විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


iStock_large_screen_w_audience_Small(1568)_565x318cc මේ කතන්දරේ ලියන්න හිටියේ ටික දිනකට ඉහතදී. නමුත් මගේ බ්ලොග් කෙටුම්පත් ගොනුවේ ලිපි රාශියක් ගොඩගැහිලා තියනවා. 2013 මැද භාගයේදී කළ කෙටුම්පතකුත් තවම පෝලිමේ තියනවා. එක දිගටම හමුදා කතා ලියනකොටත් ලිවීමත් කියවීමත් එපාවෙනවා නේද? ඒ නිසා සාමාන්‍ය කතා කීපයක් කියලා ඊට පස්සේ යමු හමුදා ලිපියකට. එහෙම හොඳයි නේද? ඉතිං හා කියන්ඩකෝ. අප්පේ………….. ඇති යන්තං. (පින්තූරය ගත්තේ මෙතනින්)

  අද කාලේ වීඩියෝ ප්‍රක්‍ෂේපණ යන්ත්‍රයක් යොදාගෙන දේශන පැවැත්වීම අරුම පුදුම දෙයක් නෙවෙයිනේ. එමගින්, දේශනයක් කොයිතරම් සාර්ථක වෙනවද කියලත් අපි දන්නවනේ. නමුත් කොයි වැඩෙත් කරන කලාවක් තියනවනේ. ඔබත් දැකලා ඇති, සමහරවිට නිකම් බොරු සෝබනේට වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍ර පාවිච්චි කරන හැටි. නවීන අධ්‍යාපනික උපකරණ කොතරම් තිබුණත්, එයින් නිසි ප්‍රයෝජනය ගන්න නම්, ඒ සඳහා හොඳ පුහුණුවක් වගේම පළපුරුද්දකුත් තියෙන්න ඕනේ. මම එක උදාහරණයක් කියන්නම්. MS Powerpoint මෘදුකාංගය පාවිච්චි කරමින්, දේශන පවත්වන සමහර අය, එහිදී ප්‍රදර්ශනය කරන රූප තල – slides අනවශ්‍ය ලෙස විච්චූරණ ගැන්වීමෙන්, එහි පැහැදිළි බවට, සරල බවට, හානිවී ඇති හැටි ඔබ දැක ඇති.

  එමෙන්ම, වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් පාවිච්චි කිරීමේදී, ප්‍රොජෙක්ටර් යන්ත්‍රය සහ තිරය ස්ථානගතකිරීම, ඉතා දැඩි සැළකිල්ලෙන් කළයුතු කාර්යයක්. රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතන වල, මේ සඳහා කෙබඳු පුහුණුවක් ලබා දෙනවාදැයි මා දන්නේ නැහැ. නමුත් හමුදාවෙනම්, මේ සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙනවා. එය ලබාදෙන්නේ මෙහෙමයි. දේශන සඳහා වේවා, විනෝදාත්මක අවස්ථාවක් සඳහා වේවා, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සම්බන්ධ සියලු කටයුතු, (සවිකිරීම, ක්‍රියාකරවීම) කෙරෙන්නේ ශ්‍රී ලංකා සංඥා බලකාය විසින්. හැබැයි එවැනි උපකරණ කැඩුනම හදලා දෙන්නේ, සේවා කටයුතු කරලා දෙන්නේ, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන්. ඔන්න ඔන්න, දැන් අහන්න එපා බලකාය, රෙජිමේන්තුව, අරවා මෙව්වා. එව්වා කලින් කියලා දීලා තියෙන්නේ, අනාගතේදී එන ලිපි වලටත් අදාළවන නිසයි. ඒ වගේම නිළධාරියකුට තම පුහුණුවේදී කියලා දෙනවා, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ආධාරයෙන් කොහොමද සාර්ථකව සහ නිවැරදිව, දේශනයක් පවත්වන්නේ කියන එක.

  ඉතින් මම මේ කියන්න යන්නේ, හමුදාව කරන විදිහටම මුළු රටම කරන්න ඕනේ කියන එක නෙවෙයි. වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් පාවිච්චි කරලා දේශනයක් කරනවානම්, නිකම් ආවට ගියාට එය කරන්න බැහැ. (ඔව්වත් වැඩද කියලා හිතාගෙන හිටියට, කොරනකොට තමයි තේරෙන්නේ. සමහරුන්ට තේරෙන්නත් නැහැ තමන් පිස්සු කෙළින්නේ කියලා.) මම පෙන්නන්නම්, ඊයේ පෙරේදා, මම ප්‍රේක්ෂකයකු වශයෙන් සහභාගිවුණු එවැනි දේශන දෙකකදී, මම මගේ ජංගම දුරකථනයෙන් ලබාගත් පින්තූර කීපයක්.

  පහත දැක්වෙනවා පින්තූර තුනක්. ඔබට පෙනෙනවා ඇති, එක්තරා කාන්තාවක්, වීඩියෝ ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් දේශනයක් පවත්වන ආකාරය. මේ දේශනය පැවැත්වුවේ, පාසලක පිහිටි කුඩා ශාලාවක වේදිකාවක් මත. නමුත් මෙහිදී, එය සංවිධානය කළ රාජ්‍ය පාලන ආයතනයට අවශ්‍යවී තිබුණේ, නිදහස් දිනයට අදාළ විශාල ඩිජිටල් බැනරයක්, අර පුංචි විදුහල් ශාලාවේ, වේදිකාවේ පසුපස බිත්තියේ ප්‍රදර්ශණය කරන්නයි. මට පුදුම හිතුණේ, මෙහි ප්‍රධාන සංවිධායක වරුන්/භාරකරුවන් වශයෙන් සහභාගිවුණු, විශ්‍රාමික ජ්‍යොෂ්ඨ රාජ්‍ය පරිපාලන නිළධාරීන් දෙදෙනාටවත්, වීඩියෝ ප්‍රොජෙක්ටරය සවිකිරීම ගැන කිසිදු ඕනෑකමක් නැතිබව (නැතහොත් දැණුමක් නැතිබව) පෙනීගිය නිසයි. ඔවුන්ට, බොහොම සිත්ගන්නාසුළු කතා විලාශයක් නම් තිබුණා. මහින්ද චින්තනය ගැන හොඳ දැණුමකුත් තිබුණා.

  මේ ඉන්නේ වැදගත් තනතුරක් දරන කාන්තාවක්. ඇත්තටම ඇගේ දේශනය, ඉතා වැදගත් කරුණු රාශියකින් සමන්විත වුණා. නමුත්, ඇය වීඩියෝ තිරය ප්‍රේක්ෂකයාට මුවාවෙන විදිහටයි, බොහෝවිට සිටගෙන සිටියේ, තම දේශනය අතරතුර. එමෙන්ම එහි තිබුණු එෆ්.එම්. මයික්‍රෆෝනය පාවිච්චි කරමින්, වේදිකාවේ පසුපසට ගියානම්, ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් තිරය පෙනෙන බව, ඇය සිතුවේ නැහැ. සමහරවිට ඒ ආකාරයට දේශන පැවැත්වීම ගැන, ඇයට පුහුණුවක් ලැබී නැතුව ඇති. 

1

2

  බලන්න ඉහත ඡායාරූපයෙන් පැහැදිළිව පෙනෙනවා, වීඩියෝ ප්‍රොජෙක්ටර් තිරය, වේදිකාවේ පසෙකට දමා ඇති ආකාරය. පින්තූරයේ වම්පස ඉහළ, කහ දුඹුරු පාට පදාසයකින් මම වසා දමා තිබෙන්නේ, අර විශාල ඩිජිටල් බැනරයයි. එමෙන්ම බලන්න, තිරයේ විශාල ප්‍රදේශයක් හිස්. කුඩා කොටුවක තමයි පින්තූර පෙනෙන්නේ.

3

  ඉහත පින්තූරයෙන් පෙනෙනවා, අර රෝසපාට ඩෙස්ක් එක මත තමයි, ප්‍රොජෙක්ටරය තබා තිබෙන්නේ. එය තිරයට ඉතා ආසන්න නිසයි, කුඩා කොටුවක් තිරයේ පතිතවන්නේ. ඒ කියන්නේ වීඩියෝ ප්‍රොජෙක්ටරයෙන් නිසි ප්‍රයෝජනය නොලැබෙන ආකාරයටයි, එය ස්ථානගත කර තිබෙන්නේ. මේ කාන්තාව, අපට පිටුපා ඉන්න අතරේ, මම වාඩිවී සිටියේ, පාසල්වල තියන, අර යකඩ කකුල් සහිත පුටුවක. දේශනය දෙස බලමින්, මම අර පුටුවේ දුකෙන් තමයි හිටියේ.

  දෙවැනි එක මීටත් වඩා අන්තයි. සියලු පහසුකම් සහිත ශාලාවකයි, මේ දේශනය පැවැත්වුනේ. අමාත්‍යාංශයක් සහ පොලීසිය එක්ව තමයි මෙය සංවිධානය කර තිබුණේ.  උදේ 8.30 ට එන්න කියලා තිබුණා. හමුදාවේ අපිනම්, 8.30 කියන්නේ 8.29 ට වත්, 8.31 ට වත් නෙවෙයි. නමුත් මෙතන නම් වැඩේ පටන්ගත්තේ 10.30 ට.

  වැඩේ පටන්ගන්නතුරු, ඔහේ කැරකි කැරකි හිටිය මම දැක්කා, කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් වරු දෙන්නෙක්, සම්මුඛ පරීක්ෂණයක් වගේ දෙයකට සූදානමින්, මේසයක් පුටු කීපයක් තබාගෙන වාඩිවී සිටින හැටි. මම එයාලගෙන් ඇහුවා, ‘මහත්තයලා මෙතන මොකක්ද කරන්නේ’ කියලා. ඔවුන් මගෙන් ඇහුවා මා කවුද කියා. මම කිව්වා, මම මේ මෙතන තියන සම්මන්ත්‍රණයට ආව කෙනෙක් කියලා. එයාලා කිව්වා, එයාලා එතන ඉන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවට ආධුනිකයන් බඳවා ගන්න කියලා. මම කිව්වා, ‘අපොයි කමාන්ඩෝ එකට බැඳෙන්න නම් ඕනෙතරම් එයි’ කියලා. ඔවුන්ගෙන් එක්කෙනෙක් කිව්වා, ‘මොන පිස්සුද මහත්තයා, සම්මුඛ පරීක්‍ෂණයට එන කොල්ලන්ගෙන් වැඩි දෙනෙක් අහන්නේ, ‘අයියේ අපිව බඳවාගෙන කොළඹ පේමන්ට් හදන්න හරි, දැයට කිරුළේ පස් අදින්න හරි දානවද’ කියලයි. ‘අනේ අනිච්චං’ කියලා හිතෙන් කියාගෙන, මම එතනින් මාරුවුණා.

  ආයේ සැරයක් එමුකො මාතෘකාවට. මෙහි සංවිධානයේ දුර්වලකම් රාශියක් තිබුණා. මම ඒවා කියන්නට යන්නේ නැහැ. පහත දැක්වෙන පින්තූර දෙකෙන් බලන්න කොහොමද වීඩියෝ ප්‍රොජෙක්ටරය තබා තිබෙන්නේ සහ කොහොමද ප්‍රේක්ෂකයාට එය දර්ශනය වන්නේ කියා. 

4

   ඔබට පෙනෙනවාද, මේ වේදිකාවේ පැති තිරයකින් බාගෙට වැසී තිබෙන, වයිට් බෝඩ් එකක්. මුලින්ම ප්‍රොජෙක්ටරය එල්ල කළේ, ඒ වයිට් බෝඩ් එකට. එවිට සංවිධායක මණ්ඩලයට තේරුණා, වයිට් බෝඩ් එකේ ප්‍රමාණය අනුව, ශාලාවේ ඈත කෙලවරේ සිටින අයට පින්තූර පැහැදිලිව පෙනෙන්නේ නැතිබව. එපමණක් නොව, වයිට් බෝඩ් එක මත පින්තූර පතිත වුනාම, දිලිසීමක් සහිත පරාවර්තනයක් සිදුවීමෙන්, පින්තූර හරිහැටි නොපෙනෙන බව. මොකක්ද ඔවුන් දුන් විසඳුම, ශාලාවේ පසුබිම් තිරයට ප්‍රොජෙක්ටරය එල්ල කිරීම තමයි විසඳුම. එවිට සිදුවුණේ, ඉදිරිපස අසුන්වල සිටි අයට, වේදිකාවේ තිබුණු දේශන පුවරුව නිසාත්, මේසය නිසාත්, තිරය මුවාවීම සහ, ශාලාවේ ඈත කෙලවරේ සිටි අයට, අකුරු පැහැදිළිව නොපෙනෙන තරම් දුරකින් තිරය පිහිටීමයි.

5

පහත දැක්වෙන ඡායාරූපයෙන් බලන්න සම්පූර්ණ ශාලාව සහ බැල්කනිය පවා ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී තිබුණු ආකාරය.

6  මතක තබාගන්න මේ සම්මන්ත්‍රණය, සෑහෙන කලකට පෙර සිට සංවිධානය කර තිබුන එකක්. නමුත් අවසාන මොහොතේ තමයි වීඩියෝ ප්‍රොජෙක්ටරය අටවන්න ගියේ. මෙහෙම වෙන්නේ ඇයි? ඔබෙන් සමහර අය කියයි තැනේ හැටියට තමයි ඔය කොරලා තියෙන්නේ ඔයිට වැඩි යමක් කරන්න බැහැ කියලා. මමනම් ඒකට එකඟ නැහැ. කොයි තැනදීත් හරියට කරන්න පුළුවන්. අන්න එහෙම හරියට කරන්න තමයි මේ දේවල් පාවිච්චිය ගැන පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. නිවැරදි සංවිධානය සහ පූර්ව සැලසුම් කියන එක ජීවිතේ සෑමවිටම අත්‍යවශ්‍ය අංගයක්. වීඩියෝ ප්‍රොජෙක්ටරයක් පාවිච්චි කරමින් දේශනයක් පැවැත්වීමේදී, සැළකිය යුතු කරුණු මොනවාද?

  • ප්‍රේක්ෂකාගාරයට පැහැදිළිව තිරය දිස්වෙනවාද? දේශනය ඇරඹීමට ප්‍රථම, ප්‍රේක්ෂකාගාරයේ සෑම තැනකටම කීප දෙනෙකු යවා, ඔවුන්ගෙන් සනාථ කරගත යුතුයි.
  •   අති විශාල ප්‍රේක්ෂක සමූහයක් ඉන්න ශාලාවක් නම් තිරය ප්‍රමාණවත් නොවන්න පුළුවන්. ඒ සඳහා වියදම් අඩු මහන්සිය වැඩි විසඳුම වන්නේ තිරය පහසුවෙන් දර්ශනයක වෙන ආකාරයට ප්‍රේක්‍ෂක ප්‍රමාණය කොටස් වලට කඩා දේශනය වාර කීපයක් පැවැත්වීමයි. වියදම් වැඩි මහන්සිය අඩු ක්‍රමය වන්නේ,  ජාලගත ප්‍රොජෙක්ටර් කීපයක් හෝ පුළුල් තිර රූපවාහිනී කීපයක් ප්‍රේක්‍ෂකාගාරයේ  සවිකිරීමයි.
  •   ඔබ දැක ඇති සමහර අය දේශනය පවත්වද්දී වටින් වර පරිගණකය වෙත යනවා ඊළඟ රූපය දැමීම සඳහා. එවිටත් ප්‍රේක්ෂකයන්ට තිරය මුවාවෙන්න පුළුවන්. මෙය වළක්වාගන්න ක්‍රම දෙකක් තියනවා. එකක් පරිගණකය වෙත දිග කේබලයක් යොදවා වේදිකාවේ පසෙක තබා ගැනීම. දෙවැනි එක වෙනම පරිගණක ක්‍රියාකරුවකු තබාගැනීම. හමුදාවේ බොහෝවිට කෙරෙන්නේ මේ දෙවැනි ක්‍රමයයි. එවිට දේශකයා සම්පූර්ණයෙන් නිදහස්. නමුත් පරිගණක ක්‍රියාකරු දන්නේ කොහොමද මොකක්ද දාන රූපය කියලා? අන්න ඒකට තමයි පෙර පුහුණුව අවශ්‍ය. හමුදාවේදී නම් මේ සඳහා වගකිවයුතු නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ කාලය ගණනය කරමින් අවම වශයෙන් පෙරහුරු දෙකක් වත් පවත්වනවා. පරිගණක ක්‍රියාකරු අතට දෙනවා දේශනයේ පිටපතක්. එහි සටහන් කොට තිබෙනවා එක එක රූපය එන තැන සහ එම රූපයේ අංකය. ඒ නිසා ඉදිරියට පසුපසට මෙන්ම අහම්බෙන් හෝ රූප මාලාවේ වෙනත් එකක් ඉතා පහසුවෙන් පෙන්වන්න පුළුවන්. තවත් වාසියක් තියනවා. ඒ තමයි කාලය ඉතිරිකර ගැනීම. දේශකයා පරිගණක ක්‍රියාකරු වුණාම, කාලය අපතේ යනවා. දේශනයට ඇති ප්‍රේක්‍ෂක අවධානය බිඳ වැටෙනවා.
  •   ප්‍රේක්‍ෂකයන් ඇතුළුවීමට පෙර, සියල්ල සකසා අවසන් කර තිබිය යුතුයි. ප්‍රේක්‍ෂකයන් ඇතුළුවූ පසුව, ප්‍රොජෙක්ටර් උස්සාගෙන, පරිගණක උස්සාගෙන, තිරය උස්සාගෙන, තවමත් වේදිකාවේ එහා මෙහා යනවානම්, එයින් පෙන්වන්නේ, ඔබ ඉතා අසංවිධානාත්මක බවයි. එයින්, ප්‍රේක්‍ෂකයා තුළ, ඔබගැන ඇති විශ්වාසය බිදවැටෙනවා.
  • වේදිකාවේ සහ ශාලාවේ ඇති ආලෝක තත්වය, ප්‍රේක්‍ෂකයාට තිරය දෙස බැලීමට බාධාවක් නොවිය යුතුයි. නිවෙන පත්තුවෙන විදුලි බුබුළු වැල්, අලංකරණය සඳහා යෙදූ ස්පොට් ලයිට් ආදිය ඇත්නම්, ඒවා නිවා දැමිය යුතුයි. එමෙන්ම ශබ්ද විකාශන පද්ධතිය කන් පැලෙන තරමට හෝ යන්තම් ඇහෙන ප්‍රමාණයට නොව මධ්‍යස්ථ මට්ටමක පැවතිය යුතුයි. ඒ ඒ දේශකයාගේ හඬ මට්ටමට අනුව, ශබ්ද විකාශන ක්‍රියාකරු විසින් හඬ පාලනය කළයුතුයි.
  •   දේශන පැවැත්වීමේදී එෆ්.එම්. මයික්‍රෆෝනයක් සහ ලේසර් පොයින්ටරයක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. අනවශ්‍ය ලෙස වේදිකාව මත එහා මෙහා ගමන් කිරීමෙන් පෙන්වන්නේ ඔබට මේ ගැන දැණුමක් හෝ පළපුරුද්දක් නැති බවයි.

  ඔබටත් මෙවැනි අත්දැකීම් ලැබී ඇති. ඔබටත් කවදා හෝ මෙවැනි දෙයක් කරන්නට අවස්ථාවක් ලැබෙන්නට පුළුවනි. සමහරවිට දැනටමත් ඔබ මෙවැනි දේ කරන කෙනෙකු වන්නට පුළුවනි. ඒ නිසා මේ ගැන සිතාබලන්න.

my-signature-for-blog[1]    2014 මාර්තු මස 01 වැනි දින 0848 පැය 

Advertisements

Comments on: "අහෝ…..පිච්චර් නැති ලැච්චර්………….! Oh………! No Picture………Only Lecture….!" (23)

  1. ඇත්ත තමයි… අනිත් එක පළපුරුදු දේශකයෙක්නම් කොච්චර හොඳ සෙටප් එකක් තිබුනත් සම්ප්‍රදායක් විදියට දේශනය පටන්ගනිද්දී ඈත කෙළවෙරේ ඉන්න ප්‍රේක්ශකයන්ගෙන් අහලා ස්ථිර කරගන්නවා හඬ පැහැදිලිද, තිරයේ පැහැදිලිද වගේ දේවල්…

    • අර පරණ කියමනක් තියනවනේ ‘හානා හීය පානා අඬහැරෙන් දැනේ’ කියලා. ඒ වගේ තමයි මෙවැනි දේශනයක් පටන්ගන්නකොටම අපට තේරෙනවා කොහොමද කියන එක.

  2. අර මුල් විදිහට තිබුනාම නම් ඉතින් කියන්න වෙන්නෙ පුටුවේම …. කියල තමයි 😀

    ගොඩක් වෙලාවට ඔහොම තැන් වලදි අපිට අත් දකින්න ලැබෙන දෙයක් තමයි ඒ උපකරණ වලින් නිසි ප්‍රයෝජනය නොලැබෙන බව. මේ ටික සිහියේ තබා ගත්තා කෙදිනක හෝ වුවමනා වුවහොත් පාවිච්චි කරන්නට.

    • එදානම් මට ඒ දුක සෑහෙන්න තිබුණා 😀

      ඇත්තටම ඕනෙම දෙයක් කරන්න කාටත් පුළුවන් නමුත් ඒ දේ හරියට කරන්න නම් පුහුණුවක් අවශ්‍යයි.

  3. ඉතාම වැදගත් පෝස්ට් එකක්..මේල් එකට නොටිෆිකේශන් මේල් එක Starred කරල තියාගත්ත ඔන්න මම…

    • හුඟ කාලෙකින් නේද මේ පැත්තේ ආවේ? බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      • නෑ නෑ හැම පෝස්ට් එකක්ම කියවනව…කමෙන්ට් කරන්න ලොග් වෙන්න කම්මැලිකම නිසා බලල යනව..මේකට කමෙන්ට් නොකරම බැරි උනා..ගොඩක්ම වැදගත් නිසා මට… 😀 අපේ ඉස්කෝලෙ (KV 😉 ) ඉවෙන්ට් කරද්දි මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවනෙ

        • ඊයේ පෙරේදා ඉස්කෝලේ කුරුණෑගල ආදිශිෂ්‍ය ශාඛාවේ රැස්වීමක් තියන්න සූදානම් කරලා තිබුණත් හදිසියේ කල්ගියා සංවිධායකයකුගේ (වෛද්‍ය රාජා විජේතුංග) මව අභාවප්‍රාප්ත වුන නිසා.

          කම්මැලි නැතුව ඔන්න ඔහේ මොනවා හරි කියලා යන්න මේ පැත්තට ආවම.

  4. මා අැතුළු තවත් පිරිසකට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණ එක්තරා තැනක පැවති වැඩමුළුවක් සංවිධානය ‍වී තිබුණේ මෙවැනි උපකරණ පරිහරණය කිරීමේ මූල ධර්ම ගැන අවබෝධය ලබාදීම මූලික අරමුණ සිහිතවයි. ඔබ පවසන වැඩමුළුවටත් වඩා “හොඳට” සංවිධානය වී පැවති නිසා එදා හොදට හිනාවෙන්න අවසථාවක් ශ්‍රාවක පිරිසට ලැබුණ හැටි මේ ගැන කියවද්දි මට නැවත සිහිවුනා. නවීන තාක්ෂණය භාවිත කළ පමණින් සියල්ල සම්පූර්ණ වෙතැයි සිතූ ඒ අයගෙන් පුහුණුව ලද අප විසින් පසුව කරන්නට ඇත්තේ ද මෙලෙසම දැයි ආපසු සිතා බැිය යුතුව ඇති බව සක් වෙනවා.

  5. “ඔබ දැක ඇති සමහර අය දේශනය පවත්වද්දී වටින් වර පරිගණකය වෙත යනවා ඊළඟ රූපය දැමීම සඳහා. එවිටත් ප්‍රේක්ෂකයන්ට තිරය මුවාවෙන්න පුළුවන්. මෙය වළක්වාගන්න ක්‍රම දෙකක් තියනවා.”

    මෙමෙ ක්‍රම 2 ට අමතරව තවත් 1 ක්‍රමයක් තිබේ. එනම් “wireless slide changer/advancer” , “Wireless Remote Presenters”….. ලෙස මෙය විවිධ නම් වලින් ඇත

    http://www.alibaba.com/showroom/wireless-slide-changer-laser-pointer.html

  6. දැන් නම් තාක්ෂණය ඕනේ තරම් තියනවා මේ වගේ දෙයක් කරන්න. ජංගම දුරකථනය මගින් ස්ලයිඩ් වෙනස් කරන්න පුළුවන් ස්ථානයක අපි ඉන්නේ.

    මම දැක්කා අර මුලින් තිබුණු දේශනයේ දී පැත්තෙන් වැටෙන ඉරු එලිය කෙලින්ම තිරය මැදට වැටෙනවා. ඉතිං මෙහෙම වුනාම කොහොමද පිටිපස්සේ අයට පෙනෙන්නේ?

    දෙවනුව දේශකයින් කල්තබා සුදානම් නොවීම සහ දේශන සංවිධානය කරන පිරිස දේශකයන් දැනුවත් නොකිරීම වගේ දෙයක් මේ දේ සිද්ධ වෙන්න බලපානවා කියල මම හිතනවා.

    මේ අවස්ථා දෙකේ දී ම මේ තිර දෙකම වේදිකාවේ ඉදිරිපසට ගත්තා නම් බොහෝවිට පැහැදිලි දර්ශනයක් පසුපස පේලියට ලබා දෙන්න තිබුණා කියල මම විශ්වාස කරනවා.

    අනෙත් කරුණ ප්‍රොජෙක්ටර් භාවිතයට ගන්නා උදවිය සලකන්නේ නැති එසේම බොහෝ දෙනා දන්නේ නැති කරුණ. ඒ තමා මෙහි වන ලුමෙන්ස් අගය. ලුමෙන්ස් අගය වැඩි ප්‍රොජෙක්ටර් වලින් බොහොම හොඳ ප්‍රථිපල ගන්න පුළුවන් ටිකක් දුරින් තිබෙන ප්‍රේක්ෂකාගාර වල දී.

    අවසානයේ ආලෝක භාවිතය කියන දේ ඉතා වැදගත්. මේ අවස්ථා දෙකේ දී ම මම දකින දෙයක් තමා වේදිකාව හොඳට එලිය කරලා. 🙂 තිරය ආසන්නයේ දීප්තිමත් බව හොඳට තියනවා. 🙂 එහෙම වුනාම පෙනීම සීමා වෙනවා බොහෝවිටම ඉදිරිපස පේලි දෙකට නැතිනම් තුනට. මේ අවස්ථා වල දේශකයා වෙත ස්පොට් ලයිට් එකක ආලෝකය ලබා දී වේදිකාවේ තිරයට සමීපව පසෙකින් රඳවා අර්ධ අන්ධකාර අර්ධයක තිරය රඳවා ලේසර් පොයින්ටර් එකක් මගින් කරුණු පෙන්වීම සිද්ධ කළා නම් සහ ශාලාව මද අන්ධකාරයේ ගිල්වා තැබුවා නම් බොහෝ විට දුර සිට පැහැදිලිව තිරය බලාගැනීමට හැකියාව ලැබෙනවා.

    • ඔබ මෙහි කියා ඇති තාක්ෂණික කරුණු බොහෝවිට දැකගන්නට ලැබෙන්නේ හමුදා ඇකඩමියකදී පමණයි. ඒ තරම් ඉහල තත්වයක් නැතිවුනත්, මූලික සිද්ධාන්ත ටිකවත් කරනවානම් කොච්චර වටිනවද? බොහොම ස්තුතියි මේ දීර්ඝ කරුණු පැහැදිළි කිරීම ගැන.

  7. දේශන වලදී පමණක් නොව තවත් ගොඩක් දේවල් වලට පෙර සුදනමේ ඇති වැදගත්කම පාසල් මට්ටමින්ම ළමයින්ට කියල දෙන වැඩපිළිවෙලක් කෙරෙනවනම් ගොඩක් හොඳයි. සමහර දේවල් ඉතාම සරලයි, තව කෙනෙක් විසින් කියලා දෙන්න ඕනෙත් නෑ. ඒත් විවිද අවස්ථා වලදී තැනට ගැලපෙන්න වඩාත්ම ප්‍රයෝගික ක්‍රමය තෝරාගන්න මිනිස්සුන්ට මොලේ කල්පනා කරන්න බැරි ඇයි කියලා මට නං හිතාගන්න බැ . එහෙව් එකේ කියල දෙන්නවත් ඕන ඊළඟ පරම්පරාවට හරි…
    >
    වැදගත් ලිපියක්, ස්තුතියි විචාරකතුමා…
    >
    මේක ලිපියට අදාල නෑ. අන්තිම රූප ටික දකිද්දී මතක් උනු සිද්දියක්.
    අපිත් මේ හෝල් එකේ නාට්ටියක් පෙන්නුවා. එක්තරා පාසලක ආදී ශිෂ්‍ය සංගමෙන් තමයි වැඩේ ඔගනයිස් කරේ , ඒ පාසලේම ළමයි සඳහා…
    ළමයින්ට කරන නාට්ටියක් නිසා සංවිධායකයෝ ටිකට් වල මිල වර්ගීකරණයක් කරලා තිබුනේ නෑ . හෝල් එකේ කොහේ වාඩි උනත් ටිකට් එකේ ගාන එකයි.
    නාට්ටිය පටන්ගන්න තිරේ අරිද්දි ඕඩියන්ස් එක දැකලා අපි හොල්මන් උනා… සාමාන්යෙන් එකම ගානට ටිකට් තියෙද්දී හැමෝම ඉස්සරහට එන්නයි පොරකන්නේ… ඒත් එදා කට කපලා බැල්කනිය පිරිලා… සමහර කොල්ලො පුටු උඩ හිටගෙන, පෙන්නේ නැති නිසා… ඒත් පල්ලෙහා ඉස්සරහම පේලි ටිකේ ගුරුවරුයි , වැඩිහිටියෝ ටිකකුයි, අනිත් තැන වල තැනින්’තැන ළමයි 50ක් විතර වැඩිවෙලා හිටියා… ඉතින් නාට්ටිය පටන්ගත්තු’තැනම පොඩ්ඩකට නවත්තලා , උඩ ඉන්න ළමයින්ට පල්ලෙහට එන්න කියලා , මේ වගේ හෝල් එකකදී පල්ලෙහා ඉඳන් බලන එකේ වැදගත් කමත් කියලා දීල නාට්ටිය අපහු මුල ඉඳන් පෙන්නුවා… නාට්ටිය ඉවර උනාම සංවිදායක සෙට් එක ඇවිත් එයාලව ළමයි ඉස්සරහ ලජ්ජා කෙරෙව්වා කියලා අපිට දොස් කිව්වා… බැලින්නම් උං තමයි ළමයි ඔක්කොම උඩට යවලා ඉතුරු වුනු ළමයි ටික පහලට එවලා තියෙන්නේ… එහෙම කරේ ෆිල්ම් හෝල් වලත් වටිනාම තැන බැල්කනිය නිසාලු. ප්‍රසිද්දියේ ළමයින්ට පහලට එන්න නොකියා එයාලට ඒ බව කලින් කියන්න තිබ්බලු.
    ඊට පස්සේ අපි එයාලට, පාසල් ළමයින්ගේ දැනුවත් වීම සඳහා වැඩ කරන විදිහ පැහැදිලි කරන්න හැදුවට සත පහකට ගණන් ගත්තේ නෑ…
    මේක කියන්න හිතුනේ ලංකාවේ ගොඩක් අය මේවගේ නිසා… අපිට රටක් විදිහට දියුණු වෙන්නත් බැරි මේ නිසාමයි. ලබ්බ පුරා හිල්, මොකුත් රැඳෙන් නෑ ‘ හැම තැනම ලීක්. හැබැයි මාන්නෙයි උද්දච්ච කමයි ඉහටත් උඩින්.. ඒකටම හරියන්න ගොං කමත් එකතු උනාම හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
    අනේ අනිච්චං කිව්වලු… 🙂

    • බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීමට. නාට්‍යය බලපු හැටි ගැන හිනාවෙන්න නෙවෙයි අඬන්නයි ඕනේ අනේ අපේ අයගේ දැණුම කියලා. මම වරක් එක්තරා ප්‍රදේශයක දුප්පත් දරුවන් පිරිසක් මහනුවර ප්‍රදේශයේ සංචාරයක යැව්වා හමුදාවේ අනුග්‍රහයෙන්. වික්ටෝරියා ජලාශය ආශ්‍රිත මහවැලි නේවාසිකාගාරයකදී ගුරුවරුන්ගේ නොසැලකිල්ල නිසා ළමයි කීප දෙනෙක් ඊට පෙර ජීවිතයේ කෙදිනකවත් දැක නොතිබුණු කොමෝඩ් එකේ රෙදි හෝදලා තිබුණා. ඒ ළමයින්ට මොකුත් කියන්න බැහැ.

  8. මෙන්න මේ දේශනයේ දේශකයා ඉදිරිපත් කරන අපූරුව බලන්ඩ.ඇත්තටම විචාරක මහත්තයෝ අපේ අය හිතන්නේ ස්ලයිඩ් ෂෝ එකත් නිකං පටං ගද්දි පත්තු කරන පොල්තෙල් පහන වගේ කියලා.කරන්නං වාලෙ කරනවා

  9. මේ අන්තිම වැඩේ දහම්පාසල් වැඩක් නේද ??? තාක්ෂණය කියන එක හරියට වැඩ ගන්න තාම දන්නේ නැති කම නොවැ අවුල. කොටින්ම අපේ කැම්පස් එකේ වුණත් තාක්ෂණය කොච්චර දියුණු වුණත් තාම ගල් යුගේ වැඩ කරන වෙලාවල් තියෙනවා 😛

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: