විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


????????????????????????????????????????????????????????????????????????????????   හැමදාමත් මම වැඩිපුරම ඔබත් එක්ක කතාකරන්නේ අවි ආයුධ ගැන නේ. අවි ආයුධ කිව්වම යුද්ධයට අදාළ අවි ආයුධත් තියනවා, එදිනෙදා ජීවිතයට අදාළ අවි ආයුධත් තියනවා. මතකද මීට කලින් මම පිහිය ගැන කතාකළා. ඒ ලිපියටත් ඔබෙන් සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. පොරවාගෙන ඉන්නේ නැතුව පොරොව ගැන ඉගෙනගන්න කිව්වේ, අද මම පොරොව නමැති ආයුධය ගැන ඔබ සමග කරුණු කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන නිසයි. පොරොව ගැන එක්තරා ජන කතාවක් පුංචි කාලේදී අහලා තියනවා මතකද? එය ඊසොප් ගේ උපමා කතාවක් ලෙසයි මම නම් අහලා තියෙන්නේ. නමුත් බෞද්ධ සාහිත්‍යයටත් සම්බන්ධයක් තියනවා. මතකද කතාව? මතක නෑ? හයියෝ………..පොඩි එකෙක් ඔයාගේ ලඟට ඇවිල්ලා, ‘කතාවක් කියලා දෙන්නකෝ’…… කිව්වම කියලා දෙන්නේ, ටීවී එකේ යන හඩු ටෙලි නාට්‍ය කතාවක්ද? නැත්නම් අර විචාරක කියන හාදයා බ්ලොග් වල ලියන ගිරවාගේ කතාව වගේ එව්වද?

axe

   හැබෑටම දැන් ඉන්න වැඩිහිටියන් බොහොම දෙනෙකුට ළමා කථා, ළමා ගීත, ගැන මේ ලෝක දැණුමක් නැත්තේ මොකද අම්මපා? ඒ ගොල්ලන්ට ළමා කාලයක් තිබුණේ නැද්ද? එක පාරටම වැඩිහිටියෝ විදිහටද ඉපදුණේ?…………… ඇත්තම කියන්නද? මෙන්න මේකයි වුණේ/වෙන්නේ. කියනකොට කියන්නේ ළමයාගේ දැණුම, කුසලතා, ආකල්ප, වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් කියලා. නමුත් වෙන්නේ මේකයි. ඔක්කොම කරන්නේ එදාට එදාට කරන සරඹයක් – drill විතරයි. ගුරුවරුත් එහෙමයි, ළමයිනුත් එහෙමයි, දෙමවුපියනුත් එහෙමයි. ගුරුවරුන්ට උගන්නනවට වඩා තියෙන්නේ විවිධ සටහන්, සැළසුම්, වාර්තා, ඇගයීම්, ආදිය ලිය ලියා ඉහළට පෙන්නන එක. ළමයින්ට තියෙන්නේ උහුලගන්න බැරිතරම් ටියුෂන් වැඩ සහ ගෙදර වැඩ. දෙමවුපියන්ට තියෙන්නේ මැරීගෙන පවුල් බර අදින ගමන්, ළමයින්ගේ ගෙදර වැඩ කරන එක.

   ඉස්සර ගුරුතුමී/අපේ අම්මා/අත්තා/කිරිඅම්මා/ අපට හරිම රසවත්ව කතන්දර කියාදුන්නා. අද කතන්දරය කියන්නේ නැහැ. ඊසොප්ගේ පින්තූරයක් ඇඳගෙන එන්න. ඊසොප්ගේ රැවුල සෙන්ටි මීටර් කීයක් දිගද කියා මැනගෙන, ඒ දිගට පාට කඩදාසි පටියක් කපාගෙන එන්න. ඊසොප් පීට්සා කෑවේ කොයි කඩෙන්ද? ඔබේ ගෙදර හෝ අල්ලපු ගෙදර තිබෙන පොරොවේ මිට සාදා තිබෙන්නේ කුමන වර්ගයේ ලීයෙන්ද කියා දැනගෙන, ඒ වර්ගයේ ලී කෑල්ලක් ගෙන එන්න. වගේ කුණුහරප කරනවා මිසක්, අර කතාව ළමයාගේ ඔලුවට පොවන්නේ නැහැ. ඉතින් කොහෙද මතක තියෙන්නේ. ගුරුවරයා හිතනවා ළමයා කරයි කියලා, ළමයා හිතනවා ගුරුවරයා කරලා දෙයි කියලා, දෙමවුපියෝ හිතනවා ගුරුවරු ළමයි ලවා කරවයි කියලා. අන්තිමට මොකද වෙන්නේ?…………………හරි හරි විභාග පාස් වෙනවා තමයි. නමුත් තරගකාරී බවේ උපරිමයට යනකොට මිනිස්කම අපේ මනසින් පැනලා යන්නේ දඩාවතේ යන අස්සයෙකුටත් වඩා වේගෙන්. අධ්‍යාපනයෙන් දැණුම වගේම ශික්ෂණයත් ලැබෙනවානම්, මේ විදිහේ කපටි, දුෂ්ඨ, නරුම, මිනිස්සු වැඩිවෙන්නේ ඇයි? මෙව්වා අතීත කාමයවත්, පරම්පරා ගැටුමවත්, පඳුරු තැලිල්ලවත්, නෙවෙයි. ටිකක් හිතලා බලන්නයි මෙහෙම කිව්වේ. මතකනේ අර everybody, somebody, anybody, nobody, කතාව.

TheStoryofEverybodySomebodyAnybodyandNobody-82715

   හරි, එහෙනම් බහිමුද පොරොවේ කතන්දරේට? ඊට කලින් කැමතිද අර ඊසොප්ගේ කතාව පුංචි සජීවීකරණයකින් බලාගන්න? මේ වගේ දෙයක් බලන්න බයිට් වියදම් කලාට කමක් නැහැ අනේ. (වෙන වෙන බයිට් ජාති වලට කොච්චර සල්ලි වියදම් කරනවද) පුළුවන්නම් පොඩි එවුන්ටත් පෙන්නන්න.

 

   ඉස්සර නම් හැම ගෙදරකම වගේ පොරොවක් තිබුණා. එයට ප්‍රධාන හේතුව වුණේ, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය දර පලාගැනීමට පොරොවක් අත්‍යවශ්‍ය වූ නිසයි. අද, දර භාවිතය සැළකියයුතු තරම් පහළ මට්ටමක තිබෙන නිසාත්, වඩාත් පිරිසිදු, අඩු වෙහෙසකර, ලාභදායී, විකල්ප බලශක්ති ප්‍රභව තිබෙන නිසාත්, දර අවශ්‍යතාව මෙන්ම පොරොවක අවශ්‍යතාවද, හොඳටම අඩුවී ගිහින් තිබෙන්නේ. අපේ ගෙදර අදටත් පොරොවක් තිබෙනවා. ඉඳහිට එයින් ප්‍රයෝජනත් ගන්නවා. (මගේ පොරොව නෙවෙයි යකෝ, ඒකෙන් දැන් වැඩ ගන්නේ නැහැ. මළකඩ කාලා) මට ඉතාම සතුටින් කියන්න පුළුවන්, අපේ ගෙදර තියන පොරොව, කැත්ත, උදැල්ල, වැනි විවිධ ආයුධ නඩත්තු කරන ආකාරය පිළිබඳව, ඉතා සතුටුදායක දැණුමක් මට ඇති අතර, එවැනි ආයුධයක ඇති ලී මිට කැඩුනොත්, අලුත් මිටක් සවිකරගැනීමත්, මට තවමත් තනිව කරගත හැකි බව. ඒවා කියාදුන් ගුරු දෙගුරුන්ට බුදුබව අත්වේවා! මේ කියන්නේ ආත්ම වර්ණනාවක් නෙවෙයි. මට තවමත් පුළුවන්, පරිගණකයක් අලුත්වැඩියා කරමින් ඉන්න ගමන්, ඒ වැඩේ නවත්තලා, අපේ උන්දැගේ නියෝග මත ඉල්ලීම මත, ඉනිමග අරන් කොස් ගහට තියලා නැගලා, කොස් ගෙඩියක් කඩලා, පොල් කෙක්කෙන් පොල් ඉත්තකුත් කඩලා, පොල් ගෙඩියක් දෙකක් ලෙලිගහලා ගාලා දීලා, කොස් ගෙඩිය වප්පිහියෙන් කපා, මදුළු ටිකක් ගලවාදී, අතපය පිරිසිදු කරගෙන, ආපහු පරිගණකය හැදීම පටන්ගන්න.

   ඔන්න එහෙනම් මාතෘකාවට බහිනවා කියලා දෙවැනි වතාවටත් කියනවා. අපිට අපේ ජීවිතයේදී බලාපොරොත්තු රහිත අවස්ථාවලදී සමහර ආයුධ පාවිච්චි කරන්න සිදුවෙන්න පුළුවන්. ඉස්සර කියමනක් තියනවා ‘කැත්තේ උදැල්ලේ වැඩවත් බැහැ’ කියලා. එයින් අදහස් කරන්නේ, ගොවිතැන් වැඩ දන්නේ නැහැ කියන එක වගේම, එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය අවිආයුධ පාවිච්චිය දන්නේ නැහැ කියන එකයි. පොරොව කියන්නේ බොහොම පරෙස්සමෙන් පාවිච්චි කලයුතු ආයුධයක්. ඔබෙන් බොහෝ දෙනෙක් දන්නවා පොරොව සහ අත් පොරොව කියන ආයුධ දෙක පිළිබඳව. පොරොවේ කොටස් මොනවද? මොනවද ඉතින් තලෙයි මිටයි නේ? නෑ නෑ, අපි හිතනවාට වඩා කොටස් තියනවා. මේ බලන්න අත් පොරොවක තියන කොටස්. 

2

  අයි හෙවත් ඇස කියන්නේ, පොරොවේ මිට තලයට බස්සවා තිබෙන සිදුරයි. බට් කියන්නේ, පොරෝ තලයේ පසුපස කොටස. හෙඩ් කියන්නේ, සම්පූර්ණ පොරෝ තලය. බ්ලේඩ් යනුවෙන් හඳුන්වන කැපුම් තලයේ, ඉහළ සහ පහළ කෙළවරවල් දෙක, පිළිවෙලින්, ටෝ සහ හීල් යනුවෙන් හඳුන්වනවා. ෂෝල්ඩර් කියන්නේ, පොරෝ මිට තලයට සවිවන තැන. බෙලි = මිටේ මැද. හැඬල් = සාමාන්‍යයෙන් වැඩ කිරීමේදී පොරොව අල්ලාගන්නා ස්ථානය. ග්‍රිප් = දැඩි බලයක් යෙදීම සඳහා පොරොව අල්ලාගන්නා ස්ථානය. නොබ් – මිට අතින් ගිලිහී නොයන්නට, මිටේ කෙළවර මහතට සාදා තිබෙන ස්ථානය. දැන් බැලුවම වැඩ සීයයි කෑලි අටහමාරයි නේද? සාමාන්‍ය පොරොවක් ගත්තත් මේ කොටස් මේ ආකාරයටම තමයි හඳුන්වන්නේ. නමුත් මීට වඩා සරලයි. 

3

5

   පොරොවකින් ගහක් කපන්න දන්නවද? දන්නවා?………….. අනේ මොකටද මගේ කට. තණකොළ ගහක් නම් කපන්න දන්නවා ඇති. පොරොවෙන් ලොකු ගහක් කැපීමේදී අනුගමනය කලයුතු පිළිවෙතක් තියනවා. ඒ පිළිවෙත වරද්දාගත්තොත් භයානක අනතුරු වෙන්න පුළුවන්. මුලින්ම බලන්න කිසිදු ගොඩනැගිල්ලකට, මහා මාර්ගයක ගමනාගමනයට, විදුලි, දුරකථන කණු හෝ රැහැන් වලට, මේ ගස කැපීමේදී යම් බලපෑමක් හෝ හානියක් වීමට ඉඩ තිබේද කියා. එහෙම තිබෙනවානම් ගහ කොටස් වශයෙන් කපා ඉවත් කරනවා හැර, මුළු ගහම එකවර කපන්න බැරිවෙනවා. එහෙම බලපෑමක් නැත්නම්, ඔබට පුළුවන් මුළු ගසම එකවර කපන්න.

   මුලින්ම බලන්න ඔබට හොඳට අතපය දිගහැර පොරොව හසුරවන්න ඉඩ තිබෙනවාද කියා. අවට පිහිටි කුඩා පඳුරු, කුඩා ගස් ආදිය තිබේනම්, මුලින්ම ඒවා කපා ඉවත් කරන්න. ඊළඟට හිතන්න ගස බිම දමන්නේ කුමන දිශාවකටද කියා. අන්න ඒ පැත්ත තමයි මුලින්ම කපන්න ඕනේ. පහල පින්තූරයේ අංක 1 යනුවෙන් පෙන්වන්නේ ඒ කැපුමයි. ඒ සඳහා යොදන කැපුමේ යම් නිශ්චිත හැඩයක් තිබෙනවා. ඒ හැඩයට නොකැපුවොත් ගහ කැරකී වෙනත් පැත්තකට වැටෙන්න ඉඩ තියනවා. ගහේ අරටුව දක්වා එම කැපුම යෙදිය යුතුයි. ඊළඟට කපන්නේ මුලින් කැපු පැත්තට විරුද්ධ පැත්ත. ඒ කැපුම පළමුවැනි කැපුමට වඩා මඳක් ඉහළින් යොදන්නේ. එමෙන්ම ඒ කැපුම එතරම් විශාල නැහැ. දැන් ගහ වැටෙන්න යනවායි ඔබ හිතනවානම්, ගහ ඇලවෙන බව පෙනෙනවානම්, වහාම ඉවත්වන්න. ඉවත්වන්නේ කොහාටද? ගහ වැටෙන කෝණයෙන් අංශක 45 ක් පමණ කෝණයකට තමයි ඔබ යායුත්තේ. මොකද, යම් වැරදීමක් සිදුවී ගහ ආපහු වැටෙන්න පුළුවන්, දෙවැනි කැපුම යෙදු පැත්තට. පහළ පින්තූරය බලන්න. 

4

   ගහක් කපන්න ගිහින් අර, ‘කර ගහ කර ගහ’ කිව්ව කතාව දන්නවනේ. දන්නා කෙනෙක් ඔන්න ඔය කමෙන්ට් එකකවත් ලියලා දාන්න. හරි. ඔන්න පොරොව ගැන කිව්වා. පොරොවේ නෑදෑයෝ කවුද? මක්කිව්වා උදැල්ල? මම කියන්නේ නෑ…………ඔන්න එහෙනම් අහගන්න පොරොවේ නෑදෑයෝ.

   වෑය කියන ආයුදේ දන්නවද? දැන්නම් වෑය භාවිතයේ නැති තරම්. වෑයෙන් කරන්නේ, ලී කඳක තිබෙන අනවශ්‍ය ඇද කොටස් කපා ඉවත්කර ලීය හැකිතරම් කෙලින් හැඩයකට සකසා ගැනීම සහ/හෝ, ලී කඳකින්, පරාල වැනි, කෙලින් පිහිටි කොටස්, පලා වෙන්කර ගැනීමයි. ඉස්සර පොල් ලී සැකසුවේ (පැළුවේ) වෑයෙන්. එක්තරා පැරණි සිංහල කියමනක් තියනවා, ‘වෑ පස්සෙයි හිර පස්සෙයි යන්න එපා’ කියලා. මොකක්ද ඒකෙ තේරුම? ඒ කියන්නේ ‘වෑයෙන් වැඩ කරනකොට ඊට පිටුපසින් ඉන්න එපා, අනතුරු වෙන්න පුළුවන්, විවාහයක් කරගැනීම සඳහා බැගෑපත්වෙමින් පසුපස යන්න එපා, අපහාස උපහාසයට ලක්වෙන්න පුළුවන්’ කියන එකයි.   

1 (25)

පින්තූරය ගත්තේ මෙතනින් 

  වෑය අස්සේ තවත් ඒවා ගහන්න ගියොත් වැඩේ දික් ගැහෙයිද? හැබැයි මෙතන මම කරලා තියෙන්නේ පොරෝ කතාව අස්සට වෑය රිංගවීම. වෑය, පොරොව, වගේ තවත් ආයුධයක් තියනවා ඒ තමයි පික්ඇක්ස් pick axe එක. සමහරු නම් මේකට වැරදි උච්ඡාරණයකින් ‘පිකස්’ කියලා කියනවා.  පික්ඇක්ස් එක ගස් වලට හෝ ලී වලට සම්බන්ධ නැහැ. එයින් කරන්නේ තද පොලොව කැඩීම සහ කැපීමයි. පික්ඇක්ස් එකට සිංහල නමක් තියනවා නේද ‘කුන්තානිය’ කියලා? 

pickaxe_photo

  පොරොවේ තවත් නෑදෑයෙක් තමා අයිස් පොරොව. ඒකත් ලී වලට සම්බන්ධ නැහැ. හිම කඳු නගින අය, බාධක හිම කුට්ටි කඩා ඉවත් කිරීමටත්, කඳු නැගීමේදී ලිස්සා නොගොස්, ඉහළ නැගීමේ ආධාරකයක් ලෙසත් අයිස් පොරොව පාවිච්චි කරනවා.

mountain_climbing

ලෝකයේ විවිධ රටවල තිබෙනවා, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ විවිධ ප්‍රයෝජන ගතහැකි, පොරොව වර්ග. මේ බලන්න.

axes

   අද ලෝකයේ සියලුම දේවල් නවීකරණය වෙනවා වගේ, අද පොරොවත් නවීකරණය වෙලා තියනවා. මේ බලන්න පොරොව නවීකරණය වෙලා තියන හැටි. වීඩියෝව නොවරදවාම බලන්න. 

6

 

   

ඉහත පින්තූරය සහ වීඩියෝව ගත්තේ මෙතනින් 

මා විශ්වාස කරනවා, අද අපෙන් ඈත්වෙමින් පවතින පොරොව ගැන, ඔබට යම් සතුටුදායක දැනුමක් ලැබෙන්නට ඇතැයි කියා. ඔබ මගෙන් සෑමවිටම පාහේ බලාපොරොත්තුවන, හමුදා කටයුතු සම්බන්ධ ලිපි දෙකක් සංස්කරණයේ පවතිනවා. පරිවර්තනය කිරීම තරමක් අමාරු කාර්යයක්. හැකි ඉක්මනින් ඒ ලිපි ඔබ වෙත ගෙන එන්නට උත්සාහ කරනවා. තවත් ලිපියකින් ළඟදීම හමුවෙමු.

 

my-signature-for-blog[1]    2014 ජූලි මස 14 වැනි දින 2320 පැය

Advertisements

Comments on: "පොරවගෙන ඉන්නෙ නැතුව පොරොව ගැන ඉගෙනගන්න – The Axe" (14)

  1. සිත්තරා said:

    battle axe ganath kiyannako wicharaka thumani ?

  2. දිමුත් said:

    අප්පටසිරි පොරවෙ තියෙන අයිටම් කෑලි ගොඩ.මමනං දන්නෙ මිටයි තලෙයි විතරයි.

  3. //ගුරුවරයා හිතනවා ළමයා කරයි කියලා, ළමයා හිතනවා ගුරුවරයා කරලා දෙයි කියලා, දෙමවුපියෝ හිතනවා ගුරුවරු ළමයි ලවා කරවයි කියලා. අන්තිමට මොකද වෙන්නේ?…………………හරි හරි විභාග පාස් වෙනවා තමයි. නමුත් තරගකාරී බවේ උපරිමයට යනකොට මිනිස්කම අපේ මනසින් පැනලා යන්නේ දඩාවතේ යන අස්සයෙකුටත් වඩා වේගෙන්.// ඔබ පෙන්වා දෙන මේ සරළ සත්‍යය වටහාගන්න අපේ අධ්‍යාපන සැළසුම් හදන සහ ඊට මගපෙන්වන දාර්ශනික ඇත්තන්ට තව කොපමන කල්යාවිද විචාරකතුමණි.

  4. කෝ කෙටේරිය 😀

  5. ගසක් කපන හැටි මමත් ඉගෙනගත්තා ගස් කපන කෙනෙක්ගෙන්.. ඒ මනුස්සයා විශේෂඥයෙක්.. හරියට කෙස් ගහට නියම තැනට ගහ ගෙනෙනවා අඩුම අලාබ දීලා. ඒත් එයත් පොඩි වරදක් කරලා යන්න ගියා. පොල් ගහක් උඩ සිට කුට්ටි කපා අතට අරන් අවැසි තැනට දමන්න ඔහුට පුළුවන්. මෙන්නෙ මේක කරන්න ගිහින් පොල් ගහ ගැස්සිලා මනුස්සයා වීසිවෙලා වැ‍ටුණා. ආරක්ෂක බැඳුමක් ඉණවටා තිබානම් ඔහුට බේරෙන්න තිබ්බ. ඒත් තමාගෙ හැකියාව ගැන ලොකු විශ්වාසයක් තිබ්බ නිසා කවදාවත් ඒක කලේ නෑ.
    තවත් මගෙ මිතුරෙකුගෙ මල්ලි මලේ පුවක් ගහක් කපලා ගහ වැටෙන පැත්තට විරුද්ද පැත්තෙ ගහට කිට්‍ටුවෙන් ඉඳලා. අර ගහේ කපපු මුල පැත්ත ගහ වැටෙනකොට උඩ පැන්නා. ඒක මේ ලමයාගෙ තල්ලෙ වැදිලා බෙල්ල කැඩුනා. අපි ලේසිය කියල හිතන වැඩ උනත් කරන්න ආරක්ෂිත ක්‍රම තියෙනවා. ඔබේ ලිපිය ගොඩක් අයට වැදගත් වේවි..

    මාත් අපේ ගෙදර හැම වර්ගයේම වැඩ කරනවා. කෙල්ල නං කියන්නෙ තාත්ති ඔව්ව කරන්න ආසා හින්දා බඩු කඩ කඩ හදනවා කියලයි.. අලි ආයුද කබඩ් එකක් මටත් ඇත..

  6. අප්පද බොල පොරවෙ තියෙන ජාති.ඔයාටත් ආයුදයක් අහුවුනොත් ජාතකෙම හොයල තමයි අතාරින්නෙ නේද? (මෙ ඔයා දන්නවද මම ක්වුද කියල.මම තමයි අවුරුදු උත්සවෙ දවසෙ සුදු මාමයි මොයයි එක්ක බයිට් ගෙන්න ගියේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: