විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 1    මෙවැනි ලිපියක් ලියන්නට සිදුවීම සතුටක් නෙවෙයි කණගාටුවක්. මමත් ආරක්ෂක අංශයක හිටපු සාමාජිකයකු නිසා, තවත් ආරක්ෂක අංශයක් ගැන මෙහෙම ලියන්නටවීම ගැන මට කණගාටුයි. නමුත් මේවා නොලියාම බැහැ. ඒ නිසයි ලියන්නේ. පොලීසිය කියන්නේ වැදගත්, ගෞරවණීය, අභිමානවත්, සේවයක්. එය රැකියාවක් නොවේ. පොලීසියක් පවත්වාගෙන යාම අපි පොලීසියට බනිනවා වගේ ලේසි වැඩක් නොවේ. පොලිස් සේවාව සෑමවිටම එහි බලධරයන්ගේ පරිපාලනයත් කළමනාකරණයත් විසින්, නොකඩවාම අධීක්ෂණයේ තබාගතයුතු, බරපතල වගකීමක්. මහජනතාවය ඇත්තටම සේවයක් සිදුවන පොලීසියක් ලැබෙන්නේ එවිටයි.  

   නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ පොලිස් සේවය පිළිබඳව එන්න එන්නම අහන්නට දකින්නට ලැබෙන්නේ, සතුටුදායක දේවල් නොව ඉතා අසතුටුදායක, අවාසනාවන්ත සිදුවීම්. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලීසිය තුලදී මියයාම, තවත් සැකකරුවන් ආයුධ සඟවා ඇති තැන් පෙන්වාදීමට ගොස් සඟවා ඇති ආයුධ වලින් පොලීසියට පහරදීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මියයාම යන අවාසනාවන්ත සිදුවීම් මාලාවට අලුතෙන්ම එකතුවූ ජවනිකාව තමයි මෑතක සිට පොලිස් රාලහාමිලාට (මේ රාලහාමි කියන වචනය වෙනුවට වෙන වචනයක් දාගන්න පොලීසිය කැමති නැද්ද?  ‘වල් අලි’ – ‘වන අලි’ කළා වගේ) ලබාදුන් රිවෝල්වර භයානක ලෙස පත්තුවෙන්නට පටන්ගැනීම.

   ඊයේ පෙරේදා පස්යාල ප්‍රදේශයේදී පුද්ගලයකු මෙසේ පොලිස් වෙඩි පහරින් මියගියා. වෙඩිල්ල එල්ල කොට තිබුනේ මරණකරුට ඉතා ආසන්නව සිට. මරණකරු එවෙලේ නිරායුධව සිට තිබෙන්නේ, පොලීසිය කියනවා මරණකරු පැමිණි මෝටර් බයිසිකලය පොලිස් රාලහාමිලාව යටකරගෙන යන්න හැදුවලු. මෝටර් බයිසිකල් පදින ඕනෙම කෙනෙක් දන්නවා මිනිසකු තියා බල්ලෙකු වුනත් හරියට බයිසිකලයේ වැදුනොත් බයිසිකලය පෙරලෙන බව. නැත්නම් සමබරතාව ගිලිහී, මොහොතකට හෝ කකුල බිම තබන්නට වෙන බව. මොටෝ ක්‍රොස් පදින ආකාරයට රාළහාමිලාගේ ඔලුවට උඩින් බයිසිකලය පන්නන්නත් බැහැ. රාලහාමිලාට තිබුනා අහකට පැනලා බයිසිකලයේ ටයර් වලට වෙඩි තියන්න. බයිසිකල් කාරයාගේ කකුලකට වෙඩි තියන්න, උරහිසකට වෙඩි තියන්න, එහෙම නොකළේ ඇයි?

   අද තවත් සිදුවීමක් වාර්තා වෙලා තිබුණා දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ ගැන වීඩියෝ වාර්තාවක් මා දුටුවා සිරස රූපවාහිනියේ. එහිදී එක රාලහාමි කෙනෙක් තම රිවෝල්වරය පුද්ගලයකුට එල්ල කරන බව පෙනෙනවා, පාරේ එක පැත්තක සිට. පාරේ අනික් පැත්තේ එක පුද්ගලයකු සෙමින් ගමන්කරනු දකින්න ලැබුණා. මියගියේ ඒ පුද්ගලයාදැයි මා දන්නේ නැහැ. මේ වෙලාවේ පාරේ වාහන තිබුණා. රාලහාමිගේ ඉලක්කය වැරදුනානම්  අර වාහනයක ගමන් කල කෙනෙකු මියයන්නට හෝ තුවාල වන්නට ඉඩ තිබුනා 100%ක් ම.

   මෙහෙම වෙන්නේ ඇයි? මෙන්න ඒ ගැන මගේ නිරීක්ෂණ සහ නිර්දේශ.

නිරීක්ෂණ.

  • පොලිස් රාළහාමිලාගේ අතට මේ රිවෝල්වර් ආවේ බොහොම මෑතකදී. රිවෝල්වර හෝ පිස්තෝල  පාවිච්චි කලේ උප පොලිස් පරීක්ෂක සහ ඊට ඉහළ නිළයන්හි නිළධාරීන්. ඔවුන්ටනම් මේ අවිය ගැන හොඳ පුහුණුවක් ලැබුණා. නමුත්, මේ තරමක් නුහුරු ආයුධය පරිහරණය ගැන නිසි පුහුණුවක් සහ උපදෙස් රාළහාමිලාට ලැබී නැති බව පෙනෙනවා. 
  • තමන් ආසා කරන ආයුධයක් ලැබුනම එයින් වැඩ අරන් බලන්න අපි කුඩා කාලේදී හරි ආසයිනේ. සමහර රාළහාමිලා මේ අවිය තියාගෙන ඉන්න විදිහ දැකලා දැනට මාස දෙකකට පෙර මට හිතුනා මෙයාලා කාක්කෙකුට හරි වෙඩි තියලා බලයි නිකම් ඉන්න ගමන් කියලා. නමුත් දෙයියනේ මෙයාලා වෙඩි තියලා තියෙන්නේ කාක්කන්ට නෙවෙයිනේ.

2

  • සමහර රාළහාමිලා, රිවෝල්වරය ගැන සමහර කරුණු දන්නේ නැහැ කියන එක, මට තහවුරු වුන අවස්ථාවක් මතකයි. දැනට මාසෙකට විතර උඩදී මම අපේ ප්‍රදේශයේ පොදු කටයුත්තක් සඳහා එක්තරා පොලිස් ස්ථානයකට ගියා. එහිදී, එහි සිටි මා දන්නා හඳුනන පොලිස් සැරයන් කෙනෙකුගෙන් මා ඇසුවා දැන් රිවෝල්වර තිබෙන නිසා ලොකු, බර, තුවක්කු උස්සාගෙන යන්න අවශ්‍ය නැහැ නේද කියා. ‘අප්පේ ඔව්’ ඔහු කට පුරා සිනාසෙමින් කිව්වා.  මම ඇහුවා, ‘දන්නවද රිවෝල්වරයකින් වෙඩි තියපුවම තියන වැදගත්ම වාසිය මොකක්ද’ කියලා. නමුත් ඒ ගැන නම් ඔහු කිසිවක් දැන සිටියේ නැහැ. (ඒ වාසිය තමයි පිස්තෝලයක මෙන් රිවෝල්වරයක උණ්ඩ වලට අදාළ හිස් කොපු, වෙඩි තියන තැන නොවැටීම. මොකද රිවොල්වරයේ තිබෙන පතරොම් සියල්ල වෙඩිතබා අවසන් වුනාට පස්සෙයි, වෙඩි තබන්නා විසින්ම ඒ හිස් කොපු එලියට ගන්නේ, නැවත පතරොම් පිරවීම සඳහා. එය ස්වයංක්‍රීයව සිදුවන්නේ නැහැ. ඒ නිසා අපරාධකරුවකුට පුළුවන් වෙඩි තබා පලායන්න, මොකකින්ද වෙඩි තැබුවේ යන්න සොයාගැනීමට තරමක් අපහසුවන ආකාරයට) මෙවැනි දැණුමක් නැතිව එවැනි අවි පරිහරණය කිරීම පාඩුවක් බව මට හැඟුණා.

 

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා, අද දින දිවුලපිටියේ ඇතිවූ සිදුවීම අරබයා ප්‍රකාශ කළේ, මරණකරු, උල් ආයුධයකින්, පොලිස් නිළධාරීන්ට පහරදී මරාදැමීමට ඉඩ තිබුන නිසා, ඔහුට වෙඩි තැබීමට පොලිස් නිළධාරීන්ට සිදුවී ඇති බවයි. උල් ආයුධයක් අත ඇති තැනැත්තෙකු මෙල්ල කරන්නට, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට නොහැකි වුනත්, හිත හයිය තියන මැදිවියේ ගැමියන් දෙදෙනෙකුට වුනත් පුළුවන්, ගල් පාරවල් දෙක තුනකින් සහ පොලු කෙටියකින්, ඒ උල් ආයුධ කාරයා මෙල්ල කරන්න.

 


නිර්දේශ 

  • පොලීසිය හදන්න පටන්ගන්න ඕනේ ඉහළ සිට පහළටයි. ඒ නිසා පොලිස්පති වරයාට පුලුවන්නම් අවනීතියට එරෙහිව නැගීසිටින්නට, එතැන් සිට ඉදිරියට පොලීසිය ගෙනයාම මහා කජ්ජක් නෙවෙයි. 
  • පොලිස් සේවයේ පුහුණුව මූලික පුහුණුවට සීමා කර හරියන්නේ නැහැ. පොලිස් ස්ථානවල සති අන්තයෙදී පවත්වන පන්ති වලදී, අහවලුන්ගේ පෝස්ටර් ගහන්න නොදෙනු, අහවලාගේ වාහන නොඅල්ලනු,  අහවල් හෝටලය රේඩ් නොකරනු වැනි උපදෙස් දීමට වඩා, ඒ රාළහාමිලා හරක් බලන්න යැවීම යෙහෙකි. 

 

  • පොලිස් රාලහාමිලාට රිවෝල්වරයක් පරිහරණය කරන හැටි පුහුණු කලයුත්තේ ජීවිතයට එක වරක් නොවේ. අපේ රටේ දුප්පත්කම ගැන සලකා බැලුවොත් යටත්පිරිසෙයින් මාසයකට වරක් උණ්ඩ 10 ක් වත් ඉලක්කපතකට වෙඩි තබා තම පුහුණුව අලුත් කරගැනීමට පහසුකම් ලබාදිය යුතුය. එමෙන්ම අවිය ගැන ඉහළ තාක්ෂණික දැනුමක් දියයුතුය. 

 

  • ඔය දැන් පාවිච්චි කරන .38 රිවොල්වරයේ තියන පතරොම් හය ඉවර වුනොත් මොකද කරන්නේ සැකකරුට එකක්වත් නොවැදී? (1. හිටු කියලා දුවනවා පළාතෙවත් නොහිට. 2. අනේ මචං වෙඩි තිබ්බා නෙවයි නිකම්ම පත්තුවුනා කියලා සැකකරුට කියනවා. 3. උඹ මාර ලකී මචන් වරෙන් මාත් එක්ක බීඩියක් ගහන්න කියනවා. 4. යකෝ අපිට පව් නොදී පලයන්කෝ යන දිහාක කියලා දණගහලා වැඳලා කියනවා.) අමතර පතරොම් ගෙනයාමට හා විනාඩි කීපයක් ඇදීයන වෙඩි හුවමාරුවකදී නැවත පතරොම් පුරවාගැනීම විශේෂයෙන් පුහුණු කර තිබිය යුතුය.

 

  • ආයුධයක් තමන් අතේ නැතත්, පිහියක් වැනි ආයුධයක් අතේ ඇති තැනැත්තකු මෙල්ල කිරීම සඳහා අවශ්‍ය ආත්මාරක්ෂක සටන් ක්‍රම පොලීසියට අනිවාර්යයෙන් පුහුණු කරවිය යුතු අතර එවැනි අභ්‍යාස නිතිපතා පැවැත්විය යුතුය. (අපේ රටේ කැරලි මර්දන පොලීසිය දැන් දක්වන්නේ දුර්වල සටන් විලාසයක්. ලෝකයේ බොහොමයක් රටවල මිනිස්සු දන්නවා කැරලි මර්දන හමුදා සමග ගැටෙන හැටි. නුදුරු අනාගතයේදී ඒවා මෙහෙ අයත් ඉගෙනගනියි. එදාට මර්දනය කරන්නේ රතුපස්වලදී වගේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්ද? අපේ පොලිස් රාලහාමිලාගෙන් 1% කාටවත් ආත්මාරක්ෂක සටන් බැරි තත්වයකයි දැනට ඉන්නේ කියලා මට හිතෙනවා)

 

  • පොලිස් රාළහාමිලාගේ නිද්‍රාශීලීභාවය නැති කලයුතුයි. උදාසීනකම නැති කළ යුතුයි. ඔවුන්ට වගකීම් පැවරිය යුතුයි. 

 

1police

  • නිල ඇඳුමෙන් සිටින පොලිස්කාරයා වැඳිය යුත්තේ පූජ්‍ය පක්ෂයේ අයට පමණයි. පොලිස්කාරයන්ගෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වන අය පූජක තනතුරකට යාම යෙහෙකි.

 

3

 

  • අද බොහෝ පොලිස් රාළහාමිලා තම අවිය තියාගෙන ඉන්නේ හරිම විකට ස්වරූපයකින්. අවිය ගෙනයනවානම් ඒ සඳහා අවශ්‍ය අමතර පතරොම් සහ උපාංග රැගෙන යායුතුයි. තව රාළහාමිලා එක්කෙනෙක් දෙන්නෙක් උස්සගෙන ගිහින් මැරුවොත් තමයි මතක්වෙන්නේ, අඩේ…………..අර පවුචස් ද, පූචස් ද, මොන හුචෑ…….ස් ද එක දාගෙන යන්න ඕනේ කියලා. ඒ නිසා, රාජකාරි සඳහා පිටත්ව යාමට පෙර, පොලිස් රාළහාමිලා නිසි පරිදි සන්නද්ධව සිටීද යන්න, වගකිවයුතු පොලිස් නිලධාරියකු විසින් සනාථ කරගත යුතුයි.

 

 

sri-lanka-police

 

 

 

A Sri Lankan policeman stands guard at t

 

 

  • පොලිස් නිලධාරීන් ගේ නිළ ඇඳුම ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා වෙනස් කිරීම සුදුසුය. ක්ෂේත්‍ර රාජකාරියේදී කැන්වස් බූට්ස් සහ බේස්බෝල් කැප් ආකාරයේ කැප් එකක් වඩාත් සුදුසුයි.

 

  කවදත් කොහෙදිත් කොතනත් සිදුවෙනවා වගේ පොලිස් පොඩ්ඩන්ගේ දුක නැතිකරන්න කවුරුවත් නැහැ. පොලිස්කාරයකුගේ හදවතට එබී බලන්න පුලුවන්නම් ඔහු ඉන්නෙත් සතුටෙන් නෙවෙයි කියලා පෙනෙනවා. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ බලලා පොලිස් ලොක්කෝ හැදෙයි කියලා හිතන්න අමාරුයි. අපේ රටේ තියන දේශපාලන ක්‍රමය තුළ පොලීසිය තවදුරටත් පිරිහීම මිස දියුණුවක් ඇතිවන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ ඒ දේශපාලන විප්ලවය නොකලොත් තව කල් යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ‘ලංකාව ගැන හොයන කොමිසම’ යනුවෙන්, වෙනමම එකක් ස්ථිරව පත්කරන්න ඉඩ තියනවා. පොලීසිය ඇතුළේ අපමණ දූෂණ වංචා තිබෙන බව පොලීසියේම අය කියනවා. ඒවා එළියටත් එනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දකින්නට අහන්නට ලැබෙනවා බොහොම අඩුයි. පොලිස් ආඥාපනත අවශ්‍ය පරිදි සංශෝධනය කිරීම අතිශයින් ප්‍රමුඛස්ථානය ලැබිය යුතු කරුණක්. 

   පොලීසිය ගැන මහජනතාව හිතන ආකාරය වෙනස් කරන්න පටන්ගන්න ඕනේ දේශපාලකයෝ. ඔවුන් පොලීසිය අමු අමුවේ කන එක නැවත්වීම අත්‍යවශ්‍යයි.

6

   පොලීසිය තම ප්‍රවේණි දාසයන් ලෙස සිතා කටයුතු කිරීම නැවැත්තුවොත් මහජනතාව පොලීසියට ලංවෙයි. පොලීසිය හරියටම අකුරටම නීතිය ඉටු කලොත් මේ රටේ දියුණුව කොපමණ වේගවත් වනු ඇතිද යන්න නොදන්නා සේ සිටින දේශපාලුවන් අතුගා දැමිය යුතුයි. 

5

   පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ.පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට, හිතන්නේ, බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර, වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. අද මුළු පොලිස් සේවයම එක්තරා ග්‍රහනයකට හසුව තිබෙනවා. ඒ නිසා පොලීසිය අචේතනිකව හා යාන්ත්‍රිකවයි ක්‍රියාකරන්නේ. ඒ හේතුව නිසාමයි අවනීතිය පිලිබඳ මහජන දෝෂාරෝපණ වැඩිවී තිබෙන්නේ. පොලිස් කාරයා අද ජෝකරයකු කර තිබෙන්නේ දේශපාලුවන්ගේ වරදාන භුක්තිවිඳින ලොකු පොලිස්කාරයන් විසින්මයි. 

9

   හැබැයි ඉතින් මෙහෙම හිතන අයත් ඇති.

8

7

my-signature-for-blog[1]    2014 ජූනි මස 25 වැනි දින 0013 පැය

Advertisements

Comments on: "අන්ත්‍රාවයි වෙඩිතියන පොලිස්කාරයෝ ඉදිරියෙන්" (24)

  1. ” පොලීසිය ගැන මහජනතාව නරක විදිහට, වැරදි විදිහට හිතන්නේ බහුතර පොලිස් නිළධාරීන් පිරිසක් සාධාරණව රාජකාරිය ඉටුකරන අතර වැරදි කරන සුළුතර පිරිසක් ඉන්න නිසා කියා යමකු කියනවානම් මා එකඟ වන්නේ නැහැ. ”
    මේ කාරණයට මමත් එකගයි.මේ සිස්ටම් එකේ පීඩනය එක්ක ඔවුන් අසරණ කරලා.සාමාන්‍ය ජනයා නිල ඇදුමට බය වෙන තරමටම පොලිසිය මේ ක්‍රමවේදයේ මජර දේශපාලනයට සුවච කීකරු බලු හුරතලෙක් වෙලා.ආත්මීය වශයෙන් දැනෙන පීඩනය මොවුන් පිට කර හරින්නෙ සාමාන්‍ය ජනතාව මතින්.ඒ නිසාම දැඩි වෛරයෙන් රාජකාරිය කරන පිරිසක් බවටත් පොලිසිය පත් වෙලා කියලයි මම හිතන්නෙ.ආත්ම ‍ගරුත්වයක් ඇතිව ජීවත් වෙන්න බැරි තරමට අසරණ කරපු ආයුධ අතින් ගත්තු මිනිහෙක්ගෙන් මීට වඩා සමාජ ව්‍යසන වුවත් විය හැකියි.සමහර විට එල්ල වෙන පීඩනයට ප්‍රතිවිරුද්ධ දිශාවකට එල්ල වන ප්‍රතිචාරයම පෙරළා එල්ල වෙන තැනකට පත් වීම වගේම එය සංවිධානාත්මකව විය හැකි ඉඩකුතු තියෙන බව මේ දේශපාලනයේ ආත්මාර්ථයට නොපෙනීම සමස්ත සමාජයේම කාලකණ්නිකමක්

  2. අනේ විචාරක තුමෝ ඔබ තුමා පොලෝසි ගැන දන්න කෙන්ගෙඩියක් නැහැ. අපේ කවදාවත් බොරු නොකියන පොලොස් මාධ්‍ය ප්‍රකාශ තුමා කියන ලෙස ඕම තමයි “පොලෝසිය අවම බලය යෙදවීම”

  3. Tharaka (තාරක) said:

    හොද කාලින වැදගත් ලිපියක්. බොහොම ස්තුති විචාරකතුමාට මහන්සිවෙලා මේ වගේ කාලින ලිපියක් ලියුවට.

    මට පෙන්නේ විචාරකතුමා පහුගිය කලේ පත්තර බලලා නෑ වගේ. 🙂 අර නිතිය හා සාමය පිළිබද ද මොකක්ද කියන අමාත්‍යංශයට අලුත් ලේකම් කෙනෙක් පත් කරපු වෙලාවේ එයා මාධ්‍ය වලට කිව්වේ තාම යම් යම් ආකාරයට ත්‍රස්තවාදය හිස ඔසවන්න පුලුවන් නිසා one shot one kill ක්‍රමයට පොලිසිය පුහුණු කරනවා කියලා. ගොඩක් පොලිසියේ අය බීමතින් රාජකාරි කරන නිසා ඒ අය සාමාන්‍ය පුද්ගලයින් ත්‍රස්තවාදීන් ලෙස දකිනවද දන්නේ නෑනේ? 🙂 🙂 🙂

    අනික මම දැකලා තියන දෙයක් තමයි පොලිසියට පුහුණුව සහ විනය මදි කම. මම කරාතේ කරන අපේ කරාටේ සංගමයට 2011 දී ආරාධනාවක් අවා ඊශ්‍රායෙල් සටන් ක්‍රමයක් වන kravmaga (http://en.wikipedia.org/wiki/Krav_Maga) කියන මේ සටන් ක්‍රමය අපේ රටට හදුන්වලා දෙන වැඩසටහනකට සහභාගී වෙන්න. ඒ සටන් ක්‍රමය තමයි CIA, FBI සහ තව ගොඩක් රටවල් ආරක්ෂක අංශ හා පොලිසිය නිරායුධ සහ ආයුධ සහිත සටන් ක්‍රමයක් ලෙස භාවිත කරන්නේ. මම හිතන හැටියට අපේ හමුදාව සමහරවිට විදේශ පුහුණු වීම් වලදි ඉගෙන ගෙන ඇති. දැන් එක උගන්වන පන්ති ලංකාවේ(http://kmkli.com/) පැවැත්වෙනවා. ඒ අය නොමිලේ අපිව සහ ආරක්ෂක අංශ වල අයට පුහුණු කරන්න බලාපොරොත්තු උනා. එතනට ආපු පොලිස් නිලධාරින් ගොඩක් කම්මැළි විදියට තමයි පුහුණු වැඩ මුළුව තුල හිටියේ.ඒ හේතුවෙන් ඒ වැඩමුළුව අසාර්ථක වූනා.ඒ පුහුණු වීම් වලදී පොලිස් නිලධාරීන් පරදන එක ගොඩක් ලේසි උනා.

    ඒ සටන් ක්‍රමය තුල අනෙත් සටන් ක්‍රම වලට වඩා ගොඩක් ප්‍රයෝගිකයි අඩු කාලයකින් ඉගෙන ගන්න පුළුවන්. එකේදී පොල්ලක්, පිහියක්, වෙනත් තියුණු ආයුදයක්, පිස්තෝලයක් සහ තුවක්කුවක් (ගිනි අවියක් ලගට අරගෙන ආවම එකෙන් බේරෙන විදිය) කියල දෙනවා. ඊට අමතරව තුවාල සිදු කිරීම් සහ පහරදීම් වලින් තොරව කෙනෙක් මෙල්ල කර ගන්න හැටි සහ මුලික මට්ටමේ තමන්ව හරි වෙන කෙනෙක්ව හරි ප්‍රාණ ඇපයට ගත් විට බේරෙන ක්‍රම කියලා දෙනවා. ලංකාවේ පොලිසියේ කැරලි මර්ධන ඒකකය හැසිරෙන විදිය නම් ගොඩක් ප්‍රාථමිකයි.

    නිසි පුහුණුවකින් හා දැනීමකින් තොරව ගිනි අවියක් පාවිච්චිය ගොඩක් භයානක වැඩක්. අර විචාරක තුමා කියුවා වගේ අමතර උණ්ඩ රැගෙන නොගිය විට හෝ උණ්ඩ ඉවර වූ විට හෝ තමන්ගේ අවියට වඩා ප්‍රභල අවියක් සතුරා අතේ ඇති විට (සතුරා ලග t56 හා නිලධාරියා අතේ රිවෝල්වරයක් ඇති විට) සටන් කරන ආකාරය සහ ආධාරක කණ්ඩායම් එන තුරු තුරු හදිසි අවස්තාවක දී උපක්‍රමශීලිව තමන්ගේ සහ අන් අයගේ ජිවිත බේරාගෙන සිටින ආකාරය පුහුණු කල යුතුයි .

    කුරුණෑගල පොලිස් නිලධාරීන් දෙදෙනා පැහැර ගත් සිදුවීමේදී බේරුන නිලධාරියා පැහැරගත් අයගේ ගිනි අවියේ මැගසිනය උදුරාගත් බව ඔහු මාධ්‍යට පවසා තිබුනා.සමහරවිට ඔහුට යම් ආකාරයක උසස් පුහුණුවක් ලැබී තිබුනා නම් මැගසිනය වෙනුවට ගිනි අවිය උදුරාගෙන ඔවුන්ට වෙඩි තබන්න තිබුණා .

    පොලිස් නිලධාරියට පහර දී මෝටර් රථයට ගිනි තැබූ සිදුවිමේදී ඔහු මාධ්‍යට පවසා තිබුනා ඔහු කරාතේ සටන් ක්‍රම ඉගෙන ගත් ගුරුවරයා නිසා ඔහුට මේ ආකාරයෙන් හෝ බේරීමට හැකි හැකි වූ බව.

    මගේ අදහස නම් පොලිසිය දේශපාලකයින්ගේ අතකොලු නොවී නිතිය සුරකින කාලින ලෙස පුහුණුව, විනය, සහ ආකල්පමය වශයෙන් ප්‍රතිසන්විධානය කලයුතු බවයි. එවිට උසස් පොලිස් සේවයක් රටට ලැබෙනු ඇත

    • බොහොම ස්තුතියි ඔබේ මේ දීර්ඝ අදහස් දැක්වීමට. කරාතේ පුහුණුව පොලිස් නිලධාරීන් කම්මැලි විදිහට කලේ එය කලත් නොකලත් රැකියාවට හානියක් නොවන නිසයි. එය සාර්ථකව කරවන්න නම් එම පාඨමාලාව අසමත් වුනොත් ඉදිරි වසර තුන තුල පොලීසියෙන් ඉවත්විය යුතුයි කියා නීතියක් ගෙන එන්න ඕනේ. එමෙන්ම වාර්ෂිකව ශාරීරික යෝග්‍යතාවය මනින පරීක්ෂණයකින් අවුරුදු 50 ට අඩු සියලු දෙනා සමත්විය යුතුයි නැත්නම් විශ්‍රාම යායුතුයි වැනි නීති තිබිය යුතුයි. (එම පරීක්ෂණය වයස් කාණ්ඩ වලට කඩා වැඩි වයස්වල අයගේ පරිසාධන මට්ටම අඩු කල හැකියි)

      ඔක්කොටම කලින් පොලීසිය එක අණක් යටතට ගන්න ඕනේ. පොලීසියේ ඉන්න සමහර දේශපාලන හුරතල්ලු පොලිස්පතිගේ අණටවත් කීකරු නැතුව ඇති කියලා මට හිතෙනවා.

  4. මෙය හිනාවෙන්නට හෝ අඬන්නට හැකි තත්වයක් නෙවෙයි . ඔබතුමා පෙන්වන මේ තත්වය වෙනස්කිරීම සඳහා පුහුණුව හා අධ්‍යාපනය ඉතාම කඩින් අවශ්‍යතාවක් බවට පත්වේවා.

    • ඇත්තෙන්ම මෙය වහා පිළියම් යෙදිය යුතු ව්‍යසනකාරී තත්වයක්. නොදන්නාකම, නොසැලකිල්ල, නිසයි මෙවැනි දේ සිදුවන්නේ.

  5. //හැබැයි ඉතින් මෙහෙම හිතන අයත් ඇති.// ඇති නෙවේ අය්යෙ ඉන්නව තමා..ඔක්කොම වගේ උන්.

  6. රිවොල්වර් දුන්න එක හොදයි නේ, automatic පිස්තෝල නොදී?

    • දෙන්න තිබුනේ ඔටෝමැටික් පිස්තෝලම තමා. එතකොට ඕක ඉනේ ගහගෙන ඉන්න ගමන් අතපතගාන්න ගිහින් තමන්ගේම එව්වා බිම වැටෙන විදිහට ‘මිස් ෆයර්’ ගහගනියි. 😀

  7. මම නම් හිතන්නෙ ඒ ඒ උපකරණ භාවිතා කරන්න තාක්ෂණික ඥානය නැතුවාටත් වඩා ඒ අයට තම වෘත්තිය තුලින් එල්ල වන පීඩනය නිසාම මෙවැනි දේ සිදුවෙන බවක්…වෙන කරන්නට රස්සාවක් නැති නිසා මේක කරනවා වෙන්න ඇති. ඒ නිසා හැම වෙලේම කෝපයෙන් පුපුරනවා වෙන්නත් පුලුවන්…

    • ඇයි සිරෝ, ඔය රස්සාවට යන්නත් අවම වශයෙන් හොඳට සාමාන්‍ය පෙළ සමත්වෙලා තියෙන්න ඕනේ. ගියාට පස්සේ ඉතින් දන්නවනේ……….හැබැයි සිරා කියන එක දෙයක් මම පිලිගන්නවා. අද අපේ රටේ පොලිස්පතිගේ ඉඳලා පහලට ඉන්න සියලුදෙනා තම රාජකාරිය කරන්නේ දැඩි පීඩනයක් යටතේ. එපාවීම, කලකිරීම, තියන එක ඇත්ත.

  8. කාලොචිත වැදගත් ලිපියක්. බොහො වෙලාවට අපේ පොලිසිය අරන් යන ටී56 සහ රිවොල්වර් ඉතා පැරණි නිසි නඩත්තුවක් නැති බව පේනව. මහත්මයා දන්නවද ඇයි පොලීසියට විතරක් මේ .38 රිවොල්වර්ස් දෙන්නෙ කියල? STF සහ හමුදාවට නිකුත් කරන්නෙ කාර්යක්ශම බ්‍රව්නින් 9mm පැති අවි. ඇයි පොලීසියටත් මේක දෙන්න බැරි?

    ඒ වගෙම අපි පිටරට සාමාන්ය පොලිස් නිලදාරියෙක් දකින්නෙත් ඔහුට රාජකාරියට අවශ්ය සියලු උපකරන වලින් සන්නද්ධව. පැති අවියක්, ගිනි අවි නොමැති අපරාධකරුවෙක් මෙල්ල කරන්න Stun Gun එකක් හරි Pepper Spray ඔවුන් සතුයි. අපි යුද්දෙට වියදම් කරපු හැටියට දැන් අපිට අපේ පොලීසිය සන්නද්ධ කරන්න බැරිවෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ

    • ලිපිය ඇගයීම ගැන ස්තුතියි චාමිකර.

      පොලීසියට දෙන අවි පිළිබඳව යම් යම් ජාත්‍යන්තර ප්‍රතිපත්ති තියනවා. පොලිස් භටයකු සම්පූර්ණ ස්වයංක්‍රීය අවි නොදැරිය යුතුයි කියලා පිළිගැනීමකුත් තියනවා. T 56 වෙනුවට SAR 84 වැනි අවි සුදුසුයි. රිවෝල්වරය ලබාදීමේ වරදක් නැහැ. වඩාත් හොඳ 9 mm අර්ධ ස්වයංක්‍රීය කෙටි අවියක් කියලයි මමනම් හිතන්නේ. දැන් අපේ පොලිස් භටයන් අතේ තියෙන .38 රිවෝල්වර් පරණ ඒවා නෙවෙයි. ඒවා මෑතකදී ගෙන්වන ලද අලුත්ම ඒවා. මමත් ඔබේ අදහසට එකඟයි. Stun Gun, Pepper Spray, දෙකම මමත් නිර්දේශ කරනවා.

      යුද්දෙට වියදම් කරපු හැටියට දැන් අපිට පොලීසිය සන්නද්ධ කරන්න බැරිකමක් නැහැ. ඕනෑකමයි නැත්තේ.

  9. පොලිසිය පීඩනයකින් කටයුතු කරන බව ඇත්ත. ඔබ කියන කරුණුවලට එකඟ වෙන්න පුළුවන් විචාරක මහත්මයා. කොහොමටත් දැන් තිබෙන තත්ත්වය අනුව පොලිසියට එරෙහි ඕනම කරුණකට එකඟ වෙන්න පුළුවන්. 🙂 කාලෙන් කාලෙට එක එක රැලි වගේ, කාලයක් එකදිගට පොලිස් සිරමැදිරි තුළ මිනිස්සු මැරුණා. කාලෙකට ආයුධ පෙන්නන්න ගිහින් මැරෙනව වැඩිවෙනව. දැන් පාරෙදි පොලිසිය අතින් මිනිස්සු මැරෙනවා. මට හිතෙන්නෙ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ පොලිසියට තමන් කවුද කරන්නෙ මොනවද කියල අමතක වීම / අමතක කරවීම.
    මම මේ ළඟකදි ලිපියක තිබිල කියෙව්ව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුද්ගලයෙකු මරණීය දණ්ඩනයට යටත් කළ හැක්කෙ අධිකරණයකින් ලබාදෙන අඥාවකට අනුව පමණයි කියල. ඒ වගේම පොලිසියෙ රාජකාරිය රටේ නීතිය සාමය පවත්වා ගැනීමත් අනෙක් අතට නඩු කටයුතු සඳහා අවශ්‍ය සාක්‍ෂි සාධක විමර්ෂණය කරල සොයා ගැනීම. එහෙම නැතුව සැකකරුවන් බධබන්දනයට ලක්කිරීම, දඬුවම් කිරීම පොලිසියට අදාල කටයුත්තක් නෙවි. මේක නිකන් බල්ලගෙ වැඩේ බූරුව කරන්න යෑමක්. අනික හදිසි නීති තත්ත්ව යටතෙ කටයුතු කිරීමත් රටේ සාමාන්‍ය නීතිය යටතෙ කටයුතු කිරීමත් අතර වෙනසක් ඔවුන්ට තිබෙන බවක් පේන්නෙ නැහැ. කොටින්ම පොලිසිය ලයිෂන් චන්ඩින්ගෙ භූමිකාව රඟදක්වනව. කිසිම හිරිකිතයක් නැතිව මහජන මුදලින් වැටුප් ලබමින් මහජනයා වෙතටම ප්‍රචණ්ඩත්වය මුදාහරිනවා. මේ කුණු වෙච්ච දේශපාලන ක්‍රමයෙන් මේවට කවදාවත් විසඳුම් ලැබෙයි කියල හිතන්නත් අමාරුයි. යම්තරමකින් හරි වෙනසකට මුලපුරපු ස්වාධීන කොමිෂන් සභා කිසිම හිරිකිතයක් නැතුව ව්‍යවස්ථාව සංශෝධනය කරලම ආපස්සට හැරෙව්වා. (මගේ මතකය නිවැරදි නම්) නීතිපති දෙපාර්තමේන්තුව අයත් නැති අධිකරණ අමාත්‍යංශයක් අපිට තියෙනව. එක එක පුද්ගල උවමනාවන් අනුව මේ වගේ දේවල් වෙන රටක මොනවද වෙන්න බැරි.
    මේ වගේ සමහර සිදුවීම්වලදි පොලිස් නිලධාරීන්ට පුද්ගලිකව වන්දි ගෙවන්න වෙනව, සිරගත වෙන්න වෙනව, දඬුවම් විඳින්න වෙන්න වෙනව. සමහර නිලධාරීන්ට අධිකරණය මරණීය දණ්ඩනය නියම කළා. අතීත සිදුවීම්වලදි එහෙම වෙලා තියෙනව. තියෙන තත්ත්වය අනුව අනුන්ගෙ ජීවිත ගැන කෙසේ වෙතත් තමන්ගෙ ජීවිතේ ගැන හිතලවත් නිලධාරීන්ට මහජනයා සමඟ කටයුතු කිරීමේදි මීට වඩා බුද්ධිමත් වෙන්න පුළුවන්නම් හොඳයි.

    • අපේ පොලීසිය මේ යන්නේ හොඳ පාරක නෙවෙයි කියලා හෘද සාක්ෂියට එකඟව හිතන පොලිස් නිලධාරීන් පවා දන්නවා. යම්කිසි රටක නීතිය වල් වැදුනාම පොලීසිය මහජනයාගේ හිත තුලින් අවලංගු වෙනවා. එතකොට මහජනතාව හිතන්න ගන්නවා නීතිය අතටගෙන ක්‍රියාකරන්න. පොලිස්කාරයා ඇතුලේ ඉන්නෙත් මිනිහෙක්. ඒ මිනිහාටත් හිතක් පපුවක් තියනවා. නමුත් පපුව ඉතුරු කරලා හිත අයින් කරාම අද මේ අපි අහන දකින දේවල් තමයි වෙන්නේ.

  10. රාළහාමිලා හරක් බලන්න යැවීම යෙහෙකි… හකේ හක් හක් 😀

  11. හොඳ සටහනක්
    මිස් ෆයර් කියන්නේ පතොරම පත්තු නොවී තිබීමයි .අරකට කියන්නේ ඇක්සිඩන්ට් ෆයර් කියා තමයි ( ඇට ගැලවෙන එකට ).
    නීතියේ අවම බලය ගැන සදහනක් නැහැ සාධාරණ බලය ගැන තමා සදහන් වෙන්නේ.
    අවම බලය භාවිතාව ගැන සදහන් වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තු නියෝග පොතේ ඒ 19 කොටසේ විතරයි. මේ පොත භාවිතා ව පොලිස් නිලධාරීන්ට පමණක් සිමාවුන පොතක් හරියට Standard Operation Procedures එක වගේ …..

  12. නිල ඇඳුමෙන් සිටින පොලිස්කාරයා වැඳිය යුත්තේ පූජ්‍ය පක්ෂයේ අයට පමණයි. පොලිස්කාරයන්ගෙන් වැඳුම් පිදුම් බලාපොරොත්තු වන අය පූජක තනතුරකට යාම යෙහෙකි.

    මේ වැකිය වැරදියි………..
    මේ රාලහාමි වදින්නේ DIG දිසානායක මහතා විශ්‍රාම ගෙන පිටත එන විටයි
    අවුරුද්දට, ස්ථාන මාරු වෙනකොට පොලිසියේ මෙහම වදිනවා. ආචාර කිරීමෙන් පස්සේ
    පළමුව රාජකාරී ක්‍රමය දෙවනුව සංස්කෘතික බැදියාව…..
    හමුදාවේ කොහොමද දන්නේ නැහැ ? අම්මට salute කරනවද දන්නේ නැහැ වදින්නේ නැතුව
    Psychology වල Halo effect
    කියන්නේ මේ වගේ සංජානනයට තමයි

  13. […] අවි පරිහරණ දැනුමක් ඇති පොලිස් සේවය, පසුගිය කාලයේදී අපකීර්තියට ලක්වූ අවස්…. විශේෂයෙන් පසුගිය රජය සමයේ කුප්‍රකට […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: