විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Vintage-Classic-Cars-Of-Sri-Lanka-Rolls-Royce-20-25-1934-     මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස. මතක නැතිනම් මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න. කතාවේ පළමුවැනි කොටසේදී මා අතින් සිදුවුණු අඩුපාඩු කීපයක් නිවැරදි කර ගැනීම, අද ලිපියේදී මුලින්ම කලොත් හොඳා කියලා හිතුනා. ඒ අඩුපාඩු පෙන්වාදුන් winiwidimi, ඔස්ටින් අයියා, සහ තවත් නිර්නාමික බොහෝ දෙනෙකුට මගේ අවංක ස්තුතිය පිළිගන්වන්නට කැමතියි. ඔවුන් පෙන්වාදුන් අඩුපාඩු සම්පූර්ණ කරගෙන එමෙන්ම ඔවුන් මතක් කරදුන් තොරතුරුත් ඇතුළත් කරගෙන, මේ ලිපි මාලාව ඉදිරියට ගෙනයනවා. පසුගිය ලිපියේදී මොරිස් වාහන ගැන කියද්දී අපේ රටේ අතිශයින් ජනප්‍රිය වුනු මොරිස් 1000 මෝස්තරය වෙනමම පෙන්වන්න බැරිවුනා. මේ වාහනය තමයි ඒ කාලේ ටැක්සි හෙවත් කුලී රථ සඳහා බහුලවම යොදාගත්තේ. කහපාටින් වර්ණ ගැන්වූ වහලය, කලුපාට බඳ, පිටතින් සවිකළ විශාල ටැක්සි මීටරය, මට අදටත් මතකයි. හැබැයි ඒ කාලේ අපිනම් මේ ටැක්සියක ගියේ ඉතාම කලාතුරකින්. එයට හේතුව ඒ සඳහා මුදල් අපි අතේ නොතිබීමයි. ඔන්න පහත පින්තූරයේ තියනවා මොරිස් 1000 රථය.

morris-1000-13

  ඒ වගේම මට පසුගිය ලිපියේදී අමතක වුන තවත් කාර් දෙකක් තමයි ඔස්ටින් මිනි කූපර් Austin Mini Cooper රථය සහ මොරිස් මිනි කූපර් Morris Mini Cooper රථය. මේවා අද පවා ඉතාම ජනප්‍රිය වාහන. මට මතක් වෙනවා 1969 වර්ෂයේදී ලෝකය පුරා ජනප්‍රිය වූ The Italian Job නමැති චිත්‍රපටිය. මා ඒ චිත්‍රපටිය නැරඹුවේ, අද වනවිට වැසීගොස් තිබෙන, කෑගල්ලේ, ‘පරාක්‍රම’ සිනමාහලේදීයි.මේ චිත්‍රපටියේ තිබෙන්නේ රත්තරං මංකොල්ලයක කතාවක්. මංකොල්ලකාගත් රත්‍රන් තොගයක් සමාන කොටස් තුනකට බෙදා මිනි කූපර් රථ තුනකින් ඉතාලියේ සිට ස්විට්සර්ලන්තයට රැගෙන යාමට දරන උත්සාහය ඉතාම නාටකීය ආකාරයකින් ඉදිරිපත් කරනවා. ඒ චිත්‍රපටියේ අදාළ ජවනිකාවෙන් කොටසක් පහතින් බලන්න. 

 

ඔස්ටින් සහ මොරිස් යන දෙවර්ගයේම මිනි කූපර් රථ පහතින් දැක්වෙනවා

Morris_Mini-Minor_1967

  මිනි කූපර් රථය වගේම ජනප්‍රිය රථයක් තමයි ඔස්ටින් මිනි මොක් Austin Mini Moke  රථය. විශේෂයෙන් 1970 දශකයේදී ලංකාවේ ධනවත් මෝටර් රථ හිමියන් අතර මේ රථය අතිශයින් ජනප්‍රියව තිබුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාත්, ඒ කාලයේ, ‘ගම් උදාව’ ප්‍රදර්ශණය බලන්න, මේ රථයකින් ආවා මට මතකයි.

'67_Austin_Mini_Moke_(Ottawa_British_Car_Show_'10)

  ඊළඟට මම කැමතියි ඔබ සමග කතාකරන්න අපි දැකපු ෆෝර්ඩ් Ford කාර් ගැන. ෆෝර්ඩ් වාහන ඇමරිකානු නිෂ්පාදනයක් බව ඔබ දන්නවා ඇති. මම මේ ලිපියේදී කතාකරන්නේ කාර් ගැන පමණක් නිසා ෆෝර්ඩ් ලොරි, වෑන්, ආදිය ගැන කතාකරන්නේ නැහැ. අපි පුංචි ළමයි හැටියට දැකපු ෆෝර්ඩ් කාර් පසු කාලයේදී ලංකාවේදී හැඳින්වුණේ දඬු ෆෝර්ඩ් කියන නමින්   😀   ඇත්තටම මේ පහත තියන පින්තූරය බැලුවම ඔබටත් හිතෙයි ඒ නම් ඒ වාහනයට ගැලපෙනවා කියලා.

msjqs2oldEvM9siLqURGTqA

Ford_Prefect_Sedan_E03A_of_1939

  නමුත් දඬු ෆෝර්ඩ් එකට පස්සේ ආව ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් කාරය පවුලේ වාහනයක් මෙන්ම කුලී රථයක් වශයෙන්ද බොහොම ජනප්‍රිය වුණා. 

OLYMPUS DIGITAL CAMERA

  නමුත් මින් පසු කාලයේ පැමිණි ෆෝර්ඩ් කොන්සල් Ford Consul රථය එතරම් ජනප්‍රිය නොවුනේ එය විශාල කාරයක් වීම නිසාත් ඉන්ධන කාර්යක්‍ෂමතාව අතින් පහත් මට්ටමක තිබුණු නිසාත් වන්නට ඇති.

Ford_Consul_ca_1962

  1950 දශකයෙන් ආරම්භවී 1960 – 70 දශක වලදී අතිශයින් ජනප්‍රිය වූ ෆෝර්ඩ් ඇන්ග්ලියා Ford Anglia කාරය ඒ කාලේ හරිම ‘මනමාල’ කාර් එකක් ලෙසයි බොහෝ දෙනා ඒ කාලේ හැඳින්වූවේ. ඒ කාලේ තිබුන ලස්සනම, වේගවත්ම, රථ අතරින් එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් තරුණ පරපුර අතර මේ රථය වඩාත් ජනප්‍රිය වුණා.

1200px-'65_Ford_Anglia_L200_Coupe_(Orange_Julep)

  ෆෝර්ඩ් ඇන්ග්ලියා රථයේ කැපී පෙනෙන වෙනස්කමක් වුණේ එහි පසුපස වීදුරුව ඇතුළට එබී තිබෙන ආකාරයට සකසා තිබීමයි. වෙනත් කිසිම කාරයක මෙවැනි ආකාරයට සැකසු පසුපස වීදුරුවක් මා දැක නැහැ.

OLYMPUS DIGITAL CAMERA

  ෆෝර්ඩ් වාහන අතර 1970 දශකයෙන් ආරම්භවී සෑහෙන ජනප්‍රියත්වයක් ලැබූ කාර් මෝස්තරයක් ලෙස ෆෝර්ඩ් එස්කෝට් Ford Escort කාරයටත් විශේෂ වැදගත්කමක් හිමිවෙනවා.  

ford-escort-mk2-17

  කෙසේ වෙතත් ෆෝර්ඩ් කාර් අතරින් උපරිම ජනප්‍රියත්වයට පත්වුයේ ෆෝර්ඩ් කෝටිනා නමින්, මෝස්‌තර කීපයකින් පැමිණි වාහනයි. ඒ සෑම මොස්තරයක්ම මෙහි දක්වන්නට මා අදහස් කරන්නේ නැහැ. මේ මෝස්තර 1980 – 90 දශක වලදී පවා ජනප්‍රියව තිබුණා. මා මෙහි දක්වන්නේ එයින් ඉතාම මහේශාඛ්‍ය පෙනණුමකින් යුක්තවූ ෆෝර්ඩ් කෝටිනා මාක් III,  Ford Cortina Mk III රථයයි.

ford_cortina_2

  මීළඟට මා ඔබට පෙන්වන්නේ එක්සත් රාජධානියේ තවත් නිෂ්පාදනයක් වන හිල්මන් වාහන දෙකක්. මේ වාහන මෝස්‌තර දෙක එකල නිතර අපේ රටේ මහා මාර්ගවල දකින්නට ලැබුණා. ඒ අතරින් වඩාත් ජනප්‍රිය වුණේ පහත දැක්වෙන කාර් පින්තූර දෙකෙන් දෙවැනි පින්තූරයේ තිබෙන හිල්මන් මින්ක්ස් රථයයි.

Hillman_badge

Hillman_Minx_Phase_V-ish

Hillman Minx Series IIIC

  අපි කුඩා කාලයේ ඉතාම සුඛෝපභෝගී වාහන ලෙස සැළකුණ, එමෙන්ම ඒ කාලයේ හැටියට මිල අධික, ජර්මන් නිෂ්පාදනයන් වූ, වාහන දෙකක්, මීළඟට ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඕපල් Opel  නමැති වාහන වර්ගය. මෙයින් මුලින්ම පෙන්වන ඕපල් රෙකෝර්ඩ් Opel Rekord රථයේ නම, අපි උච්ඡාරණය කලේ ‘ඕපල් රෙකාඩ්’ ලෙසයි. මෙම කාරයට අද තිබෙන ‘ටොයෝටා ඇලියොන්’ රථයකට තිබෙන පිළිගැනීම තිබුණා.

Opel_logo_TY_DE_4C

Opel_Rekord_1700_P1_(2008-06-14)_ret

  ඕපල් වාහන වල වඩාත් සුඛෝපභෝගී මෝස්තරය වුයේ ඕපල් කපිතාන් කාරයයි. Opel Kapitan මෙය විශාල වාහනයක්. බොහොම ගරු ගාම්භීර පෙණුමක් තිබුණා.

opel-kapitan-307095_7202494

  මා හිතනවා අද ලිපිය මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. මෙම ලිපි මාලාව තවත් කොටස් කීපයක් දක්වා ගෙනයන්නට තරම් තොරතුරු මා රැස්කරගෙන තිබෙනවා. ඒ සමගම ඔබේ අදහස් සහ කරුණු නිවැරදි කිරීම් ද බලාපොරොත්තු වෙනවා.

my-signature-for-blog[1]      2014 අප්‍රේල් මස 25 දින 0025 පැය

Advertisements

Comments on: "අපි දැකපු කාර් (දෙවැනි කොටස) Vintage Cars in Our Time (Part Two)" (26)

  1. පරණ කාර් දකිනකොට ඇත්තටම පොඩි ගතියකුත් තියනවා වගේ දැන් තියෙන ඒවාට වඩා.
    ඒවයේ හැඩය දැන් හදන වාහන වල දකින්න නැහැනේ.

    • ඒ කාලයේදී වාහන සැළසුම් කරේ අද වගේ පරිගණක තාක්ෂණයෙන් නොවේ. ඉන්ධන අරපිරිමැස්ම ගැන එච්චර හිතුවෙත් නැහැ. වායු ගතික විද්‍යාව අනුව හැඩය සකස් කිරීම ගැනත් වැඩිපුර හිතලා නැහැ.

  2. ෆෝඩ් ඇන්ග්ලියා කාර් එකට ඒ කාලෙ කිව්ව ජනප්‍රිය නම යැංකි ෆොර්ඩ්… අනූවෙ මුල බාගෙ දක්වා ජනප්‍රියව තිබ්බා මතකයි..

  3. නිර්නාමික said:

    ලොක්ක දැන් ටිකක් fast forward යනව වගෙයි පේන්නෙ. හෙමින් යං
    මේ වගේ ලිපියක් ලියන කොට ගැමුණු කුමාරය උණු බත් කෑව වගේ යන්නෙ නැතිව ලංකාවෙ තිබුණ සහ නොතිබුන වාහන ගැන හැදෑරීමක් කරල ලියුවොත් හොඳයි. නැතිනම් copy-paste ජොබ් එකක් විතරක් වේවි.
    ලංකාවට ආපු ෆෝඩ් කාර් ආවෙ එංගලන්තෙ British Ford වෙතින්.
    1950-60 යුගයෙ Ford prefect සහ Anglia 100 E මෝස්තර එකම නිමාවෙන් ආවෙ නමුත් Anglia දොර දෙකයි.
    Consul වලට අමතරව Zephyr සහ Zodiac තිබුණා -විශේෂයෙන් වෙන්නප්පුව දිහාවෙ.
    Opel ලකුණ යටතේ තවත් කුඩා රථයක් ලංකාවෙ තිබුණා Kadett කියලා.
    එම යුගයෙම Vauxhall Wyvern සහ Velox රථ දෙක තිබුණා.

    හර්ෂ

    • පිස්සුද හර්ෂ, හයියෙන් නොගිහින් කොහොමද වාහන ගැණනේ ලියන්නේ 😀 මම මේ ලිපියේදී ලියන්නේ මම දැකපු සහ මගේ මතකයේ තියන වාහන ගැන පමණයි. මේ ගැන කරන ලද කරුණු අධ්‍යයනයේදී මෙවැනි ලිපි අටක් පමණ ලියන්න කරුණු ලැබුණා. නමුත් එවැනි දීර්ඝ ලිපි මාලාවකට යන්න අදහසක් නැහැ.

      ඔයාට ඉතාම වටිනා ලස්සන මතකයක් තියනවනේ. ඊළඟ ලිපි වලදී ඔබ මතක් කරදී තිබෙන වාහන මෝස්‌තර ඇතුළු කරන්නම්.

  4. නිර්නාමික said:

    ස්තුතියි මගේ මතකය ගැන කිවුවට. ඔව්, මම වාහන වලට ආදරය කරන කෙනෙක් නිසා ඒ විස්තර කොහොමත් මගේ මතකයෙ රැඳිල තියෙනව. මා ලඟත් තිබුණ A35, Hillman Minx, Wolseley8 ඒ කාලේ. දැන්නම් ජපන් තමයි.

  5. මමත් මදි නොකියන්න පරණ වාහන පිස්සෙක්! පඩියක් ගත්ත දවසට මුලින්ම කරන්නේ පරණ කාර් එකක් අරං එන එක

  6. බොහොම ස්තුතියි විචාරක තුමා…මා ඇතුලු පරණ කාර් පිස්සන්ගේ දොළ දුක නිවන්නට මෙවැනි ලිපි මාලාවක් ලියන්නට ආරම්භය ගත්ත එකට…ෆෝඩ් ඇන්ග්ලියා කාර් එකක් අදත් ගම්පහ නගරයේ වෙළද හිතවතෙකුට තියෙනවා දිනපතා භාවිතා කරන…එහි නොම්බරය 3 ශ්‍රී බවයි මට මතක. මිනි මොක් රථයක් තවමත් ලක්ෂ 15 කට කිට්ටු මිළකට තමයි අළෙවි වෙන්නෙ…තියෙන කෙනෙක් විකුණන්නෙ නැති…බොහෝ පිරිසක් මිළදී ගැනීමට සොයන දුර්ලභ රථයක් කිව්වත් වරදක් නෑ. මොරිස් 8 රථයක පෙනුමට සමාන නිසා දඩු ෆෝඩ් එකටත් මගේ හිත ගියා ඔන්න….

    • ස්තුතියි සිරා අදහස් දැක්වීම ගැන. ෆෝර්ඩ් ඇන්ග්ලියා එකක් අද වුනත් හොඳ තත්වයේ තියනවනම් හරියට වටිනවා. මිනි මොක් වල ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැහැ.

  7. නිර්නාමික said:

    අද කාලේ ලංකාවෙ පැරණි කාර් අතර වැඩිම මිළකට යන වාහන වර්ගයක් තමයි MG. නමුත් ඊට වඩා දුර්ලභ වාහන තියනවා Morgan වගේ. කොහොම වුනත් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුන නිසා මෙහි වැඩියෙන් තියෙන්නේ එයාලගෙ වාහන තමා. සාපේක්‍ෂව ප්‍රංශ,ඉතාලි,ඇමෙරිකන් වාහන අඩුයි. ඇමෙරිකන් Buick, De Soto, Pontiac වැනි රථ ඉස්සර අවමංගල රථයන් ලෙස භාවිතා කළා. පසු කාලෙක ජර්මනියෙ Volkswagen රථය ඉතාම ජනප්‍රිය වුනා. සමගි පෙරමුණු රජය යටතෙ විනිමය සීමා නිසා වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගිය බොහොමයක් උදවිය කාර් එකක් අරගෙනමයි ආව.

    හර්ෂ

    • මට මතකයි චිත්‍රපටි අධ්‍යක්‍ෂ කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහතා සතුව Cadillac හෝ Buick රථයක් තිබුණා. ඔහු අධ්‍යක්ෂණය කල සමහර චිත්‍රපටිවල එම රථය තිබුණා. Pontiac අවමංගල රථයක් ඉස්සර කෑගල්ලේ මල් ශාලාවක තිබුණා. Nissaan නම එන්නට පෙර තිබුණු Datsun අලුත්ම කාර් එකක් 1960 දශකයේදී රු 5000 ටත් අඩුයි. මොකද කවුරුවත් ජපන් කාර් ගන්නේ නැහැ.

  8. The Italian Job 1969 එකනම් බලල නෑ. හැබැයි 2003 ආපු එකනම් බලලා තියෙනව. ඒකත් රතරන් මන්කොල්ලයක් ගැනතමා. ඒකෙත් තියෙන්නෙ මිනි කුපර් කාර් 3 ක් තමයි මම හිතන්නෙ.ඒකත් මරු චිත්‍ර පටියක් තමා. අපි හොදට අදුනන Mr Bean පදින්නෙ Mini Cooper එකක් නෙ. ලන්කාවෙනම් Mini Cooper එච්චර පේන්න නැතිඋනට මම හිතන්නෙ යුරොපීය රටවල තාමත් ගොඩක් අය පාවිච් කරනව වගෙ.

    • 1969 චිත්‍රපටියම නැවත නිෂ්පාදනයක් තමයි 2003 එක. ඒ චිත්‍රපටියත් මම බලලා තියනවා. නමුත් 1969 එක තමයි වඩාත් ලස්සන.

      මිනි කූපර් අපේ රටේ අඩුවෙන්න හේතුව අමතර කොටස් නැතිවීම. එංගලන්තෙන් අමතර කොටස් ගෙන්වන්න පුළුවන්. නමුත් මිල ඉතා අධිකයි.

  9. //පිටතින් සවිකළ විශාල ටැක්සි මීටරය
    කාලයක් හොයපු දෙයක්.විචාරකතුමනි මේ ගැන චුට්ටක් විස්තර කරනවද?
    (අතින් කඩපු මීටරයක් බව ලා මතකයක් තියනවා)
    ගණන වැටුනේ රුපියල්/සත වලින්ද?
    මීටරයේ වර්ගය එහෙම මතකද?

    • එක පින්තූරයක් හොයාගත්තා. ඒක පහතින් දානවා. ඔව් මේ මීටරය ඩ්‍රයිවර්ගේ ආසනය පැත්තේ පිටතින් තමයි හයිකරලා තිබුණේ. රුපියල් සත වලින් වැටුනේ. (මේ පින්තූරයේ තියෙන්නේ අනික් පැත්තේ) අපි ටැක්සියට නැග්ගම අර For Hire කියන කෑල්ල කරකවා පහතට දානවා. එවිට මීටරය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, එමෙන්ම පාරේ ඉන්න අයට අර For Hire දැන්වීම කැරකී ඇති ආකාරය පෙනෙන නිසා වැටහෙනවා, දැන් මේ රථය කුලී ගමනක් යමින් පවතින බව. ඒ නිසා එවැනි රථයකට අත දාන්නේ නැහැ. For Hire කොටස ඇතුලේ රෑට ලයිට් එකක් පත්තුවෙනවා.


      ටැක්සි මීටරය

    • ඔබේ පින්තුරය දිගේ ගියා.ඉන්දියාවේදී ඒවා මඟියාගේ පැත්තේ සවි කරන්නේ ඩයිබර් උන්නැහේගේ ජිල්මාට් අඩු කරන්නලු. 🙂
      ටැක්සියට නැග්ග එකාගේ ඇඟ දිගේ ඇවිල්ලා තමයි මීටරය ක්‍රියා කරවන්න තියෙන්නේ.
      ඉහත මීටරයේ වර්ගය “ඇග්රෝ” බවත් 1960-70 කාලයේදී ජර්මන් තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බවත් දැනගත්තා.
      යම් ආකාරයක වයින් කරන සුස්තරයක්ද ඇති බවක් සඳහන්වෙනවා.

  10. ඔය මිනිකුපර් රථය එම හැඩයෙන්ම දැනටත් නිපදවනව මම හිතන්නෙ.2000 වසරෙද කොහෙද නිපදවපු එකක් ගාල්ලෙ කෙනෙක් ලග තිබුන.පිටින් කිසිම වෙනසක් නැ.මිස්ට බින් නිසාත් ඔක ප්‍රසිදිධවුනා නේ.මිනිමොක් එකක් නම් මම දන්න කෙනෙක් ලග තියෙනව.

  11. ලක්ෂාන් said:

    විචාරක මහත්මයා

    ෂෝන් කොනරි රඟපෑ “ඩයමන්ඩ්ස් ආ ෆෝ එවර් ” චිත්‍රපටයේ භාවිතා වූ ෆෝඩ් කැප්රි රථයද ලංකාවේ ජනප්‍රිය වූ බව මා අසා තිබෙනවා – එය සත්‍යයක්ද ?

    • අතිශයින්ම ජනප්‍රිය වුනා. රවීන්ද්‍ර රන්දෙනිය සහ ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රධාන චරිත රඟපෑ ‘දඩයම’ චිත්‍රපටියේ ඒ වර්ගයේ රථයක් දකින්න පුළුවන්.

  12. Thank you… very interest,,,

  13. niyamai….matat tiyenawa mini cooper ekak…eka padinakota loku deyak hitata denenawa….kawadawat iwarawenne neti aaasawak…

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: