විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

අපේ වාර්ෂික සංචාරේ


  UNITYමම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. 

  මෙහි අය කිරීම් බොහොම සාධාරණයි. මෙවර, එක පවුලකින් (කීදෙනෙක් ආවත්) අයකළේ, රු 1500/- යි. ඒ මුදලට උදේ දවල් රාත්‍රී ආහාරයත් ඇතුළත්. නමුත් ඒ මුදල මදි අවශ්‍ය වියදම් පියවන්න. ඒ නිසා ඉතිරි වියදම් සියල්ල දරන්නේ සමිති අරමුදලෙන්. වාර්ෂිකව ලොකු පොලියක් ගන්න හොඳ ස්ථිර තැන්පතුවක් අපේ සමිතියට තියනවා. ඒ නිසා මෙවැනි සුබසාධනයක් කරන්න පුළුවන්.

   දැනට අපේ සමිතියේ වයස අවුරුදු 10 යි. නමුත් අපි පොදු සේවා රැසක් සපයනවා. 5 වසර, අපොස සා පෙළ, උසස්පෙළ, ඉහළින් සමත්වන අපේ සාමාජික පවුල්වල දරුවන්ට, ශිෂ්‍යාධාර ලබාදෙන අතර, සමස්ත ලංකා මට්ටමෙන්, ක්‍රීඩා, නර්තන, නව නිර්මාණ, ආදී කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන, අපේ සාමාජික පවුල්වල දරුවන්ටත්, විශේෂ මුදල් ත්‍යාග පිරිනමනවා.

   මේ හැර අපි රු 35000/- ක අවමංගල්‍යාධාරයක්, සාමාජිකයකුගේ දෙමවුපියන්ගෙන් අයකුගේ මරණය, ඔහු/ඇය ගේ කලත්‍රයා ගේ මව හෝ පියාගේ මරණය, වෙනුවෙන් ගෙවන අතර තම දරුවන් සහ තමන්ගෙන් යැපෙන අය වශයෙන් සමිතිය විසින් පිළිගන්නා අය වෙනුවෙන්ද රු 35000/- ක අවමංගල්‍යාධාරයක් පිරිනමනවා. සාමාජිකයකු මියගියවිට, ඔහුගේ කලත්‍රයාට හෝ ප්‍රතිලාභියා ලෙස කලින් නම්කර තිබුන අයට, රු 35000/- කුත්, ඔහුගේ/ඇයගේ විවාහක දරුවන්, එක් අයකුට වඩා වැඩි ගණනක්, වෙනමම සාමාජිකයන් ලෙස සමිතියට බැඳී සිටිත් නම්, ඔවුන් අතර සමසේ බෙදීයන පරිදි තවත් රු 35000/- කුත් ලබාදෙනවා.  (මේ ආධාරයට අමතරව කොඩි, පුටු, කූඩාරම්, අවමංගල්‍යය දිනයේ දිවා ආහාරය, ආදියද සැපයෙනවා) 

   මේ හැර අපි මහා පරිමාණයෙන් අවුරුදු උත්සවයක්, පොසොන් සමයේදී අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්, පවත්වන අතර, සංවත්සර උත්සවයද සංගීත ප්‍රසංගයක් සහිතව මහ ඉහළින් පවත්වනවා. අපේ සමිතියටම වෙන්වූ ක්‍රීඩා පිටියක් සහිත, හොඳ සමිති ශාලාවක්ද අපිට තියනවා. අපේ සමිතියේ මාසික සාමාජික මුදල රු 100/- ක් පමණයි. අපි දැනට රු ලක්ෂ 45 ක පමණ පානීය ජල ව්‍යාපෘතියක් සැළසුම්කර තිබෙනවා. ඔන්න අපේ සමිතියේ චූර්ණිකාව.

   සාමාන්‍යයෙන් අපි වාර්ෂික සංචාරය යන්නේ පෙබරවාරි 4 වැනිදා වුනත්, මෙවර ඊට පසුදිනය වැඩ කරන දිනයක් වූ නිසා පෙබරවාරි 8 වැනි සෙනසුරාදා තමයි සංචාරය යන්න සිදුවුණේ. ඔන්න ඉතින් කතාව ඉවරයි මෙතන ඉඳලා පින්තූර බලමු. මෙවර අපේ සංචාරයේ ප්‍රධාන අරමුණ වුණේ මාදු ගඟේ පරිසර සවාරියක් යාමයි. බෝට්ටු වලින් ගිය මේ සවාරියට පැය 4 ක පමණ ගතවුණා.

හපෝ……….මේ පාන්දර 5 ට නෝනලා තම රැහැයි කටහඬවල් අවදි කල ආකාරය. 

1

කුරුණෑගල ඉඳලා, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, හෝමාගම, පහුකරගෙන කොට්ටාවෙන් රිංගුවා අධිවේගී මාර්ගයට.  හයිවේ ද බුරුල්වේ ද මම දන්නෑ හැම වාහනයක්ම දිව්වේ, පස්සෙන් කවුරුහරි පන්නනවා වගේ. මම ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයේ බස් එකේ හිටගෙන ගියා පින්තූර ටිකක් ගන්න.

2

මේ පින්තූරයේ වම්පැත්තේ පෙනෙන ආකාරයේ ඉඩකඩ සහිත ස්ථාන කීපයක් තිබෙන බව මේ පාරේ යන අය දන්නවා ඇති. මම මෙවර පැහැදිළිව දැක්කා (බස් එකේ ඉදිරිපස දොර ළඟ හිටගෙන ගිය නිසා) හොරෙන්ම එළියට යන්න පුළුවන් තැනක් තියනවා. අපි ගිය බස් දෙකෙන් එකක රියදුරා උපතින්ම ඇඟ පුරාම මොලය තියන කෙනෙක්. ඒ බස් එකේ ගිය අයගේ කීම නොඅසා දොඩම්ගොඩින් එලියට යන්න තියෙද්දී මෙයා ගාල්ලටම යන්න තියන පිවිසුමට දාලා ආයෙත් බස් එක රිවස් කළා. ඒ වරද වෙනුවෙන් රු 1500/- දඩයක් ගෙවන්නත් මෙන්න මෙතනට වෙලා පැයක් විතර රස්තියාදු වෙන්නත් සිදුවුනා. එයින් සිදුවුණේ උදේ කෑම ගැනීම 10 ට විතර කරන්න සිදුවීමයි. 

3

පුංචි කවීෂාට නම් මෙව්වා ගානක්වත් නැහැ. අනාගතේදී මෝස්‌තර නිරූපිකාවක් වෙන්නද දන්නේ නෑ මේ ඉරියව්වෙන් ඉන්නේ.

4

පිට මාදු ගඟේ සවාරිය සඳහා බලපිටියට යන්න තිබුණත්, උදේ කෑම ගන්න ස්ථානය තිබුනේ දොඩම්ගොඩ නිසයි, අධ්වේගී මාර්ගයෙන් එළියට ආවේ. ඔන්න ඉතින් මාදු ගඟටත් ආවා කියමුකෝ. එක බෝට්ටුවක් රු 4000/- ගානේ, මහ විසාල බෝට්ටු 5 ක් ඕනේ වුණා, අපේ මුළු නඩේම ගෙනියන්න.

5

හැබැයි, බෝට්ටුවට දුන්න සල්ලි කිසිම පාඩුවක් නැහැ කියලා හිතුණේ, දකින්නට දුර්ලභ, අලංකාර, කඩොලාන පරිසරය තුළින්, අපේ බෝට්ටු හෙමින් හෙමින් ඇදීයනවිටයි.

6

මේ ජාකොටු ගැන අපේ පිරිසේ හිටිය පාසල් ළමුන් ප්‍රශ්න කෝටියක් අහන්න පටන්ගත්තා. අපේ බෝට්ටුවේ ක්‍රියාකරු, ඔවුන්ට සියළු කරුණු කියාදුන්නා.

7

පි මුලින්ම ගොඩබැස්සේ, විශාලතම දූපතට. එහිදී අපිට ලස්සන පරිසරයක් දකින්නට ලැබුණා.

8

මේ තියෙන්නේ ලස්සන මලක්. ඇත්තටම මෙය හොඳ ඖෂධයක්. සෙංගමාලය රෝගීන්ට මේ කොළ වලින් කැඳ හදලා බොන්න දෙනවා. මේ තමයි හීන් බෝවිටියා. කවුරුහරි පිටරටක එකෙක් දැනටමත් මේකේ පේටන්ට් අයිතිය අරන්ද දන්නේ නෑ.

9

ඒ විතරක් නෙවෙයි. වයඹ පළාතේ අපිට දකින්නට නොලැබෙන දෙයක් වන, කුරුඳු තැලීම කරන්නේ කොහොමද කියලා බලන්නත් ලැබුණා.

10

පි මෙව්වා බලන අතරේ තවත් කට්ටියක් වෙනත් වැඩක නිරතවුණා. ඒ තමයි මාළුවන්ට කියලා තමන්ගේ දෙපා පිරිසිදු කරගැනීම. මේ සඳහා එක්කෙනෙකුගෙන් රු 50/- ක් අයකළා. නමුත් විදේශීය සංචාරකයකුගෙන් නම් ඊට වඩා මහ ඉහළ ගණනක් අය කරන බව දැනගත්තේ, අපේ නඩයේම සිටි, අපේ එක සාමාජිකයකු මේ තැන් හොඳට හඳුනන, සංචාරක මගපෙන්වන්නකු වීම නිසයි.

11

මේ ඉන්නේ ඒ මාළු. මටනම් දුකයි මේ වගේ ලස්සන මාළුන්ට කියලා කකුල් පිරිසිදු කරගන්න. ඒ නිසා මම කළේ මේවා නැරඹීම පමණයි.

12

ඊළඟට අපි ගියේ තවත් දූපතක පිහිටා තියන කොත්දූව රජමහා විහාරය වන්දනා කරගන්නටයි.

13

ශාන්ත නිසසල පරිසරයක පිහිටි මේ විහාරස්ථානය, ඇත්තෙන්ම, සෑම දෙනා තුළම, බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරනවා.

14

කොත්දූව පන්සල බලන්න ඇවිත් හිටිය පුංචි සුද්දියෙක් අපේ කණ්ඩායමේ පුංචි කල්ලියෙක් එක්ක බෝ මළුවේ සෙල්ලම් කළා.

15

මාදු ගඟේ සංචාරය ඉවර කරලා එනගමන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්නත් ගියා. හැබැයි සුදු කැස්බෑවන් නම් දකින්න ලැබුනේ නැහැ. මේ ඉන්නේ කුඩා කාලයේ දී අනතුරකට ලක්ව, කටුව කැඩී ගිය කැස්බෑවෙක්.

15a

කොස්ගොඩට ගොඩබැස්සේ, හෝ ගාන පොකුණෙන් නාගන්නයි.

16

මම අපේ ඇත්තිට  මේ ගමන එන්න කලින්ම කිව්වා,  ඉස්සර කැළණි ගඟේ දිය කෙළියේ යෙදුනු ආකාරයට, (අපි දෙන්නා විවාහවූ අලුත දිනපතා නෑවේ කැළණි ගඟෙන්) අදත්, බලා ඉන්න අයට ආදර්ශයක් වශයෙන්, දිය කෙළියේ යෙදෙමු කියලා. ගෙදරදී, අනේ මට බෑ ඔය මිනිස්සු ගොඩේ නාන්න කියලා කියපු ගෑණි, මෙන්න බොලේ  මටත් හොරෙන්ම ඇඳගෙන හිටිය ඇඳුම් පිටින් මූදට බැහැලා.

17

තවම දාසයයි මාසයයි වගේ පෙණුම ……නේද?

අනේ මමනම් බහියි අපේ නඩේ ගෑණු බලා ඉන්දැද්දී. ඊටත් වැඩිය මං වගේ සත්පුරුසයෙකුට එතන කොහොමවත් නාන්න බැහැ. සිල් බිඳෙනවා. මෙන්න මෙව්වා පිරිලා.

IMG_2611

මම අර අපේ කට්ටියට උදව් කළා, වැටකෙයා පඳුරු හෙවණේ අර අරවා කටේ වක්කරගන්න. 12 ක් ඉවරයි කියනවා වගේ යන්තම් මතකයි. කාටද අප්පා ඔව්වා ගණන් මතක තියෙන්නේ. ඔය අතරේ අර මෙව්වා එකක් ආවා එතනින් යන්ඩ. අනේ ඒක පැදන් ආපු හාදයාට කීයක්ද අත මිටමොලවලා ටිකවෙලාවකට අපේ පොඩිඑවුන් ඒකෙ නැගලා විනෝද වුණා.

18

සමහරුන් පණපිටින් වැලලෙන්න ගියා.  

19

 ඕනෙ මගුලක් කරගනින් කියලා අපි යන්න යනකොට මෙන්න නැගිටලා එනවා. 

නීල මහා යෝධයාගේ මල්ලිත් අපිත් එක්ක සංචාරයට ආවා.

IMG_2615

සැන්දෑවට ගලන්න ඉඩ දෙමින් අපි වෙරල තීරයෙන් සමුගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙනයි.  

20

රෑ වුණා කියලා බලන්නේ නැතුව පටන් ගත්තේ නැතැයි සාජ්ජේ.

22

ඒ වුනාට කොහෙද 13 වෙනි එක ඇරියේ ආපහු එනගමන්. අනේ ඇත්තට මෙහෙමත් …………………..

23

ඔන්න ඔහොමයි අපි 2014 වසර වෙනුවෙන් සංචාරයේ යෙදුනේ. ඔක්කොගෙම කැමරා වලින් ගත්ත පින්තූර හාරසිය ගණනකින් තෝරගත්ත ඒවා තමයි මේ දාලා තියෙන්නේ.

my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 23 වැනි දින 0031 පැය

Advertisements

Comments on: "අපේ වාර්ෂික සංචාරේ" (21)

  1. අර කොන්ඩඤ්ඥ තවුසට වගේ මේව බලල හිනාවෙලා අඬන්න තමයි ඉතින් වෙල තීන්නෙ.

  2. තවම දාසයයි මාසයයි වගේ පෙණුම ……නේද?
    විචාරකට ඒ විදියට නොපෙනුනොත් නේ පුදුමේ.

  3. නෝනා මහත්තයව නං දැක්ක,ඉතිං විචාරක තුමා කොයි පින්තුරෙද ඉන්නෙ.

    • කොහෙද හැලපෙ, මුන්ට මං කොච්චර වැන්දද මගේ පොටෝ කෑල්ලක් කෙලපල්ලා කියලා. ඔහේ නෑ එකෙක්වත් කනකට ගත්තේ. අඩු ගානේ ජැක් ගහලා මාව කෙලින් කරලා හරි ගන්නනේ තිබුණේ.

  4. අර යට ඉඳන් හත්වෙනි ෆොටෝ එකේ (ඔයාගේ සිල් බිඳිච්ච ෆොටෝ එකේ ) ඉන්න ගැල්ලමයගේ කොඳු ඇට පෙළ දෙපැත්තේ පහලම හරියේ අසාමන්‍ය වල ගැසීම් දෙකක් තියෙනවනේ අප්පා.

    කෝ ඔයාගේ ෆොටෝ

    • මමත් ඒ ‘ආවාට දෙක’ 😀 නිරීක්ෂණය කලේ පින්තූරය අප්ලෝඩ් කළාටත් පස්සේ. මේ නිසා මේ තැනැත්තියට තමන්ව හඳුනාගන්න පුළුවන් වීම නම් අරුමයක් නෙවේ. වෙන කවුරුහරි කිව්වොත් හා………මේ ඉන්නේ අරයනේ කියලා මම කපෝතියි. 😀

      අනේ මගේ එක පොටෝ එකක් ගහන්න අපේ උන් එකෙකුටවත් වගේ වගක් තිබුණේ නැහැනේ.

  5. මට මතක විදිහට මමනම් තමුන්නැහේගේ වාර්ෂික සංචාර තුනම කියෙව්වා. කොයිම වෙලාවකවත් තමන්ගේ කෙරුවාවල් පේන පොටෝ කෑල්ලක් එකකවත් නොදාපු එක ගැන මගේ බලවත් විරෝධය.

    අරවා දැකලා පියවි ලොවෙන් ඈතක නෙමේ නේද හිටියේ… හැක්…

    • හැමදාම පොටෝ ගන්නේ මම. අනික් උන් එකෙක්වත් මගේ පොටෝ ගන්නේ නැහැ. සංචාර ලිපි වලින් දෙවැනි ලිපියේ තියනවානේ මගේ පොටෝ එකක්. ගිහින් බලන්නකෝ.

      හප්පෝ අරවා දැකලා පිළිකුල් භාවනාව කරන්ඩ තමයි හිතුණේ.

  6. මේ වගේ දේවල් තමා ඉතින් ඔය වයසට 😛 ගිය පාර ට්‍රිප් එක ගිය ගාණට වඩා මේ පාර ගාණ අඩුද ??

  7. විචාරක මහත්තයා සත පහේ දූවට එහෙමත් ගියාද? කොත්දූවේ පන්සල කියන්නේ මම නිවාඩු පාඩුවේ යන්න හරිම ආස තැනක් මම අපේ අම්මලාගේ මහගෙදර යන හැම වතාවෙන කොත්දූවට යනවා වරද්දන්නෙ නැතිව. නමුත් ඔය මෝටර් බෝට්ටු කෙරුවාව නිසා තව ටික කාලෙකින් ඔය කඩොලාන නැත්තටම නැතිවෙලා යාවි. ඇත්තට අපි පොඩි කාලේ තිබුනට වැඩිය දැන් සෑහෙන්න අඩුවෙලා ගස් කොලන් සෑහෙන්න ලොකු පරිසර විනාශයක් වෙන්නේ ඔය පැත්තේ

    • සතපහේ දූවට ගියේ නැහැ. කොත්දූව නම් මගේ සිත තදින්ම බැඳගත්තා. ඇත්තටම මම ඔබ සමග එකඟයි. බෝට්ටු එන්ජිම ස්ටාට් කරන්නේ ටින් එකකින් පෙට්‍රල් ටිකක් එන්ජිමට විසි කරලා. එවිට විසිවෙන පෙට්‍රල් වතුරට වැටෙනවා. එන්ජින් දුවන්නේ භූමිතෙල් වලින්. එයින් සෑහෙන පරිසර හානියක් වෙනවා. ධාවනයේදී ඇතිවන රළ කම්පනයෙනුත් සෑහෙන විනාශයක් වෙනවා ඇති. මේ සඳහා විසඳුම මෙන්න මේ වගේ, වතුර යටට නොදමන, සුළං බල තල සහිත යාත්‍රා යෙදවීමයි.

  8. අපෝ දෙයියනේ වතුරට බහින්න හදනකොට වෙච්ච දෙයක්.. දැන් ඉතිං මේ යන විදියට අපිට වෙන්නේ මාළුන්ට කියල කකුල් විතරක් නෙවෙයි මොළෙත් හෝදාගන්න..

    ඔබතුමාට මගේ මේල් එක ලැබුනේ නැතිද?

  9. අන්තිම ෆොටෝ එකේ කරටිය පාත් වෙලා ඉන්නෙ විචාරක තුමා නේද…මාවත් දා ගන්න බැරිද මේ සුභසාධක සමිතියට….සාමාජික මුදල් වෙලාවට ගෙවන්නම්…ට්‍රිප් එක විතරක් ගියාම මට හොදටම ඇති…

  10. තාම යන්න බැරි උනානේ මේ ගමන. යන්න ඕනේ ඉක්මනටම….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: