විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


alvis     මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්ද, දෙවැනි කොටස මෙතැනින්ද, තුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න පුළුවන්. ඉතා දීර්ඝ ලිපි මාලාවක් ලෙස ඉදිරියට ගෙනයා හැකි නමුත්, මේ කොටසින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි මා සිතනවා.

අද ලිපිය ආරම්භ කරන්නේ, එදත් අදත් ජනප්‍රිය වාහන වර්ගයක් වන අපේ කටට හුරු උච්ඡාරණයෙන් කියනවා නම් පර්ජෝ Peugeot (මෙය Google translation එකේදී කියවුනේ ‘පජියෝ’ යනුවෙන්) ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මේ වාහන වර්ගයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බොහොම අභිමානවත් හා ශක්තිමත් වාහනයක් ලෙස මේ වාහන වර්ගය ප්‍රසිද්ධයි. මුලින්ම බලන්න පර්ජෝ ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.

cbleoag-15

   පර්ජෝ වාහන වල මට මතක තිබෙන පැරණිම මෝස්තරය වුණේ පර්ජෝ 203 මොස්තරයයි. පර්ජෝ වාහනන ඒ කාලයේ සිටම ලංකාවේ පොලිස් සේවය හා සම්බන්ධයි. මට මතකයි මේ 203 මෝස්තරය සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිළ රථය වශයෙන් ලබාදී තිබුන බව. 

  පර්ජෝ වාහන වල මෝස්‌තර අංකය එක්තරා රටාවකට අනුවයි සකසා තිබුණේ. ඒ රටාව අද දක්වා විකාශනය වී තිබෙනේ මේ පහත දැක්වෙන ආකාරයටයි.

104, 106, 107, 108 (නමුත් මුලින්ම හැදුවේ මේ මෝස්‌තර නෙවෙයි 201 සිට ඉදිරියට ඇති මෝස්‌තර) 

මේ රටාව අනුව යමින් ; 201, 202, 203, 204, 205, 206, 207 208

ඊළඟට; 301 සිට 309 දක්වා, සහ 401 සිට 408 දක්වා,

ඉන්පසු; 504, 505, 508

නැවත; 601,604,605, 607

අටසීය කාණ්ඩයේදී; 806 සහ 807

ඉන්පසු; 905, 907, 908

අවසාන වශයෙන්; 1007, 2008, 3008, 4007, 4008, 5008

   මේ සෑම මෝස්‌තර අංකයක්ම පින්තූර වලින් මෙහි දැක්වීමට මා අදහස් කරන්නේ නැහැ. ඒ කාලයේ ජනප්‍රිය වී තිබුණු මෝස්‌තර කීපයක් පහත දක්වනවා. මතකතබාගන්න මේ පහත මා දක්වන සෑම මොස්තරයක්ම පාහේ පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිළ වාහන ලෙස යොදාගැණුනා. 

peugeot-203

peugeot-403-04

peugeot-404-algerie-peugeot-404-algerie-big

peugeot-504-05

peugeot-304-coupe-05

peugeot-104-s-02

    දැන් ඉතින් පර්ජෝ ගැන කතාකලා ඇති. අපි මීළඟට බලමු ෆියට් වාහන ගැන. ඉතාලියේ නිෂ්පාදිත ෆියට් වාහන ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබුණා. ඒ අතින් වඩාත් ජනප්‍රිය මෝස්තරයක් වුණේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බග් ෆියට් Bug Fiat යනුවෙන් හැඳින්වුන මෝස්තරයයි. මා මෙහි දක්වන්නේ, 1960 දශකයේදී දකින්නට ලැබුණු මෝස්‌තර පමණයි. මේ වාහන වලත් අර ෆොක්ස්වැගන් වාහන වල වගේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ෆියට් 1100 නමැති මෝස්තරයේ එන්ජිම තිබුණේ ඉදිරි පස.

5-FIAT

cars_other_1968-fiat-500_81181

MHV_Steyr-Fiat_600_01

01432Kraków

fiat-1100-10

   ඔබ දන්නවා ඇති බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මරණය සිදුවුණේ වාහන අනතුරකින් බව. එදා ඩයනා කුමරිය ගමන්ගත් වාහනය සමග ෆියට් වර්ගයේ වාහනයක් ගැටුන බව වාර්තා වුණා. ඒ ෆියට් යූනෝ (ඌනෝ?) වර්ගයේ සුදු පැහැති වාහනයක් බව කියවුණත්, ඒ වාහනය සොයාගැනීමට නොහැකිවුන බවත් වාර්තාවුනා. මේ පහත දක්වන්නේ ඒ වර්ගයේ වාහනයක්. මේ මෝස්තරය ලංකාවේ තවමත් එකක් දෙකක්වත් ඇති.

DCF 1.0

  ප්‍රංශයේ නිෂ්පාදිත රේනෝ Renault වාහන වලට අපි කිව්වේ ‘රෙනෝල්ට්’ කියලයි. මේ වාහන වර්ගයේ නව මෝස්‌තර 1980 දශකයේදී පවා ලංකාවට ආවා. නමුත් මා මෙහි පෙන්වන්නේ 1950 – 60 කාලයේදී අපි දුටු, රේනෝ ඩව්ෆින් Renault Dauphine (අපි කිව්වේ රෙනෝල්ට් ඩෝපින් කියලා)

renault4

Renault Dauphine

   1980 දශකයේ ආව රේනෝ 4 නමැති කාර් (පෙනෙන්නේ වෑන් එකක් වගේ) මෝස්තරයේ ගියර් දැමිල්ල හිනායන වැඩක්. හරියට කුඩ මිටක් වගේ තමයි ගියර් පොල්ල තිබුණේ. ඒක පස්සට ඇදලා අදාළ ගියරයට අනුව වමට හෝ දකුණට කරකවලා ආපසු දැමීම තමයි කරන්න තිබුණේ. හරි අමාරුවෙන් පින්තූරයක් හොයාගත්තා ඒ විකට ගියර් දැමිල්ල පෙන්වන.

OLYMPUS DIGITAL CAMERA

   මීළඟට මගේ මතකයට එන වාහන වර්ගය වන්නේ වොක්ස්හෝල් Vauxhall  නමැති වාහන වර්ගයයි. මේ වාහන වර්ගයේ කුඩා ප්‍රමාණයේ වාහන නම් මට මතක නැහැ. මහ සද්දන්ත වාහන තමයි තිබුණේ. වෝක්ස්හෝල් ලාංඡනය සහ මගේ මතකයේ තිබෙන එම කාර් මෝස්‌තර දෙකක් මෙහි දක්වනවා.

vauxhall_logo_history

Vauxhall_Wyvern_1507cc_registered_September_1952

Vauxhall_Victor_FA_ca_1958

   පසුගිය කොටසේදී රවී සහ තවත් නිර්නාමික එක් අයෙක් මට මතක් කරලා දුන්නා තවත් වාහන දෙවර්ගයක් ගැන. ඒ තමයි ස්කෝඩා Skoda වාහන සහ DKW වාහන. මේ වාහන වර්ග දෙකම අපි කුඩා කාලයේදී දුටුවා මතකයි. චෙකොස්ලොවේකියා ජනරජය තමයි ස්කෝඩා වාහන වල ජන්ම භූමිය. ස්කෝඩා ලාංඡනය සහ වාහන පහත දක්වනවා. 

6-skoda-logo-evolution-history

440

Škoda_Felicia_Lahti

   DKW වාහනයේ ජන්ම භූමිය ජර්මනියයි. ඔබ අද දකින අවුඩි Audi වාහන දක්වා පරිනාමය වූයේ මේ DKW වාහන තමයි. ලංකාවේ ඒ කාලයේ දකින්න ලැබුනේ එක මෝස්තරයක් පමණයි.

dkw_logo_-1930-1932

DKW_3=6_(F93),_Bj._1955-56_(2007-06-16)_kl_ret

1959_Auto_Union_DKW_1000_Front_For_Sale_1

Dkwmotor

   ට්‍රයම්ප් Triumph වාහන ලංකාවේ බොහොම ජනප්‍රියව තිබුණා. වඩාත් ජනප්‍රියව තිබුණේ ට්‍රයම්ප් මෝටර් බයිසිකල්. අපි දැකපු මෝටර් බයිසිකල් ගැන කරුණු හොයාගන්න ලැබුණොත්, පසුව ලියන්නම්. ට්‍රයම්ප් හෙරල්ඩ් සැලූන් නමැති මෝස්තරය තමා බහුලවම දකින්න ලැබුනේ. පහත දක්වන්නේ ඒ මෝස්තරය. මේ වර්ගයේ රථයක් අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාවිච්චි කල බව මට මතකයි. 

triumph_logo_lion

Triumph_Herald_948cc_Coupe

1962_Triumph_Herald_948cc_Conv.

    කාර් ගැන කතා කරනකොට ජීප් ගැන නොකියා බැහැ. අපි ඒ කාලේ ප්‍රධාන වශයෙන් දැකපු ජීප් වර්ග දෙකක් තිබුණා. එකක් තමයි ලෑන්ඩ් රෝවර් Land Rover ජීප්. අනික් වර්ගය විලීස් willys ජීප්. මෙයින් ලෑන්ඩ් රෝවර් රථ මුලින්ම ආවේ පොලීසියේ ප්‍රයෝජනය සඳහා සහ වතු අධිකාරී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඇත්ත වශයෙන්ම ලෑන්ඩ් රෝවර් රථ පෞද්ගලික අයිතියේ තිබුණේ බොහොම ටිකයි. නමුත් විලීස් ජීප් රථ සෑහෙන ගණනක් පෞද්ගලික අයිතියේ තිබුණා. ජීප් Jeep යන වචනය හැදුනේ කොහොමද කියා විවිධ මත තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් පිළිගන්නා මතය වන්නේ General Purpose Vehicle > G.P. Vehicle> GP = Jeep වූ බවයි. ජීප් රථයක විශේෂත්වය වන්නේ එහි අනිවාර්යයෙන්ම රෝද හතරටම බලය යෙදවීමේ හැකියාව තිබීම බව ඔබ දන්නවා ඇති. ඒ වගේම ලෑන්ඩ් රෝවර් ජීප් හදන්නේ එංගලන්තයේ බවත්, විලීස් ජීප් හදන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බවත් ඔබ දන්නවා ඇති. 

seriesI_logo

Land_Rover_swb_registered_October_1958_2286cc

OLYMPUS DIGITAL CAMERA

DKW_1959_KIC0114_British_Car_Meet_2008

KONICA MINOLTA DIGITAL CAMERA

Willys-MA-3

    1960 දශකයේ මුල් භාගයේදී තමයි මා පළමු වරට දැක්කේ ලංකාවට ගෙනා ජපන් වාහනයක්. ඒ කාලේ ජපන් වාහන එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ජපන් වාහන ජනප්‍රිය වීමේ අඩිතාලම දැම්මේ හොඳා මෝටර් සයිකල් කියලයි මමනම් හිතන්නේ. ඉතින් මා දුටු මුල්ම ජපන් වාහනය ඩැට්සන් බ්ලුබර්ඩ් වර්ගයේ රථයක්. එය ඒ කාලේ රුපියල් 5000 ක් පමණ වූ බවයි මගේ මතකය. පැරණි ඩැට්සන් ලාංඡනය සහ මා මුලින්ම දුටු කාර් මෝස්තරයේ පින්තූරයක් පහත දක්වනවා. 

Datsun_logo

Bluebird (310)

     මා හිතනවා මෙතෙකින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි කියා. පහත දැක්වෙන පින්තූර දෙස ඔබේ අවධානය යොමු කරමින් ලිපිය අවසන් කරනවා.

     1970 මුල් භාගයේදී ලංකාවේ දර්ශනයක් 

701wi

austinwp

26380803

my-signature-for-blog[1]     2014 මැයි මස 11 වැනි දින 0041 පැය

Advertisements

Comments on: "අපි දැකපු කාර් (හතරවැනි කොටස) Vintage Cars in Our Time (Part Four)" (34)

  1. කාර් පදින අයට නම් මේ කාල් ගැන ඉතිහාසය වැදගත් වෙයි. ඒ වගේම අනෙක් අයටත්. මේ ලිබි පෙලේ ඊ ලඟලිපි ඉක්මණින් පල කරනවා නම් ආසයි කියවන්න.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

  2. සමරසේකර said:

    ඔබ විසින් ඉදිරිපත් කල වැදගත් විස්තර ගොඩක් තියෙනවා. මට මතක හැටියට FIATකාර් වලට ඒ නම ලැබුනේ FIRST IN ANY TIME කියන වචන ටිකේ මුල් අකුරු අරගෙන.හැබැයි අදාළ මුලාශ්‍රය මොකක්ද කියල නම් මතකනැහැ.මා එකම එක දවසක් ෆියට් කාර් එකක් පදවල තියෙනවා.මා පවිශ්ෂි කල දෙවැනි මෝටර් රථය වොක්ෂෝල් වික්ටර් කාර් එකක්

  3. නිර්නාමික said:

    Interesting documentry about British motor industry

  4. හරිම ඉහළයි විචාරක තුමා විශාල ප්‍රයෝජන සැලසෙන ලිපි මාලාවක්.

    • ස්තුතියි ගුණසිංහ මහතාණෙනි. මේ ලිපි මාලාව ඉදිරිපත් කරන්නට මා දරන ලද වෙහෙස නිවෙනවා මෙවැනි ඇගයීම් වලින්.

  5. නිර්නාමික said:

    @ සමරසේකර..

    Fiat නම ගැන කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. මේ තියෙන්නෙ ලාංඡනයෙම

    Fabrica Italiana Di Automobili Torino

    F I A T

    හර්ෂ.

  6. Fiat ගැන කතා කරනකොට මේ ගැනත් මතක් කරන්න හිතුනා. මම Fiat ලෝලියෙක්. මා ළඟ තිබුනා Fiat Ritmo මාදිලියේ කාර් එකක් මේ මාදිලියේ කාර් ලංකාවේ තිබුනේ 4ක් පමණයි. මේ කාර් ආනයනය කලේ එකල ඒජන්ත වරුන් වූ කොලොනියල් මෝටර්ස් සමගම. තවමත් කාර් 2ක් පමණ ධාවනයේ යෙදෙනවා. මේ තියෙන්නේ ඒ මොඩලයේ එකක් ..

    විචාරක තුමෝ හැකිනම් මේ පින්තුරය එක් කරන්න.

    අනිත් එක තමයි ඩයනා කුමරියගේ මරණයට සම්බන්ද Fiat Uno මාදිලිය . මේ සිද්දියට සම්බන්ද වන්නේ 1992 වර්ෂයේ මාදිලියයි . නමුත් ඊට පෙරත් Fiat Uno තිබුනා එය මේ මාදිලියට වඩා වෙනස්. මා සතුව මේ මාදිලියේත් කාර් එකක් තිබුනා . මේ වන විට ඒජන්ත වරුන් ඒ සිටියේ ප්‍රිමියර් ඔටෝමොබිල්ස් සමගම.

    දැන් මේ සමාගම් දෙකම නැහැ. Fiat ඉතාම හොඳ මෝටර් රථයක් උනත් කවදාවත්ම හොඳ විශ්වාසවන්ත ඒජන්ත කෙනෙක් සිටියේ නැහැ. Fiat ජනප්‍රිය නොවීමට මුලික හේතුව මේ ලෙසයි මා දකින්නේ.

    එමෙන්ම Fiat ගැන කතා කිරීමේදී උපාලි විජයවර්ධන නම නිසිසේත් අමතක කල නොහැකියි. ඔහු විසින් එකලස් කල උපාලි ෆියට් රථය ඉතා අගනා නිෂ්පාදනයක් උනා.

    • බොහොම ස්තුතියි ඔබේ මේ දීර්ඝ අදහස් දැක්වීමට. ඔන්න ඔබේ ඉල්ලීම ඉටු කරමින් ඔබ කියා තිබෙන පින්තූරයත්, ඊට අමතරව උපාලි ෆියට් කාර් එකක පින්තූරයකුත් එකතු කරනවා.

  7. නිර්නාමික said:

    I thought you are not going to write about Peugeot car :-). My father was crazy on Peugeot. so my first memory of car is Peugeot 203 with suicide doors (those doors open opposite side of the normal car door, if that open while car is moving you might pull out of car and get killed, that is why it is called suicide doors). then he got 404, that was my favourite, which was bigger and very comfortable. finally had 504, can still remember sometimes people run thinking a police car is coming.

  8. සමරසේකර said:

    හර්ෂ,
    ඔබගේ පැහැදිලි කිරීම මා පිලිගන්නවා.මා සඳහන් කලේ මට fiat ලෝලියෙකු විසින් කියූ අදහසක් විතරයි.මා පදවා නැතිමුත් fiat 500 කාර් එකට මා හරිම කැමතියි.පුංචි උනත් හරිම හුරුබුහුටි කාර් එකක් ඒක.(එකල මගේ මිතුරෙකු ළඟ දෛනිකව පාවිච්චි කල එම වර්ගයේ කාර් එකක් තිබුනා) එකල මා සතුව තිබුනේ Holden කාර් එකක් ඒකත් එක්ක බලපුවාම fiat 500 නියම භාණ්ඩයක්.විචාරක මහතාගේ විස්තරයේ හෝල්ඩන් වර්ගය ගැන සඳහන් සඳහන් වෙලා නැහැ. සිලින්ඩර් 6ක් උනාට හොඳට පැට්‍රල් වැඩ කරනවා.ගියර් 3යි තියෙන්නෙ.සුවපහසු කාර් එකක්.

    තවද,විස්තරයේ දක්වා තියෙන ට්‍රයම්ප් හෙරල්ඩ් කාර් එකේ එක් විශේෂ බවක් තියෙනවා.බොනට් එක අරින්න තියෙන්නේ ඉස්සරහ මඩ් ගාඩ් එක ළඟ තියෙන යතුරකින්.එතකොට කාර් එකේ ඉස්සරහ මුළු කොටසම ඉදිරියට නැමෙනවා හරියටම වර්තමානයේ සමහර ජපන් ලොරිවල කැබ් එක සම්පුර්නයෙන්ම ඉදිරියට නැමිලා එන්ජිම පෙන්නවා වාගෙ.
    සමරසේකර.

    • නිර්නාමික said:

      1960 ගණන් වල ෆියට් 500, 600 සහ Multipla යන කුඩා රථ තුනක් තිබුණා.
      ඔබේ Holden රථය මොන අවුරුද්දෙ ද? පසුව නම් Statesman සහ Kingswood තිබුණා.
      ඔව් මට මතකයි හෙරල්ඩ් එක මගේ ගුරුවරුන් දෙදෙනෙක් පාවිච්චි කළා.

      හර්ෂ.

    • මෙන්න තියනවා ඒ විදිහට බොනට් එක ඇරලා තියන පින්තූරයක්.

    • මට හෝල්ඩන් සම්පූර්ණයෙන් අමතක වෙලා. සමාවෙන්න. ඔන්න මෙතනට දානවා හෝල්ඩන් එකක්.

  9. ඉවසල බැරිම තැන මමත් කමෙන්ට් එකක් දාන්න හිතුව. ඔබ තුමාට මග හැරුණු වාහන කිහිපයක් මට මතක් උනා. මේ වාහන ලංකාවේ බහුලව නොතිබුනාට ලංකාවේ ඉතා ජනප්‍රිය වාහන කිහිපයකි.

    BMW – ජර්මනිය . BMW සමාගම 2003 සිට Rolls-Royce සමාගමෙහි මව් සමාගම ලෙස ක්‍රියා කරයි. http://en.wikipedia.org/wiki/Rolls-Royce_Motor_Cars , http://en.wikipedia.org/wiki/BMW

    Jaguar – ආරම්බයේදී එංගලන්ත හිමිකාරිත්වයක් තිබුනද 2008 සිට TATA (ඉන්දියාව) හිමිකාරිත්වය දරයි. (http://en.wikipedia.org/wiki/Jaguar_Cars). එසේම 2008 සිට Land Rover හි හිමිකාරිත්වය දරන්නේද TATA ය. (http://en.wikipedia.org/wiki/Land_Rover)

    Volvo – ස්වීඩනය (Swedish)

    hyundai – දකුණු කොරියාව

    LA

    • කාලෙකට පස්සේ ඔබේ කමෙන්ට් එකක් දකින්න ලැබීම ගැන මම ලොකු සතුටකට පත්වෙනවා. බිස්මාර්ක් කතාවෙන් පස්සේ නේද මේ කමෙන්ට් එකක් දාන්නේ?

      ඔබ මෙහි දක්වා තියන තොරතුරු ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ තොරතුරු මම කියෙව්වා මේ ලිපිය ලියන්න කරුණු සොයද්දී. නමුත් කොටස් හතරකින් ලිපිය අවසන් කරන්නට හිතුන නිසයි සමහර කොටස් අත්හැරියේ.

  10. විචාරක,

    මට හිතෙන්නෙ මේ ලිපි ගැන මීට වඩා කත වෙන්න තිබ්බ කියලයි.

    ඔය පර්ජෝ 203 එකක් ජයවර්ධන පප්පට තිබ්බ. ඊලඟට 404 එකක් අපේ අමරෙ අන්කල්ටත් තිබ්බ. උන්දැ පැන්ෂන් ගිහිනුත් කාලෙකට පස්සෙ ටර්සෙල් බට්ට ගන්නක ඕක පැද්ද. ඒ කාලෙ 404 එක කියන්නෙ රජ වාහනයක් කියල තමයි කියන්නෙ. හරියට අද ඇලියොන් එක වගේ තමයිලු එද ඕක. ඔබ මට වඩා දන්නව ඇති ආශ්‍ර මතකයෙන්.

    අර 504 එක ලන්කාවෙ ජනප්‍රිය උනේ නොබැඳි සමුලුවට පොළිසියට ගෙනා කාර් සෙට් එක නිඅ. ඉඅසර කළුපාට පොළිස් ගහපු ඔය කාර් කීපයක් ගල්කිස්සෙත් තිබ්බ.

    පර්ජො, ෆොක්ස්වැගන්, මැස්ඩ තුනේම ඒජන් උන්නෙ කාර්මාට්. පසු පරම්පරවෙ අයිතිකරයොන්ගෙ වැරදි නිසා, ඒ කියන්නෙ අමරඉංහ ලොක්ක බඩු කාරය උනු නිස කොමැප්නිය බල්ලට ගියා, ඒජ්න්සිය සෙනොක් එකට ගියා.

    අර ජීප් ගැන කියද්දි ඔබත් බහුලව වෙන වැරැද්දක් කරල තියෙනව. ජීප් කියන්නෙ වෙළඳ නාමයක්. මුලින්ම ඕක ඇමරිකව හැදුවෙ දෙවණි ලෝක යුද්දෙදි සැහැල්ලු පහසු ප්‍රවාහන මාධ්‍යක් විදියට. ඇමරිකන් ආඩ්නුවට යුදෙදි පහසු සැහැල්ලු ටෲප් කැරියර් එකක් ඩිසයනි කරන්න තිබ්බ තරඟෙන් දිනපු සමාගමට ඔය වහන නිෂ්පාදනය කරන ඕඩර් එක ලැබිල නෑ. ඒ වෙනුවට අර සැළසුම ෆෝර්ඩ් සහ විලීස් සමාගම් වලට් දීල ඔවුන් ලව්ව හදගෙන තියෙන්නෙ. පස්සෙ විලීස් සමාගම ඒක අයිති කරගෙන ආන්ඩුවෙන් අරගෙන. ඒ විලීස් ජීප් ලෝකෙ රට්වල් කිහිපයක ඇමරිකන් අවසරය ඇතුව හැදුව. ඉන්දියාවෙ මහේද, ජපානෙ මිට්සුබිෂි උදහරණ. අනෙක් වාහන වලට ජීප් කියන්න බෑ, ඒව මල්ටිපර්පස් යුටිලිටි වෙහිකල්, අලුත් කාලෙ එව්ව ස්පෝර්ට් යුටිලිටි වෙහිකල්. නැතුව ටොයෝටා ලෑන්ඩ්කෲශර් බීජේ 40 එහෙකට වගේ සමකාලීන එම පෙනුමම ඇති වාහනේකට ජීප් එකක් කියන්නෙ නෑ.

    එදා එක්දස්නමසිය තිස් ගනන්වල කරපු ඒ මූලික සැලසුමේ ජීප් එක පොඩි නවීකරන කිහිපයක් එක්ක අදටත් “විලීස් රැන්ග්ලර් ජීප්” නමින් නිෂ්පාදනය වෙනව.

    බලමු, වෙලා තිබ්බොත් ජීප් ගැන මම ලියන්නම් ඉස්සරහට.

  11. පරන කාර් ගැන බොහොම වටිනා විස්තර ගොඩක් විශේෂයෙන්ම නව පරපුරට දැනගන්න මේ ලිපි පෙල ලිවීම ඉතාමත් අගය කරන අතර ලිපි හතරකින් අවසන් කිරීම ගැන බලවත් විරෝධය පලකරනවා.බ්ලොග් නොලිව්වත් මම මේ ගැන දන්නා විස්තර ටිකක් කමෙන්ට් එකක් හැටියට මෙතන දැම්මහම කාටහරි බලන්න පුලුවන් නිසා ටිකක් දිග ට ලියන්න හිතුවා.
    ඔබේ ලිපියේ පර්ජෝ කාර් ගැන සෑහෙන විස්තරයක් තියනවා.මටත් මතක තියන සුලභව තිබුන මොඩල් එක 203.ඊට පස්සෙ 403,404 සහ නොබැඳි සමුලුවට ගෙනාව නිසා බොහොම ප්‍රසිද්ධ වුන 504ත් ඊටත් පස්සෙ J.R.ගෙ කාලෙ ඇමතිවරුන්ටද කොහෙද 604ත් ගෙනාවා.පෙට්‍රල් මිල ඉහල යනකොට මේ ලොකු කාර් වලට තියන ඉල්ලුම අඩු වුනහම 104,204,305 වගෙ පොඩි කාර් ගෙන්නන්න පටන් ගත්තා.එ කාලෙ ඔය ඉගෙන ගන්න එහෙම යුරෝපෙ රටවල්වලට ගිය අයට කාර් අරගෙන එන්න පර්මිට් වගයක් දුන්නා 70 සිරිමාවෝගෙ කාලෙ.ඒවට ගෙනාවෙ යුරොපියන් කාර් වැඩි දෙනෙක්.මතකද පොලීසියෙ තිබුනා 504 කාර් හදිසි ඇමතුම් සේවයට?

    Fiat කාර් ගැන හොඳ විස්තරයක් කරල තියනව. බග් ‍ෆියට්, හරි නම කියනවනම් Fiat Topolino මගහැරිලා.


    ඒ කාලෙ ලංකාවෙ බොහොම ජනප්‍රිය කාර් එකක්.500 CC සිලින්ඩර් හතරක එන්ජිම පෙට්‍රල් පිරිමහින එක උපරිම නිසාබොහොම ඉල්ලුමක් තිබිල තියනව.ලංකාවෙ තියන එකක් මේ. ‍ෆියට් 500 එකත් ලංකාවෙ සෑහෙන්න තිබුනා.මේ ෆොටෝ එකේ තියන එක අවසානම මොඩ්ල් එක.පරන එකේ දොර ඇරෙන්නෙ ඉස්සරහින්.මෙතනින් බලන්න මොඩ්ල් දෙකම එකලඟ තියනව අපේ ලංකාවෙම.පරන කාර් වැඩි හරියක තියන මේ ඉසරහින් අරින ඉදිරි දොරට කියන්නෙ Suicide Door කියල.මේ ෆොටෝ එකේම පරනම බග් ‍ෆියට් එකකුත් තියනව. සිලින්ඩර් දෙකක එයාර් කූල් එන්ජිම කාර් එකේ පිටිපස්සෙ තියෙන්නෙ.මගේ මාමා කෙනෙක් ලඟ තිබුනා 5 ශ්‍රී එකක් අර උඩ සන්රූෆ් එක ඇරගෙන යනකොට නම් කියල වැඩක් නෑ.

    Fiat 600 සිලින්ඩර් හතරක වෝටර් කූල් එන්ජිමක් සහිතයි හැබැයි මේකෙ එන්ජිම රත්වෙන ප්‍රශ්නයක් තිබුන.සමහරු අමතර රේඩියේටරයක් හයිකරගත්තා ඒ නිසා.මේකෙම ටිකක් ඉඩවැඩි කරල මල්ටිප්ලා කියනමොඩ්ල් එක ආව. ඉස්සරහ තිබුන බොනට් එක(ඇත්තටම ඩිකිය)අයින් කරල තව සීට් පේලියක් දාල හයදෙනෙකුට යන්න පුලුවන්.අපේ මන්ත්‍රීතුමා සෝමවීර චන්ද්‍රසිරි මහත්තයා මැරෙනකම්ම පාවිච්චිකලේ මේ ‍ෆියට් මල්ටිප්ලා එකක්.මොකක්හරි වැරදීමක් කියලද හිතන්නෙ? නෑ මේ මන්ත්‍රීලට ඩියුටි ‍ෆ්‍රී කාර් දෙන්න කලින් කාලෙ.මෙන්න 1959දි ‍ෆියට් 600 එකක ගාන.

    Fiat 1100 මට අමතක නොවෙන කාර් එකක් මොකද මම ඩ්‍රයිවින් ඉගෙනගත්තෙ මේ කාර් එකකින් නිසා.EN ඉඳලා 4 ශ්‍රී වගෙ වෙනකන් තිබුනා.පරන එකට කිව්වෙ Fog Lamp මොඩ්ල් එක කියල.ඒකට හේතුව මෙතන තියනවා ග්‍රිල් එක මැද තියන ලයිට් එක නිසා තමයි කාර් වලට නම් දාන අපේ අය ඔය නම දැම්මෙ.ඉන්දියාවෙ PremierPdhmini කියල හදන්නෙ මේ 1100 එක.
    මීට පස්සෙ ආවා 127(900CC ), 124,125,128(උපාලි ‍ෆියට් කියන්නෙ 128 එකේ ලංකාවෙ එකලස් කරපු එක),131,131Mirafiori, 132,Ritmo,Rigatta,Panda,Uno වගෙ මොඩ්ල් ලංකාවට.කාට හරි මතකද තවත් ඉතාලි කාර් එකක් තිබුනා Lancia කියල.ඒකෙ Lancia Beta කියන මොඩ්ල් එකේ කාර් එකක් අපේ ගම් පලාතෙ කෙනෙක් ලඟ තිබුනා.ඇල්ෆා රෝමියෝත් පරන කාර් තියනවා ලංකාවෙ.

    Citroen තවත් ප්‍රංශ කාර් එකක්.මේ 2CV කියන මොඩ්ල් එක ලංකාවෙ තිබුනා.නිකම් බැලුවහම ප‍තෝල මැස්සක් වගෙ පෙනුම තියෙන්නෙ.මේක ඇවිල්ල බොහොම අඩු වියදමකින් අඩු මිලකට හදපු එකක්.සිලින්ඩර් දෙකක එයර් කූල් එන්ජිමක් සහ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව්(මේ 1948 හරිද)එලවුමක් සහිතව හදල තියෙන්නෙ.වැඩි දෙනෙක් බලල ඇති For your eyes only කියන James Bond Film එක.ඒකෙ තියන කාර් රේස් එකක කහපාට Citroen 2CV එකක් ජේම්ස් බොන්ඩ් එලවන්නෙ.මෙන්න තියනවා බලන්න. මෙතන තියන DS මොඩ්ල් එකේඑකේ කාර් ලංකාවෙ තිබුනා.බලන්න මේක තියන හෙඩ් ලයිට් වලින් ඇතුලෙන් තියනදෙක ස්ටියරින් වීල් එක හරවනකොට ඒ සමගම හැරෙනවා.මේකෙ සස්පෙන්ශන් හයිඩ්‍රොලික්.කාර් එක නවත්තල තියනකොට පහත් වෙනවා.එන්ජිම ස්ටාට් කලහම ඉස්සෙනවා.Simca Aronde කියල තව ප්‍රංශ කාර් එකක් තිබුනා.

    Rover තවත් පරනම ඉංග්‍රීසි කාර් එකක්.ලංකාවෙ තියන පරන රෝවර් එකක් මෙතනින් බලන්න.1950 ගනන්වල හදපු මේ කාර් එකේ ඩිස්ක් බ්‍රේක් තියනව.බලන්න මෙන්න මේකමොකද්ද කියල. මේකත් James Bond පාවිච්චි කරපු වර්ගයක කාර් එකක්.Aston Martin.

    අපේ අල්ලපු ගමේ හිටපු ලී මුදලාලි කෙනෙක් ලඟ තිබුනා මෙන්න මේ කාර් එකක් කාර් එකක්. මුදලාලි මැරෙනකම්ම පාවිච්චි කලේ ඒක.අමතර කොටස් ගන්න තවත් කාර් දෙකක් ගරාජ් එකේ තිබුනා. Jowett Javelin ගැන අහල තියනවද? මේ කාර් එකේ එන්ජින් එක Flat Four water cool. තේරෙන සිංහලෙන් කිව්වොත් පරන එයාර් කූල් පෝක්ස්වාගන් එන්ජිමට සමානයි(සිලින්ඩර් දෙකක් බැගින් පැති දෙකේ) නමුත් වෝටර් කූල්. නවීන සුබාරු එන්ජිම වගේ.මේ1949 විතර.

    DKW වල මෙන්න මේ ජූනියර් කියන මොඩ්ල් එක ලංකාවෙ තිබුනා.දැනටත් දුවන ඒවා තියනවා.
    තවත් පරන කාර් වර්ග ගොඩක් තිබුනා, Riley, Singer,Hupmobile,Holden,නම් වැල දිගවැඩි වෙනවා.http://www.classiccars.lk/,http://www.vintagecarownersclub.lk/මෙන්න මේ දෙකෙන් පුලුවන් බලන්න ලංකාවෙ තියන පරනම කාර්.

    • ඔබට කොහොම ස්තුති කරන්නද කියලා මට වැටහෙන්නේ නැහැ. මා හිතනවා මේ බ්ලොග් අඩවියේ ඉතිහාසයේ දීර්ඝතම අදහස් දැක්වීම මෙය වෙන්න පුළුවන්. ඔබ මතක් කර තිබුණු වාහන මෝස්‌තර දෙකක් ඔන්න මම ඔබේ කමෙන්ට් එකටම ඇතුලත් කළා. (වර්ඩ්ප්‍රෙස් වලදී බ්ලොග් ඇඩ්මින්ට පුළුවන් කමෙන්ට් සංස්කරණය කරන්න) ඇත්තටම මම මේ ලිපිය කොටස් හතරකින් අවසන් කලේ පාඨකයන්ට එය නීරස වේයැයි හිතුන නිසයි. නමුත් කීපදෙනෙකුම කියලා තිබුණා තවත් දිගට ලිව්වානම් හොඳයි කියලා.

      ඔබේ මේ අදහස් දැක්වීම අතිශයින් අගය කරන අතර ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.

  12. බොහොම ස්තුතියි කාර් වල පොටෝ දැම්මට.මම හිතන්නෙ මම දාල තියන ලින්ක් හරියට වැඩ කරන්නෙ නෑ.මම බ්ලොග් ලියන්නෙ නෑ නමුත් කියවනවා.තවම ඉගෙන ගන්නවා කමෙන්ට් වලට ලින්ක් දාන හැටි.මමත් ඔබේ පරම්පරාවෙ කෙනෙක්.හමුදාවෙ ඉන්න කාර් රේස් යන රවි දන්නවද? අපි දෙන්නා එක පංතියෙ හිටිය .මමම චෙක් කලා එකයි වැඩ කරන්නෙ.මේ වැඩ නොකරන ලින්ක් වල වෙබ් ඇඩ්‍රස් ඔබට ඊ මේල් කලොත් ඒකහදන්න පුලුවන්නද?නැවතත් ත්වත් ලිපි කීපයක් ලියන්න විස්තර තියෙද්දි මේක නවත්ත්පු එක වැරදියි.මොකද නව පරපුර මේවා ගැන දැනගන්න කැමති බව පේනවා කමෙන්ට් වලින්.වොක්ශෝල් වල එකක් තියනව ත්ව ලංකාව කිව්වෙ කොට මොඩ්ල් කියල.

    • ඔබ කියන්නේ බ්‍රිගේඩියර් රවී මායාදුන්නේ ගැන නේද? ඔව් මම දන්නවා.

      මේ ලිපි තවම පරණ නැහැ. අලුතෙන් නොලිව්වත් බොහෝ දෙනෙක් මගේ අඩවියට පැමිණ පරණ ලිපි කියවන බව blog status වල සටහන් වෙනවා, ලිපියේ මාතෘකාවත් සමගම. මේ ලිපිය තවමත් කියවමින් පවතින්නේ. ඒ නිසා ඔබ එවන ලින්ක්ස් පින්තූර හැටියට පලකරන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයෙන්ම පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් කමෙන්ට් වලට පින්තූර දාන හැටි.

      search:- how to add images with blog comments

  13. බොහොම වැදගත් ලිපි මාලාවක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි.

  14. බොහොම ස්තුති විචාරක ඔබට,
    මගේ පොඩි කාලයේ ඉදන්ම තිබුන ආසවක් පරන කාර් එකක් ගන්න එක, මම 2013 December, FIAT 1100 කාර් එකක් ගත්ත. මේ ලිපියෙ තියෙන හා සමානම – 1958. මම දෙවන හිමිකරු. මේ ලිපිය දැක්කම පුදුම සතුටක් දැනුන මට.

    • මටත් විශාල සතුටක් දැනෙනවා විශ්ව, ඔබේ අදහස් දැක්වීම නිසා. මා සිතුවාට වඩා බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් මේ ලිපි මාලාව රස විඳ ඇතිබව දැනගන්නට ලැබීම විශාල සතුටක්.

  15. කෙටියෙන් උනත් අවැසි සියලුම කරුනු කාරනා සහිතව නේ ලිපි සකසා ඇත. ස්කෝඩා ගැන සඳහන් කිරීමෙදී,
    ස්කෝඩා 1964 වසරේ නිපැද වූ 1000MB මොඩලය හා 1986 වසරේ නිපැදවූ 120 GLS යන රථ දෙක මා සතුව පවතී

    තවද මෙහි එක් නිවැරදි කිරීමක් කල යුතුය..
    ජීප් යන නාමය වාහන කාණ්ඩයක් හැදින්වන නාමයක් නොවේ.. එය එක් මොඩලයක් පමනි..
    උදාහරණයක් කෙස ලාන්සර් කාර් මොඩලය.
    නමුත් බොහෝ දෙනා ඒ හැඩැති වාහන වකට ජීප් යන නාමයෙන් අමතයි..
    ලැන්ඩ්‍ රෝවර් ජීප් කියා ඇමතීම , ලාන්සර් කොරොල්ලා යනුවෙන් ඇමතීමක් වැනිය.

  16. good mage a/l ekata godak wedagath

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: