විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


TankLogoGIF   කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්‍රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ ප්‍රවෘත්ති නරඹනවා නම් යුද්ධ ටැංකි සටන් බිම තුළ ක්‍රියාත්මක වන ආකාරය දකින්නට පුළුවන්. ජාත්‍යන්තර යුධ න්‍යාය අනුව යම්කිසි රටක යුද ශක්තිය පිළිබඳව තක්සේරු කිරීමේදී ඒ රට සතුව කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තිබේද යන්නත් ඉතා වැදගත් සාධකයක්.

   අපි වගේ පුංචි රටකට නම්, ප්‍රතිවාදී හමුදාවක් සමග, යුද ටැංකි යොදාගෙන, මහා පරිමාණ ගොඩබිම් සටන් කරන්නට අවස්ථාවක් එළඹෙයි කියා, හිතන්නට අමාරුයි. නමුත්, මහා විශාල ගොඩබිමක් හිමි දැවැන්ත රටවලට නම්, යුද්ධයේදී යුද ටැංකිය ඉතා තීරණාත්මක සාධකයක්. අපි බලමුද, ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල කොපමණ යුද ටැංකි ප්‍රමාණයක් තියනවද කියලා. මේ තොරතුරු බොහෝවිට ලබාගන්නා ක්‍රම කීපයක් තිබෙනවා. එක ක්‍රමයක් තමයි ඔත්තු සේවා, ජාත්‍යන්තර මට්ටමේ ඔත්තු සේවා ලෝකය පුරාම ක්‍රියාත්මක වෙනවා. එයින් සමහරක් තොරතුරු අන්තර්ජාලයේත් පළවෙනවා. තවත් ක්‍රමයක් තමයි රටරටවල් අතර සිදුවන නීත්‍යානුකූල මෙන්ම ලෝකයේ ඇස වසා කෙරෙන අවි ගණුදෙනු පිලිබඳ වාර්තා සොයාගැනීම. මා මෙහිදී දක්වන්නේ, ලෝකයේ රටවල් කීපයක තිබෙන, සියලුම මෝස්‌තර වලට අයත් යුද ටැංකිවල එකතුව, කොපමණද කියන එක පමණයි. 

                 රට                        යුද ටැංකි ප්‍රමාණය (2011 වර්ෂයේදී පමණ)

  1. ඇමරිකා එක්සත් ජනපදය                 6700 යි
  2. රුසියානු සමූහාණ්ඩුව                       23725 යි
  3. චීන ජනරජය                                    8500 යි (දැනට දන්න ප්‍රමාණය)
  4. ජර්මනිය                                          2000 යි
  5. ප්‍රංශය                                              407 යි
  6. ඊජිප්තුව                                           3095 යි
  7. ඕස්ට්‍රේලියාව                                    59 යි
  8. ජපානය                                           889 යි
  9. ඉන්දියාව                                        3712 යි
  10. පාකිස්ථානය                                  2620 යි
  11. දකුණු කොරියාව                            3122 යි
  12. උතුරු කොරියාව                            5213 යි
  13. ශ්‍රී ලංකාව                                      245 යි (ආසන්න වශයෙන්)                                                                                                                                                                                                          

 මොකද හිතෙන්නේ?……විශාල බිම් ප්‍රදේශයක් තිබෙන, වෙනත් රටවල් ගොඩකින් වටවෙලා ඉන්න, ඒ වගේම, තමන් සමග එදිරිවාදී රටවල් තිබෙන රාජ්‍යයන් තමයි, යුද්ධ ටැංකි ගොඩ ගහගෙන ඉන්නේ. තවත් වැදගත් හේතුවක් තමයි තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය. ඒ අනුව තමයි තමන්ට යාළුවො හෝ තරහ කාරයෝ වැඩිවෙන්නේ. ඒ අනුව තමයි තමන්ට තියන තර්ජන අඩු වැඩි වෙන්නේ. හොඳයි, ඒ ගැන ඒ ටික ඇති නේද? පසුගිය ලිපියෙන් අපි දැක්කනේ මුල්ම පරම්පරාවේ යුද්ධ ටැංකි.

   අපි අද බලමු දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ යුද්ධ ටැංකි නිපදවීම අතින් විශේෂ දක්ෂතා දැක්වුවේ ජර්මනියයි. මුල් යුගයේදී යුද බිම හෙල්ලුවෙත් ජර්මන් යුද්ධ ටැංකි. නමුත්, ප්‍රංශය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, චෙකොස්ලෝවේකියාව, ස්වීඩනය, වැනි රටවල් යුද ටැංකි නිපදවීම අතින් අතීතයේ සිටම බොහොම ප්‍රසිද්ධයි. අපේ අසල්වැසියා වන ඉන්දියාවත් අද ඉතා සාර්ථකව යුද ටැංකි නිපදවනවා. මෙන්න දෙවැනි පරම්පරාවේ යුද්ධ ටැංකි කීපයක්. මේ සියල්ලම දෙවැනි ලෝක යුද සමයටයි අයිති. 

Churchill_VII

1280px-Königstiger_Thun_1

1280px-Yanks_advance_into_a_Belgian_town

1280px-Stridsvagn_m40K

Tank_LT-34 (1)

 

මෙච්චර දියුණු අවි ආයුධ තියන නවීන ලෝකයට

මේ යුද්ධ ටැංකි කියන යකඩ ගොඩවල් ඕනෙද?

1280px-Flickr_-_Israel_Defense_Forces_-_188th_Brigade_Training_Day,_March_2008-cropped   අපොයි ඔහොම කියන්නේ නෑ, යුද්ධ ටැංකියක තියන බලය ගැන දන්නවනම්. හිතෙන් මවාගන්න පුළුවන්ද, මහා සද්දන්ත යුද්ධ ටැංකි 50ක් 60ක්, එකපාරම අපේ මූණට එනකොට, දැනෙන්නේ කොහොමද කියලා. ඇත්තටම පොළොව හෙල්ලෙනවා වගේ දැනෙනවා. ඒ ටැංකිවල තියන මහ තුවක්කු වලිනුයි, බර මැෂින් තුවක්කු වලිනුයි, වෙඩි තියන්න පටන් ගත්තම දැනෙන්නේ, හෙණ ගහලා අහස කඩා වැටෙනවා වගේ. මේ පහත දැක්වෙන වීඩියෝවේ පළමුවැනි විනාඩි දෙක පමණක් බලන්න. 

 

යුද්ධ ටැංකි වලින් කොහොමද ඔච්චර ලොකු දෙයක් කරන්නේ?

3_AD_Iraq

 

   යුද්ධ ටැංකිය කියන්නේ, ගොඩබිමේ වෙනත් වාහන වලට යන්න අමාරු තැන් වලටත්, පහසුවෙන් ගමන් කරන්න පුළුවන්, සන්නද්ධ රථයක්. බුල්ඩෝසරයක මෙන්, තනිකරම යකඩෙන් තැනු ට්‍රැක් දෙකකින් තමයි, යුද්ධ ටැංකියක් ගමන් කරන්නේ. සමහ ටැංකිවල, ඒ ට්‍රැක් වලට රබර් කොට්ට හයි කරලා තියනවා. ඒ ටැංකි, පැයට කි.මී. 60 කටත් වඩා වේගයෙන් රළු භූමි ප්‍රදේශ වල ගමන් කරනවා. (හයි වේ එකකට දැම්මොත් ප්‍රාඩෝ පරාදයි :D) ඒ වගේම තමයි යුද්ධ ටැංකියක සවිකර තිබෙන්නේ විශේෂ ආකාරයේ තුවක්කුවක්.

   මතකද මම කිව්වා කාලතුවක්කු ගැන කතාකරද්දී, කාලතුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන් වෙන්නේ උණ්ඩය පරාවලයාකාර ගමන් මාර්ගයක යන ආකාරයටයි කියලා. නමුත් යුද්ධ ටැංකියක තියන ‘මහ තුවක්කුවකින් – Main Gun’ (පෙනෙන්නේ කාලතුවක්කුවක් වගේ) කෙළින්ම ඉදිරියේ ඇති ඉලක්ක වෙත වෙඩි තියන්න පුළුවන්. ඒ තුවක්කුවේ ඇති වාසිය තමයි, ඉදිරියේ ඇති වෙනත් යුද ටැංකි, සන්නද්ධ රථ, බර වාහන, ගොඩනැගිලි, ආදී සියල්ලටම කෙළින්ම ඇදීගොස්, ඉලක්කයේ වැදී පිපිරීමෙන්, අති මහත් හානියක් කරන, විවිධ උණ්ඩ වර්ග සහ සමහරවිට මිසයිල්ද යැවීමට හැකිවීම. එමෙන්ම යුද්ධ ටැංකියකට ප්‍රධාන තුවක්කුවට අමතරව විවිධ පරිමාණයේ බර මැෂින් තුවක්කු සවි කරන්නටත් පුළුවන්. එමගින් ගුවන් යානා නාශක ශක්තියද ලැබෙනවා.

   යුද ටැංකියකින් ඇතිකරන කම්පනය (shock action) යුද බිමේ සිටින සතුරු පාබල හමුදා සොල්දාදුවන්ව භීතියට පත්කරනවා. එමෙන්ම යුද්ධ ටැංකියකට පුළුවන් සමහර ගොඩනැගිලි කඩා දමන්නට, වෙනත් වාහන යටකරගෙන යන්නට. කාලතුවක්කුවක් ඉක්මනින් එහාට මෙහාට හරවා හරවා වෙඩි තියන්න බැහැ. නමුත් යුද්ධ ටැංකි තුවක්කුව ක්‍ෂණයකින් හරවන්න පුළුවන් විදිහටයි හදලා තියෙන්නේ. තවත් දෙයක් තියනවා ඒ තමයි ‘ටැංකි යුද්ධය – Tank Battle’ ඒ කියන්නේ යුද බිමේදී දෙපසේ යුද ටැංකි ගහගන්නවා. එතැනදී පාබල සෙබළුන්ට පුළුවන් බලා ඉන්න, මේ සද්දන්තයෝ ගහගෙන ඉවර වෙනතුරු. ටැංකි සටනින් දිනුවොත්, බලය තහවුරු කරගැනීම බොහොම පහසුයි. 1990 දශකයේදී ගල්ෆ් යුද්ධයේදී ටැංකි යුද්ධය මහා පරිමාණයෙන් සිදුවුනා. 

   (සාමාන්‍යයෙන් මහජනතාව ගැවසෙන ප්‍රදේශයක මහා මාර්ගයක යුද ටැංකි ධාවනය කරන්නේ නැහැ. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්න වුනොත්, වෙනත් වාහන එහි හැපුනාට වග කියන්නෙත් නැහැ. පුත්තලම ප්‍රදේශයේදී මේ අත්දැකීම මට ලැබුනා. මා ඉදිරිපිටදීම, නොසැළකිල්ලෙන්, හරස් පාරක සිට ප්‍රධාන පාරට දැමූ වෑන් රථයක්, සන්නද්ධ රථයක ගැටුනා. මගීන්ට කිසිම හානියක් නොවුනත්, වෑන් එකට බරපතල හානි වුණා. නමුත් සන්නද්ධ රථයට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ පොලීසිය විසින්. වෑන් රථයේ අයිතිකරුට කිව්වා, නීතිය මේකයි. රක්ෂණය ලබාගැනීමට උදව් කරන්නම් කියා) 

 

යුද්ධ ටැංකියකත් කෑලි බෑලි මහා ගොඩක් ඇති නේද?

 

   අපොයි මේ මොනවා කියනවද. හරිම සංකීර්ණයි. අනික් එක එව්වා සිංහලෙන් නම් කරන්න ගියොත් මම ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා කොටස් නම් කරන පින්තූරෙයි ඒ කොටස් වලට කියන නම් ටිකයි විතරක් පෙන්නන්නම්.

M1 Abrams-TUSK.svg

ariete6

   කොහොමද වැඩේ? සෙල්ලමක් නෙවෙයි නේද? ඇත්තටම යුද්ධ ටැංකියක් කියන්නේ මහා සද්දන්ත යුද යන්ත්‍රයක්. එය හැසිරවීම, යුද බිමේ යෙදවීම, ඉතා කල්පනාකාරේව සහ සැලසුම් සහගතව කලයුතුයි. කවදාවත් තනි යුද්ධ ටැංකියක් සටනට යවන්නේ නැහැ. අවම තුනක්වත් තියෙන්න ඕනෙ.

   හිතෙන්නේ නැද්ද යුද්ද ටැංකියක් එළවලා බලන්න? යුද්ද ටැංකියක රියැදුරා, සෑමවිටම, පොඩි කවුළුවකින් බලාගෙන තමයි එලවන්නේ. නමුත්, ඒ කවුළුව වසා දමා, පෙරිස්කෝප් එක මගින් පමණක් ඉදිරිය බලාගෙන එලවන්න වෙනවා, යුද පිටියේදී. ඔන්න ඉතිං‍……. පෙරිස්කෝප් එක කියන්නේ මොකක්ද කියලා අමතක කරලනේ. මතක නැද්ද මම කියලා දුන්නා කාලෙකට උඩදී? ඔබ දන්නවද නවීන යුද ටැංකිවල ඇතුළත සම්පූර්ණයෙන් වායු සමනය කරලයි තියෙන්නේ. ඒ මොකටද අප්පේ ඒ?………. එච්චර සැප ඕනෙද?…….. ඇයි අනේ අමතකද, යුද්ද ටැංකියක් කියන්නේ මහ ඝන යකඩ පෙට්ටියක් කියලා. කොහොමද ඒක ඇතුළේ තියන රස්නේ? ඉතිං ඇතුළේ ඉන්න අය තැම්බෙන එක වළක්වන්නයි, පොඩි ‘ඒ සී පාරක්’ දාලා තියෙන්නේ. හොඳයි එහෙනම් පෙන්නනද ඇතුළේ හැටි සහ එලවන හැටි? ඔන්න බලාගන්න. වීඩියෝව අදාළ තැනින් පටන් ගන්න විදිහට හදලා තියෙන්නේ, ඔයාගේ බයිට් ඉතුරු කරන්නයි. 

   අදට මේ ඇති නේද? තව විස්තර ගොඩක් තියනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ. ඒ නිසා යුද්ද ටැංකි සෙල්ලම් බලමු ඉදිරි කොටස් වලදී.

my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 02 වැනි දින 0910 පැය

Advertisements

Comments on: "අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two)" (41)

  1. බොහොම ස්තුතියි විචාරක තුමාට මේ වගේ ලිපි අපේ දැනුම වැඩි කරන්න ලියන එකට. විචාරක තුමාගෙන් අහලා දැනගන්න ප්‍රශ්න කීපයක් තියනවා

    1) යුද ටැංකියක ප්‍රදාන තුවක්කුව යොදා ගනිමින් ඉදිරියට ගමන් කරන ගමන් වමට හෝ දකුණට වෙඩි තැබූ විට යුද ටැංකිය ගමන් කරන වේගයේ හෝ දිශාවේ වෙනසක් සිදුවනවාද?

    2) යුද ටැංකියක ප්‍රදාන තුවක්කුව යොදා ගනිමින් වෙඩි තැබූ විට උන්ඩ කොපුව වැටෙන්නේ ටැංකිය තුලටද නැතිනම් ටැංකියෙන් පිටතටද?

    3) නගර ආශ්‍රිත සටන් වලදී යොදා ගන්නා යුද ටැංකි ද රෝද සවිකර සද තිබෙන්නේ?

    • ඇගයීම ගැන ස්තුතියි. ඉතා බුද්ධිමත් ප්‍රශ්න ඔබ අසා තිබෙනවා. මෙන්න පිළිතුරු.

      1. කිසිදු වෙනසක් වෙන්නේ නැත. යුද ටැංකිය සාදා තිබෙන්නේ ප්‍රධාන තුවක්කුවෙන් ඇති කරන පීඩනයට ඔරොත්තුදෙන ලෙසයි.

      2. වැටෙන්නේ ටැංකිය තුළයි. එහි ඒ සඳහා ඉඩ තිබෙනවා. ලැබෙන පළමුවැනි අවස්ථාවේදී එම හිස්කොපු ඉවත දමනවා.

      3. ටයර් රෝද සහිත ටැංකි නගරයටත් කැලයටත් උචිත පරිදි සකසා තිබෙනවා. එම රෝදයකට වෙඩි වැදුනොත් කි.මී. 25 ක් 30ක් පමණ යනතුරු ගමන් කරන්න හැකි විදිහටයි එම ටයර් රෝද සකසා තිබෙන්නේ.

    • බොහොම ස්තුතියි ඔබතුමාට.

  2. ක්සැන්ඩර් said:

    මං ආසම ජර්මන් ටයිගර් ටැංකියට. 🙂 මං තැනකින් කියෙව්වා ඔය ටයිගර් එකක් තනියම ඇමරිකන් ෂර්මන් ටැංකි අටකට දෙනවා බැටේ..

    ඒ එක්කම මං නිවැරදි නං ඔය අන්තිමට තියන පරණ ටැංකිය Hotchkiss ටැංකියක්. ඒක චෙක් එකකට වඩා ප්‍රංශ එකක්.

    • ඊළඟ කොටසකදී කියන්නම් අද ලෝකයේ තියන හොඳම ටැංකි ගැන.

      චෙකොස්ලෝවේකියානු ටැංකි මෝස්‌තර වෙනත් නම් වලින් වෙනත් රටවල නිපදවුනා.

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

  3. බොහොම දුර්ලභ දැනුම් සම්භාරයක් නිසා ඉතාම වටිනා වැඩක්. මෙවැනි ලිපියක් සිංහලෙන් තේරෙන සරළ බසකින් ලියන්න සුදුසු ම වියතා ලෙස ඔබ බව යි අපට පේන්නෙ. ඒ නිසයි ඔබ වටා විශාල පිරිසක් එක්වන බව පෙනී යන්නෙ.

    • ඔව් ගුණසිංහ මහතාණෙනි, සෑහෙන්න වෙහෙසක් ගන්න වෙනවා ඉංග්‍රීසියෙන් ඇති තාක්ෂණික තොරතුරු සිංහලට ගැනීමේදී.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන

  4. හපොයි ඊශ්‍රායලය අමතක කරලනේ. දැනට ඇති වුනු මහා පරිමාන යුද්ද ටැංකි ගැටුම් කීපයකටම ඊශ්‍රායලය සම්බන්දයි.

    • බොහොම ස්තුතියි.

      මම මේ වගේ දිග වීඩියෝ ක්ලිප් නොදාන්නේ බොහෝ දෙනෙකුට ඇති අන්තර්ජාල සබඳතා මගින් මෙවැනි දීර්ඝ වීඩියෝ ක්ලිප් බලන්න අවකාශ නැති නිසයි.

    1. මම කොහේදෝ කියවලා/අහලා තියනවා යුද්ධ ටැංකියකට ඉන්න ලොකුම හතුරා තවත් යුද්ධ ටැංකියක් කියල. ඒක ඇත්තද විචාරක තුමනි ?
    2. 1 යුද්ධ ටැංකියේ මහා තුවක්කුව කාල තුවක්කුවකින් වෙනස් වෙන්නේ කොහොමද?
    3. 2 ඒකෙන් පරාවල නැතුව කෙලින්ම වෙඩි වදින්නේ කොහොමද? (බුලට් බර නම් හැම දෙයක්ම visible curve එකක යනවා නේද physics වලට අනුව ?)
    4. 3 ඔච්චර වේගෙන් ලොකු යකඩ ගොඩක් ඇදගන යන එන්ජිම කොයි වගේද?
    5. 4 අශ්ව බල කීයක් විතර තියනවද ?
    6. 5 කැරකි කැරකි වෙඩි තියන්න හදන්නේ නැතුව හතර වටේම තුවක්කු හයි කරන්නේ නැත්තේ ඇයි ?
    7. 6 තුවක්කු කීයක් තියනවද?
    8. 7 වෙඩි තියන කෙනා එලියට පේනවද? (එක් තුවක්කුවක හරි? )
    9. 8 එක ටැංකියක් ඇතුලේ කීදෙනෙක් යනවද?

    Blackadder කියන කොමඩි සීරිස් එකේ 4ත් සීසන් එක සම්පූර්ණයෙන්ම ඔය වගේ ට්‍රේන්ච් එකක් ඇතුලේ සිද්ධ වෙන්නේ. හිනා කාලා මැරෙනවා වෙලාවක බලන්න.

    • ඔන්න ඔබේ ප්‍රශ්න පත්‍රයට 😀 පිළිතුරු දීම පහසුවීම සඳහා මම ඒ ඒ ප්‍රශ්නයට අංක යෙදුවා. දැන් අපි දෙන්නටම පහසුයි. බලන අයටත් පහසුයි.

      අර එක කියමනක් තියනවා මතකද කොළඹ ගිහින් ආපු බල්ලෙකුත් කිව්වලු, ‘මග දිගට මට කරදර කලේ අපේම ජාතියේ එවුන්’ කියලා. 😀 ඒ වගේ ටැංකියක ප්‍රධාන හතුරා තවත් ටැංකියක් තමයි. මෙහෙම ටැංකි අතර ගහගන්න එකට කියන්නේ Tank Battle කියලා.

      1 කාලතුවක්කුවකින් වෙඩි තැබීම සඳහා රේඩාර්, බුද්ධි තොරතුරු, නිරීක්ෂණ ගුවන් යානා, යුද බිමේ ඉදිරියේ ඉන්න නිරීක්ෂකයන්, කාලගුණ තොරතුරු, ආදිය යොදාගන්නා අතර කාලතුවක්කුව ඉහල පහල මිසක් ඉක්මනින් තිරස්ව කරකවන්න බැහැ. ටැංකියේ තුවක්කුව ක්ෂණයකින් අංශක 360 ම කරකවන්න පුළුවන්. ටැංකියේ තුවක්කුවෙන් වෙඩි තැබීමට ආධාර කරගන්නේ අනික් ටැංකි වලින් , යුද බිමේ ඉන්න ටැංකි අනදෙන්නාගෙන්, සහ ටැංකියේ තිබෙන ඉලෙක්ට්‍රොනික උපකරණ වල ආධාරයෙන් ලැබෙන තොරතුරු. එමෙන්ම තිරස් වෙඩි තැබීම් කරන්නේ.

      2 තිරස් වෙඩි තැබීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ කියන භෞතික විද්‍යාත්මක නියමයට අනුව වෙඩි තියනවා කියන එකම තමයි.

      3 සහ 4 මහ ටැංකියක නම් අශ්ව බල 1200 පමණ එන්ජිමක් තියනවා.

      5 ඇතුලේ ඉඩ නැහැ ඒ විදිහට තුවක්කු හයි කරලා ඒ එක එක තුවක්කුවට එක මිනිහා ගානේ යොදවන්න. අනික එච්චර පතරොම් ගොඩක් තියාගන්නේ කොහෙද?

      6 ප්‍රධාන තුවක්කුවට අමතරව අවම වශයෙන් බර මැෂින් තුවක්කු එකක්වත් තියනවා. ඊට අමතරව දුම් බෝම්බ සහ/හෝ රසායනික බෝම්බ විදීමේ හැකියාව තිබෙන්න පුළුවන්.

      7 ප්‍රධාන තුවක්කුවේ ක්‍රියාකරු පෙනෙන්නේ නැත. නැත නමුත් බර මැෂින් තුවක්කුවේ ක්‍රියාකරු එලියට පෙනෙනවා. එහෙත් ඔහුට යකඩ තහඩු ආවරණයක් තියනවා.

      8 එය තීරණය වෙන්නේ ඒ ඒ ටැංකියේ ස්වභාවය අනුවයි. ක්‍රියාකරුවන් කීදෙනෙක් අවශ්‍යද යන්න ටැංකිය සැලසුම් කරන අවස්ථාවේදියි හිතන්නේ.

  5. එකිනෙකා ඇනකොටාගන්න සිංහල බ්ලොග් ලෝකයේ මහ විශාල දැනුම් සම්භාරයක් එක් කරමින් විෂයානුබද්ධ කරැණු ගෙන එන ඔබ අපිට ආදර්ශයක්. විචාරකතුමා, මෙන්න මේක පැහැදිලි කරන්නකො.
    සෘජු දම්වැලක් තියෙන ටැංකිය හරවන්න යොදන උපක්රමය මොකක්ද?

    • බොහොම ස්තුතියි ඇගයීම ගැන. ඇත්තටම සමහර ඇනකොටා ගැනීම් දැක්කම කලකිරීමක් ඇතිවෙනවා.

      ඔබේ ප්‍රශ්නයට පිළිතුර මෙයයි. එක පැත්තක දම්වැල බ්‍රේක් කළා මෙන් නැවතී අනික් දම්වැල පමණක් කැරකෙන්න තමයි හදලා තියෙන්නේ හැරවීමේදී. හරවන පැත්තේ දම්වැල තමයි බ්‍රේක් වෙන්නේ.

  6. යුද්ධ ටැංකියේ ප්‍රධාන අවිය සම්බන්ධ වෙනතැන දෙපැත්තේ තියෙන පොඩි බට වගේ ඒවා මොනවද? ඉතාම විශිෂ්ට ලිපියක්.ඉතිරි කොටසත් ඉක්මනට දාන්න.පුලුවන්නම් බයිට් තියෙන වෙලාවක මේ වීඩියෝ එක බලන්න http://www.dailymotion.com/video/x10iqr_extreme-machines-tanks_shortfilms

    • ඒ තුවක්කු හඳුන්වන්නේ coaxial gun කියලා. මහ තුවක්කුවෙන් වෙඩි තියන්න කලින් ඒ පොඩි තුවක්කුවෙන් අත්හදා බැලීමේ/ඉලක්කය නිවැරදි කර ගැනීමේ වෙඩිල්ලක් තියලා බලන්න පුළුවන්.

      ඇත්තටම මගේ අන්තර්ජාල සම්බන්ධයට පින්සිද්ධ වෙන්න ඔන්ලයින් වීඩියෝ වුනත් ඕනෑතරම් බලන්න පුළුවන්. දත්ත බාගැනීමේ සීමාවක් නැහැ. ඒ නිසා මම ලිපි ලිවීම සඳහා නිතර බොහෝ වීඩියෝ නරඹනවා. බොහොම ස්තුතියි මේ දුන්න ලින්ක් එකට.

  7. බොහොම වටිනා ලිපියක්. මම අහන්න හිටිය ගැටලුවට ලිපිය අවසානයෙදි පිළිතුරු ලැබිලා තිබුනා. මොකද ලංකාවෙ යුධ හමුදාවෙ ඉන්න මගෙ සමහර යාලුවො කියලා තිබුනා ටැංකිය ඇතුලෙ තියෙන රස්නය ගැන. බාගෙට තැම්බෙනවා කියලා තමා ඒ අය කිව්වෙ. ඒ වගේම මේ ටැංකි විනාශ කරන්න ඒ සදහාම නිපදවපු බිම් බෝම්බ විශේෂයකුත් තියෙනවා නේද. ටැංකියකට ආයුධ පටවන්න වගේම වෙනත් අවශේෂ සේවා සදහාත් පිරිස් බලය සෑහෙන්න එපායැ….ඒ නිසා හැමවෙලේම අණදෙන නිලධාරියෙකු යටතේ වෙන්න ඕනෙ ක්‍රියාත්මක වෙන්නෙ. සාමාන්‍යයෙන් මේ අණදෙන නිලධාරියා කුමන නිළයක කෙනෙක්ද ?

    • ඒ සී නැති ටැංකිත් තියනවා සිරා. හම්මෝ තැම්බෙනවා. අපි කියනවා උඹලා නම් පූරුවේ කරුමෙට තමයි මෙව්වගෙ යන්නේ කියලා. පොඩි ෆෑන් තියනවා. එයින් ටිකක් සහනයක් දෙනවා.

      ඔව් ටැංකි නාශක බිම් බෝම්බ තියනවා. ටැංකියකට සෑහෙන ආධාරක backup කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි, ටැංකියක් අණදෙන්නේ අවම වශයෙන් ලුතිතන් කෙනෙක්. ටැංකි කණ්ඩායමක් squadron අණදෙන්නේ අවම වශයෙන් මේජර් කෙනෙක්. මේ ඔක්කොම සවිස්තරව ඉදිරි ලිපි වලදී කියනවා.

  8. නිහඬ තාවයෙන් පෙනී යන්නේ මගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු නොලැබෙන බවද ? 😦

  9. පිළිතුරු වලට ස්තුතියි

    ටැංකිය ආවරණය කරලා තියන තහඩු කොච්චර ගනකමද ?
    ඒවා හානි වෙන්න මොන වගේ අයුධයකින්ද පහර දෙන්නේ?

    • අඟල් 1 1/2 – 2 ක් විතර. ආර්.පී.ජී. වලින් සහ සමහර විශේෂිත රොකට් වෙඩි වලින් පුළුවන්. වෙනත් ටැංකියක මහ තුවක්කුවෙන් තියන විශේෂ වෙඩි වර්ග වලිනුත් පුළුවන්.

  10. දෙවෙනි ලෝක යුද්දේ කාලේ ගැන හදපු පිචෑර් එකක් තිබ්බා ‘සහරා’ කියලා. ඒ ‍ෆිල්ම් එක කළු සුදු එකකුත් තියෙනවා, ඉන් පස්සේ ගහපු වර්ණ එකකුත් තියෙනවා. (සම්පූර්ණයෙන්ම කථාව එකයි, ඒත් නිෂ්පාදන දෙකක්) මේකෙ තියෙන්නේ ‘ලුලුබෙල්’ කියන යුද්ධ ටැංකිය එක්ක සහරා කාන්තාරේ එක්තරා විදියකට අතරමං වෙන ටැංකියේ කණ්ඩායම සහ තවත් අනුඛණ්ඩයකින් ඉතිරි වුනු කොටසක් ගැන. (මිත්‍ර හමුදා). මේ සෙට් එක කොහොම තුන් හාරසීයක ජර්මානු සේනාංකයකට වැඩේ දෙනවා. ඒ සොල්දාදුවෝ දහයකටත් අඩු සංඛ්‍යාවක්, ලුලුබෙල් ටැංකිය සහ උපක්‍රමශීලීත්වය පිහිට කරගෙන. ජර්මානුවෝ හිතන්නේ මෙතන හෙන මිත්‍ර හමුදා බැටෑලියන් එකක් ඉන්නවා කියලා. මට ඒ පිචෑර් එක මතක් වුනා ටැංකි කතන්දර කියවනකොට.
    මගේ කාලයක් තිස්සේ ප්‍රියතම ටැංකිය වෙලා තිබ්බේ මීඩියම් ටැංකි නං මැටිල්ඩා එකයි, හෙවි ටෑන්ක් නං ටී29 එකයි. තව හොවිට්සර් වර්ගයේ පැලඩින් එකත් මරු. (ඔය ගේම් වලින් මිසක් හැබැහින් දැකලා නෙවෙයි) කරුණු සහිත සටහනක්.

  11. ලංකාවේ තියෙන යුද්ධ ටැංකිවල වටේට පොරෝ, සවල් , අලවංගු, ගල් කටු එල්ලා තියෙන්නේ ඇයි? මේක දැක්කේ යුධ හමුදා ප්‍රදර්ශණ කුටියකදි?
    යුධ ටැංකි අයත් වෙන්නේ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවට නේද?

    • යුද ටැංකියක් භූමියේ ගමන් කරනවිට විවිධ බාධක වලට මුහුණ දෙනවා. ඒ බාධක ඉවත් කරගෙන (ලොකු ගස් කපන්න පොරොවක්, අවශ්‍ය විට ටැංකිය එරීම හා ලිස්සායාම වලක්වා ගන්න පස්/වැලි දමන්න සවලක්, වගේ දේවල් අවශ්‍ය වෙනවා) ටැංකිය අදින වානේ කඹයත් එතනම තියනවා දැක්කේ නැද්ද?

      ඔව් ලෝකයේ ඕනෑම රටක යුද ටැංකි අයත්වන්නේ සන්නාහ සන්නද්ධ බලකායටයි.

  12. සුපිරිම සවිස්තරාත්මක ලිපියක් විචාරක තුමා… ඊශ්‍රායල් යුද්ධයේදී ඒ අය සටන් වදින්නේ හමාස් ත්‍රස්තයන් එක්ක. අපි සටන් කළෙත් ත්‍රස්තයන් එකක. එත් අපට මානව හිමිකම් චෝදනා. ඊශ්‍රා්‍යලයට ඒවා නැ මොකද වෙනස?

    • ඕක තමයි කියන්නේ නලීන් උන් සුද්දෝ අපි වැද්දෝ. එකම ලෝකේ අපිට එක නීතියක් උන්ට වෙනම නීතියක්. ඔය චෝදනා කරන එවුන්ගේ හෙළුව තමා පෙනෙන්නේ ඊශ්‍රායලය ගැන වචනයක්වත් නොකීමෙන්.

  13. පුංචි කවුළුවකින් හරි පෙරස්කෝප් එකකින් හරි බලාගෙන ඔය වගේ සද්දන්ත වාහනයක් පදවන එක ගැනනම් පුදුමයි.
    යුද්ධ ටැංකි ගැන ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි!

  14. කියන්න වචන නැහැ….මේ දක්වන උනන්දුවට සහ මහන්සියට. ආමි ට්‍රේනිං එකක් ගියා වගේ. තොරතුරු එකතුකරන කෙනෙකුට මෙන්න තැන. හරිම වටිනවා.

  15. ගල්ෆ් යුද්දේ වීඩියෝ එක බැලුවම “යුද්දෙදි දෙවනියෝ නෑ” කියලා ඔබ කලකට පෙර කීව කතන්දරේ මතක් වුනා.
    //කවදාවත් තනි යුද්ධ ටැංකියක් සටනට යවන්නේ නැහැ
    ඇයි අවම තුනක්?
    අහවල්ලුනං තනි එකකිනුත් අපට දුන්නා නේද?
    ඒ දුන්නෙත් අපෙන්ම අල්ල ගත්තු එකකින්ද මන්දා?

    • ඔව් ඇත්තටම යුද්ධයකදී දෙවෙනියකු නැහැ. ඒක මගේ කියමනක් නෙවෙයි. හමුදා පුහුණුවේදී කියලා දෙන කතාවක්.

      සිංහයෙක් වුනත් තනියම දඩයමේ යන්නේ නැහැ. ආධාරයට තවත් එක සිංහයෙක්වත් නැතුව. ඒ වගේ තමයි එක යුද්ධ ටැංකියක් ගියොත් ඒකට වැඩේ දුන්න ගමන් ඔක්කොම ඉවරයි. යුද ටැංකි අතර තියනවා සටනේදී එකිනෙකාට උදව් කිරීමේ ක්‍රමයක්. mutual support ඉදිරි කොටසකදී කියන්නම්.

      උන්ගේ එකක් ඇල්ලුව බවට කතාවක් ගියා. මමත් හිතන්නේ අපේ එකක් අල්ලාගෙන තිබුනා කියලයි. මට මතකයි එහෙම එකක් වුන බව. මේ තියෙන්නේ වීඩියෝ එක.

  16. නැද්ද ඔයින් එකක් ටිකකට ඉල්ලගන්න .අපෙ අටමට ඔනලු.
    අර හරවන විදියගැන ලියපු කමෙන්ට් එකෙ ගැන කියනවනම් මෙහෙමත් වෙනව නේද
    හරවන්න ඔන පැත්තෙ ට්‍රැක් එක අනිත් පැත්තට කැරකුවම ඉතාම ලග හරවන්න පුලුවන්.

  17. ත්‍රිකුණාමලේ සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ ඩි එක සැරයක් ටැංකියක යන්න චාන්ස් එකක් හම්බුනා.. ඒක හරිම අපූරු අත්දැකීමක්

  18. […] මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසටත්, දෙවැනි කොටසටත්, ඔබෙන් ලද දිරිගන්වන සුළු ප්‍රතිචාර […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: