විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


File0211      අපේ ගමේ විහාරස්ථානයේ පිහිටි ස්වභාවික ගල් පර්වතයක, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ අනුරුවක් නෙළමින් පවතිනවා. මෙය තරමක් දුෂ්කර ක්‍රියාවක්. පිළිමය නෙලීම සඳහා, යටත්පිරිසෙයින් අවුරුදු දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් (රු 12,500,000) වැය වනු ඇතැයිද ගණන් බලා තිබෙනවා. ප්‍රදේශවාසී අපට පමණක් ඒ බරපැන සොයාගැනීම අපහසු නිසා, දානපතියන්ගේ ආධාර සහ රාජ්‍ය අනුග්‍රහයද ලබාගැනීමට අදහස් කරනවා.

   ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා ඇති දැනට ලංකාවේ ඉදිවෙමින් පවතින විශාලතම ශෛලමය සමාධි ප්‍රතිමාව, කුරුණෑගල, රම්බඩගල්ල, මොනරගල්ල, ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බව. අපේ පන්සලත් පිහිටා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේමයි. මෙහි ඉදිකෙරෙන ප්‍රතිමාවේ විශේෂතා කීපයක් තිබෙනවා. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදි කෙරෙන්නේ සමාධි ප්‍රතිමාවක්, අපේ පන්සලේ ඉදිකෙරෙන්නේ සැතපෙන පිළිමයක්. රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රතිමාව නෙළන්නේ ඉන්දීය ශිල්පීන් පිරිසක්. අපේ පන්සලේ ප්‍රතිමාව නෙළන්නේ, ඉන්දියාවේදී, ප්‍රතිමා නෙළීමේ විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරූ, අපේම සිංහල ශිල්පියෙක්. තවමත් තරුණවියේ සිටින ඔහුගේ විශ්මිත නිර්මාණ රැසක් දැකීමෙන් අනතුරුවයි, මේ සඳහා ඔහුව තෝරාගෙන තිබෙන්නේ. සැතපෙන පිළිම සෑහෙන ප්‍රමාණයක් මෑතකදී පවා ඉදිවී තිබුණත්, ශෛලමය සැතපෙන පිළිමයක් නෙළීම කිසිදු තැනක මෑත භාගයේදී  සිදුවී නැහැ. එයත් විශේෂත්වයක්.

   මේ පිළිමය නෙළීමේ කාර්‍යය ආරම්භ කිරීමත් අති දුෂ්කර ක්‍රියාවක් වුණා. අපේ පන්සල පිහිටියේ කන්දක. එහි ගල් පර්වත සහ පැරණි විහාරයක් තිබුණේදැයි සැක සිතෙන ලක්ෂණද තිබෙනවා. මේ නිසා මුලින්ම මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දැන්වූ අතර එහි නිළධාරීන් පැමිණ සම්පූර්ණ භූමිය පරීක්‍ෂාකර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කිසිවක් නැති බව තහවුරු කළා. ඉන් අනතුරුව පිළිම ගෙය සහ අවට භූමියේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය සැළසුම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැළසුම් ශිල්පීන් විසින් කරනු ලැබුවා.

   දුෂ්කරම කාර්යය වුණේ මෙම පිළිමයේ නිර්මාණ කටයුතු සඳහා පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් සහ විවිධ කෝණ ගණනාවකින් සමීප ඡායාරූප ලබාගැනීමයි. මේ සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරල් වරයාගේ ලිඛිත අවසරයක් ලබාගැනීමට සිදුවුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයේ මිණුම් ලබාගත් අතර, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියා විසින් ඉල්ලාසිටි පරිදි විවිධ කෝණ වලින් ඡායාරූප 123 ක් ලබාගත්තා. පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය අඩි 46 ක් දිගයි. අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ දිග අඩි 30 යි. 

   මේ පින්තූර ගැනීම මටත් අමුතු අත්දැකීමක් වුණා. ප්‍රතිමාවට අගෞරවයක් හෝ හානියක් නොවන පරිදි, පින්තූර ලබා ගැනීම සඳහා, මට පැය තුනක් පමණ ගතවුණා. ඉතින් එසේ ලබාගත් පින්තූර වලින් සමහරක්, ඔබටත් පෙන්වන්න අදහස් කළේ, හැමදෙනාටම මේ ආකාරයට පින්තූර ලබාගන්න ඉඩ නොලැබෙන නිසයි. පින්තූර බලා ඔබේ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා. 

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

  එදා අපේ ශිල්පීන්ගේ නිර්මාණ හැකියාව කොතරම් ශ්‍රේෂ්ඨද යන්න, මේ පින්තූර වලින් අපිට ඉතා පැහැදිළිව පෙනෙනවා. අද අපේ පන්සලේ පිළිමය නෙලන්නේ, නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින්. රුපියල් 2000 ක් වටිනා ග්‍රයින්ඩර් යන්ත්‍ර තලයක්, දින තුනකින් ගෙවී යනවා. නමුත්, එදා මේ පිළිම නෙලන්නට ඇත්තේ කෙබඳු තාක්ෂණයක් උපයෝගී කරගෙනදැයි සිතන්නටවත් අපහසුයි.

  අද වනවිට අපේ පන්සලේ නෙළන ප්‍රතිමාවේ අවසන් කර තිබෙන ප්‍රමාණයත් ඔබට පෙන්වන්නට කැමතියි. 

photo0133

   ලිපිය අවසන් කරන්නට මත්තෙන්, තවත් අදහසක් කියන්නට කැමතියි. ඔබ සැමදෙනාම පාහේ අසා ඇති, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කල සමයේදී, බ්‍රිතාන්‍ය ජාතිකයකු, පොලොන්නරුව ගල්විහාරයේ පිළිම වලට වෙඩි තබා හානි කල බවත්, ඒ අවස්ථාවේදී කඩා වැදුණු වන අලියෙක්, එම සුද්දාව මරාදැමූ බවත්. මීට කලින් කීප වතාවක් මෙම පිළිම නරඹා ඇතත්, මෙතරම් සමීපව නරඹන්නට නොලැබුන නිසා, මම මේ පිළිම හොඳින් නිරීක්ෂණය කල නමුත්, වෙඩි පහර වලින් සිදුවූ හානි නම් කිසිවක් දකින්නට ලැබුනේ නැහැ. ඒ ගැන මගේ නිගමනය මේකයි. සුද්දා වෙඩි තියන්න ඇත්තේ අවම වශයෙන් 1815 ට පසු සහ 1940 ට වත් පෙර. 1836 දී පමණ තමයි, ලොව මුල්ම රයිෆල් නිපදවා තිබෙන්නේ. එයට යෙදූ පතරොම් වලින්, මෙවැනි ගලකට වෙඩි තැබීම විහිළුවක්. ගලට කිසිම හානියක් වෙන්නේ නැහැ. 1900 පමණ වනවිට තිබුණු රයිෆලයක උණ්ඩයකටවත්, එවැනි හානියක් කරන්නට බැහැ. ඒ නිසා සුද්දා නිකං සවුත්තු වුණා විතරයි.

my-signature-for-blog[1]     2014 මාර්තු මස 16 දින 0001 පැය

Advertisements

Comments on: "දුර්ලභ ඡායාරූප එකතුවක්" (36)

  1. විචාරක මහතානෙණි, ඉතාම ලස්සන ඡායාරූප එකතුවක්. පොලොන්නරුව ගල් විහාරයට දෙතුන් ගමනක් ගිහිල්ලා තිබුනත් එහිදී නොදුටු ලස්සනක් දැක්කා.

    නමුත් ලක්ශ 125 වැය කර කලින් කරපු නිර්මාණයක්ම නැවත කිරීම ගැන ඔබගේ ගමේ අයට නැවත වරක් සිතන්න තිබ්බා. විශේශයෙන් බුදු දහමේ ඉගැන්වෙන සරල බව ගැන හිතන්න තිබ්බා.

    ගිය අවුරුද්දේ මම සහ සුදික (ඇවිද්ද පය ) වැඩ කරන තැන කට්ටිය එකතුවෙලා ගෙයක් නැති දුප්පත් පවුලකට ගෙයක් හදලා දුන්නා. ලයිට් වතුර ඇතුලු මූලික පහසුකම් සහිතව සම්පූර්ණ වියදම ගියේ රුපියල් ලක්ශ 8 යි. මුලින්ම ලයිට් දාපු වෙලාවේ එ පවුලෙ පොඩි එවුන් සන්තෝසෙන් බදා ගත්ත හැටි තාමත් අපේ කට්ටිය කතා වෙනවා.

    ඔබගේ ගමේ අයට ඔය වියදම් කරපු මුදලෙන් ඒ වගේ ගෙවල් 15 ක් වත් හදලා දෙන්න තිබ්බා. කලින් කරපු නිර්මාණයක් යලිත් වෙනත් තැනක කරනවාට වඩා එය විශිෂ්ටයි නේද?

    වෙන ආගම් වලින් වරප්‍රදාන දී මිනිසුන් අන්යාගමික කරනවා කියලා අන පනත් ගේන්න ඕනේ කියලා කෑ ගහනවට වඩා පවුල් 10 ක් 15 ක් ගොඩ දාන එක පිළිමයක් නෙලනවාට වඩා ප්‍රතිපල දායකයි මම හිතන්නේ.

    බොහෝ පන්සල් මේ වගේ දැවැන්ත නිර්මාණ කරලා බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ පඩුරු පෙට්ටිය ඉක්මනට පුරවාගැනීම.

    බුදු හාමුදුරුවො මේ කාලේ වැඩ හිටියානම් මේවා අනුමත කරයිද?

    මහා පරිමාණෙ වෙහෙර විහාර හදලා, ලෝකෙන්ම ලොකුම පිළිම නෙලාලා, බුද්ධාගම රකින්න බැහැ කියන එක අපේ රටේ මිනිස්සු කවදා තේරුම් ගනීද මන්දා?

    • දිළින්දන්ට, අසරණයන්ට පිහිටවීම උතුම් ගුණයක්. එය සෑමවිටම සෑම කාලයකටම ගැලපෙන දෙයක්. මිනිසුන් තුළ ශ්‍රද්ධාවට වඩා තියෙන්නේ භක්තිය. මේ භක්තිය පදනම් කරගනිමින් ඔවුන් වඩ වඩාත් ආගම කෙරෙහි නැඹුරු කරගැනීමේ සම්‍යක් ප්‍රයෝගයක් ලෙසයි මෙවැනි නිර්මාණ වටින්නේ. මේ මුදලෙන් එකක් ලක්ෂ 10 ක් ගණනේ ගෙවල් 10 ක් 12 ක් හදලා දුන්නත් ඒ මිනිසුන්ගේ පැවැත්මේ වෙනස්කම් කරන්නට අමාරුයි. අපි උඹලට ගෙවල් දුන්න නිසා අපි කියන විදිහට වැඩකරපල්ලා කියා ඔවුන්ට කීමත් මානව හිමිකම් කැඩීමක්. ඒ නිසා බහුතරයක් ජනතාව ආගම කෙරෙහි ආකර්ෂණය කරවන මෙවැනි නිර්මාණයක් කිරීමේ විශාල වරදක් මම නම් දකින්නේ නැහැ. තව අවුරුදු සිය ගණනකදී මේ විහාරය, බෝධිය, චෛත්‍යය, විනාශවී යනු ඇති. නමුත් මේ පිළිමය අර ගල් විහාරයේ පිළිමය මෙන් ඉතුරු වෙනවා යටත්පිරිසෙයින් අවුරුදු 1000 ක් වත්. එය බොහෝදුරට බෞද්ධ පුනරුදයකට හේතු වන්නට පිළිවන්. ධර්මාවබෝධය සඳහා කිසියම් ආකර්ෂණයක් අවශ්‍යයයි මා හිතනවා.

      ස්තුතියි ඔබේ ස්වාධීන අදහස් දැක්වීම ගැන.

  2. මට මතකයි බුදු පිළිමයේ තිබුණු කැඩී ගිය කොටස. මම චායාරූපයකුත් ගත්තා. ඒ කාලෙ තිබ්බෙ ඩිජිටල් කැමරා නොවෙන නිසා ඒ චායාරූපය කොහේද කියල හොයන්න ඕනෙ ලංකාවට ගියාම. විනාශය කරල තිබ්බෙ දකුණු හස්තයට වැලමිටට ඉහලින් මට මතක විදිහට. ඔබ එය නොදකින්න ඇත්තේ පිළිසකර කල නිසා වෙන්න ඇති..
    මං ආධාරයක් කරන්න හිතන් ඉන්නවා. මට නිසි තොරතුරු මෙහි පහල පල කරනවාද ?

    • මා අසා ඇතිපරිදි, සැතපෙන පිළිමයක නිධන් තැන්පත් කරනවානම් කරන්නේ, දකුණු අත වැලමිටෙන් නැවී තිබෙන කොටසේ උඩ බාහුව සහ යට බාහුව අතර ඇති ඉඩතිබෙන කොටසේ. පොළොන්නරුව සැතපෙන පිළිමයේ එතන සිමෙන්තියෙන් යලි සැකසීමක් කර ඇති බව, පැහැදිලිවම පෙනෙනවා. මෙහි තිබෙන 11 වැනි පින්තූරයේ එය පෙනෙනවා. කවුරු හරි මෝඩයෙක් විනාශ කරන්න ඇති. ඒ වගේම දකුණු අතේ පහළ බාහුවේ කොටසක් කැඩී තිබෙනවා. එය නම් ස්වභාවික හේතු නිසා වෙන්න ඇති. wmjgslsr@gmail.com යන ලිපිනයට ඊ මේල් එකක් එවන්න. අවශ්‍ය විස්තර දෙන්නම්.

  3. බොහොම අසීරුවෙන් ගත්ත පින්තුර පෙළක් කියල පෙනෙනවා.ගල් විහාරෙ ඉස්සරහ 1981දි ගත්ත පින්තුරයක් තිබ්බ කොහෙද හොයන්න ඕනෑ.

    • හුඟක් මහන්සිවෙන්න වුණේ පිළිමයට අගෞරවයක් නොවන ලෙස කැමරාව අතැතිව මගේ ඉරියව් පාලනය කරගැනීමට සිදුවීම නිසයි. මා හිතනවා ගල් විහාරයේ පින්තූර බොහෝ දෙනෙකු අත තියනවා කියා.

  4. මෙතනම රාත්‍රීයේ ගත් පින්තුර වගයක් ජාලයේ දුටුවා කලකට පෙර. ආලෝකය රූපය මත පතිත කරන ආනතිය වෙනස් කරමින් සිව්රේ රැලි පවා මනාව ග්‍රහණය කර තිබුනා.ඒවායින් යම් ප්‍රදර්ශනක් තැබූ බව මතකයි.පොඩ්ඩක් හොයලා බලන්න විචාරකතුමනි වැඩයට උදව්වක් වේවි.
    පින්තුර ටිකනම් නියමයි විශේෂයෙන් අර ශ්‍රී පතුල(4) ,සිවුර කෙලවර (5).
    (13) පින්තුරේ මොකක්ද? ඒ ගැන නම් නිච්චියක් නැහැ.

    • ඔව් එවැනි පින්තූර මම ජාලයෙන් හොයාගත්තා. නමුත් මෙතනට දැම්මේ නැහැ. ඇස් අදහන්නට බැහැ, ඒ පින්තූරවල පිළිමයේ නාභිය, ලිංගේන්ද්‍රිය පිහිටි ප්‍රදේශය, උදරය වටා බැඳී පටියක් වැනි කොටස පවා පෙනෙනවා.

      සාමාන්‍යයෙන් මේ පිළිමයේ සිරිපතුල් අසළටම ගොස් පින්තූරයක් ගන්න ලැබෙන්නේ නැහැ. අංක 4 පින්තූරය එසේ ලබාගත් සමීප රූපයක්. සිරිපතුල්වල ඇති අනෙකුත් ලාංඡනත් දකින්න ලැබෙනවා.

      අංක 5 පින්තූරයත් අපේ පිළිමය නෙලන ශිල්පියාගේ අවශ්‍යතාව අනුව සිවුරේ රැලි වෙනම පෙනෙනසේ ගත් සමීප රූපයක්.

      අංක 13 පිළිමයේ හිස රැඳී කොට්ටයේ පැත්තෙන් තියන කැටයමක්.

  5. //….රම්බඩගල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රතිමාව නෙළන්නේ ඉන්දීය ශිල්පීන් පිරිසක්. අපේ පන්සලේ ප්‍රතිමාව නෙළන්නේ, ඉන්දියාවේදී, ප්‍රතිමා නෙළීමේ විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරූ, අපේම සිංහල ශිල්පියෙක්…..//

    මේක සැබවින්ම සතුටට පත්විය හැකි කාරණයක්. ඒ වගේමයි රම්බඩගල්ල ප්‍රතිමාව නිර්මාණය කරන ඉන්දියානු ප්‍රතිමා ශිල්පියා වන ස්ථපති මහතා ලංකාවට ආගන්තුකයෙක් නොවන බවයි කියවෙන්නේ. ලංකාතිලක රාජ මහා විහාරය ගම්පොළ රාජධානි සමයේදී සේනාලංකාධිකාර අමාත්‍යවරයා ඉදිකරවද්දි එහි නිර්මාණ ශිල්පියා විදිහට කටයුතු කරපු “ස්ථපතිරායර්” ශිල්පියාගේ පරපුරෙන් ඔහුත් පැවත ගෙන එන බවයි කියවෙන්නේ.

    ඔබතුමාගේ ඡායාරූප එකතුව හරි වටිනවා. මොකද පිළිම වහන්සේගේ අපිට පහසුවෙන් දැකිය නොහැකි ස්ථාන කීපයක වගේම නොදකින කෝණ කීපයකින්ම මේ ඡායාරූප අරගෙන තිබෙන නිසා 🙂

    • අපි මේ පිළිමයේ වැඩ පටන්ගන්න කලින් රම්බඩගල්ලට ගොස් සොයාබැලුවා ඒ ඉන්දීය ශිල්පීන්ගේ සේවය ලබාගතහැකිද කියා. නමුත් ඔවුන්ට කිසිම විවේකයක් නැහැ. ඒ අනුව පුවත්පත් දැන්වීම් දමා ශිල්පීන් කැඳවා ඔවුන්ගේ නිර්මාණ පරීක්ෂා කිරීමෙන් පසුවයි මේ ශිල්පියා තෝරාගත්තේ. මේ ශිල්පියාට අවශ්‍ය සල්ලි හොයන්න නෙවෙයි. හොඳ කළා නිර්මාණයක් කිරීමට.

      ඇත්තෙන්ම මේ ඡායාරූප එකතුවේ වටිනාකම මටත් වැටහුණේ ඒවා එකින් එක පසුව හොඳින් බැලීමෙදීයි.

  6. මේ සේයා රූ එකතුව තුළින් පොලොන්නරු ගල් විහාරය අලුතෙන් දැක්කා වගේ හැඟීමක් ඇති වුනා ස්තුතියි ඔබතුමාට

  7. අර සිමෙන්තියෙන් පිලිසකර කරලා තියෙන තැන නෙවෙයි, දකුණු අතේ වැලමිට ලඟට වෙන්න පොඩි කොටසක් කැඩිලා ගිහින් තියෙන්නේ, මං දන්න හැටියටනං විචාරක තුමෝ, අර වෙඩි පාර වැදිලා එතැනින් පොඩි ගල් පතුරක් ගැලවිලා ගිහින් තමයි ඒක වෙලා තියෙන්නේ.
    පිළිමයට ඉස්සරහින් තියෙන ගල්තලාවේ, එක තැනක තියෙනවා එකිනෙක මාරු කරලා එකට තියලා තියෙන කකුල් දෙකක වට දාරයක් කොටලා.
    කටකතාවල හැටියටනං එතන ඉඳලා තමයි සුද්දා වෙඩිල්ල තියලා තියෙන්නේ. පිළිමය කැඩිලා තියෙන තැනත් එක්ක ඒ අඩු සටහන් සැසඳුවාම පෙණුන හැටියටනම් ඒ කෝණයෙන් වෙඩි වැදුනොත් එතැන ඒ හානිය වෙන්න පුලුවන්.

    • මමත් ඒ හානිය ඉතා හොඳින් නිරීක්ෂණය කළා. ඒ කාලයේ තිබුන තුවක්කු උණ්ඩ පිළිබඳව මගේ දැනීමේ හැටියට නම් එවැනි හානියක් වෙඩි උණ්ඩයකින් කරන්න බැහැ තුවක්කුව පිළිමයට හේත්තු කරලා වෙඩි තිබ්බත්. ඒ හානිය වෙන්නට ඇත්තේ ගලේ තිබුන දුර්වලතාවයක් නිසා වැසිවතුර/අධික උෂ්ණත්වය වැනි හේතුවල බලපෑමෙන් කියලයි මමනම් හිතන්නේ.

  8. ගෙදර තියෙන්නෙ ඔය විශිෂ්ඨ නිර්මාන ලගම උනාට මගෙ ලග එක පින්තූර‍යක්වත් නෑ ඕවගෙ. ඒ කාලේ කැමරාවක් නොතිබුනු නිසයි ඒ. දැන් නම් සැලසුමුත් හදන්, ලංකාවට යනකල් බලන් ඉන්නෙ ඔය නිර්මාන වල පින්තුර මගෙ බ්ලොග් එකේ පුරවන්න.

  9. පින්තුර ටිකනම් මල් හතයි.
    මොකක්ද කැමරාව විචාරක තුමනි.

  10. සුද්දා මොකෙක් වුනත් දිට්ට ධමං වෙදිනීය කර්ම පඩිසන් දුන්නා. කොහොම වෙතත් විචාරක මහත්තයෝ ඔබතුමාත් අට මහා කුසල් වලින් එකක් කරගෙන යනවා.

  11. නියම ඡායාරූප පෙළක් විචාරකතුමා. ඇත්තටම මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක මේ ආකාරයට පිළිමය ඡායාරූප ගතකරන්න ලොකු වාසනාවක්.
    විචාරකතුමාගේ පන්සලේ කාර්යයත් සාර්ථක වෙන්න කියල පතනව.

  12. බලපෑමක් නැතිව එකතු කරන මුදලින් කරන දේ සමාජයට අයහපතක් නොවෙනවනම්, ඒකට වඩා මේක කරානම් හොඳයි කියන්නෙ කොහොමද අහක ඉඳන්. ඒ නිසා කරන වැඩේ ගැන මගේ අදහස මොකක් උනා, කරන දේ සාර්ථක වෙන්න කියල සුභ පතනව!

    • මේ පිළිමය ඉදිකලාට පස්සේ අපේ පන්සලේ මූලික අංග ඔක්කොම සම්පූර්ණ වෙනවා. පන්සලේ වයස තවම අවුරුදු 12 යි. මෙයින් පස්සේ විශේෂ ඉදිකිරීම් අවශ්‍යතා මොකුත් නැහැ. ඒ නිසා මේ වැඩේ කොහොම හරි කරන්න අපි හිතාගෙන ඉන්නවා. ස්තුතියි සුබ පැතුමට.

  13. ඔබ සැමගේ උත්සාහය ඉතා අගය කරනවා. නමුත් පුද්ගලිකව මම බුදු දහමේ නාමයෙන් කරන මෙවැනි දැවැන්ත ව්යාපෘති ගෑන පැහැදීමක් නෑ. දවස ගානෙ දැවැන්ත බුදු පිලිම, පන්සල්, වෙහෙර විහාර ඉදිවෙනව. පහන් ලක්ශයෙ, දශලක්ශයෙ පූජා, එතකොට පිච්චමල්, නා මල්, රෝසමල් පූජා වැහි වැහැල. ඒත් මිනිස්සුන්ගෙ ඇතුලාන්තය අන්තයටම පිරිහිලා ගිහින් ! බුදු දහම අර සුද්ද රට පාලනයකරපු, රුවන්වලිසෑය වල් වැවිල තිබුනු කාලෙටත් වඩා පිරිහිලා ගිහින්…බෞතික ගොඩනෑගිලිවලට වඩා මිනිසුන්ගෙ මනස හදන වැඩපිලිවෙලකට ඔය මුදල වියදම් කලානම් ලොකු පිනක් කියලයි මමනම් හිතන්නෙ ! මෙහෙම ගියොත් තව අවුරුදු දෙතුන් සීයක් යනකොට ලන්කාවෙත් ඉතුරුවෙන්නෙ ඊජිප්තුවෙ පිරමිඩ වගේ විසාල ගොඩනැගිලි ටිකක් විතරයි. බෞද්දයො කියල පිරිසක් නෑ….

    • ඔබේ අදහසට එකඟ වෙනවා. අපේ පන්සලට තියෙන්නේ ඉතා කුඩා (එළියේ ඉඳලා වඳින්න වෙන තරම්) කුඩා බුදුමැදුරක්. අපේ දායකයෝම තමයි පන්සලේ තියන ගල් පර්වතය බුදු පිළිමයක් කරමු කිව්වේ. මේ පිළිමය ඉදිකිරීමේදී වවාගෙන කෑමක් නැහැ. ආධාර නොලැබුනොත් දායකයෝ ලෑස්තියි කොහොමහරි මුදල් එකතු කරගෙන හෙමින් හෙමින් වැඩේ කරගෙන යන්න. මෙතන අනාගතේදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස විශාල වැඩ කොටසක් කරන්න සැළසුම් සකස් කරලා තියනවා. දැනටත් බෞද්ධ පුනරුදය සඳහා සෑහෙන වැඩ කොටසක් කරනවා.

  14. අපේ ලොකු සර් ට අනුව නං. සැතපෙන පිළිමයෙ වැළමිට හරියෙ තියෙන පලුද්ද තමයි මිනිස්සු වෙඩිපාරක් කියා කියන්නෙ. ඒක මිත්‍යා කතාවක් හැටියට සලකන්න පුළුවන්.

    කාලිංග මාඝ ගෙ ආක්‍රමණය කාලෙදි, ගල් විහාරෙ හිටිය භික්ෂූණ් වහන්සේලා ඔය පිළිම හතර පස් වලින් වහලා, මුළු පරිශ්‍රයම පස් කන්දක් බවට පත් කලා කියලත් කියනවා.

    ඇත්තටම ඔය විදිහට සමීපව බලද්දි ඒ කාලෙ නිර්මාණ ශිල්පීන්ගෙ ඉවසිලිමත් බව සහ සියුම් බව ගැන පුදුම හිතෙනවා.

    ස්තූතියි මහත්මයා පින්තූර ටිකට.

    • මමත් විශ්වාස කරන්නේ නැහැ ඒ හානිය වෙඩි පහරකින් වුණා කියලා. එහෙනම් වෙඩි තියන්න ඕනේ අද තියන ගුවන් යානා නාශක තුවක්කුවක් තරම් විශාල එකකින්. ඒ කාලයේ ඒවා තිබුණේ නැහැ.

      අපේ හාමුදුරුවෝ එදා ඔය පිළිමේ ලඟදි කිව්වා කාලිංග මාඝ ගේ ආක්‍රමණයෙන් ඔය පිළිම බේරගත්ත හැටි.

      මටනම් හිතෙන්නේ මේ ශිල්පීන්ට තමයි විශ්වකර්මයා කියන නම ගැලපෙන්නේ.

      ස්තුතියි අගය කිරීම ගැන.

  15. […] මීට පෙර මා ඔබට කියා ඇති, අපේ ගමේ පන්සලේ සෙල් පිළිමයක් නෙළන බව. ඉතින්, මේ තන්තිරිමලේ ගමනට තවත් […]

  16. […] හදන සෙල් පිළිමය ගැන? මතක නැත්නම්, මෙතනින් බලන්න පුළුවන්. මේ පිළිමය නිමකරන්නට, තවත් වසරක් […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: