විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Original 01    කාලෙකට පස්සේ මහගෙදර යන්න ලැබුණානේ මේ ඊයේ පෙරේදා දවසක. ගියාට පස්සේ තමයි මතක්වුණේ පින්තූර ටිකක් ගත්තනම් ඔබ හැමදෙනාටත් පෙන්වන්න තිබුණා කියලා. ඒත් ඉතින් කැමරාවක් නොතිබුන නිසා ජංගම දුරකථන කැමරාවේ පිහිට පැතුවා. ඒ නිසා බොහොමයක් පින්තූර ගුණාත්මක බවෙන් අඩුයි. ඒ වගේම තමයි එදා සිදුවූ සෑම දෙයක්ම පින්තූරයට නගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. මතක්වුන වෙලාවට ගත්ත පින්තූර කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා. සංවත්සර සභාව පැවැත්වෙන අතරතුර නැගිට නැගිට පින්තූර ගන්න බැහැනේ. ඒ වගේම බොහොම කාලෙකට පස්සේ හම්බවුන ‘ආදිපාද’ලා (පරණ කකුල්) අතට අත දෙනවා, බඩ ඉඹිනවා, බදාගන්නවා, උම්මා දෙනවා, විස්තර අහනවා, එක වැඩයි. ඔක්කොමලත් එක්ක එක වචනයක් හෝ කතා නොකරත් බැහැ. ඒ නිසා පින්තූර ගැහිල්ලට දෙවැනි තැන තමයි දෙන්න වුණේ.

   මෙන්න මේ වැඩේට තමයි මහගෙදර ගියේ. පින්තූරයේ නම් කීවෙනි සංවත්සරයද කියලා පෙනෙන්නේ නැහැ. එදා තිබුණේ 35 වැනි සංවත්සරය. 

photo0157

   දැන් ඔය පින්තූරයේ තියන බැනර් එකේ පහළින්ම තියෙන්නේ, මා ඔය ගඟ අද්දර කියලා නේ.  හිතන්න එපා අපි මා ඔය අයිනේ ගල් උඩ ඉඳගෙන සංවත්සරය පැවැත්තුවා කියලා.  ‘ගඟ අද්දර’ කියන්නේ අපේ මහගෙදරට අයත් අක්කර සිය ගණනක් විශාල භූමියෙන් එක කොටසක්. ඒ ප්‍රදේශය හඳුන්වන නම තමයි ගඟ අද්දර. අපේ මහගෙදර ඉඩමේ එක මායිමක් තමයි මා ඔය.

මේ දෙන්නා තමයි බියුගල් හඬවා අමුත්තන් පිළිගැනීම කළේ. 

photo0144

මේ දෙන්නා ටිකක් මිටියි වගේ පෙනෙන්නේ මගේ අති විශිෂ්ඨ කැමරා ශිල්පයේ දක්ෂකම නිසා.

මේ දෙන්නා විතරක් නෙවෙයි අපේම තවත් පිරිසක් පිළිගැනීමේ කාර්යයට සූදානම්ව හිටියේ මෙහෙමයි. 

photo0152

සංවත්සර සභාව තියන්න විශේෂ එළිමහන් කූඩාරමක් ඉතා අලංකාරව සකසා තිබුණා. ඇත්තෙන්ම ශ්‍රවනාගාරයේ නොපවත්වා මෙසේ එළිමහනේ පැවැත්වීම කාටත් බොහොම පහසුවක් වුණා.

photo0147

අපේ මහගෙදර භූමිය තුළ ඉස්සර පුංචි ජලාශයක් තිබුණා. අදවනවිට එය ඉතා අලංකාර කුඩා වැවක් ලෙස සංවර්ධනය කර තිබෙනවා. මේ පින්තූරය මගින් වැවේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. ඈතට යන්න මට වෙලාවක් නැහැ. 

photo0146

ලොව පුරා සිටින ඔබෙන් බොහෝ දෙනෙක් ජීවිතයේ එක්වරක් හෝ එළිමහන් සිනමාවක චිත්‍රපටියක් නරඹා ඇති.

මේ අපේ මහගෙදර එළිමහන් සිනමාහල.

photo0145

ඒ කන්දත් අපේ තමයි – මේ කන්දත් අපේ තමයි. ර ඈත පෙනෙන කන්ද දක්වා අපේ මහගෙදර ඉඩම විශාලයි. දන්නවද වැඩක්, ඒ කන්ද පාමුල තියෙන රක්ෂිත වනාන්තරයේ ගෝන්නු, මුවෝ, එහෙමත් ඉන්නවා. අපේ අයගේ ආරක්‍ෂාව යටතේ.

photo0148

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා සමුළුව අමතමින්

photo0154

එදා යුදබිමේ මහ සෙනෙවියෝ පැරණි මතකය අවදි කරමින්

photo0149

කිසිකලෙක නොසිඳෙන අභිමානය. විශ්‍රාමික උපකරණ පාලක සැරයන් මේජර් ජයතිලක 

photo0155

එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අලිමංකඩ අල්ලාගන්නට ඉඩනොදී සටන් කර ජයගත්, එමෙන්ම හසලක වීර ගාමිණී කුලරත්නගේ අණදෙන නිලධාරියාවූ, මේජර් ජෙනරල් සනත් කරුණාරත්න

පින්තූරයක් ගන්නවට එතුමා එච්චර කැමති වුණේ නැහැ.

photo0165

අපි තරුණ නිළධාරීන් කාලයේ, අපිට ගුරුහරුකම් දුන් මේ සැරයන්වරු, සැරයන් මේජර් වරු දැක්කම, වැඩිහිටි නෑදෑයෙක් දැක්කා වගේ. එදා අපිට සමහර වෙලාවට මෙයාලව පෙන්නන්න බැහැ. අපේ වැරදි කියනවා අණදෙන නිළධාරි තුමාට. අපි මෙයාලට හදලා තිබුණ, හොඳ නම් දෙකක් මට මතක් වුණා. වම් පැත්තේ ඉන්න එක්කෙනාට අපි කිව්වේ ‘දුෂ්ඨ බුද්ධි’ කියලා. අනික් එක්කෙනාට කිව්ව නම මෙතන ලියන්න බැහැ. මම ඒ නම් දෙක මතක් කළාම, ‘අම්මේ……… සර්ට ඔව්වා තවමත් මතකද’ කියලා ඇහුවා.

photo0156

පරණ කතන්දර කොච්චර කිව්වත් ඉවරයක් නැහැ. සොඳුරු අතීතයේ මිහිර, මධු විතකින් උණුසුම් වූ මොහොතක

photo0164

සංගීතය නැති හමුදා ජීවිතය පරිප්පු නැති හෝටලය වගේ. එදා අයයි මෙදා අයයි සංගීතයේ මිහිර වින්දේ මෙහෙමයි.

photo0159

photo0166

photo0167

කදවුරේ අලංකාරය වගේම සැප පහසුකම්ද විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. මේ තියෙන්නේ සැරයන් වරුන්ගේ නිවස්නය.

photo0168

රෙජිමේන්තු මූලස්ථාන සංකීර්ණයේ පිවිසුම

photo0171

කඳවුරු භූමියේ තවත් දසුනක්

photo0172

මෙයාව බලන්නත් අමතක කළේ නැහැ. මම වගේම මෙයත් වයසට ගිහිල්ලා වගේ මට පෙනුණේ.

photo0169

කාලය ගෙවෙනවා ලෝකය වෙනස් වෙනවා. ඇත්තටම ඒ වෙනස්වීම කාටවත් වලක්වන්න බැහැනේ. හමුදාව සම්බන්ධ එක්තරා කියමනක් තියනවා. සොල්දාදුවා කිසිදිනක මියයන්නේ නැත. කාලීනව වියැකී යනවා පමණි. මේ උත්සවයට ගියාම, නිළ ඇඳුමෙන් ඉන්න සොල්දාදුවෝ මට පිටුපා ඉන්න අවස්ථාවලදී, මට මතක්වුණා එදා මා සමග එකට සිටි අද ජීවතුන් අතර නැති සොල්දාදුවෝ. අර ඉන්නේ එයාවත්ද කියලා හිතුනා. නිළ ඇඳුමෙන් ඉන්නකොට හැම සොල්දාදුවාම එක වගේනේ. ජීවිතේ හැටි ඔහොම තමයි නේද?

මේ පහළින් ඉන්නේ, එදා තරුණ සොල්දාදුවන්ව සිටි, අද සොල්දාදුවන්ට නායකත්වය දෙන, පළපුරුදු, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරීන් දෙදෙනෙක්.

photo0150

   රෙජිමේන්තු අධිපති තුමාගේ දැක්ම වී තිබෙන්නේ, 2016 වනවිට, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ඨතම රෙජිමේන්තුව බවට පත්කර ගැනීමයි. ඒ සඳහා, සියල්ලට පළමුව විනය මූලික කරගත්, දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙලට, අපිත්, අපේ ආශිර්වාදය සහ දායකත්වය පිරිනමන බව, කඳවුරෙන් එන්නට පෙර කියා ආවා.

my-signature-for-blog[1]     2014 මැයි මස 19 දින 2324 පැය

Advertisements

Comments on: "කළකට පසු මහගෙදර ගියෙමි" (46)

  1. “හැමදාම ආඩම්බරෙන් සිහි කළ හැකි අපේම ඇත්තෝ” කියල විතරයි අපට ආඩම්බර වෙන්න පුළුවන්, ඒත් ඔබ වැන්න්ට අපට මෙන් දෙගුණයක් ආඩම්බර විය හැකියි

  2. කඳවුරේ සිංහයා සිටින්නේ කොපමණා කාලයක ඉදන්ද ?? මේ සිංහයාට කලිනුත් තව සිංහයෙක් හිටියද ??

  3. පරණ කාලේ මතක් වෙන්න ඇති නේද විචාරක තුමාට අතීතය සිහිනයාක් පමණයි…….. සුන්දරයි.

  4. සොදුරු අතීතයට පිවිසීමත් සොදුරුවු අත්දැකීමක්.

  5. සිංහ රෙජිමේන්තුවේ ගමන් විලාසය (march එක) ටිකක් වෙනස්.. ඒ ඇයි?

    • ලෝකයේ තියන සෑම රයිෆල් රෙජිමේන්තුවකම ඇඳුම, අණදීමේ වචන, ගමන් වේගය, අනික් සියලුම රෙජිමේන්තු වලට වඩා වෙනස්. අපේ හමුදාවේ පළමුවැනි සහ එකම රයිෆල් රෙජිමේන්තුව තමයි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව. වෙනත් රෙජිමේන්තු වල තියනවා ‘සීරුවෙන් සිටින්’ කියලා අණ වචනයක්. සිංහ රෙජිමේන්තුවේ කියන්නේ ‘ඉදිරි බලන්’ කියලා එවිට පහසුවෙන් සිටින් කියන ඉරියව්වට එනවා. ඉන්පසු ඒ ඒ භටපිරිසේ ප්‍රමාණය අනුව ඝනය/කණ්ඩායම/බලඇණිය/ වැනි සුදුසු වචනය කිව්ව ගමන් සීරුවෙන් සිටගන්නවා. අනික් සියලුම රෙජිමේන්තු සරඹ කිරීමේදී ගමනේ යෙදෙන්නේ විනාඩියකට පියවර 120 වේගයෙන්. සිංහ රෙජිමේන්තුව (ලෝකයේම රයිෆල් රෙජිමේන්තු) ගමන් කරන්නේ විනාඩියකට පියවර 124 වේගයෙන්.

  6. නිර්නාමික said:

    පරනසෙට් එකත් එක්ක පරන තැනට ආවම පුදුම හැගිමක් එන්නෙ ඇති නේද.
    අර මහ සෙනෙවියො ෆොටො එකෙ බ්‍රිගෙඩියර් බොරාන් ඉන්නවද.?

  7. ඔබගේ සතුට අපෙත් සතුටයි.

    පොඩි දෙයක් දැනගන්නට කැමැතියි. ගජබා රෙජිමේන්තුවේ සිටින්නේ හෝ එයට ඈදා ගන්නේ අනෙක් රෙජිමේන්තු වල සිටි දක්ෂ පුද්ගලයින්ද ?? කොටි ගජබා රෙජිමේන්තුවට වැඩි බයක් දැක්කුවාද? ගජබා රෙජිමේන්තුව කොටින්ට එරෙහිව වැඩි ප්‍රතිරෝධයක් දක්වා තිබේද???

    අනෙක්වා අදක්ෂයි කියනවා නොවේ. නමුත් සමාජයේ පිළිගැනීම ගජබා කට්ටිය දක්ෂ බවයි. එවැනි මතයක් ඇති උනේ මොකද?

    • බොහොම ස්තුතියි.

      නැත. ශ්‍රී ලංකා යුදහමුදාවේ අනෙකුත් පාබල රෙජිමේන්තු අතර ගජබා රෙජිමේන්තුව තවත් එක් රෙජිමේන්තුවක් පමණයි. එම රෙජිමේන්තුවට පුද්ගලයන් බඳවාගැනීමේ විශේෂ ක්‍රමවේදයක්ද නැත. කොටි ගජබා රෙජිමේන්තුවට විශේෂ බයක් දැක්වුයේද නැත.ගජබා රෙජිමේන්තුව විශේෂ කොටි විරෝධී ප්‍රතිරෝධයක් දැක්වුවේද නැත. ක්‍රියාන්විත කටයුතු වලදී භූමියේ බලඇණි යොදවා තිබුණු ආකාරය අනුවයි ඒ ඒ රෙජිමේන්තු යුද්ධයට දායක වුණේ.

      කෙනෙකුට අවශ්‍ය නම් එක් එක් රෙජිමේන්තුව ගැන විශේෂ වර්ණනා කිරීමේ නිදහස ඇත.

  8. මහගෙදර ගියා කිව්වම මම හිතුවෙ විචාරක තුමාගෙ ගෙදර කියලයි,ඉතිං පරණ ගෙයක් බලන්න හිතාගෙන ආවම මෙන්න කෑම්ප් එකක්,මේ අඹේපුස්ස නේද හරිම ලස්සන තැන කණ්ඩලම පාරෙ වරකපොලට යනකොට අඹේපුස්ස ස්ටේෂන් එක ලඟින්නෙ කෑම්ප් එකට හැරෙන්නෙ.අපේ අයියත් කාලයක් ඔය හරියෙ පදිංචි වෙලා හිටියා.

    • මේකත් ඉතින් මහගෙදර වගේනේ හැලපෙ. අවුරුදු කීයක් නං ආව ගිය තැනද. ඔව් මේ අඹේපුස්සේ කඳවුර තමා. ඉතාම ලස්සන සුවදායක පරිසරයක්.

  9. විචාරක තුමා සිංහ පවුලේ කෙනෙක් කියල අද තමයි දැනගත්තෙ..
    පරන කට්ටිය හමුවුනාම ඉතිං … කොච්චර දේවල් තියෙනවද මතක් කරන්න..
    මගෙත් Inatake Day දවසට කට්ටිය හම්බෙනවා, කතන්දර ගොඩයි
    හතර දෙනෙක් ඔවුන්ගේ ජීවිත අපි වෙනුවෙන් පූජා කරල, හතර දෙනාම යුද හමුදාවෙ.
    හැමෝම තමන්ගෙ මතකයන් අලුත් කර ගන්නවා…..

    • ඇයි අප්පොච්චියේ මම කලින් කීප වතාවක් කියලා තියනවා මගේ රෙජිමේන්තුව ගැන. දැන් නම් Intake day තියන්න අපි නාකි වැඩියි.

      මගේ බැච් ඒකෙත් හතර දෙනෙක් දිවිපුදලා තියනවා.

  10. පරණ දේවල් යලි මතක් වෙනකොට ඔබතුමාට හරිම සතුටක් දැනෙන්න ඇති නේද.. බොහොම ස්තුතියි චායාරූප ගත කලාට, හරිම අපූරුයි පින්තූර ටික.

  11. සූස්තර පුංචා said:

    විචාරක තුමනි, ඔබ තුමන්ගේ හමුදා නීතිය පිළිබද දැනුමින් මට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද අර අනුරාධපුර කදවුරේදි හමුදා සෙබලියන් පිරිසකට අඩත්තේට්ටම් කල පිරිස පිලිබදව හමුදා විනය පරීක්ෂණය කරන ආකාරය හා ඔවුන්ට විරුද්ධව හමුදා නීතිය යටතේ හා සිවිල් නීතිය යටතේ ගත හැකි ක්‍රිය මාර්ග ගැන??

    • මම ඒ වාර්තාව කියෙව්වා. වීඩියෝ එකත් දැක්කා. හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ අදහසුත් ඇහුවා. මෙන්න මගේ පැහැදිළි කිරීම.

      1. මෙය බරපතල ලෙස හමුදා නීතිය උල්ලංඝනය කිරීමක් සහ අදාළ සෙබළියන්ගේ මානව හිමිකම් කඩ කිරීමකි. ඉතාම කෘර හා ස්ත්‍රීත්වයේ ගෞරවය කෙළෙසෙන ක්‍රියාවකි. යමකු කියනවානම් අනියම් කාමුක තෘප්තියක්ද ලැබීම සඳහා මෙය කර තිබෙනවා කියා, එයට මම එකඟ වෙනවා.

      2. හමුදා සෙබළියන්ට හෝ සෙබළුන්ට, පුහුණුව ලබන කිසිදු කෙනෙකුට හෝ හමුදාවේ සේවය කරන වෙනත් ඕනෑම කෙනෙකුට, මේ ආකාරයට පහර දෙන්නට යුද හමුදාපතිටවත් බලයක් නැහැ.

      3. මේ සෙබළියන්ට දඬුවම් දීම සඳහා තම අවිය ඔසවාගෙන කඳවුර වටා දිවීම, පුෂ් අප්ස් ගැසීම, පිනුම් ගැසීම, වැනි යමක් කරවිය හැකියි. නමුත් ඒ සඳහා කාන්තා නිලධාරිනියක් හෝ යටත්පිරිසෙයින් කාන්තා ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියක් (බලලත් නිලධාරි 1, බලලත් නිලධාරි 2, මාණ්ඩලික සැරයන්, සැරයන්) වත් එම ස්ථානයේ සිට එය අධීක්ෂණය කලයුතුයි.

      4. එවැනි වගකිවයුතු නිලධාරියකු/නිලධාරිනියකගේ අධීක්ෂණය නැතිව මෙසේ මෙහි දැක්වෙන සැරයන්ගේ හිතුමතයට කටයුතු කිරීම සඳහා ඉඩදුන් මෙම පුහුණුව භාර නිලධාරියා අනිවාර්යයෙන් යුද හමුදා පනත අනුව චුදිතයෙක් වෙනවා.

      5. මෙහිදී කෙරෙන්නේ හමුදාව විසින් මේ සඳහා මූලික පරීක්ෂණ උසාවියක් Court of Inquiry පත්කිරීමයි. එම පරීක්‍ෂණය සඳහා අදාළ සියලුම පාර්ශව කැඳවා සාක්ෂි සටහන් කරගන්නවා. අනතුරුව එම මණ්ඩලයේ නිරීක්ෂණ (යුද හමුදා පනතේ මේ මේ වගන්ති වලට පටහැනිව මේ මේ වරදවල් කර ඇතිබව) සහ නිර්දේශ (චුදිතයන් සඳහා කෙබඳු විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසුද) වාර්තාව සියලු කටඋත්තර සහ සාක්ෂි සමග වරදේ බරපතල කම අනුව අවශ්‍යනම් යුද හමුදාපති දක්වා යැවෙනවා. යුද හමුදා නීතිසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් සොයා බලනවා වාර්තාවේ වැරදි හෝ අඩුපාඩු තිබේද කියා. (වැරදි වලට අඩු දඬුවම් නිදේශ කිරීම, වරදට නොගැලපෙන වගන්තියකින් චෝදනා නැගීම, පැමිණිලි/විත්ති පක්ෂවලට අසාධාරණයක් සිදුවී තිබේද, සිවිල් නීතියට පටහැනි යමක් සිදුවී තිබේද ආදිය) අවසානයේ මෙවැනි චෝදනා විභාග කොට දඬුවම් නියම කිරීම සඳහා බලය ලත් නිලධාරියකුගේ විනය ශාලාවට (මෙය අනුරාධපුරයේ සිදුවූවක් නිසා බොහෝවිට ඒ ප්‍රදේශයේ සේනාංකාධිපතිගේ විනය ශාලාවට) යොමු කරනවා. එහිදී වරදේ බරපතලකම අනුව යුද හමුදා සිරගෙට නියමකොට එම සිර දඬුවම අවසානයේ අපකීර්ති සහගත ලෙස හමුදාවෙන් අස් කිරීම වැනි දඬුවමක් දිය හැකියි. මෙය හමුදාව තුල සිදුවූවක් නිසා සිවිල් නඩුවක් නොපැවරෙනු ඇති. එකම වරදකට උසාවි දෙකකින් දඬුවම් කල නොහැකියි.

      • සූස්තර පුංචා said:

        බොහෝමත්ම ස්තූතියි විචාරක තුමනි..
        හැබැයි මෙතනදි මේ පාඨමාලාව භාරව හිටපු හා කදවුර භාර නිළධාරියාත් ‘ප්‍රති පුරුෂ වගකීම’ කියන නෙතික ප්‍රපංචය යටතේ යම් අපරාධමය වගකීමක් දරනවා නේද??
        සමහර විටක මේ විධියට දරුණු ආකාරයට දඩුවම් කරන ලෙස එම ඉහල නිළධාරීන් කළ අණක් මේ උපදේශක වරු ක්‍රියාත්මක කරනවා වෙන්නත් පුලුවන්නෙ.. එතනදි එම ඉහළ නිළධාරීන්වත් මෙතනදි චූදිතයන් කරලා ඔවුන්ටත් දඩුවම් කරන්න හැකියාවක් තිබෙනවාද??

        • මමනම් හිතන්නේ නැහැ පුහුණුව භාර නිලධාරියා මෙහෙම ගහන්න අණදෙයි කියලා කවදාවත්. සමහරවිට අර සැරයන්ට කියන්න ඇති මෙයාලට බබාලට වගේ සලකන්න එපා ටිකක් තදින් ඉන්න කියලා. නමුත් එහිදී ඔහු අධීක්ෂණය සඳහා කාන්තා නිලධාරිනියක නොයෙදවීම වරදක්. නිලයේ කිසිම ප්‍රශ්නයක් නැත. කුමන නිලයේ හිටියත් වරදකරු කියා ඔප්පු වුනොත් දඬුවම් ලැබෙනවා. කාන්තාවන් නාන තැන්වලට ගොස් හොරෙන් බලා සිටීමේ පුරුද්ද තිබුණු මේජර් ජෙනරල් වරයකුට සිදුවුනා අපකීර්ති සහගත ලෙස හමුදාවෙන් අස්කරන්න පෙර සිය කැමැත්තෙන් අස්වී යන්න.

      • සූස්තර පුංචා said:

        අනිත් කාරණය තමයි ඔබතුමන් කීව වගේ දඬුවම් දීම සඳහා තම අවිය ඔසවාගෙන කඳවුර වටා දිවීම, පුෂ් අප්ස් ගැසීම, පිනුම් ගැසීම, වැනි යමක් කරන ලෙස එම උපදේශක වරුන් දෙන ලද අණක් තමන්ගේ යම් ශාරීරික අපහසුතාවක් නිසා හෝ වෙන හේතුවක් නිසා යම් පුහුණු වෙන සෙබලෙක් ප්‍රතික්ෂේප කලොත් බලෙන්ම අර වීඩියෝවෙ වගේ පහර දෙමින් , තර්ජනය කරමින් එම ක්‍රියාවේ යොදවන්න පුලුවන්ද??

        • ඒ නිසා තමයි මම කිව්වේ වගකිවයුතු කාන්තා නිලධාරිනියක් ඉන්න ඕනේ කියලා. ඇය විමසනවා ඔබට අද මාසික ඔසප්වීම සිදුවනවාද, වෙනත් ශාරීරික අපහසුතා තිබේද කියා. හැබැයි හමුදාවට ගන්නේ හොඳ වෛද්‍ය පරීක්‍ෂණයක් තියලානේ. ඒ නිසා බොරු ලෙඩ ගන්න බැහැ. ගහන්න බැහැ තදින් අණ දෙන්න පුළුවන්. දුවනවා වහාම, පිණුම් ගහනවා වහාම, වැනි වචන පාවිච්චි කරන්න පුළුවන්.

      • සූස්තර පුංචා said:

        හැබැයි අපි ඇත්තම කථා කලොත් හමුදා පුහුණුවේදි කැඩෙට් නිළධාරිවරුන්ට පවා අතින් පයින් පහර දෙනවා මම ඇස් දෙකෙන්ම දැකලත් තියෙනව.. හැබැයි ඉතින් එතනදි පහර කන පුද්ගලයා බයට ඉහලට වාර්තා නොකරන එක නිසා එහෙම පහර දීමක් කරපු කෙනාට විරුද්ධව පරීක්ෂණයක් වෙන්නෙත් නෑ.. ඔබතුමා හමුදාවෙ හිටපු ඉහළ නිළධාරියෙක් විධියට ඇත්තම පිලිගත්තොත් මන් කියන එක හරි නේද?? :

        • මටනම් එය විශ්වාස කරන්න අමාරුයි. කැඩෙට් නිලධාරියකුට පහර දුන්නොත් එසේ කල කෙනාගේ රැකියාව පවා අහිමි වෙන්න පුළුවන්. කවදාවත් කැඩෙට් නිලධාරියකුට පහර දෙන්නේ නැහැ. හැබැයි වනයේ සිදුකරන අසීරු පුහුණු කිරීම් වලදී දැඩි දඬුවම් ලබාදීම නම් සිදුකරනවා. ඒත් ගහන්නේ නැහැ.ඔබ කියන එකට මම එකඟ වන්නේ නැහැ. දැන් හමුදාව වෙනස්. ඕනෙම කෙනෙක් බය නැතුව තම පැමිණිලි ඉහලට රැගෙන යනවා.

      • සූස්තර පුංචා said:

        හැබැයි කැඩෙට් නිළධාරියෙකුට පහර දෙන එක නම් මන් මගේ ඇස් දෙකෙන්ම දැකපු දෙයක්.. හේතුව එම නිළධාරියාට අචාර සමාචාර නොදක්වීම කියලයි මට ඒ පහර දෙනකොට කියනව අහුනෙ.. හරි හරි මම ඔබ තුමාව අපහසුතාවට පත් කරන්නෙ නැතුව ඒ කතාව නතර කරන්නම්කො.. 😀 😀

        ඔබ තුමන් කැමැතිද අපිට ‘ගල් පල්ලිය’ ගැනත් පොඩි විස්තරයක් කියලා දෙන්න??.. අකැමැති නම් කමක් නෑ.. සමහර දේවල් තියෙනවනෙ ප්‍රසිද්ධියෙ කතා කරන්න හොදත් නැති..

        • නැහැ නැහැ මම කිසිම අපහසුතාවයකට පත්වෙන්නේ නැහැ. නම,ගම, සිද්ධියවූ ස්ථානය, දිනය, යන විස්තර නැතුව තව විස්තර කියන්න පුලුවන්නම් බොහොම හොඳයි. ආචාර කලේ නැහැ කියලා ගැහුවානම් ඒ ගහපු එකා අමු බූරුවෙක්. ඒ බූරුවාට විරුද්ධව පියවර ගන්න පහර කෑ අයට පුළුවන් ඉතා පහසුවෙන්. නොදන්නාකම නිසා නිහඬව හිටියාද කියා හිතෙනවා.

          ‘ගල් පල්ලිය’ කියන්නේ හමුදාවේ අය හදාගත් අන්වර්ථ නාමයක්. එහි නිවැරදි නම ‘යුද හමුදා චරිත ශෝධනාගාරය’. ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකිරීමේ වරදක් මම දකින්නේ නැහැ. තහනමකුත් නැහැ. මොකද ලෝකයේ සෑම හමුදාවකම හමුදා චරිත ශෝධනාගාර තිබෙන නිසා. චරිත ශෝධනාගාරයට යොමු කරන්නේ අධිකාරී ලත් නිළධාරීන් හැර අනෙකුත් සියලුම නිළයන්. සෙබලියන් යොමු කරනු මම දැක නැහැ. දැන් කරනවාදැයි දන්නේ නැහැ. චරිත ශෝධනාගාරය වෙත සෙබළකු යොමු කරන්නේ හමුදා විනය ශාලාවකදී වරදකරුවකු බව ඔප්පුවීමෙන් අනතුරුව ඒ විනය ශාලාධිපති නිලධාරියා විසින් එම සෙබලා/සෙබළු චරිත ශෝධනාගාරයට යොමු කරන්නේද යන්න තීරණය කිරීමෙන් පසුවයි.

          එය පිහිටා තිබෙන්නේ පනාගොඩ හමුදා කඳවුරේ. පාලනය කරන්නේ යුද හමුදා පොලීසිය මගින්. මෙහිදී දඬුවමට නියමවූ සෙබලා හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඔහුට නිකුත් කර ඇති ශාරීරික අභ්‍යාස ඇඳුම්, සාමාන්‍ය රාජකාරි සඳහා අඳින නිළ ඇඳුම්, වැඩ ඇඳුම Overall, හමුදාවෙන් දෙන ඇලුමිනියම් පිඟාන සහ කෝප්පය, ඉඳිකටු නූල්, (වැඩ කිරීමේදී ඉරෙන ඇඳුම් මසාගැනීමට) ආදී බඩු ගොඩක් අරන් යායුතුයි. ඒවා ගෙනයන්න ඕනේ හමුදාවෙන් සෑම සෙබලකුටම නිකුත් කරන ඔලොගු කට්ටලයේ Duffel Bag දාගෙනයි. එමෙන්ම ඔහු හමුදා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කර තහවුරු කර තිබිය යුතුයි, හොඳ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සිටින බව. එහෙම නැත්නම් හමුදා ප්‍රතිකාර යටතේ හමුදා සිර අඩස්සියේ තබනවා. දඬුවම් කාලය හිමිවන්නේ වරදේ ස්වභාවය අනුවයි. එමෙන්ම ලුතිතන් කර්නල් සිට හමුදාපති දක්වා නිළ වලට අනුව දඬුවම් නියම කළහැකි උපරිම කාලසීමාවක් තිබෙනවා. මට මතක හැටියට ලබාදිය හැකි උපරිම දඬුවම් කාලය දින 100 යි. එය ලබාදිය හැක්කේ ඉහලම හමුදා නිලධාරියකුගේ විනය ශාලාවේදී පමණයි. සාමාන්‍යයෙන් ලැබෙන්නේ දින 14, 28,72 ආදී වශයෙන්.

          මේ කාලයේදී මේ සෙබලා දැඩි විනය නීති රීති වලට යටත්කොට බර වැඩෙහි යොදවනවා. එමෙන්ම සරඹත් කරවනවා. හිස බූ ගානවා. හමුදාවේ අයටවත් බලන්න දෙන්නේ නැහැ. පාන්දර 5.00 සිට රාත්‍රී 10.00 දක්වා දිවෙන දෛනික කාලසටහනකට යටත් කරනවා. ඇත්තටම 99% ක් සෙබළුන් ආපසු එන්නේ හොඳ විනයවත් තත්වයකින්. ඉස්සර (1960 – 70 දශකවල) මේ ගල් පල්ලියේදී සෙබළුන්ට වද දුන්නාලු. දැන් එහෙම කලොත් කරපු අය අමාරුවේ. මේ ටික ඇති නේද?

          • ඇලෙක්ස් ඩිලාජ් said:

            විචාරක තුමා මේ කියපු දේ අනුව මගේ මතකයට එන්නේ සුප්‍රකට ඇමරිකානු සෙනෙවි පැට්න්ගේ චරිතය ඇසුරින නිර්මිත චිත්‍රපයට – එහිදි පැට්න් සෙනෙවියා සාමාන්‍ය සෙබළෙකු “ෂෙල් ෂොක්” වුන අවස්ථාවක ඔහුට පහර දීම නිසා හමුදාවෙන් දඩුවම් කරනවා

      • සූස්තර පුංචා said:

        ම්ම්ම්.. ඔව්.. දැනට එම තොරතුරු ඇති කියලා මමත් හිතනව.. ඔබ තුමන්ට ගොඩක් ස්තූතියි අපිට මෙම නොදන්න විස්තර පැහැදිලි කරලා දෙනවට.. ඔබ තුමන්ගෙන් මන් පොඩි නීති ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද??
        දැන් හිතන්න.. සෙබලෙක් පිලිබදව ඔහු භාරව ඉන්න අණ දෙන නිළධාරිවරයා දැඩි තරහකින් ඔහුගෙන් පලි ගැනීමට බොරු වැරැද්දක් දාලා ඒක මූලික පරීක්ෂණ මණඩලයකින් තහවුරුත්කරවලා, ඔහුව මෙම චරිත ශෝධනාගාරයට යවනවා..හැබැයි මම දන්න විධියට එම සෙබලාට ඔහු වෙනුවෙන් පරීක්ෂණ මණ්ඩලයට නීතීඥ සහය ලබා ගන්න හැකියාවකුත් නෑ.. නමුත් ඔහුට ඉහලට ඇභියාචනා කරන්න පුලුවන් කියලා මම දන්නව..
        හැබැයි ඔහු ඉහලට අභියාචනා කරලා එම අභියාචනා විභාග වෙලා එනකොට ඔහුව ගල් පල්ලියට අරන් ගිහින් ඉවරයි.. ඒක් ස්වභාවික යුක්තියේ මූලධර්ම වලට පටහැනියි නේද?? අභියාචනයකදී ඔහු නිවැරදි කරු බව ඔප්පු වුන්ත් ඔහුට ගල් පල්ලියේදි ලැබණු දඩුවම් වලට නැවත වන්දියක් ඉල්ලා සිටීමේ හැකියාවක් තියෙනවද?? ඔහු නිරපරාදේ වින්ද දඩුවම් වෙනුවෙන් එම මූලික පරීක්ශණ මණ්ඩලයට විරුද්ධව එතනදි ඉහල පරීක්ශණ මණ්ඩලය විනය පරීක්ශණ ආදිය සිදු කරනවද??

        ආ.. අනිත් කාරණය තමයි ගල් පල්ලිය තුලදි එම දඩුවමට ලක්කරන සෙබලාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකරීන්ට මැද්හත් වීමක් කරන්න බැරිද??

        • අණදෙන නිලධාරි වරයාගේ තීරණය ද්වේශ සහගත තනි තීරණයක් නොවෙයි. එය මූලික පරීක්ෂණ උසාවි වාර්තාව පදනම් කරගෙන, යුදහමුදා පනතට අනුව නගන චෝදනා, විභාග කිරීමක්. මෙතනදී දෙන දඬුවමත් යුදහමුදා පනතට එකඟ විය යුතුයි. ඊට පරිබාහිර දඬුවම් දෙන්න බැහැ. බොරු වැරද්දක් දාන්න බැහැ. ඒ සෙබලාගේ සගයන්, කඳවුරේ අනික් අය දන්නවා ඇත්ත. ඔවුන්ට අණදෙන නිලධාරියා හමුවීමට අවස්ථාව තියනවා කරුණු කියන්න. සෙබළකු විනය ශාලාවට ඉදිරිපත් කලපසු ඔහුට කියන්න පුළුවන් මේ විනය ශාලාවේ තීන්දුවට මම අකමැතියි මට ඊළඟට ඉහල ඉන්න නිලධාරියාගේ විනය ශාලාවට යන්න අවශ්‍යයි කියලා. අහියාචනයක් ඉදිරිපත් කරන්න අවශ්‍යවන්නේ නැහැ. යුදහමුදා නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය දන්නවා මේ චෝදනාව ඇත්තද බොරුද කියා. එය අණදෙන නිලධාරීට වඩා ඉහල ආයතනයක්. කරුණාකර මතකතබාගන්න ලෝකයේ කොහෙවත් සන්නද්ධ සේවාවක සාමාන්‍ය ක්‍රියාපිළිවෙත් මානව හිමිකම් යටතේ අභියෝගයට ලක්කරන්න බැහැ. එහෙනම් එය හමුදාවක් නොවෙයි නිකම්ම නිකම් වෘත්තීය සමිතියක් වෙනවා. හමුදාවෙදී ඉර පෙන්නලා ඒ තියෙන්නේ හඳ කිව්වොත් ඔක්කොම ඔව් ඒ හඳ කියන්න ඕනේ. ඒකට අකමැතිනම් දමලා ගහලා යන්න ඕනේ. මොකද යුද්දයක් දිනන්න නම සියලුදෙනා එකම අණක් යටතේ එක අරමුණක සිටිය යුතුයි. යුද්දයේදී ඔබට හැමදාම වැඩ අමාරු බංකරයක රාජකාරි ලැබෙනවා මට පහසු තැනක් ලැබෙනවා. එහෙම වෙන්නේ ඔබ මට වඩා දක්ෂයකු නිසා වෙන්න පුළුවන්. ඔබ එතනදිත් මානව හිමිකම් ගැන හිතනවානම් අපි ක්ෂණයකින් යුද්දේ පරාදයි. හමුදාවක් පාලනය කරන්නේ සිවිල් ආයතනයක් පාලනය කරන ආකාරයට නොවෙයි. හමුදා පුහුණුවක් නැති කෙනෙකුට එය වටහා ගැනීම අපහසුයි. සාමාන්‍ය සමාජයේ දෘෂ්ටි කෝණයෙන් හමුදාව දෙස බැලීමේ තේරුමක් නැත.

      • සූස්තර පුංචා said:

        හා හා.:D 😀 . මං අහපු ප්‍රශ්නෙ ටිකක් ගොන් වගේ නේද?? ඔබ තුමන් කියන කතාවට මමත් එකගයි.. තරහා ගියා වගේ නම් සමාවන්න..

        • අනේ ඔයාට මම කීපාරක් කියන්නද. මම තරහ නැහැ. මේ වගේ සංවාද වලට මම හරිම කැමතියි. කොහොමද ගොන් ප්‍රශ්න වෙන්නේ. ඔබ බලන්නේ ඔබේ දෘෂ්ටි කෝණයෙන්. එහි කිසිම වරදක් නැහැ.

          මේ ඊයේ පෙරේදා එක ‘මකබාස්’ කෙනෙකුට මම ජීවිත කාලයටම මතක හිටින්න පිළිතුරක් දුන්නා එක්තරා බ්ලොග් අඩවියකදී. දැන් ඒ මකබාස් අශූචි වලේ ලැග සිටිමින් චන්ඩි පාට් දමන අමන සූකරයකුගේ තත්වයට පත්ව සිටිනවා. මොනවා කරන්නද. පිස්සුවට බෙහෙත් තිබුනට මෝඩකමට බෙහෙත් නැහැනේ.

    • ………………..

  12. හෙඩිම දැක්කම හිතුන දේ නොවෙයි පෝස්‍ටුවේ තිබුනේ. කියවා අවසන් වෙද්දි මට දැනුනේ ඔබ හමුදාව සමඟ කොයිතරම් බැඳිලද කියලා සිතින් මූලස්ථානය මහගෙදර ලෙස හඳුන්වන්න. ඔබලා කලේ ‍රැකියාවක් කියලා කියන අයට අපූරු නිහඬ පනිවිඩයකුත් මේ තුල ගැබ්වෙලා තියෙනවා මහත්මයා. කදිමයි..

    • රැකියාවක් කරනවා කියන අදහසින් හමුදාවේ ඉන්න බැහැ වැඩි කාලයක්. නිකම්ම ඉවතට යනවා. ‘සේවය සඳහා කැපවීම’ කියන හැඟීමෙන් ඉන්නවානම් ඔහුට පුළුවන් මැරෙනතුරු හමුදාවේම ඉන්න. අපි විශ්‍රාම ගියත් හමුදාව සමග අපේ සබඳතා බිඳිලා නැහැ.

      ස්තුතියි ඇගයීම ගැන.

  13. මහගෙදර කිව්වම මං හිතුවේ අර පිහිඇනුමක් සිද්ධ උණු ගෙවල් පැත්තෙ ගියයි කියල.

    නාකි කොල්ලො ටික සෙට් වෙන්න ගිහින් වගේ. මොනව උණත් නෝනව හලල ගිය එකනම් හොඳ නෑ. 😛

    මේ පින්තූර ගත්ත එක / ගන්න එක නීති විරෝධී නැද්ද? සුන්දර අතීතය මතක් කරන එක යාලු මිත්‍රාදීන් හමු වෙන එක තරම් දෙයක් තවත් නැතුව ඇති නේද? ඒ කාලෙ ප්‍රශ්ණ වලට මූණ දීපු හැටි මතක් වෙනකොට එහෙමත් කාලයක් තිබුණ නේද කියලත් හිතෙනව නේද?

    • මෙහත් අපිට මහ ගෙදර වගේමයි.

      අප්පෝ………..නෝනලා අරන් ගියානම් ගුටිකන්න වෙනවා. ගෙදරදී ලෙඩදුක් කතාකරන මිනිහා නේද මේ බීලා නටන්නේ කියලා. :e

      පින්තූර ගන්න තහනම් තැන මොනවද කියලා පළපුරුද්දෙන්ම දන්නවා. (ඉන්දියාව, චීනය, ඇමරිකාව, වැනි රටවල මේ කඳවුරුවල මීට වඩා දත්ත ඇතුලත් චන්ද්‍රිකා ඡායාරූප ඇති බව මට හොඳටම විශ්වාසයි)

      ඇත්තටම වෙලාවකට පුදුම හිතෙනවා අපි යුද්දෙකුත් කරලා ඉවර කරා නේද කියලා.

  14. ඔය භූමියට මම වතාවක් ගිහිල්ලා තියෙනවා අවුරුදු උත්සවය බලන්න..අඹේපුස්ස තලගම ඉන්න අපේ නැන්දගෙ පුතාලත් එක්ක…එදා කඹ ඇදීමේ තරග ටික නම් ආමි කොල්ලො ගේමක් නැතුව ගැහුවෙ…තාක්ෂණය තිබ්බෙ ඒ අයට විතරක් නිසා…..

    පින්තූර ටික දැක්කම පේනවා සැට් එකම කාලෙකට පස්සෙ හොදට විනෝද වී ඇති බව…අපිත් ඉතින් දවසක ඔතනට එනවා නේද…ලෝක ස්වභාවය….

    • ඇත්තෙන්ම කඹ ඇදීමේ විශේෂ තාක්ෂණයක් තියනවා. ඒ නිසාමයි ඉංග්‍රීසි භාෂාවෙන් එය Tug of war යනුවෙන් හඳුන්වන්නේ. එය පුහුණුවීම එතරම් අපහසු දෙයක් නෙවෙයි.

      විඳ සතුටනම් වචනයෙන් කියන්න බැහැ.

  15. ලන්කා හමුදාවෙ හිටපු ශ්‍රෙෂ්ටම සින්හයාට ආරධනා කරලා නැහැ වගේ……………………

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: