දේ දැක්කා සිරියා යුද්ධය ගැන තියන වීඩියෝ එකකින්.

    • ඇත්තටම යුද්ධ ටැංකි වලින් වෙඩිතියන පතරොම් වර්ග මහා සංකීර්ණයි. මම හැකිතරම් සරලව කිව්වේ.

      ඔව්, C 4 වැනි තදබල පුපුරන ද්‍රව්‍ය සහිත බෝම්බයක්, යුද ටැංකියක මහ තුවක්කුවේ කටට ඔබන්න පුලුවන්නම්, යම්කිසි හානියක් කරන්න පුළුවන්, නැවත ඒ තුවක්කුව පාවිච්චි කරන්න බැරිවෙන විදිහට.

      බොහොම ස්තුතියි ක්සැන්ඩර්, ඔබේ අදහස් දැක්වීම ගැන.

  6. Thumani
    Tikak withara pahadili madine tanki 3k withara tiyanakota godak loku sadayak enawane ethakota sathura danaganawa neda tankiyak kyala ethakota tanki walata gahana lesiy ne anika duradima hoyagana puluwan ne
    2. Tanki nashaka awi walin karane heat eken tankiya winsaha karana ekada?

    • ටැංකි වල තියන අවාසි ගැන කියද්දී, මට අමතක වෙලා තියනවා ටැංකියෙන් නැගෙන ශබ්දය අවාසියක් කියන එක සඳහන් කරන්න. ඔන්න දැන් ඒ කාරණය ඇතුළත් කරනවා. ලිපියේ අදාළ තැනට. ටැංකි ගැන අපේ රටේ මට්ටමෙන් හිතන්න එපා. ටැංකි සටන් ඇතිවෙන්නේ අපට හිතාගන්නවත් බැරිතරම් මහා විශාල භූමි ප්‍රදේශවල. එහිදී සද්දය ඇහුනත්, සද්දේ ඇහෙනකොට ටැංකි ළඟටම ඇවිල්ලා ඉවරයි. අනික ටැංකි යවන්න කලින්, කාලතුවක්කු, මිසයිල්, MBRL වැනි අවි වලින් ප්‍රහාර එල්ල කරනවා. ටැංකි වලට තියෙන්නේ ඉතුරු ටිකට වැඩේ දෙන්න විතරයි.

      ඔව්. හීට් කියන්නේ ඒ උණ්ඩයේ නමේ කෙටි යෙදුම. High Explosive Anti Tank = HEAT ඇත්තටම ඒ උණ්ඩයකින් සිල්සියස් අංශක 1650 ක පමණ උෂ්ණත්වයක්, තත්පර කීපයක් ඇතිකරනවා. එය හොඳටම ප්‍රමාණවත් ටැංකිය සහ කාර්ය මණ්ඩලය වනසන්න.

  7. ප්‍රභාත් said:

    ගොඩක් ස්තුතියි සර් මේ වගේ ලිපි ලියලා අපේ දැනුම වර්ධනය කරන්න අවස්ථාවක් හදල දීම ගැන..සර් ගෙන් දිගටම අපි මේ වගේ ලිපි බලාපොරොත්තු වෙනවා.

  8. Godak sthutiy pilituru dima sambandawa kalin prashna 2ta
    thawath awulak tiyanawa
    loku awiwalin gahanakota sathura palayanne nathuwa satan karanawada nada kyala tiranaya karala da tanki yawane nathnam hama awiyak ma sudanam karala udabime tiyanawada

    tankiwalata ambush karana puluwan da? E wagema tankiyak ambush ekakata lakwena puluwan kama godak wadi neda?

    Obata karadarayakda dane na mehema prashna ahana eka godak karya bahula welawakath api gana soya balima gana godak stutiy

    • මට අමාරු මේ විදිහට ටයිප් කරපු සිංහල කියවන එකයි. ඒ නිසා ඔබට අකමැත්තෙන්හෝ සිංහලට මාරුවෙන්න සිදුවෙනවා.

      යුද ටැංකි යොදවන්නේ ඒ ඒ යුද්ධමය භූමිකාවට Theater of War යුද්ධ ටැංකි අවශ්‍යද නැද්ද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. සෑම ආධාරක අවි වර්ගයක්ම යොදවන්නේ ඒ න්‍යාය පදනම් කරගෙනයි.

      ටැංකි ඇම්බුෂ් කරන්න පුළුවන්. අදත් එය කරනවා. ඒ සඳහා විශේෂයෙන් පුහුණු කල එමෙන්ම RPG ක්‍රමයේ අවි සහිත කුඩා කාණ්ඩයම් ඉන්නවා.

  9. අප්පා හරි අමාරුවෙන් මෙ ලිපිය ඩවුන්ලොඅඩ් කරගත්තෙ.දවස්ගනනාවක් ට්‍රය් කලා.මගෙ නෙට් කනෙcටිඔන් එකේ මොකක් හරි අවුලක් තියෙනව.
    බොහොම ස්තුතියි ලොකු මහත්තය දැනුවත් කිරිමට.

  10. බොහොම ස්තුතියි ඔබතුමාට, ශේල්වේදී කියන්නෙත් මේ වගේම විශාල තුවක්කු වලින් එල්ල කරන වෙඩි වලටද?

    • ෂෙල් එකක් කියන්නේ කටුවක් හෙවත් ආවරණයක් වගේ දෙයක්නේ. මේ වගේ තුවක්කු වලින් තියන වෙඩිල්ලේ උණ්ඩයත් ලෝහ ආවරණයක තමයි තියෙන්නේ. (ෂෙල් එකක) එය ගිහිල්ල ඉලක්කයේ වැදී පුපුරනවා. එවැනි වෙඩි ඔක්කොම ෂෙල් වෙඩි තමා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: