විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් තියනවනේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසටත්, දෙවැනි කොටසටත්, ඔබෙන් ලද දිරිගන්වන සුළු ප්‍රතිචාර වලට, මගේ කෘතඥතාව පළ කරන අතර, තුන්වැනි කොටසද ඔබට මෙලෙස පිළිගන්වනවා.

  මේ කොටස තරමක් ප්‍රමාද වුණේ, ඉහළට ඉගෙන ගන්නා ඥාති දියණියකට, නිබන්ධනයක් සැකසීම සඳහා, විශේෂ වෙහෙසක් දරා, දිවා රෑ නොබලා අන්තර්ජාලයෙන් සොයා, කරුණු කියාදීමටත්, පරිගණකයෙන් ලේඛනගත කොට, ඉන්පසු අවශ්‍ය ‘පවර්පොයින්ට්’ ඉදිරිපත් කිරීමේ පිටපතද සකසා දීමටත්, සිදුවුණ නිසයි. පිටු සියයකට වඩා ටයිප් කිරීමත්, පින්තූර සංස්කරණයත්, හරිම වෙහෙසකර වුණා. 

   අදනම් වැඩිය චූර්ණිකා නැතුව කෙළින්ම කතාවට බහිනවා. විස්තරය ටිකක් දීර්ඝ නිසා. අද මම මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ යුද්ධ ටැංකි වර්ගීකරණය ගැනයි. මතකද අපි කාලතුවක්කු ගැන කතා කරද්දීත්, මැෂින් තුවක්කු ගැන කතා කරද්දීත්, ඒවාගේ වර්ග කිරීම් ගැන කතාකළා. ඒ අවස්ථා දෙකේදීම අපි දැක්කේ, ප්‍රධාන වශයෙන්,

  • සැහැල්ලු,
  • මධ්‍යම ප්‍රමාණයේ, සහ
  • බර, හෙවත් විශාල ප්‍රමාණයේ,

   යනුවෙන් කාලතුවක්කු මෙන්ම මැෂින් තුවක්කුද වර්ගීකරණය කරන බවයි. ඇත්ත වශයෙන් මේ ආකාරයට යම් යම් උපකරණ, යන්ත්‍ර, ආයුධ, වැනි දෑ පමණක් නොව, විවිධ විෂයයන් යටතේ ගැනෙන වර්ගකිරීමත් එක්තරා ශාස්ත්‍රයක්. එය වර්ගීකරණ විද්‍යාව taxonomy  යනුවෙන් හැඳින්වෙනවා. යුද්ධ ටැංකි සම්බන්ධයෙනුත් ඒ න්‍යාය ඒ ආකාරයෙන්ම තමයි පාවිච්චි කරන්නේ. එහිදී යුද්ධ ටැංකියේ ප්‍රමාණය size පමණක්ම නෙවෙයි වැදගත් වන්නේ, එහි ප්‍රහාරක ශක්තියත් assault capability ඉතා වැදගත්. මෙය හඳුන්වන්නේ යුද ටැංකි වර්ගීකරණය – Battle Tank Classification යනුවෙන්. විශේෂයෙන්ම යුද ටැංකියක බර සහ විශාලත්වය අනුව සැහැල්ලු, මධ්‍යම, බර, යනුවෙන් වර්ගීකරණය මුලින්ම ඇරඹුණේ පළමුවැනි ලෝක යුද සමයේදී. දෙවැනි ලෝක යුද සමයේදීත් ඒ ක්‍රමයම අනුගමනය කළා.

   අපි දැන් වර්තමානයේදී යුද ටැංකි වර්ගීකරණය කරන ආකාරය සළකා බලමු. හැබැයි අද තත්වය තරමක් සංකීර්ණයි. නමුත් මම ඔබට ඒ සියල්ල කියන්නේ ඉතා සරලව. අද යුද ටැංකි වර්ග කිරීමේදී ටැංකියේ ස්වභාවය සහ ඉටුකරන කාර්යභාරය යන කරුණු දෙකම් එකසේ සලකා බලනවා. අපි ඒ ඔස්සේ කෙටියෙන් කරුණු සලකා බලමු.

1 භටපිරිස් ප්‍රවාහනය, මුර සංචාර,

  වැනි කටයුතු සඳහා යොදන සන්නද්ධ රථ

  APC / APV / BTR

    යුද පිටියේදී, පාබල හමුදා භටපිරිස්, පයින්ම ගමන් කරන්න ගියොත් සමහර අවස්ථා වලදී, ඉතා අවාසිදායක වෙන්න පුළුවන්. ඒ නිසා යුද ටැංකියක් වැනි, ඝන තහඩු ආවරණයකින් යුත් රථයක ආරක්‍ෂාකාරීව දමා භටපිරිස් යැවීම වාසි සහිතයි.  ඒ විදිහට සන්නද්ධ රථවලින් ගිහින් සටන් කරන පාබල හමුදාව හඳුන්වන්නේ ‘යාන්ත්‍රික පාබල හමුදාව’ – Mechanized Infantry කියලයි. අපේ රටෙත් තියනවා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක්. එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.

   ඒ ඒ රටේදී සහ ඒ ඒ හමුදා න්‍යායන් අනුව මේ සන්නද්ධ රථ, විවිධ නම් වලින් හැඳින්වුවත්, කරන්නේ එකම රාජකාරිය.

i   Armoured Personnel Carrier =  APC

ii  Armoured Personnel Vehicle = APV

iii бронетранспортер = BTR මෙය රුසියානු නමක්. ඉංග්‍රීසි තේරුම armoured transporter කියන එකයි. මම පෙන්නන්නම් අපේ හමුදාව පාවිච්චි කරන මේ වගේ රථයක්. 

BTR-80A_(3)

   මෙය BTR 80 මෝස්තරයේ සන්නද්ධ රථයක්. තඩි තුවක්කුවකුත් තියනවා වටේටම වනන්න පුළුවන්. මේක ඇතුළේ හුඟක් දෙනෙකුට යන්න බැහැ. නමුත් ඉතිං මෙව්වා එකක් නෙවෙයිනේ යන්නේ එක වරකට. අනික මෙව්වට වතුර පාරකින්, ජලාශයකින් ගොඩ යන එක එහෙම කජු කනවා වගේ වැඩක්. මේකේ පසුපස තියනවා බෝට්ටුවක වාගේ පොඩි තල බමන දෙකක්. මෙහි දොරවල් වැහුවම ජලරෝධක හෙවත් water seal වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මෙව්වගෙ වටිනාකම තේරෙන්නේ.

BMP-2-Satluj during Ex-Pine Prahar

btr-4_wheeled_armoured_personnel_carrier_Morozov_Ukrainian_Ukraine_rear_back_side_view_001

   පිටින් ප්‍රහාර එල්ල වෙන්නේ නැති වෙලාවට මේක ඇතුළේ යන අයට අමතරව, මේක උඩ නැගලත් යන්න පුළුවන් සෑහෙන භට පිරිසකට. මේ රෝද වලට වෙඩි වැදුණත්, බිම් බෝම්බයකට අහුවුනත්, සෑහෙන දුරක් යන්න පුළුවන් ආපදාවක් නැතුව. සාමාන්‍ය ෆෝ වීල් රථයක් 4 x 4 කියනවා වගේ, මේ රථය 8 x 8 රථයක්. තාක්ෂණික විස්තර කෙටියෙන් මෙහෙමයි.

  • වර්ගීකරණය : භටපිරිස් ප්‍රවාහන සන්නද්ධ රථය Armoured Personnel Carrier = APC
  • නිෂ්පාදිත රට : එදා සෝවියට් සමූහාණ්ඩුව අද රුසියාව
  • නිෂ්පාදනය : 1984 අද දක්වා සේවයේ යොදවා ඇති සන්නද්ධ රථයකි.
  • බර : මෙට්‍රික් ටොන් 13.6  යි
  • දිග : මීටර් 7.7 යි
  • පළල : මීටර් 2.9 යි
  • උස : මීටර් 2.41 යි
  • කාර්ය මණ්ඩලය : 3 යි
  • කාර්ය මණ්ඩලය හැර, යාමට හැකි භට පිරිස : 7 යි
  • ප්‍රධාන තුවක්කුව : මිලිමීටර් 14.2 KPVT
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.76 PKT
  • එන්ජිම : අශ්වබල 260 ඩීසල් එන්ජිමකි
  • සම්පූර්ණයෙන් තෙල් පුරවා යාහැකි උපරිම දුර : කි.මී. 600 යි
  • උපරිම ධාවන වේගය : ගොඩබිමදී පැ.කි.මී 80 – 90 පමණ. ජල තරණයේදී පැ.කි.මී. 10 යි

 

 

 

2 සටන් කිරීම සඳහා යොදවන සන්නද්ධ රථ (ටැංකි) 

     Armoured Fighting Vehicles

     මේ වගේ සන්නද්ධ රථ යොදවන්නේ යුද බිමේ තිබෙන විවිධ වර්ගයේ සතුරු වාහන, යුද ටැංකි ආදියට ප්‍රහාර එල්ල කරන්නයි. අපේ හමුදාව පාවිච්චි කරන මෝස්තරයක්ම පෙන්නන්නම්.  BMP stands for Boyevaya Mashina Pekhoty (Russion Боевая Машина Пехоты =  БМП) meaning “infantry fighting vehicle”

Bmp-1-DMSC9112086_JPG

තාක්ෂණික විස්තරය;

  • වර්ගීකරණය : පාබල හමුදා සටන් වාහනය (Infantry Fighting Vehicle)
  • නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • මුල් වරට නිෂ්පාදනය කල වර්ෂය : 1966 (දැන් තියෙන්නේ අලුත් මෝස්‌තර)
  • බර : මෙට්‍රික් ටොන් 13.6 යි
  • දිග : මීටර් 6.735 යි
  • පළල : මීටර් 2.94 යි
  • උස : මීටර් 2.068
  • ක්‍රියාකරුවන් ගණන : 3 යි
  • ආවරණ සන්නාහයේ ඝනකම : මිලිමීටර් 6 සිට 33 දක්වා
  • ප්‍රධාන තුවක්කුව : මි.මී. 73 2A28 GROM. (යුද ටැංකි නාශක රොකට් බෝම්බ)
  • අවශ්‍ය විට යුද ටැංකි නාශක මිසයිල් විදිනයක් සවි කල හැකියි.
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.62 x 51 බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : සිලින්ඩර් 6, සිව්පහර, ඩීසල්, අශ්ව බල 300, ජලයෙන් සිසිල් වන එන්ජිමකි. 2600 rpm
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ලීටර් 462 යි
  • සම්පූර්ණ ඉන්ධන පුරවා යා හැකි උපරිම දුර : කි.මී. 600 යි
  • සාමාන්‍ය භූමියක උපරිම වේගය : පැ.කි.මී. 65 යි
  • රළු භූමියක උපරිම වේගය : පැ.කි.මී. 45 යි
  • ජලයේදී වේගය : පැ.කි.මී. 7 – 8 අතර

 

   පොහ්……… පිස්සු හැදෙනවානේ? හැබැයි කතන්දරේ මෙතනින් ඉවර නැහැ.

සැහැල්ලු/මධ්‍යම පරිමාණ යුද ටැංකි

   Light/Medium Battle Tanks

   අපි පාවිච්චි කරන ජංගම දුරකථන වල තියනවා නේද 1G, 2G, 3G, ආදී වශයෙන්? යුද්ධ ටැංකි වලත් දැන් තියෙන්නේ 3G. ඒ කියන්නේ තුන්වැනි පරම්පරාවේ යුද්ධ ටැංකි. මීළඟට අපි බලමු තවත් වර්ගීකරණයක්. ඒ තමයි සමහර අවස්ථා වලදී සැහැල්ලු යුද ටැංකි යනුවෙනුත්, තවත් සමහර අවස්ථා වලදී මධ්‍යම පරිමාණ යුද ටැංකි යනුවෙනුත් හඳුන්වන ඒවා. මේ වර්ගීකරණයට වැටෙන, අපේ යුද හමුදාව පාවිච්චි කරන මෝස්තරය තමයි T 63 වර්ගයේ යුද්ධ ටැංකිය. මේවා විශේෂයෙන් යොදවාගන්නේ, වේගයෙන්, යුදබිමේ අහුමුලු වල රිංගා, බලාපොරොත්තු රහිත ප්‍රහාර එල්ල කිරීම පිණිසයි. 

TYPE-63A_40406

තාක්ෂණික විස්තර;

  • වර්ගීකරණය : උභයචර සැහැල්ලු/මධ්‍යම යුද ටැංකිය Amphibious Light/Medium Tank
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය 
  • පළමුවැනි වරට නිෂ්පාදනය : 1963 දී
  • බර : මෙට්‍රික් ටොන් 19.83 යි
  • දිග : මීටර් 8.44 යි
  • උස : මීටර් 3.122
  • ක්‍රියාකරුවන් ගණන : 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳෙහි සැකසුම : මි මී 10 සිට 14 දක්වා ඝන යකඩ තහඩු වලින්
  • ප්‍රධාන තුවක්කුව : මි මී 85 ප්‍රමාණයේ 62-85TC වර්ගය
  • දෙවැනි තුවක්කුව : මි මී 12.7 ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : මෝස්තරය 12150 L, සිලින්ඩර් 12, ඩීසල්, ජලයෙන් සිසිල්වන, අශ්ව බල 450
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ඩීසල් ලීටර් 545 යි
  • සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ පසු : සාමාන්‍ය භූමියේ කි.මී. 370 ක්, රළු භූමියේ කි.මී 340 ක්, ජලයේ කි.මී. 120 ක්, යා හැකියි.
  • වේගය : සාමාන්‍ය භූමියේ පැ.කි.මී. 64 යි, රළු භූමියේ පැ.කි.මී. 30 යි, ජලයේ පැ.කි.මී. 12 යි.

 

 

 

 

 

මහා පරිමාණ යුද ටැංකි

   Main Battle Tanks (MBT)

   ඊළඟ යුද්ධ ටැංකි වර්ගය තමයි, මහ යුද්ධ ටැංකි හෙවත්, Main Battle Tank = MBT කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මෙයින්, ‘මහාම මහා එව්වා’ 😀 Super Heavy Tanks අපේ රටේ නැහැ. ගෙනල්ලා ඇති වැඩකුත් නැහැ. එව්වා ගැලපෙන්නේ, කිලෝමීටර සිය ගණන් විහිදුණු, මහ විශාල යුද භූමි ප්‍රදේශ තියන රටවලට. අපේ රටට ගෙනාවත්, හිඟන්නා අලියෙක් ගත්තා වගේ තමා නඩත්තු වියදම. (හුටා…………..අපේ රටේ හිඟන්නෝ අපිට වඩා පෝසත් නේද? 😀 ඔය පත්තරවල තියෙන්නේ විස්තර) මේ යුධ ටැංකි මහා පරිමාණ යුද ටැංකි යනුවෙන්, මෙහෙම එක නමකින් තිබුනාට, ලෝකයේ ඒ ඒ රටවල නිපදවා ඇති විවිධ ප්‍රමාණයේ ටැංකි, බලසම්පන්න බව අතින් එකිනෙකට බොහොම වෙනස්. ලෝකයේ තිබෙන සමහර ටැංකි, කෙබඳු ආකාරයක ඒවාද යන්න තවමත් රහසක්. අපේ අසල්වැසියා වන ඉන්දියාවත්, ‘අර්ජුන්’ නමින්, මහා බලසම්පන්න ටැංකියක් හදලා තියනවා. ලෝකයේ දැනට තිබෙන හොඳම, මහා පරිමාණ යුද ටැංකි 10 ගැන මෙතනින් විස්තර බලන්න පුළුවන්. අපේ යුද හමුදාව, T 55, T 55 AM2, සහ T 69 යන වර්ග තුනට අයත්, මහා පරිමාණ යුද ටැංකි පාවිච්චි කරනවා. අපි බලමු T 69 යුද්ධ ටැංකිය කොහොමද කියලා.

Type_69_China_SUDB_001

තාක්ෂණික විස්තර;

  • වර්ගීකරණය : මහා පරිමාණ යුද ටැංකිය MBT
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය
  • සැලසුම් කිරීම : 1963 – 1974 කාලයේදී
  • සේවයේ යෙදවීම  : 1982 දී
  • බර : මෙට්‍රික් ටොන් 36.7 යි
  • දිග : මීටර් 6.24 යි
  • පළල : මීටර් 3.3 යි
  • උස : මීටර් 2.8 යි
  • ක්‍රියාකරුවන් ගණන ; 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳ සාදා ඇති සන්නාහ තහඩුවේ ඝනකම : මි.මී. 203 යි
  • ප්‍රධාන තුවක්කුව මි.මී. 105 තුවක්කුව
  • දෙවැනි තුවක්කු : මි.මී 7.62 සහ 12.7
  • එන්ජිම : අශ්ව බල 580 ඩීසල්
  • උපරිම ගමන් දුර : කි.මී. 440 යි
  • වේගය : පැ.කි.මී. 50 යි

 

   ලිපිය අවසන් කරන්නට මත්තෙන් ඔබට කරුණු කීපයක් අවධාරණය කරන්නට කැමතියි. මා මෙහි දක්වා ඇත්තේ ඉතා සරල විස්තරයක්. යුද ටැංකි වර්ගීකරණය මීට වඩා අතිශයින් සංකීර්ණයි. ඒ සියල්ල දැක්වීමට නම් ලිපි හත අටක් වත් ලියන්න වෙනවා. නමුත් එය අනවශ්‍ය ක්‍රියාවක්. මේ පිළිබඳව සාමාන්‍ය දැණුමක් ලබාගන්නට මේ විස්තර ඇති. ඊළඟ ලිපියෙන් අපි ලෝකයේ තියන සුපිරි යුද ටැංකි බලමු. ඒ වගේම යුද ටැංකි පාවිච්චි කරන හැටිත් ඉගෙන ගනිමු.

 

my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 14 වැනි දින 0027 පැය

Advertisements

Comments on: "අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three)" (38)

  1. මේ ලිපියේ වටිනාකම නම් මෙච්චරයි කියන්න බැහැ,, කාලෙකින් ආවේ එද්දිම මන් ආස මාතෘකාවක්,,
    මෙදා ඊශ්රායල් හමාස් ගැටුමේදී මැරුණු යුදෙව් භටයන්ගේ මරණ වල වැඩි ප්‍රතිශතයක් සිද්ධ වුණේ පරණ යුධ ටැංකි පාවිච්චි කරපු අවස්ථාවල කියලා මෙහ මිනිස්සු කියනවා,,

    ඊශ්රායල් රටක් විදියට හදන්න කලින්,, පලස්තීනය විතරක් තියෙන කාලේ ඊශ්රායල් වලම ඉපදිච්ච පාරම්පරික යුදෙවුවන්ට ආමි එකක් තිබිලා නැහැ රජයක් තිබිලා නැහැ, ඒත් එයාලා “පල්මා” කියලා ස්වෙච්චාවෙන් ආමි එකක් වගේ කරගෙන ගියාලු,, ඒ ගැන කතා හරි සුන්දරයි,, ඒ වගේම අසුන්දරයි ,,,,

  2. බොහොම ස්තුතියි ඔබගේ මේ විස්තරයට. ඒ පාර යුධ ටැංකියක් එලවන්න ආසා හිතුනා….

  3. අර T69 /T63A යුද්ධ ටැංකි දෙකේ පින්තුර වල යුද්ධ ටැංකියේ වම් පැත්තෙන් තියෙන පොඩි බට හතර මොකක්ද?එකෙන් මොනවද කරන්නේ?

    • පාර අයිනේ තියන මල්ගස් වලට වතුර දාන්න 😀

      එයින් පුළුවන් දුම් බෝම්බ, රසායනික බෝම්බ, යවන්න. දුම් බෝම්බයක් යවලා පලාතම දුමෙන් වහනවා. ඒ දුමට මුවාවෙලා ටැංකිය අවශ්‍ය තැනට මාරුවෙනවා. පහල තියන වීඩියෝ එක බලන්න.

  4. මට ඉතිං මේ වගේ අවි අයුධ දකිද්දී වෙලාවක හිතෙනවා මෙව්වා ඉතිං මේ හදන්නේ තවත් මිනිහෙක් මරා දාන්න නේ කියලා විචාරක මහත්තයෝ. මට විතරද එහෙම හිතෙන්නේ?

    අනික විචාරකතුමනි ඔබතුමා අර රතුපස්වල සිදුවීම ගැන ලියපු ලිපි මම බැලුවා. ඒවායේ කදිමට සදහන්ව තිබුනානේ මේ වගේ අවස්ථාවකදී හමුදාව යෙදවිය යුතු ආකාරය ගැන. ඒත් විචාරකතුමනි මම මේ ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක් දැක්කා රතුපස්වල සිදුවීමේ එම හමුදා ඛණ්ඩයට අණදුන් බ්‍රිගේඩියර්වරයාට තානාතිපති ධුරයක් හෝ විදේශ සේවයේ ආරක්ෂාවට සම්බන්ධ ඉහල ධුරයක් ලබා දී ඇති බව. එතකොට ඉතිං අපි කොච්චර කිව්වත් හමුදාවතුලත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට නේද? ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට එක නීතියක්. අනික් ඇයට තව නීතියක්.

    • බොහොම ස්තුතියි ඉවෝන් ඔබේ මේ හදවතින්ම නැගෙන අවංක අදහස් ඉදිරිපත් කිරීම ගැන.

      මිසයිල් එකක් කියන්නේ බාහිරින් ලබාදුන් බලයක් නිසා ලැබෙන වේගය ඔස්සේ ගමන් කර ඉලක්කයකට වදින ආයුධයක්. මිනිසාගේ මුල්ම මිසයිල් එක තමයි පොළොවෙන් ගල් කැටයක් අහුලලා තමන්ගේ සතුරාට දමාගසන එක.

      මිනිසා තුළ මිනිස්කම නැතිතාක් කල් ආයුධ අවශ්‍ය වනවා. හැබැයි එයින් වන යහපතක් නැහැ. ආයුධ ගත්ත අය ආයුධ වලින්ම නැසෙනවා. අපි දිනාගන්න ඕනෙ අපේම හිතේ තියන සිතුවිලි. එහෙම නේද?

      අපේ රටේ දැන් නීතිය ක්‍රියාත්මක වන හැටි මම ඔයාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි තමන් කල කර්මය කවදා හෝ තමන්ට පලදෙන බව හුඟක් දෙනෙකුට අමතක වෙලා.

  5. දැන් තමා දෙවන වර කියෙව්වේ . මේ දුර්ලභ දැනුම බෙදා හැරීමට කටයතු සලන ඔබ විශාල මහන්සියක් ගන්නා බව සැබෑවකි. එහෙත් එය ඔබ රැස්කර ගන්නා පිනකි.

    • බොහොම ස්තුතියි ගුණසිංහ මහතාණෙනි. ඔබේ අවසන් වරට ලියු ලිපිය මට මග හැරිලා වගේ. නැවත බලන්නම්.

      • මුළුතැන් සඳහා ජලය ලබා ගන්නා ළිඳ ගැන ලියා ඇත්තෙ. එම ලිපිය ඔබේ අවධානයට වැදගත් විය හැකි බව මගේ විශ්වාසයයි හාස්කමක් වූ ඓතිහාසික ළිඳ

  6. ඉතා වැදගත් තොරතුරු ඇතුලත් ලිපි පෙළක්. කොමෙන්ටුවක් දාන්න බැරි වුනත් මේ ලිපු පෙළ මම මුල සිටම කියෙව්වා (ඉස්සර වගේ නෙවෙයිනේ…. දැන් නිවාඩු පාඩු අඩුයි වැඩ රාජකාරිත් එක්ක). මේවා ප්‍රදර්ශනවල එහෙම දැකලා, ඇතුලට එබිලා එහෙම බලල තිබුණට වැඩි විස්තර දැනගත්තේ මේ ලිපි ටික කියෙව්වට පස්සේ. බොහොමත්ම ස්තූතියි මේ විදියට දැනුම ලබාදීම සම්බන්ධව.

    • කමෙන්ට් නොදැම්මත් සෑහෙන දෙනෙක් මෙවැනි ලිපි කියවන බව මම දන්නවා. බොහොම ස්තුතියි ඔබේ මේ අදහස් දැක්වීම ගැන. ප්‍රදර්ශනයකදී මෙතරම් සවිස්තරව බලන්න ගියොත් ප්‍රදර්ශනයේ ඉතුරු දේවල් බලන්න බැරිවෙනවා 😀

  7. අසාවෙන් බලාගෙන හිටපු ලිපියක්. හැමදාම වගේ අදත් නියම ලිපියක් විචාරකතුමා ලියලා තියනවා.

    ඔබතුමා දක්ෂ හමුදා නිලධාරියෙකු වගේම දක්ෂ ගුරුවරයෙක් බවත් ඔබතුමාගේ ලිපි ලියන ආකාරය අනුව තේරෙනවා.

    1. විචාරකතුමනි Unicorn APC රථය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එකක් නේද? එක ගැනත් ටිකක් ඊලග ලිපියෙන් ලියන්න. එක අපේ දෙයක් නේ?

    2. යුද ටැංකි ඇතුලේ ගමන් ගන්නා නිලධාරීන් විශේෂිත කන් ආවරණ සහිත හිස් වැස්මක් යොදා ගන්නේ අධික ශබ්දයෙන් වැළකීමටද?

    • විචාරකතුමාට කලින් මං පැනල උත්තර දෙනවට සමාවෙන්න. බෆල් රථ මුලින්ම නිෂ්පාදනය කලේ දකුනු අප්‍රිකාව. අපි ඒක ගෙනාවෙ එහෙන් හේතු කීපයක් නිසා

      1. රුසියානු BTR, BMP වලට වඩා එකවර වැඩි භට පිරිඅක් රැගෙන යාහැකි වීම.
      2. මිල සහ නඩත්තුව පහසු වීම (ඉහත රථ වලට සාපේක්ෂව )
      3. V හැඩැති යට පෙදෙස (HULL) නිමාව නිසා වඩා සාර්ථකව බිම්බොම්බ වලට ඔරොත්තුදීමේ හැකියාව.

      මෙන්න මේ කාරණා නිසා අපෙ හමුදාවට මේ වාහනේ අල්ලලා ගියා. ඒපාර අපේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය ඉන්දියන් ටාටා චැසියක් යොදාගෙන දකුනු අප්‍රිකානු නිපැයුමටත් වඩා ලාබෙට අපේම version එකක් හැදුවා.

      මුලින්ම හැදුව යුනිකොන් පස්සෙ තවත් වැඩි දියුනු කරලා දැන් හදන යුනිබෆල් තත්වෙටම ආව. මේක අපි ලංකාවෙ හදන එක පට්ට ලාබයි. අපිට හොදට export කරන්න පුලුවන් product ඒකක් මේක.

      මේවයෙ යුදබිමේ ප්‍රායොගික (battlefield performance) පැත්ත විස්තර කොරන්න ඉතින් අපේ විචාරකතුමා ඇරෙන්න වෙන කාටද පුලුවන්… ඔං එහෙනං ඒටික ඔබතුමාට බාරයි. ඔන්න මං තුමා ඔබතුමාගෙ උත්තරෙ දෙන වැඩේට පොඩි සප් එකක් දුන්නෙ ඈ… අහිතක් හිතන්න එපා ඔං

    • @ තාරක මේ විෂයය පිළිබඳව ඔබේ උනන්දුවත්, ලිපිය ඇගයීමත් ගැන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. UNICORN රථය ලංකාවේ නිෂ්පාදනයක්. භටපිරිස් ආරක්ෂිතව ප්‍රවාහනයට මිසක් යුදබිමේ යෙදවීමට සුදුසු නැහැ. මේ තියෙන්නේ ලංකාවේ හදපු එකක්.

      යුද ටැංකිවල සිටින ක්‍රියාකරු කණ්ඩායම හිසේ පැළඳ සිටින්නේ පණිවිඩ හුවමාරු උපකරණ සහිත හිස්වැස්මක්. ටැංකියේ හඬ සහ වෙඩි තබන හඬින් කණ අගුලුවැටීම වලක්වාගන්නයි එහෙම හදලා තියෙන්නේ.

      මේ ලිපියේ අවසාන ඡේදයේදී මම කිව්වනේ යුද්ධ ටැංකි සහ සන්නද්ධ රථ පිලිබඳ වර්ගීකරණය අතිශයින් සංකීර්ණයි කියලා. මේ ලිපියේදී මම අවධානය යොමු කරලා තියෙන්නේ යුද්ධ ටැංකි කියන පැත්තටයි. සන්නද්ධ රථ ගැන එච්චර විස්තර කියන්නේ නැහැ.

      @ Chamikara. BTR සහ BMP වලට වඩා ඔබ කියා ඇති රථවල භටයන් ගෙනියන්න පුළුවන්. එමෙන්ම ඔබ කියා ඇති අනෙකුත් විස්තරත් හරි. නමුත් යුද භූමියේදී ඒ රථ එතරම් ආරක්ෂාකාරී නැහැ. එක තැනකින් තව තැනකට භට පිරිස් ප්‍රවාහනය කරනවා හැර, යුද භූමියේදී සටන් කරන්න යෙදවීම නුවණට හුරු නැහැ.

  8. ලස්සන ලිපියක්. බොහොම ස්තුතියි විචාරක තුමනි
    යුද්ධ ටැංකියක දැනට භාවිතා වෙන විශාලතම තුවක්කුව මොකද්ද?

    • මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. යුද ටැංකි සමහරක් ඇත්තටම බැලුවොත් ජංගම කාලතුවක්කු. ඒ කියන්නේ යුද ටැංකියේ සවිකර තිබෙන්නේ කාලතුවක්කුවක්. එය යුද බිමට යන්නේ නැහැ. පසුපස සිට සටන් කරන්න පුළුවන්. ට්‍රැක් වලින් දුවන නිසා ඕනෑම භූමියකට ඔට්ටුයි.

      තවත් යුද ටැංකි වර්ගයක් තියනවා. ඒවායේ සවිකර තිබෙන්නේ වෙනත් යුද ටැංකි වලට පහරදීම සඳහාම සාදන ලද තුවක්කුවක්. එයින් ගොඩනැගිලි, වෙනත් ඉදිකිරීම් ආදියටත් පහර දෙන්න පුළුවන්. ඒ විදිහට බැලුවොත්,

      රුසියාවේ නිෂ්පාදිත T 90 යුද ටැංකියේත්

      යුක්රේනයේ නිෂ්පාදිත Oplot – M නමැති යුද ටැංකියේත්

      චීනයේ නිෂ්පාදිත T 99 නමැති යුද ටැංකියේත්

      තිබෙන්නේ මිලිමීටර් 125 තුවක්කු.

    • ඔබතුමා සිත්තරාට දුන් පිලිතුරේ සදහන් වෙන්නෙ self propelled gun ගැන නේද? අපේ යුද හමුදාව මේව පාවිච්චි කරන්නෙ නැති වෙන්න විශේෂ හේතුවක් තියනවද? මිල ලොකු ගැටලුවක් වෙන්න බෑ අනික mobility එක වැඩි නිසා towed artillery වලට වඩා field availability & flexibility වැඩි නේද

    • 1 self propelled guns වලට අවශ්‍ය ආකාරයේ භූමියක් නෙවෙයි අපිට තියෙන්නේ. සීමිත භූමියක්.

      2 අපිට අවශ්‍ය කාලතුවක්කු තියනවා. ඒ වගේම අපිට අවශ්‍ය multi role / multi purpose යුද්ධ ටැංකි. ඒ නිසයි අපි යුද්ධ ටැංකිම අරගෙන තියෙන්නේ.

  9. Thumani
    balastik crruz wage misail wage ewa th mewage tank wala neda tiyene ewa tanki vargikaranaya ayathda?

    • මේ ප්‍රශ්නයට ඔව් නැහැ කියන උත්තර දෙකම දෙන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍යවිට මිසයිල් සවිකිරීමට හැකිවන ආකාරයට සැකසු යුද ටැංකි තිබෙනවා. ඒ වගේම මිසයිල් රැගෙන යුද බිමට යන, එහෙත් යුද ටැංකි නොවන, නමුත් රෝද වෙනුවට ට්‍රැක් සවිකළ, වාහන තිබෙනවා. ඒ වාහනයෙන්මයි මිසයිල් යවන්නේ.

  10. නියමයි.බොහොම ස්තුතියි දැනුවත් කිරිමට.මෙ අර අන්තිමට කිවුව වගෙ ඔව එලවන්න කියල දෙනකොට ප්‍රැක්ටිකල් එකකුත් කරනවද?

    • ඇගයීම ගැන ස්තුතියි.

      යුද ටැංකි පැදවීම තරමක් දුෂ්කර විශේෂ පාඨමාලාවක් මගින් උගන්වන්නේ. ඒ සඳහා පුහුණු කරන්නේ සන්නාහ සන්නද්ධ බලකායේ තෝරාගත් අයවලුන් පමණයි. සමහ ටැංකිවල ස්ටියරින් වීල් එකක් නෙවෙයි තියෙන්නේ, බැකෝ එකක වගේ හැඬල් දෙකක්.

  11. තොරතුරු වලට වෙනදා වගේම ස්තූතියි. මම එදා ඇහුව යුධ ටැංකි නාශක බිම් බෝම්බ ගැනත් තොරතුරු අපිට දුන්නා නම් බොහොම හොදයි කියලා හිතෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය බැලුවාම ඉහළින්ම තියෙන රථ ලීටරයකට මීටර් 1200 ක වගේ දුරක් තමයි ගමන් කරන්නෙ. රථයේ ආවරණ තහඩු වලින් රථයේ බර වැඩි කර තිබෙන නිසා තමයි එහෙම වෙන්න ඇත්තෙ.යුධ බිමේ තීරණාත්මක අවස්ථා වලදි මේ රථ කාර්මික දෝෂ වලට ලක්වූ අවස්ථා එහෙම නැද්ද…කිසිවෙකුට උදව්වට එන්න ඉසිඹුවක් නැති වෙලාවක

    • ඊළඟ කොටසේදී ඔබ ඉල්ලා තිබෙන තොරතුරු කියන්නම්. අපොයි යුද්ද ටැංකි කියන්නේ තෙල් බොන යන්තර ජාතියක්. යුද ටැංකි අනාත වෙලා විනාශ වෙන අවස්ථා තියනවා.

  12. ක්සැන්ඩර් said:

    මේ ටිකේ ඔෆිස් එකේ ලොකු යුද්දෙක පැටලිලා ඉන්න ගමන්. 🙂 ටැංකියක් ඕනේ වෙන සයිස් එකක් වගේ තියෙන්නේ මෙහෙටත්. 🙂

    ඔබතුමා මේ පල කල ලිපි පෙළ ඇසුරේ මම දැකපු දෙයක් තමා මේ ටැංකි ගොඩක් වෙලාවට දිය ගොඩ දෙකේම යන විදියේ ඒවා බව. එහෙම ඒවා කොතරම් ගැඹුරු දියක වුනත් යන්න පුළුවන් විදියට ද හදල තියෙන්නේ? හිට්ලර් ලොක්ක නේ ඕවා කරන්න මුලින්ම සැලසුම් කලේ එංගලන්තේ අල්ලන්න.. 🙂

    • මටත් වෙලා තියෙන්නේ හිටපු ගමන් කාර්ය බහුල වීම. මීළඟ කොටස ඉවර කරගන්න බැරුව තවම දඟලනවා.

      හුඟක් ගැඹුරු දියේ සහ සැඩ පහර තියන දියේ ටැංකියකට යන්න බැහැ. යුද්ද ටැංකි කිව්වොත් මතක් වෙන්නේ ජර්මනිය තමා. හිට්ලර් මේ ගැන බොහොම උනන්දු වුණා. අදටත් ජර්මන් යුද ටැංකි වලට ලොකු තැනක් තියනවා.

  13. ටැංකි 😛 විතරද අප්පා හැමදාම

  14. ලඟකදී ඉඳන් මමත් මේ අවි ආයුධ ගැන තිබුන වාර්තා වැඩ සටහන් ටිකක් බැලුව අන්තර්ජාලයෙන් හොයල. ඒත් මේ තරම් සංක්ෂිප්තව සරලව තියන තැනක් මට නම් හම්බ උනේ නෑ. ජයවේවා. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: